Monday, 21 March 2011

ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ


කතන්දර හාමිනේයි, මායි කාලයක් කෝට්ටේ පැත්තේ පදිංචි වෙලා හිටියා. මේ අපි ඇන්ටි ගේ ඇනෙක්සියෙන් අයින් වුණාට පස්සේ.

අපේ ගෙදර ඉදලා එක සමාන දුරින් බස් හෝල්ට් දෙකක් තිබුණා. අපි නුගේගොඩ පැත්තට යනවානම් එකකට යනවා. අනිකට යන්නේ වැලිකඩ හරහා බොරැල්ල ට යන්න තියෙනවා නම් තමයි.

ඔය බස් ගමනක දී තමා මට කාලෝ ෆොන්සේකා හම්බ වුනේ.

හැබැයි බොරැල්ලේ ඉඳලා ආවත්, නුගේගොඩ ඉඳලා ආවත්, අපි බස් එකෙන් බහින්නේ නම් එකම හෝල්ට් එකෙනුයි. ඒ අනිත් එකෙන් බැස්සොත් පොඩි කන්දක් නගින්න තියෙන හින්දයි. ඒ නැතිවුනත්, මේ කියන බස් හෝල්ට් එක අවට තමයි කඩවල් සේරම තිබුනේ.

ඒ එක කඩයක් තමයි රාජා ගේ කඩේ. ඒක සිල්ලර බඩු කඩයක්.

මේ කියන කාලේ මුලින් රාජා ගේ කඩේ ට තිබුනේ පුංචි පහේ කම්පෙටිෂන් එකක් විතරයි. ඒ, හන්දියේම තිබුණු අනිත් සිල්ලර බඩු කඩේ සහ සමූපකාර ප්‍රාදේශිකය හින්දයි.

ඊ-ලඟ අවුරුද්ද විතර වෙනකොට තව පොඩි පොඩි සිල්ලර බඩු විකුණන තේ කඩයකුයි, ඒ කාලේ හැටියට ටිකක් විතර පොෂ් කඩේකුයි ඒ හන්දියේ පටන් ගත්තා.

ඒ පලාතේ පදිංචියට ගිය මුල් දවස්වල අපි ගියේ රාජා ගේ කඩේට නෙමේ, අනිත් එකටයි. ඒ කඩේ කලේ තරුණ සුන්දර කාන්තාවක්. බඩු අරං සල්ලි දෙන ගමන් "තෑන්ක් යූ!" කියලත් කියනවා.

හැබැයි එකම ප්‍රශ්ණේ තිබුනේ, මේක අර එලියේ ඉඳලා පොඩි කොටුවක් අස්සෙන් බඩු ගන්න ජාතියේ කඩයක්. අපිට බඩු පේන්නේ අඳුරු කඩේ අස්සේ රාක්කවල තියෙනවා විතරයි.

බෝඩ් එකක් තිබුනේ නැති නිසා, මං මේ කඩේට නම දැම්මා "ගෑනි ගේ කඩේ" කියලා.

මේ පොඩි කොටුව ඇතුලෙන් ගණුදෙනු සේරම වෙන නිසා ද කොහෙද මෙතන පොඩි පෝලිමක් වගේත් හැදෙනවා. හැබැයි, අයිතිකාරයාට ඕනෑ අනු පිලිවෙලටයි බඩු දෙන්නේ කවුරු මුලින් ආවත්. දවසෙන් දෙකෙන් කවුරු මට ඉස්සරහ හිටියත් මට මුල් තැන ලැබුණා.

ඒ කියන්නේ කවුරු එතන හිටියත්, මං ගියාම "ආ ඔයාට මොනවද ඕනෑ" කියලා මේ මනුස්සයා බඩු විකුණනවා. වැඩේ ලේසි වුනාට හැබැයි ඉතිං ඒකේ මට පොඩි පහේ අප්සෙට් එකක් දැනුණා. නිකං ලැජ්ජයි, ලැජ්ජයි වගේ ගතියක්.

රාජ ගේ කඩේ මීට වෙනස්. හරිම එලියයි. කඩේ ඇතුලටම යන්න පුළුවන්. රාක්ක වල තියෙන බඩු හොඳට පේනවා. සමහර ඒවා අල්ලලා බලන්නත් පුළුවන්.

ඉතිං අපි රාජ ගේ කඩේට යන්න පටන් ගත්තා. බොරුල්ලේ ඉඳලා එන බස් එක නවත්තන්නේත් ඒ පැත්තේ. පාර නොපැනම බඩු ගන්නත් පුළුවන් ගෙදර යන ගමන්.

ඔන්න අපි කඩේට ගොඩ වෙනවා. කඩේ අයිතිකාරයා කැෂියර් එකේ ඉන්නවා. සමහර විට එයාගේ නෝනයි, ළමයෙක් දෙන්නෙක් විතර පිරිසකුයි, කඩේ ඇතුලේ පුටුවල වාඩිවෙලා ඉන්නවා.

රාජා එක්කෝ හිටගෙන, නැත්තං කඩේ ඉස්සරහා පඩියේ වාඩි වෙලා ඉන්නවා. ඒ මෙතනට වැඩිය සෙනග එන්නේ නැති නිසා.

මෙන්න එතන වැඩ පිළිවෙල.

කැෂියර් මුදළාලි: මොනවද ඕනෑ?
මම: සීනි කිලෝ එකක් දෙන්න.
කැෂියර් මුදළාලි: රාජා, සීනි කිලෝ එකක් දෙන්න.
රාජා සීනි කිලෝ එකක් කිරනවා.

කැෂියර් මුදළාලි ගේ නෝනා: වෙන මොනවද ඕනෑ?
මම: ලක්ස්ප්‍රේ එකක් දෙන්න.
කැෂියර් මුදළාලි ගේ නෝනා: රාජා, ලක්ස්ප්‍රේ පැකට් එකක් දෙන්න.
රාජා ලක්ස්ප්‍රේ පැකට් එකක් දෙනවා.

කැෂියර් මුදළාලි ගේ නෝනා ගේ දුව: තව මොනවද ඕනෑ?
මම: නින්ජා මදුරු දඟර පැකට් එකක් දෙන්න
කැෂියර් මුදළාලි ගේ නෝනා ගේ දුව: රාජා, නින්ජා මදුරු කොයිල් පැකට් එකක් දෙන්න
රාජා නින්ජා මදුරු දඟර පැකට් එකක් දෙනවා.

කැෂියර් මුදළාලි ගේ නෝනා ගේ පුතා: වෙන මොනවද ඕනෑ?
මම: වෙන මොකුත් එපා. එච්චරයි.

කැෂියර් මුදළාලි: රාජා, මේ මහත්තයා මොනවද ගත්තේ?
රාජා: සීනි කිලෝ එකයි, ලක්ස්ප්‍රේ එකයි, නින්ජා එකයි.

රාජා ගේ බඩු ලයිස්තුවට කැෂියර් මුදළාලි ගණං දාලා එකතු කරලා මට ගාණ කියනවා. මං සල්ලි ගෙවලා බඩු ටික අරගෙන ගෙදර යනවා.

මට මේ වැඩ පිළිවෙලත් ඇල්ලුවේ නෑ.

හන්දියේ සිල්ලර කඩ දෙකයි. එකක වැඩවසම් ක්‍රමය වගේ, අනිකේ ක්‍රෝනි කැපිටලිසම් වගේ කියලයි මට හිතුනේ.

නමුත් ඉතිං තේ බොන්නත් ඕනෑ, මදුරුවෝ කන්නෙ නැතුව නිදාගන්නත් ඕනැනේ.

ටික දවසකින් ම මං අර ගෑණි ගේ කඩේ ට විතරක් යන්න පටන් ගත්තා.

-කතන්දරකාරයා

මේ කතන්දරේ ලියන කොට මට මතක් වුනේ සකලබුජංව යි!

(image: http://vidhu.lk/gallery/)

34 comments:

  1. මොනවත් එපා කිවුවහම කැෂියර්ගෙ නෝනගෙ පුතා : රාජා මේ මහත්තයට වෙන මොකවත් එපා කියන්නෙ නැද්ද?

    ReplyDelete
  2. ආපහු ගෑණිගෙ කඩේටම යන්න හේතුවක් හම්බ උනා නේද? :D
    එතකොට අද පින්තූරෙ ඉන්නෙ රාජද?

    ReplyDelete
  3. දැන් කඩේ කාගේ ද ? රජා ගෙද? කැෂියර්ගෙද ? කැෂියර්ගෙ නෝනගෙද? කැෂියර්ගෙ නෝනගෙ පුතාගෙ ද? කැඵියර්ගෙ නෝනගෙ දූගෙ ද?

    මුලින් ම මම හිතුවේ නම් කඩේ රාජා ගේ කියල.කැෂියර් සිද්ධියෙන් පස්සෙ තමයි කඩේ රාජාගේ නොවන බව පෙනුනෙ.

    රාජාගේ කඩේ කියල අපි කවුරුත් හිතන් හිටියට , රාජා අනුන්ට සීනී, තේ කොළ ,මදුරු දඟර දෙන කෙනෙක් නෙ.

    ඔය දාලා තියෙන පින්තූරය කඩේ අයිතිකාරයා කියල හිතන් ඉන්න රාජාගේ වෙන්නැති නේද?

    ReplyDelete
  4. කතන්දර හිටියෙ ඇතුල් කෝට්ටෙ පැත්තෙ වගේ කතාවෙං පේන්නෙ . . . .

    ReplyDelete
  5. ගෑනිගේ කඩේ හොඳට හිතට අල්ලලා ගිහිං වගේ නේද?

    ReplyDelete
  6. හරි කෙලියක්නෙව ඒක. වැඩ කියන්න හතරදෙනයි වැඩ කරන්න එක්කෙනයි. තාමත් ඔය කඩේ තියනවද ඈ...

    ReplyDelete
  7. ** "හන්දියේ සිල්ලර කඩ දෙකයි. එකක වැඩවසම් ක්‍රමය වගේ, අනිකේ ක්‍රෝනි කැපිටලිසම් වගේ කියලයි මට හිතුනේ."

    රාජාගෙ කඩේ තියෙන්නෙ වැඩවසම් ක්‍රමය වගේ ක්‍රමයක් බවත් ගෑනිගෙ කඩේ තියෙන්නෙ ගජමිතුරු ධනවාදය වගේ ක්‍රමයක් බවත් අදහස් කර ඇති බව පෙනේ.

    එනම් ගෑනිගේ කඩේ ගජමිතුරු ධනවාදය දැකිය හැකි ආකරයෙන් රාජාගෙ කඩේ වැඩවසම් ක්‍රමය දැකිය හැකි බවක් හැඟවේ.

    ගෑනිගේ කඩේ ඇත්තේ ගජමිතුරු ධනවාදයයැයි කියන්නෙ කෙසේද? ආණ්ඩුව හෝ දේශපාලනය හෝ නොගෑවෙන තැනකදී ගජමිතුරු ධනවාදය යන්නෙන් කුමක් අදහස් කෙරේද යන්න කෙසේ තේරුම් ගත යුතුද?

    රාජාගේ කඩේ ක්‍රමය තුල වැඩවසම් ක්‍රමය දැක ඇත්තේ කුමන පදනමකින්ද?

    ReplyDelete
  8. ඔන්න ඔහොමයි ක.ශු. තේ බීලා, කොයිල් ඩිOගක් නහයට ඇදගන්නේ ඈ......

    ReplyDelete
  9. කතන්දර

    ක්‍රෝනි කැපිටලිසම් කියන්‍ ‍නෙ මොකක් ද ?
    capitalism - ධනවාදය
    feudalism - වැඩවසම් ක්‍රමය

    ReplyDelete
  10. කතන්දර... සකලබුජං ලින්ක් එක වැඩ නැහැ ‍නේ........

    ReplyDelete
  11. මේකට මාතෘකාව දාන්න තිබ්බේ රාජාගෙ කඩේ කියලා නෙමේ
    "නාරි පානිය හමුවේ දීන වු කතන්දර කියලා":D
    මුලින්ම ගෑනිගේ කඩෙන් බඩු ගැනිල්ල නැවතුනේ කතන්දර හාමිනේට සීන් එක මාට්‍ටු වෙච්ච හින්දා නේද?.හැබෑටම කොහොමද හාමිනේව ශේප් කරගත්තේ ආපහු ඒ කඩේටම යන්න.

    ReplyDelete
  12. මටත් හෙන ප්‍රශ්ණයක් ආවා උදේ මේක කියවද්දි! ඒත් ඒක ගැන අහන්න හිතුවෙ හවස මොකද දෙපාරක් හිතන්න එපැයි. හැබැයි දැං බලද්දි සොඳුරු අක්කණ්ඩි ඒ ප්‍රශ්ණෙම අහලනේ....
    කතන්දර ඒ කඩේට යන එක අතෑරියේ වැඩවසං ක්‍රමේට විරුද්ධ නිසාද?

    ReplyDelete
  13. කඩේට හරියටම හරි යන්නෙ "රාජගෙ කඩේ" කියන නම තමයි.

    හැබැයි ඔය රාජා දැන් තමුන්ගෙම කඩයක් කරනව වෙන්ඩ පුලුවන්, මොකද අර කම්මැලි සල්ලි කාරයන්ට වඩා ඒ කොල්ලට බිස්නස් එක තේරෙනවනේ.........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  14. හැබෑටම "ගෑනි ගේ කඩේ" හොඳයි කියා හිතෙන්නේ "රාජා" පවුල පිටින්ම "බඩු" දෙනකොට තමයි අප්පා...!!!

    ReplyDelete
  15. බලහල්ලකෝ රාජගේ ෆොටෝ එක නිකම් මහ රාජ වගේ නෙව . කෝ අයියේ ගෑනිගේ ෆොටෝ එකක් දැම්මේ නැද්ද ?

    මරුම මරු කතාව !

    ReplyDelete
  16. ඉස්සර කඩයක් තිබුණා අප්පුගේ කඩේ කියලා... අප්පු තමයි කඩේ තනියෙන් කරන්නේ... කවුරුහරි ගිහිල්ලා පාන් ඉල්ලුවොත් පාන් ඉවරවුනත් කවදාවත් ගත්කටටම පාන් නෑ කියන්නේ නෑ...

    කඩේ ඇතුළට ගිහිල්ලා ආපහු එනවා මෙහෙම කියාගෙන...

    "පාන් මේ දැන් ඉවර වුනානේ... අලුතෙන් නියම නූඩ්ල්ස් වගයක් ඇවිත් තියෙනවා දෙන්නද..?"

    ඒ කඩේට ගිය කෙනෙක් මොනවාහරි බඩුවක් ගන්නේ නැතිව ආපහු එන්නේ කලාතුරකින්...

    ReplyDelete
  17. වැඩි විස්තරයක් ලියන්නට මේ මොහොතේ වැඩි වේලාවක් නැත.

    ඔය ෆොටෝ එක විදූ මූවි එකෙන්. ඔය ඉන්නේ සෞම්‍ය ලියනගේ.
    කෂ්ටිය විදූ බලලා නෑ වගේ!

    ReplyDelete
  18. ප්‍රශ්ණ කිහිපයකට විතරක් පිළිතුරු දෙන්නම්.

    ක්‍රෝනි කැපිටලිසම් සහ වැඩවසම් ක්‍රමය ගැන දැනගන්න විකිපීඩියාව බලන්න.
    මේ කතාවේ මහා ලොකු සැඟවුණු අරුතක් නෑ. පොඩි අදහසක් විතරයි.

    uuiu ගේ ප්‍රශ්ණයට උත්තරේ, ප්‍රශ්ණයේ ම තියෙනවා.

    කඩ දෙකයි නං තියෙන්නේ -ඉතිං එකකට යන්නම වෙනවා නේ.

    නැත්තං, අපේම කඩයක් දා ගන්න ඕනෑ!

    ඔය ෆොටෝ එකේ ඉන්න කෙනාව වැඩි දෙනෙක් ඇඳුණුවේ නැති එක නං ලොකු ප්‍රශ්ණයක්. මිෂේල් ඔබාමාව අඳුණා නොගත්තා වගේ නෙමේ මේක.

    ReplyDelete
  19. - "uuiu ගේ ප්‍රශ්ණයට උත්තරේ, ප්‍රශ්ණයේ ම තියෙනවා."

    කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද,

    "ගෑනිගේ කඩේ ඇත්තේ ගජමිතුරු ධනවාදයයැයි කියන්නෙ කෙසේද? ආණ්ඩුව හෝ දේශපාලනය හෝ නොගෑවෙන තැනකදී ගජමිතුරු ධනවාදය යන්නෙන් කුමක් අදහස් කෙරේද යන්න කෙසේ තේරුම් ගත යුතුද?"

    "රාජාගේ කඩේ ක්‍රමය තුල වැඩවසම් ක්‍රමය දැක ඇත්තේ කුමන පදනමකින්ද?"

    යන ප්‍රශ්නවලට උත්තර මොනවද සහ එම උත්තර, ප්‍රශ්නවලම තියෙන්නෙ කොහොමද කියන එක.

    මෙතන අහලා තියෙන්නෙ එක ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රශ්න කිහිපයක්ද කියන එකක් දැන් ප්‍රශ්නයක්.

    ReplyDelete
  20. @uuiu
    මගේ සරල සටහන ගැන මෙතරම් උනන්දුවක් දැක්වීම ගැන ස්තුතියි.

    මෙම සිල්ලර කඩේ රූපකය භාවිතාවේ දී කඩය යනු රටයි. පාරිභෝගිකයා යනු ජනතාවයි. කඩේ කිරීම යනු ආණ්ඩුව කිරීමයි. කඩේ මුදළාලි යනු රජයයි. බඩු විකුණන විදිය යනු රජය විසින් ආර්ථික ප්‍රතිලාභ මහජනයා අතර බෙදා දෙන විදියයි.

    ඔබ මගේ සරල සටහන මත පදනම්ව නැගූ ප්‍රශ්ණයේම පිළිතුර අඩංගු වන්නේ එලෙසයි.

    ගෑනිගේ කඩේ බඩු දෙන්නේ සාධාරණ ක්‍රමයක් වූ ආ පිළිවෙලට (first come first served) නොව තමාට කැමති අනු පිළිවෙලටයි. එනම් ,ගජමිතුරන්ට මුලින් බඩු ගත හැක හෙවත් "ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය".

    රාජා ගේ කඩේ පාලකයෝ ප්‍රවේණි දාසයා ගෙන් වැඩ ගනිති.

    මෙය මහා දේශපාලන කතාවක් නොවන නිසා අවස්ථා දෙකේ 100% කම්පැටිබිලිටියක් නැති වෙන්න පුළුවනි.

    නැවතත් ස්තුතියි.

    ReplyDelete
  21. ~~ "මෙම සිල්ලර කඩේ රූපකය භාවිතාවේ දී කඩය යනු රටයි. පාරිභෝගිකයා යනු ජනතාවයි."

    කඩය යනු රට නම් පාරිභෝගිකයා යනු ජනතාව වන්නේ කෙසේද? කඩය යනු රට වන විට පාරිභෝගිකයා යනු විදේශ රටවල් වියයුතු නොවේද?

    ~~ "රාජා ගේ කඩේ පාලකයෝ ප්‍රවේණි දාසයා ගෙන් වැඩ ගනිති."

    රාජා වැටුප් ශ්‍රමිකයකු හෝ වහලකු හෝ නොවී ප්‍රවේණි දාසයකු යැයි සිතා ගත යුත්තේ ඇයි?

    ReplyDelete
  22. @Anonymous

    ඉස්සෙල්ලාම කියන්න ඕනෑ, ඇනෝනිමස් කියලා ගූගල් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔබ මොකක්ද මේ කරන්න හදන්නේ කියා මට නොතේරෙන බව.

    මං uuiu ට කියූ විදියට මගේ උපමාව 100%ක් සාධාරණ නෑ. කෙසේ වෙතත් දැන් මෙන්න මගේ උත්තර:

    කඩේ රට නං පාරිභෝකියා ජනතාව වෙන්නේකඩේ නැත්තන් පාරිභෝගිකයෝත්, පාරිභෝගිකයෝ නැත්තං කඩේ නැති නිසාය.

    ඔබේ කැමත්ත පරිදි, රාජා එක්කෝ ශ්‍රමිකයෙක් නැත්තං වහලෙක් යැයි සිතාගන්න.

    ස්තුතියි!

    ReplyDelete
  23. [[ඔය ෆොටෝ එකේ ඉන්න කෙනාව වැඩි දෙනෙක් ඇඳුණුවේ නැති එක නං ලොකු ප්‍රශ්ණයක්]]

    හඳයා ගේ ෆිල්ම් බලන නොබලන කියා බොහෝ දුරට චේදනයක් නැති කුලක දෙකක් තිබේ. එ නිසා මේක කිසිම පුදුමයක් නැහැ.

    ඔබ විශේසයෙන් සඳහන් කල නිසා මං හඳයා ගැන චුට්ටක් ලියන්නම්.

    මං පොරගේ මුල්ම නිර්මාණය හැටියට දැක්කේ දුන්හිඳ අද්දර. එකේ ඉන්න නිකම් ගමේ ගෑනියෙක් නිකම් ගමේ කොල්ලෙක් එක්ක ඇල්ලේ ගල උඩ ඇවිදිමින් පාශ්වාත් උපාධි දෙක තුනක මතවාදයක් කතා කරනවා. කතාවක යම්කිසි රියලිටියක් තිබිය යුතුයි කියා හිතපු [එ කාලේ උසස් පෙලේ උන්නු] මං හිතුවේ, පිටිසර ගමකට වැරදිලාවත් පය නොතිබ්බ කොළඹ හතේ බුවෙකුගේ දුන්හිඳ පිලිබඳ චිත්‍රයක් මේක කියලා. පළමු නිර්මාණය අසාර්ථක වුවත් මා දෙවැන්නක් බලන්න ආසාවෙන් උන්න.

    ඊට පස්සේ මං ලංකාවේ හිටියේ නැහැ. බුවා කරපු ටෙලි ගැන කතාවෙනවා නිකමට මතකයි. පස්සේ මං ආපු පාරක දැක්ක තව ටෙලියක් [අතුල අධිකාරි රග පෑ]. එකෙත් අර අවුලම දැක්ක. මට මේක හොඳටම අවුල්. උදාහරණයක් හැටියට හද්ද පිටුසර කෙල්ලක් පල කොටේ ඉන්න ගොවිතැන් කරන තාත්ත ට කියනවා ඒකිගේ කොල්ල ගැන නිකම් මේ වගේ. "තාත්තේ එයා මාව කිස් කරා". තාත්ත කියනවා "හා" කියලා.

    ඒත් ඔන්න ඔහේ කියලා තනි තටුව බැලුවා. එක නම අවුල් කියන්නේ හොඳටම.

    ඉතින් දැන් හඳයා වෙනුවෙන් ඉතිරි වූ විශ්වාසයක් හෝ ඉවසීමක් නැහැ. මට නම පොරයි සුනිල් සෝම, සෙල්ලප්පෙරුම අතරේ වෙනසක් නැහැ [යසපාලිත් ටිකක් හොඳයි]. මේ ඔක්කොම කරන්නේ එක්තරා කට්ටියකට විසිල් ගහන්න කැච් ප්රෙසස් දාපු අතිශයින් අතාත්වික ෆැන්ටසියක් හදන එක. තාත්විකත්වයෙන් දුර යන්න යන්න හදන්න ලේසියි.

    දෙකට ඉන්නේ දෙවිදිහක ප්‍රේක්ෂක සෙට් එකක්. හන්දයට ඉන්නේ අන්ත වාම වාදී ලිබරල් වාදී, එක්ස් වගේ ගැන්සිය [මේ බ්ලොග් අවකාශයේ හයියෙන් හඬ නගන]. අනිත් කට්ටියට ඉන්නේ ඉතින් කවුරුත් දන්නා විසිල් ප්‍රජාව.

    උගත්කම මතවාදී වෙනස ඇරුනම දෙගොල්ලම එකයි. එකම වගේ ෆැන්ටසි දෙකක්.

    හන්දයගේ ෆිල්ම් නොවරදවා බලන මගේ ගජයෙක් කිව්ව හැටියට "සිහින දනව්ව [හරි ඔය වගේ මොකක් හරි මගුල - මං එ කාලේ ලංකාවේ හිටියේ නැහැ] පට්ට පට්ට පට්ට ම සිරා". මං ඇහුවා මොකද කියලා. "කිසි දෙයක් තේරෙන්නේ නැහැ බං. මාර සිරා" කිව්වා

    අනේ සංසාරේ.

    සමහර විට විදූ මෙහෙම නැතුව ඇති. [ඒත් මා නම විශ්වාස කරන්නේ නැහැ බිම පය ගැහු ෆිල්ම් එකක් ඕකා ගහයි කියලා]. හැබැයි අපිව ආයිත් හඳයගේ ෆිල්ම් එකකට එක්කන් යන්න ඌට හොඳ ෆිල්ම් බර ගානක් ගහන්න වෙයි.

    විස්තර සහිත විචාරයක් නොකරන්නේ කාල වෙලා ප්‍රශ්න නිසා.

    ReplyDelete
  24. මට නම් හඳගම හොඳ "නිර්මාණකරුවෙක්".

    නිර්මාණයක් කියන්නේ එදිනෙදා සිදුවෙන තාත්වික සිද්ධීන් තිරයක් මත ගෙඩිය පිටින් දිග හැරීම නොවේ.

    මං මුලින්ම දැක්කේ හඳගම ගේ ටෙලියක්. පොල්වත්තක කතාවක්. පස් අවුරුද්ද වගේ. කතාව කම්මැල්ලවීර ගේ විය යුතුයි. දුන්හිද අද්දර සහ සින්තටික් සිහින දෙකත් මං කැමතිම නිර්මාණ. දියකැට පහණ වගේ නමක් තියෙන එකක් මට මිස් වුණා. මේ පාරෙන් එන්න සහ නැගෙනහිර වෙරළෙන් ඇසෙන මං බැලුවේ බාගයක් විතරයි. ඉතුරු හරියම මිස් වුණා.

    මට හඳගම ගේ චිත්‍රපටි සේරම වගේ මට මිස් වුණා. මගේ සඳ, තනි තටුව, අක්‍ෂරය ගැන අසා තියෙනවා. බැලුවේ විදූ විතරයි.

    මගේ හිතවතෙකු කියන පරිදි මං නොබලපු චිත්‍රපටි වලදී හඳගම රාමුවෙන් පිට යාමේ අරමුණ සඳහා අනවශ්‍ය දුරක් යනවා. විවාදාත්මක වීම සඳහාම සමහර දේවල් කරනවා. ඒ ඔහුගේ මතය.

    "විදූ" ගැන ගම්ලත් ඇතුළු අය කර තිබූ විචාර කියවා මට හිතුනේ, විචාරකයෝ හඳගම උවමනාවෙන්ම බැහැර කළ තාත්විකත්වයක් විදූ තුල සොයා, එය නැති කල, ඔහුට චෝදනා කරන බවයි.

    සුජීව කියා ඇති "කිස් කළා" දෙබස ගැනත් එයම කිව හැකියි. ඒ කෙල්ලගේ චරිතය අසාමාන්‍ය එකක් නොවේද? ඇය තුලින් ගමේ කෙල්ලන් ගැන තීරණය කළ නොහැකියි. ඒ නැති වුණත්, තාත්තා හා නොකියා බැණ වැදුණා නම්, තාත්තා දුවගේ පන්තියේ කෙල්ලෙක් හා පවුල් කෑම ගැන ඇය ද පෙරලා බැණ වදිනු ඇති.

    "දුන්හිද අද්දර"ත් මුළුමනින් ම තාත්වික නිර්මාණයක් නොවේ. එහි එන "තුන්වෙනි ඇස" මුළුමණින් ම අධිතාත්වික එකක්.

    ස්තුතියි.

    සුජීව කොහෙද ස්ටඩි කලේ?
    (කළබල වෙන්න එපා. ඒ අද මාර්තු 23 කතන්දරයේ ටයිටල් එකයි).

    ReplyDelete
  25. ඔව් මේක දෙවිදිහකට දකින දෙපාර්ශ්වයක් ඉන්නවා. තනිකර වාර්තාවක් වීම නොවේ හැබැයි මා කිවේ. උදයකාන්ත වගේ අය, වසන්ත ඔබේසේකර වගේ අය "නිර්මානාත්මක" කතා හදනවා, හැමවිටම සාමාන්‍ය කතා නොවේ. ඒත් ඒ අතාත්වික කම තුල හඳය පෙන්නන කෘතීම කම නැහැ [ටැබූ ගේ කෙටි කතා තුලත් මේ දුර්වල කම මා පෙන්න දුන්නා]. අතාත්වික වීමට වඩා කට්ටියකට අවැසි කැච් ප්‍රෙස්/සිද්ධි කෘතිමව එබ්බිමයි මගේ විවේචනය.

    වෙනසක් තිබීම පමණක් ශේෂ්ටත්වයට හේතුවක් ද? අර කියන කෙල්ල සාමාන්‍ය නොවෙයි නම ඇයට ඕනෑම කෙනෙක් වෙන්න තිබ්බා. ඕනෑම දෙයක කියන්න කරන්න පුළුවන්. ඒ ඕනෑම අසාමාන්ය දෙයක් එක සේ නිර්මානාත්මක ද? ෆැන්ටසි ඔහේ ලියන්න ගියොත් කෙළක් නැතුව පුළුවන් නේ. ඒත් හැරි පොටර් වගේ හොඳින් ගොඩ නැගු ෆැන්ටසියක් අසිරු වැඩක්.

    ReplyDelete
  26. බොරු කියනේ මොකටද ඔය කඩේට යන්නේ අර තරුණ සුන්දර කාන්තාව හින්දනේ !

    ReplyDelete
  27. විදූ ගැන සංවාදයක් මෙතැන කෙරී ඇති බව පෙනෙනවා. ඒත් මම ඒ ගැන කිසිවක් මෙතැන ලියන්නේ නෑ. මේ ඒකට තැන නොවෙන්න පුළුවන්. මොකද කතන්දරගේ ප්‍රකාශයකින් පෙනෙනවා කතන්දරගෙ බ්ලොග් එක බලන අය (වැඩිදෙනෙක්) විදූ බලලා නෑ වගේ කියලා. එහෙම නැත්නම් කතන්දරගෙ බ්ලොග් එක බලන්නෙ (වැඩිදෙනෙක්) විදූ නොබලන අයද කියන්නත් මම දන්නෙ නෑ. කොහොම නමුත් විදූ නොබලපු / නොබලන අය ඉන්න තැනක විදූ ගැන කතා කිරීම අනුචිත වෙන්න පුළුවන්.

    කතන්දර මේ පෝස්ට් එකේ යොදල තියෙන "වැඩවසම් ක්‍රමය" සහ "ගජමිතුරු ධනවාදය" ගැන ප්‍රශ්න ඉදිරිපත්වී තිබෙනවා.

    මට නම් පෙනෙන්නෙ කතන්දර තමන් නොදන්න වචන යොදන්න ගිහින් අමාරුවෙ වැටිලයි කියලා. ඒක නා ගැනිමක් නම් ඊට පස්සෙ තමන් යොදපු වචන නිවැරදියි කියලා පෙන්නන යාම තුලින් සිදුවෙලා තියෙන්නෙ හත්පොලේ ගා ගැනීමක්.

    කතන්දර තමන් උපමාවක් යොදා ඇති බවක් කියා ඇතත් මට නම් ඒකත් සැකයි. මොකද කතන්දරටම කියන්න සිදුවෙනවා අවස්ථා දෙකේ 100% කම්පැටිබිලිටියක් නැතිවෙන්න පුළුවන් කියලා. එහෙම අවුල් සහගත උපමා යොදනවද? එහෙම අවුල් සහගත උපමා යෙදුවාම තේරුම් ගන්න පුළුවන් කාටද?

    අන්තිමට කතන්දරටම කියන්න සිදුවෙනවා කැමති විදියට හිතාගන්න කියලා. උපමාවක් යොදන්න ගිහින් ඊටත් වඩා චාටර් වෙන්න පුළුවන් විදියක් මම නම් දන්නෙ නෑ. පරස්පර සහිත උපමාවක් කැමති විදියකට තියා අකැමති විදියකටවත් හිතා ගන්නේ කොහොමද?

    එමෙන්ම කතන්දර කියන්නෙ තමන් ගැනිගෙ කඩේ ආණ්ඩුවකට උපමා කල බවත් පාරිභෝගිකයන් ජනතාවට උපමා කල බවත්. ඒත් එවැනි බයාදු උපමාවකට අකැමති වූ කියවන්නියක් අහනවා කඩේ මුදලාලි කියන්නෙ ආණ්ඩුවක් නම් ජනතාව කියන්නෙ වෙනත් රටවල ආණ්ඩු කියල සලකන්න බැරිද කියලා?

    (පාරිභෝගිකයෙකු වන තමන් ජනතාව විදියටත් කඩේ මුදලාලි ආණ්ඩුව විදියටත් දකින කතන්දර කඩේකට බඩු ගන්න ගියාම මුදලාලිට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද දන්නෙ නෑ.)

    මට හිතෙන්නෙ කියවන්නිය විසින් යෝජිත උපමාව නම් ටිකක් හෝ මිනිසාගෙ සමානත්වය පිළිගත් නවීන ලෝකෙට ගැලපෙන උපමාවක් කියලයි. එතකොට කතන්දර ආයෙත් තමන් නිවැරදියි කියලා පෙන්නන්න යනවා. ඒ පාර කතන්දර, ගැනිගෙ කඩේ තිබෙන එකම කඩේය කියන තැනට තල්ලු වෙනවා. කඩේ නැත්තන් පාරිභෝගිකයෝ නැතැයි කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. (මෙතැනදි අපි මතක තියා ගන්න ඕනෙ කතන්දර ගජමිතුරු ධනවාදය ගැන කතා කළේ ගෑනිගෙ කඩේ සම්බන්ධයෙන් බව. එම නිසා කියවන්නිය කඩේ යන්නෙන් අදහස් කරන්නේ ගෑනිගෙ කඩේ බව පැහැදිලියි.) කතන්දර නා ගැනීමේ සිට හත් පොලේ ගා ගැනීම දක්වා යන්නෙ ප්‍රශ්නයට මුල් වුනු ගෑනිගෙ කඩේ, තියෙන එකම කඩේ නොවන නිසයි.

    ගෑනිගෙ කඩේ සහ තවත් කඩ තිබියදී පාරිභෝගිකයන් ගෑනිගෙ කඩෙන් සහ අනිත් කඩ වලින් තමන් කැමති ලෙස බඩු ගනිත්දි කඩේ මුදලාලි සහ පරිභෝගිකයන් ආණ්ඩුව සහ ජනතාව විදියට සැලකීමට යාම මට තේරෙන විදියටනම් ප්‍රංශ විප්ලවයට පසු යුගයෙදි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.

    මට තේරෙන විදියට එක්කො කතන්දර කියන්නෙ ප්‍රංශ විප්ලවයට පෙර යුගයට අයිති පුද්ගලයෙක්. එහෙම නැත්නම්, කතන්දර "ගේ ලඟ හන්දියේ රාජාගෙ කඩේ" ගැන පෝස්ට් එක දාන වෙලාවෙදි ආණ්ඩුව සහ ජනතාව පිළිබඳ උපමාව ගැන හිතුවෙ නැහැ. ඒක තමන් නිවැරදියි කියලා පෙන්නන්න පස්සෙ ගොතපු බොරුවක්. කතන්දරගේ ලිවීම, සංස්තිථික භාවය (consistency) ගැන උන්නදුවන කියවන්නියන් තුල ලොකු පිලිකුලක් ඇති කරනවා.

    ReplyDelete
  28. @whoami
    /* මට තේරෙන විදියට එක්කො කතන්දර කියන්නෙ ප්‍රංශ විප්ලවයට පෙර යුගයට අයිති පුද්ගලයෙක්.
    */
    ඔබ හරි. මං දෙනුවර අන්දරය කියවා තියෙන කෙනෙක්.

    /* එහෙම නැත්නම්, කතන්දර "ගේ ලඟ හන්දියේ රාජාගෙ කඩේ" ගැන පෝස්ට් එක දාන වෙලාවෙදි ආණ්ඩුව සහ ජනතාව පිළිබඳ උපමාව ගැන හිතුවෙ නැහැ. ඒක තමන් නිවැරදියි කියලා පෙන්නන්න පස්සෙ ගොතපු බොරුවක්.
    */
    ඔබ වැරදියි. මං බොරු ලියන්නේ නෑ. මේ බලන්න මගේ ප්‍රකාශය.
    http://www.blogger.com/profile/16335149222379060633


    /* කතන්දරගේ ලිවීම, සංස්තිථික භාවය (consistency) ගැන උන්නදුවන කියවන්නියන් තුල ලොකු පිලිකුලක් ඇති කරනවා.
    */
    කමක් නෑ, අක්කේ මොනව කරන්නද අක්කට එහෙම හිතෙනවනං.

    හැබැයි, මං නං පිළිකුල දනවන දේවල් නං කරල නෑ.

    අක්කා මේ කියන්නේ මගේ චූ කතා හෝ කක්කි කතා හෝ පඩ කතා ගැන නෙමේ නේද?

    මගේ කන්සිස්ටන්සි එක එදත් එකයි, අදත් එකයි. හැබැයි ඒ ඉතිං මට හිතෙන විදියට නේ.

    ReplyDelete
  29. අපොයි ඔයාගෙ කන්සිස්ටන්සි එක ගැන නම් මොකට කියනවද? ඔයගෙ ඔය මහලොකු ප්‍රකශය ගැන මීට ඉස්සෙල්ලා වෙනත්

    කියවන්නියක් කමෙන්ට් කරලා තියෙනවා මම දැකලා තියෙනවා. මෙන්න මෙහෙමයි එයා කියලා තිබුනෙ.

    "(2) භින්නෝන්මාදය (schizophrenia, මම දන්න විදිහට නම් මේ වචනෙ හැදිලා තියෙන්න්නෙ භින්න +

    උන්මාදය කියන වචන වලින්) භින්න කියන්නෙ පැළුනු කියන එක (split). මනස ගොඩක්ම පැළුනු කෙනෙකුට

    කරන්න පුළුවන් වැඩක් තමයි එක පැත්තකින් තමන්ගෙ බ්ලොග් එකේ තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගැනීමයි අනෙක්

    පැත්තෙන් තමන් හොර බොරු නැති වංචා නැති ප්‍රතිපත්ති ගරුක කෙනෙක් හැටියට හඳුන්වා දීමයි දෙකම එක පාර කරන්න

    පුළුවන් වීම. මට හිතෙන හැටියට තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගන්නයි, තමන් හොර බොරු නැති වංචා නැති

    කෙනෙක් විදියට හඳුන්වාගන්නයි දෙකම කරන ගමන් තමන්ව ප්‍රතිපත්ති ගරුක කෙනෙක විදියට හඳුන්වා ගන්න මනස පුදුම

    විදියට පැළිලා තියෙන්න ඕනෙ ඇති."

    http://kathandara.blogspot.com/2011/02/blog-post_11.html

    මේ තවත් කියවන්නියක්.

    "කතන්දරකාරයා හොර බොරු වංචා නෑ කිව්වට අන්තර්ජාලයන් පිංතූර අරගෙන තම බ්ලොගයේ අනවසරයෙන් භාවිතා

    කරන බවක් පෙනෙනවා. ඉතින් මෙහෙම බ්ලොගයක පලවෙන දේවල් ගැන ඒ තරම් බරපතළ විදිහට හිතන්න හොඳ නෑ."

    http://kathandara.blogspot.com/2010/11/w3lanka.html

    භින්නෝන්මාදී තත්වයක් ඇතිවුනාම එකිනෙකට පරස්පර ලෝක දෙකක ජීවත්වෙන්න පුළුවන් වෙනවා. ඒත් තමන් ඉන්නෙ

    පරස්පර වල කියලා භිනෝන්මාදි කෙනාට තේරෙන්නෙ නෑ. භිනෝන්මාදී කෙනෙකුගෙ කන්සිටන්සි එක ගැන ඉතින්

    අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

    මෙන්න මේ වෙබ් සයිට් එකට ගියාම පුළුවනි මොකක් හරි පිංතූරයක් පළවෙලා තියෙන වෙනත් වෙබ් අඩවි මොනවද කියලා

    බලා ගන්න.

    http://www.gazopa.com/

    උදාහරණයක් විදියට කතන්දරගෙ මෙන්න මේ පෝස්ට් එකේ

    http://kathandara.blogspot.com/2011_01_01_archive.html

    තියෙන පිංතූරේ මෙන්න මෙතනත් තියෙනවා.

    http://i237.photobucket.com/albums/ff201/pinoyblogero/writersblock.jpg

    හැබැයි කව්ද ඉස්සෙල්ලා පිංතූරෙ දැම්මෙ කියලා නම් මම හිතන්නෙ ඔය සයිට් එකෙන් හොයන්න බෑ.

    ReplyDelete
  30. හිතවත් [what is in a name] කියවන්නිය වෙත,

    මගේ බ්ලොග් එක ගැන ඔබේ උනන්දුව ගැන ස්තුතියි. මා වංචාකාරයෙක් සහ ස්ක්‍රිට්ශ්‍රෝෆීනියා වෙන් පෙලෙන්නෙක් යැයි පවසා ඔබ හදන්නේ,

    (1) මට ඒ තත්වයන් ගෙන් ගැලවීමට උදව් කීරිමට

    සහ

    (2) මේ කතන්දර කියවන පාඨකයින් හට නිවරද තත්වය වටහා දී ඔවුන් මගේ කතන්දර නිසා යම් කිසි මුලාවීමක් වෙනවා නම් එයින් ගලවා ගැනීමට

    යැයි සිතමි.

    එය එසේ නම්, මගේ අවංක ස්තුතිය ඔබට පුද කරමි.

    බ්ලොග් අවකාශයේ අපට ඕනෑම දෙයක් කීමට ඇත්තේ එක්තරා ආකාරයක "වල් බූරු " නිදහසක් නිසා, එහි "චෙක් ඇන්ඩ් බැලන්ස්" තබා ගැනීම පිණිස, ඔබ වැන්නියන්ගේ සේවය අවශ්‍ය වී ඇත.

    තව ඉදිරියටත් මෙසේ මගේ බ්ලොග් කතන්දර කියවා ප්‍රතිචාර දක්වන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

    මෙහිදී කරුණු දෙකක් වැදගත් නිසා සඳහන් කළ යුතුය.

    1. මා වලියට බර පොරක් නොවේ.
    http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html

    2. එසේම, මා සියළු පවින් තොරවූවෙක් ද නොවේ. නමුත් හොඳ පුද්ගලයෙක් වෙන්නට උත්සාහ කරන කෙනෙකි.
    http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

    දැන් මෙන්න ඔබේ ප්‍රති-උත්තරයට පිළිතුරු කෙටියෙන්.

    1. ඔබ ඔය කියන චෝදනාව, එනම් මා අනුන්ගේ පින්තුර දානවාය කියන චෝදනාව, සත්‍යයකි.

    මා දැම්මේ ගූගල් ඉමේජස් සර්ච් එකක් කර සොයා ගන්නා පින්තුර යි. මෙහි ඇති වරද නම්, ඒ පින්තූර උපුටා ගත් තැන සඳහන් නොකිරීම යි.

    නමුත්, ඔබ නැවත උපුටා දක්වා ඇති පරිදි, ඒ වරද මට පෙන්වා දුන් පසු, මා මේ කතන්දර බ්ලොග් එකේ පල කළ හැම ඡායාරූපයකම පාහේ මා ඒවා උපුටාගත් තැන් සඳහන් කර ඇති බව මෙය කියවන අයට පෙනෙනු ඇත.

    මා වරද නිවරද කර ගත්තේ එලෙසයි.

    පහත කතන්දරයේ දී නම් එය උපුටාගත් තැනක් සඳහන් කලේ නෑ.
    http://kathandara.blogspot.com/2011/03/heres-another-world-cup-cricket-song.html

    ඒ, එහි ඇති ඡායාරූපය මා ගත් එකක් නිසයි.

    2. ඔබ දෙතැනක ඇතැයි සඳහන් කර ඇති කාටූනයේ හිමිකම ඒ කාටුනයේම සඳහන් කර ඇත. [blogcomis.com]

    නැවතත් ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙමි.

    -කතන්දරකාරයා

    ReplyDelete
  31. නියමයි අයියා එල.....ජය වේවා!නියම කතන්දරයක්..මම කතන්දර විචාරකයෙක් නෙවේ...ඒත් කියවන මොලෙන් හිතන්න හොද නෑ..එතකොට ඒක තමන්ටම ඇනයක් වෙනවා!මම නම් හිතන්නෙ උන්ඩුක පූච්චෙන්..ඒ වින්දනය මට මොලෙන් හිතල ගන්න බැ..මේ මට හිතෙන විදිහ..ඔගොල්ලොන්ට කොහොමද දන්නෙ නැ..මේ මගේ හැටි..
    ප/ලි: මම උන්ඩුක පූච්චෙ කියල කිව්වෙ මම දන්න විදියට එක තමයි තියන කුඩාම අවයවේ..මම හිතන්නෙ කුඩාම තැනින්...හිතල බලන්නකෝ....

    ReplyDelete
  32. ෂා..... මරු පාඨකයෝ සෙට් එකක් නෙ ක.කා. ට ඉන්නෙ. ඔච්චර හිතන්නෙ නැතුව කියවල හිනා වෙන්න පුලුවන් නම් ඒක තමා ගොඩක් හොඳ කියල මට හිතෙන්නෙ. එහෙම නැතුව සියලු දෙනාටම තමංගෙ "දැනුවත් භාවය" හෝ "පංඩිත භාවය" පෙන්වීම නෙමෙයි.

    එහෙම ඕනෙ නම් කතන්දරට ඊමේල් එකක් දැම්ම නම් ඉවරයි නෙ.
    ඊට පස්සෙ conversation එක post එකක් විදියට දාන්න බැරියැ.

    ReplyDelete
  33. අනේ මේ ඉහලින් කොමෙන්ට් කරපු 'විචරක'යෝ සමහර රූපවාහිනි නාලිකා වල යන වැඩසටහන් ගැනත් මෙහෙම කොමෙන්ට් කරලා යවනවා නම්.... !

    ReplyDelete
  34. @Mahathun ge

    කියල වැඩක් නෑ බන්..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.