Followers

Wednesday, February 1, 2012

හැම තිස්සෙම xxx වගේ අවංක මෝඩයෙක් වෙනවාද? නැත්තම් xx xxx වගේ අවස්ථානුකූලව කපටියෙක් වෙනවාද? - Is it worth being honest always?


මංතුමා නං හැම තිස්සෙම බලන්නේ අවංකව වැඩ කටයුතු කරන්නයි. හැබැයි අවංකව වැඩ කිරීමයි, අවංකව කතා කිරීමයි දෙකක් ය කියලා හිතෙන කේස් එකක් මේ ලඟදි දවසක සිදුවුණා.

මෙන්න ඒ සීන් එක.

ඔන්න අපේ යාළුවෙක් ඕගනයිස් කළා පොඩි පහේ විනෝද චාරිකාවක්. පික්නික් එකක් කියන්නත් පුළුවන්. දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර සිංහල අවුරුදු නිවාඩුව කාලේ. කට්ටිය බත්, කිරිබත්, හොඳි මාළු පිණි, කැවිලි පෙවිලි හදාගෙන ගිහින් දවස් තුන්කාලක් විතර පොඩ්ඩක් විනෝද වෙලා, විශේෂයෙන්ම ඉස්කෝලේ නිවාඩු කාලේ පොඩි අයට සෙල්ලං කරන්න ඉඩ සලසලා දෙන්නයි මේකේ ප්‍රධාන අරමුණ වුනේ.

අපේ යාළුවා, සුමී කියමුකෝ, තමන් ගේ යාළුවන්ටයි, යාළුවන් ගේ යාළුවන්ටයි කතා කරලා තිබුණු නිසා අන්තිමේදී මෙතනට එදා පවුල් විස්සක් විතර එකතු වුණා.

මේ බොහෝ දෙනෙක් මං දන්න කියන අය. රත්නායක මහත්තයලාත් හිටියා ඒ අතර. ඒ එක්කම එදාම මුලින් මුණ ගැසුණු අයත් හිටියා පවුල් හය හතක්.

පික්නික් එක ඉවර වෙන වෙලාව වෙනකොට ඒ හැම දෙනා එක්කම කතා බහ කරළා අඳුණාගන්න ඉඩ ලැබුණා.

ඉතිං ඔහොම ටික දවසක් ගියාය කියමුකෝ.

ඔන්න එක්තරා හාවා හඳ දැකපු දවසක මං අල්ලපු ගමේ තියෙන අපේ පන්සලට ගිය වෙලේ අර පික්නික් එකේ දී මුලින්ම මුණ ගැහුණු එක පොරකුත් එතන හිටියා තව මගේ යාළුවො දෙතුන් දෙනෙක් එක්ක කතා බහ කර කර.

සිල් දානෙ දෙන්නයි මං එදා පන්සල් ගිහින් හිටියේ. තව ටිකක් වෙලා තිබුණු හින්ද මාත් ගියා කෂ්ටිය කතා කරමින් හිටපු පැත්තට.

මුලින්ම මගේ පරණ පුරුදු යාළුවෙක් එක්ක ආ ගිය තොරතුරු හුවමාරු කර ගත්තා. පුතාගේ ශිෂ්‍යත්ව විභාගෙ කොහොමද? දුවගේ සාමාන්‍ය පෙළ විභාගෙ කොහොමද යනාදී වශයෙන්.

ඊලඟට ඔළුව හැරුණේ පික්නික් එකේ දී මුණ ගැහුණු පොර පැත්තටයි.

"ආ කොහොමද, මතකද මාව. එදා සුමී ගේ පික්නික් එකේ දී හම්බ වුණා නේද?" ඒ මම.

"මතකයි, මතකයි, කොහොමද තොරතුරු?" ඒ පොර.

ඔන්න ඔය වෙලාවෙදී තමයි මං අනවශ්‍ය පරිදි අවංක වුනේ.

"එදා කතා කළාට මට ඔහේ ගේ නම නං දැන් මතක නෑ මං කිව්වා. මගේ නම කතන්දර, මොකක්ද ඔයා ගේ නම කිව්වේ?" මං ඒ ඇහැව්වේ අවංකවමයි.

පොර මොකක්ද දන්නවද කළේ?

මගේ ඒ ප්‍රශ්ණේ ඇහුණේ නෑ වගේ ලඟ හිටපු වෙන එකෙක් එක්ක කතාවට පැටළුණා.

සමහර විට පොරට මදි කමක් වගේ වෙන්න ඇති මං පොර ගේ නම මතක නෑ කියලා ආපහු නම ඇහැව්වාම.

ඔය පන්සල් කේස් එකෙන් පස්සෙන් පහු එක දවසක කෝච්චියේ දී ත් මං පොරව දැකලා හිනා වෙන්න වගේ ගියත් මෙන්න බොලේ මූ මාව නොදැක්කා වගේ අහක බලා ගත්තා.

අනේ මට මොකද?

සමහර විට මං එදා පන්සලේදී නම අමතක කතාව නොකියා කතා කර කර ඉඳලා පස්සේ සුමීගෙන් නම අහගත්ත නං මේක වෙන්නේ නෑ.

ඒ මොනවා වුණත් මං තාමත් පොර ගේ නම දන්නේ නෑ. දැන් නං ඉතිං දැන ගන්න වැඩි ඕනෑ කමකුත් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මේක රමණී නෝනා ගේ හොඳ පාඩම් ඉගැන්වීමේ සිද්ධියට වඩා වෙනස් අවස්ථාවක්. මේ පොර මට දිනපතා වගේ හම්බ වෙන පොරක් නම් මාත් පස්සෙන් ගිහින් යාප්පුවෙන් යාප්පුවෙන් යාළු වෙන්න හදන්නත් ඉඩ තිබුණා.

මොකද මං කවදත් හොඳ වෙන්න උත්සාහ කරන පොරක් නේ!