Showing posts with label සීයා. Show all posts
Showing posts with label සීයා. Show all posts

Monday, 2 June 2014

සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාව – A geriatric joke


රෝහල් සායනක පොරොත්තු කාමරයක සීයලා තුන් දෙනෙක් කතා බහක නිරතව සිටියහ.

එක් සීයා කෙනෙක් මෙලෙස පැවසීය.

"මගේ වයස දැන් අසූවයි. මට තියෙන ප්‍රශ්ණේ තමයි මේ චූ කරන්න අමාරු එක. ඔන්න මං උදේ හතට නැගිටිනවා. එතැන ඉඳලා උදේ අට විතර වෙනකං කරන්නේ ටිකෙන් ටික චූ දාන එකයි. එක පාරට දාන්නත් බෑ. කොච්චර දැම්මත් ඉවරයක් නෑ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක්!"

ඒ ඇසූ දෙවෙනි සීයා මෙසේ පැවසීය.

"මගේ ප්‍රශ්ණේ ඊට වැඩිය දරුණුයි. මට දැන් වයස අසූ පහක් වෙනවා. මං උදේ හතට නැගිටලා, උදේට කාලා බීලා, උදේ අටට විතර ටොයිලට් යනවා කක්කා කරන්න. ඒත් කරගන්නම බෑ. කොච්චර කළත් ඉවර වෙන්නෙත් නෑ. අන්තිමේ දී උදේ නමය වෙනතුරුමත් ටොයිලට් එකේ ඉඳලා තමයි වැඩේ ඉවරයක් කර ගන්නේ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක් තමයි! මොකට කියනවාද ඒක?"

දැන් තුන්වෙනි සීයා ගේ වාරයයි.

"මගේ වයස දැන් අනූවයි. මට නං ඔය කිසි ප්‍රශ්ණයක් නෑ!"

"මොනවා. තමුසේ හරිම වාසනාවන්තයි නේ එහෙනං!" අනෙක් සීයලා දෙන්නාගෙන් පළමු සීයා පැවසීය.

"ඒ කියන්නේ චූ කරන එක සහ කක්කා කරන එක ඔහේට හොඳට, නිසි පිළිවෙලට, වෙනවාද?" දෙවෙනි සීයා ඇසීය.

"ඔව්, ඔව්, කිසි අවුලක් නෑ. මං උදේ හතට විතර චූ කරනවා. උදේ අටට විතර කක්කා කරනවා. උදේ නමයට විතර මට ඇහැරෙනවා!"

මේ කතාව ලිව්වේ වයසක පොරවල්වලට අපහාස කිරීමට හෝ රෝගී තත්වයන්ට සිනාවීමට හෝ නොවේ.

ඇත්තටම මෙය වයසක අයගේ රෝගාබාධ පිළිබඳව කටයුතු කරන වෘද්ධචිකිත්සක විශේෂඥයින් (Geriatricians) ගේ කලාපීය සම්මන්ත්‍රණයක රාත්‍රී භෝජන සංග්‍රහක දී එහි මාස්ටර් ඔෆ් සෙරමොනි විසින් කළ කතාවේ අන්තර්ගත වූ යාන් හෑල්ලක් නොහොත් කතන්දරයකි.

ඉන්දික උපශාන්ත සහෘදයා තමන්ගේ සැහැල්ලුව බ්ලොගයේ ලියූ "සුනිල් පෙරේරාගේ දුන්තෙල් බත් දන්සැල" කියන ලිපියේ ඔහුට කෙලින්ම සම්බන්ධ කොටස් හිතා මතා කපා ඉවත් කළ ස්ටැන්ලි ප්‍රනාන්දු නමැත්තෙක් එයට තමන්ගේ නම යොදා එවූ විට එම කතාව තම පුවත් පතේ පළකළ ලක්බිම ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරුන්ට අනුව ඉන්දික ඒ ලිපියේ මුල් රචකයා පමණි. අයිතිකරු නොවේ!

ඒ අනුව, ස්ටැන්ලි ප්‍රනාන්දු එහි දෙවෙනි රචකයා ය. ඔහු ගේ රචනා කර්තව්‍යය වී ඇත්තේ ඉන්දික ගේ ලිපියේ ඉන්දිකට සම්බන්ධ කොටස් කපා ඉවත් කිරීම පමණක් වීම ප්‍රශ්ණයක් නැත!

ලක්බිම තර්කයට අනුව බලන විට මා මේ "සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාවේ" දෙවෙනි රචකයා විය යුතුය.

-කතන්දරකාරයා

පලි:
අනිත් අතට බලන විට මා මේ කතාව ලියූයේ අර අයීබීඑම් කම්පැටිබල් කොම්පියුටර් සෑදූ වා යැයි කියවෙන ක්‍රමයට තරමක් සමාන විදියකට යැයි සිතමි.

තිලක සිත බ්ලොගයේ ඊයේ පළවූ "කහ පාට කොඩි කතාව" ද ඒ ආකාරයේ එකකි.

(image: http://othersiderainbow.blogspot.com.au/2011/03/hyuk.html)

Monday, 27 May 2013

පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd


මා ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කාලයේ එක් දිනයක උදැසන අවසන්වරට පන්සිල් ගත් හැටි ගැන පෙරේදා කතන්දරෙයෙන් විස්තර කළෙමි.

පන්සිල් ගැනීම යනු තමන් තමන්ටම දෙන පොරොන්දුවක් මිස අනෙකක් නොවේ. පන්සිල් නොගත්තා කියා සිදුවෙන පවක් නැත. එසේ නොව පන්සිල් ගෙන ඉන්පසු ඒවා කැඩීමෙන් නම් සාමාන්‍ය පවට අමතරවත් පව් සිදුවෙනවා විය හැක.

අප කළ යුත්තේ පන්සිල් ගැනීම නොව, පව් නොකර සිටීමයි. ඊටත් වඩා දුර ගොස් පින් ලැබෙන වැඩ සිදු කිරීමයි.

ඒ දාහත් හැවිරිදි මා එදා සිතූ ආකාරයයි.

කෙසේ වෙතත් එදායින් පසු අනෙක් අය සිල් ගන්නා තැන්වලදී මම අත් බැඳගෙන සිටියෙමි.

මින් වසරකට පමණ පසු දිනයක මගේ මෑණියන් ගේ මහගෙදර මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. අපේ පවුලේ සියලු දෙනාම ඊට සහභාගී වූහ. රැස්ව සිටි සියලු දෙනා අත් බැඳ ගෙන පන්සිල් පද කියද්දී සුපුරුදු පරිදි මම නිහඬව සිටියෙමි.

සීයා මෙය දැක ඇත.

එදා දානයේ කටයුතු අවසාන වී භික්ෂූන් වහන්සේලා නික්ම ගිය පසු අපේ ගිහි දානයේ කටයුතු ආරම්භ විය. මෙහිදී අපේ සීයා මා වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ ආගමික කටයුතු සිදුවෙද්දී පන්සිල් නොගෙන සිටීමෙන් මා මහා පාපකර්මයක් සිදුකළාක් මෙන් හඟවමිනි. පින්, පව් සහ පන්සිල් පිළිබඳ මා එදා නැගූ තර්ක ඔහු කනකට ගත්තේ නැත.

වයස අවුරුදු හැත්තෑව ද ඉක්මවා සිටියෙකුගේ බැණ වැදීමක් අවුරුදු දහ අටක් වයසැති තරුණයෙකු සලිත කරවන්නක් නොවේ. එසේම දිගින් දිගටම මෙවැනි දෙයක් ගැන කතා කිරීම වයස අවුරුදු හැත්තෑවක අයෙකුට ද සරි නොවේ.

එසේ වුවද, අපේ සීයා මගේ පංචශීල ප්‍රතිපත්තියට එරෙහිව කතාව දිගු වේලාවක් යනතුරුම නැවැත්තුවේ නැත. ඒ දොඩමළු කමේ රහස මට පසුව එළිවිය.

එදා දානය හමාර වී හාමුදුරුවරු ආපසු වැඩම කළ විගස තම කාමරයට ගිය සීයා, නිරතුරු තම ඇඳ යට තිබෙන පොල් අරක්කු බෝතලයෙන් ”කාලක්-ක්‍රියා” කර ඇත. මෙහිදී ඔහුගේ සහයට සිටියේ, දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමට නිවසට පැමිණ සිටි තම මස්සිනා ය.

මේ බෝතල් පාටිය අපේ දානේ ගෙදරට පමණක් සුවිශේෂී සංසිද්ධියක් නොවේ. බොහොමයක් සාංගීක දානේ ගෙවල් වල ගිහියන්ට කරන සංග්‍රහයට රහමෙර ද ඇතුළත් ය. වෙසක් දන්සැල් දෙන අතර තුරේ මෙන්ම පොසොන් එකට මිහින්තලාවේ හෝ සීසන් එකට සමනොළ කන්දේ යන අතරතුරේ ද බෝතල් සීල් කැඩෙන බව නොරහසකි.

තව ස්වල්ප වේලාවකින් තමන් විසින් සිල් බිඳීමට නියමිත බව හොඳ හැටි දැන සිටියද, එදා පින්කමේ දී සුරාමේරය මජ්ජපමා සීලය සමාදන් වීම අපේ සීයා ට ප්‍රශ්නයක් නොවීය.

නමුත් ඔහුට පර ප්‍රශ්නයක් වී තිවුණේ මා පන්සිල් නොගෙන සිටීමයි.

මද පමණින් රහමෙර පාවිච්චි කර සිත් සතොසින් දහවල් කෑම ගත් සීයා, අවශ්‍ය වූයේ නම් සවස් වරුවේ නැවතත් පන්සිල් ගැනීමට ද, රාත්‍රී ආහාරයට පෙර නැවතත් පොල් අරක්කු බෝතලය ඇඳ යටින් එළියට ගෙන "කාලක්-ක්‍රියා" කිරීමට ද නොපැකිලෙනු ඇත.

අත් බැඳ සිල් නොගත්ත ද, මා සිල් රැකි බව අපේ සීයා ට නොවැටහුණි. ඒ වන විට වසර පනහකටත් වඩා කාලයක් රහමෙර ඇසුරු කර තිබූ සීයා ගේ මොළේ මගේ තර්ක වටහා ගැනීමට අවශ්‍ය නියුරෝන සෛල ඉතුරු වී නොතිබෙන්නට ද ඇත.

සීයා මට කුමන වලියක් දැම්මද, මා එදා එකොළොස් වෙනි ශ්‍රේණියේ දී පන්සිල් ගත්තායින් පසු අද වෙනතුරුමත් නැවත පන්සිල් ගෙන නැත.

මා මේ කතන්දරයේ මුල් කොටසේ ලියුවා සේ, එදා සිට අද දක්වා කැඩුණු සිල් පද කැඩුනි. රැකුණු සිල් පද රැකුණි.

සැවොම පන්සිල් ගන්නා වෙලේ මා අත් බැඳ ගෙන සිටිනු දකින සමහරු මගෙන් ඒ ගැන විමසන හැම විටකම මා කියන්නේ අවශ්‍ය නම් මට ඔවුන්ට පන්සිල් දීමට ද හැකි බවය.

-කතන්දරකාරයා

ප/ලි:
බුදු දහම පිළිපැදීම යනු නොපෙනෙන, නොවැටහෙන දේ දේව වචනයක් ලෙස ඇදහීම නොවේ. ඒ සැමෙකක්ම ප්‍රශ්න කිරීමයි. චිචාර බුද්ධියෙන් විමසීමයි.

මා ඉගෙන ගෙන ඇත්තේ එලෙසය.

බුදු දහම ගැන කතා කිරීම ආනන්තර්ය පාප කරමයක්, අපහාසයක් ලෙස සලකා, එසේ කරන අය හා ආරවුල් ඇති කරගන්නා කණ්ඩායමක් අද බිහිවෙමින් පවතී.

මේ අන්තවාදය බුදු දහමට නිගා දෙන්නකි. බුදු දහමට සැබෑ අපහාසය ඒ අන්තවාදයයි.


ප/ප/ලි:
එදා දෙකක් අනුමත වී මට එලෙස වලියක් ඇද්දේ වුවද සීයා ට මගේ ජාන ස්වල්පයක් හෝ ගොස් තිබෙන බවට මෙන්න මේ කතන්දරය සාක්‍ෂි සපයයි.
http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html


(image: http://megaanswers.com/why-do-crabs-walk-sideways/)

Wednesday, 11 April 2012

පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records


මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් කතන්දරකාරයාට හිමි වූ මහා බලසම්පන්න, මහා අනුහස් සහිත නවරත්න මුදු රාජයා ගැන කතන්දරය කියවූ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ තොමෝ "කතී, ඔයාට ඔයාගේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු උදැල්ල ගැනත් ලියන්නකෝ, ඩාල්!" යැයි මගෙන් ඉල්ලා සිටියහ.

එතුමිය ගේ ඉල්ලීමක් කෙලෙසක නම් මංතුමා පැහැර හරින්නද?

එනිසා මෙසේ ලියමි.

මේ කියන උදැල්ල එසේ මෙසේ එකක් නොවේ. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික භාණ්ඩයකි. කොටින්ම අර කැවුතුකාගාරයෙන් සුදුවෑන්කරණය වුණු කඩු වෙනුවට එතැන තියන්නට පවා හොඳ එකකි.

මේ උදැල්ල මිලට ගන්නා ලද්දේ මගේ පිය පාරශවයේ සීයා විසින් මින් අවුරුදු සීයකට පමණ පෙර දිනයක බව මා අසා ඇත. ඒ එංගල්තයේ ෂෙෆීල්ඩ් නගරයේ පිහිටා තිබූ මහා කම්මලක නිපදවන ලද කිඹුලා ලකුණ දරණ මහානර්ඝ උදළු තලය සඳහා මිට කපා ගන්නා ලද්දේ එවකට බද්දට දී තිබූ නිසා බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමේ කොනක පිහිටි ගසකිනි.

සීයා කලෙක රජයේ සේවයේ යෙදුනද, පසුව ඉන් අස්වී ගමට විත් ගොවිතැන් කර තම ජීවිකාව සපයා ගත්තේය. සීයාගේ ගොවිතැන වූයේ බුලත්ය. කුඹුරු කරන ලද්දේ ආච්චී විසිනි.

සීයා විසින් තම බුලත් වගාව සඳහා භාවිතාකරන ලද මේ උදැල්ල ඔහු මිලදී ගත් දිනයෙන් වසර පනහකට පමණ පසුව අපේ තාත්තාට හිමිවිය.

තාත්තා නම් කිසිදු ගොවිතැනක් කළ අයෙක් නොවේ. නමුත් ඔහු සති කිහිපයකට වරක් මේ උදැල්ලෙන් මිදුලේ තණකොල කපා දැම්මේය. අපේ ගෙවත්තේ බතල සහ මයියොක්කා යනාදිය හිටවීම සඳහා අම්මා ද මේ උදැල්ල භාවිතා කරනවා මා දැක ඇත.

තාත්තා ගේ ලොකු පුතා වශයෙන් මේ උදැල්ල දැන් හිමි මංතුමාටයි.

මං කරන ගොවිතැනක් නැත. තණකොල කපනවා වෙනුවට වවමි. නමුත් විටින් විට මට මේ උදැල්ලෙන් විවිධ ප්‍රයෝජන තිබේ. ඒ මල් පාත්ති සැකසීමටය.

මගෙන් පසුව මේ උදැල්ලේ හිමිකරුවන්නේ මගේ දහ හැවිරිදි පුත්‍ර රත්නයයි.

කොල්ලා නං තවම මේ උදැල්ල උස්සා බලාවත් නැත. නමුදු, තම පිය පාර්ශවයෙන් තමන්ට හිමිවන්නට නියමිත මේ ඓතිහාසික උදළු රාජයා මගේ පුතා විසින් මගේ මුණුපුරෙකුටද මතු දිනයක උරුම කර දෙන බවට මට කිසි සැකයක් නැත.

මේ අරුම පුදුම උදැල්ල කැවුතුකාගාරයේ තියන්නට පවා සුදුසු ඓතිහාසික උදැල්ලක් බව මා මුලින්ම කිව්වේ ඒ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙතරම් කලක් මේ උදැල්ල පැවතීමට හේතුව නම් මගේ සීයා ද, තාත්තා ද, මා ද මේ පාරම්පරික වස්තුව මනාව නඩත්තුකරමින් රැක බලාගැනීමයි.

මගේ සීයා මේ උදැල්ලේ තලය ගෙවෙන හැමවරකම අළුත් ම අළුත් කිඹුලා ලකුණ දරණ උදළු තලයක් යොදා උදැල්ලේ නඩත්තු කටයුතු කළේය. උදළු මිට කැඩුණු හැම වරකදීම වත්ත පල්ලෙහා ගසකින් කපා ගන්නා ලද ඉස්තරම් මිටක් ඒ සඳහා යෙදීය.

තාත්තා නං පාවිච්චි කලේ එංගල්නතයේ ෂෙෆීල්ඩ්හි සාදන ලද කිඹුලා ලකුණ දරණ උදළු තල නොවේ. යක්කල නිපදවූ ලංලෝ ලකුණ දරණ ලද උදළු තලය. උදළු මිට නම් එක් වරක් පමණ වත්තෙන්ම සපයාගන්නා නමුත් පසුව ගනේමුල්ලේ කඩේකින් ගෙන එන ලදී.

මංතුමා නං මේ ලඟදී යෙදුවේ වත්තේ ගසකින් කපාගන්නා ලද මිටකි. උදළු තලය නම් අපේ සදාකාලික පාපමිතුරු දේශය වන කොණ්ඩේ බැඳපු රටෙන් ආනයනය කරන ලද්දකි.

(image: http://www4.schoolnet.lk/edusoft/agriculture/grade-12_13/more.php?sub=Mamoty&main=main7)

Monday, 9 April 2012

කතන්දරකාරයා ගේ මහා බලසම්පන්න, අනුහස් සහිත, පරවේණීගත මුදු රාජයා - The lord of the RING


හැමදාම නෑ! හැමතැනම නෑ!!

මේ වගේ මහා බලසම්පන්න, අනුහස් සහිත මුදු රාජයෙක් දැක බලාගන්න වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.

ඉස්සරනං මේ වගේ මුදු රාජයෝ කැවුතුකාගාරයේ වැඩ උන්නලු.. ඒවට වුණු දේ නං ඉතිං, දෙයියෝ දනී මං නොදනී.

මං දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයෙකු ගේ පෞඪ හිමිකාරයා මංතුමාය කියන එක.

මේක පරම්පරානුගත මුදු රාජයෙක්!

මං දන්න කාලේ මේ මුදු රාජයා පැළඳී තිබුණේ මගේ සීයා ගේ ශ්‍රී හස්තයේ ඇඟිල්ලකයි. මේ සීයා ය කියන්නේ මගේ ආදරණීය මැණියන්වහන්සේ ගේ පියාණන්දෑ ගැණයි.

එතුමා ගැන මං වරින්වර කතන්දර කීපයක් ලියලා තියෙනවා. ඒවා කියවලා නැති අටය මෙන්න ලින්ක්ස්.

1. පාන් නොකා සහ පාන් ජොකා

2. යුෂ්මතුන් කොයි පලාතේ ද?

3. කටු කම්බී සාස්තරේ

4. මහාමායා දේවී ගැබිණි වාට්ටුවේ

5. අපේ සීය කොල්ල කාලේ

අපේ සීයා අවුරුදු හැත්තෑ අටක් පමණ කල් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරලා මිය පරලොව ගියා. ඉන් පස්සේ මේ මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයා පරම්පරානුගත චාරිත්‍රය අනුව හිමිවුණේ සීයා ගේ වැඩිමහල් දියණිය ගේ වැඩිමහල් පුත්‍ර රත්නය වන මංතුමාටයි.

දැන් මෙන්න බලාගන්න ඒ මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයා.


මං හොයා ගත්තු විදියට මේ නවරත්න මුද්දෙ තියෙන්නේ පද්මරාග, මුතු, රතු, ගෝමේද, කාකනිල්, වෛරෝඩි, පුෂ්පරාග, මරකත වගේ මැණික් ගල් වර්ගයි.

දැන් මෙන්න මේ මුදු රාජයා ගේ හාස්කම්.

මේ මුදුව පැලඳගෙන ඉන්නා විට:

1. දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.

2. සීවලී හාමුදුරුවන්ට මෙන් යන යන තැන දානය නොවරදී.

3. හෝටලයකට කන්න ගිය විට ලොකු මාලු කෑල්ල ලැබේ.

4. ගෙදරදී එක බිත්තරයක් තම්බා දෙකට කපා කන්න ගියොත් ලොකු බිත්තර කෑල්ල ලැබේ.

5. කවදත්, කොතැනත්, තෑගි වැසි වසී.

6. අවුරුදු දෙකයි මාස නමයක් තිස්සේ හයසීයක් කතන්දර ලියුවද, වෙන්ඩ කතන්දර ලයිස්තුව අවසාන නෙවේ.

-කතන්දරකාරයා

ප/ලි:
කසාදය හා සම්බන්ධ මුදු (Rings) තුන මොනවාද කියලා දන්නවාද?

(image: http://www.shutterstock.com/pic-35563390/stock-vector-family-tree.html)

Monday, 12 December 2011

පාමසියේ දී මුණ ගැහුණු සීයා ගේ කතා වස්තුව - Curb Your Enthusiasm


බීටීන් ද බුෂ් හෙවත් පඳුර වටේ තලන්නේ නැතුව කෙලින්ම කතාවට එන්නම් කෝ පොල්ලෙන් ඔළුවට ගහනවා වගේ.

ඔන්න මට දවසක් අවශ්‍ය වුණා ෆාමසියකින් බේත් වගයක් ගන්න. උදේ ගෙදරින් පිටත්වෙන කොට හාමිනේ තුණ්ඩුව අතට දීලා මතක් කළා.

අපේ වැඩපොල අහලක පාමසියක් නෑ. ආපහු ගෙදර එන අතරමග බොරැල්ල වගේ තැන්වල වාත වෙන එකත් තේරුමක් නෑ හැන්දෑ ජාමේ. ඉතිං ගෙදර ලඟට එනකම්ම තුණ්ඩුව මගේ උඩ සාක්කුවේ.

හොඳ වෙලාවට මට මතක් වුණා පොඩි පාමසි කෑල්ලක් තිබුණා නේද කෝට්ටේ පාරට හරෝපු ගමන්ම වගේ කියලා.

ඔන්න මං පාමසි කඩේට ගොඩ වුණා. මං ඉස්සරහින් හිටියේ වයසක සීයා කෙනෙක්. පැහුණු රුවුල දවස් දෙක තුනකින් කපලා නෑ. ලොකු කළු කන්ණාඩි දෙකක් දාගෙන. ඒකේ එක අණ්ඩක් ඉස්සරහ කෑල්ලෙන් ගැලවෙන්න ඇවිත් තුවාලවලට දාන හොස්පිටල් ග්‍රේඩ් ප්ලාස්ටර්වලින් අලෝලායි තිබුණේ.

මේ සීයා ඇවිත් හිටියේ ප්‍රෙෂර් පෙති ගන්නයි.

සතියකට ඕනෑ ප්‍රෙෂර් පෙති ටික මුදළාලි කොල්ලා කවරෙක දාලා සීයා අතට දීලා ගණන කිව්වා.

අනේ සීයා ගේ අතේ එච්චර සල්ලි නෑ!

එහෙනං මට දවස් තුනකට විතරක් පෙති දෙන්න සීයා ඉල්ලුවා.

ඉතිං සීයාට පිටි පස්සෙන් ඉඳලා මේ කතාව ඇහුණු අතේ ටිකක් විතරවත් සල්ලි තියෙන ඕනෑම කෙනෙක් කරනවා වගේ මං සීයාට කිව්වා මෙහෙම.

"පෙති සේරම ගන්න අංකල්, මං ඉතුරු සල්ලි ටික දෙන්නම්!"

සීයා මොකද දන්නවද කළේ?

පොර මං දිහාවට හැරිලා මට මෙහෙම කිව්වා.

"ඩෝන්ට් වොරි, අයිල් ගෙට් ද රෙස්ට් ඔෆ් ද ටැබ්ලට්ස් ඉන් අ ෆීව් ඩේස් ටයිම්. තෑන්ක් යූ!"

මං ඉතිං කට වහගෙන මගේ බේත් බෝතලේ අරගෙන ගෙදර ගියා.

හිතාගන්න පුළුවනි නේද, මං සිංහලෙන් කියපු කතාවට සීයා ඉංගිරිසියෙන් උත්තර දුන්නේ ඇයි කියලා?

වැඩේ කියන්නේ මට ඔයිට කලින් දවසක කාලෝ ෆොන්සේකාත් ඔය වගේම වැඩක් කළා නේ. ඒ හරියටම ඔය පාරේම ඔතනට තව ටිකක් පිටකෝට්ටේ පැත්තට වෙන්න බස් එකක යන වෙලාවකදීයි.

කලින් කියවල නැති අය ඒ කතාවත් කියවන්න මෙන්න ආයේත් ලින්ක් එක.
http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

-කතන්දරකාරයා

ප/ලි:
කාලෝ ෆොන්සේකා සීයා මේ දවස්වල මොනවා කරනවද මන්දා?

කිසි ආරංචියක් නෑ කාලෙකින්.

පොර පිසියලොජිකාරයෙක් නිසා අනිවා ඩෙෆා ලොකු තැන්වල අපර් ලිම්බ් ශක්තිමත් කරනවා ඇති මයෙ හිතේ?

(image: http://sketchetta.wordpress.com/2010/10/23/old-man-with-broken-glasses/)

Monday, 31 October 2011

දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - A Chess move in a Draughts game


ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.

ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.

මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.

එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.

අනික තමයි දාම් සංගමය.

දාම් කියන්නේ මං පුංචි කාලේ ඉඳලාම ටික ටික දැන ගෙන හිටිය බෝඩ් ගේම් එකක්.

චෙස් කියන බෝඩ් ගේම් එක දන්නවා නේද? චෙස් තමයි ඉතිං රට ෆොරිජින් පොෂ් ගේම, ඔය මකරා වගේ අය කැමති.

අපි නොදන්න චෙස් කිව්වලු!

දාම් කියන්නේ ගං චෙස්, වල් චෙස් නැත්තං ලෝකල් චෙස් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්.

අපේ ආච්චී ලා ගේ ගෙදර තිබුණා දාම් බෝඩ් එකක්. ඇත්තටම කියනවා නං ඒක ඩුවල් පර්පස් එකක්. ඒකේ එක පැත්තක දාම් පෙත. අනිත් පැත්තේ පංචි පෙත.

දන්නවනේ අර කවඩි බෙල්ලෝ හයදෙනෙක් හොල්ලලා බිමට දාලා එන ලකුණු අනුව කොටුවෙන් කොටුවට පැනලා දිනුම් කණුවට යන ගේම් එක?

අපේ ආච්චී, අම්මා, පුංචි අම්මලා හෙම වැඩියෙන් කැමති පංචි දාන්නයි. මගේ හිත ගියේ නං පංචි සෙල්ලමට නොවෙයි, දාම් අදින්නයි.

අපේ අම්මගේ තාත්තා, අපි එයාට කිව්වේ සීයා කියලා නෙමෙයි ආතා කියලයි, තමයි දාම් වලට සූරයා. දාම් ඇදලා ආතාව පරද්දන්න බැරි හින්දා තමයි ආච්චී, අම්මා, පුංචිලා පංචි දාන්න වැඩියෙන් කැමති.

ඇයි මේ ගේම් දෙකම තියෙන්නේ එක බෝඩ් එකේ දෙපැත්තේ නේ. බහුතරයේ කැමැත්තෙන් පංචි දාද්දී ආතාටත් එන්න වෙනවා ඒකට එකතුවෙන්න.

පංචි කියන්නේ ලක් එක අනුව දිනන ගේමක් නිසා ආතා ට දාම් ඇදිල්ලේ දී වගේ දිනන්න බෑ. ඒ නිසා ආතා වැඩියෙන් කැමති දාං අදින්නයි.

මේ දාම් බෝඩ් එකත් අසමසම එකක්. දාම් ඉත්තෝ සෙට් දෙකක් ඉන්නවානේ ප්ලේයර්ස් ලා දෙන්නට. සාමාන්‍යයෙන් මේ එක සෙට් එකක් සුදු පාටයි, අනික කළු පාටයි. ආතා ගේ සෙට් එකේ සේරම සුදු ඉත්තෝ වෙනුට තිබුණේ මෝර මාළු කටු. ඇත්තම කියනවානම් මොර මාළුවාගේ කොඳු ඇට පෙලේ කටු!

ඔව්, මෝරා කියන්නේ කෙලවල්ලා, ඇටවල්ලා, හුරුල්ලා වගේ නෙමේ කොන්දක් තියෙන මාළුවෙක්!

කොහොම හරි ඉතිං මං ආතා එක්ක දාම් අදින්න පටන් ගත්තා. මේ කාලේ මං පහේ පන්තියේ විතර ඉන්න ඇති.

එදා ඉඳලා, අවුරුද්දකට දෙපාරක්වත් පාසල් නිවාඩු කාලේ අපි ගමේ ගිහින් ඉන්න කොට එක දිගට හැමදාම එක පාරක් හරි දාං ඇදලා, ඇදලා, මං අන්තිමේදී හතේ පන්තියේ විතර ඉඳිද්දී එක දවසක් ආතාව පැරුද්දුවා.

ඒ සංසිද්ධිය සිද්ධ වුනේ මෙහෙමයි.

මං වගේ පොඩි එකෙක් එක්ක දාං අදින එක ආතා වගේ කෙනෙකුට මහ කම්මැලි වැඩක් වෙන්න ඇතිනේ! මේ කියන දවසේ දාං අදින ගමන් ආතා මා එක්ක කතාවට පැටලුනා. එදා ආතා මා එක්ක කිව්වේ කෝට් එක හොයන්න ගිය කතන්දරේ ද, බූරුවා ගහපු කතන්දරේ ද මට මතක නෑ. ආතා ජෝන් මහත්තයාව මට්ටු කරපු කතාව නං මට කිව්වේ අම්මා. ආතා පේන අහපු හැටි මට කිව්වේ පුංචි අම්මා.

ඒ මොකක් වුනත්, කතාවෙන් කතාවෙන් මං ආතාට දාම් පෙතේ හදපු ට්‍රැප් එක ආතා නියම වෙලාවට දැක්කේ නෑ. මං ආතාගේ ඉත්තෝ පහක් එක දිගට කැපුවා.

ඊ ලඟට ආතා ට මගේ මිස්ටේක් එකක් මිස් වුණා. මං දාං ගියා.

ආතා පැරදුණා!

-කතන්දරකාරයා

ප/ලි:
අභීත ගේ කැරැක්ටර් සැටිෆිකේට් කතාව මං දැන ගත්තේ කතාබස් වැඩසටහනේ ඕඩියෝ ට්‍රැක් එක අහන වෙලේයි.

අන්න අහනවනං අන්න ඇසිය යුතුම වැඩසටහනක්.

මං නං ඕඩියෝ ට්‍රැක් එක ඩවුං ලෝඩ් කරලා තියාගත්තා.

මොකද කියනව නං ඒ රේඩියෝ ඉන්ටර්වීව් එකේ අභීතගේ කතාවේ මටත් කැරැක්ටර් සැටිෆිකේට් එකක් තියෙනවා!

ඉස්කෝලෙන් ගත්තු සැටිෆිකේට් එක නං මට කිසිම පල ප්‍රයෝජනයක් ගන්න තියා කවදාකවත් ෆයිල් එකෙන් එලියට ගත්තු එකක් නෙමේ.

බලමු අභීත මට දුන්නු සැටිෆිකේට් එකෙන්වත් ප්‍රයෝජනයක් තියෙයිද, කොහොම වෙයිද කියලා.

ප/ප/ලි
සැප්තැම්බර් මාසයේ සිට මා ඇරඹූ අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා කයි-කතන්දර පල කරන වැඩ පිළිවෙල ලබන මස සිට අත් හිටුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි.

සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කෙරෙනු ඇත. ඒවා කයි-කතන්දර වීමටද ඉඩ තිබේ. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ද පල කෙරෙනු ඇත.

මේ දක්වා දැක්වූ ඔබේ සහයෝගයට ස්තුතියි.

(image: http://www.tradgames.org.uk/games/Draughts.htm)

Monday, 27 December 2010

අපේ සීයා අහපු අපූරු සාත්තරේ


සීය ගැන මේ කතාව මට කිව්වේ සීය ගේ බාල දුව, ඒ කියන්නේ මගේ පුංචි අම්මා. එයා මේ දවස් වල අපේ ගෙදර ඇවිත් පොඩි නිවාඩුවකට. මං සීය ගැන කතන්දර ලිව්වට, පුංචි අම්මා ගැන නම් කතන්දර ලියන්න ඉන්නේ ඉතිං එයා ආපහු එයා ගේ ගෙදරට ගියාට පස්සෙ තමයි. මොකටද නිකං ටොකු කන්නේ නේද?

ඔන්න අපේ සීය තරුණ කාලේ, මේ කියන්නේ ලෝක යුද්දෙ කාලෙටත් කලින් වෙන්න ඕනැ, ගමේ ඉඩමකට වැටක් ගහන්න කටු කම්බි රෝල් වගයක් ගෙනත් තියෙනවා.

මේව ඒ දවස්වල හරි ගණං බඩු.

ඉතිං වැට ගහන්න කලින් කවුද මහ රෑක කම්බි රෝල් ටික හොරකම් කරලා.

අපේ කෝට්ටෙ ගෙදරට හොරු පැනලා කතන්දර හාමිනේ ගේ රත්තරං බඩුයි අපේ මගුල් මුදුයි හොරකම් කළ වෙලේ මං පොලිසියට පැමිණිලි කරපු කතන්දරේ මතකයි නේද? මට වැඩිය මොලේ තිබුණු අපේ සීය ඔය පොලිසි ගානෙ ගිහිල්ල නෑ.

සීය කරල තියෙන්නෙ සාත්තරයක් අහන්න යන එකයි. ඒ හොරා කවුද, බඩු කොහෙද තියෙන්නෙ වගේ විස්තර සාත්තරේ බලෙන් දැන ගන්නයි.

ඒ ටික දන්නව නං ඉතිං ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්නේ.

මේ සාත්තරයක් අහන්න ගිය තැන හරිම හාස්කම් තියෙන තැනක්. දේව ආරූඪයෙන්, පරල වෙලයි සාත්තර කියන්නේ මේ ස්ථානයේ.

ඔන්න අපේ සීයයි, යාළුවෙකුයි ගිහින් තමන් ගේ වාරේ ආපුහාම සාත්තර කියන කුටිය ඇතුලට ගියා. බුලත් කොලේක තියල රුපියලකුත් ශත දහයක් තියන්න ඕනෑ පඬුරු විදියට.

ශත දහය දෙවියන්ට මගෙ හිතේ. නිකං 10% සම්තිං එකක් වගේ එකක්.

ඔන්න පඬුරු දුන්නු ගමං සාත්තරකාරය පරල වුණා.

"යුෂ්මතුන් මෙහි පැමිණ සිටින්නේ නැතිවූ යමක් පිළිබඳව අහන්නටයි."

ඔය කියවෙන්නේ කිරි ගහට ඇන්න වගේ. සීයටයි යාළුවටයි හරිම ජොලි.

"කියව, කියව, වහා කියව!" සාත්තරකාරය කෑ ගහනව.

"එහෙයි කියපං!" යාළුව කිව්ව සීයට. සීයත් කිව්ව "එහෙයි" කියල.

"මෙය වටිනා දෙයක්. ඉතා වටිනා දෙයක්. සත්‍යදැයි කියව, සත්‍යදැයි කියව."

"එහෙයි."

"මේ භාණ්ඩය ගෙන ගොස් ඇත්තේ යුෂ්මතුන් හොඳින් දන්න කෙනෙක්."

ඔන්න වැඩේ නියම ට්‍රැක් එකට වැටෙනව.

"හොඳමයි."

"ඒ චෞරයා මෙය රැගෙන ගොස් ඇත්තේ තමන් ගේ ඉනේ සඟවා ගෙනයි."

අපේ සීයට බකස් ගාල හිනා ගියා. අර එකක් රාත්තල් පනහේ කටු කම්බි රෝල් කොහොමද ඉනේ හංගගෙන යන්නේ?

ඔන්න සාත්තරකාරයාට තද වුනා.

"යුෂ්මතා සිනාසෙන්නේ ඇයි? යුෂ්මතා මට අපහාස කරනවා නොවේද? වහා මේ කුටියෙන් පිටවෙව!"

එහෙම කොහේ යන්නද, මේ සල්ලිත් ගෙවලා, නේද? අපේ සීය අහුවෙයි ඕවට.

සීය ඇහැව්වලු නිකං නක්කලේට වගේ:

"එතකොට ස්වාමීණි පඬුරු"?

"තගේ කිලිටි පඬුරුත් රුගෙන වහා මගේ විමාණයෙන් පිටවෙව!"

සාත්තරේ එතනින්ම ඉවර වුණා.

සීය කරල තියෙන්නේ අර රුපියලයි ශත දහයයි ආපහු අරගෙන යාළුවත් එක්ක දේව කුටියෙන් පිටවෙලා ගෙදර යන එකයි.

හොරා කවුද කියල සාත්තරෙන් හොයා ගන්න බැරි වුණු හින්ද සීය කරල තියෙන්නේ ඊලඟට තියෙන හොඳම වැඩේ.
ඒක තමයි වස් කවියක් කියන එක.

මේ හොරකම කරපු එකාට ලේ බඩ යන්න කියල වගේ සාප කරල හොඳ වස් කවියක් ලියව ගෙන අල්ලපු ගමේ ද කොහෙද තිබුණු දේවාලෙට ගිහිං එක දවසයි කියල තියෙන්නේ.

මෙන්න පහුවදා උදේ වත්ත අයිනට ගෙනත් දාල තිබුණලු අර හොරකම් කරපු කටු කම්බි රෝල් ටික සේරම.

කොහොමද වස් කවි වල බලේ?

-කතන්දරකාරයා

ප/ලි
සීයා ගේ අනිත් කතන්දර කියවල නැති අයට මෙන්න ලින්ක්ස්.
1. ජෝන් මහත්තයා සයිලන්ස් කරපු හැටි
2. සීය කොල්ල කාලේ
3. සීය ගේ කෝට් එක නැතිවෙලා
4. හාමුදුරුවෝ සරෙන්ඩර්

මෙන්න ආච්චි ගැන කතන්දර
1. මහා භය වීම
2. ආච්චි ගේ පෙට්ටගම
3. ආච්චි ගේ රෙද්ද (පොලිසියට බයේ දුවපු කොල්ලා)
4. ආච්චි ගේ සීනි බෝතලේ

Thursday, 4 March 2010

සීයා - හතරවෙන කොටස : ආච්චිගෙනුත් කතාවක්


හැමදාම සීය ගැන ම කතා ලියන්නෙ ඇයි නේද?

මං සීය ජෝන් මහත්තයගෙ හැකර කට වහපු හැටි ගැන ලිව්ව. සීය ගෙ ජීවිතේ දෛවෝපගත දිනයක් ගැන ලිව්ව. සීය ගෙ කෝට් එක නැතිවුණු කතන්දරේ ලිව්ව.

ඉතිං අද ආච්චිගෙ දවස!

අපේ ආච්චි ගෙ තාත්ත වෙද මහත්තයෙක්. ඒ කාලෙ ඉතිං ඉස්පිරිතාලෙ යන එකයි කොටින්ම බටහිර වෙදකමයි ගම්වල වැඩිය කෙරුණු දෙයක් නොවෙයි නෙ.

ඉතිං ආච්චි ගෙ තාත්ත ගෙන් බේත් ගන්න මිනිස්සු පිරිලා ලු උදේ හවස වෙනසක් නැතුව. විවිධාකාර මිනිස්සුන් ගෙ විවිධාකාර කතා අහන්න හැසිරීම් බලන්න ආච්චිලටත් ඒ නිසා ලැබුණා.

එක දවසක් වෙද මහත්තයගෙන් බේත් ගන්න ආපු ගමේ ලොකු පවුලක කාන්තාවක් කතා කරනව ආච්චිට ඇහිල තියෙනව ගේ ඇතුලට.

මෙන්න මෙහෙමයි එයා කතා කරල තියෙන්නෙ.

"ඒඛයෑහ්, වෙධ මහත්ථයෝහ්, මා ඊයේහ් රාඨ්‍රියේ පුධුමාකාර භය වීමඛ් භය වුනාහ්. මා අම්මාථ ඛඨා ඛලාහ්, ඛඨා ඛලාහ්, ඒත් ඇය ඛඨාහ් ඛලේම නෑහ්."

මං හිතන්නෙ අපේ වෙද මුත්තා හොයා ගන්න ඇති මේ ලෙඩාට තියෙන්නෙ මහාප්‍රාණ පිළිබඳ රෝගයක් බව!

මේ කතන්දරේ ලියන කොට මට අපේ නැන්ද කියපු කතන්දරයකුත් මතක් වුනා.

අපේ ගමේ ඉඳල තියෙනව ඒ කාලෙ ඉතා ප්‍රසිද්ධ භාෂා විශාරද පණ්ඩිතයෙක්. හෙළ හවුලෙ සාමාජිකයෙක් සහ කවියෙක්. එයාගෙ දුව අපේ නැන්දගෙ යාළුවෙක්.

ඉතිං මේ භාෂා විශාරදය කලකට පස්සෙ මිය ගියා. අපේ නැන්දත් ගියා අවමගුලට. එදා තාත්තගෙ ශරීරය ආදාහනය කරන වෙලේ චිතකය ගිණි ගනිද්දී එයා ගෙ දුව ඇඬුවෙ මෙහෙමළු.

"පියාණනි, පියාණනි, අහෝ කෙතරම් ඛේද ජනකද?"

"අහෝ! අහෝ!! අහෝ ඇවිලෙන ගිනි ජාලය!!!"

කොහොමද දුවගේ භාෂා විලාශය!

කතන්දරකාරයා

Tuesday, 2 March 2010

අපේ සීය කොල්ල කාලේ


කතන්දරකාරයා ගේ සීයා ඉස්කෝලෙක ගුරුවරයෙක් විදියට වැඩ සේවය කරන කාලේ, එතන ලොකුමහත්තයා වුනු ජෝන් මහත්තයා ගේ කට වහපු හැටි ගැන කතන්දරය පහුගිය දවසක කියෙව්වා මතකයි නේද?

ඒ කතාව කියවපු හැම දෙනාම පාහේ එකඟ වුනා අපේ සීයා ජොලි සීයා කෙනෙක් බව.

ඉතිං අද මට හිතුනා අපේ සීය කොල්ල කාලෙ වෙච්ච දෙයක් ගැන කතාවක් කියන්න.

අපේ සීය ඉගෙන ගන්න කාලෙ (එක්දාස් නමසිය පොඩි ගණන් වල) ඔය අද වගේ ඕ.ලෙවල්. ඒ.ලෙවල් කතා තිබිල නෑ. ඒ සුද්දගෙ කාලෙ. ගමේ ගොඩේ ඉස්කෝලවල අධ්‍යාපන ක්‍රමය හදලා තිබුනේ සාමාන්‍ය දැනුමක් ලබා දෙන්න විතරයි. ඒවගෙ ඉගෙන ගෙන කරන්න පුළුවන් එකම ජොබ් එක තමයි ගුරුවරයෙක් වෙන එක.

එහෙම නැත්තං තවත් විභාග කරල නොතාරිස් කෙනෙක් හරි, වෙනමම ඉගෙන ගෙන ආයුර්වේද වෙද මහත්තයෙක් වෙන්න හරි පුළුවන් වුනා.

අවුරුදු අටක් විතර ඉස්කෝලෙ ඉගෙන ගත්තහම තියෙනවලු අවසානෙ කියල විභාගයක්. ඒ විභාගෙ පාස් වුනාම ශිෂ්‍ය ගුරු කෙනෙක් විදියට බැදෙන්න පුළුවන්. අවුරුදු දෙක තුනකට පස්සෙ ස්ථිර ගුරු පත්වීම ලැබෙනව.

ඉතිං අපේ සීයට අවසානෙ පාස් වෙලා ටික දවසක් ඉන්න වෙලා තියෙනව ශිෂ්‍ය ගුරු පත්වීම ලැබෙන කං. ඔය කාලෙ මට හිතෙන විදියට අපි ඒ ලෙවල් කරල කැම්පස් යන්න පුළුවන් වෙයිදෝ කිය කියා හූල්ල හූල්ල හිටි ගන්ධබ්බ කාලෙ වගෙ එකක්.

ඉතිං සීයත් (සීයෙක් නෙමේ, මේ කොල්ලෙක්!) ගමේ ගොඩේ රස්තියාදු ගහමින් ඉඳල තියෙනව. රා බොන්න, බූරුව ගහන්න හෙමත් ටික ටික පුරුදු වෙන්න ඇති මයෙ හිතේ.

කාලය ගත වුනා, ඒත්, පත්වීමෙ ලියුම එන පාටක් නෑ!

සීය ගෙ රස්තියාදු වැඩ වලට ගෙදරිනුත් වලි දාන්න පටන් ගත්ත.

ඔන්න මේ කියන දවසෙ, සීය ට ගෙදරින් රුපියල් දහයක් දුන්න කාගෙන් ද ගත්තු මුදලක් ගෙනිහින් බාර දෙන්න කියල.

ඒ කාලෙ මේක ඉතාම ලොකු ගාණක්. ගුරුවරයෙක් විදියට සීය ගෙ මුල් පඩිය වෙන්න ඇත්තෙත් මීට වඩා අඩු මුදලක්. මේ කියන කාලෙ ආප්ප දෙකක් තුට්ටුවයි. ඒ කියන්නෙ ශත එකහමාරයි.

ඔන්න ඉතිං අපේ සීයත් මේ සල්ලි ටික පරිස්සමින් අරගෙන යනව. අතර මගදි, සීයට මතක් වුනා එදා ගමේ මළ ගෙදරක බූරුව ගහන බව. තමන් ගාවත් ශත පණහක් තිබුණ හින්ද දන්නෙම නැතුව ඒ පැත්තට යැවුනා.

මුලින්ම සීය තමන්ගෙ ශත පනහ පැරදුනා. ඒක බේර ගන්න කියල හිතල, අර ගෙදරින් දුන්නු මුදලින් ශත පනහක් ඔට්ටු ඇල්ලුව. ඒක පැරදුනා. ඊට පස්සෙ ඒ ශත පනහ බේරගන්න ගියා. ඒකටත් කෙලවුනා.

කොහොමින් කොහොමින් හරි, අන්තිමේදී සීය ලඟ ඉතුරු වුනේ රුපියලක් විතරයි.

මේ වෙන කොට සීය ට තරු පෙනිල දාඩිය දාල. සීය ට හිතුණ ලු මෙන්න මෙහෙම.

"ඕනැ මගුලක් වේවා කියල මේ අන්තිම රුපියලත් ඔට්ටු අල්ලනව, පැරදුනොත් ආයෙ ගෙදර යන්නෙ නෑ!"

ඒක භයානක තීරණයක්.

ඒත් සීය ගෙ ග්‍රහය ඒ මොහොතෙ වෙනස් වුනා. ඒ රුපියල විතරක් නෙමේ එදා සීය දිනුව එතන ඉදන් එක දිගටම.

ඊලඟට සීය ගත්ත තව තීරණයක්. ඒක තමයි හරියටම රුපියල් දහයක් දිනපු ගමන් එතනින් නැගිටල යන්න.

ඉතිං සීය රුපියල් දහයෙ ගණුදෙණුවත් බේරල, හවස් වෙලා ආපහු ගෙදර ගියා.

ඒ යනකොට ගෙදරට ඇවිල්ල අර බලාගෙන හිටිය පත්වීමෙ ලිපිය.

ඊලඟ මාසෙ ඉඳල සීය ශිෂ්‍ය ගුරුවරයෙක් වුණා.

මේ කතාව මට කියල සීය අන්තිමට කිව්ව, එදා ඒ අන්තිම රුපියල පැරදුනා නම් තමන් හිස හැරුණ අතේ යනව මිස ආපහු ගෙදර යන්නෙ නෑ ය, එහෙම වුනා නම් තමන් කවදාවත් ගුරුවරයෙක් වෙන්නෙත් නෑ ය කියල.

එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.

කතන්දරකාරයා

Friday, 26 February 2010

ජොලි සීයගෙ කතන්දරේ


අපෝ නෑ! කලබල වෙන්නෙ නැතුව ඉන්න. මේ කතන්දරේ එයා (ලංකාවෙ මේ දවස්වල ප්‍රසිද්ධ එක්කෙනා) ගැන නං නෙමේ. මේක කතන්දරකාරයගෙ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ සීය ගැන කතන්දරයක්!

මං මේ කතන්දරේ ඔය විදියට පටන් ගත්තෙ මේකෙ මාතෘකාව දැකල අපේ ඇඩ්මින් කෂ්ටිය කතන්දර බ්ලොග් එකත් අර පොලිටිකල් ටැබ් එකට ඇදල දායි කියල හිතුන හින්දයි.

මාතෘකාව නිසා පොට වරද්ද ගත්තු අය ඉස්සෙල්ලාම මෙන්න මේ ටික අහල ඉන්නකෝ.

අපේ සීය හරිම ජොලි පොරක්. මට මතක ඇති කාලෙ ඉඳල පැන්ෂන් සුවයෙන් තමා කාළෙ ගත කලේ. හැබැයි පොර බෝතලේට නං පැන්ෂන් දීල තිබුණෙ නෑ. දිව්‍යලෝකෙ යන්න කලින් සීය අසනීප වෙනකම්ම හොඳ ජොලියෙන් ජීවිතේ ගත කළා. අපි බොහෝ දෙනෙකුට ආදර්ශමත් විදියට. ඒකයි මං ජොලි සීය කියල කිව්වෙ. උන්දෑට නිවන් සුව ලැබේවා!

දින දෙකතුනකට කලින් ලියපු මේ කතන්දරේ අදම දාන්න හිතුනෙ මගේ පොර ළමයා කතන්දරේ බලල ඉන්දික ලියල එවපු සීය බූව ගෙ කතන්දරේ හින්දත් ඒක දැකපු ටැබූ සර් ලියල එවල තිබුණු බ්ලූ බලපු සීය ගෙ කතාවත් නිසයි.

මෙන්න දැන් ජොලි සීයගෙ කතන්දරේ.

සීයා පැන්සොන් අරං හිටියෙ රජයේ ගුරු සේවයෙන්. මුලින් උපගුරුවරයෙක් විදියට වැඩ කරල පස්සෙ අවුරුදු ගණනාවක් ම එක එක කණිෂ්ඨ විද්‍යාලවල මුල්ග්‍රරුවරයා ලෙස වැඩකරල තිබුන. මේක අපේ සීය උප ගුරුවරයෙක් විදියට ගම්බද පාසැලක උගන්වන කාලෙ වෙච්ච කතාවක්.

කොයි ඉස්කෝලෙත් තියෙනවනෙ ගුරු කාමරයක්. ඕෆ් පීරියඩ්ස් වල, ඉන්ටර්වල් එකේ ගුරුවරු ඕකට තමයි සෙට් වෙන්නෙ. ගෙදරින් ගෙනාපු පාං, සීනි සම්බෝල, රොටී, ඉඳි ආප්ප මුල් අරගෙන, උණුවතුර ප්ලාස්ක් වල දාපු ප්ලේන් ටී අරගෙන විවේක පාඩුව සප්පායං වෙන්න.

සීය වැඩ කරපු ඉස්කෝලෙ මුල් ගුරුවරය තමයි ජෝන් මහත්තය. පොරත් හැමදාම ඉන්ටර්වල් එකේ එනවළු ගුරු කාමරේට තේ බොන්න. මිනිහ කාමරේට ඇතුල් වෙලා අනිකුත් ගුරුවර ගුරුවරියො තේ බොන පැත්ත බලල අහනවළු මෙන්න මෙහෙම.

"කව්ද අද පාන් නොකා ඉන්නේ.. .. ..?"

එහෙම අහන්නෙ පොරටත් පාන් පෙත්තකුයි, සීනි සම්බෝල ටිකකුයි ඉල්ල ගන්නයි. ඕක ඇහෙන ඔතන ඉන්න ගුරුවරියො ටික ලැජ්ජාවෙන් බිම බලා ගන්නවළු.

අපේ සීයට මේ වැඩේ ඇල්ලුවෙ නෑ, ඒ ඉස්කෝළෙට ගිය දවසෙම. දවසක් දෙකක් බැළුව. ජෝන් මහත්තය ගුරු කාමරේට තේ බොන වෙලාවට ආවොත් නොවැරදීම ඔය ප්‍රශ්ණෙ අවනවමයි.

හැබැයි, ජෝන් මහත්තය ගෙ ඒ පුරුද්ද එක දවසකදි නතර වුනා.

ඒක වුනේ මෙන්න මෙහෙමයි.

ඔන්න එදත් ජෝන් මහත්තය ආව ගුරු කාමරේට ගුරුවරු තේ බොන වෙලේ මෙහෙම කියාගෙන.

"කව්ද අද පාන් නොකා ඉන්නේ.. .. ..?"

අපේ සීය කිව්වළු මෙන්න මෙහෙම.

"පාන් නොකා නෙමේ, ජෝන් මහත්තය, පාන් ජොකා!"

කොහොමද කතන්දරකාරය ගෙ ජොලි සීයගෙ වැඩ?

කතන්දරකාරයා
ප/ලි (28/02/2010)ඃ
ඔය ෆොටෝ එකේ ඉන්නෙ කවුද කියල දන්නවනෙ?