
මේක තවත් ජොක්කු කතන්දරයක්. ජොක්කු ගන්න කඩේකට ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන (තවත්) කතන්දරයක්.
ජොක්කු කතන්දරවලට අකමැති අංකල්ලා, ඇන්ටිලා හෙම මේක නොකියෙව්වාට කාරි නෑ.
හැබැයි කියනව අයට තේරේවී මේක ජොක්කු ගැන කතන්දරයකත් වඩා මිනිස් සිතේ හැසිරීම ගැන මෙව්ව එකක් බව.
එහෙම බලනවා නං මං මුලින් ලියපු මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී ගේ කඩෙන් ජොක්කු ගන්න ගිය කතාවේ හරය, සේල්ස් ඇත්තී ගේ ජොක්කු අත ගෑමේ ආශාව ගැනයි. පිළියන්දල කඩෙන් ජොක්කු ගන්න ගිය කතන්දරේ හරය පාරිභෝගික සේවාව සහ ආචාරශීලීකම ගැනයි.
දැන් මෙන්න අද කතන්දරය.
මේ සිද්ධිය වුනේ මං උසස් පෙළ කරන්න කියලා අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලෙට යන්න පටන් ගත්තු කාලෙයි. ඔය එක දවසක මං ගනේමුල්ලේ කඩේකට ගියා අළුතින් ජොකෙක් ගන්න.
ඒ දවස්වල අපේ වයසේ කොල්ලෝ අඳින්න කැමති පටි ජොක්කු. වෙයාවෙල්, ඩී.එස්.අයි වගේ වෙළඳ නාම කීපයකින්ම පටි ජොක්කු තිබුණා කඩවල.
චමින්දලා ඇඳපු වවුල්ලු හෙවත් ලන්කට් කඩේ ඉස්සරහා සුළඟේ වැනි වැනී ප්‍රදර්ශනයේ තිබුණත්, මේ පටි ජොක්කු තිබුණේ පෙට්ටිවල ඇහිරිලා කඩේ ඇතුලේ ෂෝ-කේස්වලයි.
මං කඩේ ඇතුලට ගිහින් ජොක්කු දාලා තිබුණු ෂෝ කේස් එක ලඟට ගියාම සේල්ස්-මෑන් කෙනෙක් මගේ ඉස්සරහට ආවා.
"මොනවද ඕනෑ?"
මං පටි වීදුරුවට යටින් පෙණුනු පටි ජොක්කු පෙට්ටි ගොඩ දිහා බැලුවා. මට ගන්න තිබුණේ ඩී.එස්.අයි එකක් ගන්නවා ද, වෙයාවෙල් එකක් ගන්නවා ද වගේ ඉතා සරල තීරණයක්.
මොන බ්‍රෑන්ඩ් එකේ පටි ජොකෙක් වුණත් දෙළහයි පනහයි!
ඔන්න ඔය මොහොතේ තමයි මට පෙණුනේ පටි ජොක්කු පෙට්ටි වලට එහායින් තවත් ජොක්කු රාජයෝ විශේෂයක් වැඩ ඉන්නා බව.
ජොකා ගේ කොන්වලින් විතරක් නවලා, වයි අකුර පේන විදියට පොලිතීන් කේස්වල පැතලියට අහුරලා තිබුණු ඒ ජොක්කු සුදුම සුදු පාටට දිලිසුණා.
නිකං අපේ කුමර බඹසරේ සංකේතයක් වගේ!
මට හිතුණා නිකමට වගේ මේ අළුත් ජොක්කු ප්‍රභේදය ගැන මදක් විමසා බලන්න.
"අරව එකක් කීයද?" ඒ අලුත් පන්නයේ ජොකෙකුට ඇඟිල්ල දිග් කරලා මං සේල්ස්-මෑන් ගෙන් ඇහැව්වා.
සේල්ස්-මෑන් ගේ කට කොණකට නැගුනේ මහා සරදම් කිච හිනාවක්.
"මේ පටි ජොක්කු ගහන ඉස්කෝලේ කොල්ලෙක් එනවා අර ජැන්ටල්මෑන් ජොක්කු ගැන අහන්න, හුහ්!" ඌට හිතෙන්න ඇති.
"ඒ එකක රුපියල් විසි පහයි!" ඌ කිව්වේ උපහාසාත්මක කටහඬක් ආරූඪ කරගෙනයි.
සේල්ස්මන් ගේ කිච හිනාවයි, අවඥා සහගත කට හඬයි නිසා ඔන්න මටත් තද වුණා.
මට කිණ්ඩි ටෝක් දාන්න මූ කවුද? දෙන්න ඕනෑ මූට බැෂ්ටිය!
ටියුෂන්වලට දෙන්න ගෙදරින් දුන්නු සල්ලිත් මා ලඟ තිබුණා.
"මට දෙන්න ඒවායින් එකක්" මං කිව්වේ රුපියල් විසි පහක් අරගෙන ෂෝ කේස් එක උඩට දාමිනුයි.
එදා මං ගෙදර ගියේ, පටි ජොක්කු දෙකක ගාණ දීලා ගත්තු එක ජෙන්ටල්මන් ජොකෙක් ගේ සාඩම්බර අයිතිකාරයෙක් විදියටයි.
ආර්ථික වශයෙන් පාඩු වුනත්, සේල්ස්-මෑන්කාරයාට හොඳ පාඩමක් ඉගැන්නුවාය කියන සතුට මගේ හිතේ පිරිලා ගිහින් තිබුණා.
-කතන්දරකාරයා
ප/ලි:
ගෙදර ගිහින් බැලින්නම් ජොකා සයිස් 28. ඒ දවස්වල මගේ ඉන සයිස් 26. මේ ජොකා ඇඳලා පහලට නොවැටී බේරා ගත්තේ කලිසමේ පිහිටෙන්.
ඒත් මොකද? මං අර සේල්ස්-මෑන්කාරයා ට කට උත්තර නැති කළා නේ?
දැන් මොකද හිතෙන්නේ? මේක නිකංම නිකං ජොක්කු කතාවක් ද, නැත්තං වෙන මෙව්වා එකක් තියෙනවා ද?
(image: http://www.giggleberries.co.uk/blog/index.php/ego-boots-mens-underwear/)








