Showing posts with label සෝමරත්න දිසානායක. Show all posts
Showing posts with label සෝමරත්න දිසානායක. Show all posts

Sunday, 14 August 2011

කඩේ යාම = xx දීම : සෝමරත්න දිසානායක සමග සාකච්ඡාව : A chat with Soma


සරෝජා හදපු සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා එක්ක කතන්දරකාරයා කරපු සාකච්ඡාවේ මුල් කොටස පසුගිය ඉරිදා සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකේ දැම්මා.

ඒක ඉවර වුනේ මං අහපු ප්‍රශ්ණයකින්. අද එතැන සිට කියවන්න.

කතන්දරකාරයා: සමහරු කියනවා මෙහෙම. සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ ඒ මට්ටමට ආවේ නෑ, ඒවායෙන් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?

සෝමා: විවිධ මතධාරීන් විවිධාකාරයෙන් මගේ නිර්මාණ විචාරය කරනවා. සරෝජා සංවේදී චිත්‍රපටියක්. සමහරුන්ට එයයි මගේ හොඳම චිත්‍රපටිය. තව සමහරුන් වඩාත් කැමති සූරිය අරණටයි. ගුණදාස අමරසේකර මහත්තයාට මගේ හොඳම චිත්‍රපටිය සමනල තටු.

මගෙන් කතන්දරකාරයා ඇහුවොත් මගේ හොඳම චිත්‍රපටිය මොකක්ද කියලා, මං කියන්නේ මං දැනට හඳලා තියෙන චිත්‍රපටි හයම නෙමේ මං ඊලඟට හදන්න ඉන්න චිත්‍රපටියයි කියලයි. නමුත් මගේ හැම නිර්මාණයකටම මම එක සේ ආදරෙයි.

කතන්දරකාරයා: හොඳයි, එහෙනං මං ඇහැව්වොත් ඔබේ චිත්‍රපටිවලින් යම්යම් දුර්වලතා තිබුණු චිත්‍රපටි මොනවාද කියලා, ඔබ මොනවගේ උත්තරයක් ද දෙන්නේ?

සෝමා: මගේ හැම චිත්‍රපටියකම දුර්වලතා මං දකිනවා. ඕනෑම නිර්මාණකරුවෙකුට එය එසේ විය යුතුයි. තමන්ගේ නිර්මාණයක් දෙස හැරී බලා ස්වයං විවේචනයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. මගේ ඕනෑම නිර්මාණයක් මා නැවත වරක් කළොත්, ඊට වඩා හොඳ නිර්මාණයක් බිහි කිරීඟට මට හැකිවේවි.

කතන්දරකාරයා: මා සිරි රජ සිරි චිත්‍රපටිය නරඹන වෙලේ මට හිතුණු එක් දෙයක් තමයි එහි අවසානයේ කුඩා දරුවාගේ සියළු ප්‍රශ්ණ, හරියට හින්දි චිත්‍රපටියක මෙන්, අපූරුවට විසඳෙනු දැක්වීම කොතරම් දුරට යථාර්තය නිරූපනය කරනවාද කියන එක.

ඒ එක්කම, ඔය ගමෙන් නගරට පැමිණෙන ළමයා ගේ කතාව මීට දශක ගණනාවකට කලින් කතාවට ලක්වුණු එකක් නොවේද කාරණයත් මට සිහිවුණා.

සෝමා: මෙහෙමයි, මෙවැනි කතා තවත් තියෙන්න ඇති. නමුත් එකවාගේ මූලාශයකින් වුනත් විවිධ නිර්මාණ බිහිවෙන්න පුළුවන්. එකවාගේ ආදර තේමා යටතේ විවිධ නිර්මාණකරුවන් විවිධ ආකාර වලට නිර්මාණ ඉදිරිපත් කරන්නාක් හා සමාන දෙයක්.

කතන්දරකාරයා: මිනිසුන් වශයෙන් අප හැමෝටම පුද්ගලික දේශපාලන මතවාද තියෙන බව සත්‍යයක්. නමුත් ප්‍රසිද්ධ කලාකරුවන් මැතිවරණවලදී ප්‍රසිද්ධියේ පක්‍ෂ දේශපාලනයේ යෙදීමේ යම් ගැටළු තියෙනවා නේද?

සෝමා: කලාකරුවෙක් ස්වාධීන පුද්ගලයෙක් විය යුතුයි. මගේ මතය හැටියට කලාකරුවෙක් යම් දේශපාලන පක්‍ෂයක හෝ නායකත්වයක එල්බගෙන සිටීම වැරදියි. මම දේශපාලන වේදිකාවේ මගේ දේශපාලන මතය කතා කලේ කිසිම පක්‍ෂයක සාමාජිකයෙක් විදියට නෙමේ.

නමුත් මම ඒ මොහොතේ රටේ අවශ්‍යතාවය මට දැනෙන විදියට ජනතාවට කීම මගේ යුතුකමක් යැයි සිතුවා. මගේ මතය සමහර දේශපාලන පක්‍ෂවලට වාසි සහගත වීමටත් සමහර දේශපාලන පක්‍ෂවලට අවාසි සහගත වීමටත් ඉඩ තියෙනවා. සිදුවුනේ එයයි. ඒ සමගම තීරණාත්මක මැතිවරණයකදී එක් කණ්ඩායමකින් මා විශ්වාස කරන අපේකමට අවාසියක් ඇතැයි මට සිතුනොත් මට සිදුවෙනවා ඔවුන් බලයට ඒම වලක්වා වෙනත් කණ්ඩායමක් ගේන්නට ක්‍රියාකරන්න.

පසුගිය මැතිවරණයේදී මං පෙනී සිටියේ මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා වෙනුවෙන්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන්වත් නොවේ. මං ඒ බව වේදිකාවේදීත් කිව්වා.

කතන්දරකාරයා: "කඩේ යාම" යනුවෙන් අළුතෙන් ජනවහරට එකතු වී ඇති යෙදුමෙන් හැඳින්වෙන්නේ මෙය නේද?

සෝමා: ඔව්, ඒ කලාකරුවාගේ මතය එක දේශපාලන පක්‍ෂයකට වාසි සහගත වෙද්දී ඔහු හා එකඟ නොවන අනෙක් පක්‍ෂවල අය කලාකරුවා ව හඳුන්වන විදියයි. ඒ සඳහා ඔයිට වඩා දරුණු වචනත් පාවිච්චි වෙනවා. මේක දාන්න එපා. සමහර අය ඕකට කියනවා xx දෙනවා කියලා. (ඔන්න දැම්මේ නෑ, හරිය?) ඒවා මාව හෙළා දකින්න අනිත් කණ්ඩායමේ අය පාවිච්චි කරන වචනයි.

ඇත්තටම ඔතන සිද්ධ වුනේ මොකක්වත් දීමක් වත්, කඩේ යාමක්වත් නොවෙයි. මම මගේ මතය ප්‍රකාශ කළා, සමහරු ඒකට එකඟයි, සමහරු විරුද්ධයි.

කතන්දරකාරයා: නමුත්, කලාරසිකයින් වශයෙන් අපිට හිතෙනවා නේද කලාකරුවා එක් දේශපාලන පක්‍ෂයකට වාසි සහගත ප්‍රකාශ කිරීම තුලින්, දෙන්නෙක් අතර චන්දයකදී එක පැත්තක් ගැනීම තුලින්, තම ස්වාධීනත්වය පාවා දුන්නා කියා? නිර්මාණකරුවෙක් හැටියට ඔබ එය දකින්නේ කොහොමද?

සෝමා: ඇත්තටම මෙය නිර්මාණකරවෙකුට ඉතා අවාසිදායක දෙයක්. මට වාසිසහගත දේ තමයි කට පියාගෙන ස්වාධීනව සිටීම. මා සිනමා නිර්මාණකරන්නේ එක දේශපාලන පක්‍ෂයක අයට විතරක් නොවෙයි. මගේ දේශපාලන අදහස්වලට විරුද්ධ අයත් මගේ චිත්‍රපට නැරඹිය යුතුයි. එහෙම නොවුනොත් එය නිර්මාණකරුවාට වෙන විශාල පාඩුවක්.

නමුත් මා හැම විටම ඒ ගැන, මගේ වාසිය අවාසිය ගැන නොසලකා, රටේ යහපත සඳහා ඉවහල් වෙයි කියා මා සිතන මතය ඉදිරිපත් කිරීමටයි. මං හිතන්නේ කලාකරුවා කියන්නේ එක්තරා ආකාරයකට ජනතා නියෝජිතයෙක්. ඒ නිසා කලාකරුවෙකුට යම් කිසි වගකීමක් තියෙනවා.

තමන් ආදරය කරන ජනතාවට යම් අනතුරක් වෙන බව දකිනවානම් එයින් ඔවුන් මුදවාගන්න තමන් ගේ මතය ප්‍රකාශ කිරීම කලාකරුවෙකු ගේ යුතුකමයි.

කතන්දරකාරයා: හොඳයි ඔබ ඔබේ මතය දරමින් ඔබේ ගමන යනවා. බලයේ සිටින පක්‍ෂය හෝ නායකත්වය ඔවුන් ගේ මතය දරමින් ඔවුන් ගේ ගමන යනවා. මා දකින්නේ මේ මොහොතේ මේ ශ්‍රිතයන් දෙකේ යම් සමපාත වීමක් සිදුවී ඇති බවක්. යම්කිසි විදියකින් අනාගතයේ දිනක මේ මතවල යම් කිසි පරස්පර විරෝධී බවක් ඇතිවුණොත් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඔබ තවදුරටත් තම මතයෙන් බැහැර නොවී ස්වාධීනව ඉඳීවි කියා?

සෝමා: මා දැනටමත් යම් යම් කරුණු වලදී පවතින රජයේත් නායකත්වයේත් තීරණ විවේචනය කරනවා. මේ සඳහා හොඳම උදාහරණය තමයි ලංකාවේ ඉඳිවුණු සිනමා ගම්මානය. කලකට ඉහත සිනමා කලාකරුවන් ගේ අදහස් විමසීමේ දී අපේ මූලික අවශ්‍යතා ලෙස අප දැක්කේ අද අපට නැති රසායනාගාර, ශබ්දාගාර සහ අනෙකුත් තාක්‍ෂණික පහසුකම් ස්ථාපිතකර ගැනීමයි. සිනමා ගම්මානයක් කිසිසේත්ම අපේ මූලික අවශ්‍යතාවයක් නොවන බව අප රටේ නායකයාට කියා සිටියා.

සිනමා ගම්මානයක් කියන්නේ මොකක්ද? පසුතල! අපේ මුළු රටම සිනමා ගම්මානයක්. සිනමා පට, ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය හැම පරිසර පසුබිමක්ම අපේ රටේ ස්වභාවිකවම තියෙනවා. අපේ යෝජනාව වුනේ තාක්ක්‍ෂණික ව්‍යාපෘති. අපි ටෙලි සිනමා ගම්මානය ප්‍රතික්‍ෂේප කළා.

අපේ උපදෙස් නොතකා රජය සිනමා ගම්මානයට මුල්ගල තැබුවා. ඉන් පසුව අපව කැඳවා මේ ගැණ ප්‍රශණකරන විට මම ජනාධිපතිතුමගෙන් ඇසුවා, අපේ කමිටුව, රවීන්ද්‍ර, ජැක්සන්, මාලිනී, රෝහණ සහ මම ඇතුළු, මේ ගම්මානය හැදීම වෙනුවට ඉල්ලා හිටියේ තාක්‍ෂණික ආධාරයි. එහෙනම් මේ මුල්ගල තැබුවේ කාගේ යහපත සඳහා කවුරු කළ යෝජනාවක් අනුවද කියා. ඔහු කීවේ එය තමන්ගේ අවශ්‍යතාවය මත තමන් කරන දෙයක් බවයි. මා කීවා එහෙනම් අපේ කමිටුවෙන් ඇති වැඩක් නැහැ නේද කියා. එය මෙන්ම වෙනත් දේවලුත් අප විවේචනය කරනවා වැරදි තීරණ ලෙස.

මැතිවරණයේ දී මා මගේ මතය ප්‍රකාශ කර, ජනතාවට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියාට, මම කිසි ලෙසකත් රජය හෝ එක්තරා නායකයෙක් හෝ ආරක්‍ෂා කිරීමට බැඳී නැහැ. මා හැම විටම සිටින්නේ රටට, ජනතාවට, අපේ කමට යහපතක් සිදු කළ යුතුයි යන ස්ථාවරයේ දී. පවතින රජයෙන් හෝ එහි නායකත්වයෙන් හෝ රටට, ජනතාවට, අපේ කමට, මහා විනාශයක් සිදුවේ යැයි ඉදිරියේ දී මට වැටහුණොත්, ඉදිරියේ දී මා එයට විරුද්ධව කතා කරනවා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩින් තියෙන ෆොටෝ එක හොයා ගත්තු වෙලාවේ තමයි තේරුනේ, මං මුලින් හිතං හිටපු ඈයෝ විතරක් නෙමේ, නීලා, කපිල සහ සුමිත්‍රාත් කඩේ ගිය බව. ඩබ්ලිව් ජයසිරිත් අනිත් පොරට කඩේ ගියා ටෙලිවිෂන් එකේ දැක්කා. ඇයි පබා බබා?

ප/ප/ලි:
මීලඟ නේම් ඩ්‍රොපින් කතන්දරේ එන්නේ මං දන්න තරමින් කඩේ නොගිය කලාකරුවෙක් ගැනයි. පසුගිය දිනයක බොරලැස්ගමුවේ මනෝරත්න නිවසේදී කතන්දරකාරයා මනෝරත්න සමග කළ කතාබහ ටයිප් කිරීමට ඉඩ ලැබුණු වහාම සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් විදියට අනිවා ඩෙෆා දාන්නයි ඉන්නේ.

(image: http://www.dinamina.lk/2009/12/12/default.asp)

Sunday, 7 August 2011

සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක් :: KK chats with Somaratna Dissanayake


සෝමරත්න දිසානායක අද අප කවුරුත් හඳුනන්නේ ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු ලෙසිනි. ඒ සමගම රාජපාක්‍ෂිකයෙකු ලෙසිනි. සරෝජා, පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහු ගේ නවතම නිර්මාණය වූයේ බිංදු නම් වූ ළමා චිත්‍රපටයයි.

පසුගිය වසරේ අග භාගයේ දිනක කතන්දරකාරයා ගේ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට සෝමරත්න දිසානායක දුන් පිළිතුරු ඇසුරින් වැඩි සංස්කරනයකින් තොරව මේ ලිපිය සැකසේ.


කතන්දරකාරයා-මුලින්ම අහන්න ඕනෑ, සෝමා කියලා කතා කළාට කමක් නැද්ද කියලා?

සෝමා-එහෙම තමයි මට කතා කරන්න ඕනෑ, වෙන විදියකට කතා කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

කතන්දරකාරයා- හොඳයි සෝමා, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ආ ඔබ සිනමාවට පිවිසියේ සරෝජා නිර්මාණය තුළින්. මා ඔබ සමග මුලින්ම කතා කළේ සරෝජා චිත්‍රපටියේ විශේෂ දර්ශනයකදී එහි විවේක කාලයේදී යි. එදා ඔබ මගෙන් ඇහුවා මල්ලී මොකද හිතේනේ චිත්‍රපටිය ගැන? කියලා. මම ඔබ සමග කතා කරන්න පටන් ගත්තේ චිත්‍රපටියේ මුල් කොටස බලා ඒ කඳුළු අතරින්. ඒ තරමට මගේ හිතට වැදුණු චිත්‍රපටියක් සරෝජා.

මට හිතෙන විදියට, සරෝජා කියන්නේ ඒ දිනවල, මීට වසර දොළහකට පෙර, ලංකාවේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නය දෙස මානුෂික ඇසකින් බලා ඒ පිළිබද අපේ අවධානය යොමු කළ, සමාජ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්කමක් තිබූ චිත්‍රපටියක්.

ඒත් එදා ඔබට සමහරුන් චෝදනා කළා ඔබ සරෝජා චිත්‍රපටිය තුළින් කොටින්ට උඩ ගෙඩි දෙනවාය කියා.

මේ පිළිබද අද වසර දශකයකට පමණ පසු ඔබ හැරී බලන්නේ කොයි ආකාරයටද?

සෝමා- සරෝජා චිත්‍රපටිය ගැන මට ඇත්තටම කියන්න තියෙන්නේ මේකයි. ලංකාවේ සාමකාමීව සමගියෙන් ජීවත්වෙන සිංහල සහ දෙමළ බුද්ධිමත් මිනිසුන් අතර සිටි එක්තරා අන්තවාදී දේශපාලනයක් මතයක් දරණ පිරිසක් විසින් ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස වැරදියට හැඳින්වුණත් ලංකාවේ තිබුණේ ඇත්තටම ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ප්‍රභාකරන් සහ ඔහුට උඩගෙඩි දුන් ඔහුගේ උල්පන්දංකාරයෝ විසින් ලංකාවේ සිටින සිංහල සහ දෙමළ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැහැ, මේ හතුරු ජාතින් දෙකක් යැයි කියා පතුරවපු ඒ මතය නිවරද කිරීම අවශ්‍ය වුණා.

ස්වාධීන මත දරණ, රටට ආදරය කරණ, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම, සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් කියන සකල ශ්‍රී ලාංකිකයින්ටම ආදරය කරණ, ස්වාධීන කලාකරුවන් ලෙස අපේ යුතුකමක් මේ ප්‍රශ්නය ටිකක් නිරවුල් කරලා, මේ ගැන හිතන්න මිනිස්සුන්ව යොමු කරන එක. සරෝජා චිත්‍රපටියෙන් මම කළේ ඒකයි.

මම මගේ නිර්මාණය තුළින් මිනිස්සුන්ව හිතන්න පෙලඹෙව්වා, ඇයි? මොකක්ද මේ වෙනස? මනුස්සකම කියන එක මේ දෙගොල්ලෝ අතරේම පොදු දෙයක් නේද? කියා

මං හිතුවා ඒ පණිවිඩය වැඩිහිටි වචනවලින් කියනවාට වැඩිය, පුංචි ළමයින් ගේ, ඒ ළමාවියේ චමත්කාරය තුළින් කියපුවාම ඒකේ තියෙන සංවේදීතාවය වැඩියි කියා.

ආපහු හැරිල බලන කොට කතන්දරකාරයා මම එදා ප්‍රාර්ථනා කරපු දෙය, එනම් සිංහල දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය කවදා හෝ නිමාවට පත්වෙලා සිංහල දෙමළ මිනිසුන් සමගියෙන් ජීවත්වෙන දවසක් උදාවේවා කියන දේ, එය අද සඵල වෙලා තියෙනවා.

එක්තරා විදියකට මට පුංචි ආඩම්බරයක් තියෙනවා කතන්දරකාරයා. මගේ චිත්‍රපටිය තුළිනුත්, ඉන් පිට මා පැවැත්වූ විවිධ දේශනවලදී සහ විවිධ කථාබහේදී මා මේ පණිවිඩය ගෙන ගියා. අප ලැබූ සාමයේ එක්තරා දායක්වයක් මටත් තියෙනවා කියලා මට අද හිතෙනවා.

කතන්දරකාරයා- මෙතෙනදී අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද? සරෝජා තුළින් ඔබ අදහස් කළ දේ එසේ වුණත්, ඔබට චෝදනා කළ අය කීවේ, ඒ චිත්‍රපටියේ දී ත්‍රස්තවාදියෙක් වූ සරෝජා ගේ පියා ගේ සමාජමය ප්‍රශ්න සහ සංවේදී මානුෂික පැත්ත පෙන්වීම තුළින් ත්‍රස්තවාදයට අනුබලදීමක් වෙනවා ය කියායි. ඒ ඔවුන් ගේ වැරදි වැටහීමද, නැත්තම් ඔබේ පණිවිඩය ඔවුන් අතරට හරියට ගියේ නැද්ද?

සෝමා- මං හිතන්නේ මෙහෙමයි. ඔය අන්තවාදීන් කියන අය ඉන්නේ දෙමළ ත්‍රස්තවාදීන් අතර පමණක් නෙමෙයි. සිංහල ජාතිකයින් අතරත් ඉන්නවා. ලංකාව මහා ජාතියවෙන සිංහලුන්ට මිස දෙමළ අයට අයිතියක් නෑ කියලා හිතන අයත් ඉන්නවා. ඔවුන් වැරදියි.

ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදීන් වගේම, ලංකාව සිංහලයින්ට පමණක් අයියතිය කියල හිතන අයත් මං හදුන්වන්නේ ජාතී විරෝධීන් හැටියටයි.

කවුරු හෝ කෙනෙක් ලංකාවේ ඉපදුනා නම් ඔවුන්ට අපේ රටේ අයිතිය තියෙනවා. මං සරෝජා චිත්‍රපටියේ කතා කරන්නේ ඒ මධ්‍යස්ථ මතයේ ඉඳගෙනයි. ලාංකික පුරවැසියන් සියලුම දෙනාට ලංකාව අයිතියි.ඒක මේ ඇණ කොටගෙන, වැටවල් ගහගෙන, බෙදා වෙන් කරගෙන ජීවත්වෙන්න නෙමේ, තියෙන දේ බෙදා හදාගෙන සතුටින් සාමයෙන් ජීවත්විය යුතුය කියන මතයේයි මං ඉන්නේ.

මගේ මතයේ නැති සිංහල ජාතිකයෝත් ඉන්නවා. ඔය චිත්‍රපටියේ එන සුන්දරම් ගේ චරිතය ගන්න. එයා කොටි සංවිධානයට බලෙන් වගේ බඳවා ගත්තු කෙනෙක්. ඔහු අසරණ වෙලා ඉන්න කොට සිංහල පවුලක් එයාව බලාගන්නවා. එතකොට අන්තවාදී සිංහලයන් කියනවා ඇයි මේ කොටි ආරක්‍ෂා කරන්නේ කියලා.

මම එතන බලන්නේ සුන්දරම් කොටියෙක් හැටියට නෙමේ මනුෂ්‍යයෙක් හැටියටයි. ඔහුගේ පුංචි දියණිය අපේ දුවෙක් විදියටයි මං දකින්නේ. ඒක තමයි මගේ පණිවිඩය. සමහර අයට මේ පණිවිඩය දිරවන්නේ නෑ. ඒ පටු විදියට හිතන අය එදා මාව සහ මගේ සරෝජා චිත්‍රපටිය ඔය කතන්දරකාරයා දැන් කියපු විදියට විවේචනයට ලක් කළා. ඒකට කමක් නෑ. මං ඒකට සූදානමෙන් තමයි චිත්‍රපටිය කළේ. මං දෙපැත්තේම අන්තවාදී මත හෙළා දකින ස්වාධීන පුද්ගලයෙක්.

කතන්දරකාරයා- ඔය කාලයෙන් පස්සේ, යුද්ධය දරුණුව පැවති අවදියේ දී, කවුරුන් හෝ දෙමළ ජනතාව පිළිබඳව වචනයක් හෝ කතා කළා නම් ඔවුන් සිංහල කොටින් ලෙස හැඳින්වෙන ප්‍රවණතාවයක් ආවා. ඒ වචනය එදා සරෝජා චිත්‍රපටිය කාලේ තිබුණා නම් ඔබවත් සිංහල කොටියෙක් ලෙස හැඳින්වෙන්නට ඉඩ තිබුණා කියලයි මට අද හිතෙන්නේ.

සෝමා පසුව හැදු චිත්‍රපටවල, ළමුන් ගැන සහ ඒ තුළින් වෙනත් සමාජ ප්‍රශ්න ගැන කතාකළත්, ලංකාවේ ලොකුම ප්‍රශ්නය වන යුද්ධය ගැන කතා කෙරුණේ නැහැ. ඒකට හේතුවක් වුණාද, එදා සරෝජා චිත්‍රපටියට ලැබුණු සෘණාත්මක විවේචන?

සෝමා- නෑ, කිසිසේත්ම නෑ, ඒවායින් මං කිසිම පසුබෑමකට ලක්වුණේ නෑ, තවත් ධෛර්යමත් වුණා විතරයි. ඇත්තටම කතන්දරකාරයා, සරෝජා චිත්‍රපටියෙන් පස්සේ මං හැදුවේ පුංචි සුරංගනාවී. එයිනුත් මං කතා කළේ සිංහල, දෙමළ මිනිසුන් අතර තියෙන සමගිය පිළිබදවයි.

මානසික පීඩනයකට ලක්වෙලා ඉන්න දරුවක්, දෙමළ දැරියක ගේ සෙනෙහස නිසා නිවරැදි, නීරොගී ළමයෙක් බව පත්වෙන කතාවයි එහි ඇතුළත් වුණේ. එතන තිබුණෙත් මනුස්සකමේ මහිමය.

මා ඒ කථාවේ අවසානයේදී 83 ජූලි කලබලය එයට සම්බන්ධ කළා. එතනදීත් මට සිංහල අන්තවාදීන් කිව්වා ජූලි කලබලය නැවත මතක් කළ එක වැරදියි කියලා. මං කවදාකවත් ඒ ලැබෙන විවේචනවලට බයේ මාතෘකාව වෙනස් කළේ නෑ.

සරෝජා චිත්‍රපටියේ පසු මා පුංචි සුරංගනාවී චිත්‍රපටය තුළින් ඇතැම් පිරිස් වලට පෙරට වඩා රිදෙව්වා වෙන්න පුළුවන්. මොකද, 83 ජුලි කලබලයේදී අපි පිළිගත යුතුයි අපේ අතින් වැරුද්ක් වූ බව. අපේ ඇතැම් සිංහල මිනිසුන් ක්‍රියා කළ විධිය වැරදියි. අමානුෂිකයි. ඒ වන්දිය තමයි අපි ගෙව්වේ අවුරුදු තිහක් පමණ දක්වා. අපට පිළිතුරු දෙන්න වුණා ඒ කරපු අපරාධවලට. ඒ වැරැද්ද අප පිළිගත යුතුයි.

පුංචි සුරංගනාවී චිත්‍රපටියෙන් පසු මා තවදුරටත් ඒ මාතෘකාව ගැන කතා කළේ නෑ. එහෙම කළා නම් මා නිර්මාණකරුවෙක් නොව එකම දෙයක් ගැන කතා කරන වාර්තාකරුවෙක් වෙනවා.

ඒ නිසා ඉන් පසු මම ලංකාවේ පවතින වෙනත් ප්‍රශ්න ගැන, සූරිය අරණින් පරිසරය, ආගම, සතා සීපාවා ගැන, සමනල තටුවලින් වීදි දරුවන් ගැන, සිරි රජ සිරි වලින් රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්නය ගැන, බින්දු චිත්‍රපටියෙන් රටේ තියෙන අලි-මිනිස් ගැටුම පිළිබඳව කතා කළා.

කතන්දරකාරයා- ඔතනින්ම මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක. සමහරු කියනවා, සෝමරත්න මුලින්ම ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙන චිත්‍රපටියක් හැදුවා. අපි කිව්වා සෝමා, ඔය වගේ චිත්‍රපට හදනවා නම් අපි ඔයාගේ චිත්‍රපටි බලන්නේ නෑ කියලා. සෝමරත්න ඒ කතාව අහලා ඔන්න ඊට පස්සේ හදනවා හොඳ චිත්‍රපටි! ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

සෝමා- ඒ අය එහෙම හිතන්න පුළුවන්. නමුත් සත්‍යය තමයි මං මුලින් සඳහන් කළේ. මං වෙනස් වෙලා නෑ. කලාකරුවෙක් ලෙස පසුව රටේ වෙනත් ප්‍රශ්න දෙස බැලුවා පමණයි.

කතන්දරකාරයා- ඒ මතයේම අනිත් පැත්තේ ඉන්න අය කියනවා මෙහෙම. ඔවුන් කියන්නේ සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ තුළින් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?

ඒ ප්‍රශ්නයට සෝමරත්න දිසානායක දුන් උත්තරය සහ "කඩේ යාම" ගැන ප්‍රශ්ණෝත්තර ඊළඟ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් කියවන්න.

http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

-කතන්දරකාරයා

මෙය තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයකි.

මේ ආකාරයේ වෙනත් කතන්දර මෙන්න.

1. ජැක්සන් ඇන්තනි සමග කළ කතා බහ
2. රෝහන බැද්දගේ සමහ පිළිසඳර
3. විජේරත්න වරකාගොඩ ගැන
4. අනුර කුමාර දිසානායක ගෙන් ඇසූ ප්‍රශ්ණය
5. අර්ජුණ රණතුංග ගේ විහිළු කතා

(image: http://www.colombopage.com/)