Wednesday 9 March 2011

මොහොමඩ් ගේ, පිස්සා ගේ, ටැබූ ගේ ඒවාට කලින් මගේ එකවුන්ට් එක හැක් කරපු හැටි - How they hacked my account well before Mohomed, Pissa and Taboo got hacked


මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශයේ හරි හරි වැඩ තමයි වෙන්නේ. වෙලාවකට සසර කලකිරෙන තරමට ම දරුණුයි.

ඉස්සෙල්ලාම, මොහොමඩ් කියලා ලියවී ගෙන ගිය බ්ලොග් එකේ අන්තර්ගතය වෙනස් වුණා -දැඩි තර්ජනයක් කෙරෙන වාක්‍ය කීපයකට. මොහොමඩ් ගේ ලිපි වලට විරුද්ධ අය විසින් ඒ බ්ලොග් එක හැක් කරලා, විකෘති කරපු විදියකුයි පේන්න තිබුනේ. සමහරු හරිම සතුටු වුනා ඒක දැකලා.

පිස්සා ගේ පලාමල්ලේ මේ ගැන ලිපියක් පලවුණා -ෆස්ට් දේ කේම් කවියේ අදහස වගේ අදහසක් තමයි ඒකේ තිබුනේ. ඊ ලඟට වුනේ පිස්සා ගේ පලාමල්ලටත් පෙර කී සන්තෑසියම ලැබීමයි.

පිස්සා ආපසු ආවත් -දවස් දෙකක් යනකොට ආයේ බ්ලොග් එක හැක් වුණා. ඊ ලඟට වුනේ, ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකත් හැක් වීමයි.

මේ අතර නොයෙක් කන්ස්පිරසි තියරි බ්ලොග් අවකාශයේ පැතිරුණා. ඒ බොහොමයක් මේ පිස්සා, ටැබූ, මොහොමඩ්, බ්ලොග් වගේ ම, පද්දා, පෙරමුනේ රාළ, වගේ බ්ලොග් ලියන්නේ කවුද කියන එක ගැනයි.

ඒත් මේ බ්ලොග් පෙරලි ගැන හිත හිත ඉන්න වෙලේ, මට මතක් වුනේ මගේ ෆේස් බුක් එකවුන්ට් එක කවුදෝ හොරෙක් හැක් කරපු හැටියි.

කතන්දරකාරයා ගේ ෆේස් බුක් එකවුන්ට් එක ගැන හෝ කතන්දරකාරයා පේජ් එක ගැන හෝ නෙමෙයි මේ කියන්නේ. මේ මංතුමා ගේ සැබෑ ජීවිතයේ නමින් තියෙන ෆේස්බුක් එකවුන්ට් එක ගැනයි.

මෙන්න ඒ කතන්දරේ. මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් එකක්.

ඔන්න දවසක් මං රාත්‍රියේ නිදා ඉන්න වෙලාවේ මට කෝල් එකක් ආවා. කතා කලේ ඇමරිකාවේ ඉන්න මගේ යාළුවෙක්. පොර මං කරපු තැනම පස්තාච්චි කුපාඩි වැඩ කරපු කෙනෙක්.

අමිල: මචං, උඹ ගෙදර නේද ඉන්නේ?
මං: ඔව් මචං ඇයි මොකද මේ මහ රෑ?
අමිල: මචං මේ දැන් මං ෆේස් බුක් එකේ ඉන්න කොට උඹෙන් චැට් එකක් ආවා. උඹ ලන්ඩන් වල එයාපෝට් එකේ අතරමං වෙලා, පර්ස් එක හොරු අරං, අළුතින් ටිකට් එකක් ගන්න පවුං පන්සීයක් ඉල්ලුවා නේ.
මං: මං කොහෙද බං ලන්ඩන් යන්නේ, මේ ගෙදර නිදි නේ. ඉතිං ඉතිං උඹ අහුවුණාද?
අමිල: මං මචං පොඩි ගානක් යැව්වා!

පස්සේ විස්තර කතාකරන කොට දැනගත්ත විදියට වැඩේ මෙහෙමයි වෙලා තියෙන්නේ.

ඇමරිකාවේ ඉන්න අමිල නිතර ජොබ් එකේ වැඩවලට රට රටවල කරක් ගහන එකා. පොරටත් විටින් විට හිතෙනවාලු නොදන්න තැනක ඉන්න කොට සල්ලියි, බෑන්ක් කාඩ් ටිකයි නැතිවුනොත් මොනවා කරන්නද කියලා.

ඉතිං පොර වැඩි පුර හිතන්නේ නැතුව, මගේ ෆේස් බුක් එකවුන්ට් එක හැක් කරලා මං වගේ අමිල එක්ක චැට් කරපු එකා එවපු එකවුන්ට් නම්බර් එකට පවුං සීයක් දාලා.

නිකං නෙමේ, ලඟම තියෙන ෂොපින් සෙන්ටර් එකට ගිහින්, වෙස්ටර්න් යූනියන් එකෙනුයි දාලා තියෙන්නේ. පස්සේ සැක හිතිලා තමයි ඇමරිකාවේ ඉඳලා මට කතා කලේ. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

මේ හැකර්කාරයා ඒ අතරේම තවත් මගේ ෆේස් බුක් එකේ ඉන්න යාළුවෙක් වෙන රුහුණු කැම්පස් පොරකටත් ඔය කතාවම කියලා, පවුං පන්සීයක් ඉල්ලලා.

පොර මුලින් ටිකක් විතර රැවටිලා, නමුත් සැකය නිසා කරලා තියෙන්නේ ලන්ඩන්වල ඉන්න යාළුවෙකුට කෝල් කරලා මේ ගැන කියන එකයි. ලන්ඩන් යාළුවා කියලා තියෙනවා, කෙලින් ම පොලිසියකට යන්න කියන්න, එතනින් ඕනෑ දේකට උදව් කරයි කියලා.

හැකර්කාරයා තවත් තුන්වෙනියෙකුටත් චැට් කරලා තියෙනවා. ඒ, මං බූන්දියෙන් අඳුණා ගත්තු තරුණ කවියෙකුටයි.

පොර නං ටිකක්වත් රැවටිලා නෑ. මොකද ඕනෑම බබෙකුට තේරෙනවානේ මං රුපියල් ලක්‍ෂ අටක විතර මුදලක් මේ පොඩි කොල්ලෙකු ගෙන් ඉල්ලන්නේ නෑ කියලා.

මං වහාම නැගිටලා ෆේස් බුක් එකට ලොග් වෙන්න හැදුවාට, ඒ වෙනකොටත් එකවුන්ට් එක ඩිසේබල් කරලා ඇඩ්මින් ලා. සතියක් විතර ගියා ආපහු ඇක්සස් ගන්න.

මං මුලින් හිතුවේ කවුරු හරි ස්නිෆ් කරලා හරි, පිෂින් වලින් හරි පාස්වර්ඩ් එක හොයාගෙනයි කියලා.

නමුත් පස්සෙ මට ම තේරුණා මං කොච්චර ගොන්පාට් පාස්වර්ඩ් එකක් ද දාලා තියෙන්නේ කියලා. ඇත්තටම කියනව නං, ඒක දෙතුන් පාරකින් ගෙස් කරන්න පුළුවනි.

ගූගල් වල වගේ පාස්වර්ඩ් එකේ ශක්තිය මැනල ක්‍රින ක්‍රමයක් නෑනේ ෆේස් බුක් එකේ.

අපේ ටැබූත් නිකං "Desmond Morris" හරි, "Human Zoo" හරි, ඒ වගේ එකක් හරි, පාස්වර්ඩ් එක විදියට දාගෙන හිටියද කව්ද දන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
ඩෙස්මන් මොරිස් ලියපු තවත් පොතක් තමයි, "Naked Ape". බන්දුසීල ඒක පරිවර්තනය කලේ "නිරුවත් වානරයා" කියලයි. ඇත්තටම ඒ "Naked Ape" කියන පාස් වර්ඩ් එක හොඳට ගැලපෙන අයත් ඉන්නවා නේද?

අපි සේරම එකතු වෙලා පොදු බ්ලොග් එකක් කරනවා නම්, අන්න ඒකට හොඳයි "Human Zoo" කියන පාස්වර්ඩ් එක. නැත්තං ඔන්න ඔහේ ඒ පාස්වරර්ඩ් දෙක ම එකතු කරලා "Ape Zoo" කියලා දාමු!

image: http://www.xmere.com/forums/lofiversion/index.php?t1584.html

45 comments:

  1. ape Zoo අන්න නම...අන්ත ආගමික අන්ත වාදයක් උන මොහොමඩ් බ්ලොග් එකට මමත් තදබල ලෙස විරුද්ධ උනා . ඒත් දැන් පෙන්නේ අපේ අන්තවාදීන්ගෙත් ඇති වෙනසක් නැතෙයි කියල . බ්ලොග් එකෙ නොලිව්වත් කමෙන්ට් වලින් හරි ඔය කතන්දරේ කොනකට හරි ගැවිච්ච එක ගැන මට නැම් දැන් කණගාටුයි

    ReplyDelete
  2. හපොයි ඔයින් ගියා මදෑයි...

    ReplyDelete
  3. මගේ ෆේස්බුක් එකවුන් එක හැක් කළොත්නම් ඒකේ ඉන්න උන්ගෙන් සත් 5ක් ගන්න වෙන්නේ නෑ. හැබැයි මට බය මගේ එකවුන්ට් එකේ ඉන්න වුන් හැකර්ගෙන් කීයක් හරි කඩා ගනීද කියලා. ඒ තරම් අයියලා ඒකේ ඉන්නේ :D

    ඇත්තටම හොඳ පාස්වර්ඩ් එකක් දානවනම් ඒක කොයි විදිහ එකක් වෙන්න ඕනේද කියලා ඕනෙනම් වෙනම ලිපියක් ලියන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැක් කරන්නේ තමන් දන්න අයමයි. තමන්ගේ පෞද්ගලික විස්තර ටිකක් දැන ගත්තම පාස්වර්ඩ් එක ගෙස් කරන්න පුළුවන්.කෙල්ලෝ ගොඩාක් වෙලාවට පාස්වර්ඩ් එක විදිහට පාවිච්චි කරන්නේ එයාලගේ උපන්දිනේ.

    කාටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා මම කියන්නම් හොඳ පාස්වර්ඩ් එකක ලක්ෂණ.

    අකුරු 8කට වඩා වැඩි වෙන්න ඕනේ.
    ඉලක්කම් තියෙන්නෙ ඕනේ
    කැපිටල් සිම්පල් අකුරු වර්ග දෙකම තියෙන්නෙ ඕනේ
    විස්ශේෂ සංකේත් අකුරු(Special characters /, [, -, =, +, !, #, $, *) තියෙන්නෙ ඕනේ.

    ReplyDelete
  4. ඔක්කොම එන්නෙ අපිට කෙලින්නම තමයි.

    ReplyDelete
  5. //අපේ ටැබූත් නිකං "Desmond Morris" හරි, "Human Zoo" හරි, ඒ වගේ එකක් හරි, පාස්වර්ඩ් එක විදියට දාගෙන හිටියද කව්ද දන්නේ?//

    කසූදැ දන්නේ? :p

    fb හැක්කිරීම ගැන නම් මගෙත් අත්දැකීමක් තියනවා.. කවුරු කරාද කියල අදහසක් තිබුනට මොකට කරාද කියලනම් අදහසක් නෑ. හැබැයි දුර පාරෙන් ගිහින් තිබුනේ. security question වලින් ඊමේල් එක. ඒ හරහා fb.

    ReplyDelete
  6. මොනව උනත් කෙනෙක් ලියන්නේ තමන් කැමති දේ. ඒ දේවල් තවත් කෙනෙක්ට පේන්න බැරි වෙන්න පුළුවන්. එහෙම උනොත් තාර්කිකව එම අදහස් බිඳ හෙලීමක් මිස එම සයිට් එක හැක් කිරීම පොර වීමක් කියන්න පුළුවන් කමක් නෑ. මොකද අද හැකින් කියන දේ වයස 12ක විතර ළමයිනුත් කරනවා. කොතරම් හොඳ පාස්වර්ඩ් එකක් උනත් හැක් කරන්න බෑ කියල නම් කියන්න අමාරුයි.
    ඔය "පාස්වර්ඩ් ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නේ"

    ReplyDelete
  7. we need to think as hackers to avoid from hacking.so i recommend everybody should know how to hacking.read blogs and websites about hacking and understand new ways how they going to hack us.use hacking tools.not to hack others but to avoid from getting hack

    ReplyDelete
  8. මොනව කියන්න ද කතන්දර ... කියන්න ඕනි ඔක්කම දේවල් පලි කොටසේ ලියල නෙව.

    තනි විමනේ සිටිමුත් දුක නොලැබෙද්ද
    පැණිමීයේ කෑමුත් පිත නැති වෙද්ද
    මිණි බරණින් සැදිමුත් ගත බබලද්ද
    පැණි වරකා ගසටත් හෙණ නොවදිද්ද

    මංතුමාගේ රුහුණු පුරේ යාහළුව කවුද ... අපිත් අතර මං වුන වෙලාවක සල්ලි කියක් හරි ඉල්ල ගන්න පුලුනක්... ළඟ පාත නිසා.

    ඔය කතන්දර කිව " first they came " ටමනෙ හේතුවක් නිසා හරි ..මමත් ඊයේ මගේ බ්ලොග් එකේ පලකලා. සිංහල පරිවර්තනයකුත් එක්ක. “ සහෘද සංවේගය “ කියල...

    අන්මත ඉවසනා
    එයට ගරු කරනා
    දනන් කොහි වෙසෙනා
    එවැනි ලෝකෙක සිටිනු කුමටා

    කියනා වදන් සැර
    කියන දේ ඇති රුදු බව
    තොප්පිය වැටෙන විට
    ඇතැම් අය නොඉවසනා බව දැන

    හිතට බොක්කට වදිනා
    දේ නොලියන්න ඉතිනා
    ලීවොතින් ඒවා
    හෙට නුඹ ළඟයි හැකර් අයියා

    බ්ලොග් අවකාශෙ තතු
    දනියි එහි යනෙනා මිතු
    කවුරුත් සමඟි යුතු
    වුනා නම් හොඳ නොවෙද මා මිතු

    කලකිරුන මා මිතු
    නැවත ලියනට ආ යුතු
    නිහඩ වූ බ්ලොග් පිටු
    යලිත් ලියනට කාලයයි මිතු


    ෴ සුබ දවසක් කතන්දර ෴

    ReplyDelete
  9. ටැබූ මම හම සතියෙම වගේ ගිහිල්ල බලන එකක් ඉදහිට කමෙන්ට් එකෙකුත් දානව, යන්නේ මිනිහගේ පොරටෝක් වලට ආස නිසා නෙමෙය් යමක් කතාබහවෙන නිසය්.

    තමන් සය්බර් අවකාශයේ අයින්ස්ටය්න් කියලා හිතාගෙන ඉන්න පොරටය් එයාගෙ පස්ස පැත්තට වදින ගෝලයින්ටය් පව්.

    හැබඇය් ඉතින් මේ වගේ (විරුද්ධ මත ධාරින්ගේ බ්ලොග් හැක් කරන ) නපුන්සක වැඩ නොකර දන්නා දෙයක් යහපතට පාවිච්චිකලා නම් තමා හොද

    ReplyDelete
  10. අනිත් කෙනාගේ මතය රුස්සන්නේ නැතිනම් ඒ මතය වැරදි බව හෝ පිළිගත නොහැකි බව පෙන්වාදීමට කරුණු ඉදිරිපත් කරනවා වෙනුවට වර්ථමානයේ සිදුවන්නේ අදාල මතය ඉදිරිපත් කළ තැනම වළලා දමන එකයි. මේක සාධාරණද නැද්ද කියලා තේරුම් යන්න නම් "මම විතරයි නිවැරදි" කියන මතය පසෙකින් තබන්න ඕනි.

    මට නම් මතක් වෙන්නේ පොඩි කාලේ අහපු "සුරතල් නංගියේ අපේ අම්මා" ගීතයයයි. කොල්ලට අම්මා හොදයි වගේම කෙල්ලට තාත්තා හොදයි. ඒත් දැන් දැන් බ්ලොග් අවකාශයේ සිද්ද වෙන්නේ කොල්ලා විසින් තාත්තාව අතුරුදහන් කිරීමත් කෙල්ල විසින් අම්මාව අතුරුදහන් කිරීමත් වගේ දෙයක්. අන්තිමට අම්මාවත් තාත්තාවත් ඉතුරුවෙන එකක් නැහැ.

    ReplyDelete
  11. ඔය කියලා තියෙන එක බ්ලොග් එකකට වත් මම ගිහින් නෑ....
    ඇත්තටම ඔය මිනිස්සු කතාවෙන්නේ වැදගත් දේවල් ගැනද???

    ReplyDelete
  12. ලියන කෙනාට වැදගත් කියලා හිතෙන දේවල් තමය් එයා ලියන්නේ.

    ටැබූ මුනුපොතේ හෙලපු වර්සස් පිඩක් නිසා වලිගේ සුශුම්නාවටම යනකම් හිරකරගත්ත වදුරෙක් ගානට චොර කරගෙන බ්ලොග් එක වලදම්මා කියලත් පෙරමුනේ රාලලා කියන කතාව ඇත්ත කියලත් ඒ විස්තරේ බැලුවම හිතෙනව.

    ReplyDelete
  13. මටත් වෙලා තියෙනවා මූනු පොතට හොරෙන් කඩා වෑදුනු සිදිධියක්. ඊට පස්සෙ මම රහස් පදය වෙනස් කරා මටවත් ගෙස් කරන්ඩ බෑරි විදියට. කෑපිටල් සිම්පල් සහ ඉලක්කම් කලවම් කරානම් වෑඩේ හරි.

    ReplyDelete
  14. ඔය කියන සිද්ධිය මේල් එකක්. පහුගිය කාලේ ගොඩක් සිද්ධ වුන. කතන්දර කතා හදනවද මංදා.....

    ReplyDelete
  15. බය හිතෙන සින්1ක් නෙ

    ReplyDelete
  16. නෑ නෑ මේ එහෙම එකක නෙවෙය් බියොන්ඩ් ෆ්‍රේම් කියන පසේබුදු කෙනෙකුගේ මූනු පොතේ දාපු වසුරු පිඩක්.

    http://eyugaya.blogspot.com/2011/03/blog-post.html

    කතාවට තව ආස වුනත් මම ඉන්න තැන දැන් ගොඩක්ම රෑ වෙලා නිසා දැන් නවතිනවා.
    නැවත හමුවෙමු.

    ReplyDelete
  17. බය හිතෙන සින්1ක් නෙ

    ReplyDelete
  18. I think taboos password is 'Nalin De Silva' :)

    ReplyDelete
  19. මුලින්ම මමත් මොහොමඩ් ට විරුද්දව ගේම ඉල්ලුවා. ඒත් බුවා කිවුව වගේ අන්ත්වාදය ඉස්ලාම් උනත් බුද්දාගම උනත් එකයි. බලන් ගියාම අපේ උනුත් මොහොමඩ්ට දෙවනි නෑ.

    ReplyDelete
  20. මම හිතන්නේ කතන්දරගේ මේ වගේම කතාවක් මම කලින් අහලා තියනවද කොහෙද? කතාවට පස්සේ මට ලස්සනම අර උඩ තියන වානර පින්තූරේ. වරදවා තේරුම් ගන්න එපා. මම කතා කරන්නේ මිනිස් රූප ගැන එහෙම නෙමේ හොඳේ.

    ReplyDelete
  21. මේ යන ගමන යන්නේ බොහොම බයනක මාවතක්.. මේහි අව්සානය බොහොම දුක් සින් එකක් වෙන පුලුවන් හෑම බ්ලොග් අඩවියක්ම රජයෙ ලියපදින්චි කිරිම වගේ දෙවල්....

    කොහොමත අනුන්ගේ මත අපිට ඉවසන්න පුලුවන් වෙන්න ඔනේ එහෙම නොවුනොහ් වෙන්නේ ලොකු විනාසයක්.මම කියන්නේ බුදුදහමට හෝ වෙනත් කිසිම අගමකට නිගරු කරන්න අපිට පුලුවන් කමක්නෑ ..අපි අපේ අගම ආරක්ශාකරගන්න ඔනේ.

    ReplyDelete
  22. විදේශ ගතවෙල ඉන්න අපි වගෙ තව ගොඩක් අය මේ බ්ලොග් එකක් කියවල ලබන්නෙ අහිංසක විංදනයක්,සතුටක්,දැනුමක්. අපි අපේ රටට ගොඩක් ආදරෙයි ඒක අපිට ඩැඩියෙන්ම දැනෙන්නෙ අපේ රටේ ජීවත්වෙනකොට නෙවෙයි, ඔය කොයි රටෙ මිනිස්සු ගාවවත් නැති හොඳ ගතිගුණ අපේ මිනිස්සුගාව තියෙනව. මම ඒක අත්දැකීමෙන් දන්නව.
    අපට නිවාඩු වෙලාවක, බ්ලොග් එකක් දෙකක් එහෙම කියවන්න බලනකොට අර කියපු ජාතියෙ එකක් දැක්කම, අපි ලබපු/ලබන ආශ්චර්යය මේකද? කියල හිතෙනව.

    පූසා කියන්න වගේ හැකර්ල වෙන්නෙ දන්න කියන අයම තමයි මගේ අත්දැකීම් වලට අනුව.

    ReplyDelete
  23. අන්තිමට තමන්ගෙ බ්ලොග් එකේ තමන්ට කැමති දේවත් ලියන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නෙ :(

    ReplyDelete
  24. මෙහිදී තවත් වැදගත් කරුණු දෙකක් සඳහන් කරන්න ඕනෑ.

    1. විනාශ වුයේ සයිබර් අවකාශයේ තිබූ බයිනරි ඉලක්කම් පේලියක් විතරයි. එය ඉතා පහසුවෙන් නැවත පෙලගස්සවා ගන්න පුළුවන්. පත්තර කන්තෝරුවක් හෝ ටෙලිවිෂන් ස්ටුඩියෝ එකක් ගිනි තැබීම මීට වඩා දීර්ඝ කාලීනව බලපාන විනාශයක්.

    2. එනිසා කොලූ ලාට, ටැබූ ලා ට, පිස්ස ලා ට නැවත ලිවීම පටන් ගන්නට වැඩි භාදාවක් නෑ. නමුත් ඔවුන් තවමත් එසේ නොකිරීමෙන් හැඟෙන්නේ අපි හිතනවාට වඩා වෙනත් තලයකින් ද මර්ධනයක් තියෙන බවයි.

    අපි කවුරු කවුරුත් නැති කරගන්න ඕනෑ දෙයක් තමයි විරුද්ධවාදීන් ට වෛරයෙන් කතා කිරීම සහ ඔවුන් නැති භංග කිරීමට තැත් කිරීම. සෙල්ෆ් ඩිෆෙන්ස් වෙන එකක්.

    සමහර වාමාංශිකයන් ගේ ලොකුම හතුරෝ තමයි - ඔවුන්ට සමාන මත දරන නමුත් කණ්ඩායම වශයෙන් වෙනස් තැනක ඉන්න අය.

    මං නං වලියට බර නෑ. ටැබූ මා එක්ක ඇර ගන්න ආ වෙලාවේත් මං කලේ සාමදාන වීමයි.

    http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html?showComment=1294497069676#c5862671711318133223

    ReplyDelete
  25. බ්ලොග් එකේ බැකප් තියාගන්න එකයි කරන්න තියන හොඳම වැඩේ . කතන්දර මහත්තයෝ ! මේ හැකින් ගැන කතා කරලා ඔයත් මේකට පැටලෙන්න බැරි නෑ . පරිස්සමෙන් මචං ..

    සත්තයි කතන්දර බ්ලොග අපිට වටිනවා . ඒකනිසා මෙවුයෙං ඈත් වෙලා ඉන්නඩ ..

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. @Kathandara

    I would not agree with you about above comment.
    (http://kathandara.blogspot.com/2011/03/how-they-hacked-my-account-well-before.html?showComment=1299670543170#c661869940298517586)

    You have to loose your blog to realize how you feel about it. Recently my blog went down because the datacenter of my hosting provider got hacked. Initial response by hosting company was that their servers including the backups are compromised and all data is lost.

    My blog is nothing compared to most other blogs but I thought I lost everything I wrote. I felt like I never want to write anything again. Fortnightly it turned out that backups are safe and my content was back online. You cant understand that feeling unless it happen to you.

    http://rakasuniverse.info/2011/02/11/back-from-a-mini-disaster/

    You can recover most of your posts from various caches. But that is a painfully slow process and take lot of manual work to post them back. For a blog like taboo it is a nightmare situation. But all that can be avoided if we care to take backups. Which I started doing after my incident.

    /Rakhitha

    ReplyDelete
  28. Ape Zoo නම් මරු නම.... :)

    ReplyDelete
  29. දිගින් දිගටම නොලියන්න හිතුවත් අන්තිමේදී මේ නුල් බෝලෙට අත දාන්න හිතුනා. මේ සටහනේ අරමුණ කාගේවත් සිත් රිදවීම නොවේ. හැමදාම කරනවා වගේ ප්‍රශ්නය ගැන මට කල හැකි ඇනලයිසිස්‌ එක කරන්න මිසක් පැත්තක ගන්න හෝ කිසිවක් ඔප්පු කරන්න මට අවශ්‍ය නැහැ. අවසාන පලය ලෙස අර්ථවත් දෙයක් වෙයි නම්, අඩු ගානේ අනර්ථකාරී දෙය නවතියි නම ඒ ඇති.

    ටැබූ කියන්නේ මා නිතර ගොඩ වැදුණු අඩවියක්. එකඟ විය හැකි තැන්වලදී එකඟ වන්නටත්, අඩු පාඩු ඇත්නම් පුරවන්නටත්, වැරදි මතයක් දුටු විට විරුද්ධ වන්නටත් ආදී ලෙසින් අපිත් ටැබූ වගේම කාලයක් මෙයට යොදවන්න ඇති.

    මා දුටු ප්‍රධාන දුර්වලකමක් වුනේ ටැබූ ඇතැම් සාමාජිය දේ ගැන ලියන හැටියි. මා සියලු ඇදහිලි කල්ලි වාද වලින් මිදී ඉන්න හදන කෙනෙක්. මා ආගමිකයෙකු නොවේ, "Secularist" [කැපිටල් මුලකුර] ආගමත් ඇතුළුව. එහෙත් මා ආගමිකයන්ගේ පුජනිය දේ වලට අමු වචන වලින් ගහන්නේ නැහැ. මා නොඅදහුවත් වෙනකෙකු ගරු කරන නිසා. ටැබූ ට ගංගොඩවිල සෝම වූ පුද්ගලයාට මා සෝම හාමුදුරුවන් කියන්නේ මා බෞද්ධයෙක් නිසා නොවේ. අනික අතට අන්යාගමිකයනුත් ඔහුට කියන්නේ සෝම හාමුදුරුවන් කියායි. නුවර මාලිගාවක කරඬුවක් තුල ඇති කියන මා නොදුටු වස්තුවට මා දන්ත ධාතුව කියන්නේ එය බුදුන් වහන්සේගේ සිරුරේ කොටසක් කියා ටක්කෙටම දැන නොවේ. එසේ නොසිතන්නට හැකි මතවාද ද මා දැක ඇති මුත් මා එයට ගරු කරන්නේ පිරිසක් එයට පුජනිය ලෙස සලකන නිසා. මැල්කම් රන්ජිත් පියතුමෙක් වන්නේත්, ජෙසුන්ට "තුමා" එකතු වන්නේත් මේ පදනමෙන්. හැබැයි මතවාද මා ඇති තරං විවේචනය කර ඇති: කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ ආසිරිවාද කතා, ජේසු තුමා ගේ දිව්‍යමය බිලි පුජාව, ආදී දේ. මා ජාතික කොඩියේ සිංහයාට කුණුහරුප නොකිව්වට, සිංහලයින් පිරිසිඳු ජාතියක් කියාවත්, විජයගේ සිංහ පරපුරෙන් අප පැවත එන බවක් වත් හිතන්නේ නැහැ. කොටින්ම සිංහල යනු මට සංස්කෘතියක් පමණයි. හැබැයි මෙය අපේ කොඩිය වන තුරු මට එහි වැදගත්කමක් තියෙනවා.

    මේ බන කියනවා නොවේ. ටැබූ ටික කලකට කලින් දෙමල ජාතියට සුවිශේෂී [කියා මා සිතන] කතාවක් කිව්වම මා ඔහුට කිව්වේ, ටැබූ ඔබ මෙයින් බලාපොරොත්තු වන්නේ සිංහලයින් දෙමළුන්ට මේ සුවිශේෂී දෙය දෙයි කියා නම් ඔබ වැරදියි. මෙහෙම කෙලින්ම ගහන කොට ඒ පැත්තෙන් වර්ධනය වන්නේත් ජාතිවදයමයි. කොටින්ම දෙමල ජාතිවාදයත් සිංහල ජාතිවාදයත් එකිනෙකා පෝෂණය කරනවා කියා මා කීවා. ටැබූ මාත් වර්ගවාදියෙක් කියා කිව්වා පමණයි. බලන්න ටැබූ ලා එක්ක හැප්පෙන අනික අඩවි. ඔවුන් අන්‍යාගමිකයන්ට දෙන්නෙත් ඒ සවලෙන් ම තමයි. කට්ටියම නැට්ට උස්සන් එන්නේ පොර කන්න නේද?

    මගේ පොයින්ට් එක මේකයි. මෙහෙම ලියන විට ඔබ සිත් දිනන්නේ නැහැ. සිත් තවත් අනිත් අන්තයට තල්ලු කරනවා. අනතුරට පත් සියලු වෙබ් අඩවි මේ ලේඛන ශයිලිය අනුකරණය කල අය.

    අවංකවම කිව්වොත් මාත් හැම විටම ඔය තරං සාධාරණ නැහැ. මා දන්නවා මගෙනුත් කෑලි යන්න වදින අය ඉන්න බව. එයට හේතුව මට දැනෙන විදිහට විවිධ සමාජ ක්‍රියා වලින් අපට ගෙන දෙන කේන්තිය. ගාමිණි ආනන්දට බනින කොට මගේ සංවරයක් තිබ්බේ නැහැ. ඊයේ බූන්දියේ සුචරිත ගම්ලත් උන්නැහේට ලියන වෙලාවෙත් එහෙම එකක් තිබ්බේ නැහැ. ඒ අපේ හැඟීම් නිසා. සමහර විට සෝම හාමුදුරුවන්, ජාතික කොඩිය හෝ කිරිබත්ගොඩ හාමුදුරුවන් ටැබූ කොලු වැනි අයට එවැනි කේන්තියක් ගෙන දෙනවද මා දන්නේ නැහැ.

    මේ එකකින් වත් ටැබූ ගේ අඩවිය හැක් කිරීම අනුමත කරනවා නොවේ. [ජාතික ආරක්ෂාව නොවන වෙනත් කිසිම හේතුවකට නිදහස් අදහස් යටපත් කිරීම මා අගයන්නේ නැහැ. ටැබූ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුන හැටි කොහෙත්ම හිතා ගන්න අමාරුයි. එහෙනම් ඉතින් කොටි වාදය පතුරන බ්ලොග් ටික ඉස්සෙල්ල නවත්තන්න ඕනේ]

    මා හැක් කිරීම ගැන දරන මතය ටැබුට දන්වා අවසන්. මේ පොස්ට් මෝටමය තුලින් මට බලන්න ඕනා මේ සිද්ධිය දිහා විශ්ලේෂනාත්මක ව විතරයි.

    [ඉතිරිය ඊළඟ කොමෙන්ටුවේ]

    ReplyDelete
  30. [පෙර කොමෙන්ටුවට සම්බන්ධයි]
    ඊළඟ ප්‍රශ්නය තමයි මොකද්ද හැබෑටම වුනේ කියන එක. ගණිතමය කෝණයකින් බැලුවොත් විචල්‍ය ගණන දත්ත ගන්නට වඩා බොහෝ වැඩි නිසා උත්තරේ මැට්රික්ස් එකක් මිස තනි අගයක් නොවේ. මෙන්න මට හිතෙන විදිහට වෙලා තියෙන දෙයට පොසිබිලිටිස්.

    1. ටැබූ විසින් මකා දැමීම: දන්නේ ටැබූ මයි. නමුත් තම අඩවිය මකන්න ඔහුට වෙනත් ඕන තරං ක්‍රම තිබ්බ මෙහෙම මහා කතාවකට නොයා. මෙය මා දකින අඩු සම්භාවි සිද්ධියක්.

    2. ටැබූ චෝදනා කල කිහිපදෙනා [ජාතිකවාදීන්] තමන් හෝ කුලී හැකර්ලා සමග හෝ හැක් කිරීම: මේක මේ අය පිළිගත් බවක් කිව්වට මා එවැන්නක් දැක්කේ නැහැ. එහෙම කොමෙන්ටුවකින් පිලි ගත්තත් එය හරි පුද්ගලයද දැම්මේ කියා ස්ථිර නැහැ. හැබැයි මේ අය ටැබූ කෙරෙහි පෙන්වන වෛරය අනුව ඔවුන් මෙය නොකලා කියා කෙලින්ම කියන්න අමාරුයි.

    3. වෙනත් පුද්ගලික පාර්ශවයක් විසින් හැක් කිරීම: එකිනෙකාට චෝදනා කිරීම අස්ස්සේ හොරා හැංගිලා ඉන්නවා වෙන්නත පුළුවන්. ටැබූ මිනිස්සුන්ට ගහන තරමට කොහෙන් වදිනවද කියල හොයන්න අමාරුයි.

    4. ගොඩ්සිලා: කොලු අඩවිය වහල තිබ්බේ හොඳටම බය වෙලා. ගොඩ්සිලා පේන්නේ නැහැ. එච්චරටම ලොකු නිසා.

    5. ඇත්තටම වූ වැරදීමක්: ටැබුට හෝ වර්ඩ ප්‍රෙස් ට. මේක ගැන කියන්න බැහැ ඒත් සම්භාවිතාවක් තියෙනවා.

    මේ කාරනා මතයි ඊළඟට මොකද්ද කල යුත්තේ කියන එක තීරණය වන්නේ. ඉහත හේතු මත මේ සඳහා කල යුතු දෙය වෙනස් වනවා. ටැබූ ඉන්නේ ඉහත 2 චෝදනාවේ. ඔහු අපට හේතු දුන්නා ඒ තත්ව යටතේ නැවත ලිවීමෙන් පලක් නැහැ අවදානම වැඩි නිසා කියලා. මට එක බාර ගන්න අමාරුයි. මේත් අපි වගේම පාන් කියා ගන්න බැරි බ්ලොගා ලා සෙට් එකක් නේද? ටැබූ ට අවැසි නම් හේතු 2 යටතේ නීති පියවර ගත හැකියි. මේවාට උදව් කල හැකි පිරිස් පොලිසියේ ඉන්නවා. හේතු 2 යටතේ ඔබට උදව් ලැබෙයි.

    ටබුගේ අහිමි වස්තුව වෙනත් අය බැකප් කල බවට ප්‍රේමේ ගේ අඩවියේ කොමෙන්ටු දා තිබ්බ ටැබූ දන්නවා මා දන්නා තරමින්. ඉතින් පාඩුව එතරම් බයානක නැහැ. කාලයක් වය වෙයි නමුත් මහා කාලයක් නොවේ. ඔබ ක්‍රියාකාරී බ්ලොග් කරුවෙක්. ඔක්කොම දමලා ගහලා ලෙක්චර් කරගෙන ඉඳියි කියලා පිළිගන්න තරං අපි නොදරුවන් නොවේ. ඔබ කොහොමත් ආයිත් බ්ලොග්කරණයට එනවා. පරණ වස්තුවත් අරගෙන ම එන්න අපහසු නැහැ.

    හැබැයි මේක රඳා පවතින්නේ මොන හේතුවද කියන එක උඩ. හැම හේතුවක් ම අංක 2 තරං අහිංසක නැහැ. ටැබූ ගේ මිම්මෙන් අවදානම තීන්දු කර හරි තීරණයක්‌ ගන්න.

    [ඉතිරිය ඊළඟ කොමෙන්ටුවේ]

    ReplyDelete
  31. [පෙර කොමෙන්ටුවට සම්බන්ධයි]
    මේ කතාව තුල අසාධාරණ රාශියක් සිදු වුනා.

    1. ටැබූ අඩවිය හා එහි රචකයාට: මුලික ම පාඩුව ඔහු හා ඔහුගේ කියවන පිරිසට

    2. ජාතිකවාදීන් කියා චෝදනා වූ මිනිසුන්ට: කෙලින් ම නම කියා චෝදනා කරන්න තරං හේතු තිබ්බද? එක්කෙනෙක් සිසුවෙක්. ඔහුට දඬුවමක් කරන්න තරං ඔහු වරදක් කල බව ඔප්පු කල හැකිද?

    3. ටැබූ කියා සැක කල අයට: දන්නා තරමින් මිනිසුන් දෙදෙනෙකුට කෙලින්ම මේ සැකය යොමු වෙලා. බැරි වෙලාවත් මේ ටැබූ කියමුකෝ. ඉතින් අපට පාන් ද? හැබැයි ඒ වගේද ටැබූ නොවුනොත්. මොන තරං වැරැද්දක් ද?

    මේ සිද්දියෙන් පස්සේ ඔබට කල හැකි වැඩ දෙකක් තියෙනවා.

    1. වෙච්ච වැරදි වල ලේ වන්දි ගැනීම: හරියට පාතාලයෝ වගේ.

    2. නිතිය වගේ තැනකින් සාධාරණ විදිහට විසඳ ගෙන [හෝ අතැරලා දාලා] ජිවිත අලුතින් පටන් ගැනීම.

    තීරණය ඔබ සතුයි [ඔබ කිව්වේ ටැබූ ට විතරක් නොවේ].

    මෙන්න මේ කතාවටත් සවන් දෙන්න. පැයක බණක් . හැබැයි දන්නවනේ මං ආගමිකයෙකු නොවේ.

    සිවුර දැක්ක ගමන ජාතික[ආගමික]වාදීන් උඩ පනියි මෙන්න තොපිටත් අන්තිම සරණය අපෙන් කියලා [දන්නවද මං බන අහන අනාගමිකයෙකු බව?] එහෙත් ඇහුන්කන් දිල බලන්න ඔබේ බ්ලොග් වල ඔබ ලියන දෙයයි මේ මනුස්සයා කියන දෙයයි අහසට පොලොව වගේ දුරයි නේද කියලා. [පර සුද්ද කියල බනියි ද දන්නේ නැහැ]

    සිවුර දැක්ක ගමන මගේ Secular හා secular [කැපිටල් අකු‍ර වැරදීමක් නොවේ] මිතුරන් කියයි අපට ඕවා වැඩක් නැහැ කියලා. අහල ම බලන්න.

    ටැබූ හිතයි ද දන්නේ නැහැ රැවුල ගිනිගත්තම සුරුට්ටු පත්තු කරනවා කියලා. ගින්න නිවිච්ච නිදහස් දවසක අහල බලන්න.

    සියල්ලන්ටම යහපත් හෙටක්.

    [දිග කොමෙන්ටුව නිමි]

    ReplyDelete
  32. Taboo,
    Taboo Subjects මා මුලින්ම කියවූ සිංහල බ්ලොග ලිපියකි. දින කිහිපයකට වරක් බ්ලොග් අවකාශයේ සැරිසැරීමට වෙලාවක් (කැමැත්තක්) ලැබුනු විට, ටෑබූගේ ලිපියක් තිබුනොත් එය මුලින්ම කියවමි. ටෑබූ සිංහල බ්ලොග් අවකාශයට සම්පතකි. ඔහු වන් දක්ෂයකු අහිමි වීම, ඔහු හා එකඟ වන නොවන සියල්ලන්ම කම්පාවට පත් කරන්නක් වනු ඇත.
    පරිගනක හැක් කිරීම්, මංකොල්ල කෑම්, මිනී මැරීම් වැරදි වැඩය. නමුත් ඒවා සිදුවේ. හැක් කිරීමට ලක් වූ පළමු වෙබ් අඩවිය ටෑබූගේ අඩවිය නොවේ. එවන් අය වඩාත් ආරක්ෂිත උපක්‍රම වලින් තම අඩවි රැකගන්නවා විය යුතුය.
    කල යුත්තේ වඩා ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරනවා විනා බ්ලොග් ලිවීම නතර කර දැමීම නොවේ යැයි සිතමි.

    ReplyDelete
  33. @All
    සියළු දෙනාටම ස්තුතියි. සුජීව ගේ කමෙන්ටුවත් ඉතා අගෙයි.

    අජාන් බ්‍රහ්මවංසෝ කියනවා වගේ ඩිෆිකල්ට් පීපල් ලා ව ඩිෆිකල්ට් කරගන්න අපිත් හවුල් වෙනවා.

    මතවාදී ගැටුම හොඳයි, නමුත් ඒක නැවැත්තුවාම පොඩි ජෝක් එකක් දාන්න පුළුවන් වෙන්නත් ඕනෑ.

    මගේ නම් කාටවත් වෛරයක් නෑ. මේ වර්චුවල් ලෝකයේ මොන දේශ සීමා ද යුද්ධ කරන්න?

    කොහොම හරි අන්තිමේ ටැබූ ලා ආපහු එන්නේ නැහැ කියලා තීරණය කරලා. බ්ලොග් ලියන එක නොවැදගත් ෆෝත් කොඩ්රන් එකේ වැඩක් ලු.

    මේ සිද්ධි නිසා නෙමේ, ටික කාලෙකට කලින් මට හිතුනු කතාවක් කියන්නම්.

    මේවා වෙන බව දන්නවානම් බුදුහාමුදුරුවොත් වෙන ආගමකට යනවා, ලැජ්ජාවේ! ඒ දවස්වලත් පාරිලෙයිය වනයට ගියා නේ.

    මේක හිතුනේ අපේ සමහර හාමුදුරුවරුන් ගේ වැඩ දැකලයි.

    අද බුද්ධාගම ආරක්‍ෂා කරන්න ඉන්න ගිහි කට්ටිය ගේ වැඩ දන්නව නං බුදු හාමුදුරුවෝ අර දේව ආරාධනාව ප්‍රතික්‍ෂේප කරලා දිගටම බෝ ගහ යටම වැඩ හිඳිවි!

    ReplyDelete
  34. [[මේවා වෙන බව දන්නවානම් බුදුහාමුදුරුවොත් වෙන ආගමකට යනවා]]

    බුදු හාමුදුරුවන්ට ආගමක් තිබ්බේ නැහැ කතන්දර. එතනයි මේ ඔක්කොටම මුල.

    බුදු හාමුදුරුවන් කලේ, ලෝකය ගැන තම අවබෝධය [අවුරුදු ගණනක ගැඹුරු චින්තනයකින් ගලපා ගත්] අන අයට දේශනා කිරීමයි. පස්වග මහනුන්ට දම් දෙසනකොටවත් බුදු හාමුදුරුවන්ට සංඝ කියන දෙය ගැන අවබෝධයක් තිබ්බ ද මන්දා. එයා ගිය පාරේ යන්න කැමති මිනිසුන් ආපු නිසයි මේ සියල්ල හැදුනේ.

    ආයිමත් මගේ අදහසක් විතරයි.

    ReplyDelete
  35. [[කොහොම හරි අන්තිමේ ටැබූ ලා ආපහු එන්නේ නැහැ කියලා තීරණය කරලා. බ්ලොග් ලියන එක නොවැදගත් ෆෝත් කොඩ්රන් එකේ වැඩක් ලු. ]]


    මා ලියු හේතු අතර ඇති "4. ගොඩ්සිලා" සුළුවෙන් තකන්න එපා. ටැබූ ආණ්ඩුවේ සේවකයෙක්.

    ReplyDelete
  36. Sujeewa Kokawala,
    සංඝ කියන වචනෙ කෙසේ වෙතත් බුදුහාමුදුරුවො පස්වග මහනුන්ට කතා කලේ භික්ෂුන් කියල. ඇයි දම්මචක්කෙ පටන් ගන්නෙත් " ද්වේ මේ භික්ඛවේ අන්තා, පබ්බජිතේන නසේවිතබ්බා" කියලනෙ.

    ReplyDelete
  37. @කලිකාල;

    භික්ඛවේ කියන එකේ තේරුම මොකද්ද?

    ReplyDelete
  38. This Cyber war is similar to the Ground war. You and me may not suitable to spend our time on that, if we are not ready for the consequences. Thats what Taboo did.
    Today "Taboo" may stopped by hakking, but if a real capable person comes, they may not be able to stopped by hacking. Unfortunatly these capable people may not innocent and non violent as "Taboo".

    ReplyDelete
  39. @ Kathandara

    "අද බුද්ධාගම ආරක්‍ෂා කරන්න ඉන්න ගිහි කට්ටිය ගේ වැඩ දන්නව නං බුදු හාමුදුරුවෝ අර දේව ආරාධනාව ප්‍රතික්‍ෂේප කරලා දිගටම බෝ ගහ යටම වැඩ හිඳිවි"

    දේවාරාධනාව කළේ බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉදිද්දී. බුදුරජාණන් වහන්සේ බෝ මැඬ ඉද්දී දහම් දෙසන්න ආරාධනා කළේ සහම්පති මහා බ්‍රහ්මයා........

    ReplyDelete
  40. @ Sujeewa Kokawala

    භික්ඛවේ කියන වචනේ තේරුම වෙන්නේ මහණෙනි කියන එක.......

    ReplyDelete
  41. @Hasitha;

    මට හිතුනු දේ භික්ඛවේ කියන්නේ පසු ගමන් කරන්නා කියන එක.

    මොකද ඔය සන්දියේ බෞද්ධ මහනුන් හිටියේ නැහැ. ඉතිරි අයට් මහණුන් කියන්නේ නැති නිසා.

    ReplyDelete
  42. කතන්දරගෙ මාතෘකාවට අදාල නැති වුනත්, මේ කතාබහට අදාල මට පොඩි කාලෙ වුනු පුංචි සිද්ධියක් මතක් වුනා. දවසක් විභාගෙටද කොහෙද අහල තිබුන " බුදු හාමුදුරුවො පළමු ධර්ම දේශනය කලේ කාටද ?" කියල. මම ලිව්ව 'පස්වග මහණුන්ට' කියල. බැලින්නම් උත්තරය වැරදීලු! 'පස්වග තව්සන්' ලු හරි උත්තරය! ඒ ගොල්ලො සෝවාන් වුනාමලු 'ඒහි භික්ඛු' භාවයෙන් පැවිදි කලේ. 'අනන්ත ලක්ඛන' සූත්‍රය දේශනා කලේ නම් පස්වග මහණුන්ටලු.
    මටත් ඒ වෙලාවෙ නම් හිතුන තර්කය හරි කියල. හැබැයි ඒ කාලෙ මං දම්ම චක්කෙ දැනගෙන වුන්නෙ නෑ.

    ReplyDelete
  43. The Naked Ape වල පිටකවරෙ පින්තූරෙ දාල තිබ්බම මම ඒත් බැලුව මොකෑ මේ කියල.. :D :D

    http://pavithra994.blogspot.com/2011/03/blog-post_25.html

    ReplyDelete
  44. කාලෙකිං වැදගත් සංවාදයක් බැලුව.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.