Showing posts with label නපුරු ගුරුවරු. Show all posts
Showing posts with label නපුරු ගුරුවරු. Show all posts

Tuesday, 25 May 2010

කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා


මේ කතාව මතක් වුනේ චූටි ටීචර් එවපු සාම්පූර්වලට බෝම්බ ගහපු කතාව කියවලා ඉන්දික උපශාන්ත ලියල එවපු ඉරාකෙට බෝම්බ ගහපු කතන්දරේ බ්ලොග් එකට දාන්න සකසන වෙලේයි.

ඒත් අදම මේක දාන්න ඕනැ කියල හිතුනෙ නං ඔය කියපු ඉරාකෙට බෝම්බ කතන්දරේ බුද්ධාගමට පහර දෙන්න බලං ඉන්න අයට උදව් දෙන කැත වැඩක් කියල මට බැනල Katz කියන හාදය දාපු කමෙන්ට් එක බලපු වෙලෙයි.

බුදු අම්මෝ, මං ඊලඟට දාපු කතන්දරෙන් ලංකාවේ පොලීසියටත් අපහාස කරලා නොවැ.

ඇයි දුටුගැමුණු ට අපහාස කළ හැටි.

ශිෂ්‍ය නායකයින් ට අපහාස කළ හැටි.

එතකොට, නපුරු ගුරුවරුන් ට අපහාස කළ හැටි.

කතන්දර කියල ඉවරයි රජෝ!

ඕකෙං මේකෙන් පටන්ගන්න යන කතන්දරෙත් අමතක වෙනව. කෙටියෙන් කියන්නං.

පොඩි පන්තිවල නං අපිට ඉංගිරිසි හැර අනිත් හැම විෂයයක්ම ඉගැනුවෙ පන්තිය බාර ගුරුවරයා නොවැ. ඒත් ලොකු පන්තිවලදි, ගණිතයට, විද්‍යාවට, සමාජ අධ්‍යයනයට වගේ හැම විෂය ගුරුවරයෙක් ඉන්නව.

මෙකෙන් වෙන දේ තමයි, මේ ගුරුවරු තමන්ට බාර පන්තිය හැර, වෙනත් පන්තිවලට තමන්ට නියමිත විෂයය උගන්වන්න ගියාට ඒ පන්තියෙ ඉන්න ළමයින් අතරින් පොර ළමයි කවුද කියල අඳුනන්නෙ නැති එකයි.

හතේ පන්තියෙදි අපිට බුද්ධාගම උගන්වන්න ආවෙ, නන්ද හාමුදුරුවෝ.

පාඩම යන වෙලේ මගේ සිහිය ඉතිං වෙනදා වගේම "දුරං ගමං ඒක චරං" ද කොහෙද කියනවා වගේ වෙන ලෝකෙක තිබුණෙ.

ඒක දැකල වෙන්න ඇති පොර මගෙන් ප්‍රශ්ණයක් ඇහැව්ව මෙන්න මෙහෙම.

"ඉසිපතනයට ඒ නම යෙදුනේ මොකක් හින්දද?"

හාමුදුරුවො උගන්වපු පාඩම අහං හිටිය නං ඕකට උත්තරේ මට කියන්න තිබුණ. නමුත් ඉතිං "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා" නේ! මං උත්තරේ දැනගෙන හිටියෙ නෑ.

මෙන්න බොලේ පොර එතකොට කියපි.

"ඔහොමද පන්තියෙ පාඩම අහගෙන ඉන්නේ? නගිනව පුටුව උඩට!" කියල.

මුළු පන්තියම තක්බීර් වුනා. කතන්දර කුමාර තමයි පන්තියෙ පොර ළමයා. වැඩ කාරයා සහ වාර විභාග වලින් නොකඩවා පලමුවෙනියා.

මං කලින් කිව්ව වගේ, ඔතන වරද වුනේ, හාමුදුරුවෝ ඔය බව දැනගෙන හිටියෙ නෑ!

මං තුමා ප්‍රශ්ණයට අති සාර්ථකව මුහුණ දුන්නා. වැඩි බැලිල්ලක් ඇඹරිලක් නැතුව කෙලින්ම නැග්ග පුටුව උඩට. සමහර විට පොර හිතන්න නැතුව ඇති මං ගට ඇතුව එහෙම කරයි කියල.

මෙමරි ගේම්වලට දඬුවම් දීම එදත් අදත් තේරුමක් නැති වැඩක්. එත් ඔය දඬුවම නං කමක් නෑ කියමුකෝ.

පොර ඊලඟට කියපු කතාව තමයි අන්තිම පාහර කතාව.

"ලැජ්ජ නැතුව නැග්ග හැටි පුටුව උඩ. විලි ලැජ්ජාවක් නැති එකා! තමුසෙව ජාතක කරන්න ඇත්තෙත් ඔය වගෙම ලැජ්ජ නැතුව වෙන්න ඇති".

ඔය වෙන කොට මගෙ වයස අවුරුදු දොලහක් විතර. පොර කියපු ඒ කුණුහරුප කතාව මට නිවරැදිව තේරුණේ ඊට පස්සෙ කාලෙකයි.

කතන්දරකාරයා

ප/ලිඃ
මෙදා පාරත් වෙසක් පෝයට සිල් දානෙට ෆෲට් සැලඩ් අපේ සමිතියෙන්.

ප/ප/ලිඃ
ඔය උඩ තියෙන ප/ලි කෑල්ල ලිව්වේ මගේ හිත සංසුං කරගන්නයි.

Monday, 24 May 2010

සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි


අපේ චූටි ටීචර් ලියා එවපු සාම්පූර්වලට බෝම්බ දාපු හැටි ගැන තිබුණු කතන්දරේ කියවපු ඉන්දික උපශාන්ත සහෘදයා ලියල එව්ව කතාවක් මේක.

සාම්පූර් බෝම්බත් බෝම්බද මේ ඉරාකෙට දාපු බෝම්බ එක්ක බලන කොට? කියවල බලන්නකෝ!

================================================
මේ සිද්දිය උනේ අපි අටේ පන්තියෙදි. අපිට බුද්ධ ධර්මය උගන්නන්න හිටියෙ අත්තුඩාවට අයිති විචිත්‍ර ධර්මකතික පට්ටමක් එහෙම තියෙන හාමුදුරු නමක්.

උන්නාන්සෙ හැමදාම කරේ පොඩි බණක් කියන්නැහෙ එක පාඩමක් විනාඩි 20ක් විතර තනියමම කියවල, අපිට ඒකට අදාල ප්‍රශ්න 10ක් දෙනව ඉතුරු වෙලාවෙ උත්තර ලියන්න. අපි උත්තර ලියනකන් හාමුදුරුවො අර ගුරු පුටුවෙ හේත්තුවෙලා නින්දත් නොනින්දත් අතරෙ සුව විඳින ගමන් කවුරුහරි කොල්ලෙකුට කියනව ඇවිත් එයාගෙ තට්ටෙ අත ගාන්න කියල.

ඔය අතගාන කෙනා උත්තර ලියන්න ඕනි නැති නිසා, එදා පාඩම නොතෙරුන උන් පොරකාල යන්නෙ වැඩේට.

ඉතින් දවසක් අපේ හිටපු හොඳම ඇම්ඩන් කෙනෙක් තට්ටෙ අතගාන වැඩේට සෙට්. ටික වෙලාවක් යනකොට මිනිහ එක අතකින් තට්ටෙ අත ගාන ගමන් අනික් අතින් කලුලෑල්ල අත ගාන්න ගත්ත. තව ටික වෙලාවක් යනකොට අර කලුලෑල්ල අත ගාල හුණු පිරිච්ච අත ඔලුව අත ගාන්නත්, ඔලුවෙ තිබුන අත කලු ලෑල්ලටත් මාරු කරා. දැන් සැරෙන් සැරේ මෙහෙම මාරු වෙවී වැඩෙ යනව.

අපේ හාමුදුරුවොත් තට්ටෙ සුදු කරන් හොඳට නිදි.

කොහොමහරි ඔන්න පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි 5ක් විතර තියෙද්දි උන්නාන්සෙ නැගිටල අපි ඉවරකරල මේසෙ උඩ තිබ්බ පොත් ටිකත් දඩ බඩ ගාල බලල, යන්න නැගිට්ට. එතකොට තමයි දැක්කෙ තමන් කලුලෑලෙ ලියපුව මොකෙක් හරි එහෙන් මෙහෙන් කාල බව.

"කවුද මේක කරපු පාහරය?....." අරක මේක කියල දැන් අපේ හාමුදුරුවොත් ආටානාටිය දෙසනව. ඔය අතරෙ අපි දන්නෙත් නෑ බෙල් එක ගහල, ඊලඟ පීරියඩ් එක අයිති ගුරුතුමීත් මෙතනට කඩන් පහත් උනා.

හුණු නාපු අපේ හාමුදුරුවන්ගෙ යක්ෂාවේසය දැකපු චූටි ටීචර්ගෙන හිනාව දැකල අපි හැමොම මෙච්චර වෙලා ඉතාම අමාරුවෙන් හිරකරන් හිටපු හිනා කටවල් මහ සද්දෙන් ඔන්න එලියට පැනපි.

මේක දැකල උන්නන්සෙගෙ මල උපරිම්යෙන් පිපෙන්න ගත්ත. වැඩෙ තවත් බලන් ඉන්න එක හොඳ නැති හින්ද හරි බලන් ඉන්න තියෙනන අමාරුව හින්ද හරි අපේ චූටි ටීචර් හාමුදුරුවො ලඟට ගිහින් හෙමීට "ඔබ වහ්න්සෙගෙ ඔලුවෙ හුණු!" කිව්ව විතරයි, වෙච්චි දේ පූර්වාපර සන්දි ගලපගන්න අපේ හාමුදුරුවන්ට මයික්‍රෝ තප්පරයක්වත් ගියේ නෑ.

ඩෙස් බංකු පීරගෙන (ඇත්තටම පෙරලගෙන) අපේ මිත්‍රය ගාවට පැනපු හාමුදුරුවො ගෝලයගෙ බෙල්ලෙන් අල්ලල මිනිහව පසග පිහිටුවෝල දෑතින්ම තඩිබාන ගමන් කියනව "තොට වෙලා තීන්නෙ නම වස් වැදිල.. තෝ කෝසල නෙමේ බොල දේවදත්ත!"

මේ පොල්කඩන සද්දෙ කොයි තරම් දරුණුද කියනවනම්, පහල තට්ටුවෙ හිටපු ළමයිනුයි ගුරුවරුයි කඩාගෙන උඩට දුවන් ඇවිත්, තව අපේ උප විදුහල්පතිතුමත් මැදිහත් වෙලා තමයි මේ බෝම්බ දැමිල්ල නවත්තුවෙ.

ඒ එක්කම අපේ යාලුවට first aid room එක හරහ ඉහල උසාවියටම ගිහින් විදුහල්පතිතුමා එක්ක වචනයක් දෙකක් කතා කිරීමෙ විරල අවස්ථාවත්, පහුවෙනිද ඒ අවසථාවම මිනිහගෙ දෙමව්පියන්ටත් ලැබුන.

සැනසිලි තෑග්ගක් හැටියට සති දෙකක නිවාඩුවකුත්, වෙන පන්තියකට මාරුවකුත් තිබුන (ප්‍රින්සිපල් හිතන්න ඇති ඒකෙ උන් ටිකත් නරක් කරන්න ඕනි කියල.)

ඒ කේස් එකන් පස්සෙ අපේ හාමුදුරුවන්ට පහල පන්තිවල උන් නම දාල තිබුනෙ "ජොර්ජ් බුෂ්" කියල. මොකද ඒ දවස්වල තමයි බුෂ් (තාත්ත) කුවේට් අල්ලපු ඉරාක කාරයො එලවන්න බෝම්බ දමමින් හිටියෙ සහ අපි ඉස්සෙල්ලම උඩින් ගිහින් බෝම්බ දානව TV එකේ හැබහින් දැක්කෙ.
================================================

මේ කතන්දරේ කියෝපු වෙලේ මට මතක්වුනා මං ගිය ඉස්කොලෙක හිටිය හාමුදුරුකෙනෙක් ගැන කතන්දරයක්. ලඟදිඟ ලියන්න ඕනෑ ඒ කතාව.

කතන්දරකාරයා

ප/ලිඃ
බොහෝ දෙන ප/ලිඃ ලියන නිසා නොලියමි.

Monday, 17 May 2010

චීචර් කෙනෙක් විසින් කතන්දරකාරයාට ලියා එවූ දෙවෙනි කතන්දරය


මට චීචර් කෙනෙක් මේ කතන්දර බ්ලොග් එකේ දාන්න කියල කියපු මුල් කතාව මීට විනාඩි ගාණකට කලින් පලකළා.

මේ ඒ ටීචර් ලියා එවූ දෙවෙනි කතන්දරයයි. (පොඩ්ඩක් සංස්කරණය කළා.)

=============================================
සාම්පූර්වලට ගහපු ගැහිල්ල

මේ කියන සිද්ධිය උනේ මං උගන්නන කාලෙ.

එහෙම කිව්වම හිතෙයිද දන්නෙ නෑ මං පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක් කියලා.

නෑ මම ආදරය හින්ද රස්සාව දාලා ආපු කෙනෙක්. කොහොම උනත් මගේ විස්තර නම් බ්ලොග් එකට දන්න එපා හොදේ.

මම ඉගැන්නුවෙ ගණිතය. දවසක් මම අටේ පන්තියෙ උගන්නනවා. ඊට එහායින් තියෙන්නෙ තුනේ පන්තිය.

ඒ පන්තිය භාර ටීචර් ටිකක් සැරයි. ටිකක් නෙමේ හුගක් ම සැරයි. නම කාන්ති. අවිවාහකයි. පෙනුම ඉන්ද්‍රාණි පෙරේරා වගේ. හපොයි එයත් කාන්ති පෙරේරා.

ඒ කාලෙ තමයි සාම්පුර් වල ඉදන් කොටි ත්‍රිකුණාමලේ ට ගැහුවෙ.

ඒ කාලෙ අපිත් සද්දෙන් කියන්න දන්නව පිපුරුවෙ, බිම් බෝම්බයක් ද? බට්ටෙක්ද? කාල තුවක්කුද? මල්ටි බැරල් ද කියල.

අතුරු කතා කියල වැඩක් නැහැ අනේ. ඔන්න මම ගණන් හදන්න දිලා හදනකම් බලාගෙන ඉන්න අතරේ ළමයි ටික ටික කසු කුසු.

ඇහුවට කීවෙම නැහැ. ටිකක් සද්ද කරලා ඇහුවම කියනවා, සාම්පුර් වලට ගහන සද්දෙ ඇහුණ ලු.

අනේ මට නම් ඇහුණෙ නෑ. සාම්පුර් වලට ගැහුවනම් කණ ලග ගැහුව වගේ ඇහෙන්න ඕන.

මටත් තද උණා. ඒ ගමන අටේ පන්තියෙ ළමයි මට කියනවා අහගෙන ඉන්න එතකොට ටීචර්ටත් ඇහෙයි කියලා.

අනේ දෙයියනේ! ඊට ටිකකට පස්සෙ මටත් ඇහුණා, මල්කාන්ති ටීච පොඩි උන්ට තඩිබානවා.

අටේ පන්තියෙ ළමයි ඒ සද්දෙට තමයි කියන්නෙ සාම්පුර් වලට ගහනවා කියලා.

=============================================

ආයෙමත් අපේ ටීචර් කතන්දර එව්වොත් ඉතිං පලකරන්නම්. එතකං බලන්නකො මේ දිව උලුක්කු වෙන පද වැල්.

කතන්දරකාරයා

Wednesday, 7 April 2010

රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?


රසික නානායක්කාර කියන කතන්දර බ්ලොග් එකේ රසිකයා මං ලියපු රුපියල් දෙකේ නපුරු ගුරුවරු කියන කතන්දරය කියවලා, තමන්ගේම අත්දැකීමක් අපි හැමෝම එක්ක බෙදාගන්න ලියල එවල තියෙනව.

මේක හරිම දුක හිතෙන කතාවක්.

ඇයි ගුරුවරු, විදුහල්පතිවරු මෙහෙම කරන්නේ? කියවල බලන්න.

========රසික නානායක්කාර ගේ කතන්දරය මෙතැන් සිට======================

මටත් මේ වගෙම අත්දැකීමක් තියෙනවා. කතන්දරගෙ කතාව හරියට මගෙ කතාවට හුඟක් සමානයි.

මමත් පාසලේ දෙවෙනි පන්තියේ ඉන්න කොට තමයි මේ සිදුවීම වුනේ. මමත් ඒ කලෙ ටිකක් නාහේට අහන්නෙ නැහැ. එක වෙනසකට තියෙන්නේ මම දෙකේ පන්තියේ හෝ වෙන පන්තියක දෙපාරක් ඉඳලා නැති එකයි.

මම කියන කතාවෙ කතා නායිකවත් ටිකක් බටකොල ආච්චි කෙනෙක් වගෙ. එක දවසක් මම මොකක් හරි නෝටි වැඩක් කරලා මාව හිටෝල තිබ්බා ටීචගෙ මේසෙ ලඟ. මාව පැය ගානක් ඒ විදියට තිබ්බා කිසිම තෙතමනයක් නැතුව. කොහොමහරි ඉස්කොලේ ඇරුනට පස්සෙ මම ගෙදර ගියා නෝමල් එකේ.

පහුවෙනිදා උදේම පන්තියට ගියා විතරයි අපේ ටීචර් මගෙ ඇඟට ගොඩ වුනා.

"උඹ මගෙ රුපියල් විස්සක් හොරකම් කළා නේද? උඹ තමයි මේ වැඩේ කරන්න ඉන්නෙ. උඹ තමයි මගෙ මෙසේ ලඟ හිටගෙන හිටියෙ" කියලා.

මගේ ඔළුව රත් වුනා ඒ කතාව ඇහුවාම.

ටීචර් දිගින් දිගටම මගෙන් ඇහුවා මම ද ගත්තේ කියලා. මමත් දිගින් දිගටම කිව්වා ගත්තෙ නැහැ කියලා.

මම කොල්ලො එක්ක ගහ ගත්තට හොරකම් කරලා නැහැ. ඒත් ටීචර් මාව සැක කරන එක නැවැත්තුවෙ නැහැ.

ඒ ගමන එයා අළුත් විජ්ජාවක් කරන්න ගත්තා හොරාව අල්ලන්න.

ටීචර් පන්තියේ ඉන්න ළමයි ඔක්කොටම එක සමාන දිග ඉරට්ට ගානෙ බෙදුවා. ඊට පස්සේ කිව්වා හොරාගේ ඉරට්ට දිග වෙනවා කියලා.

ඒ විජ්ජාවේ අරමුණ තමයි හොරා තමන්ගෙ ඉරට්ට කඩන එක දිග වැඩි වෙන නිසා. කොහොම හරි කවුරුවත් තමුන්ගෙ ඉරට්ට කඩලා තිබුනෙ නැහැ. ටීචර් ගෙ ඒ ව්‍යායාමය අසාර්ථකයි.

දැන් ටීචර්ට මල පැනලා ඉන්නෙ. එයා ඒක මගෙ ඇඟට දාන්නමයි කල්පනාව. අන්තිමේදි ටීචර් මේ වැඩේ ලොකු සර්ට කම්ප්ලේන් කළා.

ලොකු සර් ආවා. ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කලා.

"උඹ මේ සල්ලි ගත්තද?"

"නැහැ"

"උඹ මේ සල්ලි දැක්කද?"

"නැහැ"

ලොකු සර් ආයි අහනවා.

"උඹ මේ සල්ලි ගත්තද?"

මං ආයිත් කිව්ව "නැහැ" කියලා.

ලොකු සර් ආයි අහනවා: "උඹ මේ සල්ලි ගත්තද?"

ඒ ගමන මටත් මල පැන්නා.

මම කිව්වා "ලොකු සර්, මම මේ සල්ලි දැක්කෙත් නැහැ, ගත්තෙත් නැහැ" කියලා.

ඒ කියලා ඉවර වෙන්න හම්බුවුනෙ නැහැ ලොකු සර් මගෙ කම්මුලට තඩි පහරක් එල්ල කලා. මට ඒ වෙලවේ නොකල වරදකට ගුටි කාපු එකට පොඩි දුකක් ඇති වුනා. ඒත් මං ඇඬුවේ නැහැ.

ඒත් ඉස්කොලෙ ඇරිලා ගෙදර යනකොට, ගුටි කාපු එක මතක් වෙලා මං ගෙදරට යනකම්ම ඇඬුවා.

මගේ යාළුවො මාව ගේ ලඟට යනකම්ම සැනසුවා මට අද වගේ මතකයි.

========රසික නානායක්කාර ගේ කතන්දරය නිමයි============================

මං ඊයෙ කතන්දරේ ලිව්ව වගේ නපුරු ගුරුවරුන්ගෙන් ගැලවෙන්නම බෑ. ගුටි කතන්න වරදක් කරන්නම ඕනෙ නෑනෙ. මගේ ඇඟෙන් ලේ එන්න වේවැල් පාරක් වැදුනෙ මගේ වරදකට නෙමේ. ටර්පන්ටයින් කාරය මගේ බඩෙන් ඇදල, නොකළ දේකට මාව වරදකරු කරල මට නින්දා කළෙත් ඒ වගේමයි.

සමහර විට, රසික නානායක්කාරයි මායි දෙන්නම ඉස්සර ආත්මෙ පව් කරලා ඇති මෙහෙම නොකළ වරදවල් වලට අහුවෙන්න.

මේ කතන්දරේ ඉවර කරන්නංකො හොඳ මාත්‍රාවකින්.

මං දෙකේ පන්තියෙ හිටපු කාලෙ ගැණ ලියපු බ්ලේඩ් තල කතන්දරේ මන්තරකාරි ටීචර් ගෙ නැතිවුනේ රුපියල් දෙකයි. ඒකෙ වටිනාකම කියන්න මං ලොතරුයියක මිලත් ලිව්ව.ඕක දැකල අපේ කෂ්ටිය ලැහැත්ති වුනා මගෙ වයස හොයන්න.

රසික නානායක්කාර ලියල එවල තියෙන කතාවෙ නැති වෙලා තියෙන්නෙ රුපියල් විස්සක්. දැං හොයන්නකො රසික නානායක්කාර ගෙ වයස!

කතන්දරකාරයා

Tuesday, 6 April 2010

නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?


නපුරු ගුරුවරු ගැන මේ කතන්දර වැල මං පටන් ගත්තේ ඊයේ පෙරේදා දවසක ශාන්ත පාවුළු (St Paul) එකේ ළමයෙකුට විදුහල්පති දුන්න දඬුවමක් නිසා කොන්දේ ඔපරේෂන් එකක් කරන්න වුණු බව අහලයි.

මට ලැබෙන කමෙන්ටු වලින් පේන්නේ අපේ කෂ්ටිය ඉස්කෝලෙ යන කාලෙ හොඳට ගුටි කාපු අය බව විතරක් නෙමේ, මේ නපුරු ගුරුවරුන් ගැන අත්දැකීම් හරිම සර්වකාලීන පොදු අත්දැකීම් කියන බවයි.

මං ලියපු මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර, හෝඩියේ පන්තියේ ටීචර් කරපු පස්ස පුළුස්සන තර්ජනය, දෙකේ පන්තියෙ මන්තරකාරි ටීචර් ගේ බ්ලේඩ් තල තර්ජනය කියන කතන්දර හැම එකක්ම පදනම් වුනේ මං කණිෂ්ඨ ඉස්කෝලෙට යන කාලේ අත්දැකීම් මතයි.

අද මං කියන්න යන්නේ මං හයේ පන්තියෙ ඉඳල ගිය ටවුමෙ පාසැලේ සිද්ධියක්.

අපි හතේ පන්තියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙට අළුතින් කෙල්ලෙක් ආව. නම නිශානි. එයා ඉස්කොලෙ හිටියෙ ටික කාලයයි නිසා ඩයල් එක එච්චරම මීටර් වෙන්නෙ නැතිවුනත් සුන්දර යුවතියක් වගෙයි මගෙ මතකයෙ රැඳිල තියෙන්නෙ.

අපේ ඉස්කෝලෙට අපි නං ගියේ තරග විභාග පාස්වෙලා පොරවල් විදියටයි. නමුත් ටික දවසක් යන කොට ඔය විභාග මොනව වුනත් ළමයි එන්න පටන් ගත්ත හැම වාරෙම දෙතුන් දෙනෙක් ගානෙ. අපිට තරග විභාග තිබ්බට ටීචර් ල ගෙ පවුල් වල ළමයින්ට ඒ වැට කඩුළු නෑ නොවැ.

නිශානි ගෙ පුංචි අම්ම අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක්.

මේ කෙල්ල ආපු දවස්වලම කොල්ලො ටික දෙනෙක් නෝට් කළා එයා නිකං ඉන්න වෙලාවට මොනවද තොල් මතුරනව කියල. මං හිතන්නෙ ඒ ළමය නිතරම සින්දුවක් කිය කියයි හිටියෙ. ඔන්න මට දැනුයි මතක් වුනේ, එයා අපේ ඉස්කෝලෙ හිටිය ටික කාලෙට පන්තියෙ කෙල්ලො ටිකත් එකතු කරගෙන නාට්‍යයක් ලියල නිෂ්පාදනය කරගෙන ගියා, එයා ගෙ පුංචි අම්ම වලියක් දාල ඒක කඩාකප්පල් කරන තුරුම.

කොහොමින් කොහොම හරි පන්තියෙ කොල්ලො නිශානි ට නමක් පට බැන්ද මන්තරකාරි කියල. ඒ අර සින්දු හම් කර කර ඉන්න නිසයි.

මම තමයි මේ දවස්වල පන්ති නායකයා. (ඒකත් නියම කතන්දරේ, පස්සෙ දවසක කියන්න මකරා ගෙන් ඉල්ලීමක් දෙකක් ආවාම!) එක දවසක් ටිචර් කෙනෙක් නැති ෆ්‍රී පීරියඩ් එකක, කොල්ලො කීප දෙනෙක් ගෙ විහිළු නිමක් නැතුව ගියා. මං කිව්වට උන් සත පහකට ගනං ගත්තෙ නෑ.

ඊ ලඟ දවසෙ උදේ පාන්දරම අපේ පන්තියට ආවෙ අංශ භාර (Section Head) ප්‍රධානියායි. දැක්කහම අපිට දුවන් හිතෙන තරම් වස මූණක් තියෙන පොරක් තමයි මේ ටර්පන්ටයින් ගුරුතුමා. හැබැයි වේවැලක් නං පාවිච්චි කලේ නෑ.
නිෂානි ගෙන පුංචි අම්මට, එතනින් ටර්පන්ටයින් ට ගිහින් වගේ කලින් දවසෙ වුනු දේවල්.

ටර්පන්ටයින් ආව පන්තිය ඉස්සරහට. සේරම කොල්ලො කෙල්ලො නැගිට්ට. ඇත්තටම නං නැගිට්ටවුනා.

"කවුද නිශානි ට ඊයෙ විහිළු කරල කරදර කලේ?"

කවුරුත් කතා නෑ. මොන කතාද? අපිට මේ ටොයිලට් යන්න ඕනැ, ඕනැ, වගේ.

"නිශානි කවුද ඔය ළමයට විහිළු කළ පිරිමි ළමයි?"

නිශානි පෙන්නුව අපේ පන්තියෙ හිටපු ජයශාන්තව. කලින් දා පිස්සු කෙලපු අය ගෙන් එකෙක් තමයි ඌ.

"ජයශාන්ත මෙහෙට එනව!" ටර්පන්ටයින් කෑ ගැහැව්ව.

ආපු ගමන් ඇදල ගත්තෙ නැත්ද කලිසමේ බඩ හරියෙන්. පොරට නං අනිවා චූ බර වැඩි වෙන්න ඇති බයටම.

"වෙන කවුද විහිළු කලේ?"

නිශානි සද්ද නෑ. මේ කෙල්ල ඇවිල්ල සති දෙකයි. මං හිතන්නෙ නෑ කොල්ලන් ගෙ මූණු එහෙමට මතක තිබුණ කියල.

"මේ කතන්දරකුමාරත් විහිළු කළාද?"

නිශානි ඔළුව වැනුවද කොහෙද. මෙන්න බොලේ ටර්පන්ටයින් කාරය මාවත් ඇදල ගත්තෙ නැද්ද බඩෙන්ම.

මට රිදුනට වැඩිය මාර ලැජ්ජාවක් ආවෙ. මං පන්තියෙ පලමුවෙනියා වාර විභාගෙදි. ඒ මදිවට පන්ති නායකය. මට මේ වෙන දේ අදහන්න බැරුව ගියා. අවංකවම, මං නිශානි ට මන්තරකාරි කියල විහිළු කළා තියා, කරන්න තුන් හිතකින්වත් හිතුවෙවත් නැති හින්ද.

"අපේ පන්තියෙ කොල්ලො විසි දෙනෙක් විතර හිටිද්දි ඇයි මාවම මේ ටර්පන්ටයින්කාරය ඇදල ගත්තෙ?
ඇයි අනිත් අය ගැන ඇහුවෙ නැත්තෙ?
නිශානි ඔළුව වැනුවොත් මං වැරදිකරු වෙනවද? අර පස්සෙ කාලෙ බිල්ලො දාල ජේවීපී අයව ඇල්ලුව වගේ.
පුදුම නඩු ඇහිල්ලක් නෙ ඒක."

එත් ඉතිං ඕව මගේ හිතේ විතරක් කියවුනු තර්ක.

මට දුක මෙන්න මේකයි. ඒ අවුරුද්ද ඉවරවෙන්නත් කලින් නිශානි අපේ ඉස්කෝලෙන් අස්වෙලා ගියා. ඒ යන්න කලින් අනේ මට කියාගන්න බැරිවුනානෙ මං එයාට හිනාවුනේ නෑ කියල.

කතන්දරකාරයා

Monday, 5 April 2010

රුපියල් දෙකේ නපුරු ගුරුවරු


අද මං මේ ලියන්නේ නපුරු ගුරුවරු ගැන තුන්වෙනි කතන්දරයයි.

මං මුලින්ම ලියපු විදුහල්පති ගේ වේවැල් පාර කාලා මගේ ලේ සෙලවීම ගැන කතන්දරේටත්, ඊලඟට ලියපු හෝඩියේ පන්තියේ ටීචර් ගේ තර්ජනය ගැන කතන්දරයටත් ප්‍රතිචාර ගොඩක් ලැබුණා.

අද මං කියන්න යන්නේ මගේ හිතේ රැඳිලා තියෙන තවත් බියකරු කතාවක්.

මං දෙකේ පන්තියේ මාලවතී ටීචර් ගෙ 2B පන්තියෙ ඉගෙන ගත්තු කාලේ, අපේ පන්තියට අල්ලපු (2A) පන්තිය බාරව හිටියේ ටිකක් වයසක ටීචර් කෙනෙකුයි. කොණ්ඩෙ සුදු, ඔසරි අඳින, පැන්ෂන් යන්න ලඟ කෙනෙක්. අද මට එයාව සිහිවෙන්නේ මන්තරකාරියක් වගේ චිත්‍රයක් සිතේ ඇඳෙමිනුයි.

ඔය මන්තරකාරි ටීචර් ගෙ පන්තියෙ හිටිය ලාල් කියල ටිකක් දඩබ්බර කොල්ලෙක්. අපිට වැඩිය වයසයි අවුරුද්දක් විතර. මොකද කියනව නම් ලාල් ඒ දෙකේ පන්තියෙ ඉන්න දෙවෙනි අවුරුද්දයි
.
එක දවසක් මන්තරකාරි ටීචර් ගෙ බෑග් එකේ තිබුණු රුපියල් දෙකක් නැතිවෙලා. ඒ දවස්වල රැපියල් දෙකක් කියන්නෙ ලොකු ගානක්. මහජන සම්පත ලොතරුයියක් ශත පනහයි. පාන් ගෙඩියක් ශත තිස්පහයි.

මන්තරකාරි ටීචර් මේකට කෙලින්ම සැක කලේ ලාල් ව.

ලාල් ඇත්තටම මන්තරකාරි ටීචර් ගෙ බෑග් එක ඇරල ඒකෙ තිබුණු රුපියල් දෙක හොරෙන් ගත්තද කියල මං හරියටම දන්නෙ නෑ. ඒත් මට ලාල් කිව්වෙ, පොර හොරකම් කලේ නෑ කියලයි.

ලාල් මට ඊට වඩා දරුණු දෙයක් කිව්ව. ඒ මන්තරකාරි ටීචර් ලාල් ට තර්ජනය කරපු විදිය.

"මං බ්ලේඩ් එකක් අරගෙන උඹේ ඇඟිලි කපනව!" කියල යි මන්තරකාරි ටීචර් ලාල් ට තර්ජනය කරල තියෙන්නෙ. ඒ කතාවෙන් ලාල් බයවෙලා හිටියෙ නෑ. පොර මට ඒ කතාව කිව්වෙ හිනාවෙවී.

බය වුනේ මායි. ඒ ටීචර්වයි, ඔය කතාවයි මතක් වෙනකොට මගේ හිතේ මන්තරකාරියෙකු ගෙ චිත්‍රයක් ඇදෙන්නේ ඒ නිසා විය යුතුයි.

අන්තිමට මේකත් කියන්න ඕනැ. මේ මං කියන කතන්දර ඒ කාලෙත්, පසු කාලෙත්, අදත් ලංකාවෙ ඉස්කෝලවල වෙන දේවල් එක්ක සසඳල බලන කොට නිකං අහසට පොළොව වගේ දේවල්.

නමුත්, මං ඊයෙත් ඇහුව වගේ, ඇයි මේ කතන්දර අවුරුදු බර ගාණකට පස්සෙත් මගේ හිතේ එදා වගේම අදත් රැඳිල තියෙන්නෙ?

මගේ මතකය මේ කතන්දර වලින් පිරිල හින්ද පාඩුව මට ම යි. අළුතින් දේවල් දාගන්න Hard Disk එකේ ඉඩ නෑ.

කතන්දරකාරයා

Sunday, 4 April 2010

මිලාගිරියේ St Pauls වල විතරද නපුරු ගුරුවරු ඉන්නේ?


මිලාගිරියෙ සෙන්ට් පොල් එකේ ස්ටුඩන්ට් කෙනෙකුට ඒ ඉස්කොලේ ප්‍රින්සිපල් දුන්නු දඬුවමක් ගැන කියවපු මගේ හිතට අපේ කාලේ හිටපු නපුරු ගුරුවරු, විදුහල්පතිවරු ගැන කතන්දර එක දිගට ගලාගෙන ආව.

මං ඊයෙ ලිව්ව නපුරු විදුහල්පති ගැන කතන්දරයට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් ඉහලයි.

මට පේනනෙ අපේ කට්ටිය හුඟ දෙනකුට මේ නපුරන් ගේ නපුරු කම්වල නපුරු ගතිය දැනිල තියෙනව අඩු, වැඩි වශයෙන්.

නපුරු ගුරුවරු වගේම සොඳුරු ගුරුවරුත් හිටිය ඒ දවස්වල. අදත් එහෙමයි. සමහරු වෙලාවකට සොඳුරුයි, වෙලාවට නපුරුයි.

මුලින් නපුරු අය ගැන ලියල ඉවර කරන්නම්කෝ.

අද කතන්දරේ මෙන්න මේකයි.

අපි ඒ දවස්වල අවුරුදු පහේ පොඩි ළමයි. ඔන්න අපේ හෝඩියෙ පන්තිය බාර ටීචර් අපිට මොකක් හරි වැඩක් බාර දීල තමන් තමන්ගෙ වැඩක් කරන්න පටන් ගත්ත.

මට මතක විදියට මං චිත්‍රයක් අඳින්න පටන් ගත්ත. ඔන්න එක පාටරම අපේ ටීචර් නිකං පරල වෙලා වගේ කෑ ගහන්න පටන් ගත්ත, හරිම සද්දෙන්. මෙච්චරයි මට මතක ඒ වචනවලින්.

"මීට පස්සෙ හෙම අහුවුනොත් පුච්චනව පස්ස පැත්ත."

පන්තියේ ඉස්සරහ හිටිය ලමයෙක් දුවල හිහිං පුටුවක වාඩි වුනා. අපි ළමයි සේරම දෙනා පුදුමයට පත්වුනා කිව්වොත් නිවරදියි.

පස්සෙ අපිට ආරංචි වුණු හැටියට මේකයි වෙලා තිබුණෙ.

අපේ පන්තියෙ එක ගෑණු ළමයෙක් යට ඇඳුමක් අඳින්නෙ නැතුව ගවුම විතරක් ඇඳන් පාසල් ඇවිත්. මේ ළමය පන්තියෙ ඉස්සරහට ගිහින් නැමිල ඉන්නකොට අපේ ටීචර්ට ඔය බව පෙනිල. ඒ හින්දයි ඒ වගේ මහා ගාලගෝට්ටියක් කළේ.

අපේ ඉස්කෝලෙ ගමේ පාසලක්. අපි දවස්වල පාසලට ඇන්දෙ සාමාන්‍ය ඇදුම්. යුනිෆෝම් තිබුනෙ නෑ. අපේ ටීචර් ට කරන්න තිබුනෙ එදා කලේ වගේ කෑ ගහන එක නෙමේ. හොරෙන්ම ළමයින්ගේ අම්මාට ඔය සේරම කතාව කියන්නයි.

ප/ලිඃ
මේ කතාවෙ වැඩි දෙයක් නෑ වෙන්න පුළුවන්. ඒත් මේ සිද්ධිය වෙලා දශක ගණනාවකට පස්සෙත් තාමත් මේ සිද්ධිය මගේ හිතේ රැඳිල තියෙන්නෙත්, ඒක මතක් වෙන කොට බිය මුසු හැඟීමක් මගෙ හිතට එන්නෙත් ඇයි?

නැවත දවසක තවත් කතාන්දරයක් සමග හමුවෙමු.

කතන්දරකාරයා

Saturday, 3 April 2010

මිලාගිරියේ St Pauls නපුරු විදුහල්පති සහ අපේ කාලයේ නපුරු ගුරුවරු


අද දිවයින පත්තරයේ තිබුණු එක්තරා ප්‍රවෘත්තියක් දැක්කට පස්සෙයි මේ කතන්දරය ලියන්න මට හිතුනෙ. මේක ඇත්තටම එක කතන්දරයක් නෙමේ, කතන්දර වැලක ආරම්භයක් කියල කියන්නත් පුළුවන්.

කතන්දරකාරය අවුරුදු දාහතරක් ම ඉස්කෝලෙ ගිහින් අවසාන වුනේ දැන් සෑහෙන්න කාලෙකට කලින්. මං හිතං හිටියෙ ඒ කාලෙ හිටිය නපුරු විදුහල්පතිවරුයි, නපුරු ගුරුවරුයි, කාලයේ වැලිතලාවෙන් දැන් වැසී ගොහින්, ලංකාවේ සමාජය ඉදිරියට ගිහිල්ලා කියලයි.

නමුත් මේ සෙන්ට් පෝල් එකේ ළමයගේ ප්‍රශ්ණය නිසා ලෝකෙ තාමත් කොච්චර කුරිරුද කියල මට හිතුන. මීට මාස හය හතකට කලින් අර කෑගල්ලෙ දෙමල තාත්ත කෙනෙක් දිවිනසා ගත්ත මතකද, තමන්ගෙ පුතාට ඉස්කෝලයක් නැහැ කියල. ටීචර්ල ගෙ කැත වැඩ නිසාහිටපු ඉස්කෝලෙන් අස්කර ගන්න උනාට පස්සෙ.

මේ සේරම දේවල් හින්ද තමයි නපුරු ගුරුවරුන්, විදුහල්පතිවරුන් ගැන මේ කතන්දර පෝලිම ලියන්න ඕනැම කියල හිතුනෙ.

කතන්දර කුට්ටි කරනව කියල දොස් කියන්න නං එපා. මේව එච්චර ලොකු කතා නෙමේ කොහොමටත්.

මිලාගිරියෙ බාලිකා ඉස්කෝලෙ විදුහල්පතිනියගෙ වැඩ ගැන කියවපු වෙලේ මට ඉස්සෙල්ලාම මතක් වුනේ මං හතරෙ පන්තියෙදි වෙච්ච සිද්දියක්.

අපි ප්‍රාථමික පන්තිවල ඉන්න කොට ඉංගිරිසි හැර අනෙක් සේරම විෂයයන් උගන්වන්නෙ පන්තිය බාර ටීචර් තමයි. වාර විභාග පවත්වන්නෙත්, ලකුණු දෙන්නෙත් එතුමියම තමයි. ඉංගිරිසි වලට වෙනම සර් කෙනෙක් හිටිය.

ඔන්න එක වාර විභාගයක් ඉවර වෙලා ටීචර් රිපෝර්ට් කාඩ් හදන කොට තමයි තේරුනේ, මගෙයි තව ළමයි දෙතුන් දෙනෙකුගෙයි ඉංගිරිසි ලකුණු එයා ට ලැබිල නැති බව.

කතන්දර, ගිහින් ඉංගිරිසි සර්ගෙන් ලකුණු සේරම ලයිස්තුව ඉල්ලගෙන එන්න අපේ ටීචර් මට කිව්ව.
මාත් ඉතිං ඒ අණ පිලිපැද්ද.

ඉංගිරිසි සර් ගෙ මේසෙ වටේ ළමයි දෙතුන් දෙනෙක් පිරිල හිටිය. සර් උත්තර පත්තර සේරම අවුල් කරගෙන. ඔන්න ඉතිං එයා සේරම කොල කෑලි අවුස්ස අවුස්ස අපේ ලකුණු හොයන්න පටන් ගත්ත.

එක පාරටම, එතන හිටපු අනිත් ළමයි ටික අන්තර්ධාන වුණා. මං විතරයි ඉතුරු වුනේ. බැලින්නං අපේ නපුරු විදුහල්පතිතුමා සම්ප්‍රාප්ත වෙලා.

එතන හිටපු අනිත් ළමයි කෙසේ වෙතත්, මං එතනට ඇවිල්ල හිටියෙ අපේ පන්ති බාර ටීචර් ගෙ පණිවිඩයකට නෙ. මං බලං හිටිය අපේ ඉංගිරිසි සර් මට ලකුණු ලයිස්තුව හොයල දෙනකං. ඔය අතරෙ, නපුරු විදුහල්පතිතුමා අපේ ඉංගිරිසි සර් එක්ක මොකක්දෝ කතාවක් පටන් ගත්ත.

තත්පර කිහිපයකින් පොර දැක්ක මං එතන නොසැලී ඉන්න බව. දැකල පොර හැරුණ මං හිටිය පැත්තට.

ගුරුවරු කතා කරන තැන්වල මොකද මේ කරන්නේ කියල මට බණින ගමං කෙලින්ම ජාතික ඇඳුමෙ අත යටින් එලියට ආව එයාගෙ දිග වේවැල.

හොඳ වෙලාවට මං ආපහු හැරුණෙ. ඒක හින්ද වේවැල් පාර වැදුණෙ මගෙ කකුලට විතරයි. කකුලෙ තිබුණු පොඩි විසර ගෙඩියක් පැලිල ලේ ගලන්න පටන් ගත්ත.

අපි හිටපු තැනට එයා තමයි පස්සෙ කඩං වැටුනෙ කියල විදුහල්පති එක්ක රණ්ඩු කරන්නයැ?

මං ගුටිය කාගෙන අපේ පන්තියට දුවල ගියා.

ඇක්සයිස් පොතක අග පිටුවෙන් බාගයක් කඩල කෙලවලින් ඒක පොඟෝල අර ලේ එන තුවාලෙ අලව ගත්ත.
එච්චරයි. අද වෙනතුරු මං අපේ අම්මටවත් කිව්වෙ නෑ මේ කතාව.

"ආනන්තර්ය පාප කර්මයක්" කියන්නෙ, පාසැල් සිසුවෙකුගෙ ලේ හෙලවීමට නෙමේ නේද? මං හිතන්නෙ ඒක "අහෝසි කර්මයක්" වෙන්න ඇති.

සමහර විට, මට එදා පටිසන් දුන්නෙ "අපරාපරියවේදනීය කරමයක්ද" දන්නෙත් නෑනේ.

කෝ මේ අපේ සුදන්ත සාදු?

කතන්දරකාරයා