Showing posts with label දුටුගැමුණු. Show all posts
Showing posts with label දුටුගැමුණු. Show all posts

Sunday, 4 September 2011

එළාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ - A "childish" view on Ellaran-Dutugemunu war?


ඔන්න එකමත් එක කාලෙක (දැන් අවුරුදු ගණනාවක කලින්), එකමත් එක රටක (කොළඹ ට නුදුරු පැත්තක් හොඳේ!) තිබුණු එකමත් එක පාසලක, එකම පන්තියේ හිටියා හොඳ යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් විනෝදන්, අනිත්කෙනා දයාලන්. විනෝදන් සිංහල, දයාලන් දෙමල.

මේ දෙන්නා අටේ පන්තියේ විතර ඉන්දැද්දී, ඉස්කෝලේ වර්ෂාවසාන විවිධප්‍රසංගයට මේ පන්තියෙන් නාට්‍යයක් ඉදිරිපත් කරන්න යෝජනාවුණා. පන්තිය භාර ගුරුවරයා මේ සඳහා තෝරාගත්තු කතන්දරේ තමයි එළාර-දුටුගැමුණු සීන් එක.

ඒ දවස්වල ඉඳලාම මේ "එළාර-දුටුගැමුණු සීන් එක" නැගලා යන කතන්දරයක්.

පස්සෙන් පහු නං මේ ගැන කොටස් හතරකින් යුතු කතාවක් පවා ලියවුණා.

1. දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!
2. දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල්
3. කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3
4. දුටුගැමුණු ලා ගේ වැඩ-කිඩ අවසාන වෙයි!

මේ කියන නාට්‍යයේ දුටුගැමුණු ගේ චරිතයට අටේ පන්තිය භාර ගුරුවරයා තෝරා ගත්තේ විනෝදන්වයි. එළාර චරිතය ලැබුනේ දයාලන්ටයි.

ඉතිං නාට්‍යය හදන්න ගිහින් වෙච්ච කතන්දරේ සින්දුවක් විදියට අපිට අහන්න පුළුවන් විනෝදන් ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන්.

මේ සින්දුව කතන්දරකාරයා බස් රේඩියෝ කතාබස් වැඩසටහන එක්ක කළ ඉන්ටර්වීව් එකේදී ප්‍රචාර වුණා. ඒ වෙලාවේ රේඩියෝ එක නොඅහපු අයටත්, ඇහැව්වට සින්දුව හරියට නොතේරුණ අයටත් ප්‍රයෝජනවත් වෙන්න කියල තමයි මේ පෝස්ට් එක දාන්නේ. අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් කතන්දරේ මේකයි.

පද රචනය: ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: ළමා ගායක තිසල් පාදුක්ක විදාන

මුලින්ම අපි ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ පදමාලාව කියවලා ඉඳිමු.

ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ

බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ

මුහුණ ට මුහුණත දීලා
පපුව ට පපුව ම දීලා
එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන් ට හතුරු වෙන්න බෑ

ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ

රංඩු කරන් තරහ වෙලා එක පේලියෙ හිටියා
හොරෙන් බලා දුක් වීලා හිතින් කඳුළු සැලුවා
වෛරයෙ විෂ බැන්දෙත් නෑ
පලි ගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නෑ
ලොකු සර් ල දන්නෙත් නෑ
මේ නාටකෙ රඟපානා
හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොලේ සෙල්ලම් කෙරුවා

ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණු යි යාළු කරමුකෝ


දැන් මෙන්න සින්දුව. මෙතනින් අහන්න පුළුවනි.


මෙතනින් බාගන්න පුළුවනි.
http://www.divshare.com/download/15651754-fcb

අහන්න පුළුවන් වුනාට, බාගන්න පුළුවන් වුනාට, වාද කරන්න නං මෙතන බෑ. ඒකට යන්න ප/ලි එකට.

-කතන්දරකාරයා

ප/ලි
මීට අවුරුදු 2200 කට විතර කලින් කෙරුණු ඒ එළාර දුටුගැමුණු යුද්ධය අද අපි එක එක්කෙනා තේරුම් ගන්නේ එක එක විදියටයි.

මං හිතන විදියට නං ඒ වීසා ඔන් ඇරයිවල් කාලේ වෙච්ච සිද්ධිය අද පවතින ජනවාර්ගික අර්බුදයට ගාවන එක නං තේරුමක් ඇති දෙයක් නෙමේ.

මොකද අද අපි දන්න ජනකොටස් නෙමේ එදා ලංකාවේ හිටියේ.

මේ සින්දුව ගැන මගේ අදහස කියනව නං, සින්දුවේ උඩින් පේන අර්ථය නෙමේ යටින් තියෙන්නේ. ළමයෙක් කියන කතාවක් නිසා ඉතිං අවුලක් නෑ.

කැමතිනං එකඟ වෙන්න, නැතිවුනත් එකඟ වෙන්න!


Tuesday, 15 December 2009

කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3



සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු ගැන කතන්දර කීපයක් තමා මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස අයි ඩෝන්ට් නෝ වයි ඔන්න මෙතනින් බලන්න. දෙවන කොටස වීසා ඔන් ඇරයිවල් ලියමින් ඉන්න වෙලේ කැම්පස් ඉන්න කාලෙ ලියපු කවියක් මතක් වුනා.

මෙන්න ඒක.

මවඃ
මිදුණු කඳුළැලි දෙනෙත වසාගෙන සිරවෙලා
නැමුණු හිස වකුටු වුනු සිරුර තුල සැඟවිලා
ගැමුණු ඔබ කිමද පුත නිදන්නේ ගුලිවෙලා
කියණු කිම කාරණා, කියනු නොම සඟවලා

පුතාඃ
එක පසෙක තුවක්කුය හිසට ඇත එල්ල කර
අනෙක් පස කැන්ටිමය කුසම ඇත මෙල්ල කර
අනෙක් පස ෆැකල්ටිය සිහිය ඇත විකල් කර
මා කෙලෙස නිදන්නද සුවෙන් අත පය දිගැර

ගියපාර දාපු දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2: වීසා ඔන් ඇරයිවල් කතාවෙදි මං කිව්ව නේද දුටුගැමුණු කොළු ගැටය කාලෙ තාත්ත එක්ක ඔරොප්පු වෙලා තාත්තව කිච කරන්න බ්‍රෙෂියර් පාර්සලයක් ඇරිය කියල.

මං දන්න තරමින් 1979 දී විතර, ලංකාවෙ මුල්ම කාටූන් චිත්‍රපටිය හැදුවෙ දුටුගැමුණු ගැනයි. අධ්‍යක්‍ෂණය කලේ ප්‍රියසාද් සහ අර්ථසාද් කියන දෙසොහොයුරෝ. හැබැයි ඒ ෆිල්ම් එක එක දවසෙන් ම තහනම් කළා ආණ්ඩුවෙන්. හේතුව ඔය තාත්තට බ්‍රෙෂියර් පාර්සලේ යවපු සීන් එක වගේ ඒව වෙන්න ඕනැ. කොහොම වුනත් දුටුගැමුණු ලොක්ක වගෙ කෙනෙක් ගැන කාටූන් චිත්‍රපටියක් හදන එක හොද නැහැයි කියලත් සමහරු හිතන්න ඇති.

දන්නව නේද? පහුගිය දවස්වල දුටුගැමුණු ගැන ෆීචර් ෆිල්ම් එකක් ම හදන්න පටන් ගත්තු බව. මේක අධ්‍යක්‍ෂණය කරන්නේ "දඬුබස්නාමානය", "අකාල සන්ධ්‍යා", "අග්නි දාහය" වගේ ඓතිහාසික පසුබිම ඇති නිර්මාණ ගොඩක් කරපු ජයන්ත චන්ද්‍රසිරි.

ඒ විත්‍රපටියෙ රඟපාන නිළියො ටික තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ!

එලාර ට ඉන්නෙ "අබා" හදපු ජැකා ලු.

බලමු මොනව වෙයි ද කියල!

දුටුගැමුණුල ගැන තව කතන්දරයක් තියෙනව. ලඟදීම ලියන්නං.

මෙන්න හතරවෙනි කොටස:

http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html

කතන්දරකාරයා -
දෙසැම්ර් 19 සාදයේ දී හමුවෙමු.

Thursday, 10 December 2009

දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල් - Visa on Arrival


සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු කතන්දර කීපයක් තමා මං මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස "අයි ඩෝන්ට් නෝ වයි?" බලන්න මෙතනින්. දන්නවනෙ, ඒ මුල්කොටස මං එඩිට් කළ බව ළමා කෂ්ටියගෙ සිත් සතුටු කරන්න.

දුටුගැමුණු රජතුමා තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම් කියල මං කිව්වනේ. ඒකට හේතුව පොර ගැන අපිට කියල දීල තියෙන, තාමත් අපේ මතකයේ තියෙන කතන්දරයි.

ඕනැම කතන්දරකාරයෙක් කියන්නෙ තමන්ට කියන්න අවශ්‍ය, තමන් කැමති කතන්දර, තමන්ට ඕනැ විදියටයි. එදත් එහෙමයි. අදත් එහෙමයි.

දීපවංස, මහාවංස, චූලවංශ ඔය කොයි කොයි වංසෙ අය වුනත් කතන්දරකාරයෝ කතන්දරකාරයෝ ම යි.

මෙතනදි අපි මතක තියාගන්න ඕනැ දෙයක් තමයි කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන. ඇත්තම කියනව නං මං ඔය කියමන මුලින්ම ඇහැව්වෙ ළමා කාලෙදි අපේ ආච්චිගෙන්. මසුරං කතාව. හැබැයි අර එඩ්වඩ් ජයකොඩි කියනවා වගේ "හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා"!

මං මේ කතන්දරේ මුල් කොටසින් කිව්ව වගෙ අපි නොදැනුවත්වම අමතක කරන සත්‍යයක් තමයි දුටුගැමුණු ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2200 කට විතර ඉස්සරයි කියන එක. ඒ දවස්වල සමාජ දේශපාලනික තත්වය අදින් කොච්චර වෙනස්ද? අද තියෙන සංයුතියේ සිංහල ජනකොටසක් වත් අද ලංකාවෙ කතා කෙරෙන සිංහල භාෂාවක්වත් එදා තිබුණ කියල හිතන එක විහිළුවක්.

ඒ දවස්වල ලංකාව නිකං කටුනායක වගේ. ඔන්න විජය ල එනව, ඊලඟට පඬුවස්දෙව් ල එනව, බද්දකච්ඡායනා ල එනව, පස්සෙ මිහිඳු ල එනව, සංඝමිත්ත ල එනව. හරියට අද සුද්දො, යුරෝපාකාරයො, ඕස්ටේ්‍රලියන්කාරයො, ඇමරිකානුවො ලංකාවට එනව වගේ.

වීසා ඔන් ඇරයිවල්.

ඇත්තටම කියනව නං වීසා තියා "පාස්පෝට්" වත් නෑ. කෙලින්ම ගොඩ බහිනව. සමහර විට "පූස්-පාට්" එකෙන්. සමහර විට "රැස්පොට්" එකෙන්. නමුත් බොහෝ විට "බයි-ෆෝස්" එකෙන්.

මේ කෂ්ටිය ආවෙ මුළුමනින්ම ඉන්දියාවෙන් බව කියන්න ඕනැ නෑනෙ. ඉන්දියාවෙත්, ඒ කියන්නෙ ඒ දවස්වල තිබුනු ජම්බුද්වීපයෙත්, එදා සමාජ දේශපාලන තත්වය අද වගේ නෙමේනෙ. කොහොමටත් ඉන්දියාව විවිධ ජනවාර්ගික කොටස් ඉන්න රටක්. වීසා ඔන් ඇරයිවල් අරගෙන ජම්බුද්වීපයෙ ඉඳල ලංකාද්වීපයට ගොඩබැස්ස විවිධ කොටස් සමහර විට මව් රටේ ඉඳිද්දිම වලි දාගත්තු වලියට බර අය වෙන්න ඕනැ.

ඇයි ඒ මදිවට මෙහෙ හිටපු කෂ්ටිය. සුමන සමන් ල වගෙ උපාසක පොරවල් හිටිය තමා. නමුත් චුලෝදර ල, මහෝදර ල, මණිරක්ඛිත ල වැනි අති බහුතරය කවදත් වලියට බර පොරවල් නේ.

ඒ දවස්වල වලියක් ආවොත් ඔස්ලෝ යන්නෙ නෑ. කෙලින්ම කඩු ෆයිට් තමා.

ඉතිං මට හිතෙන හැටියට වෙන්න ඇත්තෙ මේකයි. විජය ඉන්දියාවෙන් ඇවිල්ල කුවේණිව ඩබල් ක්‍රොස් කරල රටෙන් කොටසක් අල්ලගත්ත. එදා ඉඳල කවදත් එහෙං මෙහෙං වලි තිබුණ රටේ එක එක පැති පාලනය කරපු අය අතර. සුභ සහ යස කොමඩියෙන් පස්සෙ සේන ල ගුත්තික ල වීසා ඔන් ඇරයිවල් අරං ලංකාව ට ඇවිත් රටේ රජකමට සෙට්වුනා.

අවුලක් නෑ, විජය ල, පඬුවස්දෙව් ල ත් කළේ එහෙමනෙ.

ටික කාළෙකට පස්සෙ එලාර සීන් එකට එන්ටර් වෙලා දැහැමෙන් සෙමෙන් ඒ පැත්ත පාලනේ කරන්න පටන්ගත්ත. එලාර රටේ අනෙකුත් පලාත්, ඒ කියන්නෙ, කැලණිතිස්ස ල ගෙ කැලණිය යි, කාවන්තිස්ස ල ගෙ මාගම යි යටත් කරගන්න හැදුවයි කියල නං මං අහල නෑ. කෂ්ටිය සාමකාමී සහජීවනයෙන් ද මොකක්ද එකෙන් ඉන්න ඇති.

අම්මගෙ පැත්තෙන් සීයයි, තමන්ගෙ තාත්තයි තම තමන්ගෙ පාඩුවෙ රජ කරගෙන හිටියට අපේ ගැමුණු කොල්ල පොඩිකාලෙ ඉඳලම ඒකට කැමති වුනේ නෑ.

දන්නවනෙ තාත්තට බ්‍රෙෂියර් යවපු කතාව?

අන්තිමේදි කොහොම හරි පොර ඉස්සෙල්ල රජවෙලා පස්සෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය එක් රැස්කරගෙන විජිතපුරය වට කළා. බර අවි යොදා ගෙන සම්ප්‍රදායානුකූල යුද්ධයක් කළොත් සිවිලියන් කැෂුවලිටීස් වැඩි වෙන නිසා එලාරයි දුටුගැමුණුයි ද්වන්ධ සටනක් කරල වැඩේ අවසානයක් කලා.

නමුත් එලාරව පරදල මුළු රටම අල්ලගත්ත කියල වීසා ඔන් ඇරයිවල් වැඩේ නැවතුනේ නෑ. චෝරනාග, මහානාග ල, නිශ්ශංකමලල ල, කන්දසාමි ල විතරයැ ලොරෙන්සෝ ද අල්මේද ල, වී.ඕ.සී ල, ජුසේ වාස් ල, ටොරිංටන් ල,.. ... ...

බුදු අම්මෝ ලැයිස්තුවෙ දිග.

අනික ඔය ආපු අය ආවෙ ට්‍රෑන්ගල් එකයි, බීච් එකයි බලල තැඹිලි ගෙඩියක් බීල ආපහු යන්න නෙමේ.

වීසා ඔන් ඇරයිවල් විතරක්යැ, ඒ දවස්වල ආපු ගමන් ග්‍රීන් කාඩ් එකත් දෙනව!

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ!

දුටුගැමුණු ල ගෙ වැඩ කිඩ ගැන තව කතන්දරයක් දෙකක් තියෙනව. ඒවත් ලඟදීම ලියන්නං.

මෙන්න තුන්වෙනි කොටස:
http://kathandara.blogspot.com/2009/12/3.html

කතන්දරකාරයා

- December 19 සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.
http://groups.google.com/group/sinhala-bloggers

Monday, 30 November 2009

දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!


මේ කතන්දරේ සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ එකක්. ඔන්න අද තමයි ලියවුනේ!

දුටුගැමුණු "රජ්ජුරුවෝ" තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං "එතුමා" [පොර] ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ.

ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් "එතුමා" [පොර] ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් "එතුමා" [පොර] ගැනම විතරක් නෙමේ. කැළණිතිස්ස ල, ගෝටයිම්බර ල ත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවටම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු "රජ්ජුරුවන්" ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලිය කාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇතිවුනු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුනනේ.

තමන් ගෙ තාත්ත එලාර ට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊලඟ ට, ඌව වෙල්ලස්ස යි මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුනෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කලා. අපේ ලව් සික් කාරයෝ සාලිය වීරයෙක් විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල. කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුනෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුනනෙ, අද වගෙයැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ - අයි ඩෝන්ට් නෝ වයි!

දුටුගැමුණු "රජ්ජුරුවො" සහ "එතුමා" ගෙ [පොර ගෙ] පවුලෙ කෂ්ටිය ගැන තව කතන්දර කීපයක් ම තියෙනව. ඒව ලඟදීම ලියන්නං.

දෙවෙනි කොටස මෙන්න.
http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

-කතන්දරකාරයා