Tuesday 29 September 2009

ලංකාණ්ඩුවේ අටපට්ටම් පැන්සල


සියඹලාංඩුව කියන ගම දන්නව නේද? ඒක තියෙන්නෙ අම්පාරෙ ඉඳල පහලට එනකොට රත්නපුර පාරෙ. මුලින්ම මං මේ ගමේ නම ඇහුව දා මට හිතුනෙ ඒ, අපි අහල පුරුදු ලංකාණ්ඩුව වගේ, තවත් ආංඩුවක් කියලයි.

ලංකාණ්ඩුව කියන්නෙ ලංකා ආංඩුව කියන වචන දෙකේ සන්ධි වීමෙන් හැදුන වචනයක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මේක ඒ දවස්වල ලිව්වෙ ලඬ්කාණ්ඩුව කියලයි. මේ වචනෙ මූලිකවම දකින්න ලැබුණෙ ආංඩුවෙ ලියකියවිලි වලයි, ෆෝර්ම් කොල වලයි. ඒ එක්කම, ඒ දවස්වල ආංඩුවෙ ඔෆිස් වල භාවිතා කරපු නිල් පාට සහ රතු පාට පැන්සල් වලත් ඒක සුදු පාටින් කොටවල තිබුණ මට මතකයි.

මේ නිල් පාට, රතු පාට පැන්සල් හැඩයෙන් අටපට්ටම්. වට ප්‍රමාණයෙන් සාමාන්‍ය පැන්සල් වලට වඩා මහතයි. ආණ්ඩුවෙ කාර්යාල වල මේව පාවිච්චි කරන්න ඇත්තෙ, 8:00 ට නිල් ඉර ගහන්න යි 8:05 ට රතු ඉර ගහන්නයි වෙන්න ඕනැ. පාට පැන්සල් වලින් ලියන්න බෑනෙ.

ඉස්කෝලවලටත් මේව දීල තිබුණ, ඒ ළමයින් ගෙ අභ්‍යාස ලකුණු කරන්න වෙන්න ඕනැ.

අපිට ඒ දවස්වල මේ පැන්සල් හරිම අගේ ඇති වස්තු. හැමෝටම නැති බඩුනෙ. අර කූරු හතරක් තියෙන කාබන් පෑන් වගේ.

ඉතිං අද කතාව මේකයි.

මං පහේ පන්තියෙදි එක වාර විභාගයක් ඉවර වෙලා (ඒ දවස්වල වාර විභාග තුනක් තිබුණ) රිපෝට් කාඩ් දෙන දවසෙ ලොකු මහත්තය, ඒ කියන්නෙ ප්‍රින්සිපල්, අපේ පන්තියට ආව. "කවුද මේ පන්තියෙ පලමුවෙනිය?" මෑන් ඈහුව අපේ පන්ති බාර මුණසිංහ ටීචර් ගෙන්.

මේ කතන්දරකාරය තමයි ඒ අවුරුද්ද පුරාම පලමුවෙනිය. ඒ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ?

ටීචර් මාව පෙන්නුව. "බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය මට සාක්කුවෙන් අරං දුන්න අර සුවිශේෂී අටපට්ටම් ලඬ්කාණ්ඩුව පැන්සලක්, තෑග්ගක් විදියට.

අපේ ටීචර් ට හිතෙන්න ඇති ඒ තෑග්ග පොඩි වැඩිය කියල. මගේ අගය තවත් වැඩි කරන්නද කොහෙද ටීචර් කිව්ව "කතන්දරකාරයා ගේ මුළු ලකුණු පන්තියෙ දෙවෙනියා වුන ළමයට වැඩිය එකසිය පණහක් වැඩියි!" කියල. පහේ පන්තියෙ පොඩි උන් උනාට අපිට සබ්ජෙක්ට්ස් දහයක් තිබුණ. එකසිය පණහක් වැඩි ලකුණු කියන්නේ මගේ ඇවරේජ් එක පන්තියෙ දෙවෙනියට වඩා පහලොවකින් වැඩියි.

"ංආ! ඇත්තද?" ලොකු මහත්තය ඇහැව්ව "කව්ද දෙවෙනිය වුනේ?" ඉතිං අපේ ටීචර් පෙන්නුව පුෂ්පිකාව.

"බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය සාක්කුවෙන් තවත් ලඬ්කාණ්ඩුව පැන්සලක් අරගෙන පුෂ්පිකාට දුන්න.

ඒ තෑග්ග දුන්නෙ පුෂ්පිකා පන්තියෙ දෙවෙනිය වුනාට ද නැතිනම් මට වඩා ලකුණු එකසිය පණහක් අඩුවෙන් ගත්තට ද කියල මට හිතාගන්න බැරිවුනා.

එකේ පන්තියෙ ඉඳල දහය පන්තිය වෙනකං තිබුණු වාර විභාග විසිපහකින් මං විස්සකින් ම පලමුවෙනිය උනා.

ඒ කොහොම වුනත්, එදා පහේ පන්තියෙදි ලැබුණ ලඬ්කාණ්ඩුව පැන්සල තමයි පන්තියෙ පලමුවෙනිය වුනාට ඉස්කෝලෙකින් මට හම්බවෙච්ච එකම තෑග්ග.

දුකයි නේද?

කතන්දර කාරයා (I am in Facebook now)

පරණ කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/

Friday 25 September 2009

බන්ධුල ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව


පසුගිය දාක ගිෆන් භාණ්ඩ ගැන බ්ලොග් post එක ලියවුනු විදිය ගැන මට පස්සෙ පොඩි ජොලියක් ආව.

සිංහල බ්ලොග් බලන අය හුඟ දෙනෙක් ඉස්කෝලෙ දි මැත්ස් කරපු, දැන් IT කාරයො බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ? මේ කෂ්ටියට ආර්ථික විද්‍යාව කියල දෙන්න තවත් ඒ විදියෙ කතන්දරයක් දෙකක් ලියන්න ඕනි කියල මට එදාම හිතුන. මෙන්න ඒකෙ මුල් ප්‍රතිපලය.

පසුගිය දවසක බන්දුල ගුණවර්ධන කියන හිටපු ටියුෂන් මාස්ටර් එහෙම නැත්නං සයිමන් නවගත්තෙගම ගෙ නවකතාව ආශ්‍රයෙන් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කරපු සුද්දිල ගෙ කතාව චිත්‍රපටියෙ නිෂ්පාදක, එහෙමත් නැත්තං සුමිත්‍රා රාහුබද්ධ ගෙ කතාව ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්‍ෂණය කරපු සිරි මැදුර චිත්‍රපටියෙ නිෂ්පාදක, (මීට අමතරව, මිනිහ දුසිං දහයක් ඇමතිලා ගෙන් එක් කෙනෙක් බවත් මං දන්නවා) බඩු මිල ගැන කියල තිබුණු කතාව මතකයි නේද?

පොර කියල තිබුනෙ ඕනෙම කාලෙක පාරිභෝගිකයො වශයෙන් අපි කරන්න ඕනැ, ඒ කාලෙ ගණං ගිහිල්ල තියෙන එලවළු වෙනුවට ඒ කාලෙට ලාබෙට තියෙන එලවළු කන එක කියල යි.

මේ කතාවට පත්තරකාරයො, කාටූන් කාරයො, දේශපාලන විශ්ලේෂකයො හුඟ දෙනෙක් හිනා වුනා. ජයවර්දෙනපුර බී.කොම්. උපාධි ගත්තු ශ්‍යාම් ගනේවත්ත වගේ ආර්ථික විද්‍යාව ගැන දන්න විශේෂාංග උපකතුවරු හිටියත් දිවයින පත්තරේ බන්දුල ට සරදම් කරල කතු වැකි පවා ලිව්ව. අණුවන කම ද, ලාබ විහිළු ඕනැ කම ද මන්ද?

බන්දුල ගුණවර්ධන කිව්වෙ ඉතා සරල කතාවක්. ඇත්තටම අපි හුඟ දෙනෙක් නිරායාසයෙන් ම කරන්නෙත් ඕකම තමයි. මොකක්ද? තමන් ට ගන්න පුළුවන් බඩු ගන්න එක.

ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි අඩු සම්පත් ප්‍රමාණයක් වැඩි පිරිසක් අතර බෙදන්නෙ කොහොමද කියන එක. මේ සදහා තියෙන එතාමත් සාධාරණ ඒ වගේම ඉතාමත් අකාර්යක්‍ෂම ක්‍රමය තමයි අවශ්‍ය සියළු දෙනාටම සමානව බෙදා දීම. මේක නිකං වෙන්නෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණයක් ඕනැ. ඉතිං අකාර්යක්‍ෂමතාවය, දූෂණය, කළුකඩ අනිවාර්්‍යයෙන්ම බලපානව.

මේ ප්‍රශ්ණෙට තියෙන හොඳම විසඳුම තමයි භාණ්ඩයකට පාරිභෝගිකයන්ගෙන් තියෙන ඉල්ලුම සහ භාණ්ඩයේ නිෂ්පාදකයො කරන සැපයුම අනුව වෙළද පොලේ ගණුදෙනු මගින් වැඩේ වෙන්න දෙන එක. අනිවාර්්‍යයෙන්ම ඒක අසාධාරණ ක්‍රමයක්. භාණ්ඩයක සැපයුම අඩුවෙන කොට මිල ඉහල ගිහින් ඒක දරන්න හැකි ටික දෙනෙකුට විතරයි ගන්න පුළුවන් වෙන්නෙ. සල්ලි නැති අයට හුලං තමයි. නමුත් වැඩේ කාර්යක්‍ෂමව වෙනව. ආණ්ඩුවට තියෙන්නෙ කූල් එකේ ටැක්ස් එක එකතු කරගන්න විතරයි. ඒකෙන් පුළුවන් දුප්පත් අයට සහන දෙන්න.

දැන් බන්දුල ගුණවර්ධන කිව්වෙ ගනං ගිය එලවළු වෙනුවට ඒ කාලෙට ලාබ එලවළු ගන්න කියලනෙ. මේක විශේෂයෙන් ම එලවළු, පලතුරු වගේ සීසනල් (සෘතුමය) භාණ්ඩ වලට බලපාන දෙයක්. සමහර එලවළු ජාතිත් එහෙමයි. අඹ වාරෙට සප්ලයි එක වැඩියි. ඉතිං මිල අඩුයි. හුඟ දෙනෙකුට අඹ කන්න පුළුවන්. අවාරෙට අඹ හිඟයි. ඇත්තටම හොයා ගන්නත් නෑ. ඒ කාලෙටත් අඹ වාරෙ වගේ අඹ කන්න ගියොත් අඹ ඉන්දියාවෙන් ගෙන්නලා ගෙඩියක් රැපියල් දාහට විතර දෙන්නයි වෙන්නෙ. හොඳම වැඩේ අඹ නැතුව වෙන පලතුරු කන එකයි.

මේ විදියටම, ඕනෑම එලවළුවක් ගනං කාලෙට (අවාරෙට), ඒ වෙනුවට ඒ වාරෙ හොඳට වැවෙන එලවළු කන්න පුළුවන්. එකක් අනිකට ආදේශ කරන්න පුළුවන් කොච්චර එලවළු ජාති තියෙනව ද රටේ? මේවට කියනව අනුපූරක භාණ්ඩ කියල මට මතක හැටියට.

හැබැයි ඉතිං, පරිප්පු වෙනුවට මුං ඇට කන්න බැරි, අර්තාපල් වෙනුවට බතල කන්න බැරි උන්නැහෙලට නං මේව කරන්න බෑ.
පත්තරකාරයො හිනාවුනාට, බන්දුල කිව්වත් නොකිව්වත් අපි සාමාන්‍ය මිනිස්සු හැමදාම කරන්නෙ ඕක තමා. ගිහාන් කාරය ගෙ ඩොට් එල් කේ ඩෝමේන් ගණං හින්දනෙ අපේ කෂ්ටිය හුඟ දෙනෙක් ඩොට් කොම් නැත්තං ඩොට් නෙට් ගන්නෙ.

අවසාන වශයෙන් එකක් කියන්න ඕනෑ. බන්දුල කාරයගෙයි මගෙයි කිසිම සම්බන්ධයක් නෑ. ජීවිතේට මං මිනිහව ඇස් දෙකෙං දැකල තියෙන්නෙ එකම එක දවසයි. ඒ අවුරුදු දහයකට විතර කලින් පොර ඉන්ටර්කූලර් එකක යනව නුගේගොඩ හරියෙ. මං හිටියෙ අනිත් පැත්තට යන 138 බස් එකක.

කතන්දර කාරයා

I am in Facebook now. Search for and add KATHANDARA as a friend.

මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/

මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com

Wednesday 23 September 2009

කතන්දර බ්ලොග් එක ආයෙත් සන්නසේ ගිහිං - ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!!

මගේ බ්ලොග් එක උස්සලා කියල මං කතන්දර පෝස්ට් එකක් දැම්මා මතකයි නේද?

අමතක අය මෙතන බලන්න. http://kathandara.blogspot.com/2009/08/blog-post_07.html

එදා මට හරි ජොලි දවසක්. සන්නස කියන්නේ අන්තර්ජාලෙ පුරා උත්තර ගෝලයේ ඉඳල දක්‍ෂිණ ගෝලය දක්වාමත් විශාල පිරිසක් බලන පත්තරයක්.

මට එදා ආවෙ එක ප්‍රශ්ණයයි. ඒ,මගේ මූදෙන් ගෙම්බෙක් කතාව අගෝස්තු සන්නසේ 34 පිටුවේ දැම්ම එක වන්-ඕෆ් එකක් වෙයිද නැත්තං සන්නස කාරයා දිගටම මගේ කතන්දර දායිද කියන එකයි.

සැප්තැම්බර් සන්නසේත් මගේ කතන්දරයක් දාලා.

මේ පාර දාලා තියෙන්නේ මං මුළ දවස් වල ම ලියපු අර සුද්දට පාර කියපු හැටි කතාවයි.

මෙන්න මෙතන බලන්න: http://www.sannasa.net/34.pdf

සන්නස හෝම් පේජ් එක: http://www.sannasa.net/

සන්නස පෙර පිටපත්: http://sannasa.sinhalajukebox.org/

සන්නස කාරයා ට ජයවේවා!

කතන්දර කාරයා
p/s: You can now see me in Facebook. Search for Kathandara and add me, please.

Monday 21 September 2009

ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා - Principal Driving Skoda


මේ කතාව දන්න කෙනෙක් හිටියොත් මගේ ගම් පලාත තරමක් හෙලි වෙන්නත් ඉඩ තියෙනවා.

අපේ පැත්තෙ තිබුන ලොකු ඉස්කෝලයක්. මාත් කාලයක් ගියා ඒ ඉස්කෝලෙ ට. මං අස්වෙලා වෙන ඉස්කෝලෙකට ගියාට පස්සෙ වෙච්ච කතාවක් මේක.

ඔය කාලෙ මගෙ පරණ ඉස්කෝලෙට අළුත් ප්‍රින්සිපල් කෙනෙක් ඇවිල්ලයි හිටියෙ. පොර එක විදියක මනුස්සයෙක් කියලයි ආරංචි වුනේ. මිනිහට තිබුනෙත් ස්කෝඩා (Skoda) කියන වැඩියෙ අහල දැකල හුරු පුරුදු නැති ජාතියක කාරෙකක්.

ස්කෝඩා කාර් ගැන අහල නැති අයගෙ ප්‍රයෝජනය පිණිස කියනවා නම් මේව රුසියාවෙ හදන කාර් ජාතියක්. ලඟදි නම් මං ඇඩ්වටීස්මන්ට් එකක දැක්ක නියම බුලට් වගේ ස්කෝඩා කාර් තියෙනව. ඒ දවස් වල ලංකාවෙ තිබුණු මොඩල් එක නං ටිකක් හැච් බැක් වගෙ එකක්. ඒවත්, ඒජන්ට් කෙනෙක් හරහා ගෙන්නපු ඒව නෙමේ. එක එක්කෙනා ගෙනාපු ඒව මගෙ හිතේ.

අළුත් ප්‍රින්සිපල් ගෙ වැඩ ඉස්කෝලෙ කොල්ලන් ට ඇල්ලුවෙ නැහැල්ලු. කොල්ලො කීප දෙනෙකුට තරමක දැඩි දඬුවම් දුන්න කියලත් අපට ආරංචි වුනා ද කොහෙද.

ප්‍රින්සිපල් ල ඉන්නවැයි කොල්ලන් ට යටත් වෙලා බයේ. ඌත් කිසි බුරුලක් පෙන්නුවෙ නෑ. අන්තිමේදි මේක මහා ස්ට්‍රයික් එකක් දක්වා ගියා.

ඉස්කෝලවල් වල ළමයින් ගෙ ඉස්ට්‍රයික් කියන්නෙ කිසිම සැලැස්මක් නැති ක්‍ෂණික දේවල්. නිසි පරිදි නායකත්වයකුත් නෑනෙ. මතකනේ? ශිෂ්‍ය නායකයො කියල ජාතියක් හිටියට උං ශිෂ්‍යයින් ගෙන් පත්වෙච්ච සැබෑ නායකයො නෙමේ නෙ.

හැබැයි කොල්ලන් ගෙ ස්ට්‍රයික් වැඩේ නැගල ගියයි කියලයි ආරංචි උනේ. සමහර විට අළුත් ප්‍රින්සිපල් ට විරුද්ධ ගුරු මණ්ඩලේ පරණ අයගෙනුත් උල්පන්දම් ලැබෙන්න ඇති.

දැං මේකයි ඉතිං මෙතන ජොලිම කතාව.

දවසක් මං උදේ කෝච්චියෙ ඉස්කෝලෙ යන්න ස්ටේෂන් එක ට ගිය වෙලාවෙ දැක්ක පොඩි පෝස්ටර් වගයක් හගල තියෙනවා.

වෘත්තීමය මට්ටමේ ඒව නොවෙයි. මේ නිකං හාෆ් ෂීට් වල බෝල්පොයින්ට් පෑන් වලින් ලියපුවා.

එකක තිබුනා මෙන්න මෙහෙම.

ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා - ළමයි ඩ්‍රයිවින් ප්‍රින්සිපල්

මට මේ කතාව තේරෙන්න සෑහෙන්න වෙලාවක් ගියා.

කාර් එකක් ඩ්‍රයිව් කරනවා කියන්නෙ එලවනවටනෙ! ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා කියන්නෙ විදුහල්පති ස්කෝඩා රථය එලවයි කියන එකයි.

ඒ අර්ථ නිරූපනයෙන් ම, ළමයි ඩ්‍රයිවින් ප්‍රින්සිපල් කියන්නෙ ළමයි විදුහල්පති ව එලවති කියන එකයි.

ඉංගිරිසි සහ සිංහල දැනුම කෙසේවෙතත්, කොහොමද අපේ කොල්ලන් ගෙ නිර්මාණශීලීත්වය!

කතන්දර කාරයා (අද සිට මුහුණු පොතේ - FB)

p/s: You can now see me in Facebook. Search for Kathandara and add me, please.

Wednesday 16 September 2009

ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද? - අවලාද වලට පිලිතුරු

මං කතන්දර බ්ලොග් එක පටන් ගත්තේ පොඩි පොඩි ජොලි කතා ටිකක් ලියා බලන අය සමග මගේ ජොලිය බෙදා ගැනීමට මිස වාද බේද හදා ගන්නට නෙමෙයි.

නමුත් ඉතිං ඕවා වලක්වන්නට බැරි දේවල් ය.

මගේ අරක්කු ඕනා - කෝක් වානා කතාව සමහරුන් ට ඇල්ලුවේ නැත.

පෙරේදා පල කල ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද? කතන්දරයට ද අවලාදයක් නැගී ඇත.

එකම එක චුට්ටං මල්ලී කෙනෙකු ගේ සිත රිදී ඇත. එයා ගේ සිත කොච්චර රිදුනාද කියනවා නම් කමෙන්ට්ස් තුනක් ම දමා ඇත. මේ දරුවා තවමත් පාසැල් යන –- ඔබ සැම ට අනුමාන කළ හැකි පරිදිම – ශිෂ්‍ය නායකයෙකි.

වරද මගේ ය. මං ලියන්නට ගියේ ඉස්කෝලේ යන කාලයේ මට සිටි යාළුවෙක් ඌට ශිෂ්‍ය නායක කමක් ලැබුණු පසු වෙනස් වූ හැටි ගැනය. නමුත් වැඩිපුර ලියවී ඇත්තේ කතන්දරය නොව අතුරු කතාය. මගේ මත වාදයන් ය.

ශිෂ්‍ය නායකයෙකු වන දිලංක මාධව දරුවා මගේ ලිපිය හරි හැටි වටහා ගෙන ද නැත.

මගේ මතය තවමත් නිවරදි වේ. ශිෂ්‍ය නායකයින් යනු විදුහල්පතිගේ, විනය භාර ගුරුවරුන් ගේ උවමනාවට අනුව වැඩ කරන ඇම්බැට්ටයින් මිස පොදු ශිෂ්‍යයින් ගේ නායකයින් නොවේ. සැබෑ ශිෂ්‍ය නායකයින් පත්විය යුත්තේ ශිෂ්‍යයින් ගේ නාම යෝජනා ස්ථිර කිරීමෙන් සහ අවශ්‍ය නම් ඡන්දයෙන් නොවේ ද?

දිලංක මාධව දරුවා ට දුක හිතී ඇත්තේ තමන් ගේ පාසැල වෙනුවෙන් පෙනී සිටීමට ඔහු අවංකවම කැප වී ඇති හෙයිනි. එහි වරදක් නැත.

නමුත් සමහර පාසැල් වල ඔය නායක කම් වලට පත්වීමේ දී ද අමානුෂික වද හිංසා දෙන බව කුප්පියාවත්තේ පාසැලේ සිසුවා ගේ බ්ලොග් එකෙන් මට වැටහිණි.

මා උසස් පෙල ඉගෙන ගත් මරියකඩේ පාසැලේ ද ඕවා තියෙන්නට ඇත.

මේ නායකයින් යැයි කියාගන්නා රැල "ශිෂ්‍ය පොලිස්" ලෙස හැඳින්වූවා නම් මේ අවුල සිදු නොවේ. ඒ නම ඔවුන් ගේ නියම රාජකාරිය සෑහෙන්න හොඳින් විස්තර කරයි. අවශ්‍ය නම් කාකි කමිස කලිසම් යුනිෆෝම් එකක් ද දිය හැක.

කතන්දර කාරයා

kathandara@gmail.com

Monday 14 September 2009

ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද?


මං පහුගිය දවසක කම්මැලි කමටත් එක්ක පැය ගානක් තිස්සෙ බ්ලොග් කියවීමේ මැරතන් එකක් දැම්ම. කාගෙද කියල මතක නෑ හරියටම, ඒත් එක බ්ලොග් එකක තිබිල දැක්ක අපූරු සටහනක්. බ්ලොග් ලියල තිබුනෙ කුප්පියාවත්ත පැත්තෙ ඉස්කෝලෙක ආදි ශිෂ්‍යයෙක්.

මේ බ්ලොග් සටහනේ තිබුණ විදියට අපේ කතා නායකයා ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙක්. ඒ තනතුරට පත්වෙන දවස ගැන ලියපු වචන අතරෙ තිබුන මෙතෙන්දි කොච්චර පහරදීම් වලට ලක් වුනාද කියනව නං, ගෙදර යන කොට බස් එකේ සීට් තිබුනත් වාඩි වෙන්නෙ නෑ කියල. රිදෙන නිසා. මෙතන රැග් එකක් තිබුන බවයි හොඳට තේරුණේ කතාව කියවන කොට.

මේක දැක්කහම මට හිතුන පොඩි කතන්දර කීපයක් ලියන්න. රැග් ගැන නෙමේ. ශිෂ්‍ය නායකයො ගැන.

ඔන්න මං දහයෙ පන්තියට අළුත් ඉස්කෝලෙකට ගිය දවස් වල ම එකට කෝච්චියෙ ආව ගිය පොරක් ව අඳුන ගත්ත. අල්ලපු පන්තියෙයි හිටියෙ. පොර හොදට ඉගෙනීමට උනන්දුවක් තිබුන කොල්ලෙක්. අපි ඒ ලෙවල් කරන්න පටන් ගත්ත කාලෙ එකට ටියුෂන් වලටත් ගියා. කෝච්චියෙදි යන එන කොට, ඉරිද උදේ ටියුෂන් එකේ දි හෙම හොද හිතවත් කමෙන් හිටියෙ.

ඔන්න ටික කාලෙකින්, මං දන්නෙත් නෑ කොහෙමද කියල, මූ එක පාරටම ශිෂ්‍ය නායකයෙක් වුනා. එදා ඉඳල පොර ඉස්කෝලෙ ආපු වෙලේ ඉඳල ප්‍රිෆෙක්ට් රූම් එකට වෙලා කාලෙ මැරුව මිසක් ඉගෙනීමෙ වැඩ කරනව දැක්කෙත් නෑ. ඉතාමත් ම ඉක්මණින් මා එක්ක කතා බහ නැතිවෙලා, විභාගෙ දවස්වෙන කොට දෙන්න අඳුනන්නෙත් නැති ගානට උනා.

විභාග ප්‍රතිඵල මොනව වුනත්, පස්සෙ මට ආරංචි උනා, පොර ටුබැකෝ එකේ ජොබ් එකකට ගිය බව.

මට නං හොඳට පැහැදිලි කාරණයක් තමයි, අපි මේ කට්ටියට පන්ති නායකයො, ශිෂ්‍ය නායකයො කියල කිව්වට, ඒ අය අති බහුතරයක් ඉස්කෝලෙ ගුරුවරුන් ගෙ, ප්‍රින්සිපල් ගෙ අන්තේවාසිකයො මිස කවදාවත් පන්තිය ට හරි ශිෂ්‍යයින් ට හරි නායකත්වය දෙන අය නෙමේය කියන එක. කොහොමටත් නායකත්වයට පත්වෙන්නෙ ශිෂ්‍යයින් ගෙ කැමැත්ත හින්දයැ, ගුරුවරුන් ගෙ අවශ්‍යතාවය මතනෙ?

නායකයො කියල ශිෂ්‍ය නායකයො ඉස්කෝලෙදී කරන වැඩ ගැන හිතල බැළුවොත් පොලිස් කාරයින් ගෙ වැඩ, සෙකුරිටි ගාඩ් ල ගෙ වැඩ, චර පුරුෂ වැඩ මිස වෙනත් කරන දෙයක් තියෙනවයැ.

හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරල බැළුවහම, රටේ මහජනතාවගෙ ඡන්දයෙන් පත්වෙන නායකයොත්, වැඩි හරියක් කරන්නෙ නායකත්වයට සරිලන වැඩ නෙමේ නෙ. ඒ අතින් බැළුවහම ශිෂ්‍ය නායකයො කියන්නෙ ජාතික ලයිස්තුවෙ පත් කල මන්තිරිල වගෙ කට්ටියක්.

මේ කතන්දරේ අවසාන කරන්න කියන්නං මීට අවුරුදු දෙක තුනකට කලින් හාමුදුරු කෙනෙක් කියල තිබුණු මරු කතාවක්.

ලංකාවෙ ඉන්නෙ "ලොක්කො" මිසක "නායකයො" නෙමේ!

කතන්දර කාරයා

පරණ කතන්දර කියවන්නඃ http://kathandara.blogspot.com

මට ලියන්න: kathandara@gmail.com

Friday 11 September 2009

මාස දෙකයි! - වැඩේ "පබා" වෙයි ද?

දැං කතන්දර කාරයා මේ කතන්දර බ්ලොග් එක පටන් අරං මාස දෙකක් වෙනව. මේ කාලෙ ඇතුලත බ්ලොග් ලියන, පබ්ලිෂ් කරන, කමෙන්ට් මොඩරේට් කරන, ඊ-මේල් වලට උත්තර බඳින යනාදී මෙකී නොකී වැඩ වලට ජීවිතෙන් සෑහෙන්න කාලයක් ගෙවුනු බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ.

මෙතෙන්දි වැදගත් වෙන සත්‍යයක් තමා, බ්ලොග් එක පටන් ගත්ත කියල ජීවිතේ ට අමුතුවෙන් කාලය එක් උනේ නෑ කියන එක. බ්ලොග් කෙරුවාවට ගතවුනු කාලය වෙනද කරපු වෙනත් වැඩ අඩු කරල තමයි හොයාගත්තෙ. වැඩියෙන් ම පාඩු උනේ මගේ පොත් කියවීමේ විනෝදාංශය ට යි.

ඒ මොනව වුනත්, ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එකෙන් ලැබුනු රිටන්ස් ගැන නං ලොකු සතුටක් දැනෙනව. හිට් කවුන්ට් එක හොඳයි, ෆලෝවර්ස් ල ගොඩයි. කමෙන්ට්ස් සහ ඊ-මේල් හෝ ගාල. ඒ සේරටමත් වැඩිය මගෙ කතන්දර දැන් සන්නස පත්තරේ කොලමක් විදියට යන එකයි, කතන්දර වලට ආසා කළ මී මැස්සී සහ තුන්වැන්නී දෙන්නාත් බ්ලොග් කාරියෝ වීමයි සිහිපත් කළ යුතුමයි.

මට තියෙන එකම ප්‍රශ්ණය මෙන්න මේකයි.

බ්ලොග් ලියන එක හරිම ඇඩික්ටිව්. නිදාගන්න යන කොටත්, නින්දෙන් නැගිටින කොටත්, තේ බොන කොටත්, නාන කොටත්, කන කොටත්, ගමන් බිමන් යන කොටත්, ටෙලිවිෂන් බලන කොටත් හැම තිස්සෙම මතක් වෙන්නෙ බ්ලොග් ලිවිල්ල ගැනයි.

ඉතිං, "වැඩේ පබා වෙයිද?" කියන එකයි ප්‍රශ්ණෙ.

"වැඩේ පබා වෙනව" කියන්නෙ මගෙ හිතට ආපු අළුත් කෑල්ලක්. ඒකෙ අදහස නම් අර "පබා" කියන ටෙලි නාට්‍යය වගේ සතිය පුරා, දිගින් දිගටම, කතන්දර ගොත ගොත ඉන්න ගිහින් අන්තිමේදි කතා නීරස වෙලා කතන්දර බ්ලොග් එක අල වෙලා යයි ද කියන එකයි.

මේ සංසිද්ධිය විස්තර කරන්න මං දාපු වාක්‍ය ඛණ්ඩය තමා තමා "වැඩේ පබා වෙනව" කියන එක. මේ අළුත් chatch-phrase එක අල්ලල යයි කියල මං හිතනව.

මේකත් කියන්නම ඕනැ මේ කතන්දරේ ඉවර කරන්න ඉස්සර.

මගෙ නෑයො දහ දෙනෙක් ගත්තොත් නම දෙනෙක් ම "පබා" ටෙලිය බලනව. මගෙ යාළුවො දහ දෙනෙක් ගත්තොත් හය දෙනෙක් විතර "පබා" ටෙලිය බලනව.

මං නං මීට මාස දහයකට විතර කලින් වැරදිලා වගේ විනාඩියක් දෙකක් බැලුන වෙලෙන් පස්සෙ තාමත් මං නිකමට වත් "පබා" ටෙලිය බලල නෑ.

මට මැවිල පේනව, මේ බ්ලොග් පෝස්ට් එක කියවන "පබා බලන බබා ල" ගෙ මූණු මැලවෙලා යන විදිහ.

"වැඩේ පබා වෙන්න" පටන් අරගෙන වගේ දැන්මම! හා! හා!! හා!!!

කතන්දර කාරයා

මට ලියනවා නම්: kathandara@gmail.com
පරණ කතන්දර බලන්නඃ
ජූලි මාසෙ කතන්දර
අගෝස්තු මාසෙ කතන්දර
සැප්තැම්බර් මාසෙ කතන්දර

Wednesday 9 September 2009

අක්කිගෙ නුවණ - සුනේත්‍රා හෙවත් අවිචාර සමය


උසස් පෙල විභාගෙ කළා ට පස්සෙ මට කාලයක් ඉබාගාතෙ හැසිරෙමින් ඔහේ වාත වෙවී ඉන්න වුනු කාලයක් ආව. මේ දවස් වල දි මගේ පිහිට ට ආවේ ගම්සභා පුස්තකාලය යි.

පරණ පුරුද්දට ගම් සභාව කියල කිව්වට මේක ප්‍රාදේශීය සභාව. ඉතිං, පුස්තකාලෙ තියෙන්නෙත් අපේ ගමේ නෙමේ. හැතැප්ම දෙක හමාරක් විතර දුරින් තියෙන පුංචි ටවුමේ.

මාසයක් දෙකක් විතර කාලයක් මං ඒ පුංචි පුස්තකාලෙ පදිංචි වෙලා වගෙයි හිටියෙ. උදේ අට වෙන කොට එක්කො බස් එකේ නැත්තං සයිකලේ නැගිල යනව. දවල්ට කන්න ගෙදර එනව. කාපු ගමං ආයෙ ගිහින් හවස හයට විතර තමයි ඊළඟට ගෙදර එන්නෙ. ඔය අතරතුර කලේ උදේම දවසෙ පත්තර ටික බලනවා. ඊට පස්සෙ පොත් එකක් පස්සෙ එකක් බලනවා.

කාලෙන් කාලෙට එක එක අය පුස්තකාලය බාරව සේවය කරමින් හිටිය මට මතකයි. මේ කියන කාලෙ හිටියෙ මට වැඩිය ඔන්නම් අවුරුදු දෙක තුනක් විතර වයස කෙල්ලෙක්. පුස්තකාල සේවය ගැන ඉගෙන ගත්තු කෙනෙක් වගේ කියල නම් පෙනුනෙ නෑ. කවුරු හරි ගම්සභාවෙ ජොබ් එකට දාපු කෙනෙක් කියලයි මං හිතන්නෙ.

ඔන්න එක දවසක් මට පුස්තකාලෙ යන්න බැරි උනා එදා ආපහු ඉස්කෝලෙට ද කොහෙද ගිය හින්ද. පහුවදා උදේම ආපහු පුස්තකාලෙට ගිය ගමං මං බලන්න හැදුවේ ඊට කලින් දා පත්තර ටික. කවදාකවත් නැති විදියට වෙනද පරණ පත්තර තියෙන තැන හිස්ම හිස්.

ඊයෙ පත්තර ආවෙ නැද්ද? මං පුස්තකාලාධිපති නෝන ගෙන් ඇහැව්ව. මට ඕනැ ඊයෙ පත්තර ටික බලන්න.

අපි අළුතින් තීරණය කළා මාසයක් පරණ පත්තර අයින් කරන්න. මං පරණ පත්තර සේරම අරං ඉස්ටෝරුවට දාලයි තියෙන්නෙ එයා කිව්ව.

පරණ පත්තර නෙමේ මං හොයන්නෙ ඊයෙ එක.

ඉතිං අද ජූනි පලවෙනිද නෙ. මං ගිය මාසෙ පත්තර සේරම අයිං කලා!

කොහොමද අපේ පුස්තකාලාධිපතිතුමිය ගෙ නුවණ?

වදෙන් පොරෙන් කැමති කරවගෙන ඉස්ටෝරු කාමරේ ඇරල බැලින්නම් ඊයෙ පත්තරයි, අනිත් පත්තරයි කියල වෙනසක් නෑ සේරම එක ගොඩේ. පැය කාලක් විතර ගියා පත්තර ටික හොයා ගන්න.

මේ, ඒ නෝන ගැන ම තවත් හොඳ කතාවක්.

ඔන්න දවසක් මං උදෙන්ම පුස්තකාලෙට යන කොට එතන මහ ජරමරයක්. කබඩ් දෙක තුනේ තිබුණු පොත් සේරම මේස උඩ ගොඩ ගහලා. එදා ස්ටොක් ටේකිං. ඒ කියන්නෙ වාර්ෂික තොග ගණං බැලීමේ දිනය.

අද අපි ස්ටොක් ගන්නවා. පොත් බලන්නවත්, ගෙනියන්නවත් බැහැ පුස්තකාලාධිපතිතුමිය මට කිව්වා.

අඩු වශයෙන් පත්තර ටිකවත් බලන්න පුළුවනි නෙ කියල මං එතන රැඳුණා.

එදා පුස්තකාලාධිපතිතුමිය ගෙ සහයට නංගි කෙනෙකුත් ඇවිත්.

අපි මේ පොත් සේරම එක එක විෂයයන් වලට වෙන් කරන්න ඕනැ නංගී. ඊට පස්සෙයි ගණං කරන්නෙ.

ඒ කියන්නෙ අක්කේ?

ඒ කියන්නෙ, නවකතා, කෙටිකතා, කවි, පරිවර්තන, ඉතිහාසය, විද්‍යාව අන්න ඒ වගේ.

ඔන්න දෙන්න එකතුවෙලා වැඩේ පටන් ගත්ත. පුස්තකාලාධිපතිතුමිය ටක් ටක් ගාල වැඩේ කරගෙන යනවා. ඒත් සහයට ඉන්න පොඩි නංගිට පොඩි පොඩි ප්‍රශ්ණ.

අක්කෙ මේ පොත කොයි ගොඩට ද දාන්නෙ.

කෝ බලන්න පොතේ නම. ආ සුනේත්‍රා නේද? දාන්න ඕක ඉතිහාසය ගොඩට.

නංගි ට හරිම පුදුමයි.

අනේ අක්ක හින්ද හොඳයි. මේ සේරම පොත් ගැන දන්නවා. මට නම් හිතාගන්නවත් බැහැ.

මං මෙතන ඉන්න ගමං හුඟක් පොත් කියවනවනෙ, නංගී! එතුමිය කිව්වෙ පුංචි ආඩම්බර හිනාවකුත් එක්කයි.

ඉතිං එදායින් පස්සෙ ඩබ්ලිව්.ඒ. ද සිල්වා ලියපු සුනේත්‍රා හෙවත් අවිචාර සමය නවකතාව හමු වුනේ ඉතිහාස පොත් තියෙන තට්ටුව බලපු අයට විතරයි.

පත්තර ටික බලල මං පැය භාගයකින් විතර ගෙදර ගියා. ඒක හින්ද අනිත් පොත් තෝරපු හැටි ගැන හරියටම දන්නෙ නෑ. ඒත් සුනේත්‍රා නවකතාව වර්ගීකරණය කළ විදියට ම ගියා නම්:

ඩබ්ලිව්.ඒ. ද සිල්ව ම ලියපු හිඟන කොල්ලා, රදළ පිළිරුව නවකතා තියන්න ඇත්තෙ සමාජ විද්‍යා පොත් එක්ක, ලක්‍ෂ්මී හෙවත් නොනැසෙන රැජින පරිවර්තන ගොඩේ, පියදාස සිරිසේන ගෙ විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය බුද්ධාගම පොත් එක්ක.

මාර්ටින් වික්‍රමසිංහ ගෙ ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශපාලන විද්‍යාව ගොඩේ වෙන්න ඕනැ.

පොලිසියෙ කෂ්ටියත් කලා ය කියන්නෙ එහෙමනෙ ජේ.වී.පී කචල් කාලෙ!

Sunday 6 September 2009

මයි ෆර්ස්ට් ක්‍රෂ් (My first crush) ලව් ලෙටර් කතාවට අතුරු කතාවක්


මං ලිව්ව ලව් ලෙටර් කතන්දරයට ලැබුනෙ පුදුමාකාර ප්‍රතිචාරයක්. වෙබ් එක හරහා ආපු කමෙන්ට් සේරම මං ප්‍රසිද්ධ කලා. මීට අමතරව දන්න හඳුනන කීප දෙනෙකුගෙන් ඊ-මේල් හරහාත් ආව ප්‍රතිචාර.

මේකෙන් වෙච්ච හොඳම දේ තමයි පරණ ලව් කතා පිළිබඳ මතකය ආපහු ඇවිස්සිලා උඩට ඒම. දැන් ඉතිං තවත් ජාල සටහන් දෙක තුනක් ලියන්න වෙනව හිත ආපහු නිවා ගන්න නම්.

අද මං මේ ලියන්න යන්නෙ මගේ මුල්ම ක්‍රෂ් එක ගැනයි.

සිද්ධිය යනව අතීතයට. හතරේ පන්තියට. ඇගේ නම ශානිකා. හරිම අහිංසක සුන්දර ළමයෙක්. සේරටමත් වැඩිය ඇය තමයි මුල් වාරයේ පන්තියෙ පලමුවෙනියා උනේ මාවත් පරද්දලා. (ඒකට නම් හේතුව වෙන එකක්. මෙතෙන් ට අදාල නෑ. වෙනම කතන්දරයකින් කියන්නම්, පස්සෙ වෙලාවක).

මට මේ මගේ ක්‍රෂ් එක ගැන හරියටම තේරුණේ, අපේ පන්තියෙ හිටපු, ජගත් කියල කියමු, වෙන කොල්ලෙක් ශානිකා ගැන උගේ ක්‍රෂ් එකක් තියෙනව කියල මා එක්ක කියපු වෙලෙයි.

ඇත්තටම කියනව නං ශානිකා මාත් එක්ක එක පන්තියෙ හිටිය පලමුවෙනි ශ්‍රේණියේ දිත්. මට ඉස්සරහ පේලියෙයි එයා වාඩි වෙලා හිටියෙ. එක දවසක් චිත්‍ර අඳින වෙලාවෙදි මට හොඳට මතකයි එයා මට කියල දුන්න හිරු බැස යන වෙලාවක මුහුදු වෙරලක් අඳින විදිය. හරි ලේසියි ඒක ඉගෙන ගත්තට පස්සෙ. පිටුව මැදින් ඉරක් ගහනව තිරස් අතට. ඒ ක්‍ෂිතිජය. යට හරියෙ මුහුදු රැලි අඳිනව. ක්‍ෂිතිජය තිරස් ඉරට උඩින් බාගෙට ගිලෙන හිරු අඳිනව. කුරුල්ලො දෙතුන් දෙනෙක් පියාඹනව, නිකං උඩ යට හරවපු ය යනු වගේ. පොල් ගහක් දෙකකුත් අඳිනව ඒ එක්කම.

ඒ සුන්දර මතකයත් එක්කයි අපි නැවතත් හතරෙ පන්තියෙදි එක ට ඉගෙන ගත්තෙ. මේ වෙන පන්ති වල කෙල්ලො කොල්ලො වාඩි උනේ වෙන වෙනම. අපි කතා කලාද, මොනව කතා කලාද කියල මට මතක නෑ. ඒත් මට මතකයි ශානිකා මට කෙලින්ම පෙනෙන තැනක වාඩි වෙලා හිටිය. ඒ කියන්නෙ, මං නිතරම ඒ පැත්ත බලල තියෙනව.

ඉතිං ජගත් ගෙ යි, මගෙයි, ශානිකාගෙයි අප්‍රකාෂිත ත්‍රිකෝණ ප්‍රේමය ක්‍ෂණයකින් නිමා උනා අවුරුද්ද අවසානයත් එක්ක. එයා අපේ ඉස්කෝලෙන් අස් කරගෙන කොලඹ ලොකු ඉස්කෝලෙකට දැම්මයි කියලයි මට ආරංචි වුනේ.

දුකයි තමා. නමුත් එක කරුණක් තිබුණ මට සතුටු වෙන්න. පන්තියෙ පලමු වෙනිය වෙන්න මට පුළුවන් නේ! අපේ වයසෙ හැටියට පන්තියෙ පලමුවෙනිය වෙන එක ලොකු යි, කෙල්ලෙක් ගැන ඇති වෙන ක්‍රෂ් එකකට වඩා!

කතාව මෙතනින් ඉවර නෑ. මීට අවුරුදු පහකට විතර පස්සෙ කාලෙක මං වෙනත් ඉස්කෝලෙක ඉගෙන ගන්න කාලෙ ශානිකා ආපහු ආව ඒ ඉස්කෝලෙට. ඒත්, ඒ වෙනිං පන්තියකටයි. ටික කලකින් මටත් එතනින් වෙන ඉස්කෝලෙකට යන්න උනා.

ඊලඟට මං ශානිකා ව දැක්කෙ කොලඹ මෙඩිකල් ෆැකල්ටියෙ දි යි. එයා පලමු වසරෙ සිසුවියක් ඒ දිනවල.

යකෝ මගෙ කතන්දර වලට සම්බන්ධ මේ කෙල්ලො සේරම අන්තිමට යන්නෙ එතනට නේ! මතකනේ ලව් ලෙටර් කතන්දරේ ගිටිය පබසරා ත් මං අවුරුදු ගාණකට පස්සෙ දැක්කෙ එතෙන්දියි.

මටත් හිතෙනව කවද හරි යන්න මෙඩිකල් ෆැකල්ටියට.

ඒක සුළු දෙයක්!

අවසන් කැමති පත්‍රයෙ ලියන්න ඕනැ, මල කඳ එතෙන් ට දෙන්න කියල.

එච්චරයි!

නැවත හමුවෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/

මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com

Thursday 3 September 2009

ලොකු වෙලා තාත්ත කෙනෙක් වෙන්න ආසයි


මේ කතාව වගේ සිද්ධි නම් හුඟ දෙනෙකු ගේ කතන්දර ලැයිස්තු වල ඇති.

ඉස්සර පොඩි කාලෙ මං හරි කැමතියි අම්මලගෙ මහ ගෙදර යන්න. සීතල පලාතක, කන්දක් පාමුල යි ආච්චිල ගෙ ගෙදර තිබුණෙ. ගෙදර වත්ත දෙපැත්තෙන් හඳයො, තිත්තයො, මගුරො ඉන්න වතුර පාරවල් ගලාගෙන යනව. ගමේ ඉන්න කාලෙ අපිට හරිම ජොලි කාලයක්. ආපහු එන දවසට මට ඇඬෙනව.

අපි හිටියෙත් ගමක. තාත්තගෙ ගමේ. ඒත් එච්චර ජොලියක් නෑනෙ ගෙදර ඉන්න එක.

මේ වගෙ එක දවසක, අපි අම්මගේ ගමට ගිය වෙලේ අපේ පුංචි අම්ම, ඒ කියන්නෙ අම්මගෙ නංගි, මල්ලියිගෙනුයි මගෙනුයි ඇහැව්ව පොඩි ප්‍රශ්ණයක්.

පුතා ල ලොකු වෙලා කවුරු වෙන්නද හිතා ගෙන ඉන්නේ?

මේක මං හිතන්නෙ කොයි ළමයගෙනුත් පොඩි කාලෙ කවුරු කවුරුත් අහන පොදු ප්‍රශ්ණයක්. මේ කාලෙ වෙනකොට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. මං පාසැල් යනවා. මල්ලි ගෙ වයස හතරක් විතර ඇති.

හැබැයි, මට මතක හැටියට වෙන කවුරුත් මේ ප්‍රශ්ණය අපෙන් මීට කලින් අහල තිබුණෙ නෑ.

මට ප්‍රශ්ණෙ තේරුණත් උත්තරේට මොනව කියන්නද කියල මට වැටහීමක් තිබුණෙ නෑ. මේක තේරිලා ද කොහෙද පුංචි අම්ම මගෙ කටට දුන්න උත්තරයක්.

ඔයා කැමති දොස්තර කෙනෙක් වෙන්නද? නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්නද?

ඔන්න මට වැඩේ ටිකක් තේරුණා.

දොස්තර කෙනෙකුට ද, ඉංජිනේරුවෙකුට ද පඩි වැඩි? මං ඇහැව්ව.

ඉංජිනේරුවෙකුට කියල ආව උත්තරේ.

එහෙනං මං ඉන්ජිනේරුවෙක් වෙනව මං කෙලින් ම කිව්ව.

එදා ඉඳල තවමත් මං ඒ සිහිනය හැබෑවෙන කං බලාගෙන ඉන්නව. අවුරුදු දා හතරක් ඉස්කෝලෙ ගමනටයි, තව අවුරුදු ගණනාවක් එක එක තිප්පොලවල් වලයි ලැග්ගට ඒක නිකං මිරිඟුවක් විතරයි.

මල්ලි ට තිබුන මට වඩා මොලේ.

මං තාත්ත කෙනෙක් වෙනව. ඌ කෙලින් ම කිව්ව.

ඒ ජොබ් එක නං අමාරුවෙන් හරි අල්ල ගත්න පුළුවන් එකක්.

පසු සටහනඃ

අවුරුදු දා හතරක් ඉස්කෝලෙ ගියා කිව්වෙ වැරදීමක් වෙලාවත්, මං ඉස්කෝලෙදි විභාග වලින් ෆේල් වෙලාවත් නෙමේ.

ඉස්කොලේ පන්ති තියෙන්නෙ එකේ ඉඳල දොලහට විතරක් උනත්, අපි දන්නෙම නැතුව තව අවුරුද දෙකක් නිරපරාදෙ නාස්ති වෙනව නේද.

තේරුණේ නැද්ද? කවදද ඕ ලෙවල් කලේ? කවදද ඒ ලෙවල් කලේ? වෙනස අවුරුදු තුනක් විතර නේද? කවදද ඒ ලෙවල් ප්‍රතිපල ඇවිල්ල, ඒ ප්‍රතිපල අනුව ඇප්ලිකේක්‍ෂන් දාල මොනව හරි තෘතියික මට්ටමේ කෝස් එකක් කරන්න යන්න පුළුවන් උනේ?

අවුරුදු දෙකක් දන්නෙම නැතුව බ්ලාස් ගිහින් නේද?