
ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා ගත්තු කාර් එකෙන් මං සේවය ගන්න කලින්, මට කාර් එකට සේවය කරන්නයි වුනේ. නමුත් සේරම අවසානයේ රතු පාට කාර් එකේ පස්ස සීට් එකේ තියන් පුංචි රෝස පාට දූ පැටියෙක් හොස්පිටිතාලෙන් ගෙදර ගෙනා හැටි නම් මට කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඉන් පස්සේ නං ස්පීඩ් කරලා අහුවෙලා උසාවි ගිහින් වෙච්ච රස්තියාදුවෙන් පස්සේ බොරු කියන්නත්, දඩ කන්නත්, ලොක්-අප් එකේ වැටෙන්නත් වුණා!
පස්සෙන් පහු, ගෙදර දොරේ සාමාන්‍ය වැඩවලට හෙමත්, ඒ කියන්නේ නුගේගොඩ ගිහින් එළවලු බඩු මුට්ටු ගේන්න, දෙමව්පියන් බලන්න යන්න, මේ රතු කොරොල්ලා කාරෙක අපි පාවිච්චි කළ බව කියන්න ඕනෑ.
වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!
ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.
කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.
වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.
අනික බස් එකේ යනකොට පොතක් පත්තරයක් බලන්නත් ඇහැකියි නේ!
නමුත් මං පස්සේ පුරුදු වුණා මෙන්න මෙහෙම කරන්න. ඔන්න මායි, හාමිනේයි දෙන්නා කාර් කට්ටේ ගෙදරින් පිටත් වෙනවා. මං හාමිනේ ගේ වැඩපොලේ කාර් එක දාලා, එතනින් බස් එකක එල්ලිලා මගේ වැඩපොලට යනවා.
හවස බස් එකේ ඇවිත් හාමිනේ ගේ වැඩපොලෙන් කාර් එක අරං ගෙදර එනවා. ඒ වෙන කොට හාමිනේ නං වැඩ ඇරිලා බස් එකේම ගෙදර ගොහින්.
කොහොම වුනත් ඔය පෙට්‍රල් සීන් එක හින්දා මට ඒ දවස්වල හිතිලා තිබුනේ මේ ටොයොටා එකට වඩා පුංචි කාර් එකක් ගත්ත නං හොඳයි නේද කියලා.
මගේ යාළුවෙකුට තිබුණා ඩයිහට්සු චැරේඩ් එකක්. ඒකේ පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් පාලහක් තරමට හොඳට වැඩ කරනවා කියලයි පොර කිව්වේ. නිසාන් මාච්, ටොයොටා ස්ටාලට්, හොන්ඩා සිටි වගේ ඒවගේත් ඇන්ජින් පොඩි නිසා, පෙට්‍රල් හොඳට වැඩ කරනවාය කියලයි කාගෙ කාගෙත් අදහස වුනේ.
කරුණු එලෙස නිසා, මං ඉරිද දවස්වලට අල්ලපු ගෙදර අංකල්ගෙන් ඔබ්සර්වර් එක බලන කොට ඔය කියන මොඩල්වල වාහන ගැන ඇහැ ගහගෙන තමයි හිටියේ.
නමුත් එක ප්‍රශ්ණයක් තිබුණා.
ඉස්සෙල්ලා මේ රතු කොරොල්ලා කාරෙක විකුණන්න ඕනෑ. ඒ සල්ලි වලින් තමයි මීට වඩා පෙට්‍රල් වැඩ කරන කාරෙකක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉතිං ඒකට සති ගාණක් යාවි. කොරොල්ලා එක හොයාගන්නත් මාසයක් විතර ගියා නේ.
ඉතිං, මේක විකුණලා වෙන කාර් එකක් ගන්නවා කියන්නේ මාසයක් විතර නෝ-කාර් කොම්පැණියේ තමයි පදින්න වෙන්නේ! අනික කාර් එකක් නැතුව, තව කාර් එකක් හොයාගන්න එහෙ මෙහෙ දුවන එකත් ලේසි වැඩක් නෙමේ.
මේකත් හරියට "විෂම චක්‍රයක්" වගේ එකක් හිතලා බලන කොට.
ඉතිං ඔය කාරණය හින්දාම මං වැඩේ පොඩ්ඩක් බැක්බර්නර් එකට දාලා, දැහැමෙන් සෙමෙන්, අරපිරිමැස්මෙන් කටයුතු කරගෙන යන්න පටන්ගත්තා.
-කතන්දරකාරයා
ප/ලි:
ඔහොම කාලයක් ගියාට පස්සේ තමයි මට නුගේගොඩ සුපර් මාකට් එක ලඟදී මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!
(image: http://www.countrycars.com.au/centralvictoria/car-dealer/EPSOM)





