
අපි හැමෝම වගේ දින පොත් ලියල තියෙනව කෙටි කාලෙකට හරි මගෙ හිතේ. සමහර දිනපොත් ලෝක ප්‍රසිද්ධ කෘති බවට පත්වෙලාත් තියෙනව. හොඳම උදාහරණය තමයිඃ නාට්සි ජර්මනියේ ඇන් ෆ්‍රෑන්ක් ලියූ දිනපොත.
මං ඉස්සෙල්ලාම දිනපොතක් ලියන්න පටන් ගත්තේ හයේ පන්තියෙ ඉඳිද්දී වගෙයි මට මතක. ඒ දිනපොත අඟල් 4*3 විතර කුඩාම කුඩා ප්‍රමාණයේ අර කුඩා සටහන්, ඇපොයින්ට්මන්ට්ස් වගෙ දේවල් ලියන්න ගන්න ජාතියෙ එකක්. ඒ මදිවට ඒක ඊට කලින් අවුරුද්දෙ එකක්. ඉතිං හැම සටහනක් ම ලිව්වෙ දවස වෙනස් කරලායි.
අපි කුලියට හිටපු ගෙදර අයිතිකාරයින් ගේ ගෙදර තිබුනෙත් ඒ අක්කර දෙකක් විතර විශාල වත්තේ ම යි. ගෙවල් දෙක මැද්දෙ හරියෙ තිබුන විශාල වෙරළු ගහක්. මං ඉස්සෙල්ලාම දිනපොතේ සඳහන් කරන්න පටන් ගත්තෙ හැමදාම උදේට නැගිටල ගිහින් ඇහිඳපු වෙරළු ගෙඩි ගණනයි.
වෙරළු අවාරෙ ආවහම ඒ දින පොත ලිවීමත් ටිකෙන් ටික අඩුවෙලා අන්තිමේ දී නතර වෙලා ගියා.
එහෙම වුනත්, ඊලඟ අවුරුද්දෙත් මට පරණ දිනපොතක් හම්බ වුනා. වැඩිහිටියෙක් පාවිච්චි කරපු. ඉඳහිට දවසක ඉලක්කං කීපයක්, වියදම් වුණ ගණන් විය යුතුයි, විතරයි ලියල තිබුනෙ.
ඒව කටු ගාල ආයෙත් මං දිනපොත ලියන්න පටන් ගත්ත. වෙරළු ගැන, අඹ ගැන, පාසල් ගියා, ගියේ නෑ වගේ කෙටි සටහන්.
ඔහොම අවුරුදු කීපයක් ගතවුනා.
මගේ දිනපොත් ලිවීමේ උච්ඡතම අවස්ථාව එළඹුනේ මං ඒ ලෙවල්ස් කලාට පස්සෙ අවුරුද්දෙයි.
විභාගෙන් පස්සෙ අම්මලගෙ ගමේ ගිහින් සැප්තැම්බර්, ඔක්තෝම්බර් කාලෙ ගත කරපු මට ආපහු ගෙදර එන්න කලින්ම ගමේ අංකල් කෙනෙකුගෙන් තෑගි ලැබුනා ඊලඟ අවුරුද්දෙ අළුත් ම අළුත් දිනපොතක්. බී.සී.සී. කියන කොම්පැණියෙ එකක්.
ජීවිතයේ පලමු වතාවට ජනවාරි පලමුවෙනිදා දවසක, ඒ අවුරුද්දේම දින පොතක ලියන්න මට වරම් ලැබුණා.
ඒක එසේ මෙසේ දින පොතක් නෙමේ. විශාල එකක්. සතියේ දිනකට පිටුවයි. ඉරිද සෙනසුරාදට පිටු බාගෙ ගානේ. එක පිටක පේලි 25 ක් රූල් ගහල තිබුනා. මං කොච්චර ලියන්නෙක් වුනාද කියනව නම්, ඒ රූල් අතරත්, මාජින් වලත් ලියල එක පිටක පේලි 55 ක් පිරෙන්න ලිව්ව. වචන 500 ක් විතර එක දවසකට විතරක්.
එදා දවසෙ වුනු දේවල්. කෝච්චියෙදි, ටියුෂන් පන්තියෙදි දැක්ක, නොදැක්ක කෙල්ලො ගැන විස්තර, සිත් තැවුල්, දුක් අඳෝනා විතරක් නෙමේ හැමදාකම මා සිත් ගත් සින්දුවක පදමාලාවත් ලිව්ව.
ඒ දින පොත අද තිබුන නම්, මගේ විශාලතම මැනුස්ක්‍රිප්ට් එක වෙන්නෙ ඒක.
එච්චර ලොකු දිනපොත් ඊට පස්සෙ කාගෙන්වත් හම්බ උනේ නෑ. ඒ නැතිවුනත්, මීට අවුරුද්දකට විතර පස්සෙ වෙන කොට වෙනත් විනෝදාංශවල පැටලීම නිසා තිබුණු පොඩි පහේ දින පොත් වුනත් පිරවුනේ යාන්තමට පේලි දෙක තුනකින් විතරයි.
නමුත් ලියපු දිනපොත් පුච්වන්නයි, අළුතින් ඒ වාගේ පෞද්ගලික විස්තර, සිත් තැවුල්, දුක් වේදනා, සංතාප, අඳෝනා යනාදී මෙකී නොකී දේවල් ආයෙ නොලියන්නයි හේතුව උනේ, අපේ ගෙදර කට්ටිය හොරෙන් මගේ දින පොත බලනව කියල තේරුණාට පස්සෙයි. අම්ම විතරක් නෙමේ මල්ලිලත්!
බුදු අම්මෝ, වස ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.
අර එක එක කෙල්ලො ගැන සිහින මවමින් සිත ඇතුලෙ තියාගෙන ඉඳල අන්තිමේ දී උන් කොල්ලො එක්ක සෙට් වෙලා ඉන්න හැටි දැකල ලියපු දේවල්, පස්සෙ ඇඟ පුරා බූට් කාල දුකෙන් ලියපු අඳෝනා සේරම ගෙදර අය කියෙව්ව කියල දැන ගත්තහම ඇතිවුනේ මහ මුස්පේන්තු හැඟීමක්.
දින පොත් ලිවිල්ල මං අල්ලල දැම්මා සදහටම.
හැබැයි පුච්චපු දිනපොත් ගැන නං මට දැං හොඳටෝම දුකයි.
අපරාදෙ නේද? දවසට එක ගානෙ කතන්දර ලියල බ්ලොග් එකට දාන්න තිබුන ඒව ආශ්‍රයෙන්.
කතන්දර කාරයා
- දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!
එතකං මගේ පරණ කතන්දර බලන්න.
1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර










