
මේ කතාව මතක් වුනේ චූටි ටීචර් එවපු සාම්පූර්වලට බෝම්බ ගහපු කතාව කියවලා ඉන්දික උපශාන්ත ලියල එවපු ඉරාකෙට බෝම්බ ගහපු කතන්දරේ බ්ලොග් එකට දාන්න සකසන වෙලේයි.
ඒත් අදම මේක දාන්න ඕනැ කියල හිතුනෙ නං ඔය කියපු ඉරාකෙට බෝම්බ කතන්දරේ බුද්ධාගමට පහර දෙන්න බලං ඉන්න අයට උදව් දෙන කැත වැඩක් කියල මට බැනල Katz කියන හාදය දාපු කමෙන්ට් එක බලපු වෙලෙයි.
බුදු අම්මෝ, මං ඊලඟට දාපු කතන්දරෙන් ලංකාවේ පොලීසියටත් අපහාස කරලා නොවැ.
ඇයි දුටුගැමුණු ට අපහාස කළ හැටි.
ශිෂ්‍ය නායකයින් ට අපහාස කළ හැටි.
එතකොට, නපුරු ගුරුවරුන් ට අපහාස කළ හැටි.
කතන්දර කියල ඉවරයි රජෝ!
ඕකෙං මේකෙන් පටන්ගන්න යන කතන්දරෙත් අමතක වෙනව. කෙටියෙන් කියන්නං.
පොඩි පන්තිවල නං අපිට ඉංගිරිසි හැර අනිත් හැම විෂයයක්ම ඉගැනුවෙ පන්තිය බාර ගුරුවරයා නොවැ. ඒත් ලොකු පන්තිවලදි, ගණිතයට, විද්‍යාවට, සමාජ අධ්‍යයනයට වගේ හැම විෂය ගුරුවරයෙක් ඉන්නව.
මෙකෙන් වෙන දේ තමයි, මේ ගුරුවරු තමන්ට බාර පන්තිය හැර, වෙනත් පන්තිවලට තමන්ට නියමිත විෂයය උගන්වන්න ගියාට ඒ පන්තියෙ ඉන්න ළමයින් අතරින් පොර ළමයි කවුද කියල අඳුනන්නෙ නැති එකයි.
හතේ පන්තියෙදි අපිට බුද්ධාගම උගන්වන්න ආවෙ, නන්ද හාමුදුරුවෝ.
පාඩම යන වෙලේ මගේ සිහිය ඉතිං වෙනදා වගේම "දුරං ගමං ඒක චරං" ද කොහෙද කියනවා වගේ වෙන ලෝකෙක තිබුණෙ.
ඒක දැකල වෙන්න ඇති පොර මගෙන් ප්‍රශ්ණයක් ඇහැව්ව මෙන්න මෙහෙම.
"ඉසිපතනයට ඒ නම යෙදුනේ මොකක් හින්දද?"
හාමුදුරුවො උගන්වපු පාඩම අහං හිටිය නං ඕකට උත්තරේ මට කියන්න තිබුණ. නමුත් ඉතිං "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා" නේ! මං උත්තරේ දැනගෙන හිටියෙ නෑ.
මෙන්න බොලේ පොර එතකොට කියපි.
"ඔහොමද පන්තියෙ පාඩම අහගෙන ඉන්නේ? නගිනව පුටුව උඩට!" කියල.
මුළු පන්තියම තක්බීර් වුනා. කතන්දර කුමාර තමයි පන්තියෙ පොර ළමයා. වැඩ කාරයා සහ වාර විභාග වලින් නොකඩවා පලමුවෙනියා.
මං කලින් කිව්ව වගේ, ඔතන වරද වුනේ, හාමුදුරුවෝ ඔය බව දැනගෙන හිටියෙ නෑ!
මං තුමා ප්‍රශ්ණයට අති සාර්ථකව මුහුණ දුන්නා. වැඩි බැලිල්ලක් ඇඹරිලක් නැතුව කෙලින්ම නැග්ග පුටුව උඩට. සමහර විට පොර හිතන්න නැතුව ඇති මං ගට ඇතුව එහෙම කරයි කියල.
මෙමරි ගේම්වලට දඬුවම් දීම එදත් අදත් තේරුමක් නැති වැඩක්. එත් ඔය දඬුවම නං කමක් නෑ කියමුකෝ.
පොර ඊලඟට කියපු කතාව තමයි අන්තිම පාහර කතාව.
"ලැජ්ජ නැතුව නැග්ග හැටි පුටුව උඩ. විලි ලැජ්ජාවක් නැති එකා! තමුසෙව ජාතක කරන්න ඇත්තෙත් ඔය වගෙම ලැජ්ජ නැතුව වෙන්න ඇති".
ඔය වෙන කොට මගෙ වයස අවුරුදු දොලහක් විතර. පොර කියපු ඒ කුණුහරුප කතාව මට නිවරැදිව තේරුණේ ඊට පස්සෙ කාලෙකයි.
කතන්දරකාරයා
ප/ලිඃ
මෙදා පාරත් වෙසක් පෝයට සිල් දානෙට ෆෲට් සැලඩ් අපේ සමිතියෙන්.
ප/ප/ලිඃ
ඔය උඩ තියෙන ප/ලි කෑල්ල ලිව්වේ මගේ හිත සංසුං කරගන්නයි.






