Monday 12 April 2010

මනාප වැඩි ඡන්ද එකකින් පත්වූ නායිකාව ගේ වික්‍රමය


මං මේ කියාගෙන යන්නෙ මගේ උදාර පන්ති නායක සේවා පිළිබඳ විස්තරේ. මුලින් මං පන්තියෙ නායකය වුනේ අපේ ටීචර් මැකෝ මුණසිංහ විසින් පවත්වන ලද රහස් ඡන්දෙන්. මොන ජිල්මාට්වත් නැතුව මං මනාප ඡන්දවලින් 62.5% අරගෙන නායකය වුනා.

පන්ති නායිකාව පත්කරගන්න කෙල්ලො ඡන්දෙ දීල තිබුණෙ කෙලින්ම බල්ලො බත්කන ක්‍රමයටයි. හැමෝම වගේ පේලිවාදී වෙලා තමන්ගෙ පේලියෙ කෙනෙකුට මනාපෙ දුන්න හින්ද, ශ්‍රියානි නිකම්ම පන්ති නායිකාව වුනා 30% වත් මනාප නැතුව.

මේකට හේතුව අපේ කෙල්ලන්ගෙ මෝඩකම ම නෙමේ. නාමයෝජනා නැතුව රහස් මනාප ඡන්ද තිබ්බහම වෙන මොනව අපේක්‍ෂා කරන්නද?

ඉතිං කෞතුකාගාරයක් වගේ අපූරු වස්තුවක් වන පන්තියෙ ලී කබඩ් එකේ ඉබි යතුර බෙල්ලෙ එල්ලගෙන පහුවදා උදේ මං ඉස්කෝලෙට ආවෙ, මුණසිංහ ටීචර් ගෙ උපදෙස් මත මං හදපු මිදුල පිරිසිදු කීරමේ සහ කලගෙඩියට වතුර ගෙන ඒමේ කාලසටහන ක්‍රියාත්මක කරන්න හිතාගෙනයි.

මං එනකොට පන්තියෙ හොද දර්ශණයක්.

ඊයේ පත්වුණු අපේ පන්ති නායිකාව වන ශ්‍රියානි කොස්සෙන් කාමරේ අතුගානව. දෙකට නැමීගෙන මේස පුටු අස්සෙ තියෙන දූවිලි එලියට අදිනව.

මේ අතරේ පන්තියේ කෙල්ලො දෙතුන් දෙනෙක් වටේට ඉඳගෙන ශ්‍රියානි ට කුණු තියෙන තැන් පෙන්නව. හරියට අතුගාන විදිය ගැන තමන්ගෙ නායිකාවට උපදෙස් දෙනව!

පව් නේද?

ඔන්න එතකොටම මුණසිංහ ටීචරුත් පන්තියට ආව. මේ යන වැඩේ මොකක්දෝ වැරුද්දක් තියනව බව ටීචර්ටත් තේරුණා. ටීචර්ගෙ ප්‍රශ්ණවලට කෙල්ලො දුන්නු උත්තරවලින් තමයි මට තේරුණේ කතාව.

අපේ කෙල්ලො ටික හිතන් ඉඳල තියෙන්නේ පන්ති නායිකාවක් පත්කරගත්තේ පන්තිය අතුගාන වැඩේ කරන්න කියලයි. නායිකාවගෙ වැඩ අධීක්‍ෂණය කරන්නයි අනිත් කෙල්ලො ටික එතන ඉඳල තියෙන්නෙ.

මිනිසා ගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි, මා ඔබේ නායකයා නොව ඔබේ සේවකයාය වගෙ හොඳ හොඳ බයිල කියපු නායකයො ඉඳල තියෙනව ලංකාවෙ අනාදිමත් කාලෙකට කලින්.

අන්න ඒ වගේ කෙනෙකුගෙ පුනරුප්පත්තියක් ද මන්ද අම්මප අපේ ශ්‍රියානි කෙල්ල!

මං නං ඉතිං පන්තියෙ කොල්ලො දාසය දෙනා තුන්දෙනා තුන්දෙනා ගානෙ (එක්කෙනෙක් මිදුලෙ ඩියුටි, අනිත් දෙන්න වතුර ඩියුටි) දාල රොස්ටර් එකක් හදලනෙ තිබුනෙ, මිදුල අතුගාන, වතුර ගේන වැඩ වලට.

ඔතන ඉතිං 16-3*5=1 කියන සමීකරණයේ මේ පැත්තෙ ඉන්න එක්කෙනා දන්නව නේද කවුද කියල?

කතන්දරකාරයා
ප/ලිඃ
ඔහොම කයිය දුන්නට මටත් සතියට දෙතුන් පාරක් වතුර ගෙන්න යන්න වුනා. වතුර ගේන්න අල්පපු වත්තෙ ලිඳට දෙන්නෙක් යන්න ඕනැ. ඇයි හතයි කාල වෙනකොටත් අපේ සමහර කොල්ලො ඉස්කෝලෙට ඇවිල්ල නැහැනෙ!

5 comments:

  1. "වතුර ගේන්න අල්පපු වත්තෙ ලිඳට දෙන්නෙක් යන්න ඕනැ. "
    අල්ලපු ගෙදර ලස්සන ගැහැණු ළමයෙක් එහෙම හිටියනම් කට්ටිය වතුර ගේන්න දවසට දෙතුන්පාර යාවි නේද?

    ReplyDelete
  2. කතන්දර කීයා අප සිත් තුටු කරන
    එයින් පාඩමක් ගෙන එන අපූරුව
    කතන්දර ළමයො මා සිත් මත් කරන
    අවුරුදු ජයද කිරිබත් හෙම පිසිනවද

    ReplyDelete
  3. ----ඇයි හතයි කාල වෙනකොටත් අපේ සමහර කොල්ලො ඉස්කෝලෙට ඇවිල්ල නැහැනෙ! ----

    ඔන්න ඔය ප්‍රශ්නෙට මමත් මුණ දුන්නා. අපේ අතුගාන රෝස්ටර් එක හදලා තිබුනෙ ඉස්කොලෙට ගෙවල් ලග අයයි දුර අයයි කලවමේ දාන අසාධාරණ ක්‍රමේක​ට.

    ඉතිං 7.15 ට පන්තියට එකෙක්වත් ඈවිල්ල නැ. මම තනියෙන් ම අදින්න ඔන.

    ෂිස්....මමත් ඉන්න තිබ්බෙ කතන්දරකුමාරගේ පන්තියේ.

    ReplyDelete
  4. මම නම් UL flight එකක්... පන්තිය අතුගාන කොස්ස තියන්නෙ මොන මුල්ලෙද වත් දන්නෙ නැති, වෙලාවට ඉස්කෝලෙ ආ හොඳ ලමයෙක් මං.. කරුමෙට මේ අසරණ මාවත් අහු වුනානේ ආධුනික සිස්ය නායිකාවක් හැටියට 11 වසරෙදි අනිත් අය ලවුව අතුගාවන්න,,එතකොට නම් UL වෙන්න බැරි උනා... ඉතින් බඩ ගෑවා උදේ ‍රැයින්.. හයියෝ.... (UL=Usually late)

    ReplyDelete
  5. පංති නායකයා හැටියට වගේම මනුස්සකමට කසු ටත් තිබ්බානේ පංති නායිකාවගේ වැඩ කටයුතුවලට පොඩි හරි සප් එකක් දෙන්න. ශ්‍රියානි පව් නේ. ඔක්කොම වැඩ එයාට තනියෙන් නේ කරගන්න වෙලා තිබිලා තියෙන්නේ :) :) :)

    කෙසේ වෙතත් ලබන්නාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා.. තව තවත් කයි කතන්දර මතක් වේවා !!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.