Thursday 30 September 2010

මනමේ කුමාරි ගේ කන්‍යාභාවය රැකුණාද!


මේ කාලීන මාතෘකාව ගැන මං ලියන්න පටන් ගත්තු කතන්දරේ ඇදිල ඇදිල දිග වැඩි වීම නිසා අතරමග නවත්තන්න වුණා. මුල් කොටස මෙතනින් බලල එන්න නොබලපු අය. මෙන්න අද ඉතුරු කොටස.

මනමේ කුමාරි ට ඒ නම ලැබුනේ මනමේ කුමාරයාව බැන්ද හින්දයි. එයාගෙ තාත්ත තමයි, තක්සලා විශ්ව විද්‍යාලයෙ වයිස් චාන්සලර් හෙවත් ප්‍රොෆෙසර් දිසාපාමොක්.

මනමේ කුමාරය බැච් ටොප් කරල ධනුද්ධර ස්පෙෂල් ඩිග්‍රියේ ෆස්ට් ක්ලාස් එකක් ගහපු ගමං ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, පටස් ගාල බන්දල දැම්ම, දෙන්නව ඒ මොහොතෙම ගමේ පිටත් කළා.

මුං දෙන්න පොඩි හනිමූන් එකකටවත් නතරවෙන පාටක් වත් පේන්නේ නෑ. පොඩි සින්දුවක් දාගෙන කැලෑව මැදින් ඔහේ යනව. නාට්‍යය බලන් ඉන්න අපිට ඌරු ජුවල්. යකෝ දැන් කාලෙ තක්සලාවල ඉන්න කපල්වලට නං, ඔය පොඩි බංකුවක්, සමර් හට් එකක් තිබුනත් ඇති. (වරප්‍රසාද ලාභීන්ට නං ඉතිං මහවැලි ගඟබඩ පෙම් මග තිබුණා!) මේ පරණ රජ කෂ්ටිය හරි අමුතුයි වගේ නේද?

මේ කැලේ හිටිය වැද්දෝ රංචුවක්. මුං නාහෙට අහන්නේ නැති දඩබ්බර වනචරයෝ. ඒ වැදි රටෙත්, රජෙක් තමයි සීන් එක ගෙනිච්චේ.
මනමේ කුමාරි ගේ රූප ශ්‍රීය දැකල ඛේඨ ධාතුව ක්‍රමාංකුංඡණය කරපු වැදි රැලේ උන් ගේ හිතට මුලින්ම ආපු චේතනාව තමයි දුවල ගිහිං තමන්ගෙ රජාට ඔය නිවුස් එක දෙන එක.

අන්න බලන්න වැදි ගතිය. හොඳ කෑල්ලක් වැයික්කියට ආවාම ඒකෙ අයිතිය රජාට කියලයි බලු ගැත්තෝ හිතන්නේ. (අපේ ටැබූ සර් නම් මේක විශ්ලේෂණාත්මකව අර්ථ දක්වයි, ජන්මය/කුලය පදනම් කරගෙන).

කොහොම හරි චක් ගෝලයින්ගෙන් ආරංචිය හම්බවෙච්ච හැටියේ වැදි රජාත් කලේ සේරම වැඩ පොල පැත්තකට දාල මනමේ කුමාරිව බලන්න දුවගෙන යන එකයි. අරුණි ෂැපිරෝ කිව්ව වගේ අපි හුඟ දෙනෙක් යට සායක් දැක්ක ගමන් නාගන්නවා නේ.

මනමේ කුමාරිව දැක්ක ගමන් වැදි රජා තීරණය කළා, මනමේ කුමාරයව එලෝල දාල කෙල්ලව පැහැර ගන්න. වැදි ගතියෙනේ, අනුංගේ ගෑනුංව ගන්න යන්නේ.

තමන්ගෙ කෙල්ලව නිකංම දීල යන ජාතියෙ ලූසර් කෙනෙක් නෙමේ මනමේ. අනික ඉතිං, තාම බැන්ද මිසක් හනිමූන් වැඩ රාජකාරි කලෙත් නෑ නොවැ?

මනමේ කුමාරය මේ වෙනකොට තාත්තගෙ බල පරාක්‍රමය හිතට අරං මුළු රටටම මහරජ තමන් කියල හිතාගෙනයි හිටියෙ. හරියට කිම් ඉල් සුං ල ගෙ රටේ වගේ!

අපේ වැදි රජ නෙමේ මනමේව පයිසෙකටවත් ගනං ගත්තේ.

මුළු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මෙම, මම වෙමි අගරජ
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ?
අවසර නොමැතිව, බල තට වන දේ

ඉතිං ඔන්න සටන ඇරඹුණා.

මෙන්න වැදි රජ ගෙ සින්දු කෑල්ල.

මා ගේ අවසර නොම ගෙන ////////
ආවද තා මෙ මගෙ විජිතෙටා?
දෙරණ හෙලා සුන් කර තොප
ගොදුරු කරමි කැණහිළුනට

මෙන්න මනමේ ගේ සින්දු කෑල්ල.

මා ගේ තෙද බල නොම දැන ////////
ආවද මා සමග සටනටා?
වීර බලැති ධනුධර වෙමි
කෲර තොපගෙ එඩි බිඳලමි

ඉතිං ෆයිට් එක නැගල ගියා. අපි ඉතිං විසිල් ගහ ගහ බලාන ඉන්නව.

මනමේ කුමාරය ඩුවට් එකෙන් දිනල, වැද්දව මරන්න කඩුව ඉල්ලුවම මනමේ කුමාරිගෙන්, මෙන්න බොලේ මේකි නිකං බයිල කියන්න ගත්ත වැද්දව බේරන්න කියල.

ඒ සුදු කොඩි කතාව අහල මනමේ පොර අන්දමන්ද වුණු වෙලේ වැදි රජා කලේ කඩුව උදුරල අරගෙන මනමේට බැෂ්ටිය දුන්න එකයි, එතනම පත බෑවෙන්න.

වැදි රජාත් එක විදියක පොරක්. මිනී මැරුමෙන් පස්සෙ එතනම මනමේ කුමාරි එක්ක සෙට් වෙන්න ගියේ නෑ. මේ ක්‍රයිම් සීන් අස්සේ සෙක්ස් සීන් දාන්නේ ඇයි කියල හිතෙන්න ඇති මයෙ හිතේ. මිනිහ කෙරුවේ කෙල්ලව තමන්ගේ වාස භවනට එක්කරගෙන යන්න පටන් ගත්තු එකයි. මනමේ කුමාරි ගේ නොබිඳුණු කන්‍යාභාවය තව දුරටත් සුරැකුණා!

මනමේ මළාට පස්සේ වැද්ද එක්ක උගේ පොට් එකට යන් මනමේ කුමාරි අවුලක් නැතුවම සෙට් වුනාම අපිට මුලින්ම හිතුනෙ මනමේ කුමාරි, බයටත් එක්ක, නිකං පෙරළුණු පිට හොඳයි කියාගෙන ඉන්නව කියල. ඒත්, මෙන්න බොලේ මේකි ටික වෙලාවකින් කියන්ත ගත්ත වැද්ද කඩුව උදුරගන්න කලින් එයා හිතන් හිටියෙ කඩුව වැද්දටම දෙන්නයි කියල.

අන්න මනමේ කුමාරිට වැරදුණු තැන. ඔය කතාව අහපු වැදි රජා හිතුව, යකෝ මේකි මේ විදියට මාවත් පාවා දෙන්න පුළුවන් නේ කියල.

අමන ගති ඇති මෙවැනි අඟණන්
ම වැනියන් හට කුමන සරණද
සින්දවු ගෙල සැමියා, කවර සෙනෙ
යන්ට යව මෙහි නොසිටා.

ඔය තක්සලාවල උන් වගේ නෙමේ, වනචරයෙක් වුනත් වැද්ද මොලේ ඇති එකා. ඌ කලේ වහාම මේ මර උගුලෙන් බේරිලා පලා යන එකයි.

මේ වෙච්ච සේරම අංජ බජල් දරාගන්න පුළුවන්කමක් තිබුනේ නෑ මනමේ කුමාරිට. කෙල්ල, හැදුණු හාට් බ්‍රේක් එකෙන් එතනම මළා.

හැබැයි, මළත් ඒ මැරුනේ, තමන්ගේ කන්‍යාභාව සදහටම රැකගෙනයි!

වෙන කවුරුවත් යැ, මේ දිසාපාමොක් ගේ දුව නේ!

පව් නේද?

-කතන්දරකාරයා

ප/ලි
ජාතක පොතේ කතන්දරයක් ඇසුරෙන් මේ මනමේ නාටකය ලියපු එදිරිවීර සරච්චන්ද්‍රත් මහනුවර පැත්තේ තිප්පොලේ හිටපු දිසාපාමොක් කෙනෙක් නේ. පොරටත් හිටියා දූල තුන් දෙනෙක් -බැඳගත්තු කසාද දෙකෙන්.
සුනේත්‍රා - නිලියෙක්. බැඳල ඉන්නේ නිහාල් ව නේද?
කිසා ගෝතමී – ඉන්නේ යුරෝපයේ, මං හිතන්නේ.
යසෝදරා - පදිංචිය මෙල්බර්න්වල - බැඳලා ඉන්නේ කුසුම්සිරි ව. පොරත් නළුවෙක්.

ප/ප/ලි
ස්වප්නා ලියන සොඳුරු සිහින බ්ලොග් එකේ තිබුණා මනමේ නාට්‍යය ගැන හොඳ ලිපියක්. ගිහින් බලන්න.

Monday 27 September 2010

දිසාපාමොක් ලා සහ මනමේ කුමාරි ගේ කන්‍යාභාවය


හොඳ කාලීන මාතෘකාව නේද?

මේක ඇත්තටම ටැබූ ට හොඳ එකක්. ටැබූ වැඩියෙන් ලියන්නේ දේශපාලන ලිපිනේ.

නමුත් ඉතිං, මට සුපුරුදු පරිදි කොහොමටත් මේක නිකංම නිකං කතන්දරයක් මිස බරපතල විශ්ලේෂණාත්මක ලිපියක් නං නෙවෙයි ඕං.

දැන් ඔය මනමේ කුමාරි කියල කිව්වට, ඇත්තටම එයා ගෙ නම අපි දන්නෙ නෑ. නාට්‍යයේ කොහෙවත් නමෙන් කතා කරන්නේ නෑනේ.

එක සින්දුවක නම් "දුලා මෙ කුමරිය විවාහ කරගෙන බලා පිටත්වෙමි බරණැස් පුරයට" කියල තිබුණු හින්ද කවුද පොරක් කිව්වළු, මනමේ කුමාරිගෙ නම දුලාංජලී කියල. හිකිස්!

කොහොම හරි ඉතිං, නාට්‍යය පටන් අරං විනාඩි කීපෙකින්ම, මනමේ කුමාරයට කසාද බන්දල දුන්න හින්ද, එවෙලෙ ඉඳන් මෙයා මනමේ කුමාරි වුනා.

ඒත් අනේ පව් කියන්නේ මෙයා, මේ මනමේ කුමාරිය, එතනින් ප්‍රමෝෂන් එක අරගෙන මනමේ රැජින වෙන්න කලින්ම එයා ප්‍රධාන චරිතය රඟපාපු කතන්දරේ ඉවර වුනා. ඒකත් හරිම දුක්බර අවසානයක්.

මනමේ නාට්‍යය දැකලත් නැති, මනමේ කතාව වෙන විදියකින් හරි අහලාත් නැති අයත් ඉන්න පුළුවන් හින්දා ඉස්සෙල්ලාම කියල දෙන්නං කෝ මේ කතන්දරේ, ඉතා කෙටියෙන්.

අනිත් අයත් ඕනෙම නං කියවන්න.

මේ කුමාරි ගෙ තාත්ත තමයි, ඉස්සර ඉන්දියාවෙ තක්සලා නුවර තිබුනයි කියල කියවෙන තක්සලා විශ්ව විද්‍යාලයෙ වයිස් චාන්සලර් හෙවත් ප්‍රොෆෙසර් දිසාපාමොක්. ඔය යුනිවසිටියට ඉගෙන ගන්න ඇවිල්ල තියෙන්නෙ සේරම රාජ කුමාරවරු, සිටු කුමාරවරු වගේ පොලිටිකල් පවුල්වල, බිස්නස් පවුල්වල කොල්ලො. ඒ දවස්වල ඔය නිදහස් අධ්‍යාපනේ කියන එක තිබුනෙ නෑ මයෙ හිතේ. ඒ තිබුණත් මේක කොහෙමටත් ප්‍රයිවෙට් යුනිවර්සිටි එකක් නේ.

අර "මොහබටීන්" චිත්‍රපටියෙ තිබුණු ගුරුකුල් විශ්ව විද්‍යාලේ ලොක්ක වගෙ වලියට බර පොරක් නම් නෙම් මේ දිසාපාමොක් ප්‍රොෆා. දැන් ඉන්න ප්‍රොෆෙසර් ල කාටත් ආදර්ශයට ගන්න පුළුවන් පොරක් වගෙයි මට නම් හිතෙන්නෙ.

මනමේ කුමාරය රජ්ජුරුවන් ගෙ පුතා වුනාට සිටු කුමාර අවටාර් බලකාය එක්ක වලේ බහින්නෙ නැතුව හොඳට ඉගෙන ගෙන තියෙනව. අන්තිමේදි පොර බැච් ටොප් කරල ධනුද්ධර කියන ස්පෙෂල් ඩිග්‍රිය ගත්තෙ ෆස්ට් ක්ලාස් එකක් එක්කයි.

මනමේ කුමාරයව දිසාපාමොක් ප්‍රොෆා ගෙ හිතට කොච්චර අල්ලල ගියාද කියනව නම්, වහාම තීරණය කළා තමන් ගෙ දුව ව මේ මනමේ කුමාරයට කසාද බන්දල දෙන්න.

අන්න ප්‍රොෆෙසර් ලා!

කතාවෙ හැටියට මිසිස් දිසාපාමොක් කෙනෙක් නං හිටියෙ නෑ. එයා කළුරිය කරන්න ඇති මයෙ හිතේ නාට්ටිය පටන් ගන්න කලින්.

ඉතිං ඔන්න, ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, මනමේ පොරත් එක පයින්, බඩුවත් එක පයින්, වැඩේ අවුලක් නෑ, පටස් ගාල බන්දල දැම්ම, හරියට පොලිසියෙන් අල්ලල බැන්දෙව්ව වගේ.

ඒ මොහොතෙම අළුත් කපල් එක මනමේ කුමාරයගෙ රාජධානිය බලා පිටත්වුනා.

අද කාලෙ වගේ ඒ දවස්වල රෝයල් ෆැමිලි එකේ මෙම්බර්ස් ලා ට වුනත් ගමන් යන්න තිබුනේ තනිකරම පයිං තමයි. මොකද, සිය ගානක් බත් බැලයො හැට හුටහමාරක් යන යන තැන අරං යන්න ප්‍රාඩෝ, මොන්ටෙරෝ, දඩුමොනර ගන්න ජහමනයාගේ මැම්බර්ලා සල්ලි පාස් කරල දුන්න එකක් යැ.

ඉතිං ඔන්න අළුත බැඳපු ජෝඩුව කොල්ලගෙ ගෙදර යන්න යනව කැලේ මැද්දෙන්.

බැඳපු ගමන්, හරියට කාල අත හෝදන්නෙත් නැතුව වගේ නේ, තක්සලා නුවරින් පිටත් වුනේ. ඉතිං නාට්ටිය බලන අපි කොයි වෙලේ හනිමූන් එක එයිද කියල හිත හිතයි ඉන්නේ.

මුං දෙන්නට ඒව ගාණක් නෑ වගේ. මෙන්න බොලේ සින්දුවක් කියන්න පටන් ගත්ත.

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සෑදී මේ ලතා
ආලයෙන් වෙලි සෑදී මේ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරණ නද බඹරණ
පිය රැව් දෙන ලිය කිඳුරණ
පිපි තඹරණ නද බඹරණ
පිය රැව් දෙන ලිය කිඳුරණ

වැඩේ ටිකක් ඇදිල ඇදිල යනව වගේ.

මනමේ කුමාරි ගේ කන්‍යාභාවය - කතන්දරේ ඉතුරු ටික දෙවෙනි කොටසින් ලියන්නං හොඳේ?

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න දෙවෙනි කොටස.
http://kathandara.blogspot.com/2010/09/blog-post_30.html

Friday 24 September 2010

කෑම, අතුරුපස සහ බෝන්චි ඇටේ


ටියුෂන් ක්ලාස් එකක අන්තිම පේලියේ ඉඳපු කොල්ලෝ ටිකක් ලියන තෙලස්ට්‍රෝ බ්ලොග් එකේ තිබුණ ජොලි කතාවක් බත් පිඟානක් කෑම ගැන.

ඒක කියවපු මට මතක් වුණා, පොඩි පොඩි කතන්දර දෙක තුනක්ම.

සමහරුන්ට නං බත් පෙන්නන්න බෑ. ඒත් සමහරු ඉන්නව බත් කන්න හරිම කැමතියි. දැං නං ඉතිං ඔය කොළඹ පලාතෙ ෂොපින් සෙන්ටර්වල තියෙන භෝජනාගාර වලට ගියාම, ඉන්දියන් ද, මැලේසියන් ද, චීන ද, බංගලාදේශී ද, රටේ නැති තරං බත් ජාති කන්න පුළුවන්.

එත් ඉස්සර අපි බත් කන්න කඩේකට ගියාම තිබුනේ චොයිසස් දෙකයි. එක්කෝ කෑම එකක් ගෙන්න කියන්න ඕනෑ, නැත්තං කෑම භාගයක් ඉල්ලන්න ඕනෑ.

මෙතෙනදි මස් කෑම, මාළු කෑම, එළවළු කෑම යනාදී පොඩි පොඩි සබ්-චොයිසස් තියෙනව. ඒ තමන් මාංශ භක්‍ෂකද, මාළු භක්‍ෂකද නැත්නං එලවළු ජීවිතයක් ද කියන කාරණය අනුව එන චොයිසස්.

කෑම ෆුල් එකක් නං, බතුයි, හොඳියි වෙනමම දීසිවල ගේනව. අපිට පිඟානක් ගේනව බෙදාගෙන කන්න.

කෑම භාගයක් නං, අපිට සුපුරුදු පරිදි පිඟානකට බතුයි හොඳියි බෙදල ගෙනත් දෙනව.

ඒ එක්කම වේටර්ල කරන වැඩක් තමයි, අපි මොන කෑම ඉල්ලුවත්, බැදපු හුරුල්ලො, ඩෙවල් චිකන් වගේ වෙනම කෑම ජාති දීසි දෙක තුනකුත් ගෙනල්ල මේසෙන් තියෙන එක.

හැබැයි ඉතිං මේව ඇක්ස්ට්‍රා! කෑවොත් වෙනම ගාණක් ගෙවන්න ඕනැ.

දැන් මෙන්න මං අහල තියෙන පොඩි ලූ කතාවක්!

ඉතිං ඔන්න අනිල් භාරතී, දන්නවනේ ගායකයා, එක දවසක් ගිහින් තියෙනව කඩේකට දවල්ට කන්න. මිහිහ බත් එකක් ගේන්න කියල, කාල ඉවරවුණාට පස්සෙ වේටර් ඇවිල්ල අහල තියෙනව සෑර්, ඩෙසර්ට් වලට මොනවද ගේන්නෙ කියල. අපේ පොර කිව්වලු මෙන්න මෙහෙම.

"ආ, ඩෙසර්ට් එකට තව මාළු කෑම බාගයක් ගේන්න මල්ලී!"

ඔය ලූ කතන්දරේ ලිව්වේ, අද ප්‍රධාන කතන්දරේට ඔන්ටේ‍ර් එකක්, ඒ කියන්නේ කටගැස්මක්. එහෙමත් නැත්තං පෙර කෑමක් විදියටයි. ඒකටත් හරියන්න අද ප්‍රධාන කතන්දරේ තමයි අතුරු පස!

පොඩි කාලෙ ඉඳලම අපි ප්‍රධාන කෑම වේලටත් වැඩියෙන් කැමති අතුරුපසට නේ. පලතුරු තමයි ඉතිං හොඳම අතුරුපස. නමුත් කවුරු, කවුරුත් කැමති සීනි දාපු එහෙම නැත්තං පැණි රස දේවල් කන්නයි. අයිස් ක්‍රීම්, කිරි පැණි තමයි ප්‍රධාන ඒ අතින්.

ඒත් ඉතිං මං පොඩි කාලෙ නං අපි කාපු අයිස් ක්‍රීම්, කිරි පැණියක් නෑ. බත් කාල වතුර බීල ඉවරවුනාම කරන්නේ සීනි බෝතලෙන් සීනි අහුරක් අරං කටේ දාගන්න එකයි.

නමුත් ඔය පැණි රහ අතුරු පසට අමතරව, ඇත්තටම ඒවා කන්න කලින්, මං පොඩි කාලේ නිතරම කාපු සුවිශේෂී අතුරුපසක් තියෙනවා.

ඒ අතුරුපස මොනවද කියන එක හරියටම තීරණය වෙන්නේ එදාට බත් කන්න තියෙන හොඳි මාළුපිණි අනුවයි.

ඔන්න බත් කන ගමන් අම්මා පිඟානට බෙදලා තියෙන කරෝල, මාළු, අල වගේ ජාතියකින් පොඩි පහේ කෑල්ලක්, දෙකක් පිඟානේ පැත්තකින් ඉතුරු කරගන්නවා.

ඹත් කන තරමක් කාලා, අන්තිමේදී අර ඉතුරු කර ගත්තු රසබර කෑල්ල කටට දාගෙන රහ කර කර කනවා. ඒක තමයි සුවිශේෂී අතුරුපස.

හැබැයි, ඔය කියපු, කරෝල, මාළු, අල වගේ ජාතිවලට වඩා මං ඒ දවස්වල කැමතිම, මේ ආකාරයේ අතුරු පස ජාතිය තමයි බෝන්චි ඇට.

අම්ම බෝන්චි උයපු දාට මං කරන්නේ, බත් එක්ක බෝංචිවල කොලපාට හරිය විතරක් කන එකයි. බෝංචි ඇට ටික සේරම පිඟානේ ගැට්ට වටේට තියා ගන්නවා අන්තිමට කන්න.

මට මතකයි ඒ කාලේ මගේ වාර්තාව වුනේ බෝන්චි ඇට 34 ක්.

-කතන්දරකාරයා

ප/ලි
කවුරු හරි මාතෘකාව දැකලා වැරදිලා වගේ මේ පැත්තේ ආවෙ නැහැ නේද?

Tuesday 21 September 2010

අනේ මට ටැපලුනා!


මං කාලෙකට කලින් ලියපු පාන්ස් සහ බන්ස් කතන්දරේ මතකද? අර අපේ ගෙවල් පැත්තෙ කෙල්ලෙක් කඩේ මුදළාලි එක්ක කරපු දෙබස?

ඔය, "අනේ මට ටැපලුනා!" කියන කෑල්ලත් මං මුලින්ම ඇහැව්වේ ඒ වගේ සීන් එකක් එක්ක –- හැබැයි පස්සෙ කාලෙක මං අර තිප්පොලේ ඉන්න දවස්වලයි.

ඔන්න එක කෙල්ලෙක් ගිහින් කැන්ටිමේ මුදලාලිට කිව්වලු මෙන්න මෙහෙම.

මුදළාලි මට කටිස් එකකුයි, පැට්ලස් එකකුයි දෙන්න!

මුදළාලි අන්දුං, කුංදුං!

එතකොටයි කෙල්ලට වැරදුණු බව තේරුනේ. ඉතිං වහාම සමාව ඉල්ලුවා.

අනේ මුදළාලි මට ටැපලුනා!

* * *

මට නං ටැපලෙන්නේ ඔය කට්ලට්, පැටිස්, වඩේ වගේ සුලු, සුලු දේවල් නෙමේ.

ඔන්න මං පොඩිම කාලෙ මං හිතාගෙන හිටියෙ, කෝච්චි ටිකට්වල පස්ස පැත්තෙ ලියල තියෙන්නෙ අත්සන් කිරීම තහනම් ය කියන එකක කියලයි. ඒ අන්සතු කිරීම තහනම් කියන එකයි කියල මට තේරුනේ කාලෙකට පස්සෙ.

බඩ දරු අම්මලා ට කියන ගර්භනී (මව්වරුන්) කියන වචනෙයි, කන්ඩෙම් කරල ඩිස්පෝස් කරන ගර්හිත (බස්) කියන වචනෙයි ඒ වගේ මට ඒ දවස්වල ටැපලෙන වචන දෙකක්.

මෙන්න තවත් ඒ වගේ වචන කිහිපයක්.

1. ගුජුප්සාව එදිරිව ජුජුප්ස්
මට මුලින්ම ගුජුප්සාව කියන එක ඇහුණෙ ජුජුප්සාව කියලයි!

2. චාවාකච්චේරිය එදිරිව වාචාකච්චේරිය
මේක නං අදටත් ෂුවර් නෑ. කල්පනා වගේ ගිහින් බලන්නෝනැ.

3. පිරිසිදු/අපිරිසිදු එදිරිව වංක/අවංක
දැං පිරිසිදු කියන එකෙයි අපිරිසිදු කියන එකෙයි වෙනස අපි හැමෝම හොඳින් දන්නවනේ? හොඳ පිරිසිදු දේක මුලට අයන්නක් දැම්මාම වැඩේ කැතවෙලා යනවා, හරියට ලස්සන දේවල් අවලස්සන වෙනවා වගේ. ඉතිං හොඳ වංක මනුස්සයින්ටත් වෙන්නේ ඔය ටිකම තමයි නේද?

4. ඉංගිරිසියෙන් ලියන කතාකොරන කොට මට ඔය වගේම ටැපලුණු වචන දෙකක් තමයි ටයිඩි, අන්ටයිඩි.

මේ වගේ ටැපලෙන වචන තියෙනව නං ලියල යන්නකො බලන්න!

-කතන්දරකාරයා

ප/ලි
පහුගිය දොහේක බ්ලොග් එකක කොමෙන්ටුවක් දමන වෙලේ මට මගෙ ඇත්ත නමයි, ආරූඪ නමයි දෙකත් පැටළුණා නොවැ!

Saturday 18 September 2010

කඩ්ඩෙන් සිතීම


ඒ ලෙවල්ස් කළාට පස්සෙ ගතකළ ගන්ධබ්බ ජීවිතේ ඉවර වුනේ අර මහනුවර පැත්තේ තිප්පොලට කොටු වීමෙන්. ඒ අවුරුදු හතරේ සිර දඩුවම විඳින්න පටන් ගන්නවා එක්කම ජීවිතේ ලොකු වෙනසක් වුනා!

නෑ, නෑ, මං මේ කියන්න යන්නේ ලාමක ආදර කතන්දර ගැන හෙම නෙමේ. මේක ඊට වැඩිය සිරා ටොපික් එකක්.

එදා ඉඳල ඉගෙන ගත්තේ කඩ්ඩෙන්. දේශණ කඩ්ඩෙන්. සටහන් කඩ්ඩෙන්. ටෙක්ස්ට් බුක්ස් කඩ්ඩෙන්. විභාග කඩ්ඩෙන්. කෝස් වර්ක් කඩ්ඩෙන්.

තිප්පොලෙන් ගැලවිලා මං මුලින්ම ජොබ් එකට ගියේ ජර්මන් කොම්පැනියකට අයිති ලංකාවේ තිබුණ ෆැක්ටරියක ටේ්‍රනී ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් හැටියට.

ඊළඟට කොළඹ ලොකු සමාගමක මැනේජ්මන්ට් ටේ්‍රනී කෙනෙක් වුණා. එතනින් ආණ්ඩුවේ සංස්ථාවකටත්, ඊට පස්සේ තවත් පෙර ආකාරයේම තිප්පොලකටත් සෙට් වුනා.

ඔය කොතන හිටියත් රාජකාරි වැඩවලට සිංහල භාවිතයක් වුනේ නෑ. ජොබ් එකේ වැඩවලට ලියන ලියුම්, මෙමෝ, රිපෝර්ට්, මිනිට්ස්, සර්කියුලර්ස් සේරම කඩ්ඩෙන්. බොස් ලා එක්ක කතාව කඩ්ඩෙන්. ආංඩුවේ සංස්ථාවල වුනත් සිංහල භාවිතයක් තිබුනේ නෑ.

දැං මං කරන වැඩ ගැන නං දන්නෝ දනිති නේ?

ඔය මොනව කළත් තාමත් සිංහලෙන් විතරක් කරන දේවල් දෙකක් තියෙනවා.

1. රාත්‍රී කාලයේ නින්දෙන් හීන බැලීම

2. කල්පනා කිරීම

මීට අමතරව තවමත් හිතෙන් ගණං කෙරෙන්නේත් එක, දෙක, තුන කියල මිසක වන්, ටූ, ත්‍රී කියල නං නෙමේ.

මේ සේරම පට්ටන්දර කිව්වේ පොඩිම පොඩි කතන්දරයක් කියන්නයි.

මං ඉස්සර අර පස්තාච්චි වැඩකට සෙට් වෙලා ඉන්න කාලෙක, අපි එක්ක හිටිය එක්තරා මිතුරියක් වයසෙන් අපිට සමාන වුණාට, ශරීර කූඩුවෙන් අපිට වඩා හරිම පුංචියි. හරියට නිකං ඒ ලෙවල්ස් කරන පොඩි ළමයෙක් වගෙයි.

දවසක් අපි හිටිය තැනට ආවා අපේ පොරකගේ පුංචි අම්මා, ඔය රට තොට බලාගෙන, ෂොපින් පාරක් දාගෙන හෙම යන්න මගෙ හිතේ.

ඉතිං ඔය දවස්වල තිබුණු පොඩි පහේ පාටියක් දවසෙ හැමෝම රැස්වෙලා ඉන්න කොට මේ මිතුරියව අඳුණාගන්න ලැබුණා ඒ පුංචි අම්මාට.

එයාට හරි පුදුමයි, මේ අපේ මිතුරියත් අපේම වයසේ ඉන්න පස්තාච්චිකාරියක් කියලා.

"අනේ මට නං විශ්වාස කරන්නත් අමාරුයි මේ කතාව. මං හිතුවේම ඔයා ඉස්කෝලේ යන වයසෙ පොඩි ළමයෙක් කියලනේ. මං ඔයාව දැක්ක දවසෙම හිතුවා වට් ඊස් දිස් ලිට්ල් ගර්ල් ඩුයිං හිය කියලා!"

ඕක අහගෙන ඉඳලා මට ආපු පුරස්නේ මෙන්න මේකයි.

"කොහොමද ඉංගිරිසියෙන් හිතන්නේ?"

මට නං ඔය දේ හිතෙන්නේ: "අනේ මේ පුංචි ළමයෙක් මෙතන මොනවා කරනවාද මේ පස්තාච්චිකාරයෝ අස්සේ?" කියල අමු සිංහලෙන් විතරයි.

සමහර විට මේ පුංචි අම්මටත් සිංහලෙන් හිතෙන්න ඇති, හැබැයි කටෙන් එලියට එනකොට පරිවර්තනය වෙලා එන්න ඇති!

අනේ මන්දා!

-කතන්දරකාරයා

ප/ලි:
මං A/L කරන කාලේ සුද්දට පාර කියපු කතන්දරෙත් බලන්න!

Thursday 16 September 2010

පොඩි වැඩකට සෙට් වෙමුද, මචං?


මං දැං වේලෙයි සෙයිකිරේන් කරන්නේ ටවුමෙ හොඳ හරියක තියෙන ලොකු බිල්ඩිමක දාසය වෙනි තට්ටුවේ. ඔය බිල්ඩිමේ තට්ටු කීපෙකම තියෙන්නෙ අපේ කොම්පැණිය තමයි. තව, තව කොම්පැණි කීපයකුත් තියෙනව. අන්න ඒවායින් එකක වැඩ කරන පොරක් තමයි සුභාෂ්.

සුභාෂ් කාරය මගේ ක්ලාස් මේට් කෙනෙක්. මරියකඩේ සැන්ට්‍රල් ඒකේ ඒ ලෙවල් කරන්න ගිය කාලෙයි මුලින්ම හම්බ වෙලා යාළු මිත්තර කම් ඇතිවුනේ. පස්සෙන් පහු මං කන්දෙ තිප්පෙලෙයි, පොර ලන්දෙ තිප්පොලකයි කල් මරණ කාලෙත් දෙතුන් විඩයක් හමුවුණා. දැන් නං ඉතිං දෙන්නා වැඩ කොම්පැණි දෙකක. ඒ වුනත්, එක බිල්ඩිමේ නිසා නිතරම මුලිච්චි වෙනවා.

ඔන්න ඉතිං, කෑම වෙලාවට මං පොඩ්ඩක් පහලට බහින කොට, හවස වැඩ ඇරිල ගෙදර යන වෙලාවට හෙම සමහර දාට පල්ලෙහා ලොබියෙදි මට සුභාෂ් ව හම්බ වෙනව.

මම: හලෝ මචං කොහොමද?

සුභාෂ් :හොඳයි මචං. ඉතිං මොනවද විස්තර හෙම.

මම: වැඩි වෙනසක් නෑ. ඔහේ ඉන්නවා.

සුභාෂ් :මං මේ උඹ හම්බ වෙනකං හිටියෙ මචං පොඩි වැඩක් ගැන කතා කරගන්න.

මම: ඒ මොකක්ද මචං.

සුභාෂ්: උඹ දන්නවනේ අපේ සංගමය. ඒකේ නිව්ස් ලෙටර් එක කරන වැඩේ උඹට බාර ගන්න පුළුවන්ද?

මම: ආ! පුළුවන්, ඒක සුළු දෙයක්නේ මාසෙකට එක පාරනේ. මං කරන්නම්.

සුභාෂ්: තෑන්ක් යූ මචං. මං දන්නව මේක උඹට හොඳට කරන්න පුළුවන්.

මම: ඔව් මචං, මං හෙල්ප් කරන්නං.

සුභාෂ්: හොඳයි අපි එහෙනං හම්බ වෙලා විස්තර කතාකර ගම්මුකෝ.

මම: ඕල් රයිට් දෙන්, සී යූ.

සුභාෂ්: සී, යූ!

ඔන්න මට පොරව තව සති දෙක තුනකින් හම්බ වෙනවා ඔෆිස් එක හරියෙදි.

මම: හලෝ මචං කොහොමද?

සුභාෂ්: හොඳයි මචං. ඉතිං මොනවද විස්තර හෙම.

මම: වැඩි වෙනසක් නෑ. ඔහේ ඉන්නවා.

සුභාෂ්: මචං උඹ හම්බ වුනු එක හොඳයි. දවසක අපේ අරං වැඩේ ගැන කතා කරගන්නත් ඕනැ.

මම :ආ අර උඹගෙ සංගමයෙන් කරන නිව්ස් ලෙටර් එකේ වැඩේ නේද?

සුභාෂ්: ඔව් මචං. උඹට මේක බාර ගන්න පුළුවන්නේ නේද?

මම: ආ! පුළුවන්, ඒක සුළු දෙයක්නේ මාසෙකට එක පාරනේ. මං කරන්නම්.

සුභාෂ්: තෑන්ක් යූ මචං. මං දන්නව මේක උඹට හොඳට කරන්න පුළුවන්.

මම: ඔව් මචං, මං හෙල්ප් කරන්නං.

සුභාෂ්: හොඳයි අපි එහෙනං හම්බ වෙලා විස්තර කතාකර ගම්මුකෝ.

මම: ඕල් රයිට් දෙන්, සී, යූ.

සුභාෂ්: සී, යූ!

ඉතිං ඕකට සමාන දෙබස් හුවමාරු වෙනවා අපි දෙන්න අතර සති දෙක තුනකට පාරක් විතර.

ඔන්න මට සුභාෂ්ව හම්බ වුනා ගිය සතියෙ හවසක.

මම: හලෝ මචං කොහොමද?

සුභාෂ්: හොඳයි මචං. ඉතිං මොනවද විස්තර හෙම.

මම: වැඩි වෙනසක් නෑ. ඔහේ ඉන්නවා.

සුභාෂ්: මං මේ උඹ හම්බ වෙනකං හිටියෙ මචං පොඩි වැඩක් ගැන කතාකරගන්න.

මම: ඒ මොකක්ද මචං.

සුභාෂ්: උඹ දන්නවනේ අපේ සංගමය. ඒකේ වෙබ්සයිට් එක උඹට බාර අරං කරගෙන යන්න පුළුවන්ද?

මම: ආ! පුළුවන් මචං, ඒක සුළු දෙයක්නේ, මාසෙකට දෙතුන් පාරයිනේ අප්ඩේට් කරන්න ඕනැ. මං කරන්නම්.

සුභාෂ්: තෑන්ක් යූ මචං. මං දන්නව මේක උඹට හොඳට කරන්න පුළුවන්.

මම: ඔව් මචං, මං හෙල්ප් කරන්නං.

සුභාෂ්: හොඳයි අපි එහෙනං හම්බ වෙලා විස්තර කතාකර ගම්මුකෝ.

මම: ඕල් රයිට් දෙන්, සී යූ.

සුභාෂ්: සී. යූ!

මම: මචං එතකොට අර නිව්ස් ලෙටර් එකේ වැඩේ.

සුභාෂ්: ආ! ඔව් මචං ඒකත් කරන්න ඕනැ තමයි. ඒත් උඹ වෙබ් එක බාරගන්නව නං මං නිව්ස් ලෙටර් එකේ වැඩේ වෙන කාට හරි කියන්නං.

මම: ඕල් රයිට් දෙන්, සී යූ.

සුභාෂ්: සී. යූ!

ආයෙ ලබන සුමානෙ හම්බ වුනත් ඔය දෙබසම තමයි! බොරු නං බලන්නකෝ.

-කතන්දරකාරයා

Monday 13 September 2010

ඇම්.පී.ත්‍රී. සහිත හන්තානේ ලව් සෝන්ග් එක


ජීවිතේ අවුරුදු හතරක් ගතකරපු මහනුවර පැත්තේ තිප්පොල ගැන කතන්දර ලියනවට වැඩිය මං කරල තියෙන්නේ, ඒ ලියපු එකම කතන්දරේට ලින්ක් දාන එකයි.

බලමු. ඔහොම ඔහොම යනකොට තව එකක් දෙකක්වත් ලියවෙන්නෙ නැතෑ.

තලෙස්ට්‍රෝ එකේ නං යනව තිප්පොලේ කතන්දර ඉඳල හිටල. ලියන්නේ කස්සා. මකරට නං දැන් දැන් ඕවට වෙලාවක් නෑ මගෙ හිතේ, දේශපාලන සත්වයෙක් නේ!

තිප්පොලේ ගතකරපු කාලය ඉතාවත් සුන්දර ඉතිහාසයක්. ඉගෙන ගත්තු දේවල් බොහොමයි, "ඉගෙන ගත්තු" දේවලුත් බොහොමයි.

දෙවෙනි ආකාරයේ ඉගෙන ගැනීම් ගැන නං වෙනම බ්ලොග් එකක් ලියන්න වේවි.

තිප්පොලෙන් චුත වෙලා ගිහිල්ල කොළඹ කට්ට කන කාලෙ තමයි අතීතයේ වටිනාකම වැඩි වැඩියෙන් දැනේනන ගත්තේ. ඉතිං, කවි සින්දු ලියවෙන එක අහන්න දෙයක් නෙමේනේ?

මෙන්න ඒ වගේ ලියවුණු ගී පදමාලාවක්.

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
මහවැලි ඉවුරේ
නන්දන උයනේ
මතකයි හෙමිහිට පිය මැන්නා

හන්තානේ කඳු
පිසගෙන සුසිනිඳු
සීතල පිණි පොද හමාගියා
සිත සන්සුන් කල
හද කුල්මත් කල
සුන්දර ගී හඬ ගලා ගියා

නාදළු පහසක
මල් පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ
ගිනිදැල් අතරේ
තාමත් ඒ සුව මතක තියේ

අවුරුදු ගානකට පස්සෙ ඔය කවිය දැන් සින්දුවක් වෙලා.

ගායනයඃ ධම්මිකා දේවසුරේන්ද්‍ර
පදමාලාවඃ රසික සූරියආරච්චි

කැමති අයට මෙතනින් සින්දුව අහන්න පුළුවනි.



මෙතනින් බාගන්න පුළුවනි.
http://www.divshare.com/download/12535548-525

-කතන්දරකාරයා

ප/ලි
මේ සින්දුවයි, තවත් සින්දු බර ගාණකුයි එක්ක, ධම්මිකා ගේ සී.ඩී. එක ලඟදීම නිකුත් වෙනවා. වැඩි විස්තර එතකොට දෙන්නම්.

තව මේ වගේ ඇම්.පී. ත්‍රී. සහිත කතන්දර තියෙනවා. ඉල්ලුම අනුවයි සැපයුම.

ෂිහ්, මගේ නාන කාමරේ සින්දුවට තාම තනුවක් දාලා මියුසික් කරගන්න බැරි වුණා නේ!

Friday 10 September 2010

ඇම්.පී.ත්‍රී. සහිත - අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?


තාත්ත අසනීප වුනායින් පස්සේ මං තාත්තා ගැන කතන්දර කීපයක්ම ලිව්වත්, අම්ම ගැන වැඩි දෙයක් ලියල නෑ නේද කියල මට මතක් වුනේ ඔය "අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?" කියන ප්‍රශ්ණය ගැන කල්පනාවට ආපු වෙලාවෙයි. දැනට තියෙන්නේ ෆූ සද්දි විසිද්දි යකා මන්තර කතන්දරේ විතරයි.

කමක් නෑ, මං අම්මගේ තාත්තයි අම්මයි, ඒ කියන්නේ සීය ගැනයි, ආච්චි ගැනයි කතන්දර ලියල තියෙනවනේ.

මං හිතන්නේ හැම පොඩි ළමයෙක්ගෙන් ම වගේ කවද හරි කවුරු හරි අහන ප්‍රශ්ණයක් තමයි ඔය අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ? කියන එක. අර ඔයා ලොකුවෙලා මොනවද කරන්නේ කියල අහනව වගේම කොමන් ප්‍රශ්ණයක්.

මට මතක විදියට මායි, මල්ලිල දෙන්නයි ඔය ප්‍රශ්ණෙට දුන්නු උත්තරේ තමයි අම්මට වැඩියෙන් ආදරෙයි කියන එක. තාත්තලා බහුතරයක් කොහොමටත් ළමයි පොඩි කාලේ සැරයිනේ. පහුවෙන කොට තමයි ඒ ගොල්ලෝ වෙනස් වෙන්නේ.

හැබැයි ඉතිං, ඇස් වහක් කටවහක් නෑ, කතන්දර හාමිනේගෙයි මගෙයි දරු දෙන්නාට නම් ඉන්නේ බෝ පැලයක් වගේ හොඳ තාත්තා කෙනෙක් නෙව අමුතුවෙන් නොකිව්වට.

ඒ හින්ද වෙන්න ඇති මේ ළමයි දෙන්නම අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ? කියල අහපු හැම වෙලේම කියන්නේ එකම එක දෙයයි.

අම්මටයි තාත්තටයි දෙන්නටම!

අපි දෙන්නා උගන්නලාවත්, වෙන වැඩිහිටියෙක් කියලාවත් නෙමේ ළමයි එහෙම කියන්න ගත්තේ. ස්භාවිකවමයි. එක්කෝ දැන් හැදෙන ළමයි අපේ කාලේ වගේ නෙමේ හරිම පොලිටිකලි කරෙක්ට් විදියටයි හිතන්නේ නැත්තං මේ ගොල්ලෝ අපි පොඩි කාලේ වගේ නෙමේ හරීම කට්ටයි.

දුව පොඩි කාලේ ඔය දෙන්නටම එක වාගේ ආදරෙයි කියල කියනවා අහලා මට කොච්චර ජොලියක් ගියාද කියනව නම් ඒ ගැන ලිව්වා පොඩි කවි පද දෙක තුනක්.

ගිය අවුරුද්දේ ඒ කවිය සින්දුවක පද රචනාවක් කරලා ඔන්න දැන් සී.ඩී. එකකටත් දාලයි තියෙන්නේ.

මෙන්න සින්දුවේ පදමාලාව.

අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ
අම්ම අහනවා
තාත්ත අහනවා
දෙන්නාටම එක වාගෙයි මගේ ආදරේ
සදා මේ ලොවේ
එය වෙනස් නොවේ

මා ආදර අම්ම මගේ
මා ආදර තාත්ත මගේ
මගේ ඉරයි සඳයි වගේ
මට සැමදා එකසෙ අගේ
මට සැමදා එකසෙ අගේ

විදු සිප් නැණ හොඳින් ලබා
හොඳ පුරවැසියෙක් විලසින්
මගෙ ආදර දෙමව්පියන්
සුරකිමි මා නෙත් විලසින්
සුරකිමි මා නෙත් විලසින්


දැන් මෙන්න අහන්නකෝ සින්දුව.

සංගීතය- සංගීත් වික්‍රමසිංහ
ගායනය- තිසල් පාදුක්ක විදාන

මේ සින්දුව එන්නේ තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා ගේ මගේ උරුමය කියන සී.ඩී. එකෙයි.

මෙන්න සින්දුව මෙතනින් අහන්න.


මෙතනින් බාගන්න.

ලව් සෝන්ග්ස් ගැන හැට-හුට හමාරක් ප්‍රශ්ණ අහල මං සෙට් වුනේ මේ වගේ ඇම්.පී.ත්‍රී. සහිත ගීත කතන්දර කීපයක් කියන්නයි.

අද මේ දෙමව්පියන් ගැන කියවෙන මේ සින්දුවට කැමති අයට ඊලඟට එන්නේ හන්තානේ ලව් සෝන්ග් එකක්.

-කතන්දරකාරයා

ප/ලි
පොඩි කාලෙ මොනව කිව්වත් මාත් මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම එක වගේම ආදරෙයි!

Wednesday 8 September 2010

කතන්දරකාරයා ගේ ලව් සෝංග්ස් ප්‍රහේලිකා - මෙන්න විසඳුම් කීපයක්


මොන්ටිසෝරි ආදර ගීතය දන්වාද කියන ටයිටල් එක එක්ක මං දාපු පෝස්ට් එකට කීප දෙනෙකුට තරහ ගියා. තවත් අයට මේක තේරෙන්නේ නැතුවා වගෙයි පෙනුනෙ මුලින් මුලින් ආපු කොමෙන්ට්ස් වලින්.

අනික තමයි ඒ පෝස්ට් එක මං ලියන්න යන සින්දු කතන්දර කීපයක ආරම්බය බව ලියල තිබුණත් සමහරු ඒක හරියට කියවලා තිබුනෙ නෑ මගෙ හිතේ!

පස්සෙ එක දෙක විසඳුම් වැටෙන කොට පස්සෙ ආපු අයට වැඩේ තේරුණා.

තම තම නැණ පමණින් උත්තර දුන්න අයට බොහෝම ස්තුතියි.

මේ ලියන්නේ ඒ ලව් සෝංග්ස් රිඩල්ස් වලට උත්තර බඳින්නයි. හරි උත්තර එකකට වැඩිය තියෙන්න පුළුවන් නේ! ගැලපෙන එක උත්තරේ ගානෙ මෙන්න.

0. ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ආදර ගීතය:
ටික්කි ටිකිරි මගේ පුතා කොල අරගෙන කුරුටු ගාන පුංචි පුංචි රුප වගෙයි ඔබගෙ ආදරේ - මිල්ටන් පෙරේරා

1. මැත්ස්කාරයින් ගේ ආදර ගීතය?
සම කෝණී ත්‍රිකෝණයකි ඔබයි මායි ඇයයි තිදෙන. ගායනය දයාරත්න රණතුංග.

2. බයෝකාරයින් (zoology) ගේ ආදර ගීතය?
මහද නමැති වන බඹරා ලංවී කනට ඔඹේ ආදරේ කියයි මෙසේ..හ්ම්, හ්ම්, හ්ම්, හ්ම්.

3. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය?
සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විසමතා, දාසෙන් මහසෙන් ගැමුණු විජයබා
(අහල නැති අයට- ඕක ලව් සෝන්ග් එකක් තමයි)

4. කොමර්ස්කාරයින් ගේ ආදර ගීතය?
බොහො කෲරයි අහෝ ලොව ධර්මේ මිල කලේ ඇයි ඔබ ප්‍රේමේ?

කැම්පස්කාරයෝ ගැන හිතලා මෙන්න මේවත් එකතු කරන්න පුළුවන්.

5. ඉංජන් ගේ ආදර ගීතය?
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලමා සාදා බලා සිටිනවා - ප්‍රියා සූර්යසේන

6. මෙඩ්ඩන් ගේ ආදර ගීතය?
හර්දේ රස මාලිගේ...ප්‍රීතිවේ මා හදේ

7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?


8. ඩෙන්ටන් ගේ ආදර ගීතය?
මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා

9. ඇග්‍රන් ගේ ආදර ගීතය?
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ

10. වෙටා ලා ගේ ආදර ගීතය?
රැලකින් තනිවී වන මැද සරණා කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දල යුවලක් වාගෙයි මට ඔබගේ ප්‍රේමේ

11. සයන්ස්කාරයින් (geology) ගේ ආදර ගීතය?
මට මුළු ලොවම ඔබයි - රූකාන්ත චන්ද්‍රලේඛා

12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය?
ඔබේ ආදරේ දෙවන පෑතිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ...

මේ රිඩල්ස්වලට දවස් ගානක් ගියා. ඔන්න මීලඟ පෝස්ට් එක නං සින්දුවක් ගැන. පදමාලාව සහ එම්.පී.ත්‍රීත් එක්ක!

-කතන්දරකාරයා

Sunday 5 September 2010

මොන්ටිසෝරි ආදර ගීතය දන්නවාද?


සින්දු වලට කවුද අකමැති?

මාත් ඉඳල හිටල සින්දු ගැන කතන්දර ලියල තියෙනව. මේ කතන්දර බ්ලොග් එක පටහ් ගත්තු කාලෙ ලියපු සුදා ල ගෙ කඩේ ප්‍රේමේ කතන්දරය තමයි පලමුවෙනි එක. ඒකට ආවා හොඳ ප්‍රතිචාරයක්. හුඟ දෙනෙකුට තිබුණා ඒ හා සමාන කතන්දර.

ඇයි මතකනේ මං ලියපු බාත් රූම් ගීතය. ඒ කට හොඳ තනුවක් දාලා මියුසික් කරන්න කැමති කෙනෙක්ව මං තාම හොයනවා.

කතන්දර හාමිනේ ගැන ලියපු සින්දුව නං මං ඉඳල ඉඳල කියනවනේ. තාම රෙකෝඩිං එකක් නං නෑ.

ඉති සින්දු ගැන තව කතන්දර දෙක තුනක් ලියන්නයි මේ පටන් ගන්න යන්නේ!

ඉස්සෙල්ලාම කියන්නකෝ බලන්න මෙන්න මේ ප්‍රශ්ණ වලට විසඳුම් දන්නවද කියල? මේ සේරම ලව් සෝන්ග්ස් A/L කරන අය ගැනයි.

හරි උත්තර එකකට වැඩිය තියෙන්න පුළුවන්.

1. මැත්ස්කාරයින් ගේ ආදර ගීතය?
එක් නිවරදි පිළිතුරක් මෙන්න: සම කෝණී ත්‍රිකෝණයකි ඔබයි මායි ඇයයි තිදෙන. ගායනය දයාරත්න රණතුංග.
(ස්තුතියි රන්)

2. බයෝකාරයින් ගේ ආදර ගීතය?

3. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය?

4. කොමර්ස්කාරයින් ගේ ආදර ගීතය?

කැම්පස්කාරයෝ ගැන හිතලා මෙන්න මේවත් එකතු කරන්න පුළුවන්.

5. ඉංජන් ගේ ආදර ගීතය?

6. මෙඩ්ඩන් ගේ ආදර ගීතය?

7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?

8. ඩෙන්ටන් ගේ ආදර ගීතය?

9. ඇග්‍රන් ගේ ආදර ගීතය?

10. වෙටා ලා ගේ ආදර ගීතය?

11. සයන්ස්කාරයින් ගේ ආදර ගීතය?

12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය?

දීපල්ලකෝ පුළුවන් නං උත්තර!!!

-කතන්දරකාරයා

ප/ලි:
ඇයි බොලේ එතකොට අද මාතෘකාව අමතක කරන්න පුළුවනියැ? මොන්ටිසෝරි ආදර ගීතය දන්නවාද?

Thursday 2 September 2010

හරිම නෝටි හස්බන්ඩෙක්!


මේකත් බස් එකක යද්දී වුණු සිද්ධියක් ගැන කතන්දරයක්. හැබැයි අර කාලෝ ෆොන්සේකලා ගැන, චූටි ටීචර්ලා ගැන, ගර්භණී මාතාවන් ගැන, මොන්ටිසෝරි අම්මලා ගැන කියපු කතන්දර වගේ නෙමේ, තරමක් වෙනස් එකක්.

ඔන්න දැන් ටික කාලෙකට කලින්, මගේ යාලුවෙක් ලංකාවට ආවා පිටරට පස්-තාච්චි අදින්න ගිහින් ඉන්න අතරේ පොඩි නිවාඩුවකට.

ඉතිං මට ආරාධනාවක් ආවා සති අන්තයේ එහේ එන්න කියල. කොළඹින් පැය දෙකක් විතර දුර පලාතක් නිසා හවස් වෙලා ගිහින් පහුවදා එන්නයි ප්ලෑන් එක.

ඔන්න මං දවල් කෑමෙන් පස්සේ ගෙදරින් පිට වෙලා, ගෙදර ලඟින් නැග්ග බස් එකෙන් තවත් එකකටත්, ඒකේ පැය දෙකක් විතර ගිහින් තවත් එකකටත් මාරු වුණා.

මේ තුන්වෙනි බස් එක තරමක් පොඩි, අර මිට්ෂුබිෂි වර්ගයේ ආසන විසි හයේ එකක්. මං මේ බස්වලට කැමතිම නෑ, ඒ දවස්වල. මොකද, ඕවගේ යනකොට හිටගෙන යන්න වුණොත් ඉතිං බඩුම තමයි. බෙල්ල කොර වෙනවා.

මේ කතන්දර හාමිනේ හම්බ වෙන්න කලින්නේ. ඒ කාලේ මට සාමාන්‍යයෙන් අර මර්ෆි ගේ නියමය හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ, මොකක් හරි දෙයකට කෙලවෙන්න තියෙනවා නං අනිවා, ඩෙෆා, කෙලවෙනවා කෙලවෙනවා ම යි.

කිව්වා වගේම සීට් එකක් හම්බ වුනේ ම නෑ. මොනවා කරන්නද? මේ ගමේ පාරක්. බස් තියෙන්නෙත් අඩුවෙන්. අනික දැන් හොඳටම හවස් වෙලා.

ඔන්න ඉතිං අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. මම් තුමා බෙල්ල නමාගෙන සීරුවන් ගමනේ. හවස් වෙලා හින්දා දාඩිය දාන්නේත් නැති නිසා ඉතිං වැඩි අවුලක් නං නෑ.

බස් එකේ එක එක වෛයිවාරණ උදවිය. ඉඳගෙන. හිටගෙන. මං අල්ලං හිටිය සීට් එකේ වාඩිවෙලා හිටියේ සීය කෙනෙකුයි, අම්මෙකුයි, පොඩි දුවෙකුයි. දුව අම්මගේ ඔඩොක්කුවේ.

මගේ පිටි පස්සෙන් හිටියා තරමක ඇහැට කණට පේන (ඇත්තටම කොහොමද බොලේ කණට පේන්නේ?) යුවතියක්. අර ඉස්සර තිබුණ කුමරි පත්තරේ පිටකවරෙට හොඳයි එයා. ඒ කියන්නේ බිත්තියෙ අලවගන්න උනත් හොඳයි.

ඔන්න ටික දුරක් යනකොට මගේ වාසනාව පෑදුණා. අර සීයා බස් එකෙන් බහින්න නැගිට්ටා.

මං ඉතිං පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වෙලා සීට් එකට පැන ගත්තා. තව ටික වෙලාවකින් ඒ සීට් එකේ එහා පැත්තේ හිටිය අම්මයි පොඩි දුවයි දෙන්නත් බස් එකෙන් බැස්සා. අර කුමරි පත්තරේ කවර් පේජ් යුවතිය ඔන්න මා ලඟින් වාඩි වුනා.

ඒත් ඉතිං මට ප්‍රීතියෙන් ප්‍රීතියට ගිහින් අර චූටි ටීචර්ට වගේ කලර්ස් පෙන්නන්න නං වුනේ නෑ මෙදා. මොකද මට බහින්න තිබුනේ ඊ-ලඟ බස් හෝල්ට් එකෙන්. නැවතත් මර්ෆිගේ නියමය.

ඉතිං, එදා රෑ කයිය ගහං ඉඳලා, කාලා බීල, සේරම ඉවර වෙලා මායි යාළුවයි ගියා ඒ ලඟ තිබුණු පොර ගේ අයිය ගේ ගෙදරට.

මෙන්න බොලේ එතන ඉන්නවා දැකල පුරුදු ඩයල් එකක්.

බැලින්නං, ගමේ තුන්කාලේ බස් එකේ පොඩි දුවෙක් එක්ක ආපු අම්ම තමයි මගේ යාළුවගෙ අයියගේ බිරිඳ!

"ආ, මෙයාද මේ අද එනව කියපු මල්ලිගෙ යාළුවා?" ඒ අක්ක ඇහැව්ව මාව දැක්ක ගමන්ම. "අනේ, මං ආපු බස් එකේ නේ ආවෙ, ටවුමෙ ඉඳල".

ඉතිං ටිකක් වෙලා කතා කර කර ඉඳල තරමක් හිතවත් වුණාට පස්සෙ අක්ක කියපි මෙන්න මෙහෙම.

"ටවුමෙන් බස් එකට නගින කොට මං හිතුවෙ මේ මල්ලි නෝන එක්ක ගමනක් යන කෙනෙක් කියලයි".

මාව උඩ විසිවුණා. අක්ක මේ මගේ නෝන ය කියල හිතල තියෙන්නේ අර බස් එකේ මට පිටිපස්සෙන් හිටිය සුන්දර යුවතිය ගැනයි.

"ඒත් ඉතිං, මං පුදුම වුණා, මේ මල්ලි සීට් එකක් ඉඩ ආපු ගමන්ම ඒකෙ වාඩි වුණු එක ගැන, තමන්ගෙ නෝනට සීට් එක නොදී.
මං ඇත්තටම හිතෙන් බැණ, බැණ ආවෙ, දැං කාලෙ මිනිස්සුන් ගෙ හැටි, තමන්ගෙ නෝනට වත් සලකන්න දන්නෙ නැති උන් ය, කිය කිය!"

කාට කියන්නද බොස් මේ අවනඩු?

මං මේ බඳින්න තියා හිතලවත් නෑ. අක්කම හිතල මං බැඳල නෝනත් එක්ක ගමණක් යනව කියල, ඊලඟට ඒ වැරදි නිගමනය මත පදනම් වෙලා, මට ම හිතෙන් බැණල නෝනට සීට් එක නොදී යන අරුම පුදුම මහත්තයෙක් කියල.

හ්ම්!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මර්ෆි ගේ නියමය මට අදාල නෑ. කතන්දර හාමිනේ ගේ වාසනාව වෙන්න ඕනැ. අත ගහන දේවල් කොච්චර වැරදුනත් -හාමිනේ ගේ එක උපදෙසකින් සේරම හරිගස්සා ගන්න පුළුවනි!