Showing posts with label ජැක් ගැසීම. Show all posts
Showing posts with label ජැක් ගැසීම. Show all posts

Friday, 20 April 2012

මහරගම බැංකුවක පෝලිමට XX ගහනවා ඇස් පනාපිට දුටුවෙමි! - Jackson goes to Bank

මේ කතන්දරේ ටයිටලයේ මුලින් තිබුණු ජැක් යන වචනය දැක රැවටී මෙහි කීප පාරක්ම පැමිණි අංකල්ලා ගෙන් සමාව අයදිමින් ටයිටලය වෙනස් කළෙමි.


පිලියන්දල තැපැල් කන්තෝරුවේ තියෙන මයියොක්කා අල වර්ගයේ අපූරු පෝලිමේ දී ජැක් වදින අතරේ පොලිමෙන් පිට අයට සේවාවන් සැපයෙන හැටි ගැන මං ලියපු කතන්දරේම දිගුවක් තමයි අද මේ කියන්න යන්නේ.

මේ සිද්ධිය වුනේ මහරගම හයිලෙවල් පාරේ තියෙන එක්තරා බැංකුවකදීයි. පුද්ගලික බැංකුවක් වන උංගේ නම අදාල නැති නිසා නොලියමි.

මං බැංකුවට ගිය වෙලේ හොඳ වෙලාවට වගේ වැඩිය සෙනගක් හිටියේ නෑ. පෝලිමේ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් කවුන්ටරේ ගණුදෙණු කරනවා. ඊලඟට හිටියා ගෑණු පරාණයක්.

ඔන්න මාත් ගිහින් තුන්වෙනියාට පෝලිමට එකතු වුණා.

පෝලිමක ඉන්නවා කියලා ඇඟේ ගෑවි ගෑවී ඉන්න ඕනෑ නෑනේ. මං හිටියේ මට ඉස්සරහිං හිටිය ලලනාවට සෙන්ටිමීටර් 50 කට විතර පිටිපස්සෙන්, අපි දෙන්නාගේම පුද්ගලික අවකාශය රැකෙන විදියටයි.

ඒ ඉඩ හොඳටෝම ඇතිනේ!

තව තත්පර කීපෙකින් මගේ පිටි පස්සෙනුත් කෙනෙක් ඇවිත් හිට ගත්තා.

ඔන්න තව විනාඩියක් විතර ගියා. එක පරාටම ආවා අංකල් කෙනෙක් අපේ පෝලිම පැත්තට. කළු කලිසමයි, සුදු අත්කොට කමිසෙකුයි ඇඳලා, හම්පටි සෙරෙප්පු දෙකක් දාලා, මල්ලක් අතේ අරං. මට පෙණුන හැටියට පැන්සොං අංකල් කෙනෙක්.

පොර කෙලින්ම ඇවිත් මට ඉස්සරහා හිටිය ලලනාවයි, මායි අතර මං තියාගෙන හිටිය සෙන්ටිමීටර් පනහේ ඉඩ ඇතුලට රිංගුවා!

පොරට අර ලලනාවට ජැකක් ගහන්න ඕනෑ වෙලාද, නැත්තං, මට කියලා එකක් ගහ ගන්න ඕනෑ වෙලාද මන්දා?

මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කේන්ති යන්නේ නෑ. තවත් හොඳ අත්දැකීමක් නේද කියලා හිතිලා සතුටක් ඇතිවෙනවා. පොඩි හිනාවක් යනවා.

ඒ ජොලිය පිට වුනත් මට හිතුණා අංකල්ට පෙන්නන්න ඕනෑ කියලා එයා පෝලිම පැන්න බව.

මං කලේ ඉස්සරහට නැවිලා අංකල්ගේ මූණ දිහා හොඳ විමර්ශනාත්මක බැල්මක් හෙලීමයි.

අනේ පොරට ගාණක්වත් නෑ.

දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!

-කතන්දරකාරයා

ප/ලි
තැන්කියු තැපැල් නෝනා, තැන්කියු බැංකු කස්ටමර් අංකල්. ඔය දෙන්නා නිසා මං කතන්දර දෙකක්ම කොටා ගත්තා. පුද්ගලිකවම ස්තුති කරන්න නොලැබීම ගැන සමාව අයැදිමි.

ප/ප/ලි:
මීලඟට මහල්ලා ඩොට් කොම් වෙබ් අඩවියේ බොස්ගෙන් කතන්දරකාරයාට ආ අපූරු යෝජනාව පිළිබඳ කතන්දරය බලාපොරොත්තු වෙන්න.

එයා ට නං ඊ-මේල් එකකින්ම ස්තුති කරලායි තියෙන්නේ දැනටම!


(image: http://daveberta.ca/2011/06/queue-jumping-for-political-insiders-could-unleash-the-wrath-and-fury-of-albertans/)

Wednesday, 18 April 2012

තැපැල් කන්තෝරුවේ දී සහ බැංකුවේ දී ජැක් වදින හැටි - Jackson in the Queue


පිලියන්දල කඩේකින් ජොක්කු තුන් දෙනෙක් ගන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බය ගැන කතන්දරේ ලියන වෙලාවේ මට මතක් වුණා තවත් අපූරු සිදුවීම් දෙකක්.

එක සිදුවීමක් වුනේ පිලියන්දලම තැපැල් කන්තෝරුවේ දී.

දෙවෙනි සිද්ධිය පිලියන්ද ඉඳලා 341 බස් එකේ ගියාම හමුවෙන මහරගම නගරයේ සම්පත් බැංකුවේ දී වුණු එකක්.

පිලියන්දල සහ මහරගම පලාත් ගැන මං කතන්දර දෙකතුනක්ම ලියලා තියෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනෑ නම් මෙන්න මේ අයගෙන් අහන්න.

1. සිහි සටහන් ලියන/ලියපු චානුක වත්තේගම
2. පිණි පලස ලියන හරී
3. හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩ
4. ටිකක් හිනාවෙන්න ලියන අභීත එදිරිසිංහ
5. සයිබර්යාය ලියන බුද්ධි ලක්ඛණ
6. වැප් ලියන වැප් නිශාන්ත
7. ජේඩී ෂේඩී ලියපු ජේඩී
8. සංසාරේ අපි ලියන දිල්සරා (ජීවීතේ මල්)
9. මගේ සඳ ලියන පසන්

දැන් මෙන්න තැපැල් කන්තෝරුවේ සිද්ධිය.

මං එදා පිලියන්දල තැපැල් කන්තෝරුවට ගියේ ලොකු සයිස් ලියුම් කීපයක් තැපැල් කරන්නයි. එතන ෂු ගාලා සෙනග පිරිලා පොඩි පහේ පෝලිමක් වගේ එකකුත් තිබුණා එක කවුන්ටරයක් ඉස්සරහින්.

හැබැයි ඒකට පෝලිමක්ම කියලා කියන්න බෑ. මොකද, පෝලිමක් කියන්නේ නිකං පේලියට හැඩ ගැසුණු එකක් නේ. මේ කියන පෝලිම නිකං අර හොඳට බැහැපු මයියොක්කා පැලයක අල වගේ දසත විහිදුණු එකක්.

තැපැල් කන්තෝරුව නං එයාර් කන්ඩිෂන්ද කොහෙද, ඒත් මේ කවුන්ටරයේ නෝනා දාඩිය දාගෙන වැඩ. හැබැයි අල්ලපු කවුන්ටරයේ නෝනා ෂපාන් එකේ ඉන්නවා. මොකද එයාගේ රාජකාරිය ලියුං රෙජිස්ටර් කිරීම හෝ විදුලි, දුරකතන බිල් ගෙවීම වගේ වෙනම එකක්.

මුද්දර ටිකක් තියාගෙන ඒ කවුන්ටරයෙනුත් විකුණලා, වැඩ සමතුලිත කරන්න පුළුවන්බව මේ අයට තේරෙන බවක් නං පෙණුනේ නෑ.

කොහොම හරි විනාඩි කීපයක් ගියාට පස්සේ ඔන්න මාවත් තල්ලුවෙලා ගියා කවුන්ටරේ ලී දාරය ගාවට.

මේ වෙනකොට අර මයියොක්කා අල පදුර මට පිටුපස්සේ හොඳ සරුසාරෙට වැවිලා.

මගේ අතේ තිබුණු එක ලියුමක් අරගෙන ඒකේ බර අනුව මුද්දර කීයක ගහන්න ඕනෑද කියලා අහගන්න දෙන්න යනකොටම මට තේරුණේ මට ජැක් ගහගෙන පස්සෙන් හිටි දෙතුන් දෙනෙකුගේ අත් මගේ ඔළුවට උඩින් කවුන්ටරේ නෝනාගේ පැත්තට දික්වෙන බව.

මං පෝලිමේ ඉස්සරහා හිටියාට, ඒ අනුපිළිවෙල මට පිටිපස්සෙන් ඉන්න සමහරුන්ට නං ප්‍රශ්ණයක් නෑ වගේ.

අපේ කන්තෝරු නෝනා මක්කෙයි දන්නවද කෙරුවේ?

මාට නිග්ලෙක්ට් කරලා, මගේ ඔළුව උඩින් එතුමිය පැත්තට පාත්වෙන ලියුමක් අරං ඒකේ වැඩ කරන්න පටන් ගත්තා. ඒ ලියුමට මුද්දර ගහලා, පොතේ ලියලා රෙජිස්ටර් කරන්න විනාඩි දෙකතුනක් ම ගියා.

ඔන්න ආපහු මගේ වාරේ.

"මේ ලියුමට කීයක මුද්දර ඕනෑද?" මගේ එක ලියුමක් කවුන්ටරේ යටින් තල්ලු කරලා මං තැපැල් නෝනාගෙන් ඇහැව්වා.

අනේ නෝනාට ඒක ඇහුනේ නෑ නොවැ.

මගේ ඔළුව උඩින්ද, කිහිල්ලේ යටින්ද කෙහෙන්ද මන්දා ආපු ලියුමක් අරගෙන ඒක ප්‍රොසෙස් කරන්න පටන්ගත්තා.

වැටත් නියරත් ගොයං කා නං කාට කියමිද ඒ අමාරුව?

-කතන්දරකාරයා

ප/ලි:
මහරගම බැංකුවේ ජැක් ගැසීමේ කතන්දරය සිකුරාදාට.

(image: http://timberry.bplans.com/2007/08/an-internet-inc.html)