Sunday 7 August 2011

සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක් :: KK chats with Somaratna Dissanayake


සෝමරත්න දිසානායක අද අප කවුරුත් හඳුනන්නේ ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු ලෙසිනි. ඒ සමගම රාජපාක්‍ෂිකයෙකු ලෙසිනි. සරෝජා, පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහු ගේ නවතම නිර්මාණය වූයේ බිංදු නම් වූ ළමා චිත්‍රපටයයි.

පසුගිය වසරේ අග භාගයේ දිනක කතන්දරකාරයා ගේ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට සෝමරත්න දිසානායක දුන් පිළිතුරු ඇසුරින් වැඩි සංස්කරනයකින් තොරව මේ ලිපිය සැකසේ.


කතන්දරකාරයා-මුලින්ම අහන්න ඕනෑ, සෝමා කියලා කතා කළාට කමක් නැද්ද කියලා?

සෝමා-එහෙම තමයි මට කතා කරන්න ඕනෑ, වෙන විදියකට කතා කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

කතන්දරකාරයා- හොඳයි සෝමා, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ආ ඔබ සිනමාවට පිවිසියේ සරෝජා නිර්මාණය තුළින්. මා ඔබ සමග මුලින්ම කතා කළේ සරෝජා චිත්‍රපටියේ විශේෂ දර්ශනයකදී එහි විවේක කාලයේදී යි. එදා ඔබ මගෙන් ඇහුවා මල්ලී මොකද හිතේනේ චිත්‍රපටිය ගැන? කියලා. මම ඔබ සමග කතා කරන්න පටන් ගත්තේ චිත්‍රපටියේ මුල් කොටස බලා ඒ කඳුළු අතරින්. ඒ තරමට මගේ හිතට වැදුණු චිත්‍රපටියක් සරෝජා.

මට හිතෙන විදියට, සරෝජා කියන්නේ ඒ දිනවල, මීට වසර දොළහකට පෙර, ලංකාවේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නය දෙස මානුෂික ඇසකින් බලා ඒ පිළිබද අපේ අවධානය යොමු කළ, සමාජ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්කමක් තිබූ චිත්‍රපටියක්.

ඒත් එදා ඔබට සමහරුන් චෝදනා කළා ඔබ සරෝජා චිත්‍රපටිය තුළින් කොටින්ට උඩ ගෙඩි දෙනවාය කියා.

මේ පිළිබද අද වසර දශකයකට පමණ පසු ඔබ හැරී බලන්නේ කොයි ආකාරයටද?

සෝමා- සරෝජා චිත්‍රපටිය ගැන මට ඇත්තටම කියන්න තියෙන්නේ මේකයි. ලංකාවේ සාමකාමීව සමගියෙන් ජීවත්වෙන සිංහල සහ දෙමළ බුද්ධිමත් මිනිසුන් අතර සිටි එක්තරා අන්තවාදී දේශපාලනයක් මතයක් දරණ පිරිසක් විසින් ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස වැරදියට හැඳින්වුණත් ලංකාවේ තිබුණේ ඇත්තටම ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ප්‍රභාකරන් සහ ඔහුට උඩගෙඩි දුන් ඔහුගේ උල්පන්දංකාරයෝ විසින් ලංකාවේ සිටින සිංහල සහ දෙමළ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැහැ, මේ හතුරු ජාතින් දෙකක් යැයි කියා පතුරවපු ඒ මතය නිවරද කිරීම අවශ්‍ය වුණා.

ස්වාධීන මත දරණ, රටට ආදරය කරණ, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම, සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් කියන සකල ශ්‍රී ලාංකිකයින්ටම ආදරය කරණ, ස්වාධීන කලාකරුවන් ලෙස අපේ යුතුකමක් මේ ප්‍රශ්නය ටිකක් නිරවුල් කරලා, මේ ගැන හිතන්න මිනිස්සුන්ව යොමු කරන එක. සරෝජා චිත්‍රපටියෙන් මම කළේ ඒකයි.

මම මගේ නිර්මාණය තුළින් මිනිස්සුන්ව හිතන්න පෙලඹෙව්වා, ඇයි? මොකක්ද මේ වෙනස? මනුස්සකම කියන එක මේ දෙගොල්ලෝ අතරේම පොදු දෙයක් නේද? කියා

මං හිතුවා ඒ පණිවිඩය වැඩිහිටි වචනවලින් කියනවාට වැඩිය, පුංචි ළමයින් ගේ, ඒ ළමාවියේ චමත්කාරය තුළින් කියපුවාම ඒකේ තියෙන සංවේදීතාවය වැඩියි කියා.

ආපහු හැරිල බලන කොට කතන්දරකාරයා මම එදා ප්‍රාර්ථනා කරපු දෙය, එනම් සිංහල දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය කවදා හෝ නිමාවට පත්වෙලා සිංහල දෙමළ මිනිසුන් සමගියෙන් ජීවත්වෙන දවසක් උදාවේවා කියන දේ, එය අද සඵල වෙලා තියෙනවා.

එක්තරා විදියකට මට පුංචි ආඩම්බරයක් තියෙනවා කතන්දරකාරයා. මගේ චිත්‍රපටිය තුළිනුත්, ඉන් පිට මා පැවැත්වූ විවිධ දේශනවලදී සහ විවිධ කථාබහේදී මා මේ පණිවිඩය ගෙන ගියා. අප ලැබූ සාමයේ එක්තරා දායක්වයක් මටත් තියෙනවා කියලා මට අද හිතෙනවා.

කතන්දරකාරයා- මෙතෙනදී අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද? සරෝජා තුළින් ඔබ අදහස් කළ දේ එසේ වුණත්, ඔබට චෝදනා කළ අය කීවේ, ඒ චිත්‍රපටියේ දී ත්‍රස්තවාදියෙක් වූ සරෝජා ගේ පියා ගේ සමාජමය ප්‍රශ්න සහ සංවේදී මානුෂික පැත්ත පෙන්වීම තුළින් ත්‍රස්තවාදයට අනුබලදීමක් වෙනවා ය කියායි. ඒ ඔවුන් ගේ වැරදි වැටහීමද, නැත්තම් ඔබේ පණිවිඩය ඔවුන් අතරට හරියට ගියේ නැද්ද?

සෝමා- මං හිතන්නේ මෙහෙමයි. ඔය අන්තවාදීන් කියන අය ඉන්නේ දෙමළ ත්‍රස්තවාදීන් අතර පමණක් නෙමෙයි. සිංහල ජාතිකයින් අතරත් ඉන්නවා. ලංකාව මහා ජාතියවෙන සිංහලුන්ට මිස දෙමළ අයට අයිතියක් නෑ කියලා හිතන අයත් ඉන්නවා. ඔවුන් වැරදියි.

ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදීන් වගේම, ලංකාව සිංහලයින්ට පමණක් අයියතිය කියල හිතන අයත් මං හදුන්වන්නේ ජාතී විරෝධීන් හැටියටයි.

කවුරු හෝ කෙනෙක් ලංකාවේ ඉපදුනා නම් ඔවුන්ට අපේ රටේ අයිතිය තියෙනවා. මං සරෝජා චිත්‍රපටියේ කතා කරන්නේ ඒ මධ්‍යස්ථ මතයේ ඉඳගෙනයි. ලාංකික පුරවැසියන් සියලුම දෙනාට ලංකාව අයිතියි.ඒක මේ ඇණ කොටගෙන, වැටවල් ගහගෙන, බෙදා වෙන් කරගෙන ජීවත්වෙන්න නෙමේ, තියෙන දේ බෙදා හදාගෙන සතුටින් සාමයෙන් ජීවත්විය යුතුය කියන මතයේයි මං ඉන්නේ.

මගේ මතයේ නැති සිංහල ජාතිකයෝත් ඉන්නවා. ඔය චිත්‍රපටියේ එන සුන්දරම් ගේ චරිතය ගන්න. එයා කොටි සංවිධානයට බලෙන් වගේ බඳවා ගත්තු කෙනෙක්. ඔහු අසරණ වෙලා ඉන්න කොට සිංහල පවුලක් එයාව බලාගන්නවා. එතකොට අන්තවාදී සිංහලයන් කියනවා ඇයි මේ කොටි ආරක්‍ෂා කරන්නේ කියලා.

මම එතන බලන්නේ සුන්දරම් කොටියෙක් හැටියට නෙමේ මනුෂ්‍යයෙක් හැටියටයි. ඔහුගේ පුංචි දියණිය අපේ දුවෙක් විදියටයි මං දකින්නේ. ඒක තමයි මගේ පණිවිඩය. සමහර අයට මේ පණිවිඩය දිරවන්නේ නෑ. ඒ පටු විදියට හිතන අය එදා මාව සහ මගේ සරෝජා චිත්‍රපටිය ඔය කතන්දරකාරයා දැන් කියපු විදියට විවේචනයට ලක් කළා. ඒකට කමක් නෑ. මං ඒකට සූදානමෙන් තමයි චිත්‍රපටිය කළේ. මං දෙපැත්තේම අන්තවාදී මත හෙළා දකින ස්වාධීන පුද්ගලයෙක්.

කතන්දරකාරයා- ඔය කාලයෙන් පස්සේ, යුද්ධය දරුණුව පැවති අවදියේ දී, කවුරුන් හෝ දෙමළ ජනතාව පිළිබඳව වචනයක් හෝ කතා කළා නම් ඔවුන් සිංහල කොටින් ලෙස හැඳින්වෙන ප්‍රවණතාවයක් ආවා. ඒ වචනය එදා සරෝජා චිත්‍රපටිය කාලේ තිබුණා නම් ඔබවත් සිංහල කොටියෙක් ලෙස හැඳින්වෙන්නට ඉඩ තිබුණා කියලයි මට අද හිතෙන්නේ.

සෝමා පසුව හැදු චිත්‍රපටවල, ළමුන් ගැන සහ ඒ තුළින් වෙනත් සමාජ ප්‍රශ්න ගැන කතාකළත්, ලංකාවේ ලොකුම ප්‍රශ්නය වන යුද්ධය ගැන කතා කෙරුණේ නැහැ. ඒකට හේතුවක් වුණාද, එදා සරෝජා චිත්‍රපටියට ලැබුණු සෘණාත්මක විවේචන?

සෝමා- නෑ, කිසිසේත්ම නෑ, ඒවායින් මං කිසිම පසුබෑමකට ලක්වුණේ නෑ, තවත් ධෛර්යමත් වුණා විතරයි. ඇත්තටම කතන්දරකාරයා, සරෝජා චිත්‍රපටියෙන් පස්සේ මං හැදුවේ පුංචි සුරංගනාවී. එයිනුත් මං කතා කළේ සිංහල, දෙමළ මිනිසුන් අතර තියෙන සමගිය පිළිබදවයි.

මානසික පීඩනයකට ලක්වෙලා ඉන්න දරුවක්, දෙමළ දැරියක ගේ සෙනෙහස නිසා නිවරැදි, නීරොගී ළමයෙක් බව පත්වෙන කතාවයි එහි ඇතුළත් වුණේ. එතන තිබුණෙත් මනුස්සකමේ මහිමය.

මා ඒ කථාවේ අවසානයේදී 83 ජූලි කලබලය එයට සම්බන්ධ කළා. එතනදීත් මට සිංහල අන්තවාදීන් කිව්වා ජූලි කලබලය නැවත මතක් කළ එක වැරදියි කියලා. මං කවදාකවත් ඒ ලැබෙන විවේචනවලට බයේ මාතෘකාව වෙනස් කළේ නෑ.

සරෝජා චිත්‍රපටියේ පසු මා පුංචි සුරංගනාවී චිත්‍රපටය තුළින් ඇතැම් පිරිස් වලට පෙරට වඩා රිදෙව්වා වෙන්න පුළුවන්. මොකද, 83 ජුලි කලබලයේදී අපි පිළිගත යුතුයි අපේ අතින් වැරුද්ක් වූ බව. අපේ ඇතැම් සිංහල මිනිසුන් ක්‍රියා කළ විධිය වැරදියි. අමානුෂිකයි. ඒ වන්දිය තමයි අපි ගෙව්වේ අවුරුදු තිහක් පමණ දක්වා. අපට පිළිතුරු දෙන්න වුණා ඒ කරපු අපරාධවලට. ඒ වැරැද්ද අප පිළිගත යුතුයි.

පුංචි සුරංගනාවී චිත්‍රපටියෙන් පසු මා තවදුරටත් ඒ මාතෘකාව ගැන කතා කළේ නෑ. එහෙම කළා නම් මා නිර්මාණකරුවෙක් නොව එකම දෙයක් ගැන කතා කරන වාර්තාකරුවෙක් වෙනවා.

ඒ නිසා ඉන් පසු මම ලංකාවේ පවතින වෙනත් ප්‍රශ්න ගැන, සූරිය අරණින් පරිසරය, ආගම, සතා සීපාවා ගැන, සමනල තටුවලින් වීදි දරුවන් ගැන, සිරි රජ සිරි වලින් රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්නය ගැන, බින්දු චිත්‍රපටියෙන් රටේ තියෙන අලි-මිනිස් ගැටුම පිළිබඳව කතා කළා.

කතන්දරකාරයා- ඔතනින්ම මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක. සමහරු කියනවා, සෝමරත්න මුලින්ම ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙන චිත්‍රපටියක් හැදුවා. අපි කිව්වා සෝමා, ඔය වගේ චිත්‍රපට හදනවා නම් අපි ඔයාගේ චිත්‍රපටි බලන්නේ නෑ කියලා. සෝමරත්න ඒ කතාව අහලා ඔන්න ඊට පස්සේ හදනවා හොඳ චිත්‍රපටි! ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

සෝමා- ඒ අය එහෙම හිතන්න පුළුවන්. නමුත් සත්‍යය තමයි මං මුලින් සඳහන් කළේ. මං වෙනස් වෙලා නෑ. කලාකරුවෙක් ලෙස පසුව රටේ වෙනත් ප්‍රශ්න දෙස බැලුවා පමණයි.

කතන්දරකාරයා- ඒ මතයේම අනිත් පැත්තේ ඉන්න අය කියනවා මෙහෙම. ඔවුන් කියන්නේ සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ තුළින් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?

ඒ ප්‍රශ්නයට සෝමරත්න දිසානායක දුන් උත්තරය සහ "කඩේ යාම" ගැන ප්‍රශ්ණෝත්තර ඊළඟ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් කියවන්න.

http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

-කතන්දරකාරයා

මෙය තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයකි.

මේ ආකාරයේ වෙනත් කතන්දර මෙන්න.

1. ජැක්සන් ඇන්තනි සමග කළ කතා බහ
2. රෝහන බැද්දගේ සමහ පිළිසඳර
3. විජේරත්න වරකාගොඩ ගැන
4. අනුර කුමාර දිසානායක ගෙන් ඇසූ ප්‍රශ්ණය
5. අර්ජුණ රණතුංග ගේ විහිළු කතා

(image: http://www.colombopage.com/)

18 comments:

  1. මයියා ත් ඔය කියන සරෝජා හා පුOචි සම්නලී බලලා තියෙනවා නොවැ...සොමා කොහොම කිව්වත් මයියා ට ත් හිතෙන්නේ සොමා ගේ මුලින් සිටි ස්තාවරයන් පොඩ්ඩක් වෙනස් වෙලා වගේ,,ඒක හොදද නරකද කියලා කියන්න නම් මයියා ට තේරෙන්නේ නෑ..

    එක නෙම..මොකද මේයාට 'සෝමා' කියන්නේ...'සෝමේ' කියලා කිව්වනම් පොඩි පුරුශ ගතියක් ඇගවෙනවනේ...

    ReplyDelete
  2. ආ තව කාරනයක්..

    මෙන්න කලින් අහලා තිබ්බ ලින්ක් එක..ඔන්න නම ගම එලි උනයි කියලා මයියා දෝස් කියන්න එපා..අහපු හිනදයි දෑම්මේ

    http://efacmemories.blogspot.com/2011/05/its-time-reflections-after-25-years.html

    ReplyDelete
  3. මටත් හිතෙන්නෙ සරෝජා කරන කොට හිටිය ස්ථාවරයෙන් මේ අය ඇත් වුනා කියලයි . මොකද අන්තිම යුද්ධෙ පටන් ගත්තට පස්සේ සරෝජා වගේ චිත්‍රපටියක් ආවනම් එන්ජිඕ සල්ලි වලින් හදපු ඊනියා කුමන්ත්‍රණයක් ගනයට තමයි අයිති වෙන්නේ

    ReplyDelete
  4. සරෝජා, පුංචි සුරංගනාවි, සරුංගලේ (සෝමරත්න දිසානායකගෙ නොවේ) හොඳ චිත්‍රපටි. ඒත් ඒවායෙන් ප්‍රශ්නය ගැඹුරින් සළකලා බැලුවෙ නැහැ කියන එකයි මගේ මතය. සිනමා කරුවෙක් හැටියට ඔවුන් මානුෂික පැත්ත හොඳට පෙන්නුම් කළා. ඒත් මිනිසුන්ගෙ හිත්වල තියෙන මහ ජාතිය කියන හැඟීමයි මූලික ප්‍රශ්නෙ. කොටි ප්‍රයෝජනයට ගත්තෙ සිංහල මිනිස්සුන්ගෙ ඒ හැඟීම. ඒක උඩ කොටි සකළ විධ අපරාධයන්ම කළා. කොටින්ට සමාවක් දිය යුතු නෑ.ඒත් නැවතත් එවැනි තත්වයක් තව අවුරුදු ගණනකදි එන්න පුළුවන් අපි අපේ මතවාදයන් නිවැරදි කරගත්තෙ නැත්තම්. කොටි ප්‍රශ්නය වගේම තවත් ප්‍රශ්න එන ප්‍රවණතාවක් මම දකිනවා සමහර බ්ලොග් අඩවි වල තියන දේවල් දැකපුවහම. මේවා ගැන වෙනම කතා කරන්න වෙනවා.
    හැබැයි ඉතින් කඩේ යාම වෙනමම කාරණාවක්. ඒක නිර්මාණකරණයට සම්බන්ධ වෙනවා, බිලී බාන්නාගේ දක්ෂතාවය නිසා.(බිලී බාන්නා දක්ෂ නිර්මාණකරුවන් ඉතා දක්ෂ ලෙස බිලී බාගන්නා බව පැහැදිළිව පෙනී යන කාරණයක්.)
    -ට්‍රැපික්

    ReplyDelete
  5. මිනිසුන්ට මොන මොන දේවල් කියන්න බැරිද. මේකේ තියන විස්තර අනුවනම් මම මේ මතයට එකග වෙනවා. සිංහල වේවා, දෙමල වේවා, කවුරු උනත් මිනිස්සු. මටනම් හිතෙන්නේ දෙමල මිනිස්සුන්ට වඩා දහස වාරයක් බහුතරයක් සිංහල අපි අන්තවාදීන් කියල.

    ReplyDelete
  6. හැම ත්‍රස්තවාදියෙක් ඇතුලතම සංවේදී මනුස්සයෙක් ඉන්නවා. හැබැයි ඒ සංවේදිකම තියෙන්නේ තම පවුලේ සාමාජිකයන්ට විතරයි. ප්‍රභාකරන් වුනත් එහෙමයි. එහෙම බැලුවොත් පූර්ණව ත්‍රස්තවාදියෙක් වුන මනුස්සයෙක් නැහැ.

    ඒ වගේම හැම මනුස්සයෙක් තුලම කොයි වෙලාවක හරි ත්‍රස්තවාදියෙක් උපදිනවා. ටික වෙලාවකට වුනත් අනුන්ව ත්‍රස්ත කරන්නෙ ඒකනේ...

    සංවේදිම සංවේදි මිනිස්සු විතරක් මේ ලෝකෙ හිටියනම් ලෝකයට පැවැත්මක් නැහැ.(දැන් ඉතින් කියන්න එපා ත්‍රස්තවාදීන් ඕනි කීවා කියලා )

    බලන් ගියහම දේශපාලඥයොත් එක්තරා විදිහක ත්‍රස්ත කණ්ඩායමක් තමයි. මොන වෙලාවේ මොන දේ කරාවිද ,කවුද දන්නේ?

    ReplyDelete
  7. මේක හැබෑවටම සිද්ද වුනු සාකච්චාවක්ද?
    උත්තරේ ඔව් නම් . . ..
    සෝමා එදා කතා කලේ කටින්ද . . .අද කතා කරන්නේ කටින්ද කියලා ලොකු පුරස්නයක් මට තියෙනවා . ..

    ReplyDelete
  8. @ මයියා
    නම සෝමරත්න, කෙටියෙන් ඉංගිරිසියෙන් කියලා ලිව්වාම කියවෙන්නේ සෝමා කියල තමයි. සෝම ට හොඳ නං අපිට මොටෝ?

    ReplyDelete
  9. @ මයියා
    ලින්ක් දාලා ඇනෝලා තරහා කරගන්න එපෝ!
    http://kathandara.blogspot.com/2011/08/blog-post_05.html

    ReplyDelete
  10. @ buwa
    නියම කතාව...!!!
    එහෙනං සෝමාත් නිකං හඳයා, විමුක්ති, ප්‍රසන්න ගානට වැටෙන්න ඉඩ තිබුණා නේද?

    ReplyDelete
  11. @ ට්‍රැෆික්
    ඔයා නිකං පොලිටිකල් ඇනිමල් කෙනෙක් වගේ නේ කතා කරන්නේ.
    මොනව වුනත් මං එකඟයි ඒ කතාවට.

    චක්කරේ තමයි නේද?

    කඩේ යෑම නං ජාතික රෝගයක්. ඕක නැත්තේ ට්‍රොස්ට්ස්කයිට් ලා ටික දෙනා අතර විතරයි මගෙ හිතේ.

    ReplyDelete
  12. @ ADK කොලුවා
    පොල් කෙන්ද පේනවා, පොල් පරාලේ පේන්නේ නැති එක එක වරදක්.

    ReplyDelete
  13. @ සොදුරු සිත
    ඔයා ලියලා තියෙන දෙයින් මට තේරුණේ මේකයි.
    හැම සොඳුරු සිතකම නපුරු පැත්තක් තියෙනවා.
    හැම නපුරු සිතකම හොඳ පැත්තක් තියෙනවා.
    හරිද?

    ReplyDelete
  14. @ දුකා
    සබ්බේ සංඛාරා අනිච්ඡා කියන කතාව අහලා නැත්ද?

    ReplyDelete
  15. සෝමරත්නගෙ නිර්මාණ ගැනනම් ගැටඵවක් නෑ. සරෝජා තුළින් වුවත් නිවැරැදි දැක්මක් සමාජ ගත කලා. ඒත් සෝමරත්නගෙ මාර්කට් එකනම් දරුවන් කියන එක පැහැදිලියි කරන නිර්මාණ අනුව.
    කොහොම වුණත් අනෙක් අයට තියෙන ප්‍රශ්ණයම තමයි මටත් තියෙන්නෙ. ඒ එදා සිටි සෝමරත්නද අද ඉන්නෙ කියන එක. අවසාන වශයෙන් සෝමරත්නත් ටිකක් හරි මාර්කට් වෙච්ච බව තමයි සාකච්ඡාවේ යම් ප්‍රකාශ වලින් තහවුරු වෙන්නෙ.
    මොකද සාමය කියන එක සම්බන්ධයෙන් අද ඔහු සමාජ ගත කරන දැක්ම ඒ විදියටම යථාර්තයක්ද කියන එක සිතන්න තරම් ඔහුට වුවමනාවක් නැති නිසයි. මොකද මේ වර්ගයේ ප්‍රකාශ නිකම්ම නිකම් පෙර නිශ්පාදිත අර එක්තරා වර්ගයක කොටස් විසින් තම පැවැත්ම උදෙසා නිතර නිතර කියන වර්ගයේ ඒවා වීමයි.

    ReplyDelete
  16. [[සෝමරත්න]]

    සෝමරත්න මෙතන කියල තියෙන කතා පමණක් ගත්තොත් එහි අදහස හරි වටිනවා. හැබැයි මේ දවස්වල ඔහු වැනි කලාකාරයින් දේශපාලනිකව ධ්‍රැවීකරණය වෙන තරමට මේ කතා අවංකවම කිව්වද කියන සාධාරණ ප්‍රශ්නය ඇතිවෙනවා.

    [[සරෝජා සහ අනික් කතා]]

    මාත් රීගල් එකේ සරෝජා බලලා එලියට ආවේ කඳුළු පිරි දෑසින්. මහා ලොකු සිනමා ශිල්පයක් නොතිබ්බට ඒක හිතට වදින කතාවක් වුනේ ඒක යට තිබ්බ ත්‍රස්තවාදී ඛේදවාචකය නිසා. "දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙක් ද" කියන දෙබස් ඛණ්ඩය අල්ල ගෙන පිරිසක් කෑ ගැහුව බව මතකයි. කොහොමත් සෝමරත්න හිටියේ සිංහල ජාතිවාදීන් ගේ පැත්තේ නොවේ. ඔහුගේ සූරිය අරනටත් බෞද්ධ අන්තවාදී ප්‍රහාර එල්ල වුනා සාමනේර නමක් නාන්න සිවුර ගලවා දමන සීන් එකක් තිබ්බ කියලා. [මෙව්වා කියන්නේ ටවුන් බෞද්ධයෝ. මේගොල්ලන් දකින්නේ ලොකු මහත් වෙච්ච හාමුදුරු කට්ටිය. අසාධාරණ විදිහට අඩු වයසින් මහනෙට කැප කරපු පුංචි අහිංසක හාමුදුරුවරු හැදෙන්නේ ගම් වල]

    මං බලලා තියෙන අනික් කතාව සූරිය අරණ. චිත්‍රපටියක් හැටියට කතාවේ අඩුපාඩු තිබ්බත්, ජැක්සන් සුපුරුදු ලෙස ම ඕව ඇක්ටිං කලත් ඒ කතාවත් යම් පණිවුඩයක් සමාජගත කළා. නොබැලුවත් පොරගේ කතා ගැන අවබෝධයක් තියෙනවා. ළමයින් ඉලක්ක කර ගත් ආදර්ශමත් කතා කියා මට හිතෙන්නේ. හැබැයි සිනමා නිර්මාණ හැටියට බොළඳයි.

    සෝමරත්නගේ එකම මුහුකුරා ගිය කතාව මා දන්නා තරමින් මී පුර වැසියෝ [හරි නේද?]

    [[කඩේ යෑම නං ජාතික රෝගයක්. ඕක නැත්තේ ට්‍රොස්ට්ස්කයිට් ලා ටික දෙනා අතර විතරයි මගෙ හිතේ.]]

    පළමු වගන්තිය හා එකඟයි. හැබැයි ට්‍රොස්කිවාදින් ගැන ඔබේ මතය වැරදියි. දැවැන්තම කඩේ යාම කරන්නේ ඔවුන්. ඔවුන් කඩේ යන්නේ මහින්ද රනිල් සෝමවංශ විමල් වගේ උන්ට නොවේ. ඔවුන් කඩේ යන්නේ පෙරාපු රත්තරන් කියලා හිතන් ඉන්න ට්‍රොස්කි වාදී නායකයින්ටයි. දෙවනුව කඩේ යන්නේ තම මතවාදය මත තෝරාගන්න විවිධ බාහිර පාර්ශ්ව වලටයි. අප දන්නා බොහොමයක් ට්‍රොස්කිවාදී නායකයින් කොටින්ට කඩේ ගියේ රෙදි නැතුව.

    [[කඩේ යාම]]

    කලාකරුවන් මහින්දට කඩේ යන බව ඇත්ත. ඒවා සිද්ද වෙන්නේ නිකමට නොවේ දොළ පිදේනි වලට බවත් ඇත්ත. හැබැයි අපි අර නන්දගේ පෝස්ට් එකේ කිව්වා වගේ කලාකරුවත් මනුස්සයෙක්. සාමාන්‍ය මිනිසුන් වගේ කැමති මතයක් අදහන්න මෙන්ම කැමති පාර්ශ්වයකට සහය දෙන්නත් ඔවුන්ට‍ අයිතියක් තියෙනවා.

    ලංකාවේ ඔක්කොම කඩේ යනවා කියා ඔබ කියා තිබ්බේ. මෙතැනදී චන්දය දැමීමත් කඩේ යාමක් ද? 2010 ජනවාරි කාලේ මුහුණු පොතේ [පමණක්] බලවත් ව හුන් ජෙනරාල් වාදීන් කියූ ලෙසට මහින්දට චන්දෙ දැමීමත් කඩේ යාමක් වන අතර, ජෙනරාල් වෙනුවෙන් මුහුණු පොත් කණ්ඩායම් සාදාගෙන ඇත්තයි බොරුවයි කුණු හබ්බයි ඔක්කොම ලිවිම පවා කඩේ යාමක් නොවේ :)

    මේ කතාව බලන්න. හෙට චන්දයක් තිබ්බොත් මේ රටේ ජනාධිපති තෝරන්න, අපි දන්නා දේශපාලකයින් පමණක් නම් ඉන්නේ මං මහින්දට චන්දෙ දෙනවා. මට නම් නායකත්වයට සුදුසු වෙන කවුරුත් පේන්න නැහැ. හැබැයි හෙට ජනමත විචාරයක් තිබ්බොත් මහින්ද හොඳ නායකයෙක් ද කියලා අහන්න මගේ උත්තරේ නැත කියා. මේකයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ තත්වය. සෝමරත්නටත් ඔය ප්‍රශ්නේ ඇති නේද?

    ReplyDelete
  17. හැම ත්‍රස්තවාදියෙකු තුලම සංවේදී මනුස්සයෙක් ඉන්නවා කියල මටත් හිතෙන්නේ. සෝමරත්න කියන සංවේදී කලාකරුවාට මම පුද්ගලිකව ගරු කරනවා. කඩේ යාම අනුමත කරන්නේ නෑ. නමුත් වෙන විකල්පයක් අපිට තියෙනවාද? කියන එක ප්‍රශ්ණයක්? නිසා කරන්නට දෙයක් නැත. මෙවන් නායකයෙකුට කැමැත්ත පළකිරීම හැර.

    ReplyDelete
  18. [මේක හැබෑවටම සිද්ද වුනු සාකච්චාවක්ද?
    උත්තරේ ඔව් නම් . . ..
    සෝමා එදා කතා කලේ කටින්ද . . .අද කතා කරන්නේ කටින්ද කියලා ලොකු පුරස්නයක් මට තියෙනවා . .]

    uu eda kathaa kaleth katin, adath katin. uba wagea jiiwitheama puken newi.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.