Showing posts with label ටොයොටා. Show all posts
Showing posts with label ටොයොටා. Show all posts

Monday, 27 June 2011

රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale


ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා ගත්තු කාර් එකෙන් මං සේවය ගන්න කලින්, මට කාර් එකට සේවය කරන්නයි වුනේ. නමුත් සේරම අවසානයේ රතු පාට කාර් එකේ පස්ස සීට් එකේ තියන් පුංචි රෝස පාට දූ පැටියෙක් හොස්පිටිතාලෙන් ගෙදර ගෙනා හැටි නම් මට කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඉන් පස්සේ නං ස්පීඩ් කරලා අහුවෙලා උසාවි ගිහින් වෙච්ච රස්තියාදුවෙන් පස්සේ බොරු කියන්නත්, දඩ කන්නත්, ලොක්-අප් එකේ වැටෙන්නත් වුණා!

පස්සෙන් පහු, ගෙදර දොරේ සාමාන්‍ය වැඩවලට හෙමත්, ඒ කියන්නේ නුගේගොඩ ගිහින් එළවලු බඩු මුට්ටු ගේන්න, දෙමව්පියන් බලන්න යන්න, මේ රතු කොරොල්ලා කාරෙක අපි පාවිච්චි කළ බව කියන්න ඕනෑ.

වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!

ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.

කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.

වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.

අනික බස් එකේ යනකොට පොතක් පත්තරයක් බලන්නත් ඇහැකියි නේ!

නමුත් මං පස්සේ පුරුදු වුණා මෙන්න මෙහෙම කරන්න. ඔන්න මායි, හාමිනේයි දෙන්නා කාර් කට්ටේ ගෙදරින් පිටත් වෙනවා. මං හාමිනේ ගේ වැඩපොලේ කාර් එක දාලා, එතනින් බස් එකක එල්ලිලා මගේ වැඩපොලට යනවා.

හවස බස් එකේ ඇවිත් හාමිනේ ගේ වැඩපොලෙන් කාර් එක අරං ගෙදර එනවා. ඒ වෙන කොට හාමිනේ නං වැඩ ඇරිලා බස් එකේම ගෙදර ගොහින්.

කොහොම වුනත් ඔය පෙට්‍රල් සීන් එක හින්දා මට ඒ දවස්වල හිතිලා තිබුනේ මේ ටොයොටා එකට වඩා පුංචි කාර් එකක් ගත්ත නං හොඳයි නේද කියලා.

මගේ යාළුවෙකුට තිබුණා ඩයිහට්සු චැරේඩ් එකක්. ඒකේ පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් පාලහක් තරමට හොඳට වැඩ කරනවා කියලයි පොර කිව්වේ. නිසාන් මාච්, ටොයොටා ස්ටාලට්, හොන්ඩා සිටි වගේ ඒවගේත් ඇන්ජින් පොඩි නිසා, පෙට්‍රල් හොඳට වැඩ කරනවාය කියලයි කාගෙ කාගෙත් අදහස වුනේ.

කරුණු එලෙස නිසා, මං ඉරිද දවස්වලට අල්ලපු ගෙදර අංකල්ගෙන් ඔබ්සර්වර් එක බලන කොට ඔය කියන මොඩල්වල වාහන ගැන ඇහැ ගහගෙන තමයි හිටියේ.

නමුත් එක ප්‍රශ්ණයක් තිබුණා.

ඉස්සෙල්ලා මේ රතු කොරොල්ලා කාරෙක විකුණන්න ඕනෑ. ඒ සල්ලි වලින් තමයි මීට වඩා පෙට්‍රල් වැඩ කරන කාරෙකක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉතිං ඒකට සති ගාණක් යාවි. කොරොල්ලා එක හොයාගන්නත් මාසයක් විතර ගියා නේ.

ඉතිං, මේක විකුණලා වෙන කාර් එකක් ගන්නවා කියන්නේ මාසයක් විතර නෝ-කාර් කොම්පැණියේ තමයි පදින්න වෙන්නේ! අනික කාර් එකක් නැතුව, තව කාර් එකක් හොයාගන්න එහෙ මෙහෙ දුවන එකත් ලේසි වැඩක් නෙමේ.

මේකත් හරියට "විෂම චක්‍රයක්" වගේ එකක් හිතලා බලන කොට.

ඉතිං ඔය කාරණය හින්දාම මං වැඩේ පොඩ්ඩක් බැක්බර්නර් එකට දාලා, දැහැමෙන් සෙමෙන්, අරපිරිමැස්මෙන් කටයුතු කරගෙන යන්න පටන්ගත්තා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔහොම කාලයක් ගියාට පස්සේ තමයි මට නුගේගොඩ සුපර් මාකට් එක ලඟදී මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!

(image: http://www.countrycars.com.au/centralvictoria/car-dealer/EPSOM)

Wednesday, 15 June 2011

කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speeding


මේ සිද්ධිය වුනේ කතන්දරකාරයා වීරයා සේ රතු කොරොල්ලා කාරෙකෙන් රෝස බබෙක් ගෙදර ගෙනල්ලා සති තුනකට විතර පස්සේයි.

බබා හම්බවෙන්න ඉතිං කතන්තර හාමිනේ මැටනිටි නිවාඩු ගත්තනේ මාස තුනක් විතර. මැටනිටි නිවාඩු කියන්නේ දන්නවානේ මුළු පඩියම ලැබෙනවා.

මේ කියන කාලේ කතන්දර හාමිනේ ගේ වැඩපොලේ පඩි බැංකුවට ගෙවන ක්‍රමයක් තිබුනේ නෑ, මගේ වැඩපොලේ කළා වාගේ. අර ඉස්සර මං බොසී යටතේ වැඩ කරන කාලේ වගේ ලියුම් කවරෙක දාලා දෙන මාසේ පඩි පැකට්ටුව වැඩපොලේ දී ම අත්සන් කරලා ගන්න ඕනෑ.

ඉතිං නිවාඩු පිට බබා ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කතන්දර හාමිනේව පලමුවෙනි මාසේ පඩි පැකට් එක ගන්න වැඩපොලට එක්කගෙන යන්න මං බාර ගත්තා.

එදා මට හවස පොඩි වැඩක් තිබුණු හින්දා මං ප්ලෑන් කලේ හාමිනේව රතු කොරොල්ලා කාර් එකේ එක්කගෙන ගිහින්, ඒ වැඩෙන් පස්සේ ආපහු ගෙනත් ගෙදර දාලා, මං වහාම බස් එකේ මගේ වැඩ පොලට යන්නයි.

ඔන්න අපි දෙන්නා පිටකෝට්ටේ පැත්තේ ඉඳලා ඇවිල්ලා වමට හරෝලා දැම්මා පාර්ලිමේන්තු පාරට බොරුල්ල පැත්තට යන්න.

වෙන වෙලාවට මේ පාර නිකං කාර් පාක් එකක් වගේ නේ. මේ වෙනකොට වෙලාව නමය විතර වෙලා නිසා මෙලෝ සතෙක් නැති ගානට පාර හිස්.

මංතුමා ඉතිං සීඝ්‍රයෙන් බොරුල්ල බලා යන්න පටන් ගත්තා.

ඔය හරියේ තියෙන පොඩි පාලම පහුවෙච්ච ගමන් වගේ මෙන්න බොලේ එක පාරටම පොලිස්කාරයෙක් පැන්නෙ නැතෑ කාර් එක ඉස්සරහට. මං වහාම කාර් එක නැවැත්තුවා.

පොර ඇවිල්ලා මා දිහා කාර් එකේ වීදුරුවෙන් බලලා ඇහැව්වා මෙහෙම.

"මහත්තයා දන්නවාද මේ පාරේ ස්පීඩ් ලිමිට් එක?"

මං කොහොමද ඕවා දන්නේ පාරේ ඒවා දන්වන බෝඩ් ගහල තිබුනේ නෑනේ.

"පැයට කිලෝ මීටර් හැටයි?" මං කිව්වා.

"වැරදියි, පැයට කිලෝ මීටර් හතලිහයි. මෙන්න මහත්තයා ගිය ස්පීඩ් එක."

පොර මට පෙන්නුවා ලේසර් ගන් එක. ඒකේ කොල පාට ඉලක්කමින් තිබුණා 64 කියලා.

ඉතිං මොනවා කරන්නද? පොර මගේ ලයිසොම අරගෙන, ඒකට තුණ්ඩුවක් දීලා, ස්පීඩ් කළ එකට දඩ කොලයක් ලියලා දුන්නා.

දඩ කොලේ ලැබුණාම මට නිකං පොඩි වීරකමක් වගෙයි දැනුනේ. මොකද ස්පීඩ් කරලත් අහුවුණු සීරීයස් ඩ්‍රයිවර් කෙනෙක් නේ.

නමුත් සත්‍යය තමයි පැයට කිලෝ මීටර් 64 කියන එක ඒ පාරේ හැටියට අන්තරාදායක ස්පීඩ් එකක් නොවෙන බව. මං මේ කියන්නේ කොළඹ තියෙන හොඳම පාරක් ගැනනේ.

නමුත් ඉතිං ඔය කතා වැඩක් නෑනේ අපිට තියෙන්නේ දඩ කොලේ ගෙවලා දාලා, ඒක පෙන්නලා පොලීසියෙන් ලයිසොම ආපහු ගන්න එකයි.

ගෙවන්න නං තිබුනේ රුපියල් දෙතුන් සීයක් විතරයි! මං හාමිනේව අරගෙන ආපහු ගෙදර එන ගමන්ම ගියා බොරැල්ලේ තැපැල් කන්තෝරුවට මේක ගෙවල දාන්න. බුදු අම්මෝ එතන තිබුණු පෝලිම. ආපහු වැඩට යන්නත් තිබුණ හින්ද මං ඒ වැඩේ පහුවදාට කල් දැම්මා.

හැබැයි ඉතිං ඒ දවස්වල ගෙදරයි, වැඩපොළෙයි, තිබුණු කළබළකාරී තත්වය හින්ද ද කොහෙද මට ඔය දඩ කොලේ ගෙවල දාන එක සති කීපයක්ම අමතක වුණා. ඔන්න එක දවසක් මතක් වෙච්ච වහාම මං ගියා අර ටවුන් හෝල් එක ලඟ තියෙන තැපැල් කන්තෝරුවට ඒක ගෙවන්න.

එතන කවුන්ටරේ හිටිය පොර කියපි, මේක ගෙවන්න බෑ දැන් කල් ගෙවිලය කියලා.

"බුදු අම්මෝ, දැන් මොකද කරන්නේ?" මං කෙලින්ම ගියා වැලිකඩ පොලීසියට.

විස්තරේ කිව්වහම, එතන ට්‍රැෆික් ඕඅයිසී කියපි, "දැන් ඉතිං කරන්න දෙයක් නෑ. අපිට මේක උසාවියට දාන්න වෙනවා. උදව්වක් හැටියට හැකි ඉක්මනින්ම දාල දෙන්නං!" කියලා.

දැන් ඉතිං පලයංකෝ උසාවි, මේ පොඩි කේස් එකට!

-කතන්දරකාරයා

ප/ලි:
අපේ පරම්පරාවේ එකෙක් මීට කලින් කාර් අරං නොතිබුණාට උසාවි ගිහින් නං තිබුණා.

හොඳ වෙලාවට!

ඒ කතාව ඊලඟට.
කතන්දරකාරයා උසාවි සාවියේ

(image: http://ocbizblog.com/)

Monday, 13 June 2011

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla


මගේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ හතරවන කොටසයි මේ ලියන්නේ. මං ලියපු චූ කතන්දර සීරිස් එක වගේම මේ කාර් කතන්දර ටිකත් බ්ලොග් අවකාශයේ කාලාන්තරයක් ම දනන් තුඩ තුඩ රැව් දෙයි කියා හිතෙනවා.

ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා, ගත්තු කාර් එකෙන් මුල දවස්වල මට හරිම ප්‍රයෝජන ගොඩක් තිබුණා. ඒ දිග ලැයිස්තුව මෙන්න මේ පෝස්ට් එකේ දාලා තියෙනවා.

මේ කාර් එක ගන්න මූලිකම හේතුව වුනේ අපි දෙන්නා තුන්දෙනා වෙන්න යන එකට අදාල වැඩ කටයුතු සහ ඉන් පස්සේ පුංචි පවුලේ ප්‍රවාහන පහසුකම් සඳහානේ.

කොහොම හරි මං ලයිසොම අරං මාසයකින් විතර වගේ තමා මේ ටොයෝටා කොරොල්ලා කාර් කට්ටෙන් ගත්තු මුල්ම ලොකු ප්‍රයෝජනේ ගත්තේ. ඒ තමා දරු ප්‍රසූතිය සඳහා හාමිනේ ව හොස්පිටිතාලෙට අරං යෑම.

ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)

මළ කෙලියයි කිව්වලු!

අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.

හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.

අංකලුයි ඇන්ටියි දෙන්නත් එදා හොස්පිටල් යන්නයි හිටියේ කොහොමටත්. කොහොම හරි ඔන්න අංකල් ගේ පිහිටෙන් හාමිනේව හොස්පිටිතාලෙට ගෙනිච්චා.

දරුවා පිළිසිඳ ගත්තු දිනේ ඉඳලා සාමාන්‍යයෙන් කරන්න තියෙන ඔය ක්ලින්ක් ආදී කිසිම කටයුත්තකට මං ගිහින් තිබුනේ නෑ. ඔය මහ ඉස්පිරිතාලෙ තියෙන ඇස් වාට්ටුව හරියේමයි හාමිනේ ගේ වැඩපොල තිබුනෙත්, ඒ හින්දා එයාම තමයි ඔය කියන හොස්පිටිතාල කිලිනික් වැඩ කටයුතු සේරම තනියම කර ගත්තේ.

ඒ වුනාට වැඩේ කියන්නේ, හොස්පිටිතාලෙට ගිහින් බැලින්නම් මට මේ තැන හොඳට හුරුයි පුරුදුයි වගේ.

මොකද දන්නවද? මේ "ද සොයිසා වාට්ටුවේ" දී ම තමයි මංතුමාත් මෙලොව එලිය දැකලා තියෙන්නේ!

ඉතිං හාමිනේව ඇඩ්මිට් කරලා, ප්‍රී-නේටල් වාට්ටුවකට දාලා මං වීරයා වගේ කාර් එකේම වැඩට ගියා.

ඔන්න එදා රාත්‍රියේ මං ගෙදර ඉඳලා මරදානට ඇවිත් කාර් එක කිංසි රෝඩ් එකේම පාක් කරලා, හොරෙන්ම රිංගුවා හොස්පිටිතාලේ ඇතුලට. දන්න කියන මෙඩ්ඩෝ කීප දෙනෙක් ඔතන වැඩ කරපු හින්දා අවුලක් වුනේ නෑ.

හරියටම ඒ වෙලාවේ තමයි කතන්දරහාමිනේ තියටර් එකෙන් එලියට එන්නේ. හාමිනේ මා දිහා බැලුවේ අඩ නින්දෙන්. මෙන්න ඒ එක්කම ගෙනාවා අපේ චූටි කෙලි පැටික්කී.

බබා ඇස් දෙක තදින්ම වහගෙනයි හිටියේ. රෝස පාට කම්මුල්. සුදුමැලි පාට චූටි අත්. ඇඟිලි අකුලාගෙන අත් මිට මොලවාගෙන.

මං බලා ඉඳිද්දීම ඇඟේ ඉඳලා අර චූටි අත් දිගේ චූටි ඇඟිලි තුඩු දක්වාම ඇඟ ඇතුලෙන් ලේ ගලාගෙන ඇවිත් සුදුමැලිව තිබුණු අත් සේරම රෝස පාට වුණා.

මං එදා මහ රෑ ගෙදර යනකොට ඒ චිත්‍රය නොමැකෙන ලෙස මගේ හිතේ ඇඳිලා.

පහුවදා උදේම මං ආපහු හොස්පිටිතාලෙට ආවා. උඩ තට්ටුවේ ප්‍රොෆෙසෝරියල් වාට්ටුවේ හාමිනේ ගේ ඇඳ ලඟට ගියා. හාමිනේ නෑ. ටොයිලට් එකට ගිහින්.

මෙන්න බොලේ චූටිම චූටි, රෝස පාට කෙලි පැටියෙක් පැත්තකින් නිදාගෙන ඉඳලා ඇහැරිලා "ඔහෑ! ඔහෑ!!" කියලා අඩනවා.

එදා ඉඳලා, මාසෙකට දෙකකට පස්සේ උප්පැන්නෙට නම දානකං මං කෙලි පොඩ්ඩට කිව්වේ "රෝසි" කියලයි.

දවසකට පස්සේ හාමිනේවයි, රෝසි පැටියාවයි අරගෙන මංතුමා මරදානේ සිට ගෙදර බලා වීරයා සේ ඩ්‍රයිව් කරං ආවා.

හාමිනේව හොස්පිටිතාලේ ගෙනියන දවසේ තිබුණු බය මෙදා නං මගේ සිතේ පැත්ත පලාතකවත් තිබුනේ නෑ.

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ රෝස පාට බබෙක් ගිය කතාව ඔන්න ඕකයි.

-කතන්දරකාරයා

ප/ලි:
මගෙයි දුවගෙයි දෙන්නගේම උපන් ගම මරදාන-කොළඹ 10. අපි ඉපදුන "ද සොයිසා වාට්ටුව" තියෙන්නේ කිංසි රෝඩ් එකේ මරදානේ පැත්තෙයි.

මේ වාට්ටුව පාරෙන් අනිත් පැත්තේ හොස්පිටිතාලේ ප්‍රධාන කොටස තියෙන පැත්තේ තිබුණා නම්, අනේ දුවයි මායි දෙන්නම කොළඹ 7-කුරුඳුවත්තේ උපන් දෙන්නෙක් වෙන්න තිබුණා නේද?


මීලඟට - කතන්දරකාරයා ස්පීඩ් කර පොලීසියට අහුවෙයි!