Showing posts with label දුමින්ද. Show all posts
Showing posts with label දුමින්ද. Show all posts

Monday, 18 March 2013

දුමින්ද කඩේ යයි - Duminda goes shopping


දුමින්ද ගේ එයාපෝර්ට් ට්‍රිප් එක ගැන කතන්දරේ ලිව්වාට පස්සේ මට පොර ගැන අමතකම වෙලා ගියා. බැලුවාම දැන් අවුරුදු දෙකකටත් වැඩිය ගතවෙලා.

කතන්දර බ්ලොග් එක මුල කාලේ ඉඳලා කියවන අයට නම් සමහර විට තාමත් මතක ඇති දුමින්ද ගැන කියවුණු මෙන්න මේ කතන්දර දෙක.

1. කෝක් වානා - අරක්කු ඕනා
2. යුග දිවියක් ගායනා කිරීම

අද කතන්දරේ දුමින්ද කඩේ ගිය හැටි ගැනයි. මේතන කඩේ යනවාය කියන්නේ අනියම් අරුතෙන් නොවෙයි අර කතන්දරකාරයා කඩේ ගියා වගේ කඩේ යාමක්. වෙත් විදියකින් කියනවානම් විජේකෝන් නාන්න යනවා වගේ කේස් එකක් ගැනයි.

මේ කාලේ දුමින්ද හිටියේ පස්තාච්චි අදින්න ගිහින් තායිලන්තයේ. අපිට වඩා සීනියර් පොරක් වුණු දුමියා ඒ දවස්වලත් බැඳලා, තමන්ගේ සුන්දර බිරිද සුරංගි එක්කයි කැම්පස් එකේ විවාහක සිසුන් සඳහා තිබුණු ගෙදරක වාසය කෙරුවේ.

සුරංගි උයන්න පිහන්න දස්සයි. නිකම්ම නිකං, පරිප්පු, බෝංචි, බොම්බිලි කරෝල නොවෙයි, හොඳ මැකරෝනි, පාස්ටා, බුරියානි වගේ පොෂ් කෑම බීම හදන්නත් එයා එක්ස්පර්ට්. හොඳ හොඳ තායි කෑම, චීන කෑම ජාති හෙමත් හදලා ඒ දවස්වල සුරංගි දුමින්දට කවන්න ඇති.

ඔය කාලේ අපි කෂ්ටිය සතියේ දවස් හයක්ම කෑවේ චමරියක් දාගෙනයි. අපි කැම්පස් එකේම තිබුණු කඩේකට එලවලු බඩු ලයිස්තුව දෙනවා. උන් බඩු ගෙනත් දෙනවා. තායි කුක් කෙනෙක් ඇවිත් උයල දීලා යනවා.

බැඳපු කෂ්ටියට ඒ ක්‍රමය හොඳ මදි. ඒ ගොල්ලෝ පවුල් ටික එකතුවෙලා සති අන්තයේ කැම්පස් එකට ලඟ ටවුමක පොළට යන්නයි කැමති.

මුල කාලේ සුරංගි සහ දුමින්ද කපල් එක අනිත් අය එක්ක බස් එකේ ටවුමට ගිහින් බඩු අරගෙන එනකොට වෑන් (ලූත්) එකක් කුලියට අරගෙන ආපහු එන්නයි පුරුදු වෙලා හිටියේ.

ඉතිං ඔහොම කාලය ගතවෙන කොට සුරංගි ගර්භනී වුණා. නමුත් සති අන්ත ෂොපින් ගමන සුපුරුදු ලෙස කෙරුණා. හැබැයි තවත් මාස කිහියක් ගියාට පස්සේ සුරංගිට මේ ගමන ඔරොත්තු දුන්නේ නැති නිසා කඩේ යන වැඩේ මුළුමණින්ම බාරවුණා දුමින්ද ට.

දුමින්ද ඒ දවස්වල උයන්න තියා කුළු බඩු මොනවද කියලාවත් අඳුණන පොරක් නොවෙයි. ඉතිං සුරංගි කරන්නේ අර කතන්දර හාමිනේ මට නුගේගොඩින් ගේන්න ලියලා දෙනවා වාගේ බඩු ලයිස්තුවක් ලියලා දෙන එකයි.

1. පොටෑටෝස්
2. ටුමෑටෝස්
3. ෆිෂ්
4. බිග් අනියන්
5. මැකරෝනි
6. බීන්ස්
7. චිකන්
8. ගාර්ලික්
9. එග්ස්
10. කොරියන්ඩර් ලීව්ස්

මෙන්න රත්නායක මහත්තයා මට විස්තර කළ විදියට දුමින්ද තායි පොලෙන් බඩු ගන්න හැටි.

මුලින්ම එලවළු කඩේකින් අර්තාපල් ගන්නවා. ඒවානේ සුරංගි ගේ ලයිස්තුවේ අංක එකට ලියලා තියෙන්නේ. රත්නායක ලාත් ඔන්න එතනින්ම ගන්නවා තමන්ට අවශ්‍ය දේවල්. ඊට පස්සේ දුමින්දත් රත්නායක කපල් එක එක්ක යනවා.

දැන් කට්ටිය ඇතුල් වෙන්නේ මස් ජාති තියෙන කෑල්ලටයි. නමුත් දුමින්දට ඕනෑ මස් ගන්න නොවෙයි, ලයිස්තුවේ අංක දෙකට තියෙන තක්කාලි ගන්නයි.

"මේ ටුමෑටෝස් ගන්න තියෙන්නේ කොතනද රමණී?" දුමින්ද අහනවා.

"අයියෝ දුමින්ද අර අපි අර්තාපල් ගත්තු කඩේට අල්ලලු තැන තිබුණනේ!"

"ඇත්තද? එහෙනං මං ගිහින් අරගෙන එන්නම්."

ඉතිං දුමින්ද ආපහු එලවළු කඩ තියෙන පැත්තට ගිහිල්ලා තක්කාලි අරං එනකං රත්නායක ලා චිකන් ගන්නවා.

"හොඳයි මට දැන් ඕනෑ මාළු ගන්න" දුමින්ද කියනවා. ඔන්න කට්ටියම මාළු ලෑලි තියෙන පැත්තට ගිහින් මාළු ගන්නවා.

දැන් ඔන්න දුමින්ද බඩු ලයිස්තුව අරගෙන අංක තුනට ඉස්සරහින් ටික් එකක් දාලා රමණී ගෙන් අහනවා මෙහෙම.

"රමණී කොහෙන්ද මේ ලොකු ලූණු ගන්නේ. බොම්බයි ලූණූ?"

"ඇයි දුමින්ද අර අර්තාපල් ගත්තු තැන තිබුණනේ. ගත්තේ නැද්ද එතනින්?"

දැන් ඉතිං දුමින්ද යනවා ආපහු අර මුලින්ම ගිය කඩේට.

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

බඩු ලයිස්තුව සේරම අරං ඉවරවෙන කොට දුමියා පොළ වටේ පස් හය සැරයක් ගිහිල්ලා! රත්නායකලාටත් හොඳටම හති වැටිලා.

මං ඔය කාලේ හිටියා නම් දුමින්දට කියලා දෙනවා අර ඔපරේෂන් රිසර්ච්වල තියෙන ක්ලැසික් ප්‍රශ්නයක් වෙන ට්‍රැවලින් සේල්ස්මන් ප්‍රොබ්ලම් එක විසඳන ඇල්ගොරිතම් එකක්වත්.

සේරටම මුලින් සුරංගිට කිව්වා නම් බඩු ලයිස්තුව වර්ගීකරණයක් කරලා කොටස් කීපයකට හදන්න, දුමින්ද ගේ ෂොපින් ප්‍රශ්නය ටිකක්වත් ලේසි කරගන්න තිබුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ වෙනකොට නම් දුමින්ද බත් ටිකක්, පරිප්පුවක් වත් උයා ගන්න ඉගෙන ගෙන ඇති!


(image: http://www.bangkokpost.com/)

Wednesday, 26 January 2011

දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක


අපේ දුමින්ද කියන්නේ එක විදියක පොරක්, ඒ කියන්නේ මං දන්න අඳුණන බොහෝ දෙනකුට වැඩිය වෙනස් ගති පැවතුම් තියෙන කෙනෙක්. අපිට ඉවෙන් වගේ තේරෙන සමහර දේවල් පොරට මීටර් වෙන්නේ ම නෑ.

ඒකට නම් හේතුව එක්කෝ පොර ඉන්දියාවෙ ඉගෙන ගත්තු නිසා හරි, නැත්තං සමාජ ආර්ථිකමය වශයෙන් දුමින්ද ගේ පවුල අපේ අනිත් කොල්ලන් ගේ පවුල්වලට වඩා පරම්පරාවක් ඉස්සරහින් හිටිය නිසා හරි වෙන්න ඕනෑ. බොහෝවිට ඔය කාරණා දෙකම නිසා, මයෙ හිතේ.

අර අරක්කු වානා කෝක් ඕනා කතන්දරේ, යුග දිවියක ගීතයක් කතන්දරේ හෙම ප්‍රධාන චරිතය වුනේ දුමින්ද තමයි.

ඔන්න අපි සේරම පස්තාච්චි කුපාඩි වැඩ කරන්න තායිලන්තේ ඉන්න කාලේ, විටින් විට ලංකාවට යනවනේ. සමහරු යනවා නිවාඩුවට,

සමහරු යනවා ගොවියන් කැමති කරවන්න (ඒක වෙනම ම කියන්න ඕනැ කතන්දරයක් -පස්සෙ දවසක බලමු), සමහරු යනවා මනමාලියෝ බලන්න, සමහරු යනවා කසාද බඳින්න.

ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.

ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.

"මින්ද, උඹ ගිහිල්ලත් ආවද බං මේ ඉක්මනට? අපි උඹව එයාපෝට් එකෙන් දාල ආවෙ මේ ඊයෙ රෑ නේද?"

කතාකරල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.

දුමින්දය, ලගේජ් චෙක් ඉන් කරල, එයාපෝට් එකේ ඇතුලට ගිහින් බැලින්නං තව පැයක් විතර තියෙනවලු ප්ලේන් එක යන්න. ඉතිං පොර කරල තියෙන්නේ තේ එකක් බොන්න යන එකයි.

සමහර විට තේ බොන අතරේ, ලොකු කේක් කෑල්ලක් කන්නත් ඇති. කොහොම හරි ඉතිං පොරට ඇහිල නෑ, ලාස්ට් කෝල් ෆෝ චෙකින් ඉන් එනවුන්ස් කරනව තියා, ඊලඟට දෙතුන් පාරක් ම පොරගේ නම ම කියල එනවුන්ස් කරනව වත්.

අන්තිමේ දි දුමින්දගේ බෑග් ටික එළියට ඇදල දාල, ප්ලේන් එක ගිහින් එයාගෙ ගමන කොළඹ බලා. බඩු පොදි බැඳගෙන, ඇඳ පැළද ගෙන ලක ලෑස්ති වෙලා ගිය දුමින්ද ගෙ එදා ට්‍රිප් එක එයාපෝට් එකට විතරක් සීමා වුණා.

හැබැයි ඉතිං අර මල් බිස්නස් අත හරින්න පුළුවන් යැ? දුමින්දය කොහොම හරි තව දවස් දෙක තුනකට පස්සේ ගියා ලංකාවට.

මේ පාරනම් ඇත්තටම ගියා...!!!

-කතන්දරකාරයා

ප/ලි
මේකනං ඇත්තටමපසුව ලියූවකි.

අමුතුවෙන් නොකිව්වාට, මේ දුමින්ද කියන නම මං දාපු නමක් මිස පොර ගේ ඇත්ත නම නෙමෙයි.

අනිත් දුමින්ද ලා - සොරි හොඳේ.

Saturday, 28 November 2009

[කතන්දර] - යුග දිවියක් "ගායනා කිරීම"....?


අරුම පුදුම මාතෘකාවක් නේද? යුග දිවියක් කොහොමද ගායනා කරන්නේ?

ඒක ම තමයි ප්‍රශ්ණය. ඒක ම තමයි අද කතන්දරයත්.

අර මගේ ඉන්දියන් උපාධිකාර යාළුවා මතකයි නේද? නෑ, නෑ, ගෙදරින් උපන් දින සුභපැතුම් කාඩ් එකක් ලැබුණු ඉන්දියන් කාරයා නෙමේ. අර අරක්කු ඕනා කෝක් වානා කතාවෙ ප්‍රධාන චරිතය. මතකයිනේ? අන්න මෑන්ස් තමයි අද කතන්දරේ ප්‍රධාන චරිතයත්. එදා කියන්න අමතක වුනා - පොරගෙ නම දුමින්ද. දුමින්ද සිරිවීර.

ඔන්න අපේ පොඩි පාටියක් තිබුණා. කිහිප දෙනෙක් වෙන්වී රට යෑම නිමිත්තෙන්. අපේ පොරත් එක් කෙනෙක්.

එදා හවස කට්ටියම පාටියට සෙට් වුනා. දුමින්ද ආවෙ තමන්ගෙ ප්‍රියම්භිකාවත් එක්කයි. පොර බැඳල ඒ වෙන කොට අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ.

දුමින්ද මියුසික් වලට කැමති කෙනෙක්. කී බෝඩ් එක ගහන්න පුළුවන් ඉතා හොඳට. ගායනයටත් හැකියාවටත් වඩා යන උනන්දුවක් තියෙනව.

ඉතිං ඔන්න, බීමෙන්, කෑමෙන් පස්සෙ සින්දු කියන වෙලාවත් ආව. දෙතුන් දෙනෙක් ඉස්සරහට ගිහින් මයික් එකත් අරගෙන සින්දු කිව්ව. මට හොදට මතකයි සුදාකරන් කියන අපේ යාපනෙන් ආපු හිතවතා කිව්ව "අකුරු මැකී නෑ" කියන සින්දුව නිකං ඇට්ටි හැලෙන්න. කොහොමටත් පරණ හෝඩි පොතේ වාක්‍ය ඒ විදියටම තියෙන හින්ද ද කොහෙද අකුරක් වත් වැරුද්දුවෙ නැහැ.

ඔන්න දුමින්ද ගෙ ටර්න් එක ආව. පොර ලස්සනට කිව්ව මා බාල කාලේ කියන සින්දුව.

ඒක ඉවර වුනාට පස්සෙ හැමෝම සුපුරුදු පරිදි වන් මෝ, වන් මෝ කියල කෑ ගහන්න ගත්ත. කොහොමටත් විස්කි පදමට ඇවිල්ල ඒ වෙලාව වෙනකොට බීපු උන්ගෙ.

ඔන්න අපේ එකෙක් කියපි එහෙනං දුමින්ද සුරංගි එක්ක යුග ගීතයක් ම කියන්න කියල. සුරංගි කියන්නෙ දුමියගෙ වයිෆරේ.

ඒක ඇහුණු මෙන්න බොලේ දුමින්ද කාරය මයික් එකෙන් මහ හයියෙං කිව්ව, "ආ! යුග ගීතයක් කියන්න අවුරුදු බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනැ නෙ. අපි බැඳල තාම අවුරුද්දක් වත් ගියේ නෑ. දැන්ම ම මොන යුග ගීත ද?" කියල.

අපි බැරිවුනා විනාඩි ගාණක් යනකං දුමින්ද කිව්ව හරුපෙ තේරුම් ගන්න.

ඔන්න තේරුණාට පස්සෙ මල පනින්න හිනා හැමෝටම.

කතාව මෙහෙමයි. දුමින්ද කොහොමටත් කඩු කාරයා. පොර ඉගෙන ගෙන තිබුණෙත් ඉන්දියාවෙනෙ? ඉතිං මෑන් දන්නෙ නෑ "යුග ගීතයක්" කියන එකේ තේරුම. ඒ හින්ද පොරට අපේ ඉල්ලීම ඇහිල තේරුම් අරං තියෙන්නෙ යුග ගීතයක් කියල නෙමේ, "යුග දිවියක්" කියලයි.

ඒ මදිවට පොර යුග දිවිය කියන යෙදුමේ සැබෑ තේරුමත් හරියට දැනගෙන ඉඳල නෑ. සමහර විට දෙමව්පියන් ගෙ අවුරුදු විසිපහේ යුග දිවි සංවත්සරය ගැන මතක් වෙන්න ඇති. ඒකයි පොර අර කිව්වෙ යුග දිවියක් වෙන්න බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනෑනෙ කියල.

ඔන්න ඔහොමයි දුමින්ද යුග දිවියක් ගායනා කළේ!!!

දැන් අවුරුදු කිහිපයක් ගිහිල්ලත් අපිට තමවත් හිනා ඔය කතාව මතක්වෙන කොට.

කතන්දර කාරයා
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

[ SBU කට්ටියගේ හමුවීම : 2009, දෙසැම්බර් මස, 19වැනි සෙනසුරාදා, උදේ 11am සිට සවස 3වන තුරු. Excel World හිදී.]

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Friday, 14 August 2009

අරක්කු ඕනා කෝක් වානා


අර "සෝඩ එපා!" කියන කතාව අහල තියෙනව නේද?

හොඳයි, අහල නැති අය වෙනුවෙන් ඉස්සෙල්ලාම ඒක කියල ඉන්නංකෝ.

ඔන්න පොරක් ගියා යාළුවෙකු ගෙ ගෙදර. යාළුවො දෙන්න ටිකක් කතා බහ කර කර ඉඳල ඔන්න ආගන්තුක සංග්‍රහයට සැරසුනා.

දන්නවානෙ සාමාන්‍ය ක්‍රමය. දෙතුන් පාරක් එපා කියද්දි බලෙන් වගෙනෙ සංග්‍රහ කරන්න ඕනැ.

"තේ එකක් බොමුද?"

"අනේ තේ එපා."

"එහෙනම් කූල් එකක් බොමුද?"

"අනේ කූල් බීම එපා."

"එහෙනම් අරක්කු ටිකක් වත් බොමුද සෝඩ එක්ක ෂැන්ඩි කරල?"

"අනේ සෝඩ එපා!"

මේකත් ඒ වගේ කතාවක්. හැබැයි පොඩ්ඩක් වෙනස්.

අපේ යාළුවෙක් ඉන්නව මිනිහ ඉගෙන ගෙන තියෙන්නෙ ඉන්දියාවෙ යුනිවසිටියක. ඉතිං පොර ලංකාවෙ කොල්ලො කොළු කමට කරන සමහර ඒව ගැන වැඩිය දන්නෙ නෑ. සමහර විට ඒකට තවත් හේතුවක් තමා, අද අපි වගේ අය ආශ්‍රය කෙරුවට, මිනිහ කොළඹ ඉහල මධ්‍යම පන්තියෙ පවුලක කෙනෙක්. මං මෑන් ව අඳුන ගන්න කොට මිනිහ ඉන්දියාවෙ ඉඳල ඇවිත් අවුරුදු කීපයක් ගතවෙලා.

ඔන්න දවසක් අපේ කොල්ලො කෂ්ටිය පොඩි ඩ්‍රින්ක්ස් එකකට සෙට් වුනා.

එතන හිටිය ලංකාවෙ යුනිවසිටි එකක ඉගෙන ගත්ත පොරකුත් මං ලඟදි අඳුනගත්තු. පොර කිව්ව කැම්පස් ඉන්න කාලෙ විභාග ඉවරවෙන දවසට, රිසල්ට්ස් එන දවසට හෙම කොල්ලො එකතු වෙලා බොන විදිය. සල්ලි එක්කහු කරල, මොරටුවෙන් හරි පිලියන්දලින් හරි බඩු ගෙනැල්ල, හොස්ටල් එකේ හරි, බෝඩිමක හරි සෙට් වෙලා බොන හැටි.

මේ කතාව යන අතරෙත් සිද්ද වෙන්නෙ ඒ ආකාරයේම වැඩ සටහනක්. එකම වෙනස, පොල් සහ වඩේ වෙනුවට විස්කි බෝතලයකුයි, කෝක්, අයිස්, සෝඩ යනාදිය තියෙන එකයි.

"හැබැයි, අපි නම් අරක්කු බොන්න කවදාවත් කෝක් දැම්මෙ නෑ!" ලංකාවෙ යුනිවසිටි එකේ පොර කිව්ව.

"ඇයි ඒ, පොල් අරක්කු බොන්න පුළුවන් ද ඩයිලූට් කරන්නෙ නැතුව?" ඉන්දියන් උපාධිකාරය අහනව.

"බොන්න නං අමාරුයි තමා. ඒත් කෝක් ගන්න කෝ සල්ලි? අරක්කු බෝතලේට ගාන හොයා ගන්නෙත් කොච්චර අමාරුවෙන් ද?"

"අරක්කු බොන්න සල්ලි තිබේනම් කෝක් ගන්න සල්ලි නැත්තේ ඇයි? තව රුපියල් කීපයයි නෙ ඕනැ."

"ඒකම තමයි හේතුව, තියෙන සල්ලි ටික අරක්කු වලට ගියාම කෝක් වලට සල්ලි කෝ?"

කොච්චර පැහැදිලි කලත්, අපේ යාළුවට නම් හිතාගන්න ම බැරිවුනා, ලංකාවෙ කොල්ලො කෝක් නොබිව්වෙ ඇයි කියල.

වැඩේ මේකනෙ. අරක්කු නැතුව අරක්කු බොන්න බෑ. ඒත් කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්. ඕකයි සරලම පැහැදිලි කිරීම.

මං ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාවෙ සංකල්පයක් තිබුන මතකයි ගිෆන් භාණ්ඩ කියල. ඒක මේ "අරක්කු ඕනා, කෝක් වානා" සංසිද්ධියට සෑහෙන්න සමානයි.

මේ බ්ලොග් සටහන දැං හුඟක් දික් වුන හින්ද ඒ කතාව තව දවස් දෙක තුනකින් වෙනම දාන්නං.

ආපහු "කතන්දර" බ්ලොග් එකට එන්න අමතක කරන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ඒ ගිෆන් භාණ්ඩ ගැන කතන්දරේ.
http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html

(image: http://www.divaina.com/2010/08/11/news13.html)