ඔන්න එකමත් එක කාලෙක (දැන් අවුරුදු ගණනාවක කලින්), එකමත් එක රටක (කොළඹ ට නුදුරු පැත්තක් හොඳේ!) තිබුණු එකමත් එක පාසලක, එකම පන්තියේ හිටියා හොඳ යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් විනෝදන්, අනිත්කෙනා දයාලන්. විනෝදන් සිංහල, දයාලන් දෙමල.
මේ දෙන්නා අටේ පන්තියේ විතර ඉන්දැද්දී, ඉස්කෝලේ වර්ෂාවසාන විවිධප්‍රසංගයට මේ පන්තියෙන් නාට්‍යයක් ඉදිරිපත් කරන්න යෝජනාවුණා. පන්තිය භාර ගුරුවරයා මේ සඳහා තෝරාගත්තු කතන්දරේ තමයි එළාර-දුටුගැමුණු සීන් එක.
ඒ දවස්වල ඉඳලාම මේ "එළාර-දුටුගැමුණු සීන් එක" නැගලා යන කතන්දරයක්.
පස්සෙන් පහු නං මේ ගැන කොටස් හතරකින් යුතු කතාවක් පවා ලියවුණා.
1. දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!
2. දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල්
3. කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3
4. දුටුගැමුණු ලා ගේ වැඩ-කිඩ අවසාන වෙයි!
මේ කියන නාට්‍යයේ දුටුගැමුණු ගේ චරිතයට අටේ පන්තිය භාර ගුරුවරයා තෝරා ගත්තේ විනෝදන්වයි. එළාර චරිතය ලැබුනේ දයාලන්ටයි.
ඉතිං නාට්‍යය හදන්න ගිහින් වෙච්ච කතන්දරේ සින්දුවක් විදියට අපිට අහන්න පුළුවන් විනෝදන් ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන්.
මේ සින්දුව කතන්දරකාරයා බස් රේඩියෝ කතාබස් වැඩසටහන එක්ක කළ ඉන්ටර්වීව් එකේදී ප්‍රචාර වුණා. ඒ වෙලාවේ රේඩියෝ එක නොඅහපු අයටත්, ඇහැව්වට සින්දුව හරියට නොතේරුණ අයටත් ප්‍රයෝජනවත් වෙන්න කියල තමයි මේ පෝස්ට් එක දාන්නේ. අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් කතන්දරේ මේකයි.
පද රචනය: ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: ළමා ගායක තිසල් පාදුක්ක විදාන
මුලින්ම අපි ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ පදමාලාව කියවලා ඉඳිමු.
ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ
තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ
මුහුණ ට මුහුණත දීලා
පපුව ට පපුව ම දීලා
එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන් ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
රංඩු කරන් තරහ වෙලා එක පේලියෙ හිටියා
හොරෙන් බලා දුක් වීලා හිතින් කඳුළු සැලුවා
වෛරයෙ විෂ බැන්දෙත් නෑ
පලි ගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නෑ
ලොකු සර් ල දන්නෙත් නෑ
මේ නාටකෙ රඟපානා
හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොලේ සෙල්ලම් කෙරුවා
ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණු යි යාළු කරමුකෝ
දැන් මෙන්න සින්දුව. මෙතනින් අහන්න පුළුවනි.
මෙතනින් බාගන්න පුළුවනි.
http://www.divshare.com/download/15651754-fcb
අහන්න පුළුවන් වුනාට, බාගන්න පුළුවන් වුනාට, වාද කරන්න නං මෙතන බෑ. ඒකට යන්න ප/ලි එකට.
-කතන්දරකාරයා
ප/ලි
මීට අවුරුදු 2200 කට විතර කලින් කෙරුණු ඒ එළාර දුටුගැමුණු යුද්ධය අද අපි එක එක්කෙනා තේරුම් ගන්නේ එක එක විදියටයි.
මං හිතන විදියට නං ඒ වීසා ඔන් ඇරයිවල් කාලේ වෙච්ච සිද්ධිය අද පවතින ජනවාර්ගික අර්බුදයට ගාවන එක නං තේරුමක් ඇති දෙයක් නෙමේ.
මොකද අද අපි දන්න ජනකොටස් නෙමේ එදා ලංකාවේ හිටියේ.
මේ සින්දුව ගැන මගේ අදහස කියනව නං, සින්දුවේ උඩින් පේන අර්ථය නෙමේ යටින් තියෙන්නේ. ළමයෙක් කියන කතාවක් නිසා ඉතිං අවුලක් නෑ.
කැමතිනං එකඟ වෙන්න, නැතිවුනත් එකඟ වෙන්න!


