Showing posts with label මහින්ද රාජපක්‍ෂ. Show all posts
Showing posts with label මහින්ද රාජපක්‍ෂ. Show all posts

Monday, 21 November 2011

මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson


ඉස්සර මහින්ද රාජපක්‍ෂ කියන්නේ පොඩ්ඩක් විතර මගේ වීරයෙක්.

ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පාරවල් අයිනේ මරල දාල, ටයර් සෑයේ බාගෙට පුච්චල දාල, බෙලි කපල ලයිට් කණුවල එල්ලල දාල තිබුණු කොල්ලන් ගේ ෆොටෝ එකතු කරගෙන, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කොමිසමට කරුණු කියන්න, මහින්දයි වාසුදේවයි ගිය කතාව අපි සිහි කළේ පොඩි කාලේ සමාජ අධ්‍යයනය පොතෙන් කියවපු ඊ.ඩබ්ලිව්. පෙරේරා ගේ කතාව වගේ හරිම ජාතිමාමකත්වයෙනුයි.

ඒ සමාජ අධ්‍යයන පාඩම මතක නැති අයගේ ප්‍රයෝජනය පිණිස කියනවා නම්, ඊ.ඩබ්ලිව් පෙරේරා තමයි 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කාලේ ඒ පිටින් දාලා ඉංගිරිසි ආණ්ඩුව දේශීය නායකයෝ මර්ධනය කරපු හැටි ගැන කරුණු සහිත පෙත්සමක් සපත්තුව අස්සේ හංගාගෙන එංගලන්තෙට ගිය පොර ගේ නම.

ඒ වෙනුවෙන් එයාට පස්සේ කාළෙක රීලීස් කරපු ජාතික වීරයෝ කියන සීරීස් එකේ මුද්දරයක් වෙන්න වාසනාව ලැබුණා.

මහින්ද ගේ වීරත්වය තවත් වැඩියෙන් පෙණුනේ ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධව උදෙඝෝෂණ පා ගමනක් කොළඹ ඉඳලා කතරගමට ඕගනයිස් කරපු වෙලාවෙයි.

ඉතිං දාහත් වසරක දූෂණය සහ භීෂණය නැති කරන්න චන්ද්‍රිකා ගේ ආණ්ඩුව පිහිටුවෝලා මහින්දට කම්කරු ඇමතිකම ලැබිලා, කම්කරු ප්‍රඥප්තියක් ද මොකක්ද මහා විප්ලවීය දෙයක් කරනවාය කියලා ඇහුවාම අපි හිතුවේ වැඩේ හරි කියලායි. නමුත් වැඩි කාලයක් යන්න කලින් පොරව මාරු කළා ධීවර ඇමතිකමට.

මට මතක හැටිය ඔය ඇමති වෙන්න කලින් විපස්ස කාලේ තමයි මහින්ද ටෙලි නාට්‍යයක (ජයන්ත සිල්වා අධ්‍යක්ෂණය කළ "උදාගිර") පොඩි චරිතයක් රඟපෑවේ. වැඩේ කියන්නේ පොර ඒකේ ඉල්ලාගෙන තිබුණේ ඇමති කෙනෙකුගේ චරිතයක්.

මේ ටෙලි නාට්‍ය ඇමති මාර වීර ක්‍රියාවක් කරනවා. ඒක තමයි, තමන් දැන් ඇමති කමේ හිටියා ඇති, තරුණයින් ට තැන දෙන්න ඕනෑ කියලා, ඇමතිකමෙන් අස්වෙලා ඒ වෙනුවට තරුණ මන්ත්‍රී කෙනෙකුව පත් කර ගන්නවා. මතක තියාගන්න මේ චරිතය අවුරුදු 75 පන්නපු ජ්‍යෙෂ්ඨ හෙම ඇමතියෙක් නෙමේ. මේ කාලේ (1993 විතර) මහින්ද අවුරුදු හතලිස් ගාණක කොල්ලෙක්!

ටෙලි නාට්‍යයේ රචකයා මවාපු ඒ අති ප්‍රභන්ධිත ඇමති චරිතයෙන් අපිට ලැබුණේ හොඳම ආදර්ශයක්.

අද කතන්දරය තමයි ඒ නාට්‍යය බලපු මංතුමා, ඒක හරහා මහින්දතුමා ගෙන් ඒ උගත් පාඩම ක්‍රියාවට නංවපු හැටි ගැනයි.

ඔන්න මං අර පස්තාච්චි කාලෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා කලින් කරපු මැවිසුරු සේවයටම ගියත් ටික කළකින්ම එතනින් චුත වෙලා පොඩ්ඩක් විතර අධ්‍යාපනයට බර තැනක ජොබ් කට්ටක් හොයා ගත්තා. මේ සම්බන්ධයෙන් තමයි මං අර කැරැක්ටර් සර්ටිෆිකේට් එක ගත්තේ. (දාං ඇදලා ගත්තු ඒවා වැඩක් නෑනේ මේ කාලේ වෙන කොට!)

මං මේ තිප්පොලේ වැඩ අරඹලා ටික කාලෙකින් ම එතන තිබුණ කොමිටි දෙකකදී ම අපේ අංශය නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා.

මෙයින් පළමුවැන්න තමයි කම්පියුටර් යූසර් කමිටි. කම්පියුටර් සෙන්ටර් එකේ ප්‍රධානියා ගේ සභාපතිත්වයෙන් තිබුණු මේ කමිටුවේ අපේ ආයතනයේ කම්පියුටර් පාවිච්චි කරන අංශවල නියෝජිතයෝ හිටියා. මේ කොමටියෙන් තමයි පොඩි පොඩි පුහුණු වැඩ සටහන් සැලසුම් කරළා ක්‍රියාත්මක කළේ.

දෙවෙනි කොමිටිය ඊට වඩා බරපතල එකක්. ඒකේ සභාපති තමයි අපේ මුළු ආයතනයේම ලොක්කා. මුළු ආයතනයේම පරිගනක ගැන ප්‍රතිපත්තිමය තීරණ ගත්තේ ඒ කොමිටියෙන්. අපේ අංශයටත් ඒකේ නියෝජිතත්වයක් ලැබිලා තිබුණා අපි සෑහෙන කොම්පියුටර්කාරයෝ නිසා.

ඔහොම අවුරුදු දෙකාමාරක් විතර යන කොට, අපේ අංශයේ ඉඳලා නිවාඩු අරගෙන පීඑච්ඩී එකක් කරන්න එංගලන්තේ ගිය කොලුවෙක් ආපහු ඇවිත් වැඩ බාර ගත්තා.

පොර මට වැඩිය අවුරුදු තුනක් විතර බාලයි මයෙ හිතේ. ඒ වුණාට මං වගේ යැ, දැන් පොර පීඑච්ඩී කාරයෙක් නේ!

ඉතිං මං මොකක්ද දන්නවාද කළේ. ගිහින් පොරට කිව්වා මෙන්න මෙහෙම.

"ජයන්ත, මං හිතන්නේ අර අහවල් කොමිටි දෙකේ දී අපේ අංශය නියෝජනය කරන්න මට වඩා සුදුස්සා ඔහේ තමයි. ඒ නිසා, ඔහේ ඒ තනතුරු දෙක බාරගන්න!"

අන්න බලන්න එදා මා උගත් පාඩම් වල අගේ! වඩා සුදුස්සා ට තැන ලැබුණා.

දැන් ඔය කියන කොමිටි තනතුරු දෙක ස්වේච්ඡා ඒවා මිස අමතර ගෙවීමක් ලැබෙන ඒවා නොවෙන හින්දා මං දීලා දැම්මා කියලා කවුරු හරි කියනවා නම් ඒ අයට කියන්න තියෙන්නේ දීමනා කෙසේ වෙතත් මේ වගේ තනතුරු උසස්වීම් වල දී ඉතා වැදගත්වෙන බවයි.

මෙන්න ඊටත් වඩා හොඳ කාරණයක්.

මං මේ කියන කාලේ සෙනසුරාදා හවස් වරුවේ වෙනත් තැනක බාහිර දේශකයෙක් විදියට වැඩ කළා. ඒ ජොබ් එකේ ඉතුරු ටික කරගෙන යන්න මං ජයන්තයාට ම බාර දුන්නා! අඩු වශයෙන් පොර ගේ වෑන් කට්ටට ඩීසල් ගහන්නවත් ගාන හම්බ වෙන්න ඇති.

එක පඩියකින් වාහනයක් නඩත්තුව අමාරුයි අපිට ඒ දවස්වල. මට නං කාර් එකට පෙට්‍රෝල් ගහන්න හාමිනේගෙන් ගාණක් ඉල්ලා ගන්න පුළුවනි.

-කතන්දරකාරයා

ප/ලි:
මහින්ද රාජපක්‍ෂගෙන් මා උගත් පාඩම පිළිබඳ කතා වස්තුව එසේය.

ප්‍රතිඋපකාර ලෙස මංතුමා එතුමාට කවර නම් පාඩමක් උගන්වන්නෙම්දැයි සිතමින් සිටිමි.

(image: http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=av10111410)