Monday 30 May 2011

ඔසප්! ඔසප්!! ඔසප්!!! - ඔසප් ප්‍රමාදය නිට්ටාවට ම සුවකර දෙමි!


පෙර කතාව
නිතඹ ලෙළවමින් ලැසි ගමණින් ඇදෙන තරුණියකි. ඇය දුටු අසල සිටි තරුණයෙකු සෙමෙන් දෙවරක් උරුහම් බා, "ආ ගුඩ් මෝනිං නංගී!" යයි පැවසුවේය.

නොරිස්සුම් බැල්මක් හෙලූ තරුණිය, ඉඟ ගස්සා අඩිය ඉක්මන් කර යන්නට පටන් ගත්තාය.

ඉන් සැලුනේ තරුණයා නොවේ.

"මේ, නංගී, ඕවා තියා ගන්න එපා, හරිය?"

ඔහු මවිතයට පත් කරමින් තරුණියගෙන් ලැබුනේ යස පිළිතුරකි.

"මේ, හලෝ, අපි ඕව තියා ගන්නේ නෑ තමා, මාසෙකට පාරක් හෝදල අරිනව. බොරු නං ගිහිං අහපං උඹලෑ අම්මගෙන්!"

තරුණිය නොදැන සිටි කාරණය නම්, මේ තරුණයාද එසේ මෙසේ පොරක් නොවන බවයි.

"මේ, නංගී, මේකත් අහගන්න. ඔහෙලා මාසෙකට පාරක් හෝදලා අරිනවා තමයි. ඒත් අපිට පුලුවන් ඒක මාස නමේකට නවත්තලා දාන්න. බොරු නං ගිහිං අහපං උඹලෑ තාත්තාගෙන්!"

අදට නියමිත කතන්දරය
මං මිහිර පත්තරේ බලන්න පටන් ගත්තේ දෙකේ පන්තියේදී විතර. පස්සේ තුනේ පන්තියේදී කවියක් ලියලා හොරෙන්ම පත්තරේට දාලා ඒක පලවුණාම, එදා ඉඳලා මහා ලේඛකයෙක් වෙන්න සිහින දැක්කා.

සිහින දැකීම හොඳ දෙයක්. ඒත් ඒ ඩ්රීම් ස්ටාර් ප්ලෑන් කෙසේ වෙතත් මට මේ දක්වාම පුළුවන් වී ඇත්තේ පඩ කතා, චු කතා, කක්ක කතා දෙක තුනක් ලියන්න විතරයි.

තුනේ පන්තියේ දී ම මං පටන් ගත්තා සිළුමිණ වගේ පත්තර බලන්න. මුලින්ම ළමා පිටුව, බන්දුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍ර කතාව හෙම.

ටිකක් කල් යන කොට වෙන වෙන ලිපි පවා කියවන්න ගට්ස් ආවා. "කියවන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?" වගේ මහා සංඛීර්ණ දේවල් පවා තේරුනේ නැති වුණත් තේරුණා වාගේ කියවාගන්න පුළුවන්කම ලැබුණා.

ඒ දවස්වල තිබුණා, රිවිරුස කියලාත් පත්තරයක්.

අපේ තාත්තා ඒ දවස්වල ඉරිදාට ටවුමට ගිහින් පත්තර හතරක් ගේනවා. සිළුමිණ, ලංකාදීප, රිවිරැස සහ සන්ඩේ ඔබ්සෝවර්.

හැම ඉරිදා පත්තරේම වගේ රිවිරුස පත්තරේත් තිබුනා ඔය දැන් කාලේ "ලහි පිට" ද "ලුහු පිට" ද කොහෙද කියන ලුහුඬු දැන්වීම් පිටුවක්.

ඔන්න එක දවසක් මං පත්තරේ නැව් පෙරලිලා ද කියලා බල, බල ඉන්න කොට දැක්කා අමුතුම දැන්වීමක්. මේක ඒ ගොඩේ තිබුණු අනෙකුත් පොඩි, පොඩි දැන්වීම්වලින් කැපිලා පෙණුනු බවයි මට මතක.


ඔසප්! ඔසප්!! ඔසප්!!!

කාන්තාවන් ගේ ඔසප් රෝග
ඔබේ ඔසප් වීම මාස දෙකකින්, තුනකින් පමා වූවත් එය නිට්ටාවටම සුවකර දෙමි.

හරිගිය පසු ගාස්තුව ගෙවන්න.

ප්‍රතිකාර කිරීම අහවල් ස්ථානයේ පමණයි.
වෙනත් ශාඛා නොමැත.

විමසන්න.


පාරම්පරික වෛද්‍යාචාර්ය බ්‍රම්පි සිඤ්ඤෝ මයා
ගොඩපොර ගස් හන්දිය
තෝන්තුවාව


බොහොම අමාරුවෙන් කියවා ගත්තේ. අමාරු වචන ගොඩයි නේ.

හැබැයි මං අම්මගෙන්වත් තාත්තාගෙන් වත් ඒ අමාරු වචනවල තේරුම අහන්න නං ගියේ නෑ. හොඳ වෙලාවට.

තුනේ පන්තියේ ළමයි ඉරිදා පත්තර කියවන්න හොඳ නැති බව මට තේරුම් ගියේ හතේ පන්තියේ දී විතර එක්කෝ "ඒ.වී. සුරවීර ගේ හෙය්යංමාරුව" පොත හරි "ගුණදාස ලියනගේ ගේ දෝන කමලාවතී" පොත හරි කියවන වෙලේ ඔය "ඔසප් ප්‍රමාද වුනාම නවත්තනවාය කියන කතාවේ නියම තේරුම" මීටර් වුණාමයි.

මේ දැන්වීමේ තියෙන විදියට ඔසප් වීම් නැවතුනොත් කරන දේවල් ගැන නං මගෙන් අහන්න එපා. ඔසප් වීම නවත්තන විදිය නං මං දන්නවා. දෙපාරක්ම කරලා ඇක්ස්පීරියන්ස් එකත් තියෙනවා.

ඒවා නවත්තලා ටික කාලෙකින් මෙන්න මේවා ඕනෑ වෙන බව මතක තබා ගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය කාලෙම පත්තරවල තිබුණු ඔය වගේම වෙදකමක් ගැන දැන්වීමක් පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.
පයිල්ස්! පයිල්ස්!! පයිල්ස්!!!

මේ කතන්දරේ කියවල මාත් එක්ක කේන්ති ආපු අය ඉන්නව නං කියන්න, මං ඒ දැන්වීම හොයල එවන්නම්!

(image: http://www.zbais.com/tips-women/menstruation-cycle-and-its-phases.html)

Sunday 29 May 2011

කතන්දර බ්ලොග් එක මෙලෝ රහක් නැති වේගෙන යනවාද? Is Kathandara blog going down the pallang?


"ඔබතුමා ගේ බ්ලොග් එක දැන් දැන් අර ග්‍රාම්‍ය භාෂාවෙන් කියනවා නම් මෙලෝ රහක් නැතිවේගෙන යන්නේ ඇයි?"

ඒ මට ගිය සතියේ ලැබුණු ඊයකි.

මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකේ තියෙන්නේ නං "මං කියන්න කතන්දර ගොඩක් තියෙන කතන්දරකාරයෙක්. හැබැයි ඒ මං කැමති කතන්දර තමා" කියලයි.

ඒ වුනත්, කතන්දර කියවන පාඨකයෙකුගෙන් මේ වගේ පනිවිඩයක් ආවාම ඒ ගැන සොයා බලා නිසි පියවරක් ගැනීම අතපසු නොකර කළ යුතු දෙයක් විදියටයි මං සලකන්නේ.

මේ මෙලෝ රහක් නෑ කියන්නේ වෙජිටේරියන් කතාවලටයි කියලයි මං මුලින් හිතුවේ. මොකද, හොඳම මාංශ භක්‍ෂකයන්ට එළවලුවල මෙලෝ රහක් දැනෙන්නේ නෑනේ.

ඒ එක්කම මට හිතුණා මෙහෙම ලියන්නේ මගේ සාමකාමී චින්තනය හින්දා ලියවුණු නූතන ජන කවි හරි එහෙම නැත්තං මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය හරි ගැනවත් ද කියලා. මොකද යුධවාදීන් ට සාමය මෙලෝ රහක් නෑනේ.

ඊලඟට මට හිතුනා මෙහෙම කියන්නේ මං සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා විදියට ලියපු ඒ බූරුවා අපි වික්කා සහ අළුත් මාළු විකිණීමට තිබේ කියන කතන්දර දෙකට ආපු උපහාසාත්මක ප්‍රතිචාරක් ද කියලා.

පස්සේ තමයි මේ ප්‍රශ්ණයේ පිටුපස තියෙන ඇත්ත මට වැටහුනේ!

ඒ ඇත්ත, ඇත්තටම, රුවන් වැකියක්.

ටික දෙනෙකුව ටික කාලයක් රැවටිය හැකි වුවද, බොහෝ දෙනෙකුව ටික කාලයක් රැවටිය හැකි වුවද, ටික දෙනෙකුව දිගු කාලයක් රැවටිය හැකි වුවද, බොහෝ දෙනෙකුව දිගු කාලයක් රැවටිය නොහැක!

ඉතිං මං ඊයට පිලිතුරක් යැව්වා මෙන්න මේ වගේ කරුණුත් අඩංගු කරලා.

1. පහු පහු වෙන කොට කොහු කොහු කියනවනේ, එහෙම වෙලා වෙන්න ඇති. මොකද මං දැන් අවුරුදු දෙකකට කිට්ටු කාලෙක කතන්දර පෝස්ට් හාරසීයකට කිට්ටු ගානක් දාලා තියෙනවානේ.

2. ඒ හේතුව නිසාම ඉතිං මේ මගේ කතන්දර බැටින් වල ලකුණු අඩු කාලයක් වෙන්නත් පුළුවන්. සංගක්කාර් ලා, තෙන්ඩුල්කාර් ලා, ගවස්කාර් ලා ත් සමහර කාලවලට "ලකුණු අතර නෑ!" වගේ. ඒ අනුව බලන කොට අපි මොක්කුද?

3. අනික, ජයසූරිය ලා ට වුනත් පැන්ෂන් යන කාලෙ ලංවෙන කොට ගහගන්න බැරුව ගියා. මගේත් කාලේ හරි ඇති. ඒත් තව කතන්දර 150+ ක් තියෙනවා ලියන්න.

4. ඒ එක්කම, මං වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය කතාවේ අගින් ලිව්වා වගේ එක එක කතා, එක එක්කෙනාගේ රුචිය අනුව හොඳ සහ නරක වෙන්න පුළුවන්. මට පුද්ගලිකව ලැබෙන ප්රවතිචාර අනුව සමහරු පොලිටික්ස් ගැවෙන කතන්දර වලට කැමති නෑ. සමහරු පුක ගැන කතන්දර වලට, පඩ කතන්දර වලට, පx ගැන කතන්දර වලට, චූ කතන්දර වලට කැමති නෑ. සමහරු මත්පැන් බොන කතන්දර වලට කැමති නෑ. මේක තමයි අර ඉහත කී රුවන් වැකියේ ෆිල්ටර් එක.

ඉතිං ඔන්න ඕකයි අද සන්ඩේ ස්පැෂල් එක. මොකද හිතන්නේ?

මගේ කතන්දරවලට අකමැති අයට ඒ ගැන මට පුද්ගලිකව කියන්න ඕනැ නම් මෙන්න මගේ ඊ-ලිපිනය.
kathandara@gmail.com
ලියල එවන්න ඕනෑ දෙයක්!

-කතන්දර

ප/ලි:
දැන් මට අද ඉඳලා හෝ ගාලා ඊ-මේල් එන්න පටන් ගනීද මන්දා? (බය නොවෙමි. ගූගල් දෙයියා ජී-මේල් සඳහා ගිගා බයිට් හතක් දී ඇත.)

ප/ප/ලි:
හෙට සඳුදා (මැයි 30) බලාපොරොත්තු වෙන්න - "ඔසප්! ඔසප්!! ඔසප්!!! - ඔසප් ප්‍රමාදය නිට්ටාවට ම සුවකර දෙමි!"

(image: http://digitallabz.com/)

Friday 27 May 2011

මේක චිකන් ද, ෆිෂ් ද? - Is this chicken or fish


මං කියපු වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය බණ දේශනාවයි, එලෝළු ජීවිතේ ගැන කතන්දරයයි මතකයි නේද?

ඒ එලෝළු ජීවිතේ කතාවේ සේරම වස් දොස් අද කතන්දර කෑල්ලෙන් මග හැරිලා යයි කියලා හිතෙනවා.

මං කලින් දවසක කියලා තියෙනවානේ නාඩි වාක්‍යය බලන්න ගිය කතන්දරේ?

ඉතිං මං ඔය කියන ස්ථානෙට ගිහිල්ලා රස්තියාදු වුණු දෙවෙනි දවසෙද කොහෙද මට තිබුණා පොඩි පහේ බඩගින්නක්.

වාසනාවට වගේ එතනම තිබුණා, මට මතක හැටියට ඔය සාස්තරකාරයෝ හිටපු ගොඩනැගිල්ලේ ම යට තට්ටුවේ තරමක හෝටලයක්.

ඔන්න ඉතිං මං ඇතුලට ගිහිල්ලා, වාඩිවෙලා, කෑමට දෙයක් ගැන අහලා බැලින්නම් මේක දකුණු ඉන්දියානු වර්ගයේ සයිවර් කඩයක්. තිබුනේ උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.

වඩේ ටිකක් ගේන්න කියලා, කෑල්ලක් කඩාගෙන, පිඟානට දා ගත්තු සාම්බාරු ටිකක ඩිප් කරලා කටේ ඔබා ගත්තා. තිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.

දන්නවනේ, සාමාන්‍ය හෝටල්වල චිකන් රොටී, එළවළු රොටී, මස් රොටී, ෆිෂ් රොටී අඳුනාගන්න පහසු විදියට හතරැස්, තුන්හුලස්, රවුම් වගේ එක එක ෂේප් එකටනේ හදන්නේ.

තවත් කටකට දෙකකට අතට ගත්තු වඩේ එකට වග කියලා ඉවර වෙලා තවත් එකක් ගන්න යනවත් එක්කම මට මොකක්ද දන්නවද හිතුනේ?

මේවා චිකන් ද, ෆිෂ් ද?

හැබැයි තත්පරයෙන් මතක් වුනා මං මේ ඉන්නේ වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකක බවත්, කෑවේ මසාල වඩයක් බවත් කියන කාරණා දෙකම.

එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද?

-කතන්දරකාරයා

ප/ලි:
බෝන් එගේන් එළවළු ජීවිත ඉන්නවා නම්, මං හිතන්නේ හොඳ ඔප්ෂන් එකක් තමයි සෝයා මීට්. ඒත් අපේ දුව නං ඒවයෙත් සමහර වර්ග කන්නේ නෑ මාංශ කොටස් දාලාද කොහෙද කියලා.

මේ එළවලු කතා අදින් නිමාවෙන බව සතුටින් දැනුම් දෙමි. පරණ පුරුදු වර්ගයේ නෝටි කතා කීපයක් ලබන සඳුදා සිට.

ඊට කලින් ඉරිදාට දාන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා බලන්නත් අමතක කරන්න එපා. ජූනි මැද වෙනකන් කතා සේරම සෙට් කරලයි තියෙන්නේ.
(image: http://americandad.wikia.com/wiki/Chicken_or_Fish_Banquet_Hall)

Wednesday 25 May 2011

එලෝළු ජීවිතේ - Living with vegetables


මං පෙරේදා කියපු වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය බණ දේශනාව මතකයි නේද?

සමහරු නං විරුද්ධයි මං මිනිසා වනාහී කුකුළා වැනි සතෙකි, මාංශ භක්‍ෂකයෝ, ශාක භක්‍ෂකයින්ට වඩා උසස්ය වගේ දේවල් ලියපු එක ගැන.

මං අදත් කියන්නේ අපි සිංහයෝ, අපි කොටි කියාගෙන හිටියට, මස් සහ මස් විතරක්ම කන සිංහයන් ට, කොටියන් ට, ඉඳලා හිටලා හරි ධාන්‍ය සහ එළවළු කන මිනිස්සුන් ව සමාන කරන්න බැහැ කියන එකයි. ඒ එක්කම, එලවළු විතරක් කන හරක් ට, බැටළුවන් ට, එළුවන් ට ත් පොදුවේ සර්ව භක්‍ෂක මිනිස්සුන්ව සමාන කරන්න බැහැ.

හැබැයි මාංශ භක්‍ෂණය නොකරන, එළවලු විතරක් කන, මිනිස්සුත් ඉන්නවා නේ. මෙයින් සමහරු උපන්දා ඉඳලම මස්, මාළු කාලා නෑ. බොහෝ විට ආගමික හේතු නිසා. මං දන්න ඉන්දියන් පොරවල් දෙන්නෙක් හිටියා මේ ජාතියේ. එළවළු නැත්තං යෝගට් එක්ක හරි බත් කන්න පුළුවන් මේ ගොල්ලන්ට.

ඇත්තටම කියනව නං අපි සමහරු කැමතියි එළවලු විතරක් කන අයට. ඒ හැබැයි බයිට් එක බේරා ගන්න පුළුවන් හින්දා මිස වෙන හේතුවක් නිසා නොවෙයි.

තවත් සමහරු ඉන්නවා, පොඩි කාලේ මස් මාංශ කෑවට පස්සේ විවිධ හේතු නිසා ඒක අතහැරලා වෙජිටේරියන් වුණු අය.

මගේ අම්මා එක්කෙනෙක්. අම්මා මීට අවුරුදු දහයකට විතර ඉස්සර මස්, මාළු කෑම අතහැරියා. සිල්ගන්න මහරගම ධර්මායතනයට යන්න පටන් ගත්තට පස්සෙද කොහෙද මේ වෙනස් වීම වුනේ. මුලින් චිකන්, මූදු මාළු සහ බිත්තර හැර අනිත් දේවල් නැවැත්තුවා. පස්සේ ඒවත් අල්ලලා දැම්මා.

උපන්දා සිට හෝ ජීවිතේ පස්සෙන් පහු හෝ මාංශ භක්‍ෂණය නොකර ඉන්න අයට මං නං කියන්නේ "එළවළු ජීවිත" කියලයි.

අද කතන්දරේ මේකයි.

ඔන්න එකමත් එක රටක හිටියා කුමාරයෙක්. මේ කුමාරයා ගේ නම කතන්දර. මේ කතන්දර කුමාරයාට එක දවසක් හම්බ වුණා පින්වන්ත කුමාරිකාවක්. (පින්වන්ත ය කිව්වේ ඇයි කියලා තව මොහොතකින් තේරෙයි!)

වැඩි විස්තර ඕනි නෑ, හැම අතින්ම සිත් ඇද ගන්න නිකං නයිස් බිස්කට් එකක් වගේ සුකුමාල ලලනාවක් ය කියමුකෝ.

නැවතත්, වැඩි විස්තර ඕනි නෑ, හැබැයි, දවසක් දෙකක් විතර කතාබහ කරන කොට තමයි කතන්දර කුමාරයාට තේරුනේ මේ කුමාරිකාව "එළවළු ජීවිතයක්" බව.

ඉතිං, ඒ කතන්දරේ එතනින් ම අහවර වුණා.
(දැන් තේරුණා නේද ඇයි ඒ කුමාරි පින්වන්ත ය කිව්වේ ඇයි කියලා?)

අද මේ කතන්දරයත් මෙතනින් ම ඉවරයි.

-කතන්දරකාරයා

ප/ලි:
ආහ්, නෑ, ඉවර නෑ, ප/ලි කෑල්ල දාන්න තියෙනවානේ.

අපේ දෝණිත් කවුදෝ යාළුවෙක් ගේ චැලේන්ජ් එකක් බාර අරගෙන මාසයක් එළවළු විතරක් කන්න ප්ලෑන් කරලා, ඒක ක්‍රියාත්මක කළා.

කෙල්ලට ඒක කොච්චර නැගලා ගියාද කියනවා නං, දැන් අවුරුද්දක් තිස්සේ තාමත් එළවළු ජීවිතේ. හැබැයි, ඇත්තටම කියනවා නං කොහෙද මන්දා වෙබ් සයිට් එකක දැකලා දැන් නං බිත්තර විතරක් කනවා.

මොකද මේ අපි කඩෙන් ගන්න ෆාම් බිත්තර වල ජීවයක් නෑ ය කියනවානේ.

ඒ කියන්නේ "එග් එක" විතරයි, "ඉස්ගෙඩියෝ" ඒ පැත්ත පලාතේ ඇවිල්ලා නෑ...!!!

(image: http://debskitchencreations.blogspot.com/2010_08_01_archive.html)

Monday 23 May 2011

වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය - Carnivorous Vs Herbivorous (or is it Omnivorous)


සත්තු ජාති දෙකක් ඉන්නවා කියලා මං දහයේ පන්තියේ දී කොහෙද විද්‍යාවට ඉගෙන ගත්තා. මේ දෙජාතිය තමයි, හර්බිවොරස්, ඒ කියන්නේ ශාඛ භක්‍ෂකයෝ සහ කානිවොරස්, ඒ කියන්නේ මාංශ භක්‍ෂකයෝ.

මේ කුල දෙකේ ස්ථිර සාර සාමාජිකයෝ ඉන්නවා. උන් අනිවාර්යයෙන් ම අනිත් කුලේ අයට වඩා වෙනස්.

උදාහරණයක් විදියට: හරක් තණ කති. එළුවෝ ද තණ කති. හැබැයි මුන් දෙගොල්ලෝ වැරදිලාවත් මස් මාංශ නොකති. තේරුණා නේ?

ඒ වගේම සිංහයෝ මස් කති. හැබැයි සී.ටී. ප්‍රනාන්දුත් කියාපු විදියට සිංහයෝ තණකොළ නං පුතෝ මේ කපේදී නොබුදිති.

කොටි ද මස් මාංශ කන්නෝය. අප අසා නැතුවාට කොටි තණකොළ නොබුදිති යි කියා කියවෙන සින්දුවක් ද තියෙනවා වෙන්න පුළුවනි. පැහැදිලියි නේ?

උසස් මනස=මන උස්සා=මනුස්සා වගේ කතන්දර ගෙතිලා තිබුණත්, මිනිසාත් ඉතිං අවසාන විග්‍රහයේ දී සතෙක් තමා.

පොදු වශයෙන් සලකන කොට නං හැබැයි මිනිසා කියන සතා ශාක භක්‍ෂණයේත්, ඒ වගේම, මාංශ භක්‍ෂණයේ ත් දෙකේම නිරත වෙනවා. ඒ කියන්නේ සර්වභක්‍ෂක.

මේ අතින් බලන කොට නං මිනිසා වඩා සමාන වන්නේ සිංහයාටවත්, කොටියාටවත් නෙමේ කුකුළාට යි.

මොකද කියනව නං, කුකුළෝ හාලුත් කනවා. පනුවන්වත් කනවා.

සිංහයෝවත් කොටියෝවත් පළා වර්ගවත් ධාන්‍ය වර්ගවත් කන්නේ නෑ! තනිකර මස් විතරයි. හැබැයි රාත්තලම ඕනෑත් එක්ක.

සාමාන්‍යයෙන් සිංහල අපේ සම්මත පිළිගැනීම නම් එළවළු කන ශාක භක්‍ෂකයින්ට වඩා මස් ගිලින මාංශ භක්‍ෂකයින් උසස් ය කියන එක බව හැමෝම වගේ දන්නවා නේද?

ආයෙත් කියනවා නං, මස් කන අය එළවළු විතරක් කන අයට වඩා උසස්!

මෙහෙම කියන්නේ මං හෙම නෙමේ. වික්ටර් රත්නායකත් සාක්‍ෂි, සී.ටී. ප්‍රනාන්දු ත් සාක්‍ෂි. (මේ ගැන දන්නෝ ඇත්නම් කරුණාකර නොදන්න අයට පහදා දෙන්න.)

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලඟදී මට කතන්දර පාඨකයෙක් ඊමේල් එකක ලියලා එව්වා මං ලියන කතන්දරත් අර කවුද කරපු දේශනා වගේ ඕන කෙනෙකුට, තමන්ට හැකි ආකාරයට තේරුම් ගන්න පුළුවනි ය කියලා.

කාට කියන්නද මේ අවනඩු? අනේ මන්දා?

(image: http://flotationwalls.com/mvc/why%20vegetarianism%20is%20better-0632.html)

Sunday 22 May 2011

මෙහි අළුත් මාළු විකිණීමට තිබේ! Fresh fish for sale here, dudes


මේකත් මං අහල තියෙන, ගිය සතියේ ලියපු ඒ බූරුවා අපි වික්කා වර්ගයේ එකක්.

මං මීට කලිනුත් මනමේ කුමාරි ගේ කන්‍යාභාවය වගේ මගේ නොවන කතන්දර ලියලා තියෙන හින්දා, මේ කතාවත් අවුලක් නෑ මගෙ හිතේ.

ඉතිං අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ මේකයි.

අපේ මුල් කතන්දරේ හිටිය තාත්තයි පුතාටයි පස්සේ කාලෙක හිතුණා මොකක් හරි බිස්නස් එකක් කරන්න ඕනෑ කියලා. මාළු වෙළදාමටයි හිත ගියේ.

ඉතිං දෙන්නා ගමේ හන්දියේ මාළු ලෑල්ලක් අටවලා, පෑලියගොඩට ගිහින් පාමංකඩ විල්සන් කරු ගේ කඩෙන් කිලෝ එක රුපියල් පනහ ගානේ දීලා මාළු ගෙනල්ලා විකුණන්න පටන් ගත්තා.

ටික ටික බිස්නස් දියුණු වෙනකොට, දෙන්නට හිතුණා පොඩි පහේ බෝඩ් ලෑල්ලකුත් ගහන්න.

දෙන්න කතාවෙලා බෝඩ් එකක් ඇඳලා හයි කළා.


මෙහි අළුත් මාළු විකිණීමට තිබේ!

මේක දැකපු මාළු ගන්න ආපු පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ මෙහි කියලා ලියලා තියෙන එකේ තේරුම. මෙහේ නැතුව එහේ තියෙන මාළු මෙතනින් ගන්න පුළුවන්ද කියලා.

කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.


අළුත් මාළු විකිණීමට තිබේ!

මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ අළුත් කියලා ලියලා තියෙන එකේ තේරුම. අළුත් ඒවා නැතුව උඹලා පරණ මාළුත් විකුණනවද කියලා.

කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.


මාළු විකිණීමට තිබේ!

මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ මාළු කියලා ලියලා තියෙන එකේ තේරුම. මාළු නැතුව උඹලා එළවලුත් විකුණනවද කියලා.

කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.


විකිණීමට තිබේ!

මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ විකිණීමට කියලා ලියලා තියෙන එකේ තේරුම. විකිණීමට නැතුව මෙතන පිනට දෙන්නත් මාළු තියෙනවද කියලා.

කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.


තිබේ!

මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ තිබේ කියලා ලියලා තියෙන එකේ තේරුම. තිබේ නැතුව නොතිබේ නං ඇයි උඹලා කඩේ ඇරගෙන ඉන්නේ? මාළු ලෑල්ල වහලා දාලා ගෙදර යනවනේ, නේද? කියලා.

කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.


!

-කතන්දරකාරයා

ප/ලි
මේක නං මාර ගමක් වගේ නේද, පණ්ඩිතයෝ ම යි ඉන්නේ. පඳුරකට ගැහැව්වත් පණ්ඩිතයෙක් දෙන්නෙක් එළියට විසිවෙනවා ඇති.

(image: http://123rf.com)

Friday 20 May 2011

මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakaraya


කලින් දෙපාරක්ම, මුලින් ඉඟියෙන්, පස්සෙ කවියෙන් ලියල පලකළත් මං මෙච්චරක් කල් ගෙඩි පිටින් විස්තර එක්ක කෙලින්ම නොලියපු කතාවක් අද ලියල දාන්න හිතුණා. එහෙම මට හිතුනේ දිලුම් හෙවත් ඉලංදාරියා ගේ මරණය ගැන අභීත ගේ බ්ලොග් එකෙන් කියෝපු වෙලාවෙයි.

නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!

මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.

එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුනේ නෑ. බැස්සට ඇවිදින්න හිතුනේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.

බැරිම තැන ඉස්කෝලේ මිදුලේ තිබුණු පොඩි බංකුවක වාඩි වුණා. එතකොටම බෙල් එක ගහනවා ඇහුණා. මේ පුතා ඉස්කෝලේ යන දෙවෙනි සතිය. කොල්ල බෙල් එක ඇහිල බය වුණා, "යං, යං!" කියල මගේ අතින් ඇද්දා.

මට නැගිටලා ඇවිදගෙන පුළුවන් වුනේ අඩි දෙක තුනයි. මං දැක්කා මගේ කකුල් යටින් තියෙන තණකොල පදාසය නිකං මොසැයික් කොටු කොටු වේගෙන යනවා. කපල දැම්ම වගේ වැටුනේ ඊලඟටයි.

හැබැයි මාව ඉස්පිරිතාලේට අරං ගිය ගමන මං ගියේ හොඳ සිහියෙන්. යන ගමන් හාමිනේට කෝල් කළා මගේ මොබයිල් එකෙන්.

හාමිනේ මාව බලන්න දුවගෙන එනවා මට මතකයි. වැටිච්ච වෙලේ නහයෙන් ලේ ආපු නිසා, ස්කෑන් එකක් කරන්න ෆෝම් අත්සන් කරනවාත් මට මතකයි.

ඊ ලඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්සේෂනල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.

නර්ස් නෝනට ඒක ඇහුනේ නැද්ද, ගනං ගත්තේ නැද්ද අනේ මන්දා.

හැමෝම බලං ඉන්නේ ඇඳ උඩින් පැත්තක හයි කරල තියෙන ඊ.සී.ජී. මොනිටර් එක දිහා. මාත් ඒක දිහා තමයි බලං ඉන්නේ.

පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඒ මොනිටර් එක දිහා මේ විදියට බලං ඉන්නේ. එතකොට අර ඇඳේ දිගාවෙලා ඉන්නේ මං නේද? ඒ මං නං, එතකොට කොහෙමද මට මාව ම පේන්නේ?

හාට් එක නැවතෙනවා කියන්නේ මගේ කාලේ හරිද? මට යන්න වෙලාද?

නෑහ්, දැන්ම යන්න බෑ!

දැන්ම ගිහිල්ලා කොහොමද? පොඩි කාලේ ඉඳලා කවි ලිව්වට, තාම බැරිවුණා පොතක් අච්චු ගහන්න. දැම්ම ගිහින් කොහොමද ඒක කරන්නේ?

ඊටත් වඩා, මං දැම්ම යන්න ගියොත් තාම අවුරුදු පහක්වත් නැති පුතා ලොකු වෙනකොට ඌට තාත්ත කෙනෙක් නෑ නේද? මාව කොල්ලගේ මතකයේවත් තියෙන එකක් නෑ.

නෑහ්, දැන්ම යන්න බෑ!

ඔන්න මං යනවා හෙලිකොප්ටරයක. මාව වෙන ඉස්පිරිතාලෙකටවත් අරං යනවද මන්දා?

හෙලිකොප්ටරේ දොර ඇරුණා. දොරෙන් එහා පැත්ත පුදුමාකාර එළියයි. ඉර දෙකක්, තුනක් පායලා වගේ.

"යන්න, පුතා යන්න". හෙලිකොප්ටරේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට කියනවා. මට පොරව දැකල පුරුදුයි වගේ. මේ අර මාව ඉස්කෝලේ ලඟ ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනාව මනුස්සයා නේද? එකම වෙනස මෙයා ගේ උඩුරුවුලයි, එළු රුවුලයි දෙකම සුදුම සුදුයි!

මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.

මං දොරක් ඇරගෙන ඇතුලත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.

"ඉස්සෙල්ලාම මට ඉඳගන්න පුටුවක් දෙන්න!"

-කතන්දරකාරයා

ප/ලි:
දිලුම් යන්න ගියා තමයි. ඒත් ඒ ගියේ ලෝකේ ගැන ඇති කරගත්තු හොඳ සිතුවිලි එක්ක. ආයෙ දිලුම්ට මේ වගේ නරකක් නපුරක් වෙන්නේ නෑ.

ප/ප/ලි
මතකනේ කුමුදු පින්තු යන්න ගියා. ඒ ආරංචිය දැකල තමයි මං "ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා!" කියන පෝස්ට් එක දැම්මේ.

අපි කාටත් යන්න වෙනවා දවස ආපුහාම. ඒක අමතක කරන්න එපා. කෝකටත් එක්ක මං මාසෙකට හරියන්න කතන්දර ලියල ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට් කරලයි තියෙන්නෙ දැන් සතියක විතර ඉඳලා.

ඒත් බයවෙන්න එපා. දැම්ම යන්න නං මගේ අදහසක් නෑ. මොකද දැන් වෙන්ට කතන්දර 100 ලයිස්තුව එකසිය පනහත් පන්නලා.

යන්න චාන්ස් එකක් ආවත් හිතෙයි, "නෑහ්, යන්න බෑ! ගියොත් කොහොමද අර ප්ලෑන් කරපු කතන්දර එකසිය පනහ ලියල පලකරන්නේ?" කියලා.

Thursday 19 May 2011

ඇම්පීත්‍රී සහිත - මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය :: Inhumane song written about the humane war (with MP3)


මේක අද ඊයේ කතාවක් නෙමේ. ටිකක් පරණ කතාවක්. අවුරුද්දක් දෙකක් විතර.

දන්නවනේ ඉස්සර නං, වැඩේ ඉවර වුනාට පස්සේ කේස් ක්ලෝස්ඩ්. නෝ කතා, නෝ සිනා, ගඟ හෝ ටයර් සෑය. නෝ එවිඩන්ස්. නෝ ක්වෙක්ෂන්ස් ටු ආන්සර්.

හැබැයි ඉතින් දන්නවනේ දැන් කාලේ? මේ ඩිජිටල් යුගයේ හැම දේකම වගේ, ඩිජිටල් ෆුට් ප්‍රින්ට් තියෙන නිසා මේවා ආපහු නැවත නැවත එනවා, නිකං චක්කංව වහතෝ පදං වගේ.

මෙන්න මං ලියපු සින්දුවක්. මාතෘකාව මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ


මේක මං ලිව්වේ 2009 අවුරුද්දේ ජනවාරි මාසයේ විතර මට මතක හැටියට. මතකනේ අර මං නුඹ නාඩන් හොඳ පාඩම් කතන්දරේ ලියපු "ඔබාමා චූන් එකෙන් ඔබ්බට" කවි පන්තිය ලියපු කාලේමයි.

ඇත්තටම කියනවා නං ඔය අන්තිම අන්තරා කොටස ලියවුනේ මෙන්න මෙහෙමයි.

හම්බන්තොට ලේවායේ ලුනු ලුනු රහවේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!


ඒ මුලින් ලියපු පදේ හරියට ආපු නැති නිසාත්, ඔබාමා ගේ කවියට වුණු වැඩේම මේකට වෙච්ච නිසාත් පස්සේ මං, "මා වැනි බිළින්දා" කවියාගෙන් කවි ඉල්ලලා එවපු පුවත්පත් කතෘ ගේ ඉල්ලීම මත, දැන් තියෙන වර්ෂන් එකට අන්තිම කොටස වෙනස් කළා.

කොහොම හරි ගිය අවුරුද්දේ අග දවසක මේ පදවැලට ටියුන් එකක් දාලා, මියුසික් දාලා, වෝකල්ස් දාලා ඇත්තම සින්දුවක් කරන්න පුළුවන් වුණා.

දැන් මෙන්න ඒ සින්දුව.

තනුව සහ සංගීතය -විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය-තිසල් පාදුක්කවිදාන

මෙතනින් අහන්න.


මෙතනින් බා ගන්න.
http://www.divshare.com/download/14815982-217

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න මං කලින් දාපු ඇම්පීත්‍රී සහිත කතන්දර

1. හන්තානේ ලව් සෝන්ග් එක
2. අම්මා ට ද, තාත්තා ට ද වැඩිය ආදරේ?
3. ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක් (with YouTubeClip)

(image: http://en.wikipedia.org/wiki/Vietnam_war)

Monday 16 May 2011

නූතන ජන කවි - කැමති නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න! :: Modern folk poems-To read even if you dont want to


මේ කවි ටික මං ලිවුවේ දැනට අවුරුදු දෙකකට විතර කලින් (ජූලි 2009).

මේක මං මීට කලින් දාපු දිව්‍යලෝකේ ගිය ගමන, කටුබැද්දේ කුකුල්ලු දෙන්නා වගේ කයි කතන්දරයක් නං නෙමේ. ඒ හින්දා රනින් කමෙන්ට්‍රියක් දෙන්නේ නං නෑ.

ඒ එක්කම තට්ටෙන් සොමිය දීම, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා වගේ පුද්ගලික අත්දැකීමක් ගැන ලියවුණු කවි පන්තියකුත් නෙමේ.

කයි-කතන්දරයක් කෙසේ වෙතත් කවි-ප්‍රහේලිකාවක් කියලා කියන්න පුළුවනි.

ඉස්සර කාලේ එක්තරා ගුරුවරයෙක් කියන්න පුරුදු වෙලා හිටියා වගේ, ඕනැ නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න.

නූතන ජන කවි

මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද, මිතුරූ?

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එලවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?


-කතන්දරකාරයා

ප/ලි:
කැමති නං විතරක් මොනව හරි ලියලා යන්න.

Sunday 15 May 2011

ඒ බූරුවා අපි වික්කා! - Sunday special extra (සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා)


පොඩි කතන්දරයක් තියෙනව කියන්න. හැබැයි මේක මං අහල තියෙන එකක් මිස මගේ කතන්දරයක් හෙම නං නෙමේ.

මං මීට කලිනුත් මනමේ කුමාරි ගේ කන්‍යාභාවය වගේ මගේ නොවන කතන්දර ලියලා තියෙන හින්දා, අවුලක් නෑ මගෙ හිතේ.

ඊටත් වැඩිය වැදගත් දේ තමයි මේ කතන්දරේ මගේ එකක් නොවේ වුණාට, මං මේක අහපු දවසේ ඉඳලා එයින් ගත්තු ආදර්ශය නම් ඉතා වැදගත් එකක් වීම.

ඔන්න මේකයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ. මේක ඊසොප් ගේ උපමා කතාවක්.

එකමත් එක රටක තාත්තා කෙනෙකුයි, පුතෙකුයි උන්නා. මේ දෙන්නට බූරුවෙක් හිටියා. ඉතිං, පොඩි සල්ලි හදිස්සියක් නිසා බූරුවාව විකුණන්න තීරණය කළා ය කියමුකෝ.

ඔන්න තාත්තයි පුතයි දෙන්නා බූරුවත් දක්කා ගෙන ටවුමේ තියෙන පොලට යන්න පටන් ගත්තා. එතන තියෙනවා, බූරු පොලක්. ඒ කියන්නේ බූරුවන් විකුණන තැනක්.

මේ දෙන්නා යනවා දැක්ක ගමේ මිනිහෙක් කියපි "අනේ බං උඹලා වගේ මෝඩයෝ! මේ බූරුවා ගේ පිටේ යන්නේ නැතුව නිකං පයිං ගාටන හැටි" කියලා.

කතාව ඇත්තනේ. තාත්තා කිව්වා එහෙනං පුතාට බූරුවා පිට නැගලා යන්න කියලා.

තව ටික දුරක් ටවුම පැත්තට යනකොට ඉස්සරහට හම්බ වුණා, තව පොරක්. ඌ කියපි "අනේ, අනේ, දැන් කාලේ හැදෙන කොල්ලෝ! වයසක තාත්තාට පයින් එන්න කියලා තනියම බූරුවාගේ පිට උඩ යන හැටි" කියලා.

කතාව ඇත්තනේ. ඔන්න දැන් තාත්තත් නැග්ගා බූරුවා ගේ පිට උඩට.

තව ටික දුරක් ටවුම පැත්තට යනකොට ඉස්සරහට හම්බ වුණා, තව පොරක්. ඌ කියපි "අනේ, අනේ, මේ අසරණ බූරුවා ට උඹලා දෙන වදයක්. හරි නං උඹලා මුව වඩාගෙන යන්නයි තියෙන්නේ" කියලා.

කතාව ඇත්තනේ. ඔන්න තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා බූරුවා කුදලාගෙන යන්න හැදුවා.

බූරුවාට තේරෙනවායැ මේ කතා. ඌ දන්නේ පිටේ පටවපු බඩු ටික අරගෙන ඔහේ යන්න විතරයි. තාත්තයි, පුතයි එකතු වෙලා බූරුවා ව උස්සගෙන යන්න ට්‍රයි කරපු වෙලේ බූරුවා බයවෙලා, දඟලලා, වැටිලා, බෙල්ල කැඩිලා, මළා!

ඉතිං තාත්තයි පුතයි එකතු වෙලා, බූරු කුණ වළලලා දාලා ගෙදර ගියා.

එදා ඉඳල කවුරු හරි කෝ අර උඹලගේ බූරුවා කියලා මේ දෙන්නගෙන් ඇහැව්වොත්, උං කියන්නේ මෙහෙමයි.

"ආහ්, ඒ බූරුවා අපි වික්කා!"

-කතන්දරකාරයා

ප/ලි
මේ කියවන විට ඔබ සමහරවිට ඉන්නේ පයින් යන අවධියේ විය හැකියි. සමහර විට ඔබ එම අවධිය පසුකර බූරුවා පිට උඩ විය හැකියි.

ඒ කුමක් වුවත්, මතු දිනයක බූරුවා මැරුණොත් මොකද කරන්නේ කියා සිතා බලන්න.

Saturday 14 May 2011

මං කැමති ම ජොබ් කට්ට - My ideal job


ජීවිතේත් නිකං සෙක්කුවක් වගේ කියල කතාවට කියනව අහල තියෙනව නේද?

අපේ ගම් පැත්තේ තිබුණා සෙක්කු පොළ කියල හරියක්. පාර අයිනේ කඩ මංඩියක් තිබුණා එච්චරයි. අපි දන්න කාලෙ නං එතන තිබුණු සෙක්කුවක් නෑ.

මාර්ටින් වික්‍රමසිංහ ගේ "කළුවර ගෙදර" පොතේ සෙක්කුවක ක්‍රියාවලිය ලියවිලා තියෙනව මට මතක හැටියට. ඒත් ටෙලිය මිස් වෙච්ච නිසා මං තාමත් හැබැහින් තියා රූපෙකින්වත් ජීවිතේට සෙක්කුවක් දැකල නෑ.

ජීවිතේ සෙක්කුවක් වගේ, එහෙම නැත්තං, සෙක්කුවක බැන්ද හරකෙක් වගේ ජීවත් වෙනවා ය කියන්නේ, ඔහේ එක තැන කැරකැවෙන එක විස්තර කරන්නයි.

උදේට නැගිටිනවා. තේකක් බීලා, ටොයිලට් ගිහිල්ලා, ඇඟ හෝදලා, ඇඳ පැලඳගෙන කෝච්චිය අල්ලගන්න දුවනවා. ඊට පස්සේ කෝච්චියේ යන ගමං කතන්දර ලියනවා. වැඩ පොලේදී ඩූඩල් ඇඳ ඇඳ ඉඳලා කෝච්චියේ ම ගෙදර එනවා. එන ගමන් බ්ලොග් එකේ කොමෙන්ට්ස් බලනවා, කතන්දර එඩිට් කරනවා. ගෙදර ඇවිත් තේ බීලා, ඇඟ හෝදලා, බත් කාලා, බ්ලොග් බලලා, තේකක් බීලා, නිදා ගන්නවා.

ඔන්න සෙක්කු ජීවිතේ.

අපි බොහෝ දෙනෙක් සතියේ දවස් පහ ගෙවන්නේ ඔය වගේ මොකක් හරි රටාවකට තමයි. සති අන්තයට විතරක් ටිකක් හරි වෙනසක් වෙන්නේ. ඒත් ඒක ටිකක් ලොකු රවුමක සෙක්කුවක් විතරයි. මේ සෙනසුරාදා, ඉරිදාම තමයි ලබන සතියේ එන්නේත්.

ජොබ් එක ගැන කියනව නං, හොඳම දේ තමයි පඩිය.

එපාම කරපු දේ තමයි තමයි එකම දේ නැවත නැවත කරන්න වෙන එක, චක්කරේ කැරකිලා ආපහු ආවම. ඒ වගේම ජරා, වාත, අල, චා, එපාම එපා කරපු දෙයක් තමයි ජොබ් එක හිතේ තියාගෙන ගෙදර ගෙන්න වෙන එක.

නිවාඩුවක් ගත්තත් තේරුමක් නෑ, මොකද පහුවදා ගියාම මගේ වැඩ ටික එහෙමම තියෙනවා. ඉතිං සතියේ දවස් පහක වැඩ දවස් හතරකින් කරන්න තමයි වෙන්නේ.

ඒ මදිවාට, ලබන සතියේ සඳුදා නිවාඩු දානවා නං, සිකුරාදා ගෙදර යන්න වෙන්නේ මහ රෑ වෙලා, සේරම වැඩ ටික සෙට් කරලා තියලා තමයි.

මේ මොන කරුමයක් ද කියලා හිතෙනවා වෙලාවකට! අන්න ඒ වෙලාවටම තමයි මතක් වෙන්නේ මං කැමතිම "මයි අයිඩියල් ජොබ්" එක.

මෙන්න ඒ පිලිබඳ විස්තර.
  1. උදේ වරුවේ පහසු ඕනැ වෙලාවක වැඩට යන්න තියෙන්න ඕනෑ.

  2. හවස් වරුවේ පහසු වෙලාවක ආපහු එන්න තියෙන්න ඕනෑ.

  3. කෝච්චියේ යන එන ගමන් වැඩ කරන්න පුළුවන් වෙන්නත් ඕනෑ.

  4. සතියකට දවසක්වත් ගෙදර ඉඳල වැඩ කරන්න තියෙන්නත් ඕනෑ.

  5. ගෙදර එන කොට හිතේ හරි, බෑග් එකේ හරි දාගෙන ගෙදර අරං එන්න බැරි ජොබ් එකක් වෙන්න ඕනෑ.

  6. වැඩට නොගිය දවසක වැඩ, පස්සේ ගියාම කරන්න තියෙන ජොබ් එකක් වෙන්න බෑ.
මේ වගේ ජොබ් එකක් ගැන කවුරු හරි දන්නවද? මං නං දෙක තුනක් ගැන මේ වෙන කොට හිතමින් ඉන්නවා. දන්න දන්න අය කියල එවන්න.

-කතන්දරකාරයා

(image: http://www.learnamericanenglishonline.com/)

Wednesday 11 May 2011

උගෙ අම්මයි දුන්නේ


සාමාන්‍යයෙන් අම්ම මතක් කරල බණිනව කියන්නේ සිරාම සිරා බැනිල්ලක් නේ.

මේක නං එහෙම බැනිල්ලක් ගැන කතන්දරයක් නෙමේ.

කොහොම වුනත් ඉතිං අපිට බනින්න හිතෙන්නේ නං හිතේ කේන්තියක් ආවහමය කියන එක කාටත් පොදු සත්‍යයක්.

මට නං වැඩිය කේන්ති යන්නේ මා එක්කම නිසා වැඩියෙන්ම බැන ගන්න හිතෙන්නේ මටමයි!

තමන්ට බැණ ගත්තත් අනුන්ට බැන්නත්, ඒක හොඳ පුරුද්දක් නං නෙමේ.

බැන්නහම ඒ කේන්තිය අඩු වෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක නොතිබුණු ප්‍රශ්ණ හදාගැනීමක් වෙන්න ඉඩ තියෙන නිසා හොඳම දේ තමයි, කේන්ති ආවහම හොඳට හුස්ම ඉහල පහල ගන්න එක.

ඒක පෙනහැල්ලට, හදවතටත් හොඳයි, ලේ පිරිසිදුවෙනව, ඒ එක්කම කේන්තියත් අඩුවෙලා යනවා.

ඉස්සර දුව පොඩි කාලේ මට සමහර වෙලාවට බාර වෙනව, නලවල නිදිකරවන එක. මං ඉතිං කරන්නේ සින්දුවක් කියන එකයි.

ඒ දවස්වල මං නිතරම කියපු සින්දු දෙකක් තිබුණ. පළමුවෙනි එක සිසිර සේනාරත්න ගේ ආලෝකෙ පතුරා.

ආලෝකෙ පතුරා, මුළු ලෝකෙ ඔපලා
චන්ද්‍රා සෙමෙන් එයි නැගී
ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා
මගේ මැණික සුවසේ නිදී
ආලෝකෙ පතුරා, මුළු ලෝකෙ ඔපලා
චන්ද්‍රා සෙමෙන් එයි නැගී
ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා
මගේ මැණික සුවසේ නිදී
කොවුලන් ගේ රස ගීත, සුළඟින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහී
සියතුන් හඬන්නේ, මොනරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියා ගනී
කොඳ මල් සිනාසේ, විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනතී, සඳ කැන් බිබී නැහැවෙතී
කිංකිණි නොසොල්ලා, නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ ඈ නිදී
මගේ මැණික සුවසේ නිදී


බොහොමයක් වෙලාවට මං ඔය සින්දුවේ අන්තිම පේලිය කියන්නේ "මගේ දෝනි සුවසේ නිදී" කියලයි.

අනික් සින්දුව තමයි අතුල අධිකාරි ගේ සැනසෙන්න නැලවෙන්න සුදෝ.

සැනසෙන්න, නැලවෙන්න සුදෝ//
රසකර ගී, ගයන වෙලේ //
සැනසෙන්න, නැලවෙන්න සුදෝ
කොවුලන් ගෙ ගී අසාලා, නිදියයි සිහින බලාලා//
රසකර ගී, ගයන වෙලේ //
සැනසෙන්න, නැලවෙන්න සුදෝ//
මදනල හෙමිහිට හමලා, තුරුලිය ටික ටික සොලවා//
රසකර ගී, ගයන වෙලේ //
සැනසෙන්න, නැලවෙන්න සුදෝ//


මං ඕක කියන්නේ "නැලවෙන්න නිදියන්න දුවේ, රසකර ගී (තාත්ත) ගයන වෙලේ" කියල වෙනස් කරලයි.

සින්දු දෙක කියල ඉවරවෙන කොට කෙල්ල නිදි. මං නිදහස්.

අවුරුදු ගාණකට පස්සේ අපේ පුතා නලවල නිදිකරවන කාලේ වෙනකොට ඒ දුව නලවපු සින්දු දෙක ගැලපෙන්නේ නෑ වගේ දැනුණා. ඉතිං මං පටන් ගත්තා සිසිර සේනාරත්න ගේ මාගෙ පුතුට මල් කියන සින්දුව කියන්න.

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමු වූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මාගෙ පුතුට මල්
පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ //
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මාගෙ පුතුට මල්
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතු ගෙ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැලැවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ


සින්දුව කියල නලව ගන්න හැදුවට කොල්ල නිදා ගන්නෙම නෑ.

ඉතිං මට ටිකක් කේන්ති යනව. එතකොට සින්දුව කියවෙන්නේ මෙහෙමයි.

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මට මේ කුමරුන් උගෙ අම්මයි දුන්නේ.


-කතන්දරකාරයා

ප/ලි
මේ සතියේ යෙදුණු අපේ කොළු පැටියා ගේ දහවෙනි උපන් දිනය වෙනුවෙනි.

මෙන්න දැන් පුතා කියන සින්දුව: http://kathandara.blogspot.com/2010/09/blog-post_10.html

Monday 9 May 2011

පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 - කොල්ලන්ට පමණයි


කාලෙකට ඉස්සෙල්ලා මං ලව් කරන්නට යන කොල්ලන්ට පොඩි උපදෙසක් කියලා කතන්දරයක් දැම්ම මතකද? ඒක අත්දැකීම් නැති සමහරුන්ට ටියුබ් ලයිට් වුනත් හුඟ දෙනෙක් මං කියපු කතාවට මුළුමනින්ම එකඟ වුණාය කියල කියන්න පුළුවනි.

ඒ කතන්දරේට ලැබුණු ප්‍රතිචාරවලට උත්තර බඳින අල්ල-පනල්ලේ තමයි මට හිතුනේ ලව් ෆෝ ඩමීස් කියලා පොතක් ලියන්න ඇත්නම් හොඳයි නේද කියලා. (මේ කියන්නේ ලව් මේකින් ෆෝ ඩමීස් [love making for dummies] හෙම නෙමේ, හරිය?)

ඒ පොත් කොයි හැටි වෙතත්, අද මට හිතුනා පොඩි ලෙසන් එකක් ලියලා දාන්න ඕනෑ කියලා.

කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ.

දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා.

දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි.

කෙල්ල හොඳට දන්න, නමුත් වැඩි දෙනා නොදන්න, පොඩි දෙයක් ගැන තර්කයක් පටන් ගන්න, හැබැයි තමන් තර්ක කරන්න ඕනෑ වැරදි පැත්තටයි.

උදාහරණයක් විදියට කියනවා නම්, අයිෂ්වර්යා රායි බැඳලා ඉන්නේ ෂාරුක් ඛාන්ව හරි වගේ දෙයක් ගැන. ඊලඟට කොහොම හරි තමන් පැරදෙන්න ඔට්ටුවක් අල්ලන්න චොකලට් ස්ලැබ් එකක් වගේ දේකට.

ඉතිං, නෙට් එකෙන් හරි, පත්තරේකින් හරි හොයලා බලලා, ඔට්ටුව තමන් දිනුව බව කෙල්ල එක්ක එකඟ වුණාට පස්සේ වහාම චොකලට් එක ගෙනත් දෙන්න. කලින්ම අරගෙන තියාගන්නත් පුළුවනි. දන්නවානේ අනිවා පැරදෙන බව.

සමහරවිට චොකලට් කෑල්ලක් ආපහු හම්බ වෙන්නත් ඉඩ තියෙනවා.

මේක සැක නොහිතෙන්න දෙතුන් පාරක් කරන්න පුළුවනි.

දැන් කෙල්ලගේ හිතේ ඇතිවෙන්නේ සතුටක්. ඇයි දිනුවනේ ඔට්ටුව.

කොල්ලා ගැන පොඩි අනුකම්පාවක්, ආදරයක් වගේ එකකුත් ඇතිවෙනවා සිකුරුයි.

ඊලඟට තමයි අමතක නොකර කළ යුතුම පාට් එක එන්නේ.

නිවාඩු පාඩුව පස්සේ දවසක කියන්න, "මං එදා අර ඔට්ටුව ඇල්ලුවේ අනිවාර්්‍යයෙන්ම ඔයාට දිනුම දීලා ඒ මාර්ගයෙන් ඔයාට චොක්ලට් එකක් දෙන්න"ය කියලා.

වැඩේ හොඳටම පොසිටිව් වේවි.

මේක ට්‍රයි කරන කාලේ නොකරපු අයට, පස්සෙන් පහු වුනත් කරන්න පුළුවන්. ඒ මගින් ඔය පොඩි පොඩි අමනාපකං, අවුල් නැති කරගන්නත් පුළුවන් වෙයි.

-කතන්දරකාරයා

ප/ලි:
බැඳපු අයට වුනත් පාඩුවක් වෙන්නේ නෑ, වයිෆරේට ඉඳලා හිටලා හරි චොකලට් එකක් ගෙනත් දුන්නොත්!

අත්දුටුවයි, සත්තකයි.

ප/ප/ලි:
මෙන්න ප්‍රතිඵල
http://tikakhinawenna.blogspot.com/2011/07/blog-post_14.html
javascript:void(0)
අප කළ ගුරුකමක් වැරදුනේ නැත.
හරි ගිය පසු ගාස්තු!


(image: http://www.slstudents.org/album/displayimage.php?album=6&pos=33)

Sunday 8 May 2011

මුවහත නැති මොට්ට කියත - The tale of the blunt saw


ආණ්ඩුවේ සේවකයින් ට තියෙන පුහුණු වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණා පහුගිය සතියේ දවස් තුනක් පුරාම. මාත් එක්ක තවත් විසි පස් දෙනෙක් ඇවිත් හිටිය මේ කෝස් එකට රජයේ අනෙකුත් ආයතනවලින්.

එතන දේශනවලදී කියවුණු, ඇහුණු දේ අපමණයි.

එයින් ඉතාම පොඩි දෙයක් බෙදා හදා ගන්නයි මේ සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එක ලියන්නේ.

මේකයි කතන්දර කෑල්ල.

ඔන්න පොරක් ගහක් කපනවා ලු කියතකින්.

ඒ ලඟින් ගිය කෙනෙක් දැකලා තියෙනවා මේ ගස් කපන පොර පාවිච්චි කරන කියත මුවහත නැති මොට්ට වෙච්ච එකක් බව.

ඉතිං මේ ආගන්තුකයා කිව්වලු ගහ කපන පොරට "මනුස්සයෝ ඔය කියතේ මුවහත ගෙවිලා හොඳටම මොට්ට වෙලා නේද? ඇයි ඕක මූවහත් කරගන්නේ නැත්තේ?" කියලා.

හිතාගන්න පුළුවන්ද, ගහ කප කප හිටිය පොර ආගන්තුකයාට දීල තියෙන උත්තරේ?

"මං දන්නවා ඕයි, මේ කියත මොට්ට වෙලා බව. ඒත් මනුස්සයෝ මට වෙලාවක් නෑ, කියත මුවහත් කරගන්නවත් මේ ගහ කපන වැඩේ නවත්තන්න! තමුසෙට පේන්නේ නැද්ද මං හරිම බිසි බව?"

-කතන්දරකාරයා

ප/ලි
ආගන්තුක කියනව වචනය හිතට එනවාත් සමගම මතක් වුනා මේ අපූරු වචනේ මං තායිලන්තේ දී ත් අහලා තියෙන බව. ඒ කියන්නේ ආගන්තුක කියන වචනේ සංස්කෘත, පාලි පසුබිමක් තියෙන එකක් වෙන්න ඕනෑ අනිවා ඩෙෆා.

තායිලන්තේ ආගන්තුක වචනය පාවිච්චි වුනේ පිටරටවලින් ඇවිල්ලා ඉන්න අය වෙනුවෙන් විශේෂයෙන්ම ටේලර් මේඩ් කරල තිබුණු ගිනුම් වර්ගයක් හඳුන්වන්නයි.

කොහොමද ඉතිං ඔහේලා ගේ කියත් වල තත්වය?

(image: http://monarchlibrary.wikispaces.com/familyresources)

Friday 6 May 2011

අහෝ ඇගේ බෙල්ල! එය තක්ෂිලාවෙන් ගෙනා සේලයක් වැනිය - Oh shit! Her neck looks like a long cloth brought from Takshila


අපි සමහරු ඉපදිලා ඉන්නේ සින්දු කියන්න විතරක් ද මන්දා? බාත් රූම් එකේ ඉන්න කොට සින්දු කියනවා. වැඩට යන එන කොට සින්දු විසිල් කරනවා. ට්‍රිප් එකක් ගියත් එහෙමයි.

කොටින් ම නින්දෙදිත් එහෙමයි. අද උදේ ඇහැරෙන කොට හීනෙන් කිය කිය හිටිය සින්දුව අතර මගදි නතර කරල නං ඇහැරුනේ, අද රෑට නිදාගන්න ගියාම හීනේ පටන් ගන්නේ අර උදේ සින්දුවේ හරියටම නතර කරපු තැන ඉඳලයි. හරියට ඉස්සර තිබුණු සින්දු කැසට් අහනකොට වගේ!

සින්දු කියන්න කැමති අය කොටස් දෙකයි. සින්දුවල පද දන්න අය සහ නොදන්න අය. මේ දෙවෙනි කොටසගෙ පිහිටට එන්නේ සින්දු පොත්. දැන් නං ඉතිං නොයෙකුත් වෙබ් සයිට් තියෙනව සින්දුවල වචන හොයා ගන්න පුළුවන්.

සින්දු සිය ගනං එකතු කරල PDF හදල නිරතුරු ඊ-මේල් මගින් හුවමාරු වෙන බවත් ඕගොල්ලෝ දන්නවනේ.

අපේ රත්නායක මහත්තයාත් හරි කැමතියි සින්දු කියන්න. පොර ගාවත් තියෙනවා අර කියපු ආකාරයේ PDF සින්දු පොත් කීපයක් ම ප්‍රින්ට් කරලා, එකකින් කොපි පහ හය ගානේ. ඒ හැම එකක්ම A, B, C, D විදියට නම් කරලා පිටු අංක දාලා තියෙන්නේ.

ඉතිං අපි රත්නායක ලා ගේ ගෙදරදී හරි, එකට ට්‍රිප් එකක් ගියාම හරි සින්දු කියන්න සෙට් වුනාම කරන්නේ මෙහෙමයි. ඔන්න එක් කෙනෙක් පොත් පෙරලලා බලලා B24 වගේ අංකයක් කියවනවා. හැමෝම තමන් ලඟ තියෙන B පොතේ විසි හතරවෙනි පිටුව පෙරලලා ඒ සින්දුව කියන්න ගන්නවා.

ඊලඟට එන්නේ 'D5' වෙන්නත් පුළුවනි, 'A18' වෙන්නත් පුළුවනි.

මේ සින්දු පොත් හරි ප්‍රයෝජනයි සින්දු කියන්න කැමති ඒත් වචන දන්නේ නැති අයට. හැබැයි, පොඩි පහේ ප්‍රශ්ණයක් නම් තියෙනවා. ඒක තමයි මේ සින්දු පොත් බොහොමයක සමහර සින්දුවල වචන නිවරදි නැති වීම.

මගේ තව යාළුවෙක් වෙන කුසල් කුරුකුලසූරිය මේකට විසඳුමක් ගෙනල්ලා!

මිනිහාම ටයිප් කරලා, PDF සින්දු පොතක් හදලා!!

පිටු හැත්තෑ පහක් විතර. එක පිටුවක සින්දු දෙක ගානේ. අපි හැමෝටම මේ ගැන දන්වලා, ඊ-මේල් එකකින් පොත එව්වා!!!

ඔන්න එදා මං මේ කුසල් කුරුකුලසූරිය PDF එක කියවාගෙන යනවා. බලන බලන සින්දුවේ වැරදි. අකුරු වැරදියි, වචන වැරදියි, අකුරුයි වචනයි දෙකම වැරදියි.

අන්තිමට මෙන්න මේ සින්දුවට ආවම මං තව දුරටත් කියවීම නතර කළා.

දැක්කොත් පද්මාවතී, ආලේ නොකර බැරි //
ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ, හෝ ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ
දැක්කොත් පද්මාවතී, ආලේ නොකර බැරි //
මේඝ සෙ කේශාවේ ඇගේ ග්රීව තක්සේලේ //
අහො ඈගේ ග්රීව තක්සේලේ, අහො ඈගේ ග්රීව තක්සේලේ
ලමැද හංසයින් සේ පෙනේ ආලේ නොකරා බැරි.


මොකක්ද බොලේ මේ 'තක්සේලේ' කියන්නේ? තක්ෂිලා නුවරින් ගෙනා සේලයක්ද? මට හිනාව ගන්න බැරිවුණා.

මේ යෝදයා 'ඇගේ ග්‍රීව සක් සේ වේ' කියන එක තමයි මේ 'ඇගේ ග්රීව තක්සේලේ' කියලා ලියලා තියෙන්නේ.

අර 'සිසිවන උවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන' ආදී වශයෙන් පුරාණ කාලේ ගෑනුන් ගේ රූපය වර්ණනා කරද්දී, බෙල්ල (ග්‍රීවය) උපමා කරලා තියෙන්නේ සක් ගෙඩියකටයි.

අනේ කුසලු යි, මා යි දන්න 'ග්‍රීව සක් සේ වේ'!

ඉතිං මං කලේ මේකයි. සල්ලි, සල්ලි කියල බලන්නේ නැතුව මේ පොතේ සින්දු තියෙන මුල් පිටු දහය ප්‍රින්ට් කළා. පෑනක් අරගෙන මං දන්න විදියට අකුරු වැරදි හැදුවා. ඒ සින්දු විස්සෙන් මගේ CD කලෙක්ෂන් එකේ තිබුණ ඒවා අහලා වචන හරිද බැලුවා. ඔය 'තක්සේලේ' සින්දුව වගේ ඒව වෙබ් එකෙන් අහලා ඒවත් හරියටම හැදුවා.

කෝල් එකක් දාලා කුසල් කුරුකුලසූරියව මුණ ගැහිලා මිනිහට කිව්වා මේ ප්‍රශ්ණය ගැන. මං ප්‍රින්ට් කරගෙන ගිය පිටු දහයත් දුන්නා.

"ඉතිං කුසල් කොහොමද මේ වගේ වැරදි වුනේ?"

"දන්නෙ නැද්ද කතන්දර, මට ඉතිං සිංහල ටයිපින් පුරුදු නෑනේ. ඒකයි මං හිතන්නේ."

"නෑ, නෑ, මං කියන්නේ ස්පෙලිං මිස්ටේක්ස් ගැන නෙමේ. මේ වචන වැරදි තැන් ගැනයි. මොකක්ද මේ 'ඇගේ ග්රීව තක්සේලේ' කියන්නේ? තක්ෂිලාවෙන් ගෙනා සේලයක්වත්ද?"

"ඇත්තමයි, ඕක ලියන්න කලින් මාත් කල්පනා කළා මොකක් ද මේ 'තක්සේලේ' කියන්නේ කියලා, ඒත් හිතාගන්න බැරිවුණා."

"මොනවා, ඒ කියන්නේ මේ සින්දු ටයිප් කලේ අහලා බලලා නෙමේද?"

"අපොයි නෑ! මේ සේරම කලේ මගේ මතකයෙන්මයි!!"

කාට කියන්නද මේ අවනඩුව? මට මොනව කියන්නද හිතාගන්න බැරිවුණා.

කුසල් කාරයා ගේ පී.ඩී.එෆ්. එක ප්‍රින්ට් කරගත්තු අය අනේ පව් නේද? "ඇගේ ග්රීව තක්සේලේ" සින්දුව කිය කිය ඇති.

මට නං හිතන්නේ සිංහල සින්දුවලට කරන්න පුළුවන් නරකම දේ තමයි, සින්දු ලියපු උන් පැත්තක ඉඳිද්දී මේ කොහෙවත් ඉන්න පොරවල්, වැරදි විදියට වචන ලියලා ඒවා බෙදා හරින එක.

-කතන්දරකාරයා

ප/ලි:
ඔළුව කපාගෙන රෑ ඝණ අඳුරේ සින්දුව කියන මගේ මිත්‍රයා නං, තමන්ගේ පාඩුවේ ඒ සින්දු කියනව මිසක්, මේ ආකාරයේ සමාජ සේවයට යන්නේ නෑ.

ප/ප/ලි:
මට දුක හිතෙන දෙවෙනි කාරණය තමයි, මං මගේ කාලය වියදම් කරලා මුල් සින්දු විස්සේ වැරදි පෙන්නලා දීලා අවුරුද්දක් විතර ගියාට, කුසල් කුරුකුලසූරිය නෙමේ තාමත් ඒවා නිවරදි කලේ.

උද්දච්ඡ කමද, මෝඩ කමද, අනේ මන්දා?

Wednesday 4 May 2011

කතන්දරකාරයා ට චරිත සහතිකයක් ලැබේ! - A character certificate for Mr Kathandara Karaya


මං මේ කතන්දර කෙරුවාව කරගෙන යන්නේ සාර්ථක දෙවෙනි අවුරුද්දේ. සිංහල බ්ලොග් අවකාශයේ ගතිකත්වය ගැන හිතන කොට ඒක සෑහෙන්න දිග කාලයක්.

ඔය කාලය ඇතුළත මට විවිධ චරිත සහතිකත් ලැබිල තියෙනව. බියොන්ඩ් ද ෆ්‍රේම් ගේ හැකින් ලිපියේ තිබුණු සහතිකේ ගැන නං අමුතුවෙන් මතක් කරන්න ඕනැ නෑනේ. මේ ළඟදී කවුදෝ මන්දා මගේ නමට සමාන නමකින් ග්ලැඩ්ෆ්ලයි ගේ බ්ලොග් එකේ කමෙන්ට් කරලත් තිබුණා.

ඔය චරිත සහතික ගැන හිතුන වෙලාවක තමයි මේ අද කතන්දරේ මතක් වුනේ.

මේක නං වෙන කවුරුවත් මං ගැන ලියල දීපු චරිත සහතිකයක් නෙමේ. මං, මා ගැනම ලියපු චරිත සහතිකයක් ගැනයි.

පස්තාච්චි කුපාඩි ගහල, ඩ්‍රැකියුලා ෆොටෝ අරං ගෙදර ආපු දවස්වල ඉඳල ම වගේ මට හිතිල තිබුණෙ කර කර හිටිය ජොබ් කට්ටට වඩා හොඳ වෙන ජොබක් හොයාගන්න. මොකද ඔය රීස්ට්‍රක්චරින් වගේ දේවල් හින්ද වැඩපොළේ පරිසරය අල වෙමිනුයි තිබුණේ.

සන්ඩේ ඔබ්සර්වර් එකේ ජොබ් බලන ගමන්ම මට හිතුණා කෝකටත් කියලා, බොසී ගෙනුයි, බොසී ගේත් බොස් වෙන ඒජීඑමෙකු ගෙනුයි රෙෆරන්ස් ලියුම් අරං තියාගන්න ඕනැ කියල. එතකොට ඔය හදිසියේ වත් ඉන්ටර්වීව් එකක් සෙට් වුනොත් පෙන්නන්න පුළුවනි නේ.

ඒජීඑමා ගෙන් ලියුමක් ඉල්ලුවාම පොර කියපි, "කතන්දර ඔයා එකක් ඩ්‍රාෆ්ට් කරල දෙන්න, මං ඒකට අනුව ලියුම හදන්නං!" කියල. පොර සමහර විට අදහස් කරන්න ඇත්තේ, මගේ සුදුසුකම්, පලපුරුදුකම් වැඩිය හොඳින් දන්නේ මංතුමා ම නිසා, ඒ ගැන නිවරදි වාර්තාවක් ලියුමට ඇතුළත් කරන එකයි මගෙ හිතේ.

ඒ මොනවා වුණත් මාත් අතට ආපු චාන්ස් එක අත හැරියේ නෑ. ගිහිල්ලා ලිව්වා මගේ චරිත සහතිකේ.

මගේ බයෝ ඩේඩා පොඩ්ඩක් දලා, වැඩපොළේ කරපු වැඩ විස්තර කරලා හෙම අන්තිමට ලිව්වා මෙන්න මෙහෙම.

"Mr Kathandara Kaarayaa is a young energetic engineer with innovative ideas and is capable of undertaking industrial engineering assignments ...blah, blah, blah.

I have found him to be efficient and trustworthy at work he is engaged in ...blah, blah, blah.

He has excellent work ethics. Blah, blah, blah..."

චරිත සහතිකයේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ගිහින් ඒජීඑමා ට දුන්නා.

පොර ඒක කියවගෙන ගියා එක් හුස්මට. අන්තිමේදී කිව්වේ මෙච්චරයි.

"ෂහ්, මේක මරුනේ, කතන්දර!"

දැන් ඒ කිව්වේ මං හොඳට ඒක ලියලා තියෙන නිසා මගේ ලිවීමේ හැකියාව ගැන පොරගේ අදහස ද, නැත්තං, ඒ මංතුමා ම ලියලා තිබුණු මගේ හැකියාවන් දැකලා පොර මා ගැන පැහැදිලා, ඒ නිසා කටට ආපු අදහස ද මන්දා?

ඒ මොනවා වුනත්, ඒ "ෂහ්, මේක මරුනේ!" කෑල්ලත් මගේ චරිත සහතිකයේ ම (නොලියවුණු) කොටසක්.

-කතන්දරකාරයා

ප/ලි
ඔය මොන සහතිකේටත් වැඩිය කතන්දරකාරයාට වටින්නේ මේ බ්ලොග් එක කියවන ඔහෙලා වගේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ටික තමයි.

Monday 2 May 2011

පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද - Is Penis a "matter" or an "atom"?


කලින් දවසක මං ස්ථිර වශයෙන්ම කිව්වනේ පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ කියලා.

හැබැයි පx කියන්නේ නම්, අමු කුණුහරුපයක්. ඒකයි ඔය ටයිටල් එකේ තියෙන්න ඕනෑ "ක" යන්න වෙනුවට මං x සලකුණ දැම්මේ.

මං නමේ පන්තියේ ඉගෙන ගන්න කාලේ වැඩිය ටියුෂන් පන්ති ව්යාපාරය ලංකාවේ පැතිරිලා තිබුණේ නෑ. කොළඹ පැත්තේ නං තියෙන්න ඇති.

අපි කොළඹින් හැතැප්ම දහතුනක් විතර විශාල දුරකින් තිබුණු ගමකයි පදිංචි වෙලා හිටියේ. ඒ ළඟ ටවුමේ නං, පොඩි පොඩි කඩ තිබුණා, ඔය ඉංගිරිසි, ගණිතය වගේ උගන්වන.

ඒත් ඒවට ගියේ සාමාන්යයෙන් "වැඩබැරිදාස" ලා හින්දා ඒ ටියුෂන් කඩ මට අදාළ වුණේ නෑ. ගුණරත්න සර් ගේ ටියුෂන් පන්තියේ ක්‍රිකට් ගහන්න ගියත් ඒක ටික කාලෙකින් ම නැවතුනානේ!

ඉතිං, ඔහොම ගිහින් අපේ ජාතික අධ්යාපන පොදු සහතික විභාගෙටත් ළංවුණා කියමුකෝ. අපේ පන්තියේ කාගෙවත් වැඩි අදහසක් තිබුණේ නෑ විභාගේ ගැන. මං ගිය ඉස්කෝලෙත් ඔහේ ඇදගෙන ගියා මිස අපිට ඕකේ තියෙන බරපතල කමක් පෙන්නුවේ නෑ.

ඔහොම ඉන්න අතරේ පන්තියේ එකෙක් ආරංචියක් ගෙනවා, කඩවත පැත්තේ තියෙනවා කියලා එක් දින සම්මන්ත්රණයක් විභාගෙට ළමයින් ට උදව් කරන්න.

නොමිලේ! නොමිලේ!! නොමිලේ!!!

ඔන්න ඉතිං අපි කට්ටියත් සෙට් වුණා ඒකට යන්න.

මගේ ක්ලික් එකේ හිටියා තව කොල්ලෝ තුන් දෙනෙක්. එයින් ලොක්කා තමයි මං අර කුරුමිට්ටෝ කතන්දරේ කියපු මේඝ.

ඔන්න අපි එදා සෙනසුරාදා වගේ දවසක උදේ අටට ගිහින් මහා සම්මන්ත්රණයට සෙට් වුණා.

සු ගාලා සෙනග!

උදේවරුවේ මුලින්ම තිබුණේ, ගණිතය, ඉංගිරිසි, සමාජ අධ්යයනය වගේ සබ්ජෙක්ට්ස් ගැන පැයක විතර දේශන. සේරම කෙරුවේ යුනිවසිටි වයසේ වගේ හිටපු පොරවල්. ඔය අතරේ පොඩි වතුර, ටොයිලට් බ්රේක් එකකුත් තිබුණා.

දවල් කෑමෙන් පස්සේ (අපි ගල් බනිස් කාලා තේ බිව්වා -ජන්ෂන් හෝටලෙන්. දැන් ඒක නෑ මයෙ හිතේ, ඒක උඩින් බස් පාරක් ගිහින්) ඉස්සෙල්ලාම තිබුණේ විද්යාව.

සාමාන්යයෙන් මේ වගේ තැන්වලදී වාචික ප්රශ්න ඇහිමක් නෑනේ. දේශනය යන අතරේ, කොල්ලෝ, කෙල්ලෝ පොඩි "චිට්" ලියලා අරිනවා ඉස්සරහට. දේශකයා ඒවා කියවලා තමන්ට කැමති ඒවට උත්තර දෙනවා.

මේ වෙනකොට උගන්නමින් තිබුණු මාතෘකා තමයි, පදාර්ථ, මූලද්රව්ය වගේ දේවල්.

මාත් එක්ක හිටිය සෙට් එකේ එකෙක් පොඩි කොළ කෑල්ලක මෙන්න මේ ප්රශ්නය ලියලා ඉස්සරහට ඇරියා.

"පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද?"

විනාඩියක් විතර ඇතුළත මේ චිට් එක දේශකයා අතට ගියා. පොර ඒක කියවලා බැලුවා විතරයි නිකං හොල්මන් වුණා. කතා කිරීම නතර කළා. එතන හිටපු අනිත් දේශකයින්ව ගෙන්නුවා. උන්ටත් මේක පෙන්නුවා.

දැන් මුළු සම්මන්ත්රණයම නතර වෙලා. කෙල්ලෝ කසු කුසු. කොල්ලෝ කතා බහ. ටිකක් විතර කාලගෝට්ටියක්.

දේශක මණ්ඩලේ හොඳටම කැළඹිලා.

මෙන්න එතනින් එකෙක් පෝඩියම් එකට නැගලා කිව්වා "නරක දෙයක් ලියලා එවලා තියෙනවා. අපි ඒක ලියපු කෙනාව අත් අතුරු බලලා අල්ලගන්නවා. කවුරුත් හෙලවෙන්නේ නැතුව ඔහොමම ඉන්න!" කියලා.

නමුත් වැඩේ හරිගියේ නෑ. මෙතන දෙසීයක් විතර කොල්ලෝ, කෙල්ලෝ. දේශක මඩුල්ල තුන් හතර දෙනයි. අන්තිමේදී උන් වැඩේ අතහැරලා දාලා, සම්මන්ත්රණය එතනින් ම විසිරෝලා දැම්මා.

-කතන්දරකාරයා

ප/ළි:
හොඳ වෙලාවට ඒ ප්රශ්නය විභාගෙට ආවේ නෑ. ආවා නං අපි කෙළින්ම ෆේල්. ඇයි ඉතිං, තාමත් දන්නේ නෑනේ "පx යනු පදාර්ථයක් ද? පරමාණුවක් ද?" කියන ප්රශ්නයට හරි උත්තරේ.

මේ කතන්දරයේ අක්ෂර වින්යාසය චෙක් කරගත්තේ - http://www.subasa.net/spellerweb.py

(image: http://www.bbc.co.uk/comedy/lookaroundyou/series1/periodic.shtml)

Sunday 1 May 2011

සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි (සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා) Sunday Special Extra


"නේම් ඩ්‍රොපින්" කියන්නේ කතාබහේ යෙදිල ඉන්න ගමන්, මුළු රටම හොඳට දන්න අඳුණන කෙනෙක් දෙන්නෙක් ගැන පොඩි පහේ සඳහනක් කිරීමයි. බොහෝ විට ඇඟට දැනෙන නොදැනෙන ගානට. ඒකෙන් කතා බහ කෙසේ වෙතත් කතා කරන කෙනාගේ ප්‍රොෆයිල් එක ඉහල යනවා.

සමහරු මේ වගේ නේම් ඩ්‍රොපින් කරන්නේ ඇත්තටම තමන්ගේ අත්දැකීම් ගැන කියන කොටයි. උදාහරණයක් විදියට රංග ගේ මගේ ලෝකය කතාවලදී අපිට ඇහුණු නම් ගත්තොත්, දුක්ගන්නාරාල, ඉරාජ් වගේ අය ඇත්තටම රංගට හම්බ වෙලා තියෙනවා. කොටින්ම,ෂාරුක් ඛාන් ව පවා රංග දන්නවා නේ! (හැබැයි ලෝකල් බඩුව).

සිහි සටහන් ලියන චානුකත් මේ දවස්වල ලියන්නෙම ලොකු ලොකු පොරවල් ගැන තමයි.

අපිට කොයින්ද ඒ කනෙක්ෂන්ස්! මං ඉතිං දන්නේ ටී.එම්. ජයරත්න ගේ මුලකුරුම තියෙන පොරක් ගේ හොඳම යාළුවෙක් ගේ පුතාව, එහෙම නැත්තං, එඩ්වඩ් ජයකොඩි ගේ මාමණ්ඩිලා ගේ මහ ගෙදරට අල්ලපු ගෙදර හිටපු පොර ගේ පුතාව, එහෙමත් නැත්තං, සුනිල් එදිරිසිංහ ගේ අක්කා එක්ක එකට ස්ටාෆ් එකේ හිටපු ඇන්ටි කෙනෙක් ගේ පුතා වගේ අයව විතරයි නේ.

ඒත් ඉතිං මටත් හිතුණා රටම දන්න කවුරු ගැන හරි ඔන්න ඔහේ මොනවා හරි ලියල දාන්න. මගේ පොෆයිල් එක රෙයිස් කරගන්නත් එක්ක.

දැන් ඔය මාතෘකාවේ නම් සඳහන් අය තුන් දෙනාම අපි දන්නවනේ?

එදිරිවීර සරච්චන්ද්‍ර හිටපු විශ්ව විද්‍යාල මහාචාර්ය කෙනෙක්. දැන් මිය පරලොව ගිහින්. පොර වඩාත් ප්‍රසිද්ධ වුනේ මනමේ නාට්‍යය හදපු නිසයි.

කාලෝ ෆොන්සේකා කියන්නේත් හිටපු මහාචාර්යවරයෙක්. පොර වැඩියෙන් ප්‍රසිද්ධ වුනේ පොලිටික්ස් නිසා මිසක්, විජය කුමාරතුංග ගේ මාමා කෙනෙක් නිසා නං නෙමේ.

ජයලත් මනෝරත්න කියන්නේ අති දක්‍ෂ වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය නළුවෙක්. නාට්‍ය අධක්‍ෂකවරයෙක්.

දැන් මෙන්න, සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න කියපු කතන්දරේ.

මනමේ කළාට පස්සේ සරච්චන්ද්‍ර කරපු තවත් වේදිකා නාට්‍යයක් තමයි සිංහබාහු. අපි හැමෝම අහල තියෙන සිංහයා, සුප්පාදේවී, සිංහබාහු සහ සිංහ සීවලී පවුල ගැන තියෙන කතන්දරේ නව රිද්ම වර්ෂන් එක තමයි මේ වේදිකා නාට්‍යයෙන් කියවෙන්නේ.

මේ නාට්‍යයේ අන්තිම හරියේ එන සින්දුවක, සිංහයා කියනවා මෙන්න මෙහෙම. මේ සීන් එක වෙනකොට සිංහයාව දාලා දේවීයි, බාහුයි, සීවලියි ගල්ලෙනෙන් පැනලා ගිහින්.

ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
සිංහබා, සිංහබා, සිංහබා
මා සොඳුර, මා සොඳුර, මා සොඳුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
ගොසින් සැම දෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමී මම සැක කලෙමී
සිංහබා, සිංහබා, සිංහබා
ලෙන තුළ නොවෙති පෙරළා නොඑති
මම දැන ගතිමී මම සැක කලෙමී
සුරතල් දියණිය මොළකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නයි, පොවන්නිය, මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
ඈත් ගොසින් ය, ඈත් ගොසින් ය
ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ
සොහෝයුරා නම් ඔළමොළ ගති ඇත නුඹ මෙන් මුදු නැත
ඔහු ගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

දැන් මෙන්න මේ සින්දුව ගැන තමයි කාලෝ ෆොන්සේකාට ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් නං නෙමේ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා වලට හරියන විදියේ පොඩි පහේ එකක්.

කාලෝ අහනවාලු සරච්චන්ද්‍ර උන්නැහැගෙන් මෙන්න මෙහෙම.

"ඇයි සර් ඔය සින්දුවේ ඔය විදියට මම දැන ගතිමී, මම සැක කළෙමී කියල කියන්නේ? මං දැන ගත්තා නම් එතන ඉතිං පස්සෙන් පහු සැක කරන්න දෙයක් නෑ නේද? ඕක මම සැක කළෙමී, මම දැන ගතිමී කියල ආව නං නේද තර්කාණුකූල?"

සරච්චන්ද්‍ර උන්නැහේ කිව්වලු මෙහෙම.

"මේකනේ කාලෝ, ඔහෙලා, අපි වගේ මනුස්සයින් ගැන කියනව නං තර්කානුකූල පිළිවෙළ මම සැක කලෙමී, මම දැන ගතිමී තමා. හැබැයි මේ සින්දුව කියන්නේ සිංහයෙක් නේ. සිංහයෝ දන්නවයැ ඔය ලොජික්?"

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
සිංහයා ගේ මුණුපුරා ගේ පරම්පරාවේ ය කියන කෂ්ටියත් දන්න ලොජික් එකක් නෑ, බකමුණන් ට බැණ බැණ ඉන්නවා මිසක්!

ප/ප/ලි:
මේ මං දාන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දෙවෙනි කතන්දරයයි. පළමුවෙනි එක, ටීචිං කතන්දරයක්, මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/04/sunday-extra-sunday-extra.html

ප/ප/ප/ලි:
අපේ ද ඇමරිකන් පාඨකයා මේ කතාවට ප්‍රතිචාර විදියට කුෂ්වාන් සිං ගැන මොන වගේ කතන්දරයක් දායිද මන්දා? දැන් පොඩි කතන්දර දෙකක් ම දාලා තියෙනවනේ, හරියට ටැබූකාරයා ටයිනි කතන්දර දැම්මා වගේ.

ප/ප/ප/ප/ලි:
මටත් හිතෙනව ගායකයො, නළුවො, අරුං, මුං ගැන පොඩි කතන්දර ටිකක් ලියල දාන්න. ඔය උඩින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ කවුද කියල දන්නවද? කාලෝවත්, සරච්චන්ද්‍රවත්, මනෝරත්නවත් හෙම නෙමෙයි, හැබැයි මෙයත් හොඳ නළුවෙක්!

(image: http://www.silumina.lk/2008/06/01/_art.asp?fn=av0806015)