Saturday 16 October 2010

දේශප්‍රිය පිටරට පනී!


දැං ටික කාලෙකට කලින් මං කියෙව්වා අපූරු කෙටිකතා පොතක්. ඒකෙ නම "තිරස තරණ".

මේ පොතයි, ඒකෙ තිබුණු කෙටිකතායි මට හොඳට අල්ලලා ගිය හින්දයි මේ ගැන කතන්දර බ්ලොග් එකේ ලියන්න හිතුනෙ.

තිරස තරණ පොත අපි සාමාන්‍යයෙන් බලල තියෙන කෙටිකතා පොතකට වඩා වෙනස් එකක්. ඒ කාරණා කීපයක් ම නිසා.

මුලින්ම මේකෙ තියෙන කෙටිකතා පහළොවම ලියවිලා තියෙන්නේ එක ලේඛකයෙක් නෙමේ පහළොස් දෙනෙක්. ඒ අය සියළු දෙනාම උපන් රටෙන් පැනල මේ වෙන කොට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අයයි. ඒ මදිවට මේ කතා සේරටම පදනම් වෙලා තියෙන්නේ තමන්ගේ ම ජීවිත අත්දැකීම්. ඒ කියන්නේ මේ පොතේ තීම් එක තමයි ඕස්ට්‍රේලියානු සිංහල සංක්‍රමණික අත්දැකීම්.

ලංකාවේ ඉඳල පිටරට ගිහින් එන අයත් විවිධ නවකතා ලියනව. මේ පාර සාහිත්‍ය සම්මානයක් ලැබුණු සුමිත්‍රා රාහුබද්ද ගේ කන්දක් සේමා නවකතාවත් ඒ වගේ එකක් නේ. එහෙම වුනාට ඒව බොහෝ විට ද්විතියික මූලාශ්‍ර මත ලියවුණු ඒවා නේ. ප්‍රාථමික මූලාශ්‍ර මත කතා ලිව්වොත් ඒවා නිකං සංචාර සටහන් විතරයි.

ඒ අනුව බලන කොට පිටරට ජීවත්වෙන සිංහල මිනිස්සු තමන්ගේ අත්දැකීම මත පදනම්වෙලා තමන්ම ලියන කතා ඒ රටවල් ගැන දැන ගන්න සාපේක්‍ෂව හොඳ ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.

මේ තිරස තරණ පොතේ එක එක විදියේ රස මවන කෙටිකතා තියෙනවා. මං නං ඉතිං කැමති උත්ප්‍රාසයට නේ. ඒ හින්දා මගේ හිත ගියේ මේකෙ තියෙන ලක්‍ෂ්මන් රන්දෙනිය ලියපු කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන කියන කෙටිකතාවටයි.

මේ කෙටිකතාවේ කතානායකයා ගේ නම දේශප්‍රිය. මිනිහා කොල්ලා කාලේ ඉඳලාම කවද හරි පිටරට පනින්න ප්ලෑන් කර කර උන්නු නිසා යාළුවෝ පොරගේ නම වෙනස් කළා ලු විදේශප්‍රිය කියලා.

ඉතිං මේ දැන් විදේශයේ ජීවත්වෙන විදේශප්‍රිය ගොයියා, කප් සුවහස් කලක් පෙරුම් පුරලා, නිවාඩුවකට ආපහු ලංකාවට එන ගමන ගැනයි මේ කෙටිකතාව ගෙතිල තියෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල මිනිස්සුන්ගේ ජීවන රටාවේ එක එක පැති විස්තර වෙන කෙටිකතා සේරම පහලොවක් තියෙනවා මේ තිරස තරණ පොතේ.

පොත මුද්‍රණය කරල බෙදාහරින්නේ දයාවංශ ජයකොඩි සමාගමයි. සරසවි, ගුණසේන වගේ තැන්වලත් ඇති.

සේරටම කලින්න බලන්නකෝ ප්‍රාදේශීය සභා / නගර සභා පුස්තකාලේ තියෙනවද කියලා.

මං පොඩි කාලෙ ගිය පුස්තකාලෙ අක්කි නං මේ පොත දායි පරිවර්තන ගොඩේ. ඇයි ඉතිං, ඕස්ට්‍රේලියානු පොතක් නේ!

-කතන්දරකාරයා

ප/ලි
ඇත්තටම ප්‍රාදේශීය සභා / නගර සභා පුස්තකාලවලට මොන පොත් ද ගන්නේ කියලා තීරණය කරන්නේ කවුද? වරිපනම් බදු ගෙවන, පුස්තකාලෙ සාමාජික අපිට බැරිද මෙන්න මේ මේ පොත් ගන්න කියල රෙකමදාරු කරන්න?

16 comments:

  1. අපොයි පුළුවන්.. අපේ ගමේ පුස්තකාලෙ නම් අපෙන් අහනවා මොන පොත්ද ගන්න ඕන කියලා.. බජට් එකට ගැලපෙනවනම් පොත හොඳනම් ගන්නවා.. අනිත් පුස්තකාල නම් මම දන්නෑ..

    ReplyDelete
  2. පුස්තකාල වලට මොන පොත්ද ගන්නෙ කියල තීරනය කරන්නේ පලාත්සභා,පාර්ලිමේන්තු මන්ත්‍රී වරු...ඒ ගොල්ලන්ගේ විමද්‍යගත අරමුදලින්,රෙකමදාරු කරන්නෙ නං වටේ ඉන්න අය,මොකද ඔය මන්ත්‍රීලගේ පොතේ නුවණ අපි නොදන්නවයැ....
    අපේ රටේත් ප්‍රසිද්ද විදේශ-ප්‍රියයෙක් හිටියනේ...අර නිදහස් මාධ්‍යද මොකක්ද එකක් අටවං...ටයිටලේ දැක්කාම මට මිනිහවයි මතක් වුනේ... මිනිහත් දැන් රට පැනලා මයෙ හිතේ

    ReplyDelete
  3. බලමු පොත අරගෙන කියවලා

    ReplyDelete
  4. හොඳ පොතක් ගැන ඔත්තුවක් දීපු එක ගැන ස්තුතියි කසූ

    ReplyDelete
  5. කිව්වත් වගෙ බලන්න වටින පොතක්.....
    කොල්ල රට යනව....රට බල්ලට යනව ......හික් හික්

    ReplyDelete
  6. ඒකනම් ප්‍රශ්ණයක් තමයි. කව්ද කියල පොත් ගන්නේ. මං හිතන්නේ ප්‍රාදේශීය සභා / නගර සභා වල වැඩ කරන අයට ඕන පොත් වෙන්න ඕන ඒවාට ගන්නේ.

    ReplyDelete
  7. ලන්කාවේ ඉදන් පිටරට ගිහින් එන අයගේ පොත් කියවලා බැලුවොත් හොඳයි. සාහිත්ය සම්මානේ දෙන්ඩ වටිනවද නැද්ද කියලා එතකොට තේරෙයි. විශේෂයෙන් සුමිත්‍රා රාහුබද්ධ වාගේ කෙනෙකුගේ.

    ReplyDelete
  8. මම නං වැඩිපුර පුස්තකාලවලට යන්නැ. හොඳ පොත් කෙලින්ම සල්ලි දීලායි ගන්නෙ. එතකොට ඒවා ආයෙත් ඕනැ උනහැටියේ රාක්කෙන් අරං කියෙව්වැකි. අනික මේක අනාගත ආයෝජනයක් කියලයි මම හිතන්නෙ.
    දැං මේ පොතත් පොත් කඩේකට ගොඩ උනාම සල්ලි දීලම ගන්න වෙනවා........ නැත්තං කොහොමද විදේශප්‍රියා ගැන ආය ආය කියවන්නෙ....

    ReplyDelete
  9. පොත් ගත්තට කවුද කියවන්නේ. ගොඩක් දෙනා පුස්තකාලයට යන්නේ උඩින් පල්ලෙන් පත්තරය බලන්න.. නැත්තම් සුවිප් ටිකට් එකේ අංකය බලන්න...

    කවුරු මොන පොත ගත්තම අපිට මොකද කියල ඉන්න තමයි වෙන්නේ..

    අපොයි මාත් පොතක් ගෙනාවා " පියාපතක් වන් ජීවිතයක්" (මිලාන් කුන්දේරා) කියවන්න යන්න ඕනි...

    ReplyDelete
  10. මම ඒ. ලෙවෙල් කරන කාළේ අපේ ගමේ තිබිච්ච පුස්තකාලෙට නිර්දේශ කලා පොත් වගයක්. ඒ ගොල්ලො ඒ පොත් සුමනෙන් ගත්තා. මොනවද දන්න්වද ඒ පොත්. ඇට්ලස් හෝල් එකෙන් ගහපු උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්තර. මම කරපු විෂයන්වලට තමයි ගත්තේ. දැන් ඒවා තඹේකට වැඩක් නැතුව ඇති. සමාවෙන්න ඔනේ නොදැන කරපු වැරැද්දට.

    ReplyDelete
  11. මේ පොත මමත් කියෙව්ව. මහා කලබලෙන් එහෙ මෙහෙ දුවන අතරෙ අතට ලැබිල. පුළුවන් හැටියෙන් වෙලාව ​ලැබෙන හැටියෙන් පුංචිම සටහනක් හරි ලියන්න ඕනෙයි කියල ඔන්න අද හිතාගත්ත.

    මේ මාතෘකාව හුඟක් දේ කියනව. රට පැනපු අය කොච්චර දේශප්‍රේමී උනත් ඒ ගොල්ල විදේශික නෙ...! මේක වචනෙකින් දෙකකින් ඉවරවෙන මාතෘකාවක් නෙවි.

    ReplyDelete
  12. සුමිත්‍රා රාහුබුද්ධ මහත්මයගේ පොත ගත්තා....කියවමින් සිටිමි... පොත ගත්තම කාවද මතක් වුනා බැලින්නම් කතන්දරව.. ‍‍

    ඔය පෝස්ට් එකේ තියන පොත නම් සොයා ගන්න බැහැ අපි ඉන්නේ දුෂ්කර ප්‍රදේශයක නේ..

    ReplyDelete
  13. @All

    සියළු දෙනාටම ස්තුතියි.

    අඩු ගණනේ මේ පොත කියවපු එක්කෙනෙක්වත් (ලොකු) හම්බ වුන එක කොච්චර දෙයක්ද?

    ReplyDelete
  14. @කතන්දර

    හදවත කියන යන්තරයක් ළඟම ඇත
    සෙනෙහස ආදරය ස්නේහක දමා නැත
    කාලය ශ්‍රමය ගැනමයි කා හටත් නෙත
    හදවත ඇතත් නැත භාවිත එයයි හැක

    ReplyDelete
  15. ද්විතියික මූලාශ්‍ර, ප්‍රාථමික මූලාශ්‍ර කියන්නෙ මොනවද?

    ReplyDelete
  16. PDF 1k nedda?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.