
ආදරය කරන කෙල්ලට නං පුදයි ජීවිතේ
පව් නේද? මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ!
අහල තියෙනව නේද ඒ සින්දුව. මං හිතන්නෙ ඒක කියන්නෙ, මැක්ස්වෙල් මෙන්ඩිස්. අද මං මේ කියන්න යන කතන්දරයට අදාල හින්ද මට හිතුන ඒ සින්දුවෙන් පටන් ගන්න.
මේ කතන්දරය තරමක් වෙනස් එකක්. මගෙ වෙන බහුතරයක් කතන්දර වගෙ උපහාසාත්මක එකක් නොවේ. අම්මලා ගැන කවුද උපහාස, අපහාස කතා ලියන්නෙ නේද? (ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා කතන්දරේ පොඩ්ඩක් අමතක කරමු කෝ!)
මේ කතන්දරේ ලියන්න මූලිකම හේතුව වුනේ මගේ හිතවත් බ්ලොග්කාරියක් වන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකේ කාළෙකට ඉස්සර තිබුණු කතාවක්.
මගේ පුතා හරි හපනා පනම් තුනක් පඩි කනවා ඉන් පනමක් මට දෙනවා කියන කවිය ඇත්තක් කරන්න පොඩි කාලෙ හිතාගෙන හිටියට, තුන්වැන්නී හෙවත් මනෝ තාමත් අම්ම දෙන සාරි අඳිනව මිසක් අම්මට හරි හමං තෑග්ගක් අරං දීල නෑ වගෙයි එදා ඒ කතාවෙන් මට තේරුනේ.
ඒ කතාව කියවල ටික දවසකට පස්සෙ උපුල් සන්නස්ගලකාරයා තමන්ගෙ අම්ම ගැන සිළුමිණ ට ද කොහෙද කියල තිබුණ කතාව මං කියෙව්ව. පොර ට කොච්චර බර තිබුණත්, අම්ම ජීවත්ව ඉන්න කාලෙ, අම්මට ආදරෙන් සලකල නෑ වගෙයි දැනුනෙ.
අම්ම මළා ට පස්සෙ වෙන අයට අගස්ති මාල අරං දීල ඒ දුක ගෙවාගන්න පුළුවන්ද?
ඒ මාල දානයත් පොර කරල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ඉන්දියාවෙදි. ඉන්දියාවෙ අගස්ති මාල වලට සැපයුම හොඳ ඇති ඉල්ලුම ට වඩා.
අනුංගෙ කතන්දර වලින් පස්සෙ මෙන්න මගේ කතන්දරේ.
අම්මල පුතාලට කොච්චර ආදරේද කියල අමුතුවෙන් ලියන්න ඕනැ නෑනෙ. පවුලෙ ලොකු පුතාට ඒ ආදරේ තවත් වැඩියි කියලයි මං හිතන්නෙ.
නමුත් ඉතිං, ලොකු එකාට නංගිල මල්ලිල හිටියොත් ඉතිං අම්ම කෙනෙකුට ඒ ආදරේ වැඩිකල් දක්වන්න වෙන්නෙ නෑ.
මං පොඩි කාලේ ඉඳලම දැකල තියෙන්නේ අපේ පවුලේ පොඩි එකා අම්මට හුරතල් වෙනව විතරයි. පොර තමයි පොඩි කාලේ හැමදාම අම්මට තුරුළු වෙලා නිදාගන්න ගියේ හෙම.
මට ලැබුනේ ඇඳේ බිත්තිය අයිනේ කොණ තමයි හැමදාමත්!
පිරිමි අපිට, අපේ තාත්තලා පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් කරපු දේවල් වලට කළගුණ සැලකීම ලේසියි වැඩක්. අපිට කරන්න තියෙන්නේ අපිත් අපේ දරුවන් ට හොඳ තාත්තලා වෙන එකයි.
මේ අහස්ගව්ව බ්ලොග්කාරිය නොකළාට අම්මලාට හැකි පරිදි තෑගි බෝග අරන් දෙන එකත් අපේ යුතුකමක්. අඩු ගණනේ අවුරුද්දටයි, අම්මගේ බර්ත් ඩේ එකට වත්.
ඔන්න, මං කැම්පස් එකෙන් අවුට් වෙලා, ස්ථිර රැකියාවකට ගිහින් අවුරුද්දක් විතර යනකොට මට සිස්සස්සයක් ලැබුණා පස්තාච්චි අදින්න යන්න (හෙවත් පශ්චාත් උපාධියක් කරන්න යන්න). වැඩ කලේ රාජ්‍ය අංශයේ සංස්ථාවක නිසා අවුරුදු දෙකකට විතර පඩිත් එක්ක නිවාඩු ගන්නත් පුළුවන් වුණා.
පර්සනල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇහුව්වාම තමයි මතක් වුනේ නිවාඩු ඉන්න කාලේ පඩිය යවන්න බැංකු ගිනුමක් ඕනැ බව. ඒ වෙනකං කලේ, මාසෙ විසිපස් වෙනිද හම්බ වෙන පඩි පැකට් එක කමිසෙ උඩ සාක්කුවේ දාගෙන, ඊලඟ මාසේ පඩිය හම්බ වෙනකං වියදම් කරපු එකයි.
ඔන්න ඉතිං රට පැටවෙන්න දවසකට කලින් ලංකා බැංකුවේ ගිනුමක් දාලා, ඒ ගිනුමෙන් තාත්තගේ ගිනුමට සල්ලි ටික යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දැම්ම.
තාත්ත ගේ ගිනුමට සල්ලි ටික යන්න දැම්මෙ, ඒ දවස්වල තමයි තාත්ත අපේ ගෙදර හැදුවේ. ඒ වැඩපල වලට ගන්නයි.
ඉතිං, මං අර තායිලන්තෙ පස්තාච්චි ඇද ඇද ඉන්න කාලෙ, සංස්ථාවෙ පඩි වැඩි කළා අපි හැමෝගෙම. පඩි වැඩි වුණාට ඉතිං බැංකුවේ ස්ටෑන්ඩින් ඕඩර් එක වෙනස් කලේ නෑනෙ. අවුරුදු දෙකක් විතර ගිහින්, උපාධි ලෝගු දාල ෆොටෝ අරගෙන ආපහු ලංකාවට එනකොට මෙන්න බොලේ මගේ ගිනුමේ සල්ලි ටිකක් ඉතුරු වෙලා.
ගෙදර ආපු දාට පස්සෙන්දම මොකද දන්නවද කලේ.
ගියා බැංකුවට, ගත්ත සල්ලි ටික, එතනින් සිංගර් එකට ගියා, ගත්ත ඒ සල්ලි වලින් ගන්න පුළුවන් ලොකුම ටී.වී. එකයි, ඇන්ටෙනා එකකුයි. යාන්තං, ත්‍රී-වීලර් එකට රුපියක් දෙසීයක්(+) විතර ඉතුරු වුණා.
වීරය වගේ ගෙදර ඇතුලට ටී.වී. එක අරං ගිහින්, වොරන්ටි කාඩ් එක අම්මට දීල වැඳපු වෙලේ මගේ හිතට ආපු සන්තෝශය කියල නිම කරන්න බෑ.
ඒ වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ මගේ නම නෙමේ, අම්මගේ ම නම කියල දැක්ක වෙලේ, අම්මටත් ඒ වගේම සතුටක් දැනෙන්න ඇති.
දැන් මෙන්න එඩ්වර්ඩ් ජයකොඩි ගේ ගීතයකින් කොටසක්.
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන්
-කතන්දරකාරයා
ප/ලි
සින්දුවකින් පටන් අරගත්තු මේ ජීවිතේ සින්දුවකින්ම අවසාන කළා වගේ අපේ මුළු ජීවිතේම එකම ගීතයක් කරගන්න පුළුවන් නම්?