Wednesday 10 August 2011

මහරාජා ගේ දොස්තර ක්රොස් එක - Mr Maharaja's doctor cross


කාලයක් අපි කොළඹට කිට්ටුව පදිංචි වෙලා හිටිය කාලේ අපේ අල්ලපු ගෙදර හිටියේ රාජසිංහ කියලා මහත්තයෙක්. ඒ කියන්නේ රාජසිංහලා තමා අපේ නේබර්ස් ලා.

රාජසිංහ ජෝඩුව හරිම කරුණාවන්ත හොඳ ගුණ යහපත්කම් තියෙන දෙන්නෙක්. අපිට විටින් විට විවිධාකාරයේ උදව් උපකාරත් කළා. දෙන්නම විශ්‍රාමික හින්දා නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා හිටියා. මහත්තයා නම් කාලයක් මොකක්දෝ මන්දා කන්සල්ටින් වැඩක් ද කොහෙද කළා මට මතක විදියට.

මං රාජසිංහ මහත්තයාට පොඩි නික් නේම් එකක් දාලයි තිබුනේ මහරාජා කියලා. නෝනා මහරානී. මට කියන්න අමතක වුනා. මේ දෙන්නට හිටියනේ පුතෙක්. පොරට කීවේ යුවරාජා කියලයි.

හැබැයි, මේ සේරම නම් ගම් ඉතිං මායි කතන්දර හාමිනේ යි අතර විතරයි පාවිච්චි වුනේ!

මං ඉඳල හිටල දවසක වීක් එන්ඩ් එකේ මිස්ට රාජසිංහ එලියේ පහලියේ ඉන්නව දැක්කොත් ඒ පැත්තට ගිහින් පොඩ්ඩක් කතා කරනවා. සමහර වෙලාවට ඉරිදා ඔබ්සෝවර් එකයි, දිවයින යි බලන්නේත් මහරාජා ගේ ගෙදරින්. මොකද මංතුමා ඒ දවස්වල ගත්තේ ඉරිදා ලක්බිමයි, සන්ඩේ ටයිම්ස් එකයි නේ!

මං මේ වගේ එක දවසක දැක්කා මහරාජා කාර් එක එළියට අරං හෝදනවා. මාත් ඉතිං ගියා ඒ පැත්තේ. මොකද කියනව නං මාත් ඔය කාලේ කාර් ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටිය නිසා. ඔයිට මාස කීපෙකට පස්සේ තමයි මං අර රතු කොරොල්ලා එකක් ගත්තේ? දන්නවනේ මෙගා සීරීස් එක?

මං ඒ පැත්තට එනව දැකල මහරාජා ඒ කියන්නේ රාජසිංහ අංකල් කරපු වැඩේත් නවත්තල මාත් එක්ක කට පුරා හිනාවුණා.

"ආ, අංකල් කාර් එක හෝදනවා වගේ?"

"නෑ, මං මේ කාර් එක හෝදනවා!"

"ආ, ඇත්තද? මං හිතුවේ කාර් එක හෝදනවා ය කියලයි."

මහරාජා ගේ කාර් එක මට මතක හැටියට නිසාන් සනි එකක්. බටු සනි මොඩල් එක වගේ නෙමේ ඊට වඩා අළුත්, හැබැයි ඩොක්ටර් සනි එකට වඩා පරණයි, අමුතුම ජාතියේ බඩුවක්.

"මොකක්ද අංකල් මේ කාර් ජාතිය. මං නං දැකලම නෑ."

"මේක සනී කූපර් එකක් නේ මහරාජා කියනවා. මේඩ් ඉන් ජැපෑන්."

"ආ ඇත්තද?"

"ඔව්, මේක කෙලින්ම ඇමරිකන් මාකට් එකට හදපු එකක්. ඒකයි මේ මොඩල් එක ලංකාවේ දකින්න නැත්තේ."

"ආ ඇත්තද?"

"ඔව්, බලන්න ස්පිඩෝ මීටර් එකයි, මයිලේජ් කවුන්ටර් එකයි, සේරම තියෙන්නේ මයිල්ස් වලින්, කිලෝ මීටර් නෙමේ."

මං දොර ඇරලා ඔළුව දාලා බැලුවා. ඇත්ත නේන්නං!

"ඒ විතරක් නෙමේ, මේකේ ඔය සයිඩ් කණ්ණාඩි තියෙන්නේත් ඇමරිකන් පැටර්න් එකටනේ."

ඇත්ත නේන්නං!!

"අංකල් මේක ගත්තේ කොහෙන්ද?"

"මං මේක ගත්තේ ජෙනරල් හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක් ගෙන්. ඩොක්ටර් අරං තිබුනේ කාර් එක ඇමරිකාවේදී බ්‍රෑන්ඩ් නිව් අරගෙන මෙහෙට ගෙනාපු කෙනාගෙන්මයි."

ඒ කතාවත් ඇත්ත වෙන්න ඇති!

මොකද මහරාජා ගේ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකේ ඇතුලෙන් ගහලා තියෙනවා අව්වට වේලිලා, වේලිලා, හොඳටම ෆේඩ් වෙලා ගිය ඉස්පිරිතාල ගේට් පාස් එකක් හෙවත් දොස්තර ක්රොස් එකක්.

"අංකල් මේක අරං දැන් කොච්චර කල් වෙනවද?"

"අපෝ, දැන් අවුරුදු පහක් විතර වෙනවා."

බුදු අම්මෝ, ඒ කියන්නේ මහරාජා අර දොස්තර ගේ ගේට් පාස් එක අවුරුදු පහක් තිස්සේ ඒ විදියටම ගහගෙන ඉඳලා, අව්වට වේලිලා, වේලිලා, හොඳටම ෆේඩ් වෙලා යනකන්ම!

මට ඉවසිල්ලක් නැතුව ගියා.

"එතකොට අංකල් මේ ගේට් පාස් එක ඒ දොස්තර ගේ එකක්ද?"

මහරාජා ගේ මූණට නැගුනේ පොඩි ඇපොලොජටික් හිනාවක්.

"ආ, ඔව්, ඕක මේ මේ මට බැරිවුණා නේ තාම ඕක ගලවලා දාන්න. අදම අයින් කරලා දාන්න ඕනෑ."

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ඔයිට මාස ගාණකට පස්සෙත් ඒ අව්වට වේලිලා, වේලිලා, හොඳටම ෆේඩ් වෙච්ච ගේට් පාස් එක ඒ විදියටම පේන්න තිබුණා කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකේ.

(image: http://www.stemcellresearchprosx.com/stem-cell-therapy-quackery-or-truth/)

34 comments:

  1. මට නම් ටිකක් විතර ටියුබ් ලයිට්. කසු කියන්නේ මහරාජා දොස්තර පාස් එක නයාට පාවිච්චි කර කියන එකද ?

    ReplyDelete
  2. අනේ ඉතින් මිනිහගේ අංහින්සක ආසාවනේ..... ආයේ ඒ ගැන කතාන්දරේ අහන්න ගියේ එහෙම නැනේ නේද???

    ReplyDelete
  3. දොස්තර කෙනෙක් පවුලේ නැති හන්දා 'මම දොස්තර' කියලා පෙන්නන්ට ආසා හිතෙන්ට ඇති. දොස්තරලත් 'මම දොස්තර' කියලා පෙන්නන්ට ආසා එකේ ඒ අහිංසක වයසක මනුස්සයා එහෙම කලාම මොකෝ...:)

    අනෙක රාජසිංහලා හරි අහිංසකයි අනේ! ඉතිහාසේ කියවලා නැද්ද?..:D

    ReplyDelete
  4. පොලිස් මාමල හෙම පොඩ්ඩක් සරෙන්ඩර් වෙනවනේ ඕක දැක්කම . හදිසි ලෙඩෙක් බලන්න යන දොස්තර මහත්තයෙක් කියල පොඩි වැරදි වලින් රිංගල යන්නත් හැකි

    ReplyDelete
  5. සමහර විට ඒකෙත් මොනා හරි වාසි ඇති....

    ReplyDelete
  6. මම් ටියුබ් ලයිට් !!!!!!
    මොකද්ද ගේට් පාස් එක කියලා කිව්වේ ?

    ReplyDelete
  7. ඕක ගහගෙන යනකොට යුවරාජා හරි මහරාජා හරි දොස්තර කියලා හිතනවට මහරාජා ආසා වෙන්න ඇති ඒකයි..
    සමහර විට සික්කන්ට එහෙම නයා පෙන්නලා මහරාජා ඉස්පිරිතාල වලටත් රිංගුවද දන්නේ නෑ ඕකෙන්..

    ReplyDelete
  8. කතන්දරටත් ඕනෙ නැති එකක් නෑ.. වයසක මනුස්සයගෙ ආසාවනෙ...

    ReplyDelete
  9. ඔය කුරුසෙ ඉස්සරහ වීදුරුවෙ ගහගෙන යන එකේ ඇඩ්වාන්ටේජස් තියේ . . . . විශේෂයෙන් චුට්ටි චුට්ටි වැරදි වලට . . . . . .

    ReplyDelete
  10. ඕක ඇමරිකන් මාර්කට් එකට ගහපු කාර් එකක් නම් left-hand-drive වෙන්න එපයි. ලංකාවෙ පාරවල දුවන්න වෙනම ලයිෂන් ගන්නත් ඕන. කකා ඒක චෙක් කලේ නැද්ද?

    ReplyDelete
  11. කසූට තිබුණෙ " ඉන්න අංකල් මං ඔය පරණ ගේට් පාස් එක ගලවලා වීදුරුව ක්ලීන් කරන්නං " කියලා උදව් කරන්නනේ

    ReplyDelete
  12. මොනා නැතත් අද කතාව කියෝගෙන යද්දි චිත්තරූප ටිකනම් මැවෙනවා මරු පහට!

    අර කතන්දර කාර් එක ඇතුලට ඔලුව දාලා ඇමරිකන් පැටන් චෙක් කරන හරිය එහෙම......

    මතකද දඩකාපු කතාවේ හිටපු අක්කත් හිතාගෙන හිටියෙ එයාගේ රශ් එක පොලිසියෙන් අල්ලන්නැති වෙයි කියලා. වාහනේ ගත්තු තැනින් කිව්වලු ඒක ගෙන්නන්නෙ දොස්තරලට හින්දා පොලිසිය වැඩිය නවත්ත්නැ කියලා.

    ඒ වගේ අදහසකින් වෙන්ඩැති මහරාජාත් ඔය දොස්තර කුරුසෙ පරිස්සම් කරන්ඩ ඇත්තෙ.

    ReplyDelete
  13. කතාව කියවද්දි මටත් ඔලුවට ආවේ පැණියා කියපු එක තමයි. ඇමරිකාවෙ පැදවීම වමෙන් නේද?

    ReplyDelete
  14. එහෙම කොහොමද කරන්නෙ.. ඕවා හැමෝම කාර් වල අලවං යන්න ගියොත් ක්‍රොස් එකේ රෙස්පෙක්ට් බහිනවනෙ.. කතීගෙ ක්රොස් එක රතු කොරොල්ල එකේ අලවං යනකොට එහෙම.. :D

    ReplyDelete
  15. මම නම් ඩොක්ටර් ක්‍රොස් එකෙන් හුඟාක් ප්‍රයෝජන ( හුඟක් කිව්වට එකම වැඩේ නැවත නැවත )මම මාෆියා එකේ ( ඖෂධ ) වැඩ කරපු කාලෙ...

    මොකද .. ඔය ඖෂධ මාෆියා එකේ ඒජන්තලට ඉස්පිරිතාල වල ඇතුලට වාහනේ ගන්න දෙන්නෙ නෑ... ඉතින් ඉස්පිරිතාලෙ ගේට්ටුව ලඟදි පොඩි කොලපාට ක්‍රොස් එකක් ( නම් ගම් මොකුත් නෑ ) තියෙන කර්ඩ් එකක් ඩෑෂ්බෝඩ් එකයි වින්ඩ්ස්ක්‍රීන් එකයි අතරෙන් තියා ගත්තම සස් ගාල ඇතුලට දාගත්තහැකි...

    ReplyDelete
  16. ඔතන තියෙන්නේ අනන්‍යතා අර්බුදයක්. ඇත්තම කියනවනම් කතන්දර කාර් එක ගත්ත ගමන් කලෙත් ස්ටිකර් එක ගහගන්න එක නේද? කතන්දරට නම් ඉතින් සුජාතවූ අයිතියක් තියෙනවනේ ඒකට.

    ReplyDelete
  17. කිව්වත් මහරාජා පැත්තත් මාරු කොරලද???

    ReplyDelete
  18. ඔය කුරුස ඉස්ටිකරේ වාසි ගොඩයි,,,එලියේ වාහන දාන්න වෙන ඉස්පිරිතාල් ඇතුලේ වාහන පාක් කරන්න පුලුවන් ලේසියෙන්ම,,

    ReplyDelete
  19. දොස්තර ක්රොස් එක ඉස්පිරිතාලෙ ගේට්ටුව ළඟදිටත් වඩා පාරෙදි ප්‍රයෝජනවත් වෙනවා. පහුගිය කාලෙ කිලෝ මීටරෙන් කි‍ලෝ මීටරේට චෙක් පොයින්ට් තිබුනනෙ. ඒ දවස්වල ඔය වගේ "උපකරණයකින්" තමන්ගෙ ගමන ඉක්මන් කරගන්න පුළුවන්.
    එයිට වැඩිය ලස්සන වැඩක් මට වුනා. දවසක් රෑ ගිනිගත්හේන - හැටන් පාරෙ දියගල හන්දියේ චෙක් පොයින්ට් එකේදි මාව නැවැත්තුවා. මමත් කලබලේට පර්ස් එක ඇද්දා ලයිසම පෙන්නන්න. හදිස්සියට (අනිත් එක කලුවරේ) මගේ අතට ආවෙ මා ළඟ තිබුන එක්තරා මෙම්බර්ෂිප් කාඩ් එකක්. ඒක ලියල තිබුනෙ ඉංගිරිසියෙන්. මම බලන්නෙ නැතුවම රාළහාමිට ඒක දුන්නෙ අවංකවම වැරදීමකින්. නැතුව කිසිම අදාළ කමක් නැහැ. අනේ රාළහාමි කියපි "හරි හරි මහත්තය යන්න" කියල.
    -ට්‍රැපික්

    ReplyDelete
  20. ඔය ක්‍රොස් එක පාරවල් වල යනකොට නීති කඩන අයට නියම භාන්ඩයක්! පොලිස් කාරයො සැලියුට් එකකුත් ගහල යන්න කියනවා.

    ReplyDelete
  21. හික්ස්... ඕක ලංකාවෙ වැසියන්ගෙ පුරුද්දක්! ඇයි තව ඔය වාහන විකුණන්න ඇඩ් දාන්නෙ "Doctor Used" කියලා... ඒකෙන් කියන්න උත්සාහ කරන්නෙ මොකද්ද කියන එක මට නම් ගැටලුවක්.

    මේක කියෙව්වම මටත් කතාවක් මතක් උනා :) පෝස්ට් එකක් දාන්නම්කො ඉක්මනින්...

    ReplyDelete
  22. ඔන්න ඔහොම සීන් එකෙක් මමත් අහලා තියනවා . දොස්තර කෙනෙක් වික්කොත් ඕන කුනු කොඩක් ගන්න අයද අප්පා අපේ රටේ ඉන්නේ ! ඇයි දොස්තරලාගේ කාර් වල ලෙඩ දෙන්නේ නැද්ද ඈ

    මමත් හිතන්නේ මහ රජා අංකල් නියම ගල් ආඳෙක් . මාර්ග බාදකයකදී ශේප් වෙන්න වගේ දේකට ඔය තුන්ඩු කෑල්ල පරිස්සම් කරමින් භාවිතා කරන්න ඇති .

    ක.ශු ට තිබ්බේ පැන්න ගං ඕක ගලෝලා දාන්න .

    ReplyDelete
  23. සඳරු කිව්ව වගේ ඔයාට තිබ්බෙ ඒක ගලෝල දාන්න. මහරාජගේ මූණෙ විස්තර කියල නියම පෝස්ට් එකක් දාන්න තිබ්බා.

    ReplyDelete
  24. ඕකනෙ දැන් පටං අරං තියෙන්නෙ ඔය ස්ටිකර් වල එක්ස්පයරි ඩේට් දාන්න.

    ReplyDelete
  25. එකනේ මම හැමදාම කියන්නේ ලංකාවේ ඉන්න උගත්තුත් මෝඩයෝ කියල.. ඩොක්ටර් රේට්, ඉංජිනේරු පට්ටම්, දිසාපති, ඉස්කෝලේ, ලයන් මෙම්බෂිප් ඔක්කොම වාහනවල ගහගෙන යන්නෙ.. මටනම් උන් පේන්නේ සත්තු වත්තෙ ඉන්න සත්තු වගේ මිසක් වෙන කිසිම විදියකට නම් නෙමේ..

    ReplyDelete
  26. ඔන්න අර මං කිව්ව කතාවත් ලිව්වා. මෙතැනින් ගිහින් බලන්නකෝ...

    ReplyDelete
  27. විකුණපු ඩොක්ට තමයී අංකල්ට වැඩිය වැරදි, කාර් එක දෙද්දි ස්ටිකරේ ගලවගන්න තිබුණා...

    එහෙම නැත්තම් ස්ටිකරේ එක්ක දෙනවනම් තව පන්දාහක් වැඩියි කියලා විකුණුවද දන්නේ නෑ.. :D

    ReplyDelete
  28. @ මාතලන්,
    ඒ කතාව ටිකක් සංශෝධනය වෙන්න ඕනැ මං හිතන්නෙ. ස්ටිකර් එක අවශ්‍ය වෙනව ඒ අයට තමන්ගෙ රාජකාරියට. පත්තර කාරයෝ (බෝතල් පත්තර නෙවි, ජනමාධ්‍ය පොරවල්) මීඩියා කියල ගහගෙන ඉන්නෙ. කලබලයක් පවතින තැනකට පටස් ගාල යන්න දෙනව. ඇඳිරි නීතිය අස්සෙන් ඩොක්ටර්ට යන්න වෙනවා. ඔහොම දේවල් තියනව. ප්‍රශ්නේ තියෙන්නේ වෙන වෙන හාල්පාරුවෝ ඒ ලේබල් අරගෙන නයා දානකොටනෙ.
    -ට්‍රැපික්

    ReplyDelete
  29. ස්ටිකර් එක අවශ්‍ය වෙනව ඒ අයට තමන්ගෙ රාජකාරියට. පත්තර කාරයෝ (බෝතල් පත්තර නෙවි, ජනමාධ්‍ය පොරවල්) මීඩියා කියල ගහගෙන ඉන්නෙ. කලබලයක් පවතින තැනකට පටස් ගාල යන්න දෙනව. ඇඳිරි නීතිය අස්සෙන් ඩොක්ටර්ට යන්න වෙනවා. ඔහොම දේවල් තියනව. ප්‍රශ්නේ තියෙන්නේ වෙන වෙන හාල්පාරුවෝ ඒ ලේබල් අරගෙන නයා දානකොටනෙ.
    -ට්‍රැපික්

    Totally agree about this comment. Once I saw a THREE WHEEL which carries a DOCTOR pass.. at the Lady Ridgeway Hospital for children in Colombo... these behaviours show the poor mentality of such ppl..

    ReplyDelete
  30. හිකිස්.. බොරුවට දේවල් පෙන්නගෙන ඉන්න එක අපේ මිනිස්සුන්ගේ පුරුද්දනේ..:)

    ReplyDelete
  31. සියළු දෙනාටම ඉතාමත් ස්තුතියි.

    ගමකට බිසි දින දෙකතුනක් නිසා -වැඩිය ලියන්න වෙලාවක් නෑ.

    මේ කතාව ගැන කියනවා නං, ඒ කාලේ කාර් විකුණන්න ඇඩ්වටයිස් කරන්නේත් කියලායි. කොටින්ම ඩොක්ට සනී කියලා මොඩල් එකකුත් තිබුණා!

    ඉතිං, කාර්-පාස් ස්ටිකරේත් එක්ක කාර් එක විකුණන්න ඇති. මහරාජා අංකල් ට ඒක එන්න ඇත්තේ ඒ විදියටයි.

    අද උදේ හයට අමුතු කතාවක්!

    ReplyDelete
  32. මරදාන හන්දියෙදි ඔකෙන් වැඩක් උනේ නැහැ. බොරුනම් ආගියකතා ගෙන් අහල බලන්න.

    ReplyDelete
  33. ඩොක්ටර් සනී ..... නියම කතාව. මෙයාට මොකද? ඒවයසක උන්දෑ මොනව ගහගෙන හිටියත්. සමහර විට ආවට ගියාට නැතුව ලැබෙන බලතලත් නැතුව යැ. පොලිස් කූඩුවේ ලගින එකෙන් බේරෙන්නට උපක්‍රමයක් වෙන්න ඇති.

    ReplyDelete
  34. නියම කතාව මලේ. ඔය කුරුසිය බොහොම රෙපාලා පාවිච්චිකරනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.