
පිලියන්දල තැපැල් කන්තෝරුවේ තියෙන මයියොක්කා අල වර්ගයේ අපූරු පෝලිමේ දී ජැක් වදින අතරේ පොලිමෙන් පිට අයට සේවාවන් සැපයෙන හැටි ගැන මං ලියපු කතන්දරේම දිගුවක් තමයි අද මේ කියන්න යන්නේ.
මේ සිද්ධිය වුනේ මහරගම හයිලෙවල් පාරේ තියෙන එක්තරා බැංකුවකදීයි. පුද්ගලික බැංකුවක් වන උංගේ නම අදාල නැති නිසා නොලියමි.
මං බැංකුවට ගිය වෙලේ හොඳ වෙලාවට වගේ වැඩිය සෙනගක් හිටියේ නෑ. පෝලිමේ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් කවුන්ටරේ ගණුදෙණු කරනවා. ඊලඟට හිටියා ගෑණු පරාණයක්.
ඔන්න මාත් ගිහින් තුන්වෙනියාට පෝලිමට එකතු වුණා.
පෝලිමක ඉන්නවා කියලා ඇඟේ ගෑවි ගෑවී ඉන්න ඕනෑ නෑනේ. මං හිටියේ මට ඉස්සරහිං හිටිය ලලනාවට සෙන්ටිමීටර් 50 කට විතර පිටිපස්සෙන්, අපි දෙන්නාගේම පුද්ගලික අවකාශය රැකෙන විදියටයි.
ඒ ඉඩ හොඳටෝම ඇතිනේ!
තව තත්පර කීපෙකින් මගේ පිටි පස්සෙනුත් කෙනෙක් ඇවිත් හිට ගත්තා.
ඔන්න තව විනාඩියක් විතර ගියා. එක පරාටම ආවා අංකල් කෙනෙක් අපේ පෝලිම පැත්තට. කළු කලිසමයි, සුදු අත්කොට කමිසෙකුයි ඇඳලා, හම්පටි සෙරෙප්පු දෙකක් දාලා, මල්ලක් අතේ අරං. මට පෙණුන හැටියට පැන්සොං අංකල් කෙනෙක්.
පොර කෙලින්ම ඇවිත් මට ඉස්සරහා හිටිය ලලනාවයි, මායි අතර මං තියාගෙන හිටිය සෙන්ටිමීටර් පනහේ ඉඩ ඇතුලට රිංගුවා!
පොරට අර ලලනාවට ජැකක් ගහන්න ඕනෑ වෙලාද, නැත්තං, මට කියලා එකක් ගහ ගන්න ඕනෑ වෙලාද මන්දා?
මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කේන්ති යන්නේ නෑ. තවත් හොඳ අත්දැකීමක් නේද කියලා හිතිලා සතුටක් ඇතිවෙනවා. පොඩි හිනාවක් යනවා.
ඒ ජොලිය පිට වුනත් මට හිතුණා අංකල්ට පෙන්නන්න ඕනෑ කියලා එයා පෝලිම පැන්න බව.
මං කලේ ඉස්සරහට නැවිලා අංකල්ගේ මූණ දිහා හොඳ විමර්ශනාත්මක බැල්මක් හෙලීමයි.
අනේ පොරට ගාණක්වත් නෑ.
දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!
-කතන්දරකාරයා
ප/ලි
තැන්කියු තැපැල් නෝනා, තැන්කියු බැංකු කස්ටමර් අංකල්. ඔය දෙන්නා නිසා මං කතන්දර දෙකක්ම කොටා ගත්තා. පුද්ගලිකවම ස්තුති කරන්න නොලැබීම ගැන සමාව අයැදිමි.
ප/ප/ලි:
මීලඟට මහල්ලා ඩොට් කොම් වෙබ් අඩවියේ බොස්ගෙන් කතන්දරකාරයාට ආ අපූරු යෝජනාව පිළිබඳ කතන්දරය බලාපොරොත්තු වෙන්න.
එයා ට නං ඊ-මේල් එකකින්ම ස්තුති කරලායි තියෙන්නේ දැනටම!
(image: http://daveberta.ca/2011/06/queue-jumping-for-political-insiders-could-unleash-the-wrath-and-fury-of-albertans/)
