Friday, November 6, 2009

යුනිකෝ සහ මේඝ - අපේ කාලයේ වීරයෝ


මං පොඩි කාලෙ අපේ වයසෙ කොල්ලන් ගෙ වීරයො හිටියෙ ටෙලිවිෂන් එකේ නෙමේ චිත්‍රකතා පත්තර වලයි. ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබුණු සතුට කියන චිත්‍රකතා පත්තරේ අපේ කාලේ වීරයෝ දෙන්නෙක් තමා යුනිකෝ සහ මේඝ කියන චිත්‍ර කතා චරිත දෙක.

යුනිකෝ කියන්නෙ බැට් මෑන් වගේ ඇස් දෙක වහගත්ත, ආදි යුරෝපීය යුගයකට අයිති චරිතයක්. කෑවෙ මස් පුච්චලා. සටන් කළේ කෘර රජවරුන්, නපුරු සෙනෙවියන් එක්ක. නමුත් මිනිහ සේරම කලේ මසල් පවර් එකෙන්. කඩු ෆයිට් කෝටියයි. කොහොම හරි කුමාරි ව බේරගන්නව අන්තිමේදි.

මේඝ කියන්නෙ ටාසන් වගේ කැලෑවක ඉන්න වීරයෙක්. හැබැයි තනිකරම දේශීය චරිතයක්. කෑවෙ පලතුරු තමා බොහෝ විට. සටන් කළේ කෑලේ වනසන්න එන අය එක්ක. පොදුවේ දුෂ්ඨයො එක්ක. බාහු බලේ තමයි නැවතත්. රූමතියෙක් දෙන්නෙක් බේර ගන්න එකත් රූටින්ලි කළා.

ඔය දවස්වල මං හතේ පන්තියෙ විතර හිටියෙ ලොකු ඉස්කෝලෙ. අපේ පන්තියෙ හිටිය උසට මහතට කැපිල පේන කොල්ලො දෙන්නෙක්. එකෙක් සුනිල්. අනිකා පියතිලක. මේ දෙන්නම එකම ගමේ එක ලඟ ගෙවල් දෙකක ඉඳලයි ඉස්කෝලෙ ආවෙ. සුනිල් ගෙ තාත්ත පුද්ගලික සමාගමක කල ජොබ් එකමයි පියතිලක ගෙ තාත්ත ආණ්ඩුවෙ සංස්ථාවක කලේ. පවුල් දෙක හිතවත්. ඒ හින්දද කොහෙද මුලිං යාළුවො වුනු මුං දෙන්න අතර මේ වෙන කොට ඇතිවෙලා තිබුණ ටිකක් නෙමේ සෑහෙන්න තරහක්.

සුනිලුයි, පියතිලකයි දෙන්නම අපේ පන්තියෙ අනිත් කොල්ලො එක්ක ගත්තහම නිකං යෝධයො වගේ. උසින් මහතින් දෙකෙන් ම. ඉතිං ටික දවසකින් ම මුං දෙන්නට නම් දෙකක් පට බැඳුණ.

සුනිල් තමා යුනිකෝ. පියතිලක මේඝ.

වෙන සරදම් නම් වලට වගේ නෙමේ, යුනිකෝ, මේඝ වගේ වීරයින් ගෙ නම් වලට කවුද අකමැති වෙන්නේ.

ඒ විතරක් නෙමේ පන්තියෙ හිටපු කොල්ලො කීප දෙනෙක් නීරෝ සහ මේඝ වටේ කල්ලි ගැහුණ.

චිත්‍රකතාවෙ යුනිකෝ ගෙ හොඳම යාළුවා ගෙ නම ඔමෙගා. සුනිල් ගෙ හොඳම සගයා තමන් ට ඒ නම දා ගත්ත.

කැලේ හිටිය මේඝ ගෙ යාළුවො සේරම අලි, කොටි, වඳුරො වගේ වන සත්තු. ඒ නිසා, අපේ පන්තියෙ මේඝ ගෙ පිලේ උන්ට වෙනත් නම් තිබුනෙ නෑ.

කාලය ගෙවී ගියා. අපි ඉස්කොලෙන් විසිරිලා ගියා ඕ ලෙවල් වලින් පස්සෙ. ඔහොම කාලයක් ගතවෙලා, අවුරුදු හතකට පස්සෙ මට සුනිල් ව යි, පියතිලක ව යි දෙන්නව වෙන වෙනම හම්බ වුනා අහම්බෙන් වගේ.

එදා හයේ පන්තියෙ දි උස මහතට හිටපු, යුනිකෝ සහ මේඝ කියන වීරයින් ගෙ නම් වලින් හැඳින්වුනු වීරයො දෙන්න, අනේ අවුරුදු නමයකට පස්සෙ බැලින්නම් අඩි පහේ මිට්ටො දෙන්නෙක් විතරයි.

දෙන්නම මා එක්ක කතා කලේ ඔළු උඩට උස්සගෙන. මට තේරුණේ මං උං දෙන්නට වැඩිය අඩියක් විතර උසයි කියල. ඒ කෙසේ වෙතත් මං දෙන්නටම වැඩිය අඟල් අටක් විතර උසයි.

සුනිල් ගෙ යි, පියතිලක ගෙ යි ශරීර වර්ධනය නමයේ පන්තියෙන් නැවතිලා වගේ. උං දෙන්න එදා යෝධයෝ අද කුරුමිට්ටෝ.

එදා කුරුමිට්ටා, මං, අද යෝධයෙක් වෙලා.

අනේ පව් යුනිකෝ!

අනේ පව් මේඝ!!

අපේ කාලයේ වීරයන් කී දෙනෙකුට ඕක උනාද? ශාරීරීකව විතරක් ම නෙමේ!

ඉස්සර සමහර සිංහයෝ දැන් හුරතල් බැටළු පැටවු වෙලා ඔය ඉන්නෙ.

කතන්දරකාරයා

13 comments:

ඩෝසන් said...

කතාව ඇත්තටම මට මතක් කලේ ඒ කාලේ සිත්තර පත්තරේ හිටිය යුනිකෝ ගැන. මට මතක එහෙමයි. කොහොම වුනත් මගේ වීරයො වුනෙත් යුනිකෝ සහ ටෝගා. පස්සේ ආවා සුහද කියල පත්තරයක් ඒකේ කතාවක චරිතයක් තිබ්බා ලිට්මස් කියලා ඒ කතාව අභ්‍යවකාශ කතාවක් වගෙයි මට මතක. මම ඒකටත් කැමතියි. ගෙදර අක්කයි අම්මයි ආසාවෙන් කියවන්නේ මධුගේ ඉතිං ඊට පස්සේ. දැං ඔය ටීවී වලට ඇබ්බැහි වෙලා එක එක දෙපැයවල් බලනකොට ඒ කාලේ ගෙවල් වල ඉඳපු අය මෙහෙම අහිංසක විදියට චිත්‍රකතා කියවන්න ඇති.

මම අකුරු කියවන්න ඉගෙන ගත්තේ ඉස්කෝලෙ යන්න අවුරුද්දකට නැත්නම් දෙකකට විතර කලින්ම මොකද මේ කතා අක්කා ලව්වා කියව ගන්න ගියාම එයාගේ කැමතිම කතා කියවල ඉවර වෙලා මගේ කතා කියවන නිසා ඇති වෙච්ච තරහට.

මම කියවන්න යොමු වුනේ චිත්‍රකතා නිසාමයි... මට ඒ දවස්වල ලීයෙන් හදාපු කඩු කොටයක් තිබ්බා මතකයි යුනිකෝ වගේ කඩු සටන් කරන්න.

ඒත් ඇස් කඩදාසියෙන් වැහුවම මට මොකුත් පෙනුනේ නැහැ.

Jagath J said...

ශ‍්‍රී ලංිකාදීප පත්තරේ සරත් බැද්දගේ කියලා ඇඳපු චිත‍්‍රශිල්පියා සතුට පත්තරේට ආවෙ සරත්මධු වෙලා. සරත්මධු සතුට පත්තරේට ඇන්දෙ නිව් රෝ කියලා කතාවක්. එයත් අර යුනිකෝ වගේම යෝධ වීරයෙක්. මං ඒ කාලෙ එය කතාව සතිපතා එකතු කරලා පොතක අලවාගෙන හිටියා. දවසක් පන්තියේ දඩබ්බරයෙක් මගෙන් ඒ පොත උදුරාගෙන ගියා. ආයෙ මට ඒ පොත ලැබුණෙ නම් නැහැ.

නිව්රෝලගෙ යුනිකෝලගෙ මේඝලගේ කතා වල හරයක් තිබ්බෙ නැති වුණත් අපි කියවන්න පුරුදු වුණේ ඒව නිසා තමයි.

Prabath said...

මං පොඩි කාලේ අපේ ගෙදරට චිත්රකකතා පත්තර ගේන එක තාත්තා තහනම් කරලයි තිබ්බේ. ඒත් චිත්රනකතා පත්තර සුලබ වෙච්චි ඒ කාලේ ගෙදරට ගේන සීනි‍, එලවලු ඔතල තිබ්බ ගොටු වල තිබුනේ චිත්ර‍කතා පත්තර.

මම ඒවයින් දැකලා තියෙනවා යුනිකෝ, ටෝගා .... මං තාත්තට හොරෙන් ඒවා එකතුකලා දැන් කොහේද දන්නේ නෑ.

malee_msg said...

දැන් චිත්‍ර කථා පත්තර නෑ නේද? මං දැකලා නැහැ.. හැබැයි මං මේපාර පොත් ‍ප්‍රදර්ශණයෙන් ගජමෑන් කාටුන් පොත අරන් ආවා.. ඒක නම් මරු. මං හිතන්නේ ඒවා ඉස්සර පත්තර වල ගියපු ඒවා.

කතන්දර කාරයා said...

ජගත් ගෙත්, ඩෝසන් ගේත් දෙන්නාගේම මතකය මට වඩා හොඳයි.

මේ කතාව මං අද උදේ බ්ලොග් එකට දාන්න කලින් කියවන කොට ඒකෙ යුනිකෝ සහ නීරෝ කියන නම් දෙකම තිබුනා. මං යුනිකෝ තෝරා ගත්තා. මේඝ නං හිටියේ සතුට පත්තරේ. ඇන්දේ අනුර විජේවර්ධන.

ඩෝසන් - ලිට්මස් හිටිය කතාව ගියේත් සිත්තර පත්තරේ ම යි නේද? ලිට්මස් ගේ කෙල්ල ලෝකාධිපති කොෆර් ගෙ දුව සල්ෆා.

ක.කා.

කතන්දර කාරයා said...

Malee,

You dont know what you are missing out!

-KK

The Chinthaka said...

ඩෝසන් කිව්ව හරි. යුනිකෝ හිටියෙ සිත්තර පත්තරේ. ඊට පස්සෙ සත්සිරි පත්තරේටත් ගියා වගේ මතකයි.
වීර කතා නොවුණත් සතුට පත්තරේ ගිය 'කරාටේ සහ හුලං' සිත්තරේ 'ගජමෑන්' මතක හිටින චිත්‍රකතා.
ඒ කාලෙ චිත්‍රකතා කියවපු පුරුද්දටද කොහෙද දැනුත් පත්තරේ ගත්ත ගමන් කියවන්නෙ අන්තිම පිටුවෙ චිත්‍රකතාව.

Anjana Jayaweera said...

මම නම් එහෙමට කියලා කියවලා තියෙන්නේ විජය පත්තරේ තිබ්බ "මල් මාමා පෙනී සිටින යකාගේ මලක්" තමා....

පොඩි එකානේ මං.... :D

Dawson said...

මට මේ ලිට්මස් ගැන ඒ තරම් මතක නැහැ නේ? කො‍හොම වුනත් ඒ දවස්වල කවුබෝයි කතා එහෙමත් හරිම ජනප්‍රියයි. මට මතකයි හුඟක් ප්‍රසිද්ධ චිත්‍රපටිවල කතා පවා මේ අය හරිම ලස්සනට චිත්‍රයට නගලා තිබ්බා. එහෙම චිත්‍රශිල්පියෙක් ගෙ නම අදටත් මට මතකයි 'ඇන්ටන්' කියලා. දැං ඇන්ටන්ට වයසත් ඇති ඒත් කවදාවත් මම එයා ගැන අහලා නැහැ මෑතක දී නම්. ළඟදි පත්තර වල පළ වුනා පැරණි චිත්‍ර කතා ශිල්පීන් නැවත එකතු වෙලා පොත් දහයක් පළ කරන්නට යන බවත් එම සංගමයේ ප්‍රධානියා දයා රාජපක්ෂ බවත්.

මම ගොඩක් ආසාවෙන් ඉන්නවා ඒ පොත් ගන්නට. 1976 වගේ මට මතක ඉස්සෙල්ලම සිත්තර පත්‍තරේ වෙළඳ පොලට ආවේ. අපේ තාත්තා චිත්‍රකතාවලට ඇබ්බැහි වෙලා හිටිය කියල දැං හිතෙනවා මොකද අසූගණන් වල මුල් කාලය දක්වාම සියළුම සිත්තර පත්තර අපේ ගෙදර එකතු කරල තිබ්බා මට මතකයි. පස්සේ චිත්‍ර ඉගෙන ගන්න ආව තරුණයෙක් [එයා තමයි මටත් කොටු ඇඳලා ලොකු කරල චිත්‍ර අඳින්න පුරුදු කළේ] ඉල්ලං ගියා එයා‍‍ට ඒව අධ්‍යයනය කරන්න ඕනය කියල වගේ මොකක් හරි වැදගත් හේතුවක් කියලා පස්සේ ඒවා අපට ආයෙම ලැබුණෙ නැහැ.

මම කැමතියි පරණ සිත්තර පත්තර කාගේ හරි ගාව එකතුවක් තියේ නම් සාධාරණ මුදලක් ගෙවා ඒවා මිළදී ගන්න. කවුරු හරි ඉන්නව නම් මට දන්වන්න කාරුණික වෙන්නය කියල ඉල්ලීමක් කරන්න මෙය අවස්ථාව කරගන්න කැමතියි.

dawsonpree@gmail.com

Dawson said...

තව එකක් මට මතක් වුනා.

ඉස්සර ගොඩක් ජනප්‍රිය සඟරාවක් තිබ්බා ශ්‍රී කියලා. ඒකෙත් අවසන් පිටු කීපය වෙන් කරලා තිබ්බේ චිත්‍රකතාවකට. බො‍හෝ අවස්ථාවල ඒ කතාව අභිරහසක් ගවේෂණය කරන ආකාරය ලියැවී ඇඳී තිබුනා. හොල්මන් අවතාර ගැනත් තිබ්බා වගේ මතකයි.

පරණ පත්තර සහ පොත් බෑග් අලවන්න ගන්නවා ඒ දවස් වල අපේ තාත්තා. ඒ විදියට මහ විශාල ශ්‍රී සඟරා තොගයක් මට මතකයි මිළදී ගත් අවස්ථාවක ඒවා කියවීම සඳහා අක්කයි මමයි හංග ගත්තා. මට මතකයි ඒ හරියටම 1983 දී.

සචී said...

අපේ තාත්තට පිං සිද්ධ වෙන්න මටත් කියවන්න හුරු වුණේ චිත්‍ර කතා පත්තර වලින් තමයි.....මට ඒ දවස් වල අවුරුදු 4-5 ක් ඇති....තාත්තා අපරාදෙ කියන්න බෑ සතුට පත්තරෙයි සිත්තර පත්තරෙයි අරන් දුන්නා කියවන්න......ටෝගා, යුනිකෝ, ස්පාටකස්, ලිට්මස් සහ සල්ෆා, තරංග-කල්පනා, දේදුනු-කැලුම්.....ඒ කාලෙ චරිත නෙ.....අපේ ළමයින්ට මේවා කියවන්න නැති එක නම් ඇත්තෙන්ම කණගාටුවට කාරණයක්.....

කතන්දර කාරයා said...

චිත්‍රකතා පත්තර රජ කළ කාලේ හැඳුණු වැඩුණු අපි හුඟ දෙනෙක් මේ කතන්දරෙන් අපේ අතීතකාමය පසුරා ගත්තු බව පේනවා.

චිත්‍ර කතා පත්තර වල් වෙලා ගියේ රූපවාහිනියටත් වඩා අර කුණුහරුප කතා පත්තර (සිනා - වගේ) කියලයි මට හිතෙන්නේ.

ඒ මොනවා උනත් මං මේ කතාවෙන් අදහස් කළේ - අපේ කාලේ වීරයෝ - අද කාලේ කුරුමිට්ටෝ වුනු එක මතක් කරන්නයි.

KK

Anonymous said...

Toga thamai Es (eyes) wahagena hitiye... Magodis thuma kiyala ekakuth thibba neda??

Post a Comment