Followers

Monday, January 23, 2012

ඉඳල වැඩක් නැතෝ! මගේ දුව ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න යනෝ!! A disaster strikes Kathandara household!!!


මගේ හදවත බරයි බරයි වගේ. සිත දුකෙන් පිරිලා. වෙලාවෙන් වෙලාවට හෝස් ගාලා හුස්මක් යනවා. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා වගේ.

ඒ මදිවට ඇස් තෙත් වෙලා!

අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුනේ?

මගේ දුවට එච්එස්සී වලට ආට්ස් කරන්න ඕනෑ ලු.

විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරළා!)


සෝමලතා සුබසිංහ වටහාගෙන හිටි ඔය සත්‍යය, හාමිනේයි මායි දෙන්නම හොඳින් පිළිපැදපු ඔය සත්‍යය, අනේ අපිට බැරි වුණානේ අපේ දුවගේ හිතට කා-වද්දන්න.

අනේ දුවේ මේ මොකක්ද ඔයා කරගන්න යන්නේ?

පොඩි කාලේම අම්මා ඔයාට සෙල්ලම් කරන්න මෙව්වා එකක් අරං දුන්නා ඔයාට මතකද?

සීයාගේ වයස මගේ වයස වගේ දෙගුණයයි. ඔයා ගේ වයස මගේ වයසෙන් හතරෙන් එකයි. තව අවුරුදු දහයකින් සීයා ගේ වයස ඔයාගේ වයස වගේ කී ගුණයක්ද? වගේ ගණං ප්‍රශ්ණ අහලා මං ඔයා ගේ හිතේ ගණිතයට තියෙන උනන්දුව වැඩි කරන්න හැදුවා මතකද?

මෙගා ෆැන්ටා බෝතලේ දාන්න ඕනෑ, ෆ්‍රිජ් එකේ දොරේ කොයි කෙලවරේද, හැන්ඩ්ල් එක තියෙන පැත්තේද, සරනේරුව තියෙන පැත්තේද? වගේ එදිනෙදා සරල ගැටළු ගැන කතා කරලා මං ගූර්ණය වගේ භෞතික විද්‍යා සංකල්ප ඔයාට වටහලා දෙන්න හැදුවා මතකද?

ඉස්සෙල්ලා තාත්තා වගේ කැම්පස් යනවා, ඊට පස්සේ අම්මා වගේ හොස්පිටිතාලේ යනවා කියලා ඔයා පොඩි කාලේ කියනවා අහලා අපේ රෝස බබාත් අපි වගේමයි හිතන්නේ පතන්නේ කියලා ඔයාගේ අම්මත් මාත් කොච්චරක් කියලා සතුටු වුණාද?

"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!" ය කියලා මේ ලඟදී දවසක ඔයා කිව්වහම මං මුලින්ම හිතුවේ ඔයා නිකං විහිළුවක් කරනවා කියලයි.

ඒත් අවස්ථාව ලැබුණු ගමන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයයන් ඔයා අළුයම ඉවත ලූ කෙල පොදක් වගේ බැහැර කරද්දී මට තේරුණා වැඩේ කපෝතියි කියලා.

මේ සුව පහසු කොට්ටේ ඉන්නේ නැතුව කූඩැල්ලෙක් වගේ ඉවතට ඇදිලා යන්නේ ඇයි දුවේ?

අඩු තරමේ වාණිජවත්?

-කතන්දරකාරයා

ප/ලි
සෝමලතා සුබසිංහ එයාගේ සින්දුවේ කොහොම ලිව්වත් අන්තිමේදී එයා ගේ දුව කෞශල්‍යා ෆර්නැන්ඩු කළේ ආට්ස්. ඒ මදිවට නියමිත අවුරුද්දේ එච්එස්සී නොකර සුගතපාල ද සිල්වා ගේ මරාසාද් එකේ රඟපාන්න ගියා. පස්සේ කොළඹ විස්ස විජ්ජාලේ ද කොහෙද ආට්ස් ඩිග්‍ර්‍රියක් කළා මයෙ හිතේ! ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම එකේ දැක්කට පස්සේ දැක්කේ නෑ.

ප/ප/ලි
මගේ තාත්තා හිටියා නම් ඔන්න සතුටු වෙයි, ලොකු මිණිපිරී සීයා වගේම ඉතිහාසය, භාෂාව වගේ ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න යන එක ගැන.

(image: http://en.wikipedia.org/wiki/Lisa_Simpson)

68 අදහස්:

  1. //"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!"//


    ආට්ස් කරන එක නම් ඉතින් කැමැත්ත නොවැ, ඒත් මේ වැඩේ නම් ,මේ සිරි ලංකාවේ ?????

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් ගැන නේද බුවා කියන්නෙ?
      ඒකට කරන්න තියෙන්නෙ රිද්ම, සදැල්ල වගේ අතිරේකයක ජනලිස්ට් කෙනෙක් වෙනඑකනේ.:)

      Delete
    2. නියම කියමන රාජ්. :)

      Delete
    3. පිටකොටුව කිව්ව දේට මාත් එකඟයි..

      Delete
  2. මොනව කරත් තමන් කැමති සබ්ජෙක්ට් එකක් කරන්න ඕනේ. කැමති වගේම ඉතින් තමන්ගේ දක්ෂතාවත් තියෙන්න ඕනේ. :D

    ඔය සින්දුව තියෙන නාට්‍යයේ නම විකෘති නේද? මම නම් බලල නැහැ. හැබැයි ඔය සින්දුවේ කෑලි ටී වී එකේ දැකල තියෙනවා

    ReplyDelete
  3. දරැවට තමන් කැමති දේ කොරන්ට දෙන්න කකෝ...

    ReplyDelete
  4. කතන්දර.... ඉවරයක් වෙන එකක් නෑ වගේ..
    මගේ සුභ පැතුම්..

    ඒ උනාට අප්සෙට්මනම්.. පොඩ්ඩක් අර රාජගිරියේ "පුතා සාමී" ගාවට රෝස බබා පෙන්නන්න..

    ReplyDelete
  5. Did you watch 3 IDIOTS

    ReplyDelete
  6. හොද, දක්ෂ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න පුලුවන් වේවා. පලමු පියවරට අපෙන් සුබ පැතුම්..!

    ReplyDelete
  7. මේ හණ මිටි අදහස් නිසා අපට නැතිවු දක්ෂයන් ගනන කවුරුවත් දන්නේ නැත.

    මේක ඇත්තටම කියපු එකක් නොවේ යැයි සිතමි.

    ඔබේ දුව ජ්'නලිස්ට් කෙනෙක් වුනත් නැතත් ( ඕවා පස්සේ වෙනස් වෙනවා නෙව ) , ආට්ස් කර ලැන්වේජස් කලත්, නැතත් සමහර විට අපේ රටට යම් දිනෙක හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ඇම්බැසිඩර් කෙනෙක් එහෙමත් නැත්නම් හොඳ පොලිසි මේකර් කෙනෙක් වෙන්ට වාසනාව ධෛර්ය ලැබේවා. ඉංජෙක්, ඩොකෙක් නොවුනට යූ.එන් එකේ හොඳ පොසිශන් ගත්ත ලාංකිකයෝ ඔක්කොම ආට්ස් කරපු අය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින නිලධාරීන්ගෙන් ඉතා වැඩි ප්‍රතිශතයක්[90%පමණ] කලා උපාධිධාරීන්ය

      Delete
    2. විදේශ සේවයට කෙලවී ඇත්තේ ඒ නිසාවත්ද?

      Delete
  8. මම නම් කැමත්යි මගේ දුව එයා කැමති දෙයක් කරනවට. ආට්ස් කියන්නේ කොච්චර හොද විෂයක්ද. වෙලා තියන්නේ ඒක නාස්ති කරලා. හැමෝම හිතන්නේ නැහැ ආට්ස් නැත් නම අද ලෝකයක් නැහැ. ඒත් මගේ කැමැත්ත විද්‍යාව. කාලෙකදි ඒක ආයූර්වේදය වුනා. නමුත් අද මම ඉන්නේ ඕනෙම විෂයක් අවශ්‍යයි. ප්‍රශ්නේ භාවිතාව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම ඔබෙ දුව කරන්නෙ ARTS . මේක හරියටම හරියන අනාවැකියක් !

      Delete
  9. තරුණ ගුරුවරයාගෙ කලු හමටත් ඕකමයිලු උනේ......

    ReplyDelete
  10. Traffic Ano
    මට පොඩ්ඩක් ටැපලිලාවත්ද?
    මගේ මතකයේ හැටියට සෝමලතා සුබසිංහ විකෘති නාට්‍ය‍යෙන් කියන්න හැදුවෙ ළමයින්ට “විද්‍යාව” ම උගන්නන්න දෙමාපියන් දැඟලීම නිසා ඇති විය හැකි විවිධාකාර විකෘති තත්වයන්. ඉතින් කෞෂල්‍යා විකෘති නොවී ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න ගිය එක අවුලක් වෙන්න බෑනෙ.
    දුව ඒ ලෙවල් නොකර ඉන්න හදනවනං ටිකක් හිතන්න වෙනව. ඒ ලෙවල් වලට ආට්ස් කරන්න හදන එක ගැන මට හිතෙන්නෙ මෙහෙමයි.
    කතන්දරලාගෙ පරම්පරාවෙ ජාන වල තියෙන්නෙ ආට්ස් සබ්ජෙක්ට්ස්.
    තාත්තා පොඩි කාලෙ ඉඳන් චක්කරේ පාඩං කරවපු නිසාද කොහෙද ‍කතන්දරකාරයා විකෘති වෙලා, ගණිතයට දක්ෂ වෙලා ඒ ලෙවල් වලට ගණිත විෂයයන් කළා. ඒ වුනාට ජාන වල ‍තියෙන්නෙ (කවුරුත් තේරුම් අරන් තියෙන හැටියට) ආට්ස් සබ්ජෙක්ට්ස්.
    ඉතිං දුවට ජාන වලින් ඒ ලක්ෂණය එහෙමම ගියා.
    “සීයාගේ වයස මගේ වයස” වගේ ගණං ප්‍රශ්ණ ඇහුවම දුවට ගණිතය එපා වුනා.
    ඒ නිසා, දුව ජානමය ලක්ෂණ වලට ඉඩ දුන්නා. ඒක විකෘතියක් නෙවෙයි.

    ReplyDelete
  11. sahenna bonna wena prashnayak..

    ReplyDelete
  12. දුවට එයා කැමති දෙයක් කරන්න දෙන්න.එයා ඒක ආසාවෙන් කරයි.බලෙන් අකමැති දේවල් පටවන්නෙ ඇයි.

    ReplyDelete
  13. සමහරවිට කාලයක් යනකොට ඔය අදහස් වෙනස් වෙන්නතු ඉඩ තියනව.

    ReplyDelete
  14. ආට්ස් කරන්න එපා කියලා සමාජ මතේ ගොඩ නැගිලා තියෙන්නෙ කාරණා කීපයක් නිසා.

    1) කළාකාරයා හැමදාම ගිඟන්නා කියලා තියෙන කියමන - ඒත් අද කාලේ ගොඩක් කළා කාරයෝ දොස්තරලා ඉන්ජිනේරුවන්ටත් වඩා හොඳට හොයනවා.

    2) කලා විශය ධාරාවන් හදාරපු අයට රැකියා නැති ප්‍රශ්නය - කලා විශය හදාරලත් පරඉගණක ශේශ්ත්‍රයේ එම්.එස්.සී ගත්ත යාළුවෝ මට ඉන්නවා. ආට්ස් කලත් ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා තමන්ගේ මේජර් එක තෝරගන්න බුද්ධිමත් උනානම් ගොඩ.

    ReplyDelete
    Replies
    1. නෑ නිර්මානකරුවො හිගන්නො නෙමෙයි. කලා ව්‍යාපාරිකයො හිගන්නො වෙන්න පුලුවන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දුමී එකඟ නැහැ. ඉන්ජන්ගේ ඩොක්කුන්ගේ මේජර් එකට සම්බන්ධයක් නැතිව ගොඩ යන්න ඇහැකි. ආටන්ට එහෙම බැහැ. ආටන්ගේ එහෙමත් ෆීල්ඩ් එකක් විතරයි ගොඩ. ඔය "හම්බ කරන ආටෝ" [ඉන්ග්ලිෂ් ආටන් නොවන] අතර 90% කරන්නේ පට්ට දහදුරා වැඩ.

      අනික ආට්ස් කරලා සයන්ස් එම් එස් සී ගන්න එක බොහොම රෙයා දෙයක්.

      මට මගේ ළමයා රෙයා පාත් එකක යවන්න ඕනේ නැහැ. තමන්ගේ ළමයා ගැන හිතන කෙනෙක් බලන්නේ ළමයා අනාත වීමේ සම්භාවිතාවය අඩු පාරක යවන්න.

      එහෙනම් කිව හැකි ඕන ජරා ඉස්කෝලෙකින් කවුරුහරි කැම්පස් ගිහින් ඇති ඒ නිසා මගේ ළමයා ඔන්න ඔහේ මොකක් හරි ඉස්කෝලෙකට දානවා කියා. දුමී මෙහෙ උන්න නම් ඔහොම හිතනවද?

      මගේ ළමයාට 100% තේරීමේ නිදහස දෙන්න අවශ්‍ය පරිසරය මං හදන්න ට්‍රයි කරනවා කිව්වේ එකයි. සල්ලි තියේ නම් ළමයා ආට්ස් කලත් මට ගොඩ දා ගන්න පුළුවන්.

      ලොකු ජෝන්; නිර්මාණකරුවෝ හිඟන්නෝ නොවේ. ඒත් එක වුනේ කොහොමද කියන එක තමයි හෙව්වම අර මොකද්ද එකට ඇඩේන්නේ. උදාහරනෙකට ජැක්සන් ඇන්තනි කියන්නේ හිඟන්නෙක් නොවේ මං හිතන හැටියට. ඒත් ඉතින් උන්නැහේගේ පහුගිය වසර දහය නවතැහැ හැරිලා බැලුවොත්...

      එහෙම නැතිනම් ඔබ කීවේ "නෑ [සල්ලි නැතුවට] නිර්මානකරුවො හිගන්නො නෙමෙයි. [සල්ලි තිබ්බට] කලා ව්‍යාපාරිකයො හිගන්නො වෙන්න පුලුවන්." තාත්තෙක් ළමයෙක ලෝකයේ ශ්‍රේෂ්ට කලාකාරයෙක් කරන්න දඟලන්නේ නැහැ. දරුවා කරදරයකින් තොරව ජීවත් වීමයි දෙමව්පිය වැඩිහිටියන්ගේ පැතුම.

      Delete
    4. අපි ලංකාවෙ ට්‍රෙන්ඩ් එක ගත්තොත් ඒ.ලෙවල් වලට ආට්ස් කරන්න සෙට් වෙන්නෙ ඕ.ලෙවල් හරියට ගොඩ දාගත්ත කට්ටිය නෙමෙයි. ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හරි ට්‍රයි කරලා ගණන් වලට එස් එකක් දාගෙන ආර්ට්ස් වලට හරි පැනලා මම ඒ.ලෙවල් කරා කියලා ඇඟ බේරගන්න ට්‍රෙන්ඩ් එකක් තමයි ලංකාවෙ තියෙන්නෙ. ඕලෙවල් හොඳ රිසල්ට් තියෙන අය 99%ක්ම ආර්ට් කරන්න ඒ.ලෙවල් වලට යන්නෙ නෑ.

      හැබැයි සමහර වෙලාවට මැත්ස් හරි බයෝ හරි කරලා එක පාරක් ඇණ ගෙන දෙවනි පාර ආර්ට්ස් කරලා කැම්පස් ගිය බුවාලව මම දන්නවා....

      Delete
    5. ලංකාවෙන් එළියේ ලොකු අවුලක් නැහැනේ. ලංකාව කේන්ද්‍රීයව කතා කලේ.

      Delete
  15. මෙන්න මෙ දෙ තමා මට උනේ මම ලොකු එකා හන්දා මට තොරගන්න ඕන උනෙ දෙමාපියන්ට උවමනා දේ. මම අසාර්තකයි ! ඒත් මගෙ බාල සහෝදර සහෝදරියො මම හන්දා දෙමාපියන්ගෙන් බලපෑමක් නැතිව සාර්තකත්වයට පියනැග්ගා. ඒගැන මට සතුටුයි.

    ReplyDelete
  16. කලා කියන්නෙ මලා නෙමෙයි. ඒත් ලංකාවෙ හැටියට ඒක ටිකක් හිතන්න ඕනෙ දෙයක්. ඒත් දරුවට බලෙන් විද්‍යා විෂයන් කරන්න කියලා කිව්වොත් එකක් වත් හරියට කෙරෙන එකක් නෑ. ඒ නිසා එයා කැමති දේ හිත හදාගෙන කරන්න දෙන එක තමයි මට නම් හිතෙන්නෙ හොඳ කියලා.

    ReplyDelete
  17. ඕං අපේ පුංචිඅම්මගෙ දුවත් කළා කරල පළාතෙන්ම ලොක්කි වෙලා. පහුගිය පෝයට පංසල් ගියාම ලොකුහාමුදුරුවො අහල දැං මක්කයි කරන්න ඉන්නෙ කියල. ගත් කටටම මේකි කිපාපි මං ලෝ කරන්න ඉන්නෙ කියල. මේං ඒපාර උන්නාන්සෙ "ඔය කෝ මං කියපු එක අහල විජ්ජා කොලානං අහකයි නෙව" කියල. සංසාරේ !!

    ReplyDelete
  18. හ්ම්.... හින්ට් එකක් ගහලා වගේ....

    ReplyDelete
  19. හොඳ වෙලාවට මගේ අම්මල මට කැමති විෂයක් තෝරාගෙන කරන්න කියල කිව්වා :)
    ඉතින් මම Languages කරනවා Arts වලින්

    ReplyDelete
  20. ළමයගේ කැමැත්තනේ කියල ඔන්න ඔහේ ඉඩ දෙන්න කසු..

    මටනම් හිතිලා තියෙන්නේ කවදාහරි මගේ ළමයෙක්ට කලාවවත්, ගණිතයවත්, විද්‍යාවවත් නෙමෙයි බිස්නස් කරන්න උගන්වන්න..... :)

    ReplyDelete
  21. "සියළු සයන්ස්කාරයෝ නැසෙන සුළුය"


    //ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම එකේ දැක්කට පස්සේ දැක්කේ නෑ//

    පෙබරවාරි මෙහෙ පෙන්නනව 'ඉර හඳ යට' කියල ෆිල්ම් එකක් එකේ ඉන්නව කෞශල්යා. 'ආකාස කුසුම'ට ඉස්සෙල්ල ගහපු එකක්ද, පස්සෙ එකක්ද කියල නං දන්නැහැ.

    ReplyDelete
  22. අද රටේ ගොඩක් පරිපාලනය පැත්තෙන් ආර්ට් කරපු අය ඉස්සරහට ඇවිත් තියෙනවා.මොන දේ කළත් හරියට කළොත් වරදින්නේ නෑ.

    ReplyDelete
  23. ඔන්න ඔන්න අපිට පැන පැන යන සතාගේ පාට් එක දාන්න එපා හරිය? මේ සිරි ලංකාව. ආට්ස් කල බර ගානක ගේ ඉරණම මහා පාරේ විසඳෙන. එච්චර වෙලත් තවමත් වැඩිම ගානක් කරන. කරන එවුන ඔක්කොටම [විෂුවල් ආට්ස් වගේ එව්වා තියෙද්දී] පාලියි බෞද්ධ සංස්කෘතියයි ඉතිහාසෙයි උගන්නන [මේ උගන්නන තරමට අපේ දෙදහස් පන්සියයක ප්‍රෞඩ ඉතිහාසයම මදි අවුරුදු දහයක පාස් අවුට් වෙන කට්ටියට]. ඉතින් කතන්දර ගේ දුවට මේ මොකුත් ෆේස් කරන්න වෙන්නේ නැති නිසා, ඔයා චන්ඩියා වගේ කෙල්ලගේ අදහසට ඉඩදුන්න වීරයා වෙන්න එපා. අසරණ අපේ ළමයින්ට රට සීනිබෝල පෙන්නන්න, උන්ගේ අහිංසක දෙමව්පියන්ට පැන පැන යන සතාගේ ඔලොක්කු දාන්න එපා.

    තාත්තෙක් හැටියට මේක මටත් මුහුණ දෙන්න වෙන දෙයක් කියා හිතනවා [කෙල්ල දැනටම ප්ලෑන් කරන්නේ නෙලුම් පොකුණ රඟහලේ වේදිකාවට නගින්න වගේ]. කොහේදී ඒක වේවිද දන්නේ නැහැ. මට හැකි විදිහට උතසහ ගන්නවා ළමයාට කැමති ඕනෑම දෙයක් කළහැකි ආර්ථික හෝ සමාජ පසුතලයක් හදා ගන්න. ඒක මට තවම පුළුවන් වුන දෙයක් නම් නොවේ. ඒ නිසා මට නම් තමන්ගේ දරුවන් මෙහෙම අනාත වේවි කියා බයට ආට්ස් කරන්න එපා කියන, එහෙම විවධ හේතු නිසා හැකියාව පැත්තකින් තියා බැරි එව්වා කර අනාගන්න අසරණයින් ගේ කඳුළු වලට ඔච්චම් කරන්න බැහැ.

    කෙටියෙන් කිව්වොත් "මගේ ළමයාට මං නිදහසේ ආට්ස් කරන්න දෙනවා" කියන එක ලොකු ආර්ථික/සමාජ වත්කමක් තියෙන දෙමව්පියන් කියන පොර ටෝකක් මිස සාමාන්‍ය සමාජයේ දරුවන්ට ආදරේ පියෙකුගෙන් එන කතාවක් නොවන නිසා.

    සෝමලතා ගේ දුව අර ලස්සන සින්දුව [ඉවාන් පවුලුෂා] කියන එක්කෙනා නේද? එයා මං හිතන්නේ ලංකාවේ නැහැ. ඔන්න තව කතාවක්. ආට්ස් කිරීම කොළඹ ලොකු ෆැෂන් එකක්. මොකද ඒගොල්ලන්ට ඉන්ග්ලිෂ් ආට්ස් තියෙනවා. උපාධිධාරියෙකුගේ වැටුප ඉන්ජා, ඩොකා ආදී ලොකු ලොකු එව්වන්ට සමයි හෝ වැඩියි. හැමෝම නැතත් බර ගානක් නිවන් දකිනවා. ඉතින් මේකට නිකම් ඉංගිරිසි කරලා මදි. ලොකු ඉස්කෝලෙක, ඉංගිරිසි පැලැන්තියට හැදිලා ලොකු කනෙක්ෂන් එක්ක එහෙම ඉන්න ඕනේ. ඒ අය ලොකු ලොකු රස්සා හා රට රස්සා වලට යනවා. ඒ ඩිංග සෝමලතා ගුරු මුෂ්ටියක් ලෙස දුවට කිව්වට සින්දුවට දාලා නැහැ.

    හැමදාම උනේ හැමෝම අපිට ටොපි විකුණන ඒක තමා.

    මටත් උ/පෙ වලට මේ තීන්දුව ගන්න ආපු දවසේ මාත් සියපාරක් හිතුවේ ආට්ස් කරනවද කියා. ඒත් තාත්තත් නැතුව අසු හාරදාහක් ප්‍රශ්න වල ගිලිලා හුන් මට ආට්ස් ඇරෙන්න කැමැත්ත තිබු එකම අනික තෝරන්න වුනා. අද නම් ඒ ගැන සතුටු වන්නේ අපේ රටේ ආටන්ට යන කලේ හැටියට. බහු බූත ඉගෙන ගන්නත්, විවිධ ගුරුකුල වලට ඇඟිලි කපන්නත්, පරණ හිටපු දේශපාලන චින්තකයින්ට මේ සියවසේ දරදිය අදින්නත් යනාදී ලෙස කලාව වෙනුවට "හුන්නස්ගිරියේ මුල් අකුර" ඉස්සරහට දාගෙන කන්න බොන්න නැතුව වේලි වේලි ඉන්නවට වඩා, ඒ ක්ෂේත්‍රය ගැන ඒ හැටි දැනුමක් නැතුවට, දන්නා කළා ඩිංග ගැන තෘප්තිමත් විදිහට ඉන්න පුළුවන් වුනා. අන්තිමට තුප්පහි වැඩකට කර ගහලා ඒ කට්ටිය ගොඩ යන හැටි දැක්කම කලාව නොකලා කියා අදත් මං සතුටු වෙනවා.

    කෙල්ලට සුභ පතනවා. තාත්තගේ ජාන ටිකත් අඩු නැතිව ඇතිනේ. මොකෝ කෙල්ල "නොට්ටිගේ දුවෙක්" වෙනවා කියාද? තාත්තත් කරපු රස්සාවක් නේ. අවතක්සේරු කරන්න එපා.

    මං තවම ආසයි මගේ දුවත් ඔය වගේ "මට ඕනා මෙන්න මේක" කියා තොරනවාට. අන්තිම බයානක දෙයක් වෙන්නේ නැතිනම් [අන්තවාදී මුස්ලිම් පොරක් බැඳීම - ඔන්න මං ජාතිවාදිවම උදාහරණයක් දුන්නා]මගෙන් කවදාවත් හරස් කැපීමක් වෙන්නේ නැහැ.

    ඔබ විද්‍යාවට ආසනම් දරුවෙක් ඒක ඉගෙන ගන්නවාට ආස නම් [ඔබ මෙහෙම නැති බව දන්නවා. පොස්ට් ඒක සාකස්ටික් බවත් දන්නවා] හිච් හයිකර්ස් ගයිඩ් ටු ගැලැක්සි ලියු ඩග්ලස් ඇඩම්ස් ගැන කියවන්න. පොර නම් ගණිතය/විද්‍යාව අතහරින්නේ ඇරිත්මටික් බැරිනිසා කියා [විහිලුවක්ද ඇත්තක්ද දන්නේ නැහැ] කිව්වා වරක්.

    [කාලෙකින් ආවේ. නැවත වරක් මං කොමෙන්ට් ඒකෙන් කතන්දරගේ පොස්ට් එකෙක් වචන ගණන ඉක්මවන්න ඇති. කිපෙන්නෝ කමත්වා :)]

    ReplyDelete
    Replies
    1. ඒයි සුජීව, ඉවාන් පවුලූෂා කියන්නෙ කෞශල්‍යා නෙවෙයි.. අප්සරා ද සිල්වා කියලා ගෑල්ළමයෙක්..

      පලි: වෙලාවක් තියේනං අහස්ගව්ව පැත්තෙ එනවය.?? පොඩි කතිකාවතක් තියේ.. :)

      Delete
    2. ඇඬෙනව තනි ඇහැට මම හිතාන උන්නේ කතන්දර ඉන්නේ මේ සිරි ලකේ කියලනේ ,

      Delete
    3. Sujeewa Kokawala, You are absolutely correct.

      But one thing

      ‍@๧‍සා්මලතා ‍๧‍ග් ຺ව අර ලස්සන සින්຺ව [ඉවාන් පවු໳ෂා] කියන එක්‍๧කනා ‍๧‍න්ද?

      No.She was the actross who sell Kasippu at handagama's "Dunhida addara"
      Teledrama.

      (Sorry for using English.currently no sinhala unicodes)

      Delete
    4. සමා වෙන්න මට ඉතින් නළු නිලියන් පටලගන්න ඒක පුරුදු වැඩක් නේ.

      Delete
    5. [[වෙලාවක් තියේනං අහස්ගව්ව පැත්තෙ එනවය.?? පොඩි කතිකාවතක් තියේ.. :)]]

      වැඩිය රහ කරකර කියවන්න ඔය බ්ලොග් එක අන්තිමටම තියා ගේන ඉන්නේ. ඒකෙන් සමහර පොස්ට් මිස් වෙනවා. දිගට ලියන ලියන තරමට කියවන්න හිතෙන කෙනෙක් නේ. ඔන්න එහෙනම් අපිත් එනෝ.

      Delete
    6. අපේ පරණ කෝන්තර අමතක කරමු , කොකෝ. අම්මපා උඹේ කටේ මාළුවෙක් ඔබන්න වටිනවා කියපු මසුරන් කතාවට :)

      -අලි මොටා -

      Delete
  24. අනේ කතන්දර... එහෙම හිතන්න එපා... ආට්ස් කරල රටට වැඩදායක, බුද්ධිමත්, යහපත් ගැහැණියක් වෙන්න එයාට හොඳටම පුළුවන්... ඒ විතරක්ද... එයා ආසම ෆීල්ඩ් එකක වැඩ කරන්න පුළුවන්... ඒකෙන් ලබන ආත්ම තෘප්තිය ගොඩක් වටිනව...

    මගෙ මල්ලි උ/පෙ කරන්න යද්දිත් ඔය වගේම තත්ත්වයක් අපේ ගෙදර ඇති වුනා... මල්ලිට ඕනෙ උනේ වාණිජ කරන්න... මැනේජ්මන්ට් කරල ඉදිරියටම යන්න එයාට ලොකු ආසාවක් තිබ්බ වගේම ඒකට එයාට හැකියාවත් තිබ්බ... ඒත් ඉන්ජිනේරුවෙක් වෙන මගේ තාත්තට ඕනෙ උනා එයාගෙ ලොකු පුතාවත් තමන්ගෙ ෆීල්ඩ් එකට ගන්න... තාත්තව සතු‍ටු කරන්න මල්ලි ගණිතය කළත් කැම්පස් යන්න ලකුණු මදි... එයා ආසාවෙන් ඉගෙන ගත්තෙත් නෑ... මල්ලිගෙවත් තාත්තගෙවත් ආසාවල් ඉ‍ටු උනෙත් නෑ... එයා අද ගොඩක් හොඳ තැනක හිටිය උනත් එයාගෙ ජීවිතේ ජය ගන්න තිබ්බ එක අවස්තාවක් තාත්ත නිසා මග හැරුන කියලයි මම හිතන්නේ...

    දෙමව්පියන්ගෙ ආසාවල් ගැන තේරුම් ගන්න පුළුවන්... ඒත් ගණිතය, විද්‍යාව කරන අය විතරද ඉහළට යන්නේ...?? මීට වඩා පුළුල්ව හිතන්න කතන්දර... දරුවගෙ ආසාවට උදවු කරන්න... ඒ තීරණේ නිසා ඔයාගෙ දුව ගැන ඔයාට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන් වේවි දවසක... ඔයාගෙ දුවගෙ අනාගතේට මම සුභ පතනව...

    I really hope you were not serious...!!!

    ReplyDelete
  25. විද්‍යාව වූකලී එක්තරා කලාවකි.
    කලාව විද්‍යාත්මක වූ තරමට එය ඉහළ නගී.

    ඒ නිසා ඕකට ඔච්චර නහින්න දෙයක් නෑ.

    ReplyDelete
  26. හුටා....කතන්දර දැන් ඉතින් ගඟට ඉනි කැපුවා වගේ... :-)
    කළින් පෝස්ට් වල සමහර අය කොමෙන්ට් කරලා තිබුනා වගේ කළාව කියන්නේ * බුද්ධිමත් (තරූ 1) .... විද්‍යාව/වෛද්‍ය කියන්නේ ***** බුද්ධිමත් (තරූ 5)!

    ReplyDelete
  27. Because Uncle Kathandara is in Ottelia No problem,
    let her do it,
    My congrats :)
    Agree with Uncle Jhon, She'll do Arts.....

    ReplyDelete
  28. moda weda karanna epa kathandara.arts karanna asanam eka karanna denna.mata una de wena katawath wenawa dakinna mama kemathi ne.so let her to do that....

    ReplyDelete
  29. කතන්දරලගෙ වගේ කැන්ගරු බේබිලට විකළා වලින් හුන්නස්ගිරි කලා මොටද, ජාත්‍යන්තර සබඳතා, ෆැෂන් ඩිසයිනින්, ඉන්ටීරියර් ඩිසයිනින් වගේ ඉල්ලුම තරමට සැපයුම නැති කළාවන් එමට තීනකොට. අර සුජීව කිව්ව වගේ මේ කළා නමින් කොලේ වැසීමකද නැත්තං කට්ටියකට හීනියට වගේ ගහපු කණේ පාරක්ද?

    ReplyDelete
    Replies
    1. [[ජාත්‍යන්තර සබඳතා, ෆැෂන් ඩිසයිනින්, ඉන්ටීරියර් ඩිසයිනින්]]

      ඇයි බං ග්‍රැෆික්. ලංකාවේ විශාල ඕපනින් එකක් තියෙන ග්‍රැෆික් කරන්නේ මැත එවුනුයි ඔක්කොම ෆේල් එවුනුයි. ඉතින් කොලිටි මදි. තවම අපිට බැහැ පට්ට ඇනිමේෂන් ආටිස්ට් ලා හදා ගන්න. මාස තුනේ කෝස් වලින් එන්නේ.

      ඔක්කොටම උගන්නනවා පාලි බෞද්ධ සස්කෘතිය ඉතිහාසය වගේ ඒවා. මොන එහෙකටද?

      ඒ අස්සේ ප්රිවිලේජ්ඩ් සොච්චමකට උගන්නනවා ඉන්ග්ලිෂ් ආට්ස් කියලා.

      මෝඩ ලංකා "පොදු ශිෂ්‍ය" හැතිකරේ පාරට බහිනවා අර සබ්ජෙක්ට් වෙනුවට "අධිරාජ්‍යවාදී" එව‍ා ඉන්ට්‍රෝ කලොත්.

      අන්තිමට මුන්ට ජොබ් දෙනවට තෑගී දෙන්න ඕනේ.

      Delete
    2. ‍๧‍මා්ඩ ලංකා "‍๧‍පා຺ ශිෂ්ය" හැතික‍๧‍໮ පාරට බහිනවා අර ස໣‍๧ජක්຀ ‍๧වනුවට "අ໏රා๽යවාຬ" එව‍ා ඉන්‍๧‍຀රා් ක‍๧‍ලාත්.

      මෙන්න මේ ලෙඩේ හොඳ කර නොගත්තොත් අපේ අධ්‍යාපනය ගොඩ එනවා බොරු....!

      Delete
  30. මම නම් කියන්නේ ඉගන ගන්න කොට අදාල ඉලක්කෙට ඉගෙන ගන්න ඕනේ....ආර්ට්ස් කරත් සයන්ස් කරත් අපිට ඉලක්කයක් තියෙනව නම් මම කියන්නේ සාර්ථක වෙන්න පුළුවන්...කසූ ඔන්න ඔහේ කලා කරන්න දෙන්න....සයන්ස්කාර‍යොත් පවුලට වැඩිවුනාම අවුල්නේ....එක ආර්ට් පොරක්ගෙන් ඒක සමතුලිත කරන්න පුළුවන්....හි හි හි...

    ReplyDelete
  31. දැන් ඉතින් දුක් වෙලා වැඩක් නෑ කතන්දර මාමේ... කරන දේ හරියට කරන්න කියල ඇඩ්වයිස් කරන්න...

    ReplyDelete
  32. ආටිස් කෙනෙක් කරන්න.....

    ReplyDelete
  33. ළමයි කැමති දේ ළමයි තෝරා ගනියි.

    (90 ගණන් වලදි මට මතක හැටියට O/L D8 ම ගත්ත ගෑණු ළමයෙකුට Atr වලින් A/L කරන්න දෙමව්පියෝ ඉඩ දුන්නේ නැති හින්දා පිස්සු හැදුනා)

    දෙමව්පියෝ කියන්නෙ ළමයින්ගෙ අයිතිකාරයෝ නෙවෙයි, භාර කාරයෝ...එයාලට තියෙන්නෙ වෙනම ශරීරයක්- වෙනම මනසක් ජිවත් වෙන්නෙ වෙනස් කාලයක වෙනස් සංස්කෘතියක....එයාලා මුහුණදෙන්න ඕන එයාලටම වෙන්වුණු අභියෝග වලට ඔවුන් වෙනුවෙන් දෙමව්පියෝ ඒවට මුහුණදුන්නොත් දරුවන්ට ඔවුන්ගේ ජීවිතයෙන් කොටසක් අහිමි කළා වෙනවා.

    ReplyDelete
  34. කරන වැඩේ හරියට කලොත් ගොඩනේ නැද්ද....මම ආසම දේශකයෙක් තමයි අත්තනායක එම් හේරත් කියන්නේ

    ReplyDelete
  35. හොඳ වෙලාවට මගෙ දෙමවුපියෝ මට කැමති දේ ‍තෝරගන්න ඉඩ දුන්න . . . .

    ReplyDelete
    Replies
    1. ආ ජෑ-කෝලිස්!
      අනේ ඔවු!

      Delete
  36. මෙන්න හොදම මොළකාරයාට වෙන දේ.
    මැත සිරාම කට්ටිය ඒකියන්නේ ලංකාවේ හොඳම මොලකාරයෝ ටික A/L වලට මැත්ස්කරනවා. ඊට ටිකක් අඩු වලට බය අය බයෝ කරනවා. ඊට පස්සේ කට්ටිය Commerce. අන්තිම කට්ටිය ආට්. රිසල්ටි එනකොට ඔය මොකෙන්වත් හරියට ලතුණු ගන්න බැරිවෙච්ච අය යනවා ලෝකොලෙජ්.
    අවුරුදු දහයකට පහළොවකට පස්සේ බැලුවහම තත්වය මේකයි.
    ලෝ කරපු එකා ඇමති !.
    ආට්කරවු එකා අමාත්‍යංශ ලේකම් !
    කොමස් කරපු එකා අධ්‍යක්‍ෂ , මුදල්!.
    හොඳම මොල කාරයා අඩුම පඩියට නිකම්ම ඉංජ්නේරු !!.

    gamaya

    ReplyDelete
    Replies
    1. Very nice analysis

      Delete
  37. මෙහෙමත් එකක් තියෙනවා.
    ඉංජිනේරු, සංවර්දනයට සම්බන්ධ වෙනවා.
    අධ්‍යක්‍ෂ, එහෙට මෙහෙට පැන පැන වැඩ බල බල ඉන්නවා
    අමාත්‍යංශ ලේකම් ඇමතියට ගොට්ට අල්ලනවා.
    ඇමතියා නිකන් ඉන්නවා.

    ReplyDelete
  38. ඔන්න ඕකට ඉඩදෙන්න

    ReplyDelete
  39. ජනමාධ‍ය ක්ෂේත්‍රයට කාන්තා ඇල්ම වැඩි වෙලා.
    දිවයින-22.01.2012

    ReplyDelete
  40. එයාගෙ කෑමැත්තනෙ. මේකත් බලන්න http://sithama.blogspot.com/

    ReplyDelete
  41. @ All
    සියළු දෙනාගේම අදහස් ඉතා හොඳයි. මේ කතාව මේ ඊයේ වුණු එකක් නෙමේ ඒ වගේ ලිව්වාට.

    මං දුවට කිව්වේ ඔයාට කැමති දෙයක් කරන්න කියලයි.

    මාත් කළේ මට ඕනෑ දේවල් මිස දෙමව්පියන් කිව්ව දේවල්ම නෙවෙයි.

    මුළු කතාවම මං හිතුවේ මං උපහාසාත්මකව ලිව්වාය කියලයි. එහෙම නෙමෙයිද මන්දා ලියවිලා තියෙන්නේ.

    ස්තුතියි!

    හෙට නැවත අළුත් කතන්දරයක්.

    ReplyDelete
  42. ආර්ට් කිරිල්ලෙන් පස්සෙ මොනා වෙනවද කියලා මන්නං දන්නෑ ඕන්. මමත් ආර්ට් කරාට මට ඔය බම්බුවෙන් ඇති වැඩකුත් නෑ. මොකද අපේ අම්මා නොවැ බෑ කියද්දි මාව මේ A/L උලවුවට දැම්මේ. දැන් ඕන් 80% ත් නෑලු. බඩු තමා!

    ReplyDelete
  43. අපි වින්ද(විඳින) මේ දුක ඔබ ගේ දුවට විඳින්නට නොලැබෙන එක ගැන මං අවංකව සතුටු වෙනවා

    ReplyDelete
  44. මොලේ ඇති දුවක් !!! සුභපැතුම් ඇයට

    ReplyDelete
  45. පින්තුරේ ලස්සනයි

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).