Showing posts with label ජොකා. Show all posts
Showing posts with label ජොකා. Show all posts

Friday, 15 June 2012

ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට කෙලවාගත් හැටි (පාරිභෝගික අවවාදය-මෙය තවත් Xක්කු කතාවකි) - The mind set of a teenager



මේක තවත් ජොක්කු කතන්දරයක්. ජොක්කු ගන්න කඩේකට ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන (තවත්) කතන්දරයක්.

ජොක්කු කතන්දරවලට අකමැති අංකල්ලා, ඇන්ටිලා හෙම මේක නොකියෙව්වාට කාරි නෑ.

හැබැයි කියනව අයට තේරේවී මේක ජොක්කු ගැන කතන්දරයකත් වඩා මිනිස් සිතේ හැසිරීම ගැන මෙව්ව එකක් බව.

එහෙම බලනවා නං මං මුලින් ලියපු මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී ගේ කඩෙන් ජොක්කු ගන්න ගිය කතාවේ හරය, සේල්ස් ඇත්තී ගේ ජොක්කු අත ගෑමේ ආශාව ගැනයි. පිළියන්දල කඩෙන් ජොක්කු ගන්න ගිය කතන්දරේ හරය පාරිභෝගික සේවාව සහ ආචාරශීලීකම ගැනයි.

දැන් මෙන්න අද කතන්දරය.

මේ සිද්ධිය වුනේ මං උසස් පෙළ කරන්න කියලා අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලෙට යන්න පටන් ගත්තු කාලෙයි. ඔය එක දවසක මං ගනේමුල්ලේ කඩේකට ගියා අළුතින් ජොකෙක් ගන්න.

ඒ දවස්වල අපේ වයසේ කොල්ලෝ අඳින්න කැමති පටි ජොක්කු. වෙයාවෙල්, ඩී.එස්.අයි වගේ වෙළඳ නාම කීපයකින්ම පටි ජොක්කු තිබුණා කඩවල.

චමින්දලා ඇඳපු වවුල්ලු හෙවත් ලන්කට් කඩේ ඉස්සරහා සුළඟේ වැනි වැනී ප්‍රදර්ශනයේ තිබුණත්, මේ පටි ජොක්කු තිබුණේ පෙට්ටිවල ඇහිරිලා කඩේ ඇතුලේ ෂෝ-කේස්වලයි.

මං කඩේ ඇතුලට ගිහින් ජොක්කු දාලා තිබුණු ෂෝ කේස් එක ලඟට ගියාම සේල්ස්-මෑන් කෙනෙක් මගේ ඉස්සරහට ආවා.

"මොනවද ඕනෑ?"

මං පටි වීදුරුවට යටින් පෙණුනු පටි ජොක්කු පෙට්ටි ගොඩ දිහා බැලුවා. මට ගන්න තිබුණේ ඩී.එස්.අයි එකක් ගන්නවා ද, වෙයාවෙල් එකක් ගන්නවා ද වගේ ඉතා සරල තීරණයක්.

මොන බ්‍රෑන්ඩ් එකේ පටි ජොකෙක් වුණත් දෙළහයි පනහයි!

ඔන්න ඔය මොහොතේ තමයි මට පෙණුනේ පටි ජොක්කු පෙට්ටි වලට එහායින් තවත් ජොක්කු රාජයෝ විශේෂයක් වැඩ ඉන්නා බව.

ජොකා ගේ කොන්වලින් විතරක් නවලා, වයි අකුර පේන විදියට පොලිතීන් කේස්වල පැතලියට අහුරලා තිබුණු ඒ ජොක්කු සුදුම සුදු පාටට දිලිසුණා.

නිකං අපේ කුමර බඹසරේ සංකේතයක් වගේ!

මට හිතුණා නිකමට වගේ මේ අළුත් ජොක්කු ප්‍රභේදය ගැන මදක් විමසා බලන්න.

"අරව එකක් කීයද?" ඒ අලුත් පන්නයේ ජොකෙකුට ඇඟිල්ල දිග් කරලා මං සේල්ස්-මෑන් ගෙන් ඇහැව්වා.

සේල්ස්-මෑන් ගේ කට කොණකට නැගුනේ මහා සරදම් කිච හිනාවක්.

"මේ පටි ජොක්කු ගහන ඉස්කෝලේ කොල්ලෙක් එනවා අර ජැන්ටල්මෑන් ජොක්කු ගැන අහන්න, හුහ්!" ඌට හිතෙන්න ඇති.

"ඒ එකක රුපියල් විසි පහයි!" ඌ කිව්වේ උපහාසාත්මක කටහඬක් ආරූඪ කරගෙනයි.

සේල්ස්මන් ගේ කිච හිනාවයි, අවඥා සහගත කට හඬයි නිසා ඔන්න මටත් තද වුණා.

මට කිණ්ඩි ටෝක් දාන්න මූ කවුද? දෙන්න ඕනෑ මූට බැෂ්ටිය!

ටියුෂන්වලට දෙන්න ගෙදරින් දුන්නු සල්ලිත් මා ලඟ තිබුණා.

"මට දෙන්න ඒවායින් එකක්" මං කිව්වේ රුපියල් විසි පහක් අරගෙන ෂෝ කේස් එක උඩට දාමිනුයි.

එදා මං ගෙදර ගියේ, පටි ජොක්කු දෙකක ගාණ දීලා ගත්තු එක ජෙන්ටල්මන් ජොකෙක් ගේ සාඩම්බර අයිතිකාරයෙක් විදියටයි.

ආර්ථික වශයෙන් පාඩු වුනත්, සේල්ස්-මෑන්කාරයාට හොඳ පාඩමක් ඉගැන්නුවාය කියන සතුට මගේ හිතේ පිරිලා ගිහින් තිබුණා.

-කතන්දරකාරයා

ප/ලි:
ගෙදර ගිහින් බැලින්නම් ජොකා සයිස් 28. ඒ දවස්වල මගේ ඉන සයිස් 26. මේ ජොකා ඇඳලා පහලට නොවැටී බේරා ගත්තේ කලිසමේ පිහිටෙන්.

ඒත් මොකද? මං අර සේල්ස්-මෑන්කාරයා ට කට උත්තර නැති කළා නේ?

දැන් මොකද හිතෙන්නේ? මේක නිකංම නිකං ජොක්කු කතාවක් ද, නැත්තං වෙන මෙව්වා එකක් තියෙනවා ද?

(image: http://www.giggleberries.co.uk/blog/index.php/ego-boots-mens-underwear/)

Sunday, 27 May 2012

වාර්ෂික තොග ගණං බැලීම නොහොත් ගෙජ්ජි සරම් (ඡායාරූප සහිතයි) - Sunday Special Extra (photos included)


මං ගිය සතියේ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳ ළඟ තරු" නම් නවකතාව කියෙව්වා. සාමාන්‍ය මල් කතාවකට වඩා මේකේ කතාවස්තුව වෙනස් වෙන්නේ කතාවට පසුබිම් වූ හැට-හැත්තෑ ගණංවල කොළඹ උතුර ප්‍රදේශයේ පරිසරය නිසයි. සාමාන්‍යයෙන් ගමේ බයියන් වූ අපි හුඟ දෙනෙකුට මේක අළුත් අත්දැකීමක් වේවි. කාලවකවානුවත් වැදගත් විවිධ දේශපාලන සිද්ධි නිසා.

මේ වගේම සාමාන්‍යයට වෙනස් අපූරු පරිසරයක් පදනම් වුණු කතාවක් තමයි මංජුල වෙඩිවර්ධන (වෙඩ්ඩා) ගේ "බත්තලංගුණ්ඩු" නම් වූ සුපිරි නවකතාව.

රංජිත් කුමාරගේ කතාවේ එක තැනක තියෙනවා "ටෙරිලින්" කමිස අඳින පොරක් ගැන. තව තැනක තියෙනවා, කමිස රෙද්දක් ගන්න පොරක් ලෝන් ගහන කතාවක්.

ඔය හැත්තෑවේ මුල් කාලේ ලංකාවේ රෙදි හිඟයක් තිබිලා තියෙනවා. ඒ ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් නිසයි. දේශිය නිෂ්පාදන බාල මට්ටමේ ඒවා කියලායි සැලකිලා තියෙන්නේ.

කොටින්ම, ඒ දවස්වල මිනිස්සු ඇඳපු සරොම්වලට කියලා තියෙන්නේ "ඝාන්ඨාර ලකුණ" දරණ සරොම් කියලායි.

ඒකට හේතුව නං කියන්න ඕනෑ නෑනේ...?

හැබැයි ඔය සරොම් අඳින අය අර පාට ජොකෙක් හරි ඇන්දා නං ඔය ඝාන්ඨාර කතාව එන්නේ නෑ.

මට මතකයි අනූවේ දශකයේ විතර සංගීත කණ්ඩායමක් සින්දුවක් කිව්වා ඒකේ තිබුණා "ගෙජ්ජි සරම" කියලා යෙදුමක්. එතකොට තමයි මට තේරුණේ ඒක තමයි ඝාන්ඨාර උපමාවට වඩා නියමෙට ගැලපෙන යෙදුම කියලා.

ඝාන්ඨාර සහ ගෙජ්ජි දැකලා තියෙන අයට කතාව තේරෙනවා ඇති.

ඔය සේරම කිව්වේ අද මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට හැඳින්වීමක් හැටියටයි.

පහුගිය දවසක අපේ පවුල ගෙවල් මාරු කළා. පරණ ගෙදර බඩු මුට්ටුවලින් සමහර ඒවා සහ ඇඳුම් පැලඳුම් ගොඩක් අළුත් ගෙදරට අරං ගිහින් ඒවා අස්පස් කරන වෙලාවේ තමයි මට තේරුණේ මා ගාව "ගෙජ්ජි සරොම්" කොච්චර තියෙනවාද කියලා.

මෙන්න ඒ ලොට් එක.











මේවා වචනයේ අර්තපරිසමාප්තාර්ථයෙන් ම "ගෙජ්ජි සරොම්" වෙන්නේ මං ඒවා ගෙදරට අඳිනවා නං විතරයි.

නමුත් සමහර ඒවා මං තාම ඇඳලා තියෙන්නේ අවුරුදු උත්සව වගේ වැදගත් තැන්වලට විතරයි. ඒ වගේ වෙලාවලට මේ සරොම් වලට "ගෙජ්ජි සරොම්" කියලා කියන්න බෑ නේ. ඒ වෙනුවට කියන්න හොඳ නමක් රංජිත් කුමාර ගේ "සඳ ළඟ තරු" පොතේ නං තිබුණේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි:
දිග කලිසම් වලට ඉස්සර කියලා තියෙන්නේ එකොලහේ කණු කියලයි! ඒ හුඟක් ඉස්සර නමසිය හතලිස් ගණංවල වගේ. වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස් ගේ (නව මුද්‍රණය-සූරිය ප්‍රකාශකයෝ) පොත්වල යි මං ඒ කෑල්ල දැක්කේ.

ප/ප/ලි
දුප්පත් සරොමේ විවිධ ප්‍රයෝජන දන්නවා නේද?

Friday, 13 April 2012

මාස හයකට වරක් ඔබේ ජොකා මාරු කරන්න - වෛද්‍ය ප්‍රේමකුමාර ගෙන් උපදෙසක් :: Serious medical advice from Dr Premakumara


මං ජොක්කු ගැන කතන්දර කීපයක්ම මේ වෙනකොට ලියලා තියෙනව බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? එයින් දෙකකටම පාදක වුනේ මං කඩෙන් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ තමයි.

මේ ලඟදී දාපු ජොක්කු කඩේ කතාවට ආපු කමෙන්ට්වලින් අහලා තිබුණා, ඇයි මට මේ ජොක්කු ගන්න කඩේ ගියාමම මේ දේවල් වෙන්නේ කියලා.

ඒකට හේතුව මේකයි.

මංතුමා මාස කීපයකට පාරක් ජොක්කු ගන්න කඩේ යනවා.

එහෙම යන්නේ දොස්තර ප්‍රේමකුමාර දුන්නු වෛද්‍ය උපදේශයක් මතයි.

මේ වෛද්‍ය උපදේශය ප්‍රේමකුමාර මට විතරක් පෞද්ගලිකව දීපු උපදේශයක් නෙමේ. පොදුවේ ලංකාවේ හැමෝටම දුන්නු උපදේශයක්.

කාලෙකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේද කොහෙද ප්‍රධාන පිටුවක තමයි මේ දොස්තර ප්‍රේමකුමාර ගේ වෛද්‍ය උපදේශය සහිත ලිපිය පලවුනේ.

ලිපිය ලියවිලා තිබුණේ, සනීපාරක්‍ෂාව, ඒ කියන්නේ පර්සනල් හයිජීන් ගැන ප්‍රේමකුමාර එක්ක කෙරුණු සාකච්ඡාවක් ආශ්‍රයෙනුයි.

ඔන්න මං ලිපිය කියවං යනවා.

"හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට නම් තමන්ගේ පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ!" දොස්තර ප්‍රේමකුමාර කීවේය. "අඩු වශයෙන් මාස හයකට වරක්වත් තමන්ගේ යට ඇඳුම් මාරු කරන්න ඕනෑ."

මගේ ඇස් උඩ ගියා. මේ ප්‍රේමකුමාරයා මොන පිස්සුවක් කෙලිනවද මන්දා? පොර කියන්නේ මාස හයක් එක ජොකාම ඇන්දාට කමක් නෑ කියලාද?

මං නං එක ජොකෙක් අඳින්නේ එක ගමනකට විතරයි. උදේ ගිහින් ඝෙදර ඇවිත් හවස ආපහු ගමනක් යනවා නං ඇඟ හෝදලා වෙන ජොකෙක් ගහගෙනයි යන්නේ.

එකම ජොකා මාස පහ හයක් ඇන්දොත් හොඳට තියෙයි...!!!

බයවෙන්න දෙයක් නෑ!

අපේ දොස්තර ප්‍රේමකුමාරට වචන ටැපලිලා. පොර වහාව ඒක හරිගස්සලා තිබුණා ඊලඟ වාක්‍යයෙන්.

"මං එයින් අදහස් කරන්නේ, එකම යට ඇඳුම මාස හයක් එක දිගට ඇඳීම හොඳය කියා නොවෙයි. මං කියන්නේ මාස හයකට පමණ වරක් තමන් භාවිතා කරන යට ඇඳුම් වෙනුවට අළුතින් ඒවා ගන්න කියලායි."

ඔන්න ඔහොම එන්නකෝ ප්‍රේමකුමාර!

ඒ ටික කියෙව්වාම තමයි මගේ ඇඟේ වතුර ටික ලේ වුනේ.

ඉන්ටර්වීව් එක කරපු බොට්ල් ජර්නලිස්ට්කාරයාත් ඉන්ටර්වීව් එක එඩිට් නොකරම දාලා. මං හිතන්නේ පාඨක රසාස්වාදය උපරිම කරන්න හිතාගෙන වෙන්න ඕනෑ.

ප්‍රේමකුමාරව මං අන්තිමට දැක්කේ ලේඩි රිජ්වේ එකට අපේ රෝස බබා අසනීප වෙලා අරංගිය වෙලාවක වගෙයි මට මතක.

මේ පීඩියට්‍රික්කාරයෝ මොනවට ජොක්කු ගැන කතාකරන්න යනවද මන්දා? ඒවා මේ අපි වගේ පොරවල්වලට තියන්නේ නැතුව.

ඔය කියන ඉන්ටර්වීව් එක තිබුණු පත්තර කෑල්ල මං කියෙව්වේ මීට අවුරුදු හත අටකට කලින්. ඒ දවස්වල මංතුමා මේ බ්ලොග් කලාව ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැති හින්දා, ඒ පත්තර කෑල්ල කපලා තියාගත්තේ නෑ, දැං කරනවා වගේ.

-කතන්දරකාරයා

ප/ලි:
පත්තර කෑලි බලන්න ඕනෑ නං, මගේ කතන්දර දැනුම් සාගරේ සීරීස් එක බලන්න.

ඒ එක්කම මාස හයකට පාරක් අළුත් ජොක්කු ගන්න අමතක කරන්න එපා.

(image: http://www.spreadshirt.com/)

Monday, 26 March 2012

ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority complex?


මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී හිටපු හොරණ පැත්තේ කඩෙන් සුදු කමිසයක් ගන්න ගිහින් අන්තිමට ජොක්කු සයිස් එක තෝරන්න වෙච්ච කතන්දරේ නං ඉතිං කතන්දර බ්ලොග් එක කියවන බහුතරයක් දෙනා කියෝලා තියෙනවානේ මේ වෙනකොට.

ඒකේ දාලා තියෙන ඔසී පිලේ ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ගේ ෆොටෝ එකට ගෑල්ළමයි සමහරු බයයි වගේ.

අද කියන්න යන්නේත් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බක් ගැන කතන්දරයක්.

මේ පාර සිද්ධිය වුනේ පිළියන්දල කඩේකදී. සාප්පුවේ නම නං හරියටම මතක නෑ. ටවුමේ කැස්බෑව පැත්තට වෙන්න කොළඹ යන්න බස් නවත්තන පැත්තේ තියෙන ලොකු කඩ කීපයෙන් එකක් මේක. පාරේ ඉඳලා කඩේට ඇතුල් වුණාට ඒ දවස්වල සල්ලි ගෙවා පිටවෙන්න තිබුණේ බිම් මට්ටමට වඩා යටින් තියෙන තට්ටුවක ඉඳලා පඩි නැගලයි.

ඔන්න ඔය බේස්මන්ට් එකේ සල්ලි ගෙවන තැනදී තමයි මේ සිද්ධිය වුනේ.

මං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ජොක්කු තුන් දෙනෙක්ම ගත්තා එදා. එකක් රුපියල් 160 කියලා හැම පෙට්ටියකට ස්ටිකර් එකක් ගහලා තිබුණා.

ඉතිං 160x3=480 යි නේ. මං පෙට්ටි තුන කැෂියර් කෙල්ලට දිලා යි දාහේ පටියකුත් ඇදලා දුන්නා සල්ලි ගන්න.
පොඩි එකෙක් වුනත් දන්න විදියට 1,000-480=520 යි නේ. ඉතිං මං පන්සීයේ කොලේකුයි, විස්සේ කොලේකුයි ඉතුරු සල්ලි විදියට ලැබෙන කං බලං හිටියා.

මං දැක්කා කෙල්ල සීයේ කොල ගණිනවා. එතකොට මං හිතුවේ පන්සීය වෙනුවට සීයේ කොල පහක් දෙන්නයි යන්නේ කියලායි.

ජොක්කු පෙට්ටි දාපු උරේයි, බිල් තුණ්ඩුවයි එක්ක මට ලැබුණේ රුපියක් 400 යි. මුං මගෙන් 600 ක් අරං.

"මෙතන සල්ලි අඩුයිනේ. එකක් 160 ගානේ සේරම 480 නේද? මට 520ක් ලැබෙන්න ඕනෑ."

"නෑ, නෑ, මේවා අද ස්පැෂල් සේල් නිසා 20% ක් අඩුයි. සාමාන්‍ය ගාණ එකක් 250 යි. එතකොට තුනට 750 යි. සේල් ඩිස්කවුන්ට් එක අඩු කළාම 600 යි. ඉතුරු සල්ලි 400 තමයි ඔය මං දුන්නේ."

"ඉතිං සේල් එකක් තියෙනවා නං, ඒ සේල් ගාණ මේ ස්ටිකර් එකේ තියෙන ගාණට අඩු වෙන්න ඕනෑනේ. සේල් ප්‍රයිස් එක කොහොමද ස්ටිකර් එකේ තියෙන ගාණට වඩා වැඩි වෙන්නේ?"

"මං දන්නේ නෑ. මං ගත්තේ හරි ගාණ කෙල්ල කිව්වා."

"ඔය කියන 20% සේල් එක තියෙනවා නං මගෙන් ගන්න ඕනෑ රුපියල් 480ටත් වඩා 20%ක් අඩුවෙන් නේද? දැන් මගෙන් ඔයා වැඩිපුර 20%ක් අරං නේ!"

මාත් අතහැරියේ නෑ. මොකටද කඩකාරයින්ට සල්ලි නිකං දෙන්නේ, අර පාරේ ඉන්න හිඟන්නෙකුට හරි, ස්වීප්කාරයෙකුට හරි දෙනවානේ.

"මිස්...!!!" කෙල්ල කෙඳිරි ගෑවා.

මිස් එතනට ආවා.

ගත්තා බඩුයි, බිලයි, ඉතුරු සල්ලියි.

ගණං හැදුවා.

මගේ අතට රුපියල් 520 කුයි, බඩු ටිකකයි, අළුත් බිලකුයි දීලා යන්න හැරුණා.

"ඉතිං එච්චරද?" මං ඇහැව්වා.

"ඔව්! එකක් 160 ගානේ තුනට 480 යි. ඉතුරු සල්ලි 520 ක් දීලා ඇති."

"ඒක හරි. නමුත් මගෙං වැඩිපුර සල්ලි ගන්න ගිය එක ගැන අඩු ගානේ සොරි කියලාවත් කියන්නේ නැද්ද?"

මිස් ගේ මුණ නිකං හිස් කඩදාසියක් වගේ. ජීවිතේට සොරි කියලා වචනයක් හෙම අහලා නෑ වගෙයි.

කෙල්ලත් අනේ මට මක්කෙයි වගේ ලුක් එකක් දාගෙන ඉන්නවා.

"ඕ ගොල්ලන් ගේ පුදුම පාරිභෝගික සේවාවවක් නේ තියෙන්නේ. හරිම ලස්සනයි"! මං කිව්වා.

මිස් ගස්සගෙන යන්න ගියා.

කෙල්ලත් මාව නිග්ළෙක්ට් කරලා පෝලිමේ ඊලඟට හිටිය පොර පැත්තට බෙල්ල උස්සලා බැලුවා.

මාත් ඒ පැත්ත බැලුවා. පෝලිමේ උං ටිකත් නිකං ගල් ගිල්ලා වගේ ඉන්නවා.

කේන්දියකටත් වඩා මට දැනුණේ මහා සංවේගජනක හැඟීමක්.

අනේ අපේ රට! අනේ අපේ ජාතිය!!

තමන් අතින් වෙච්ච වැරැද්ද පිළිගෙන සමාවෙන්න කියන්න දිව නැවෙන්නේ නැත්තේ අපි ලෝකෙන් උතුම්ම රටේ ඉන්න ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය නිසා වෙන්න ඕනෑ!!!

-කතන්දරකාරයා

ප/ලි:
මේවා ලියනවාට වඩා හොඳයි අර වවුල් ජොකෙක්වත් හොයාගෙන මූණේ මුකවාඩමක් බැඳගත්තා නං.


(image: http://www.panoramio.com/photo/35139630)

Wednesday, 28 December 2011

ජොකා නිවරදිව ඇඳීමට තියොඩොලයිට්ටුවේ පිහිට - A Theodolite assisted method to correctly wear male underpants


කෙල්ලෝ ජංගි අඳිනවා වගේ නෙමේ කොල්ලෝ ජොකා අඳිනවා කියන්නේ පොඩි ආට් එකක් සහ සයන්ස් එකක් තියෙන ක්‍රියාවක්!

මොකද මූලිකව බැලුවොත් ජොකා අඳින්නේ ගොනා කානුවේ යන එක වලක්වා ගන්නනේ. දෙවෙනි හේතුව තමයි පරම්පරා කුට්ටම ආරක්‍ෂා කර ගන්න එක.

ඉතිං ඒ වැඩේ හරියට කෙරෙන්න නම් ඔය ජොකා ගේ හිල් දෙක අතරින් කකුල් දඬු දෙක දාලා ජොකා උඩට ඇද්දට පමණටම හරියන්නේ නෑ. ඉන් පෙර සහ ඉන් පසු නිවරදව කළ යුතු පොඩි පොඩි ඇජස්ට්මන්ට් තියෙනවා!

මේ කලාව සහ විද්‍යාව නිවරදිව ප්‍රගුණ කළ කෙනෙක් තමයි මගේ බැචා සහම්පති ජයසූරිය.

සහම්පතියා වුනත් ඒ ඇජස්ට්මන්ට්ස් සහිතව නිවරදිව ජොකා අඳින ක්‍රමවේදය හරියම විද්‍යාත්මකව සහ කලාත්මකව වැඩි දියුණු කරලා ගත්තේ පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලේ දී යි.

තවත් පැහැදිලිව කියනවා නම් මේ සඳහා සහම්පතිට ගුරු හුරුකම් සැපයුනේ අපේ පළමු වසරේ විෂයයක් වුනු සර්වෙයින් හෙවත් බිම් මිනුම් ශිල්පය ඉගෙන ගන්න අපි භාවිතා කරපු තියොඩොලයිට්ටුවෙනුයි.

දැන් නං කොහොමද දන්නේ නෑ, අපේ කාලේ දී නං පස්සෙන් පහු මිකැනිකල්, කෙමිකල්, ඉලෙක්ට්‍රිකල්, ට්‍රොනික්ස් තියා මොන මගුල කරන්න හිතේ තිබුණත් ෆර්ස්ට් ඉයර් එකේදී අනිවාර්යෙන්ම සර්වේයින් ඉගෙන ගන්න ඕනෑ.

සර්වේයින්වල මුලින්ම තිබුණේ දම්වැල් මිනුම හෙවත් චේන් සර්වේයින්. ඊලඟට ආවේ ලෙවලින්. එකෙනුත් පස්සේ තමයි අපි තියොඩොලයිට්ටුව පාවිච්චි කරන්න පටන් ගත්තේ. තියොඩොලයිට්ටුවයි, ට්‍රයිපොඩ් එකයි, අනිත් පොලු ටිකයි, පෙග්ස් ටිකයි සහ මිටියයි කර ගහගෙන ගිනි කාෂ්ඨක දවල් වරුවේ කැම්පස් එකේ හතර කොනේ කරක් ගහන එකත් ජොලි වැඩේ ඒ දවස්වල.

තියොඩොලයිට්ටුවක් පාවිච්චි කරන්න කලින් ඒක හරියට ලෙවල් කරගන්න ඕනෑ. අපේ කාලේ තිබුණු මිකැනිකල් තියොඩොලයිට්ටු හරියට ලෙවල් කරගන්න අනුගමනය කළ යුතු එක්තරා ක්‍රියා පටිපාටියක් තිබුණා.

ඒක 100%ක් නිවරදිව කියන්න මගේ මතකයේ නෑ. නමුත් මෙන්න අපිට කියා දීලා තිබුණු ක්‍රමවේදයේ තිබුණේ එක පැත්තක් ලෙවල් කරලා, අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරලා, ආපසු අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරනවා වගේ පියවර ගණනාවකින් කළ යුතු සංඛීර්ණ කතාවක්.

දැන් මෙන්න ඒ විද්‍යාත්මක ක්‍රමය අනුසාරයෙන් අපේ සහම්පතියා විසින් මූලිකව සකසා, අත්හදා බලා, ෆයින් ටියුනින් මගින් වැඩි දියුණු කර ඉදිරිපත් කරන ලද ජොකා ඇඳීමේ ක්‍රමවේදය.

පෙර සැකසුම්
  1. ඔබේ අදාල අවයව නිසි පරිදි නිව්ටන් ගේ දෙවන ගුරුත්වාකර්ෂණ නියමයට අදාලව තිබේදැයි බලන්න.
    (නොදන්නා අයගේ දැනගැනීම පිණිස ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් ගේ දෙවෙනි නියමය මෙසේය. ඕල් හැන්ගින් තින්ග්ස් මස්ට් බී වර්ටිකල් - All hanging things must be vertical)
  2. එසේ ඇතිනම් සාමාන්‍ය පරිදි ජොකා අඳින්න.
  3. එසේ නැතහොත් ඒවා අදාල නියමයට අනුව සකසා ගන්න. ඉන්පසු ජොකා අඳින්න.

පසු සැකසුම්
  1. ජොකා ඇඳි පසු තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  2. දැන් අංශක 90ක් හැරෙන්න.
  3. පෙර පරිදිම තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  4. වහාම අංශක 180ක් හැරෙන්න.
  5. තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  6. දැන් උපකරණ නිසි පරිදි සමතුලිතව තිබේ දැයි පිරික්සා බලන්න.
  7. එසේ නොමැති නම් ඉහත අංක 1 පියවරට යන්න.
  8. නිවරදිව සමතුලිත වී ඇති නම් පසු සැකසුම් අවසානයි. දැන් කලිසම අඳින්න.

මුලින් ජොකා ඇඳ පසුව ඊට උඩින් කලිසම ඇඳීමෙන් පසුවද ඉහත පසු සැකසුම් ක්‍රියාවලිය අනුගමනය කළ හැක.

අත්දුටුවයි! සත්තයි!!

-කතන්දරකාරයා

ප/ලි
එනි සිස්ටම් කැන් බී ටියුන්ඩ් (Any system can be tuned) කියලා කියනවානේ. ඇත්තම කියනවා නං මාත් මුල් "සහම්පති මෙතඩ්" එක පොඩ්ඩක් ෆයින් ටියුන් කරලා හැඩ වැඩ දාලායි මේ ලිව්වේ!

ප/ප/ලි
කාට හරි පුලුවන්ද මේකට විසියෝ වගේ එකකින් ෆ්ලෝ චාට් එකක් ඇඳලා එවන්න?

සිතුවම් නම් එපෝ!

Monday, 24 October 2011

සුදු සරොං සහ මැයි දින ජොක්කු - May day, May day, May day!


මං පොඩි කාලේ ජොක්කු ඇන්දේ නැති වුණාට, කණිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා සෙන්ට්‍රල් එකට ගිහින් කාලෙකට පස්සේ තාත්තා මහල දුන්නු වවුල් ජොකෙක් හෙවත් ලන්කට් එකක් අඳින්න පටන් ගත්තා.

ඉස්සර මට මතකයි ටවුමේ රෙදි කඩවල්වල එලියේම මේ රෙඩි මේඩ් වවුල් ජොක්කු මිටි ගණං එල්ලා තියෙනවා. ඒත් මං ඇන්දේ ගෙදර මහපු වවුල් ජොක්කු තමයි.

තවත් කාලයක් ගියාම නං වෙයාවෙල් වගේ ෆැක්ටරිවල මහපු ජොක්කු කඩෙන් අරං අඳින්න පුළුවන් වුනා.

වෙයාවෙල් වගේ ජොක්කු සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි ගමේ පොරවල් ඇඳපු වවුල් ජොක්කු සාමාන්‍යයෙන් වෛර්ණයි.

ඒ දවස්වල "පමුණුව" කියලා ගමක් ගැන අපි අහලාවත් නොතිබුණාට මේ වවුල් ජොක්කු මහන්නත් ඇත්තේ කට් පීසස් වලින් ම තමයි මයෙ හිතේ. මේ ගැන චමින්දත් කියා තිබුණා.

ලන්කට් වවුල්ලු විතරක් නෙමේ අද කාලේ ජොක්කුත් තියෙනවා වෛවර්ණ, ඊස්ට්මන් වර්ණ, සමනල වර්ණ. ඒ වගේ ජොක්කුන් ට මගේ මිතුරෙක් නමක් දැම්මා "මැයි දින ජොක්කු" කියලා.

ඒ කතාව වුනේ පස්තාච්චි කාලේ තායිලන්තයේ දී යි.

සාමාන්‍යයෙන් කාන්තාවන් නං යට ඇඳුම් හෝදලා එළියේ වනන්නේ නෑ නොවැ. වැනුවත් ටිකක් හැංගෙන්න වගේ තමයි වනන්නේ.

ඒ ප්‍රශ්ණ අපිට තියෙනවා යැ.

මං තායිලන්තෙට ගිය ගමන්ම වගේ රන්සිට් ටවුමට ගිහින් ගෙනාවා ඇපල් ලකුණ දරණ වෛවර්ණ ජොක්කු හතේ සෙට් එකක්. රතු දෙකයි, නිල් දෙකයි, කොල දෙකයි, සුදු එකයි. සතියේ දවස් හතට අඳින්න පුළුවන්.

මේ ඇපල් ලකුණ දරණ ජොක්කු හොඳය කියලා මට රෙකමන්ඩ් කලේ රත්නායක මහත්තයා යි. පොර ගෙනත් තිබුණා ජොක්කු දොලහක සෙට් එකක්. අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!

ඉතිං මං එක සති අන්තෙක ඔය ජොක්කු හය දෙනෙක් විතර හෝදලා කාමරේ පස්සේ දොරෙන් එලියේ තියෙන පොඩි බැල්කනි කෑල්ලේ මං ඇදගෙන තිබුණු වැලේ වනලා තියෙනවා.

ඕක දැකපු මගේ වෙනත් මිතුරෙකුට මතක් වෙලා තියෙන්නේ ලංකාවේ මැයි දිනය රුස්වීමක්. මොකද, රතු, නිල් කොල කොඩි සේරම දාලා නේ!

මං එදා ඉඳලා කලේ යුනිවසිටියේ ලොන්ඩ්‍රියට රෙදි දාන්න පටන් ගත්තා. ඒක ගාස්තු කෑලි ගානට නෙමේ මාසෙකට නියමිත ගාණක්. ඉතිං ජොක්කු විතරක් නෙමේ සොක්ස් පවා ලොන්ඩ්‍ර්‍රියට තමයි දැම්මේ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න අපි පොඩි කාලේ අපේ ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. මේක තිබුනේ මං ඒ කාලේ ගිය ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ.

උදේ වරුවේ ගම හරහා දිවීම, ලිස්සන ගහ වගේ දේවල් තිබිලා හවස් වෙනකොට පටන් ගත්තා ස්ටේජ් එකේ තරග.

සාමාන්‍යයෙන් තියෙන අවුරුදු කුමාරී තරගයට අමතරව මෙදා පාර තිබුණා අවුරුදු කුමාරයා තරගයකුත්.

අවුරුදු කුමාරයා තරගයට ඉන්න අය අඳින්න ඕනෑ සරම සහ කමිසය.

මේකට අපේ ගමේ සහ අහල ගම්වලින් තරුණයෝ පස් දෙනෙක් විතර ඉදිරිපත් වෙලා හිටියා. තුල්හිරිය, වේටෙක්ස් පිජාමා සරොං, ටෙට්රන් කොට්න් ලා පාට කමිස ඇඳගෙන.

එකෙක් විතරක් හිටියා සුදු සරමක් සහ සුදු කමිසයක් ඇඳගෙන.

දැන් ඉතිං තරගකාරයෝ ටික වේදිකාවේ. නිවේදකයා එක එකා එක්ක කතාකරලා කියනවා, දැන් වේදිකාව වටේ රවුමක් ගිහින් ප්‍රේක්‍ෂක ජනතාවට ආචාර කරන්න කියලා.

අර සුදු සරොම්කාරයා රවුම ගිහින් තුන් පැත්තටම ආයුබෝං කියලා ආපහු අනිත් උන් හිටිය පේලියට යන්න අපිට පස්ස හරෝපු වෙලේ තමයි අපි දැක්කේ මූ සුදු සරමට යටින් ඇඳලා ඉන්නේ තද රතු පාට ජොකෙක් ය කියලා. ඒක නියමෙට කැපිලා පේනවා, වස ලැජ්ජාවයි! අන්ඩර්ග්‍රවුන්ඩ් චේ ගුවේරාකාරයෙක් මැයි දිනේට යන්න ලැහැත්ති වෙලා වගේ.

ඔය සිද්ධිය මට තාමත් සුදු කලිසමක් අඳින හැමදාම මතක් වෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
ඉතිං මේ අවවාදය පිරිමි පක්‍ෂයටයි!

සුදු සරමක් හෝ සුදු කලිසමක් අඳින කොට යටින් සුදු ජොකෙක් ගහන්න අමතක කරන්න එපා.

(image: http://www.bigstockphoto.com/image-20157977/stock-photo-underwear-hanging-to-dry)

Friday, 21 October 2011

කහ ඇඹරීම - එනම් - ජොක්කු නොඇඳ බයිසිකල් පැදීම හොඳද? නරකද? (බැඳපු කාන්තාවන් මේ කතන්දරේ කියවූවාට කමක් නෑ) : Riding bikes without undies?


මං ටවුමේ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වුණු සංසිද්ධිය ගැන ලියපු කතන්දරේ මාතෘකාවේ ම දැම්මා ඒ කතන්දරේ කාන්තා පක්‍ෂය බලන්න එපා කියලා.

එහෙම කලේ මගේ සයිස් එක ගෑණු දැනගන්න එක වලක්වන්න නං නෙමේ.

මගේ කමිස, ටී ෂර්ට්, කලිසං සයිස් ඒකේ දාලා තිබුනේ ලඟදී එන මගේ උපන් දිනේට තෑගි තෝරන්න ලේසි වෙන්නයි. නමුත් අර කියපු කන්සියුමර් වෝනින් එක දැම්මේ අවංකවම කාන්තා සුභ සිද්ධිය වෙනුවෙනුයි.

එදා එහෙම කළාට, මේ පෙරේදා ලියපු වවුල් ජොක්කු සහ ගොනා කානුවේ කතන්දරේ දී නම් කෙල්ලන්ට බලන්න එපා කියල පාරිභෝගික අවවාදයක් දාන්න බැරිවුණා. ඉතිං, ඒක කියවන්න ආපු අපේ කාන්තා පක්‍ෂයේ අය, චීයා, නෝ කමෙන්ට්ස්, no comments ආදී ප්‍රතිචාර දක්වලා තිබුණා.

(මේ කතන්දරේ කියවා මතකය අවුස්සා ගත් චමින්ද කෙනෙක් ඉංගිරිසියෙන් ලියූ සටහනක සිංහල පරිවර්තනය කියවා බලන්න).

ජොක්කු ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් නෙමේ. බ්ලොග් තියෙන්නේ ඒවට තමයි. මොකද, ඉරිදා පත්තරවල තීරු ලිපිවලින් පුළුවනි යෑ මේවා ලියන්න.

යට ඇඳුමක් ඇඳන් "පරම්පරා කුට්ටම" රැකගන්න එක පිරිමි අපි කාගෙ-කාගේත් යුතුකමක්. ඉන්ෂුවරන්ස් ගත්තත් වැඩක් තියේවියැ, ඇසට්ස් ඩැමේජ් වුනොත්?

ඉස්සර අපේ මුතුන් මිත්තෝ සම්පත් සුරකින්නත්, විළි වසා ගන්නත් ඇන්දේ හොඳ දේශීය අමුඩ. අමුඩ ලේන්සු තාමත් භාවිතයේ තියෙනවා.

නමුත්, මහ වෙදන ලා තියා ජීවක ලා කිව්වත්, දැන් ඉතිං අපි අමුඩ ගහන්න යන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ අඳින්න පටන් ගත්තු ජොක්කුම ගහනවා මිසක් දිගටම.

ඒත් මට පේන්නේ පිරිමි හුඟ දෙනෙක් ජොකා ගහලා ඉන්නවාට වඩා, නොගහා ඉන්න කැමතියි වගේ!

මෙන්න ඒ ගැන මට මතක් වෙන කතාවක්.

අපේ අංකල් කෙනෙක් ඉන්නවා පොර හැමදාම ෆැක්ටරිවල තමයි වැඩ කරන්නේ. කාලයක් පදිංචිව හිටියේත් වැඩකරපු ෆැක්ටරියට කිලෝ මීටර් දෙක තුනක් දුරින් ඇනෙක්සියකයි. වැඩට ගියේ බයිසිකලයක් පැදගෙනයි.

මං සති අන්තයේ දවසක පොර ගේ ගෙදර ගිහින් ඉන්න කොට පොරට හදිසියේම ෆැක්ටරියට එන්න කියලා පණිවිඩයක් ආවා.

පොර හොඳට කූල් එකේ සරම ගහගෙන පොතක් බලමිණුයි හිටියේ. එක පාරටම හෝදලා තිබුණු කලිසමක් ගත්තා, සරම යටින් දාලා ඇඳ ගත්තා, සයිකලේට නැග්ගා, තත්පර ගානක් ඇතුලත පොර ෆැක්ටරියට යන්න පිටත් වුණා.

මට තේරුණා පොර ඒ ගියේ අනිවා ඩෙෆා ජොකෙක් නැතුවය කියලා. මොකද මේ මං ජොක්කු අඳින ලොකු කාලේ වෙච්ච සිද්ධියක් නේ!

පස්සේ දවසක වෙන කතාවක පැටලිලා ඉන්න ගමන් පොර කිව්වා, ඒ වගේ වෙලාවලට ජොක්කු ගහන්න කරදර වෙන්නේ නෑ කියලා.

මං හිතන්නේ නිකං ගෙදර ඉන්න කොට සරමට යටින් ජොකෙක් නොගහා හිටියට, අහල පහල කඩේට යනකොට ජොක්කු නොගැහැව්වාට (මතකනේ මේ ගැන හොයන්න පත් කරන්න ගිය කාලෝ ෆොන්සේකා බලකාය?) ඔය සයිකල් පදින වැඩේ දී නං ජොකෙක් නොඇඳ ඉන්න එක හොඳ වැඩක් නෙමේ.

ඔය විදියට ජොක්කු නැතුව සයිකල් පදිනවාට "කහ අඹරණවා"ය කියලා කියන්නේ නිකමටයැ?

ජොක්කු නෙගහා ඉඳීම පිරිමි අතර කොච්චර ප්‍රියතම දෙයක්ද කියන එක තේරෙන්නේ මේ සඳහා පාවිච්චි කෙරෙන වචන ප්‍රමාණය බැලුවහමයි.

1. ගොනා කානුවේ යෑම (කතන්දර)
2. සිවිල් පිට යෑම (කතන්දර, බුද්ධි)
3. අමුවෙන් යෑම (හිස් අහස)
4. කොමාන්ඩෝ ඉඳීම (සපතේරු උන්නැහේ)
5. ඇතා උඩ යෑම (ඕනයා, රාජ්)
6. ෆ්‍රී වීල් එකේ යෑම (දුමී)
7. ෆී ඇන්ඩ් ඊසි (මංතුමා ගේ යෝජනාවක්. කාන්තා පක්‍ෂයට ටැපලෙන්නටත් ඉඩ ඇත!)
8. ටූ වීල් එකේ යෑම (තවත් මංතුමාගේම යෝජනාවක්)

තවත් මේ වගේ තත්කාලීන ජනශ්‍රැතියේ පවතින වචන තියෙනවා නම් ලියලා යන්නකො, ඒවා අපේ කෝෂ්ඨාගාරවලට දාගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
තවත් ජොක්කු කතන්දරයක් ලබන සඳුදා බලාපොරොත්තු වන්න.

ප/ප/ලි:
කෝෂ්ඨාගාරය = වදන් කොසුව = vocabulary

(image: http://symptomaticthoughtpattern.wordpress.com/2008/06/08/naked-cyclists/)

Thursday, 20 October 2011

ලන්කට් ගැන ඇවිස්සුනු චමින්ද ගේ මතකය - Chaminda gets nostalgic about Lankets (පාරිභෝගික අවවාදය: මෙය පිරිමි කතාවකි)


මං ලියපු ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව ගොනා කානුවේ කියන කතන්දරය කියවපු හුඟ දෙනෙකුගේ අතීත මතකයන් අවදිවෙලා තිබුණු බව පෙනුනා දාල තිබුණ ප්‍රතිචාර වලින්. එක් පාඨකයෙක් ඉංගිරිසියෙනුත් කමෙන්ටුවක් දාලා ගිහින්.

මට හිතුනා ඒකේ සිංහලානුවාදයක් දාන්න.
ලංකට් යන වචනයෙන් එක්තරා වයස් සීමාවක චමින්දලා ගේ මතකය බොහෝ ඇවිස්සෙනු ඇත. බොඩිය යන වචනයෙන් තවත් යුගයක මල්කාන්ති ලා ගේ මතකයද එලෙසම අවදි වෙනු ඇතැයි මම සිතමි.

ලංකට් යන වචනයේ නිරුක්තිය තව දුරටත් අභිරහසක්ව පවතී. එය ධෛර්යසම්පන්න වාග්විද්‍යා ආචාර්ය උපාධි ශිෂ්‍යයෙක් විසින් විසඳිය යුතු ප්‍රශ්ණයක් සේ පෙනේ.

ලන්කට් යනු අතිශය වර්ණවත් ඇඳුම් විශේෂයක් බව කිව යුතුය. ඒවා මසනු ලැබුවේ කෑලි රෙදි වලිනි. සරොම්, කමිස ඇතුළු අන් ඇඳුම් මසා ඉතිරිවන රෙදි කැබලිවලින් ටේලර් ලා ලන්කට් මැසූහ. එනිසා ඒවා ටෙක්නිකලර් හෙවත් වෛවර්ණව නිපදවී තිබෙනු දක්නා ලදී.

සමහර ලන්කට් කෑලි රෙදිවලින් අල්ලි-ක්‍රමයට කෙතරම් විචිත්‍රව මසා තිබුනේ ද යත් ඒවා පන්සල් අසල එල්වා තිබූ කුඩා කොඩි සිහි කළේය.

රෙදි වැලක එල්ලා තිබෙන ලන්කට් ද අතිශය දීප්තිමත් දර්ශනයක් වේ.

ලන්කටයක් ඇඳීමේ සහ ගැලවීමේ විධික්‍රමය ඒවා මසන රෙදි මෙන්ම වෛවර්ණ වේ. ලන්කටය ඇඳීමේදී, ඔබට මුලින් සරම බුරුල් කර, සරමේ වාටිය දත්වලින් අල්ලා, ලන්කටය එක කකුලක ලා (ලන්කටයක ඇත්තේ එක කකුලක් පමණි), ඉන්පසු, එහි අනිත් පස දෙපළුවේ ඇති පටි දෙක බැගින් ගලපා ගැට ගැසිය යුතුය.

බොහෝ විට මේ ගැට ලේසියෙන් ගලවාගත නොහැකි තරමටම තද වේ. ගැට ගැසුණු පටි බේරුම් ඇරීමට ලන්කට් අඳින්නෝ සමහර විටෙක ඉච්ඡාභංගත්වය ඇති කරවන තරමේ කාලයක් ගත කරති.

සමහර විටෙක මෙම පටි කැඩි යන අතර, ආයාකටු භාවිතයෙන් ලන්කටය තාවකාලිකව බැඳ ගැනීමට සිදුවේ.

ඩීඇස්අයි සහ බීඇෆ්අයි යට ඇඳුම් වෙළදපොළට ඒමට පෙර කාලයේ වෙලෝනා කොම්පැනිය විසින් බැනියම් රෙද්දෙන් මසන ලද ලන්කට් වර්ගයක් අළෙවිකරන ලදී. ඒ ලන්කට් විශේෂය සම්ප්‍රදායානුකූල ලන්කට් මෝස්තරයේ එකක් නොවිණි. එහි පටි නොතිබුණු අතර එක කකුලක් විවෘත වී නොතිබුණි. ඒවා බොහෝ දුරට අද භාවිතා වෙන යට ඇඳුම් ආකාරයේ ම විය.

~කතෘ අඥාතයි~
-කතන්දරකාරයා

ප/ලි:
තවත් ජොක්කු කතන්දර දෙකහමාරක් තියෙනව මේ සීරිස් එකේ. එකක් සිකුරාදා උදේ, අනික සඳුදා උදේ ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට්කරලයි තියෙන්නේ.

Wednesday, 19 October 2011

ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ"! - Batman Jocks


ඇනෝනිමස් ආතල් බ්ලොගය සංවිධානය කළ 2011 සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙලේ ජොකා සම්මානය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනාගත් කතන්දරය. (16/12/2011)
http://anonymousaya.blogspot.com/2011/12/2011.html



බොරු කියන්නේ මොකටද, මං පොඩි කාලේ පාසල් යන කොට ජොක්කු නං ඇන්දේ නෑ, කෙලින්ම සිවිල් පිට තමයි ගියේ!

මේක නිවරදිව කියනවා නං මගේ අම්මා මට ජොක්කු ඇන්දුවේ නෑ. අන්දන්න මට ජොක්කු තිබුනෙත් නෑ.

මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුනේ නැති නිසා, ඉස්කෝලේ ගිය මුල් අවුරුදු දෙක ම ඇන්දේ පොප්ලින් වලින් මහපු ඉලාස්ටික් කලිසම් විතරයි යටට. ඒවා අම්මා මහපුවා. උඩට ඇන්ද කමිසත් ගෙදර අම්මා මහපුවා.

මේ සමහර කමිස වල අත් නැහැ, ඒ මදිවට සමනල්ලු ඇප්ලික් කරලා තිබුණා. දෙකේ පන්තියේ දී මට මතකයි කොල්ලෙක් මට විහිළු කරනවා බ්ලවුස් අඳිනවා කියලා!

ඇත්තටම කියනවා නං බ්ලවුස් පතරොම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි අම්මා අපිට කමිස මැහැව්වේ.

හැබැයි මං කවදාකවත්, කොල්ලෝ කිචේ දානවා, මට මේවා අඳින්න බෑ කියලා ගෙදර වලි දාලා දෙමව්පියන්ට කරදර කෙරුවේ නං නෑ. කට්ට කාගෙන තියෙන දෙයක් ඇඳගෙන පාසල් ගියා.

ඒ හින්දා තමයි මට දැන් වුනත් පුළුවන්, ඇනෝවා මට නාසිසිසම් කියා කිච කරද්දීත් කූල් එකේ ඉන්න.

පළමුවන වසරේ ඉඳිද්දී අපේ පන්තියේ කෙල්ලෙක් ගවුමට යටින් යට ඇඳුමක් අඳින්නේ නැතුව ඇවිල්ලා දවසක් වෙච්ච දේ මං මීට කලින් කියලා තියෙනවා නේ, මතකද මන්දා?

ගවුම් අඳින කෙල්ලන්ට එහෙම නීති තිබුණා වුණාට, මං තුනේ පන්තියේ වගේ ඉඳලා පොප්ලින්-ඉලාස්ටික් කලිසම් වෙනුවට ඩ්‍රිල් රෙදිවලින් ටේලර් ෂොප් එකෙන් මහපු කලිසම් ඇන්දත් ජොක්කු ගැහැව්වේ නං නෑ.

මේ කාලේ වෙන කොට මං ඇන්දේ අත් කොට සාමාන්‍ය කමිස. ඒවාත් ගෙදර මහපුවා. හැබැයි ඒ තාත්තා ගේ වැඩ. ඒ නිසා බ්ලවුස් කතාව ආවේ නෑ.

හැබැයි ඒත් කලිසමයි, කමිසෙයි විතරයි. නෝ ජොක්කු.

ඔන්න පහේ පන්තියේ තරග විභාගෙන් පාස් වෙලා, හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යන්න පටන් ගත්තා.

දැන් අපේ පන්තියේ කොල්ලෝ බහුතරය ජොක්කු අඳිනවා.

මේ සේරම වවුල් ජොක්කු, එහෙම නැත්තං ලන්කට්!

ජොක්කු ගහන, නොගහන කොල්ලන් කවුද කියලා තේරෙන්නේ වූ කරන්න ටොයිලට් ගියාමයි. ජොක්කු නැත්තෝ කලිසමේ බොත්තම් (මේ කාලේ සිප් තිබුනේ නෑ, මට මතක විදියට) විතරක් ගලෝලා වූ කරනවා.

වවුල් ජොක්කු අර සමහර බිකිනි වගේ එක පැත්තකින් ගැට දෙකක් ගහන්න ඕනෑ ඒවා නිසාත්, අද කාලේ ජොක්කුන් වගේ මේවායේ ඉලාස්ටික් නොතිබුණු නිසාත්, ජොක්කු ගහන කොල්ලන්ට චූ කරන්න කලින් මුලින්ම කලිසම උඩින්ම ගලවන්න වෙනවා ගැට ලෙහන්න. ඊටත් පස්සෙයි වූ කරන්න පුළුවන් වෙන්නේ.

මේ හේතුව නිසා ජොක්කු අඳින නොඅඳින අය ටක් ගාලා කැපී පේනවා.

මේකේ නරකම වැඩේ මේකයි.

ජොක්කු අඳින්නේ නැති උන්ට අඳින උන් කිච කරන්නේ "ඔන්න ගොනා කානුවේ!" කියලයි.

මාත් ඉතිං "ගොනා කානුවේ" දා ගෙන තවත් අවුරුද්දක් විතරම ඉස්කෝලේ ගියා. ඊටත් පස්සේ තමයි තාත්තා මට ජොකෙක් මහලා දුන්නේ.

ඒකත් අර "වවුල්" වර්ගයේ ලන්කට් එකක්.

ඒකේ පිහිටෙන් මං ගොනා කානුවෙන් ගොඩට අරං හරි පාරට දා ගත්තා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව පලකරන්නේ මෙය කියවන වැඩිහිටි පිරිමින් ටික දෙනෙකුට හෝ අතීතකාමයේ ගිලෙමින් සතුටක් ලබන්නට හැකි වේ යැයි සිතාය.

උපන් දිනයේ සිට ජොක්කු ඇඳි අය සොරි.කොම් බලන්න.

මෙන්න තවත් ජොක්කු ගැන කතන්දර.
1. සරොම් අස්සේ ජොකා බලකාය
2. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
3. ජොලි සීයගෙ කතන්දරේ

(image: http://www.switched.com/2008/07/10/buzzing-cell-phone-turns-out-to-be-live-bat-in-bra/)