
දුමින්ද ගේ එයාපෝර්ට් ට්‍රිප් එක ගැන කතන්දරේ ලිව්වාට පස්සේ මට පොර ගැන අමතකම වෙලා ගියා. බැලුවාම දැන් අවුරුදු දෙකකටත් වැඩිය ගතවෙලා.
කතන්දර බ්ලොග් එක මුල කාලේ ඉඳලා කියවන අයට නම් සමහර විට තාමත් මතක ඇති දුමින්ද ගැන කියවුණු මෙන්න මේ කතන්දර දෙක.
1. කෝක් වානා - අරක්කු ඕනා
2. යුග දිවියක් ගායනා කිරීම
අද කතන්දරේ දුමින්ද කඩේ ගිය හැටි ගැනයි. මේතන කඩේ යනවාය කියන්නේ අනියම් අරුතෙන් නොවෙයි අර කතන්දරකාරයා කඩේ ගියා වගේ කඩේ යාමක්. වෙත් විදියකින් කියනවානම් විජේකෝන් නාන්න යනවා වගේ කේස් එකක් ගැනයි.
මේ කාලේ දුමින්ද හිටියේ පස්තාච්චි අදින්න ගිහින් තායිලන්තයේ. අපිට වඩා සීනියර් පොරක් වුණු දුමියා ඒ දවස්වලත් බැඳලා, තමන්ගේ සුන්දර බිරිද සුරංගි එක්කයි කැම්පස් එකේ විවාහක සිසුන් සඳහා තිබුණු ගෙදරක වාසය කෙරුවේ.
සුරංගි උයන්න පිහන්න දස්සයි. නිකම්ම නිකං, පරිප්පු, බෝංචි, බොම්බිලි කරෝල නොවෙයි, හොඳ මැකරෝනි, පාස්ටා, බුරියානි වගේ පොෂ් කෑම බීම හදන්නත් එයා එක්ස්පර්ට්. හොඳ හොඳ තායි කෑම, චීන කෑම ජාති හෙමත් හදලා ඒ දවස්වල සුරංගි දුමින්දට කවන්න ඇති.
ඔය කාලේ අපි කෂ්ටිය සතියේ දවස් හයක්ම කෑවේ චමරියක් දාගෙනයි. අපි කැම්පස් එකේම තිබුණු කඩේකට එලවලු බඩු ලයිස්තුව දෙනවා. උන් බඩු ගෙනත් දෙනවා. තායි කුක් කෙනෙක් ඇවිත් උයල දීලා යනවා.
බැඳපු කෂ්ටියට ඒ ක්‍රමය හොඳ මදි. ඒ ගොල්ලෝ පවුල් ටික එකතුවෙලා සති අන්තයේ කැම්පස් එකට ලඟ ටවුමක පොළට යන්නයි කැමති.
මුල කාලේ සුරංගි සහ දුමින්ද කපල් එක අනිත් අය එක්ක බස් එකේ ටවුමට ගිහින් බඩු අරගෙන එනකොට වෑන් (ලූත්) එකක් කුලියට අරගෙන ආපහු එන්නයි පුරුදු වෙලා හිටියේ.
ඉතිං ඔහොම කාලය ගතවෙන කොට සුරංගි ගර්භනී වුණා. නමුත් සති අන්ත ෂොපින් ගමන සුපුරුදු ලෙස කෙරුණා. හැබැයි තවත් මාස කිහියක් ගියාට පස්සේ සුරංගිට මේ ගමන ඔරොත්තු දුන්නේ නැති නිසා කඩේ යන වැඩේ මුළුමණින්ම බාරවුණා දුමින්ද ට.
දුමින්ද ඒ දවස්වල උයන්න තියා කුළු බඩු මොනවද කියලාවත් අඳුණන පොරක් නොවෙයි. ඉතිං සුරංගි කරන්නේ අර කතන්දර හාමිනේ මට නුගේගොඩින් ගේන්න ලියලා දෙනවා වාගේ බඩු ලයිස්තුවක් ලියලා දෙන එකයි.
1. පොටෑටෝස්
2. ටුමෑටෝස්
3. ෆිෂ්
4. බිග් අනියන්
5. මැකරෝනි
6. බීන්ස්
7. චිකන්
8. ගාර්ලික්
9. එග්ස්
10. කොරියන්ඩර් ලීව්ස්
මෙන්න රත්නායක මහත්තයා මට විස්තර කළ විදියට දුමින්ද තායි පොලෙන් බඩු ගන්න හැටි.
මුලින්ම එලවළු කඩේකින් අර්තාපල් ගන්නවා. ඒවානේ සුරංගි ගේ ලයිස්තුවේ අංක එකට ලියලා තියෙන්නේ. රත්නායක ලාත් ඔන්න එතනින්ම ගන්නවා තමන්ට අවශ්‍ය දේවල්. ඊට පස්සේ දුමින්දත් රත්නායක කපල් එක එක්ක යනවා.
දැන් කට්ටිය ඇතුල් වෙන්නේ මස් ජාති තියෙන කෑල්ලටයි. නමුත් දුමින්දට ඕනෑ මස් ගන්න නොවෙයි, ලයිස්තුවේ අංක දෙකට තියෙන තක්කාලි ගන්නයි.
"මේ ටුමෑටෝස් ගන්න තියෙන්නේ කොතනද රමණී?" දුමින්ද අහනවා.
"අයියෝ දුමින්ද අර අපි අර්තාපල් ගත්තු කඩේට අල්ලලු තැන තිබුණනේ!"
"ඇත්තද? එහෙනං මං ගිහින් අරගෙන එන්නම්."
ඉතිං දුමින්ද ආපහු එලවළු කඩ තියෙන පැත්තට ගිහිල්ලා තක්කාලි අරං එනකං රත්නායක ලා චිකන් ගන්නවා.
"හොඳයි මට දැන් ඕනෑ මාළු ගන්න" දුමින්ද කියනවා. ඔන්න කට්ටියම මාළු ලෑලි තියෙන පැත්තට ගිහින් මාළු ගන්නවා.
දැන් ඔන්න දුමින්ද බඩු ලයිස්තුව අරගෙන අංක තුනට ඉස්සරහින් ටික් එකක් දාලා රමණී ගෙන් අහනවා මෙහෙම.
"රමණී කොහෙන්ද මේ ලොකු ලූණු ගන්නේ. බොම්බයි ලූණූ?"
"ඇයි දුමින්ද අර අර්තාපල් ගත්තු තැන තිබුණනේ. ගත්තේ නැද්ද එතනින්?"
දැන් ඉතිං දුමින්ද යනවා ආපහු අර මුලින්ම ගිය කඩේට.
ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.
බඩු ලයිස්තුව සේරම අරං ඉවරවෙන කොට දුමියා පොළ වටේ පස් හය සැරයක් ගිහිල්ලා! රත්නායකලාටත් හොඳටම හති වැටිලා.
මං ඔය කාලේ හිටියා නම් දුමින්දට කියලා දෙනවා අර ඔපරේෂන් රිසර්ච්වල තියෙන ක්ලැසික් ප්‍රශ්නයක් වෙන ට්‍රැවලින් සේල්ස්මන් ප්‍රොබ්ලම් එක විසඳන ඇල්ගොරිතම් එකක්වත්.
සේරටම මුලින් සුරංගිට කිව්වා නම් බඩු ලයිස්තුව වර්ගීකරණයක් කරලා කොටස් කීපයකට හදන්න, දුමින්ද ගේ ෂොපින් ප්‍රශ්නය ටිකක්වත් ලේසි කරගන්න තිබුණා!
-කතන්දරකාරයා
ප/ලි:
මේ වෙනකොට නම් දුමින්ද බත් ටිකක්, පරිප්පුවක් වත් උයා ගන්න ඉගෙන ගෙන ඇති!
(image: http://www.bangkokpost.com/)


