Showing posts with label කක්කි. Show all posts
Showing posts with label කක්කි. Show all posts

Sunday, 11 March 2012

ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo


මොබයිල් ෆෝන් ලංකාවට ආපු කාලේ මට මතකයි, අපේ මස්සිනා ගඩොල් භාගයක් අරං එහෙ මෙහේ ගිය හැටි. ගෙදරකට ගොඩ වැදුණු ගමං පොර කරන්නේ ෆෝන් එක චාජ් කරන දාන එකයි. වාහන පදවන කොට ෆෝන් පාවිච්චි කරන්න එපාය කියලා නීති තිබුණෙත් නෑ ඒ කාලේ.

දැන් නං ඉතිං අපි කාගේ අතේ පොඩි හුරුබුහුටි ෆෝන් තියෙනවානේ. යන යන තැන ඕක සාක්කුවේ දාගෙන ගියේ නැත්තං අත කැඩුණා වාගේ තමයි.

ගෙදරදී කෙසේ වෙතත් ඔෆීසියේ දී නං ඉතිං ෆෝන් එක තියෙන්නේ කලිසං සාක්කුවේ නිසා, දවසට දෙතුන් පාරක් චූ කරන්න, ඉඳලා හිටලා දවසක කක්කි කරන්න හෙම ටොයිලට් එකට යනකොටත් ෆෝන් එකත් අපිත් එක්ක යනවා.

එහෙව් වෙලාවක කෝල් එකක් හෙම ආවොත් මංතුමා නං කරන්නේ කෙලින්ම සයිලන්ස් මෝඩ් එකට දාන එකයි රිං ටෝන් සද්දේ නොඇසෙන්න.

ඒකටත් එක්ක සමහරු ටොයිලට් එකේදී එන කෝල්ස්වලට උත්තර දෙනවා විතරක් නෙමේ, තමන් කෝල්ස් ගන්නවාලු, එස් එම් එස් අරිනවාලු, ෆේස් බුක්, ට්විටර් යනාදී මෙකී නොකී සමාජජාල වැඩ කටයුතුත් නොඅඩුව කරනවාලු!

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීක්‍ෂණයකින් හොයාගෙන තියෙන්නේ, ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් භාවිතාකරන අය තමයි මේ වැඩේ වැඩිපුර කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ ෆෝන් දෙවර්ගය තමයි වැඩිපුරම "ටොයිලට්-ෆ්‍රෙන්ඩ්ලි"!

මෙන්න මං බලපු නිවුස් අයිටම් එක.


වැඩි විස්තර මෙතනින්.
http://www.mobileburn.com/18411/news/bathroom-time-means-mobile-phone-time-for-many-users

කෝල් කරන කොට අනිත් පැත්තේ ඉන්න උංට මොන මොන සද්ද බද්ද ඇහෙනවා ඇද්ද? මට මතක් වුනේ අර ට්‍රැක්ටරයේ කතන්දරයයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සහ දැනුම් සාගරේ ඒකාබද්ධ කතන්දරය ලියන වෙලේ මට මුලින්ම හිතුනේ මේ විදියට මොබයිල් ෆෝන් එකේ වැඩ කරන්න කක්කුස්සියට යන්නේ කොයිවගේ උන්ද මන්දා කියලයි.

පස්සෙයි මතක්වුනේ, නවකතා පොත්, පත්තර අරගෙන කක්කුස්සි යන පිරිසකුත් ඉන්නවා නේද කියලා!

ප/ප/ලි:
ඇයි, කක්කුස්සියේ සිට පෙම් හසුන් ලියන අය?

(image: http://www.worldofstock.com/stock_photos/HUM1122.php)

Tuesday, 8 November 2011

කක්ක පාට මොන පාටද? - If its brown, flush it down!


මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත මෝස්තරයක් වගේ චිත්‍ර ඇන්දට, ඒවා කළු-සුදු ඒවා විතරයි මට මතක විදියට. වෛවර්ණ චිත්‍ර අඳින්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි.

ඇත්තටම, තුනේ පන්තියේ දී සතියට එක පීරියඩ් එකක් තිබුණා චිත්‍රවලට. වාර විභාගවලට විභාගයකුත් තියලා ලකුණුත් දුන්නා.

අපිට චිත්‍ර අඳින්න කියලා තිබුනේ සුදුපාට කොළ තියෙන චිත්‍ර පොතේ පැන්සලෙනුයි. ඊට පස්සේ තමයි පාට කරන්න ඕනෑ.

මේ චිත්‍ර පාට කරන්න ක්‍රම කීපයක් තිබුණා.

අපිට අමාරුම ක්‍රමය තමයි දිය සායම් වලින් පාට කරන එක. මේ දිය සායම් පොඩිත්තං ටියුබ්වලයි එන්නේ. පොඩ්ඩක් වතුරේ දිය කරගෙන පින්සලෙනුයි පාට කරන්න ඕනෑ. මේක මහා වාතයක්. වතුර හැලෙනවා, හැම තැනම පාට ගෑවෙනවා, මල ජරාවක්.

ඊට වැඩිය ලේසිම ක්‍රමය තමයි පාට පැන්සල්. පාට හයේ, දොලහේ පාට පැන්සල් පෙට්ටි තිබුණා. උල් කරලා අරගෙන සාමාන්‍ය ලියන පැන්සල් වගේ පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි පාට පැන්සල් වැඩේ එච්චර කලර්ෆුල් නෑ!

අපි හුඟ දෙනෙක් ගේ ප්‍රියතම ක්‍රමය වුනේ ඉටි වගේ ජාතියකින් හදල තිබුණ පැස්ටල් කූරු වලින් චිත්‍ර පාට කරන එකයි.

පැස්ටල් කූරු කියන්නේ හුණු කූරු වගේ, හැබැයි ඊට වඩා පොඩි පාට පාට සිලින්ඩිකා-කාර කූරු ජාතියක්. කූරට කවරයක් අන්දෝලා, එක පැත්තක් විතරක් උල් කරලා තිබුණා. ඒ පැත්තෙන් තමයි පාට කරන්නේ.

මං හිතන විදියට ඒ දවස්වල ලංකාවේ තිබුණු එකම පැස්ටල් කූරු ජාතිය හොම්රන් පැස්! ඒ ෆැක්ටරිය තිබුනේ දළුගම කැම්පස් එක පැත්තේ.

අපි දන්නවා නේ මූලික වර්ණ තුනයි තියෙන්නේ කියලා. ඒවා එකිනෙක අඩුවැඩි ප්‍රමාණයෙන් කවලම් කරගෙන තව විවිධ වර්ණ මිලියන් ගාණක් හදාගන්න පුළුවන්.

මිලියන් ගාණක් පාට කෙසේ වෙතත්, ඒ දවස්වල අපේ ප්‍රශ්ණය වුනේ හොම්රන් පැස් පාට විසිහතරේ පෙට්ටියේ තියෙන පැස්ටල් පාට විසි හතරෙන් සුදු, කළු, රතු, නිල්, කොල වගේ කීපය හැරුණ්ම ඉතුරු ඒවා, වචනයෙන් අඳුණාගන්න එකයි.

අපි බොහෝ විට මූලික වර්ණවල විවිධ ප්‍රබේධ අඳුණාගන්නේ අපි දන්නා වෙනත් ස්වභාවික දේවල්වල පාටවලට සාපේක්‍ෂවයි. කෙහෙල් දලු කොල පාට, ස්කයි බ්ලූ ඒ කියන්නේ අහසේ නිල් පාට, ලේ රතු පාට, මඩ පාට වගේ නම්වලින් පාට තියෙන්නේ ඒ අනුවයි.

මේ ලඟදී කිරිකෝපි ගේ බුකියේ දාලා තිබුණා මේකට අදාල මරු කෑල්ලක්.

ඒකේ අහලා තිබුනේ දොඩම්වලට ඔරේන්ජ් කියනවා නම්, ඔරේන්ජ් පාටට තැඹිලි පාට කියනවා නම්, තැඹිලිවලට කිං කොකන්ට් කියනවා නම්, එහෙනං දොඩම් කියන්නේ කිං-කොකනට් ද වගේ කතාවක්.

අපිත් ඉතිං ඔය වගේ තැඹිලි කුරුම්බා නම් වලින් එක එක හොම්රන් පැස් පාට නම් කරලයි තිබුනේ.

හැබැයි හොම්රන් පැස් විසි හතරේ පැක් එකේ කිසිම මලක, පලතුරක අහලින්වත් තියන්න බැරි පාටක් තිබුණා.

මේක දුඹුරු පාටට වඩා රතු පාටයි, හැබැයි රතු පාටට වඩා කහ පාටයි. කහ පාටට වඩා කළු පාටයි. ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.

පලතුරු, මල්, අහස, මුහුද, පොළොව වගේ නොවුණත් වෙනත් ස්වාභාවික දෙයක් හරියටම මේ පාට වගේ නේද කියලා අපි කොයි කාටත් හිතුනේ ස්වභාවිකවමයි.

ඇත්තම කියනවා නම් මේ පාට අපි හොඳ ශරීර සෞඛයෙන් ඉන්නවා නම් අඩු ගානේ දවසට එක පාරක් විතර දකින පාටක්.

අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, මේක තමයි කක්ක පාට!

-කතන්දරකාරයා

ප/ලි:
යුනිවසිටියෙන් අවුට් වෙලා රෙදි මහන පැක්ටේරියක වැඩට ගියවෙලේ ඔන්න ඉගෙන ගත්තා මේ පාටේ ඉංගිරිසි නම බේජ් ය කියලා.

හැබැයි එහෙම නම් ඇයි,
    If it's yellow,
        Let it mellow
            If it's brown,
                Flush it down
කියන කවියේ බේජ් කියලා නැත්තේ?

මං චාට් එකක බලද්දී නං ඒකේ හැටියට බේජ් කියන්නේ වෙනිං ලා පාටක් (RBG=#f5f5dc). මට හිතෙන්නේ ඩාක් ඔරේන්ජ් තමයි හොඳම නම. ඒ කියන්නේ තද King Coconut!

ඒ කොහොම වුනත්, ඉංගිරිසි කාරයින් ගේ කක්කා, කක්ක පාට නෙමේ!

(image: http://www.shawwallace.lk/fmcg/index.php)