Showing posts with label පස්තාච්චි කුපාඩි. Show all posts
Showing posts with label පස්තාච්චි කුපාඩි. Show all posts

Monday, 17 October 2011

තායිලන්තයේ සිට අගුණකොළපැලැස්ස දක්වා - From Thailand with love


කාලෙකට ඉස්සර කතන්දර හාමිනේ යි, මායි ගියා ඉන්දියාට පොඩි පහේ ට්‍රිප් එකක්. මං අර බැංකුකාරයෝ ලෝක අමාරුකාරයෝ කතන්දරේ ලිව්වේ ඒ ට්‍රිප් එකට ලේස්ති වෙන කාලේ වෙච්ච බැංකු අකලංචියක් ගැණයි.

රට යනකොට බැංකු යන්නේ ඩොලර් ගන්නනේ. ඉතිං අපි ඩොලර් අරං ගිහින් එහේදී ඉන්දියානු රුපියල්වලට මාරු කළා.

ඒකෙනුත් ඉතිං බැංකුකාරයින් ට තමයි වාසිය. කෙලින්ම ඉන්දියන් රුපියල් අරං ගියා නං බැංකු කොමිෂන් ගෙවන්න වෙන්නේ එකපාරයි.

ඒ දවස්වල ඉන්දියන් රුපියලක් ලංකාවේ රුපියල් එකයි පනහක් වගේ මට මතක හැටියට. ඉතිං අපි දෙන්නා ඉන්දියන් සාරි, විසිතුරු බඩු ගන්න හිතෙන හැම පාරම කෙරුවේ උන් ගේ මිල එකහමාරෙන් බෙදලා බලන එකයි. එතකොට විතරයි අපේ හිතෙන් මිල ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.

ඉන්දියාවේදීත් එහෙම නම් ලංකාවේ රුපියලට වඩා මුදලේ වටිනාකම සෑහෙන්න වැඩි බටහිර රටකට ගියොත් අනිවා ඩෙෆා රුපියල් ෂොක් එක එනවා. ඒ කියන්නේ ඒ රටේ බඩුවල මිල, සීයෙන්, දෙසීයෙන් වැඩි කළාම, අපිට කලන්තේ දානවා.

ඕකේ අනිත් පැත්තට තමයි සුද්දෝ ලංකාවට ආපුවාම. උන්ට නං නිකං සුද්දෝ වගේ වියදම් කරන්න පුළුවනි!

පස්තාච්චි කුපාඩි වැඩේට අපි තායිලන්තේ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනයට ගිය කාලෙත් ඔය රුපියල් ෂොක් එක ටිකක් විතර ආවා. ඒකෙන් ගැලවෙන්න ලැබුනේ එහෙමත් දෙයකදී තමයි. එවායින් ලොකුම දේ ලංකාවට ලියුම් යැවීම.

එහේ ඉදං ලංකාවට එයාමේල් ලියුමක් යවන්න ඒ කාලේ ලංකාවෙන් එහාට යවන ගානට වඩා සල්ලි යනවා. කොහොමටත් ලංකාවෙන් පිට ගිහින් ඉන්න කොට හෝම්සික්නස් එන නිසා මුලදී නිතරම ලියුම් යවන්න ඕනෑ වෙනවනේ!

එහේ යද්දීම අපිට ලැබුණු උපදේශයක් තමයි ලංකාවේ තැපැල් මුද්දර ටිකක් අරං යන්නය කියන එක. ඒකට හේතුව තමයි, නිතරම ලංකාවට යන අය ඉන්න නිසා ඒ අය අතේ ලියුං එවන්න පුළුවන් වීම ලංකාවේදී තැපැල් කරන්න.

සාමාන්‍යයෙන් කවුරු හරි ලංකාවට යනකොට අපි හැමෝම කරන්නේ ලියුං ලියලා, කවරවල දාලා ලංකාවෙන් ගෙනත් තියෙන මුද්දර ගහල ඒ යන අයට දෙන එක.

වියදමත් අඩුයි, අනික දවස් දෙක තුනකින් ලියුම ලංකාවේ ලිපිනයට ලැබෙනවා.

හැබැයි ඉතිං ඒ විදියට ලියුං යවලා මං දැන් තායිලන්තේ ඉන්නේ කියලා අපි ලියන කතාව විශ්වාස කරවන්න තමයි ටිකක් අමාරු.

ඔන්න ඉතිං අපේ පොරක් දවසක් ලියුමක් ලියලා එදා ලංකාවට යන පුද්ගලයාට දෙන්න ගියා. පොර යනකොට, මෑන් එයාපෝට් යන්න පිටත්වෙලා. ඉතිං මොකෝ කරන්නේ? මේ ලියුමත් හදිස්සි එකක්. කැම්පස් එක ඇතුලේම තියෙන පෝස්ට් ඔෆිස් එකට ගිහින් සල්ලි සල්ලි කියා නොබලා තායි මුද්දර ගහලා තැපැල් කළා!

දැන් ඉතිං පොර ලියුමට උත්තරයක් එනකං බලං ඉන්නවා.

ටික දවසකට පස්සේ දවසක තමන් ගේ ලියුං පෙට්ටිය බැලින්නම් මෙන්න අර තැපැල් කරපු ලියුම ආපහු ඇවිත්. උඩින් ගහලා තියෙනවා මෙන්න මෙහෙම.

COUNTRY NOT FOUND

පොර බැලුවා ලිපිනය.

S.P.B. Raja
125, Main Street
Angunakolapelessa

අහන්නත් දෙයක් යෑ? අගුණකොලපැලැස්සට යන ප්ලේන් එකක් හොයා ගන්න බැරිවෙන්නැති මේ ලියුම එයාමේල් එකේ යවන්න.

-කතන්දරකාරයා

ප/ලි:
හෆොයි ප/ලිය දාන්න අමතක වෙලා, දැනුයි නේ දැක්කේ. ස්තුතියි කැන්ඩියන්.

(image: http://www.flickr.com/photos/22955235@N00/440453309/sizes/o/in/photostream/)