Friday 26 August 2011

දුප්පත් සරොං කඩමාල්ලේ ඇති විවිධ ප්‍රයෝජන - Many uses of the humble Sarong


සරම කියන්නේ අපේ ජීවිතවලට හරිම සම්බන්ධ ඇඳුමක්. ඒත් මං තාම සරොං ගැන කතන්දර ලියලා තියෙන්නේ තුනෝම තුනයි!

රත්නායක මහත්තයා බඳින්න කලින් රමණී මැඩම් ගේ ගෙදර ගිහිං වෙච්ච සරොං පටලැවිල්ල එයින් එකක්.

ඒ-ලෙවල්ස් කරන කාලේ මං පන්සලට කලිසමක් ඇඳං ගිය බව දැකපු සිංහල බෞද්ධ තලිබාන් වංශයේ නාලන්ද පියතිලක ලා මට අවවාද කරපු කතන්දරේ දෙවෙනි එක.

සරොං අස්සේ ජොක්කු තියෙනවාද බලන්න පත්කිරීමට යෝජිත කාන්තා බලකාය ගැන ලියපු කතාව තමයි අනික.

සරොං වලින් මං නං වැඩිපුරම කැමති "බතික් සරොං" වලටයි. තුල්හිරිය, වේයන්ගොඩ පිජාමා සරොං ඇඳ, ඇඳ හිටිය අපිට "බතික් සරොං" කියන්නේ ඒ දවස්වල "ෆයිව් ස්ටාර්" සංකල්පයක්.

ඒ හැබැයි ඉස්සර -පොඩි කාලේ.

දැන් නං හිත යන්නේම, හොඳ වෛයිවර්ණ "ටෙලිවිෂන් මාක්" එකේ සරොං වලටයි.

බතික් වුණත්, ටෙලිවිෂන් වුණත්, කොහොමටත් පාට තද වැඩි වුණාම, අර "ඝන්ඨාර මාක් සරොං" ගණයට නොවැටී බේරෙනවානේ.

සරම හරිම වර්සටයිල් ඇඳුමක්.

1. තාත්තලා ට දිගට අඳින්න, කැහැපොට ගහන්න, වලාපොට ගහන්න, ක්‍රම තුනකට අඳින්න පුළුවන්. මැක්සි, මිඩි සහ මිනි ස්කර්ට් වගේ. මට මතකයි අපි චූටි කාලේ තාත්තා පුටුවක වාඩිවෙලා ඉන්න කොට අපි තාත්තා ගේ සරමේ වාඩිවෙලා ඔන්චිලි පදිනවා.

2. අම්මලාට නාන්න අඳින්නත් පුළුවන්.

3. ළමයින්ට රෑට නිදාගන්න කොට පොරවන්නත් පුළුවන්.

හැබැයි ඉතිං ඔය දිය රෙද්දට, පෙරෝන රෙද්දට සරම ගන්න පුළුවන් වෙන්නේ සරමේ අයිතිකාරයාට එක සරමකට වඩා තියෙනවා නං විතරයි.

අපි පොඩි කාලේ මට මතකයි අපේ බාප්පා ට තිබුනේ එක සරමයි. පොර සෙනසුරාදා ට ජොකා ගහගෙන සරම හෝදලා, සරම වේලෙන කං ජොකාට උඩින් පත්තර කොළයක් ඇඳගෙන ඉන්නවා.

විවිධාකාරයේ ෂර්ට්, කලිසං තිබුණත් පොර කවදාකවත් සරොං දෙකක් ගන්න නම් හිතුවේ නෑ!

සරමක තියෙන අනිත් අති වැදගත්ම පහසුව තමයි, අපි පිරිමි හොඳින් දන්නවා වගේ සරම අඳින්න හරිම ලේසියි. ගලවන්න ඊට වඩා ලේසියි.

ඇත්තටම කියනවා නං, ගලවන්න ඕනෑත් නෑ, ටොයිලට් ගියාම හෙම නිකං උස්සන්න විතරනේ තියෙන්නේ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න කාලෙකට කලින් මට චාන්ස් එකක් ලැබුණා රටින් පිට පනින්න. වෙන මොකකටවත් නෙමේ මං අර නිතරම කියන පස්තාච්චි කුපාඩි වැඩේටයි.

ඔතන ඉන්න කාලේ සරොං ඇඳිම ටිකක් යට ගියා. කැම්පස් එකේම ජීවත්වුණු හින්දා, උදේ ඉඳන් රෑ නිදාගන්න යනතුරුම දිග කලිසම ගහගෙනයි හිටියේ. රෑට නිදාගත්තේ ෂෝටක් ගහං.

ඒ දවස්වල අපි දවල්ට, රෑට කෑවේ, හය දෙනෙක් සෙට්වෙලා චමරියක් දාලා කෝකියෙක් ලව්වා කෑම උයාගෙනයි. "අයි කුක් සී-ලංකා" වර්ගයේ කෝකියෝ හිටියා අපේ උදව්වට.

කාලා අත හෝදලා අත පිහදාන්න අපි පාවිච්චි කළේ ටොයිලට් පේපර් රෝල්. මේවා දාන්න ම සුවිශේෂී ප්ලාස්ටික් උපකරණයක් හදලා තිබුණා තායිලන්තේ වැසියෝ.

ටොයිලට් පේපර් රෝලේ මැද තියෙන කාඩ්බෝඩ් රවුම අයින් කරලා, ඒක මේ ප්ලාස්ටික් ටින් එකක වගේ එක ඇතුලට දාලා උඩ තියෙන හිලකින් ටොයිලට් පේපර් අවශ්‍ය දිගට ඇදලා කඩාගන්න පුළුවන් අත පිහදාගන්න. (උඩ තියෙන පින්තූරය බලන්න).

ඕකට පුරුදු වෙලා ඉන්න අතරේ, මට දවසක් හදිසියේම වගේ මතක් වුණා, බොලේ, අපිට ලංකාවේ දී මෙහෙම ටොයිලට් පේපර් රෝල් තිබුණේ නෑ නේ අත පිහදාන්න කියලා.

එතකොට කොහොමද ලංකාවේ දී අපි කාලා, අත හෝදලා, අත පිහ දැම්මේ?

වෙන කොහොමද, සරමේ අත පිහ දැම්මා මිසක්?

සරොං අඳින අයට මොකටද අත පිහදාන කොළ?

සරම කියන්නේ විවිධාකාර ප්‍රයෝජන තියෙන ඇඳුමක් නේ.. .!!!

-කතන්දරකාරයා

ප/ලි:
සමහර අයගේ සරොං නං භූගෝලය ඉගෙන ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

(image: පස්තාච්චි කුපාඩි ආයතනයේ අචාන්වරයෙකු ගේ සාදර අනුග්‍රහයෙනි!)

43 comments:

  1. කතාන්දරේට දුක හිතුනේ ඇත්තටම අත පිහද ගන්න සරම නොතිබුන එකටද??? එහෙමත් නැත්නම් වෙන දෙයකටද කියලා මම මේ කල්පනා කලේ

    ReplyDelete
  2. සරම පොරෝන කතාව ටිකක් අඩුපාඩුයි. දැනට උනත් හොඳට ගුලිවෙලා සරම අස්සට රිංගලා නිදාගන්න මට පුළුවනි.

    හැබැයි ලංකාවේ අත පිහදාන වැඩේට පාවිච්චි වෙන්නෙ වැඩිපුරම දොර රෙද්ද හරි ජනෙල් රෙද්ද හරි නේද?

    කොහොමත් පදමට මිරිස් තුනපහ දාපු කෑම කාලා සරමෙ අත පිහදැමීමේ අන්තරාවකුත් තියෙනවායි හිතනවා.

    ReplyDelete
  3. සරම කියද්දි නියම කතාවක් මතක් වුනා. මේක සමහර අයගෙ පෞද්ගලිකත්වයට බලපාන නිසා වැඩි විස්තර කියන්නෙ නෑ.
    මේ පුද්ගලයා ජාත්‍යන්තර ආයතනයක් යටතේ රටවල් හැටගනණක රස්සාව කරල තියන මැවිසුරුවෙක්. එයාට ජර්මානු නෑදෑයෙක් ඉන්නව, කාන්තාවක්. ළඟම ඥාතියෙක් නිකං පුංචි අම්ම කෙනෙක් වගේ.
    ලංකාවෙදි මේ නෑදැයගෙ බර්ත් ඩේ පාටි එකකට අපේ මැවිසුරු තුමාට ආරාධනාවක් ලැබිල. පාටිය තිබිල තියෙන්නෙ ඩිප්ලොමැටික් ප්ලේස් එකක. පොර "හොඳම හොඳ" සරමක් ඇඳගෙන ගිහින් තියෙන්නෙ උත්සවේට. සමහර විට ඔය කියන බතික් එකක් වෙන්න ඇති. මේ මං හිතන්නෙ එක්දාස් නමසිය හැට හැත්තෑව කාලෙ.
    නෑදෑය කලබල වෙලා ඒ වගේ තැනකට තමන්ගේ ආරාධිත නෑදෑයෙක් සරමක් ඇඳගෙන ගිය එක ‍ගැන, "යූ කේම් විත් දිස් සරොං?" කියල ඇහුවලු.
    "යර්ස්, අයි ඈම් වෙයාරිං අ ස‍රොං. මයි ග්‍රෑන්ඩ් ග්‍රෑන්ඩ් ග්‍රෑන්ඩ් ෆාදර් ඕල්සෝ වෝ සරොංග්ස් වෙන් යුවර්ස් වර් වෙයාරිං ලීව්ස් ඔෆ් ට්‍රීස්"
    මැවිසුරුතුමාගෙ උත්තරේට ජර්මානු කාන්තාව නෝ වෙයාර් ලු.
    සරම ඓතිහාසික ඇඳුමක්. ඒත් මං අහල තියෙන්නේ ඕක බුරුමයෙන් අපට ලැබුන කියල. අර ජර්මන් කාන්තාව ඒක දැනගෙන ඉඳල නෑ මං හිතන්නෙ.
    -ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  4. කතන්දර
    සරම අඳින්න පුලුවන් තව එක ක්‍රමයක් තියනවා.හදිස්සියකට පටස් ගාලා සරමෙන් අමුඩේ ගහන්නත් පුලුවන්.

    ReplyDelete
  5. පිරිමින්ගෙ සරං දිහා බලල භූගෝල පාඩම මතක් කරගන්න හදන්නෙ වැඩිපුරම ගෑණු උදවිය වෙන්ටැ.... කොත් කන්ද එහෙම සිතියමේ දකින්න හරි ආස ඇති නේද කතන්දර ?

    ReplyDelete
  6. මරු පෝස්ට් එක. සරමි තව විප්ලවකාරී ප්‍රයෝජනයක් ගැන මම ලියලා තියෙනවා. මෙන්න ලින්ක් එක.
    http://matahithenahatty.wordpress.com/2011/08/23/%e0%b7%84%e0%b7%84%e0%b7%8a-%e0%b7%84%e0%b7%84%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%8b%e0%b6%b9-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99-%e0%b6%b8%e0%b6%82-%e0%b6%ad/

    ReplyDelete
  7. අර භූගෝලය ඉගෙන ගන්න යද්දී අයියේ සමෝච්ච රේඛා, ශේෂ කදු එහෙමත් පැහැදලිව දක්වා තියෙනවද? සිතියම් ඈඳිල්ල නම් සරමේ විතරක් කලිසමෙත් තියෙනවා....

    මං සරම අඳින්න දන්නේ නෑ... ඉස්සර දහම් පාසල් යද්දී අම්මා සරම අන්දලා බෙල්ට් එකකුත් දාලා ආයෙම යටින් ෂෝටකුත් අන්දලා යවන්නේ...

    ReplyDelete
  8. මටත් ඇත්තටම ආපු ප්‍රශ්ණෙ කතන්දරට සරම මතක් වෙන්න කලින් පිහින්න ගියේ අතමද කියන එක.... මොකද සරමේ තියෙන වෙන පහසුකම් බලපුහාම අත පිහින එක එච්චර වැදගත් දෙයක් නෙමෙයිනේ....

    ReplyDelete
  9. සරම ගැන කියන්න තව කතාන්දර ගොඩාක් තියනව. ජොකා අදිනකොට සරම අල්ලගන්න වෙන්නෙ කටින්. ඇදුම් මාරුකරනකොට ලේසිම ඇදුම තමයි සරම.මොකද ෂෝටකින් කලිසමකට ලේසියෙන්ම මාරුවෙන්න බෑ. පුළුවන් සරම ඇදලා ඉන්නවනං විතරයි. තව කතාවක් තියනවා කාටහරි බනිනකොට කියන්නෙ "උඹලගෙ තාත්තාට උඹ හදාගත්තට වඩා හොදයි සරමෙ පිහිදගත්ත නං කියලා! අපේ ගමේ ඉන්නවා පොල් කඩන මනුස්සයෙක් එයා ගහට නගින්නෙ සරමෙන් හදාගත්ත වලල්ලකින්. අපි පොඩිකාලෙ පීනන්න පුරුදු වුනෙත් සරමෙන්.සරම තදට ඇදලා වතුරට බැහැලා සරම තෙමුණට පස්සෙ ඇතුලෙ වාතය එකතු වෙන විදියට වේගයෙන් කැහැපොට ගහල ඇදගත්තම වතුරෙ ගිලෙන්නෙ නෑ.හැබැයි හොද පැහැදිලි වතුරක මෙහෙම හිටියොත් පරිස්සං වෙන්න ඕන. මොකද වතුර යටින් සෙට් එකම පේන නිසා...:D ඔයවගේ ප්‍රයෝජන අනන්තයි.අදින්න ලේසියි.ඇන්දම පහසුයි.

    ReplyDelete
  10. සරමෙන් භූගෝලෙ....????:O පොඩි මෑන්ගෙ කමෙන්‍ටුවනම් නියමයි...:D

    ReplyDelete
  11. ගෙදරට සරම නැතුව කොට කලිසම් ඇන්දවීමේ අසාර්ථක සටනින් පැරදී සිටිමි

    ReplyDelete
  12. සරම කියන්නෙ ඕල් ඉන් වන් ඇඳුමක් නේ...

    ReplyDelete
  13. අපේ අය්යන්ඩි සරම ගලවල වලල්ලක් වගේ බිම දාල යනව වගේ එපා කරපු වැඩක් තවත් නෑ මටනම්..

    ReplyDelete
  14. කපීකේකි26 August 2011 at 09:41

    දැන් ඉන්න පිරිමි ලමයින්ට සරමක් වත් ඇදගන්න බෑ කියල සමහරු කියනව.ගොඩක් ශෝට අදින්න පුරුදුවෙලානේ.ඒක වෙන්න ඇති.මටත් මතකයි ඉස්සර අපි පොඩි කාලේ අප්පච්ච්ගෙ සරමේ එල්ලිලා ඔන්චිලි පදිනවා.මම් සරම් කොට කරල ඇදගන ඉදලත් තියනව පොඩි කාලේ.බතික් සරම් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  15. කත බතික් සරම අඳින්නෙ ඇයි කියල හැමෝම දන්නවනේ.. සමහර අයගේ සරම් හෝදන්න සව් දාන්න ඕන නෑ. අමුඩේ ගහන් හොර පොල් කඩල මාට්ටුවෙලා බල්ලො එළවන කොට සරම් බිම දාලා දිව්ව තවමත් මතකයි. ඒ සරම් වල අයිති කාරයෝ ඩී ඇන් ඒ පරීක්ෂණ තිබ්බත් අද වෙනකම් හොයාගන්න බැරි උනා..

    සරම උස්සල කක පුස පුස කළුවරේ පඳුරකට චූ කරනව තරම් සැපතක් කම් සැපෙන් වත් ලැබෙන්නේ නෑ මයේ හිතේ. කලිසම් ඇඳන් මේ ආතල එක කවදාවත් ගන්න බෑ. ඉස්සර සරම් ඇදන් නාන කෙල්ලො දිහා හොරෙන් බලනව. අද බැලුවොත් එහෙම පොලු පාර කාලා මැරෙන්න වෙන්නේ..

    අපේ මස්සිනා සෙල්ලක්කාරයා.. දවසක් පොර ගෙදරින් ගියේ පෙරහැරේ අලි යන සරමක් ඇඳන්. මේන්න යකෝ ඌ ගෙදර එනකොට අලි ඔලුවෙන් හිටගෙන...

    ReplyDelete
  16. මමත් ආසම ඇඳුම සරම... මට මතකයි හාහාපුරා කියල මං සරමක් ඇන්දේ අවුරුදු 7 දි විතර. මට මතකයි අම්මා අපේ තාත්තගේ පරණ සරමකින් මට සරම් 2 ක් ම මහලා දුන්නා... ඒ කාලෙ සරම අඳින ක්‍රමේවත් දන්නෙ නෑ මං! හැබැයි එදා ඉඳං අද වෙනකම්ම මගේ ආසම ඇඳුම තමා ඕක...

    දැං දැං ලේසියට මඟුල් ගෙදරක උනත් ඇඳං යන්නෙ සරම! වෙලාවට අපේ මායියගෙනුත් විරුද්ධත්වයක් නෑ ඕකට... :)

    ReplyDelete
  17. හිතුවම නේ මතක් වෙන්නේ අපි සරමෙන් සුවල්ප ප්‍රයෝජනයක්ද ගන්නේ කියලා. මට හිතන්නේ අපට සරම නම්, කාන්තා පක්ෂයකට ..නයිටිය තමයි..ජාතික ඇදුම වෙලා ඇත්තේ.

    ReplyDelete
  18. ඔලුවෙන් දමල අදින්නත් පුලුවන්.. හෝදල නැත්නම් කකුල් දෙකෙන් දමලත් අදින්න පුලුවන් එකම ඇඳුම සරම විතරයි නේද?

    ReplyDelete
  19. "සමහර අයගේ සරොං නං භූගෝලය ඉගෙන ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්" :DDDDDDDDDD

    මම ගිය ඒලෙවල් පන්තියක උදේ 10 විතර වෙනකොට ජනේල් වලින් අව්ව ඇතුලට වැටෙනවා. එතකොට ඒ අයිනේ ඉන්න ළමයිට හරිම අමාරුයි. ඉතිං ළමයි ඒක දවස් ගානක් තිස්සේ සර්ට කියනවා එතකොට සර් ගිහින් අදාල ස්ථානය අයිති අයට කියනවා. ඒත් විසඳුමක් දුන්නේ නෑ. අන්තිමට සර් ගිහින් ස්ථානය අයිති අයට කියලා "ඔයාලා ලබන සතිය වෙනකොට මේ පංතියට ජනෙල් රෙදි නොදැම්මොත් මගේ පරණ සරම් ටිකක් ගෙනත් ජනෙල් වල එල්ලනවා" කියලා. ඔන්න ඊට ප්ස්සේ සතියෙනම් පන්තියට යනකොට ජනෙල් රෙදි දාලා තිබ්බා :D

    ReplyDelete
  20. මුස්ලීම් අන්තවාදීන් විසින් කඩුවලින් පහරදී මිලේච්ඡ ලෙස ඝාතනය කළ පොලිස් සැරයන් නවරත්න බණ්ඩාර ට අපගේ ආචාරය!
    මේ අවසාන ඝාතනය වේවා!
    No more, please!

    ReplyDelete
  21. කිසිම කරදරයක් නැතිව අඳින්න පුලුවන් ඇඳුම තමා සරම, මමත් ආසම ඇඳුම .......

    ReplyDelete
  22. මං සරොං අඳින්නේ ගෙදෙට්ට විතරයි.

    හැබැයි දකුණු කුරු දිවයිනේ උන්නු කාලේ එහෙ තියෙන "මාලඹේ" දිහාවේ උන්නු අපේ බැච් පැරලල් සෙට් එකට විසිටක්‌ දැම්ම වෙලාවේ එතන එකෙක් සරම ගැන පිළිකුලෙන් කතා කල නිසා අපි ඔක්කොම සරොං ඇඳ ගෙන මුළු මාලඹේ ම සැරි සැරුවෙමු. ඉඳ හිට හඩු සුද්දෙක් පොඩි සද්දයක් දැම්මත් මේකෙන් වැඩියෙන්ම රිදුනේ අපේ බුවාටයි. කාට හරි අල්පෙනෙත්තක් අනින්න ඇත්නම් අපි ඒ කාලේ යකඩ ඇන උනත් ගිලිනවනේ.

    ප්‍රසිද්ධ තැන්වල සරොං ඇන්දේ එදා විතරයි.

    [බය වෙන්න එපා අපි මැන්චෙස්ටර් නංගිගේ ප්‍රෝඩක්ට් ඒක ඇඳලා උන්නේ]

    ReplyDelete
  23. සරමේ හිටං කීවලු...
    සරමට අපේ ආචාරය!!

    ReplyDelete
  24. මම සාමෙට බර පොරක්... ( බය ගුල්ලෙක්ම නෙමෙයි ආගියුමන්ට් වලට යන්න කම්මැලියි ).නමුත් අපේ සපතේරු හාමිනේට ඕනැ මම වැරැද්ද දුටු තැන එයට එරෙහිව කතාකරන ධීර විර පොරක් වගේ ඉන්න.. ඉතින් මොකක් හරි කේස් එකක් වෙලා මම කරබාගෙන ආවොත් උන්දැ කියන්නෙ..

    "ඔය කට තියෙන්නෙ ඇඳුම් මාරු කරන්කොට සරම අල්ලගන්න විතරක් නෙමෙයි" ..කියලයි...

    ReplyDelete
  25. අපේ ගමෙත් පොරක් හිටියා, පොර සරමක් ඇඳන් ඇව්ල්ලා, ඒකම වලල්ලට හදල පොල් ගහටත් නැගල ඊට පස්සේ සරමේ අනිත් කොන ගැටගහල ඒකට පොල් ටික දාගෙන ජොකා පිටින්ම උස්සන් යනවා....

    ඒ පොල් විකුණුපු සල්ලි වලින් බීල, ගෙදර ගියේ කොහොමද කියලනම් දන්නේ නෑ....

    ReplyDelete
  26. කියල වැඩක් නැ උපරිම ආතල් දෙන ඇදුම..පට්ට දඩිය වෙලාවක කිසි කචල් එකක් නැතුව ඩැශ් බොර්ඩ් එකෙ එසි වෙන්ටිලෙටර් එකට අල්ල ල යට්තල පහසුකම් සියල්ල කුල් කරල දාන්නත් පුලුවන් නෙ..හැබැයි තමං විතරක් වාහනෙ යන කොට හරිය..

    ReplyDelete
  27. සරම..නියම ඇදුම නොවැ.හැබැයි ඕක ඇදන් කැම්පස් එකකට යන්න බෑ.අපේ එකෙකුට කිව්ව ඕක නිදන ඇදුමක් කියල..වි සී.

    ReplyDelete
  28. මම සරමක් ඇන්ඳේ එක වක වසරේදී .. අපි ඉතින් කෙල්ලොත් එක්ක ඔට්ටු අල්ලනකොට කියන්නේ ..

    "ඔයාලා ඕක කලොත් මම සරමක් ඇඳන් ඔලුවෙං හිටගන්නවා කියලා"

    කෙල්ලෝ මොන දහං ගැටේ දාලා හරි ඔට්ටුව දිනන්නමයි හදන්නේ ..සරමේ සෙතේ !

    වලිට යනකොට සරම කැහැපට ගහගන්න ඕන එතකොට තමයි පිරිමියෙකුගේ පිරිමි කම ඔප් නැං වෙන්නේ ..

    අපේ පැත්තේ ගං වතුර තිබුනු සන්දියේ සමහරු සහම හීනිවට පටියක් වගේ නමාගෙන ගං වතුර තරනය කලා ..ඒත් ඔන්න ඔතනදී සරමේ සිකුරුටි මදි බව තමයි මම දැක්ක කරුන ..

    සරම ඇතුලේ තියන උපාංග දියේ ගෑවෙනකොට මාලුන් ඒවාට පහර දීමට පෙලඹෙන නිසා ගං වතුර කාලේ අපේ පැත්තේ සීයලා පවා කලිසම් ඇන්ඳා !!

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ කියලා තියෙන සරමේ තියෙන පල ප්‍රයෝජන ගැන කසූ දන්නවා ඇතිනේ :))

    ReplyDelete
  31. samaharak saran ikmanata diranne ey ?

    ReplyDelete
  32. සරම වනාහි ඉතාම ආතල් ඇඳුමක්. දෙකක් දාලා 'ඔරුවක පාවෙන' සිංදුව කියලා ඔරු ඩාන්ස් දානකොට තවත් ආතල්.

    ReplyDelete
  33. ඇයි .. සරමෙන් වලා පොට ගහගෙන.. ඒ මැද්දට ඔනෙම දෙයක් එකතු කරන්නත් පුලුවන්... සමහරු මල් කඩන්නෙත් සරමට... !!!
    මෙ ලඟදි සරමට පුවක් එකතු කරපු කතාවක් සඳරුගේ හිස් අහසේ ලියවිල්ලා තිබුනා...

    ReplyDelete
  34. දන්නැති හින්දමය් අහන්නෙ. සරමෙන් කොහොමද භූගෝලෙ ඉගෙන ගන්නෙ?

    ReplyDelete
  35. කතන්තරේට මතකද මන්ද ටොලමි කියල බැචෙක් හිටිය පේරාදෙණි සංදියේ ????

    ReplyDelete
  36. සරමෙ ලෝක සිතියම හොඳට හිටියම වේලන්න වනන්න ඕන නෑ. බිත්තියෙ හේත්තු කරල උනත් තිබ්බැහැකි.

    සරම ඇඳන් නිදාගන්න පුරුද්ද තීන්න ඕන. නැත්තං ඉතින් ෆ්‍රී ෂෝ තමයි!
    අර ගුරුවරු තුන්දෙනෙක් වියානාවල ගුරු සමුළුවට ගිය ගමණ ගැන තිබ්බ පොතේ තිබ්බ එහෙ උන්න ගෑණු කෙනෙක් පාරෙදි පස්සෙන් දුවං අවිත් එක ගුරෙක්ගෙ සරමෙ උඩ ඉඳන් පහලටම අතගෑවලු. බලනකොට මේක කොහොමද නොවැටි තියෙන්නෙ කියල හොයා ගන්න ට්‍රයි කරලලු.


    මාතලන්ගෙ කමෙන්ට්ත් පට්ට!

    ReplyDelete
  37. සරම් කතා කීපයක් මතක් උනා.
    1. කසූ පේරා හිටපු නිසා සමහරවිට දන්නවා ඇති "රාජසිංහ අමුඩේ" ගහන හැටි :P
    2. මමත් සරම අඳින්න පටන් ගත්තේ අවු 5-6 කාලේ ඉඳල. මමත් පුංචි කාලේ නිදා ගන්නකොට සරම පෙරවන් නිදා ගන්න පුරුදු උනා. පස්සේ කොළඹ ඇවිත් රෑට ෂෝට ගහන්න පුරුදු වෙනකල් ම සරම තමි මගේ සමීපතම ඇඳුම උනේ. මට මතකි මගේ අයිය මට විහිලු කරනවා මම උදේ නැගිටිනකොට සරම බෙල්ල වටේ සහ අවශ්‍ය අනවශ්‍ය ඔක්කොම එළියේ ය කියල.

    ReplyDelete
  38. ඇනෝ,
    ඒ කියන්නේ උගේ සරම උදේට ටොලමි ගේ ලංකාවේ සිතියම වගේ ද ?? LOLzzzz

    ReplyDelete
  39. අපේ පැත්තෙ පොරක් සරමට නියම ගැටයක් දානවා.. ආයි ඉතින් කඩනවා බොරු...

    ReplyDelete
  40. මගෙ මිත්‍රයෙක් ඔය සිතියං නිර්මානකරනය සඳහා සරමක් පාවිච්චි කරනව. මිනිහ ඔය සරම තියල තියෙන්නෙ ඇඳට නගින පැත්තෙං මෙට්ටෙ යට. දවසක් මුංගෙ අම්මට ඔය සරම අහුවෙලා . . . හෝදලා යාලුවා හවස ගෙදර ආවම අවවාද දෙනවලු "පුතා අලුත් මේස් කුට්ටං ටිකක් ගන්න. ඔයා සපත්තු දාන්න කලිං කකුල් පිහින රෙද්ද හරිම ගඳයි . . . . ඕක ශුවර් එකටම ඔයා නයිලෝන් මේස් පාවිච්චි කරන නිසා වෙන්න ඇති" කියල

    ReplyDelete
  41. මමත් අර මරුමුස්ගෙ බෝට්ටුවෙමයි. දැන්නං නැගිටිනකොටත් සරම ඉන් ප්ලේස්...

    ReplyDelete
  42. කමෙන්ට් ටිකයි පෝස්ට් එකයි පට්ට !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.