Monday, 18 July 2011

ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි - Australia : Sinhala Poetic Impressions


මට හිතෙන විදියට උපන් රට දාල යනවාය කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හුඟ දෙනෙකා පිට රට පැන්නට හීනෙනුත් උපන් රටේ තමයි ජීවත් වෙන්නේ. පැළයක් උදුරල වෙන තැනක හිටෝල පැළකර ගන්න එක ලේසි වැඩක් යැ?

හැබැයි ඉතිං ඔය රට පනින එක නං අද ඊයේ එකක් නෙමේ.

ලංකාවේ ඉතිහාසය කියවන කොට අපිට මාට්ටුවෙන විජය ල, පඬුවස්දෙව් ල, පරාක්‍රමබාහු ල, නිස්සංකමලල ල, දුටුගැමුණු ල, වීදියේ බණ්ඩාර ල, අලකේශ්වර ල, සපුමල් ල, ශ්‍රී වික්‍රම ල කියන්නේ එක්කෝ තමන් උපන් රටෙන් ලංකාවට පැනපු එවුන් නැත්තං එහෙම පැනපු අය ගෙන් පැවතෙන එවුන්.

ඉතිං, ඒ කාලේ ඉඳලම ලංකාවේ අපේ ජාන වලට ඔය රට පනිනව කියන එක හොඳට කා වැදිලයි තියෙන්නේ කියල කියන්න පුළුවන්.

සුද්දගේ කාලේ ලංකාවේ කවුරුත් බ්‍රිටිෂ් සබ්ජෙක්ට්ස් හින්දා අපේ සමහරු එංගලන්තේ, සිංගප්පූරුවේ, මැලේෂියාවේ ගිහින් පදිංචි වෙලා තියෙනවා.

ඒ කොයි හැටි වුණත් ලංකාවට නිදහස දීල සුද්දො ගියාට පස්සේ තමයි අපේ අය සැලකිය යුතු විදියට රට පනින්න පටන් ගත්තේ මට තේරෙන විදියට.

ට්‍රෙන්ඩ් එක මුලින් තිබුණේ යූ.කේ. යන්නයි. (මේ කියන්නේ උස්වැටකෙයියාව ගැන නං නෙමේ!) පස්සේ ඇමරිකාව වගේ රටවල් වලටත් පොරවල් පනින්න පටන් ගත්තා. ඒ හුඟ දෙනෙක් ඉගෙන ගන්න ගිහිල්ලා එහේ ම ගල් වුණු අය වෙන්න ඕනෑ.

දැන් නං ලංකාවේ ඉපදුණු කෂ්ටිය පඳුරකට පයින් ගැහැව්වත් දෙතුන් දෙනෙක් විසිවෙන ගානට ඉන්නව ලු, කැනඩාවේ ටොරොන්ටෝ වලයි, ඕස්ට්‍රේලියාවේ මැල්බෝර්න් වලයි. ඒ රටවල් වල අනිත් පැතිවල, නවසීලන්තේ හෙමත් සෑහෙන ශී්‍ර ලාංකිකයෝ ප්‍රමාණයක් ඉන්නවා ය කියලයි ආරංචිය.

ඔය වගේ ඕස්ට්‍රේලියාව ට ගිය කට්ටියක් කරපු තිරස තරණ කියන කෙටි කතා පොත ගැන මං ලිව්වා මතකද? ඒ වගේ තවත් පොතක් මට ළඟදී කියවන්න ලැබුණා.

මේක කවියෙන් ඕස්ට්‍රේලියාව ගැන ලියවුණු පොතක්.

පොතේ නම දකුණු කුරු දිව් කව්. බෙදා හැරීම දයාවංශ ජයකොඩි සමාගම. මිල රුපියක් එකසිය ගානයි (ඩිස්කවුන්ට් එක එක්ක).

මේ කවි පොත මුළුමනින් ම ඕස්ට්‍රේලියාව ගැනයි ලියවිලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, පරිසරය, සමාජ තොරතුරු විතරක් නෙමේ එහේ ඉන්න අපේ කෂ්ටිය කරන කියන දේවල් ගැනත් මේකේ කවියෙන් ම විස්තර වෙනවා.

නිකංම නිකං නිසඳැස් කවියෙන් නෙමේ හොඳ එළිසමය සහිත සිව්පද කවියෙන්.

ලංකාව හැර වෙන රටක් ගැන සිංහලෙන් ලියවුණු මේ වගේ මුල් ම කවි පොත මේක වෙන්න ඕනෑ.

කතන්දරකාරයෙක් වුණාට මං කවි වලටත් කැමතිය කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

මූදු වෙරළ ගැන තුනේ පන්තියේ ලියපු කවිය ගැනත්, පස්සේ පෙම් කවියක් ලිව්ව හැටිත් මං කලින් කතන්දරවල ලියල තියෙනවා. ඇයි ඔබාමා ට ලියපු කවි පන්තිය, නූතන ජන කවි සෙට් එක, සින්දු කරපු කවි.

අද මේ කයි-කතන්දරේ ඉවර කරන්න මෙන්න දකුණු කුරු දිව් කව් කවි පොතෙන් කවි කීපයක්.

ඕස්ට්‍රේලියාවේ පිහිටීම ගැන ලියවුණු කවිවලින් එකක්:
දකුණු කෙළවරේ ලෝ කුස යටි පැත්තේ
බැඳුණු සයුරු ඉන්දිය පැසිපික් ඇත්තේ
දකුණු කුරු දිව ය යන කවි පද මත්තේ
වොරැඳි රට එහිය සුදනෙනි දත යුත්තේ

සිඩ්නි නගරය ගැන ලියවුණු කවිවලින් එකක්:
ඔපෙරා මැදුර ලොව සුපතල සළකුණකී
ගජරාමෙට සෙනග ගැවසෙන අඩවියකි
මදිරා සුරා පැන් හල් අඩු නැතිය සකී
මිතුරා කැමති නම් රස ගුණ බැලිය හැකී

ඕස්ට්‍රේලියාවේ නියගය ගැන ලියවුණු කවිවලින් එකක්:
යොදුන් දිගැති ගොවි බිම් ගෝ බිම් වනසා
රුපුන් බලැති නියගය ගති රටම වසා
බුදුන් පුදමි, හිමි දෙසු දම මේ විලසා
රජුන් දැහැමි රට හිඟ නැත වැසි වරුසා

ඕස්ට්‍රේලියාවේ රටේ ජීවිතය ගැන ලියවුණු කවිවලින් එකක්:
කලක් දැන් මෙහේ ඇවිදින් ගත වෙන්නේ
පෙළක් වෙලාවට සිරි ලක සිහි වෙන්නේ
පරක්කුවක් නැත වැඩ අකුරට වෙන්නේ
අරක්කුව කුමට අද විස්කිය බොන්නේ

ඕස්ට්‍රේලියාවේ සිටින අපේ සමහරුන් ගැන ලියවුණු කවිවලින් එකක්:
කටින් බතල කොළ හොඳ හැටි හිටවීම
සැපෙන් පුටුව මත හිඳ යුද්දෙට යෑම
තමන් මිස අනුන් හරි යැයි නොසිතීම
උපන් බිමෙදී මෙන් පුරුදුයි අද තාම

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මං මීට කලින් පොතක් ගැන ලිව්වේ -W3Lanka ගේ ශාස්තෘ ගැනයි. එදා නං මට කොහේදො හැංගිලා ඉන්න ඇනෝනිමස් අක්කි ලා දෙන්නෙක් විතර නොසෑහෙන්න ආඬපාලි කිව්වා.

අදත් ඒ කෂ්ටි සෙට් වෙයි ද මන්දා මට බැෂ්ටිය දෙන්න!

බලමු, බලමු!!

35 comments:

  1. කොහොමත් කාකා තමන්ගෙ රටින් පිට උනාම දැනෙන තනිකම ගැන දන්නෙ එහෙම තනිවුන අය විතරනෙ. මමත් ඒ දේ විඳවලා තියෙනවා.ඉතින් ඒ වගේ වෙලාවට ලියවෙන්නේ අරුම පුදුම දේවල්.තනිකමත් එක්කම හරියට අනුන්ගෙ රටක හිරවෙලා කියලා දැනෙද්දී.

    ඕස්ට්‍රේලියාවෙ ඉදන් කවි එහෙම ලියන " සුනිල් ගෝවින්න " මහත්මයාගේ කවි එහෙම මම නිතරම කියවනවා. ඇත්තටම එතුම අපූරු හැකියාවක් ඇති පුද්ගලයෙක්..

    ReplyDelete
  2. @ දිල්
    අපෝ ඕක මොකක්ද, අපි යන්තම් දහ අට වුණු ගමන් ගෙදරින් පිටවුණා, පිටවුණාම නේ!

    සුනිල් ගෝවින්න ගේ ලියන නවල් එකක් යනවා සන්ඩේ ඔබ්සෝවර් එකේ කොටස් වශයෙන්. බලන්න ඔන්ලයින් ගිහින් මොන්ටේජ් එක.

    ReplyDelete
    Replies
    1. can you please give the link

      Delete
  3. මට කවි ලියන්න බෑ.. ඒත් මමත් රටෙන් පිටවෙලා හිටපු කාළේ ලියපු කවි පොතක් තිබුන මහ ගෙදර තියල. (ගෙදර තියාගන්න බැරි මතෘකා ගැනත් කවි ඒකේ තිබුනා) දකුණු කුරු දිව් හී මැල්බොර්න් වල ඉන්න සුද්දි (නංගී) ගේ සුද්ද කරන වෙලාවේ පරණ කබඩ් එකේ තිබුන ඔක්කොම පොත් පත් ලිය කියවිලි බෝතල් පත්තර කාරයකුට දන් දීල..

    ඒ උනාට එක්ස්ට්‍රිම්ලී සොරි කිව්වම කටවත් අරින්න එපා කියල මගේ ඉන්ගිරිසි මාස්ටර් අපට උගන්නල තියෙන්නේ...

    ReplyDelete
  4. හැමදාම එන්න හිටියට ඔන්න අදයි ආවේ. ගල්මල් මල්ලිගේ අඩවියෙන් තමයි මේ ගැන දැක්කේ. මම දන්න කීප දෙනෙක් ඉන්නවා ඔස්ට්‍රේලියාවෙ ගිහින් පදිංචි උන. එයාලා අප්‍රසිද්දියේ කවි ලියනවා. පල කරන වගක් නෑ. හොඳ මාතෘකාවක් , සුනිල් ගෝවින්නගේ කවි වලට මාත් කැමතියි. ස්තූතියි කාකා මේ පෝස්ට් එකට.

    ReplyDelete
  5. @ මාතලන්
    කවි ලියන්න පුරුදු වෙන අය අර මහ ගෙදර පොත බලනව ඇති.
    ලියන්නකෝ මැල්බෝර්න් කතා ටිකකුත් අපිට දැනගන්න.

    ReplyDelete
  6. @ Chandi
    බොහෝම ස්තුතියි ආවට මේ පැත්තේ.

    කවි ලියන හුඟ දෙනෙක් ඉන්නව විනෝදෙට ලියන. ඒවා ඉතිං ගෙවල්වලම පුස් කනව.

    දැන් මේ බ්ලොග් ලෝකේ නිසා, ඒ අයට තමන් ගේ නිර්මාණ වෙනත් අය එක්ක බෙදාගන්න ලේසියි.

    ඔය දකුණු කුරු දිව් කව් පොතේ තිස් ගානක් කවියන් ගේ කවි තියෙනවා. සමහර විට ඔයා දන්ණ අය ගේ වෙන්නත් ප්‍රළුවන්.

    ReplyDelete
  7. ආ,, සිහිවටනෙකට මිතුරෙක් තෑගි දුන්න ඔය පොත මට.. කිව්වත් වගේ එහෙ ගැන සෑහෙන විස්තර තිබ්බ ඉතාම සරලව, සුන්දරව, සුගමව ,,කවියෙන්!!!!

    ReplyDelete
  8. @ හරී - පිණිපළස

    නිකං හම්බ වුණා නං ඉතිං අස්සයගේ දත් බලන්න හෙම නැතුව ඇති නොවැ?

    ReplyDelete
  9. ඔව් අනේ ,, මොකට බලන්නද? දෙමළ පත්තරෙත් ගන්නවනෙ අපි නිකං දෙනකොට. පොත මොකක් උනත් දුන්නු කෙනා වටිනවනෙ අපිට

    ReplyDelete
  10. ඇත්තටම කවිය කියන්න මාර දෙයක්... හිතේ තියෙන ඒව එලියට දාන්නත් හිතක තියෙන ඒව එලියට ගන්නත් පුලුවන්.. මවුබිම ගානට කවි තියෙනවනෙ එකසියගානට... තමන් ඉන්න රටගැන කවි ලියන්න ඇත්තෙ හොදට රට හිතට අල්ලල ඇති... කවියක් පන්තියක් නෙවෙයි කවි පොතක්ම...

    ReplyDelete
  11. ආ.. කවියන් තිස් ගානකගෙ කවි තියෙනව කියල දැන් දැක්කෙ...

    ReplyDelete
  12. අඩේ මාරු පොතක් නේ. මෙහෙම පොතක් ගැන කිව්වට ස්තුති වේවා.. අද හවසට සරසවිය පැත්තේ යන්න ඕනේ..

    ReplyDelete
  13. ඕස්ට්‍රේලියාවේ සිටින අපේ සමහරුන් ගැන ලියවුණු කවිවලින් එකක්:

    කටින් බතල කොළ හොඳ හැටි හිටවීම
    සැපෙන් පුටුව මත හිඳ යුද්දෙට යෑම
    තමන් මිස අනුන් හරි යැයි නොසිතීම
    උපන් බිමෙදී මෙන් පුරුදුයි අද තාම

    හි හි ඔය කවිය නම් ඉතින් රට යන කවුරු ගැනත් කියවෙනවා(ද) මන්ද?
    රට යන කට්ටිය රට ගියාම වෙනදේවල් ගැන එහෙම [ උදා- අමුතු විදියට පොෂ් වීම / සිංහල නිකන් බෑ බෑ වීම ] වගේ දේවල් ගැන මිට ටික කාලෙකට කලින් සති අන්ත පුවත්පතක තිබ්බ නියම කවි සෙට් එකක්.

    ReplyDelete
  14. @ පොඩි මෑන්
    මං හිතන්නේ එච්චර ලොකු රටක් විවිධ දේ ගැන එක් කෙනෙකුට ලියන්න අමාරු ඇති. තිස් ගාණක ගේ කවි තියෙනවා ඔය පොතේ.

    ReplyDelete
  15. @ ADK
    පොත් කියවීම හොඳ දෙයක්.
    අපේ පුත්‍ර රත්නයත් දැන් පොත් කියවන්න පටන් අරගෙන බත් කන්නවත් එන්නේ නෑ.

    ReplyDelete
  16. @ ChammaA
    ලංකාවෙත් එක එක පලාත්වල කතාකරන විදිය වෙනස් නේ.

    කොළඹ බජාර් එකේ හුඟ කළක් හිටි ගමේ අයගෙත් කතා බහ වෙනස් වෙනවා.

    බත්තලංගුණ්ඩුව පැත්තේ සිංහල තවත් වෙනස් නේද?

    රට ඉන්න කොට තනිකරම පරිසරය වෙනස් නේ? ඕවා ස්වභාවිකයි.

    ReplyDelete
  17. @ ChammaA

    මාත් ලගදි ඔය සිංහල බෑ බෑ කියන අත්දැකීමකට මුහුණ දුන්නා මාලේ එම්බසි එකේදි

    ඔය ඇසල පෝය දවසේ බණ අහන්න ගිය වෙලාවේ ඉස්සරහටම වෙලා කට ඇරගෙන බණ අහපු ගෑණු කෙනෙක් බණ ඉවර උනාට පස්සේ සංවිධායක මණ්ඩලේ මම දන්න අයියලා දෙන්නෙක් එක්ක කඩ්ඩෙන් කොටනවා අම්බානක හරියට සිංහල බෑ බෑ වගේ.

    ReplyDelete
  18. කතන්දර
    කතන්දර වන මංතුමාත් මේ පොතේ සම කතෘ කෙනෙක් කියලා කියන්නෙ නැත්තෙ ඇයි.

    ReplyDelete
  19. නියම කවි සෙට් එක.
    මම නම් ආසම නෑ රට යනවට. අපේ රට වගේ කොහෙවත් නෑ. මට නම් මෙහෙ සැපයි !!!!!

    ReplyDelete
  20. /////සැපෙන් පුටුව මත හිඳ යුද්දෙට යෑම

    උපන් බිමෙදී මෙන් පුරුදුයි අද තාම///

    Agree

    ReplyDelete
  21. මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තවත් සමහරක් ගැන:

    සුද්දට අනුව පා තබමින් නන් දොඩන
    යුද්ධෙට දෙසා බෑවත් කොටියට නැවෙන
    මනු හිතවාදයෙන් පොර වෙන්නට තනන
    අය නොදනී තිස්සගේ ඩියුටිය පොරන

    මෙතන අන්තිම පේලියේ තිස්ස කියලා කිව්වේ තිස්ස අත්තනායකට නෙමෙයි. ගැමුණු කුමාරයගේ සහෝදරයා වෙච්ච යුද්ධ කාලෙදී කුඹුරු අස්වද්දලා යුද්දෙට සපෝට් කරපු තිස්ස කුමාරයා.

    ReplyDelete
  22. ///මම නම් ආසම නෑ රට යනවට. අපේ රට වගේ කොහෙවත් නෑ. මට නම් මෙහෙ සැපයි////

    මමත් රට ඉන්න එක මර සැපක් (ලංකාවේදී විදින්න වෙන දුක් අඩු නිසා; ප්‍රදාන වෂයෙන්ම ආණ්ඩුවේ කන්තෝරුවල, පොලිසි වලින් රාජකාරි කරගන්න විදින දුක නිසා) කියල හිතාගෙන හිටියේ. හැබැයි පහුගිය මාසවලදී ඒ අදහස ටිකක් වෙනස් උනා (ලංකාවේ එම්බසියට යන්න උනා; එකෙන් තමයි තේරුනේ කොයි රටේ හිටියත් ලංකාවේ system එක අමතක කරන්න, එහෙමත් නැත්නම් කරදර වලින් නිදහස් වෙන්න බැරි බව). දැන් හිතෙනවා ලංකාවට වෙලාම ඉන්න (ලෝකේ කෝ හේ හිටියත් ලංකාවේ එම්බසියකින් හරි වෙඩක් කර ගන්න ඔනිවෙන නිසා එකෙන් නම් ගල වීමක් නැහැනේ.

    ReplyDelete
  23. @ ඇනෝ
    @ චාලි
    @ මධුරංග
    @ ඉස්තෝප්පුව
    @ අමිල අබේනායක

    ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි...!!!

    ReplyDelete
  24. ලැබුනොත් අරන් කියවන්නම ඕන. ස්තූතියි කතන්දර දැනුවත් කිරීමට. කතන්දර ලියූ කවි එහෙම නැද්ද ඔය පොතේ.

    ReplyDelete
  25. කවි ටික නම් ලස්සනයි ඒත් පොත නම් ගන්න බෑ .. මෙහේ ඉඳන් රට යන්න ආසා කරාට රට ගියාම තමයි ගෙදර මතක් වෙන්නේ . ඒක සුබාවිකයි . මටත් ආසයි ඉතින් රටකට පැනගන්න . ඒත් ආයේ ගෙදර මතක් වේවි කියලා හිතලා මම ඒ ආසාව වලලලා දානවා ..

    ReplyDelete
  26. පවුල නැතිව රට ඉන්න බොහෝ දෙනෙක්ට තනිකම හොඳටෝම කියන දේ සත්‍යයක්....

    ReplyDelete
  27. @ හීනියට,
    පව්ල නැතුව රට යන්නෙත් ඉතින් පවුල රැක ගන්නනේ

    ReplyDelete
  28. ඔස්ට්‍රේලියාවේ ඉගෙනීමේ වැඩක් කරන දවසක මං ටියුටර් කෙනෙක් හැටියට වැඩ කළා. මගේ පන්තියේ උන්නා බුවෙක් Herat කියලා. තනිකර ම සුද්දෙක්. මං පොරගෙන් ඇහුවම පොර කිව්වා එයාගේ පිතෘ ලයින් එකේ කොනක ඉන්නවලු දකුණු ආසියාවෙන් ආපු පොරක්. පොර හිතන විදිහට ශ්‍රී ලංකාවේ ලු. [මං හිතන විදිහට] අපේ රටේ හේරත් ගොයියා එහෙ ගිහින් අවුරුදු සියයකට වැඩියි කියලයි මී මුණුපුරා කිව්වේ.

    තව ඔය පැරණි මයිග්‍රන්ට් සිංහල සේවකයෙකුට රේල් පාර හදද්දී කෑම පරක්කු කල නිසාලුනේ, "බඩගිනි" කියන ඕස්ට්‍රේලියානු නගරේ හැදුනේ.

    ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල කවියෙක් එහිදීත් මුණ ගැහුනා. පොර ඒ කාලේ පොතක් ලිය ලියා උන්නේ කොටි හපුවා ගැන [1998 විතර]. කතන්දර දන්නා කෙනෙක් විය හැකියි.

    මට ගෝවින්නගේ මහත්තය ලියන බ්ලොග් අඩවිය ගැන නම් ඒ හැටි ප්‍රසාදයක් නැහැ. හැබැයි මං ඊට වඩා එතුමා ගැන කියවලා නැහැ. මමයි කතන්දරයි මේ ගැන කලින් කතා කරලා තියෙනවා මගේ හිතේ [වෙනත් තැනක] එතුමා හොඳම කවියා උන වෙලාවේ.

    ReplyDelete
  29. මේ පොත මම ලඟත් තියෙනවා... දන්න විදිහට බ්ලොග් කරුවෝ කීප දෙනෙක් ලඟ තියෙනවා... වැප්, පසන්, තිස්ස අයියා, දිල්ශාරා සහ මම ලඟ... කතන්දරගේ අතින්මයි ලැබුනේ.. මතකද මංදා කතංදර සීයට....

    ReplyDelete
  30. @ ප්‍රියන්ත
    @ හිස් අහස
    @ හීනියට
    @ සුජීව කොකාවල

    ස්තුතියි. පිළිතුරු විස්තරාත්මකව ලියන්නට වෙලාවක් නෑ.

    රිපෝට් හදලා පිස්සු හැදිලා වගේ ඔළුවට. දවසින් බාගයක් ගෙදරින් එළියේ ඉන්න එක ලේසි වැඩක් නෙමේ.

    ගොවි සෙතක්වත් අරං ලක් එක උරගා බලන්න ඕනෑ.

    ReplyDelete
  31. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    බලන්න මේ පොත පුස්තකාලවල ඇති. මෙන්න එක තැනක්.

    http://isuru.lib.ruh.ac.lk/cgi-bin/koha/opac-detail.pl?bib=121538

    ReplyDelete
  32. @ අභීත
    මෙන්න බොලේ උදේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකේ කියපු විදියට මාමා දැන් සීයා වෙලා.

    හෙට වෙනකොට මං කිරි කෑ මුත්තා වෙයිද මන්දා. (කිව්වත් වගේ අද දවාලියෙන් ලොකු යෝගට් එකක් නං කෑවා).

    ReplyDelete
  33. හා! හා!!

    රට ගිය නිසාදෝ
    නාකියා කිව්ව එකට එරෙහි වෙන පර සිරිත බෝ වෙලාදෝ?

    මම නම් මේ ඉන්න (අමෙරිකා) රටෙත් ලංකවටත් නාකියෙක්ම තමා. ඒක එක ගෞරවයක් -- නිකම්ම නිකම් එන එකක්. මිනිස්සු හැමකෙනාම කියන්නේ 'සර්' කියලා බැගෑවෙන්. ඒ වගේම හිතට එන ඕනෙම දෙයක් (සීමාවකට) කීමට නිදහසත් ලැබැනවා වගෙයි හිතෙන්නේ. "ඔහොම ඉන්න. මම උස්සන්නම්"; "බලාගෙන වැටෙයි!"; "ඔබතුමා ඉස්සර වෙන්න". මේවා තමා මට ලැබෙන සත්කාර. හිසකෙස් සුදුයි, හිස් මුදුන තට්ටේ. මට ඒක හොඳයි.

    ඉතිං සීයා කිව්වාට තරහා වෙන්න එපා ළමයෝ!

    මේ බ්ලොග් එක ගැන මට ලිව්වාට ස්තුති. රට ගිහිං හමේ පාට සුදු කරගන්න බැරිව ලතවෙන එවුන් අතර ලිපි ගනුදෙනු කරන මට මෙතන පරාදීසයක්!

    ජයන්ත අහංගම

    ප.ලි.
    මම කරගෙන යන වැඩක්:
    http://www.lovatasinhala.com/liyanna.php
    ලියන්න: ahangama@gmail.com
    සිරස 'සිංහල' කියා දමන්න
    (මම දන්නවා මේ ක්‍රමය යුනිකෝඩ් සිංහල ක්‍රමයට වඩා ව්‍යාකරණානුකූල හා ප්‍රමිති ගරුකය කියා).

    ReplyDelete
  34. අහංගම මහත්තයාට බ්ලොග් එකක් තියෙනවාද?
    මම නම් ඔබ තුමාව දන්න කියන කෙනෙක් ඒත් බ්ලොග් එකක මේ දැක්කාමයි....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.