Showing posts with label Carlo Fonseka. Show all posts
Showing posts with label Carlo Fonseka. Show all posts

Saturday, 11 July 2009

කාලෝ ට සීට් එක දුන්න දා


මේ කලකට ඉහත වෙච්ච සිද්දියක්.

ඒ කාලෙ මං හිටියෙ ඇතුල් කෝට්ටෙ. ඔන්න එක සති අන්ත දිනයක මං නැග්ග බංගලා හන්දියෙන් බස් එකකට බොරුල්ල ට යන්න. ඉතිරි වෙලා තිබුණු එකම සීට් එකේ මං හොඳට හරි බරි ගැහිල වාඩි වුනා.

ඊළඟට බස් එක නැවැත්තුව කොටු බැම්ම පාර (සිංහලෙන් රැම්පට් රෝඩ්) හොල්ට් එකෙන් නැග්ග කීප දෙනෙක්. එයින් එක මහත්තයෙක් මං හිටපු සීට් එක ලඟින් හිට ගත්ත. ටිකක් දැකල පුරුදු මුහුණක් වගේ පෙණුනට මුලිං මට හිතා ගන්න බැරිවුනා කවුද කියල.

මිනිහ ගෙ ගෙ අතේ තිබුන පොඩි සඟරාවක්. සිලෝන් මෙඩිකල් ජර්නල්. ඔන්න එක පාරටම මීටරේට වැටුන. මේ කවුද දන්නවද? කාලෝ ෆොන්සේකා!

මං ඊට කලින් කාලෝ ව දැකල තිබුන දවස් දෙකක් විතරයි. එක පාරක් විශ්ව විද්‍යාලෙ වැඩකදි. අනික් පාර, 1994 මහ මැතිවරණෙදි පොදු පෙරමුණට සහය දෙන්න පිහිටුවා ගත්තු කලාකරුවන් ගේ සංවිධානෙ කෂ්ටිය නුගේගොඩ දි තියපු රුස්වීමෙදි.

එදා කාලෝ ලස්සන කතාවක් කලා මට මතකයි ගිනි ගන්න ගෙයක් ගැන බුදු හාමුදුරුවො කියපු බණක් උදාහරණයට අරගෙන. කාලෝට යාළුවො කියන්නෙ ධම්මස් සවන කාලෝ කියල ලු. කාලෝ ම තමයි කිව්වෙ එදා රුස්වීමෙදි.

කාලෝ තරම් බණ දහම් දන්නෙ නැතිවුනාට මාත් ටිකක් දැනගෙන හිටිය මංගල සූත්‍රයෙ එන පූජාච පූජනීයං වගෙ කතා. ඉතිං මං සීට් එකෙන් නැගිටල කිව්ව "වාඩි වෙන්න සර්" කියල.

පොර ඒ කාලෙ අද තරම් නාකි නෑනෙ. ලැජ්ජ හිතෙන්න ඇති මං සීට් එක දුන්නහම. කාලෝ වාඩි උනේ නෑ. ඒ පාර ලැජ්ජ හිතුනෙ මටයි. ලැජ්ජාව වහගන්න මං ගියා බස් එකේ ඉස්සරහට. වෙනිං කවුද මනුස්සයෙක් මං හිටපු සීට් එකේ වාඩි වුනා.

ඉතිං බස් එක කොට්ටෙ පාරෙන් පාර්ලිමන්ට් පාරට දාල බොරුල්ල පැත්තට වේගයෙන් යන්න පටන් ගත්ත. ඔන්න එක පාරටම වැදුන ලොකු බ්රේක් පාරක්. කාලෝ ෆොන්සේකා එක අතකින් සීට් ගැට්ටක් අල්ලගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නල් එක අරං නෙ හිටියෙ. මිනිහ විසිවෙලා ගිහින් කාගෙද ඔඩොක්කුවක ඉන්ද වුනා. අනේ පව්!

පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩි වුනා නම් ඉවරයි නේද සර් කියල මට හිතුන. පොඩි හිනාවකුත් මගෙ මූණට නාවෙමත් නෑ!

කාලෝ මුලින් වැඩ කලේ කොළඹ විශ්ව විද්‍යාලෙ, වෛද්‍ය පීඨයෙ, භෞතවේදය දෙපාර්තමේන්තුවෙ. අපි දන්න කාලෙ ඉඳලම එයා මහාචාර්ය වරයෙක්. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් කියල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට අරගෙන එතන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් හදපු වෙලේ, කාලෝ ඒකෙ පීඨාධිපති වෙලා ගියා. දැන් නම් පැන්ෂන් ද කොහෙද මගෙ හිතේ.

පැන්ෂන් ගත්තට පස්සෙ වෙන්න ඇති මිනිහ පිලියන්දල පිහිටුවන්න අදහස් කරන වෛද්‍ය විද්‍යාලෙ නියෝජිතයෙක් වුනේ.

ඒ කොයි හැටි වුනත්, කොළඹ ඉඳල කැලණිය ට ගිය තවත් මහාචාර්ය කෙනෙක් වෙන නලින් ද සිල්ව ල එක්ක සංසන්දනය කරන කොට නම් කාලෝ දෙයියෙක්.

පදාර්ථය වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තියෙන පාරිභාෂික වචනයක් දාල සින්දුවක් ලියපු එකම මදෑ. අම්මා ගැන කියවෙන "පදාර්ථයට" පණ පොවා කියන ඒ සින්දුව තිබුනෙ කාලෝ ලියපු ගී අඩංගු "කාලෝ-චිත" ගී කැසට් එකේ. හැබැයි ඒක සින්දුව වැඩිය ජනප්‍රිය වුනේ නෑ. ඒ ගීත එකතුවෙම තිබුණු "රත්තරං දුවේ" කියන සිංදුව නම් හුඟක් ජනප්‍රිය වුනා.

අද ට මේ ඇති. පස්සෙ හමුවෙමු.