Sunday, 26 June 2011

කැසට් මුදලාලි ලා මාව රවට්ටලා මගේ කට හඬට නව රිද්ම සංගීතය දැම්මා :: රෝහණ බැද්දගේ සමග කතන්දරකාරයා පිලිසඳරක - Interview with Rohana Beddage


නෙම් ඩ්‍රොපින් ගැන කියා මා දැමූ සරච්චන්ද්‍ර, කාලෝ සහ ජයලත් මනෝරත්න ගැන කතන්දරය මතකද?

අදත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ පලවෙන්නේ ඒ වගේ නේම් ඩ්‍රොපින් කතන්දරයක්. ඇත්තටම මේක කතන්දරකාරයා මීට වසර කිහිපයකට උඩ 2007 දී රෝහණ බැද්දගේ සමග කල සාකච්ඡාවක්.

කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.

කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා

බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.

කතන්දරකාරයා: අපි නම් ඔබ ගැන මුලින්ම ඇහැව්වෙ "මගෙ රත්තරං හෙලේනා" කියන ගීතයෙන් ගායකයෙක් විදිහට යි.

බැද්දගේ: ඇත්තටම සංගීතය සහ ගායනය මම මගේ වෘත්තියට අමතරව කළ දෙයක්. ඒ ගීතය මම 1968 දී පමණ ලියා ගායනය කළා එවකට මකුලොළුව මහත්තයා මෙහෙයවපු වැඩසටහනක දී. රත්තරං හෙලේනා ගීතයේ “කව්ද?” කියන කොටස කිව්වේ එම වැඩසටහනට සහභාගී වුනු ටී. එම්. ජයරත්න මහත්මයා යි. ගීතය පටිගත කළේ නම් කලකට පසුව 1974 දී. සංගීත පර්යේෂණ අංශයේ සඳැල්ල වැඩසටහන වෙනුවෙන්.

කතන්දරකාරයා: එතකොට බන්දුල විජේවීර සමග ඔබ ගායනා කළ ඉතාමත් ජනප්රිය වුනු මාමයි බෑනයි ගීත?

බැද්දගේ: ඒ ඊට දශකයක ට පමණ පස්සේ 1982 දී විතර. ගීත ක්‍ෂේත්‍රයට පිවිසුනත්, මා 1986 වන තුරු පාසැල් වල නැටුම් ගුරුවරයෙක් විදියට සේවය කළා. ඉන් පසු සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ජන සංගීතය ඉගැන්වීමට පටන් ගත්තා.

කතන්දරකාරයා: ඔබේ නාට්‍ය රංගන පිලිබඳව කතා කළොත්?

බැද්දගේ: මා මුලින්ම 1974 දී දයානන්ද ගුණවර්ධන ගේ ගජමන් පුවත නාට්‍යයට සම්බන්ධ වුනා. ඉන් පසු ඔහුගේ ම ජසයා සහ ලෙංචිනා, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා යන නාට්‍ය වල සංගීතය සහ නැටුම් අධ්‍යක්‍ෂණය කළා. ජයලත් මනෝරත්න ගේ අන්දරේලා ඇතුළු නාට්‍ය කිහිපයකට ම සංගීතය නිර්මානය කළා. මුලින්ම ටෙලි නාට්‍යක රඟපෑවේ පලිඟු මැණිකේ නාට්‍යයේ 1982 දී.

කතන්දරකාරයා: මේ දිනවල මොනවගේ කලා කටයුතු වලද නිරත වෙලා ඉන්නේ?

බැද්දගේ: මේ දවස්වල (අප්රියෙල්) නම් කිසිම විවේකයක් නැහැ. අවුරුදු ලංවෙන කොට හැම මාධ්‍යයට ම කොහා මතක් වෙනව වගේ රෝහණ බැද්දගේ ව මතක් වෙනවා. රූපවාහිනී වැඩ සටහන් එක දිගටම යෙදී තියෙනවා.

කතන්දරකාරයා: මාමයි බෑනයි ගීත එකතුවට අමතරව වෙනත් කැසට් පට, සංයුක්ත තැටි හෙම නිෂ්පාදනය කරල තියෙනවද?

බැද්දගේ: මේ දිනවල මගේ පැරණි ගීත නැවත පටිගත කරන ව්‍යාපෘතියක් අරඹලයි තියෙන්නේ. මම තැටි දෙකක් පසුගිය කාලයේ කළා ඒ සන්ෆලවර් වගේ සංගීත කණ්ඩායම් එක්ක. නමුත් ඒව මගේ සංගීත ආරයට ගැලපෙන ඒව නෙවේ.

කතන්දරකාරයා: හුඟ දෙනෙක් ඔය නව රිද්ම වැඬේ කළා නේද? ඒව නම් හොඳ නිර්මාණ වුනේ නැහැ කියලයි මට හිතෙන්නේ.

බැද්දගේ: ඇත්තටම වෙළද ව්‍යාපාරිකයෝ යි ඕව කරන්නේ. ඒ අය මා එක්ක බෙර හෙම ගහල ගීත ගායනා කරල අවසාන වුනාට පස්සේ, පසුබිම් සංගීතය වෙනස් කරනවා බටහිර නාද වලට.

කතන්දරකාරයා: ඉතිං ඒක හරි අපරාධයක් නේ. කැමැත්ත නොදී එහෙම කරන්නේ කොහොමද?

බැද්දගේ: මගෙන් කළ ඉල්ලීමට යි මම කැමති වුනේ මගේ ගීත වලට හානියක් නොකරන වාචික පොරොන්දුව මත. නමුත් එහෙම වගන්තියක් ලිඛිත ගිවිසුම් වල නැති නිසා මට ක්‍රියාත්මක වෙන්න බැරි වුනා.

කතන්දරකාරයා: සන්ෆලවර්ස් ල එක්ක ගී ගයපු ගුණදාස කපුගේ නම් ඒ ගැන විමසූ වෙලාවෙ කිව්වෙ මුදල් අවශ්‍ය නිසා එලෙස ගී කිව්වාය කියලයි.

බැද්දගේ: ඔව් මුදලූත් වැදගත් තමයි. නමුත් ආයෙ නම් එහෙම දේවල් කරන්න මගේ අදහසක් නැහැ.

කතන්දරකාරයා: අපි දන්නවා විශාරද දයාරත්න සහ මහාචාර්ය රණතුංග ගායක යුවලත් ඔවුන් ගේ ගීත රැප් කිරීමක් කළා. මේ පිලිබඳ ඔබේ අදහස මොකක්ද?

බැද්දගේ: ඒ අයගේ අදහස තමයි අළුත් වන ලෝකයට ගැලපෙන පරිදි අප වෙනස් විය යුතුයි යන්න. මම විශ්වාස කරන විදියට නම් අපේ ගීත රස විඳින්න රැප් කරන්න අවශ්‍ය නැහැ. මේක වානිජ බලපෑම් නිසා, වෙළෙන්දන් ගේ කැමැත්ත අනුව ඇතිවෙන දෙයක්. ඔවුන් හිතනවා එලෙස කළ විට වැඩියෙන් මුදල් හම්බ කළ හැකිවේවි කියා. අද ලංකාවේ සංගීතය මුලින්ම ත්‍රී රෝද රථ සහ පෞද්ගලික බස් රථ රියදුරන්ගේත්, රසඥතාවය අනුවයි සිදුවෙන්නේ. සමහර විට මේ ඉදිරියේ අප අසරණ වෙනවා.

කතන්දරකාරයා: පසුගිය කාලේ ලංකාවේ මහත් ආන්දෝලනයකට කල් වුනු සිද්ධියක් තමා මේ එෆ්. එම්. නාලිකා වල පාවිච්චි කරන සිංහල භාෂාවේ පරිහානිය. හැබැයි මෙතනදී කෙනෙකුට තර්ක කරන්න පුළුවන් භාෂාව, සංගීතය වැනි දේ කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වෙනස් වී යා යුතුයි, එසේ නොවුන හොත් ඒවායේ කිසිම දියුණුවක් වෙන්නෙ නෑ කියා. මේ පිලිබඳව ඔබේ අදහස?

බැද්දගේ: ඔව් සංස්කෘතියක් එලෙස වෙනස් වෙමින් යා යුතුයි තමා. ඒ වුනත් අපිට ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් අවශ්‍යයි.එය රැක ගත යුතුයි. අපි මේ ගැන සැලකිලිමත් වුනේ නැතිනම් අප ඉතා ඉක්මනින්ම සංකර ජාතියක් වේවි. බස රැකුනොත් තමා ජාතියක් රැකෙන්නේ. භාෂාව විකෘති කිරීම මහා අපරාදයක්.

කතන්දරකාරයා: දැන් සිංහල භාෂාවට, දෙමල භාෂාවෙන් වචන විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා. අපි සිංහල සංගීතයක් ගැන කතා කළත්, එයට හින්දුස්ථානි රාගධාරී සංගීතයේ බලපෑම ඉතා විශාලයි. එහෙම නම් පෙරදිග සංගීතයෙන්, භාෂා වලින් අපේ සංගීතයට, අපේ භාෂාවට ඇතිවන බලපෑම ට වඩා වැඩියෙන් අපරදිග සංගීතයෙන්, ඉංගිරිසි භාෂාවෙන් වෙන බලපෑම අපිට වැඩියෙන් දැනෙනවා වගේ නේද?

බැද්දගේ: ඔව්, ඉන්දියානු සංගීතය දැන් වසර සීයක් තිස්සේ අපේ රටේ ජන ජීවිතයට හොඳින් මුසු වෙලා. අපිට තවමත් සංගීතය පිලිබඳව ඥාණය ලාබාගන්නට පුළුවන වන්නේ භාරතීය සංගීතය හැදැරීමෙන් තමා. ජන සංගීතය එලෙස ශාස්ත්‍රීයව තවමත් ඉගැන්වෙන එකක් නෙමෙයි. නමුත් පර්යේෂණ මගින් අපේ ස්වර මාධ්‍යය හඳුනා ගෙන අපේ ජන සංගීතය සඳහාත් ශාස්ත්‍රීය පදනමක් ගොඩ නගන්නට හැකි වේවි. දැන් අපේ රටේ තරමක උනන්දුවක් තියෙනවා ජන සංගීතය මානව වංශ සංගීතය (එත්නො මියුසිකොලොජි) යන පුළුල් විෂයය යටතේ අධ්‍යයනය කරන්න. මෙය දැනට ඇමෙරිකාව වැනි රටවල කෙරෙන දෙයක්.

කතන්දරකාරයා: එතකොට ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය වැනි තැන්වල මේ ගැන පර්යේෂණ කෙරෙනවාද?

බැද්දගේ: මම මේ ගැන තරමක වැඩ කොටසක් පටන් අරගෙන තියෙනවා. දැනට පලවී ඇති ග්‍රන්ථ පරිශීලනය කරමින්, සිංහල ජන සංගීතය ගැන නිබන්ධනයක් සම්පාදනය කරන්නට පටන් අරගෙන තියෙනවා. මම මීට පෙර සිංහල සංගීත ශෛලිය නමින් ග්‍රන්ථයක් ප්‍රකාශ කරල තියෙනවා. එය සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දෙවන වරටත් මුද්‍රණය කළා පසුගිය දිනවල.

කතන්දරකාරයා: ඔබ ගැයූ "රාජා ඕ මංගලියා" ගීතයේ තාලය සහ සංගීතය කොයි ආකාරයෙන් ද වර්ග කරන්න පුළුවන්?

බැද්දගේ: ඒ ගීතයේ වැදි ගී තාල මූලාශ්‍රයක් තියෙනවා. එය මා දියුණු කරලා යි නිර්මාණයක් ලෙස එලි දැක්වූයේ.

කතන්දරකාරයා: එතකොට ඉදිරි කාලෙදි මොන වගේ වැඩ කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

බැද්දගේ: එත්නො මියුසිකොලොජි ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථයක්, අපේ ජන සංගීතයේ මූලාශ්‍ර එකතුවකුත් සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වයස අවුරුදු 71 ක් වෙනවා. (මේ සාකච්ඡාව 2007 වසරේ දී කරන ලද්දකි.) මම සෞන්දර්ය විශ්ව විද්යාුලයේ බාහිර කතිකාචාර්ය තනතුරෙන් ඉවත්වෙලා සිංහල ජන සංගීතය පදනම් කරගත් සංගීත කණ්ඩායමක් ගොඩ නගන්න අදහස් කරනවා. මම හිතන විදියට අද කාලයේ අවශ්‍යතතාවයක් මේ පිටින් එන රැල්ලට මුහුණ දීම සඳහා අපේම දේවල් ඉදිරියට ගැනීම. මෙය ඇත්තටම අද වාතාවරණය අනුව උඩුගම් බලා යනවා වගේ වැඩක්. අද මාධ්‍ය වලින් මේ ජන සංගීතය වැනි අංශ වලට කිසිම අනුග්‍රහයක් නැහැ. ඔවුන් මුදල් පසුපසම ලුහුබඳින නිසා. කලාව දියුණු කිරීම ඔවුන් ගේ පරමාර්ථයක් නොවෙයි. මේ අතර සංස්කෟතික දෙපාර්තමේන්තුවේ ජන සංගීත අනු මණ්ඩලයේ සභාපති හැටියට මාව පත්කරල තියෙනවා. දෙපාර්තමේන්තුවේ සහයෝගය මගේ වැඩ පිලිවෙල ට ලබා දෙන බවට දැනට පොරොන්දු වී තියෙනවා.

කතන්දරකාරයා: ගුරුවරයෙකු ලෙසත් කතිකාචාර්ය වරයෙකු ලෙසත් වැඩ කල ඔබට ගෝලයින් සිය ගනනක් ඇති. ඒ අතරින් ඔබ ජන සංගීත ක්‍ෂේත්‍රයේ කරන වැඩ කොටස ඉදිරියට කරගෙන යන්න හැකි ගෝලයෙක් හෝ ගෝල පිරිසක් ඉන්නවද?

බැද්දගේ: ඔව්, ඇත්තටම විශ්ව විද්යා ලයේ දැනට ජන සංගීතය උගන්වන පස් දෙනෙක් පමණ ඉන්නවා. ඔවුන් සියළු දෙනාම මගෙන් ඉගෙන ගත් අය. මගේ ගෝලයෝ යැයි සලකන්න පුළුවන්. ඔවුන් ජන සංගීතය පිලිබඳව දරන්නේ මා දරණ මතයමයි. හැබැයි, ප්‍රායෝගිකව මං වාගේ ගායනා කරන කෙනෙක්, තවත් රෝහණ බැද්දගේ කෙනෙක්, හදන එක නම් අමාරු වැඩක්.

කතන්දරකාරයා: අප දන්නවා කලාකරුවන් සමහරු දේශපාලනයට සම්බන්ධ වෙන ප්‍රවනතාවයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඔබ කිසියම් ආකාරයක දේශපානයක නිරත වෙනවාද?

බැද්දගේ: නැහැ. මම කිසිම දේශපානලයක නිරත වෙන්නේ නැහැ. කිසිම පක්ෂයකට සම්බන්ධත් නැහැ. එහෙම නොකළේ මට කලාකරුවෙකු වශයෙන් ස්වාධීනව මගේ මතය ඉදිරිපත් කරන්නට, ඒ වෙනුවෙන් කතා කරන්නට අවශ්‍ය නිසයි. කලාකරුවන් දේශපාලනයෙන් ඈත් වෙන තරමට හොඳයි කියායි මා හිතන්නේ. දේශපාලනයට සම්බන්ධවුනොත් ගැත්තෙක් වෙන්න සිදු වෙනවා. එවිට කලාකරුවාගේ පෞරුෂය නැති වෙනවා.

කතන්දරකාරයා: අහන්නත් සංතෝශයි. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. ඒ කියන්නේ ඔබ අදීන කලාකරුවෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්?

බැද්දගේ: ඔව්, කිසිම කෙනෙකුට ගැතිවෙන්න මම කැමති නැහැ. මම දෙපයින් නැගී සිටින කෙනෙක්.


මේ සාකච්ඡාව කලේ 2007 දී බව නැවත අවධාරණය කරමි.

-කතන්දරකාරයා

ප/ලි:
ඔන්න මං කාලෙකට ඉස්සර පස්තාච්චි වැඩකට රට ගිහින් එන වෙලාවේ මං කටුණායක ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ ඥාති පුතෙකුට පොඩි යමහා කී බෝඩ් එකක් විතරයි.

කඩේ පොර කතා කළා මගේ පාස්පෝට් එකට ගන්න ටීවී එකක් ද, ඒසී එකක් ද කොහෙද. මට ගාණක් දෙන්නම් කිව්වා.

මං ජොලියට වගේ කීයක්ද කියලා අහලා බැලින්නම් අයියෝ පොර දෙන්න යන්නේ මේ ඩොලර් පණහක්.

මං පොරට කිව්වා ඒ ගානට මෙව්වර අධීන මාව විකුණන්නේ නෑ කියලා.

තමන් ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි!

(image: tvlanka.com)

26 comments:

  1. බොහෝ දෙනෙක් තමන්ගේ ගාන එනතුරු අධීනයි තමා. ඇත්තට බැද්දගේ කියනවා වගේ කතන්දරත් ගෝලයෝ හදන් ඉන්නවානේ. ඒත් කාටවත් තවත් කතන්දර කෙනෙක් වෙන්න නම් පුළුවන් වෙන එකක් නෑ.
    බැද්දගේ ගයන සසඳ සසඳ ගීතය තමා මට නම් බැද්දගේ සමග නිතර මතකයට එන්නේ.

    ReplyDelete
  2. කාටත් නොදැනෙන්න ටොක්කක් ඇනලා වගේ :D

    ReplyDelete
  3. අපරාදේ ඩොලර් පනහා....

    ReplyDelete
  4. ලොවෙහි කිසිවක් සදාකාලික නැත. කොහොම වුනත් ගොඩක් වටිනා සංවාදයක්. අර රැප් කරන එක ගැන කියනවා නම් සමහර ගී රැප් කරන්න පුළුවන්, එත් කාලයක් තිස්සේ අහපු ක්ලැසිකල් සින්දුවක් රැප් කලහම මට නම් එක විකාරයක්.

    තව එකක් කතන්දර ටත් සාහිත්‍ය ලෝකයේ ලොකු ඉතිහාසයක් තියෙනවා වගේ.

    ReplyDelete
  5. මටනම් තේරෙන්නෙ නෑ කතන්දර අතන විකිනෙන්න ගිය විත්තියක්... අපි මෙහෙම හිතුවොත්... ඒ මනුස්සයට අපි පොඩි හෙල්ප් එකක් දෙනවා.. ඒකට පොර අපිට හෙල්ප් එකක් දෙන්වා... දෙන්නටම වාසි... ලූනු බික්කත් බඩටනෙ... අපි හිතන විදිය අනුව තමයි ඔය සේරම තීරණය වෙන්නෙ... තමන්ගෙ ගාන මෙච්චරයි කියල මුදලින් වටිනාකමක් දීල ඒ ගනට විකිනෙනවා... කීයට විකිනුනත් එහෙනම් විකිනිලා තමයි...

    ReplyDelete
  6. කිව්වත් වගේ කොහාවයි බැද්දගේ මහත්තයාවයි රංවල මහත්තයාවයි මතක් වෙන්නේ අවුරුදු කිට්ටු උනාම විතරයි. අනිත් වෙලාවට උන්නද මලාද කියලා නෑ.

    ReplyDelete
  7. වඩා වැදගත් -> පසුව ලියමි කොටස තමා...

    ReplyDelete
  8. "තමන් ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි!"
    අනේ මන්දා. කීයක් දුන්නත් පෙරදිග වාදක කණ්ඩායමක් සමඟම මිසක් ගීත ගයන්නෙ නැහැ කියන ගායකයො තාමත් ලංකාවෙ ඉන්නවා.

    ReplyDelete
  9. ත්‍රීවීල් කාරයන්ට බස් කාරයන්ට අවශ්‍ය සංගීතය නිශ්පාදනය නොකරන දේශපාලන ගැත්තෙක් නොවන කලාකරුවො කිහිප දෙනෙක් හෝ ඉන්න එක ජාතියේ වාසනාවක්.
    සල්ලි පස්සෙම නොදිව්වොත් කලාකරුවන්ට දුප්පත් වෙලා ඉන්න වෙනව හැමදාම. ඒකනෙ ජැක්සන් ඇන්තනී මහත්තයත් කියල තිබ්බෙ තමන් දුප්පත් කළාකරුවෙක් කියල.(දුප්පත් කලාකරුවො තමයි නිවාඩුවක් ගත කරන්න පවුලත් එක්ක ඕස්ට්‍රේලියාව වගේ පුංචි රටවල් ගිහින් දුක් විඳින්නෙ)

    ReplyDelete
  10. අනේ වාසනාවන්. 2007 දි වත් මේ වගේ අදීන කලාකරුවො හිටිය එක කොච්චට ලොකු දෙයක්ද ..

    ප/ලි:
    ඇත්තටම ඔය අදීන බවත් සාපේක්ෂයි නේද ? සමහරුන්ට ඩොලර් බිලියන ගනන් ඕන වෙද්දි සමහර අයට ප්ලේන්ටියත් ඇති.

    ප/ප/ලි:
    කශු ට හොඳටම විශ්වාසද කශු ගෙ අදීනත්වය ඩොලර් පනහට වැඩිය වැඩියි කියලා...

    ReplyDelete
  11. ඇත්තම කියනව නම් පණ්ඩිතයි....

    මම නම් අකුරින් අකුර කියවන්න ගියේ නැහැ ආයිබෝන්, සකෑන් කරා.

    ඔය කොයිකත් සල්ලි වලට පරාදයි කියල ද කතන්දර කියන්නේ...ඒත් හැමදේම , හැමදාම එහෙම වෙන්නෙ නෑ ආයිබෝං..

    හැබැයි භාෂාව නම් වෙනස් වෙන තරමට තමයි පැවැත්ම තියෙන්නේ ආයිබෝං....

    ReplyDelete
  12. හෙහ් හෙහ් අන්තිමටම ලියපු කෑල්ල තමයි පට්ටා... තමන්ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි.... හැබැයි ඉතින් ඕක වෙනස් වෙන පිරිසකුත් ඉන්නවා නොවැ....

    ReplyDelete
  13. සෑහ් . . . කතන්දරට අර ඩොලර් පනහ ගන්න තිබුනෙ . . . .

    ReplyDelete
  14. බැද්දගේ මභතා ගයන කන්දේ ලන්දේ..ගගුලැල්ලේ පේනාතෙක්මානේ
    ගීතයට.. මාත් ගොඩාක් ආසා කරනවා
    ගැමි සුන්දරත්වය ....

    ReplyDelete
  15. නියම ලිපියක් කසූ . . . උපරිමයි.

    අදීන කලාකරුවෙක් වුනු එතුමාට මගේ ආචාරය.

    ඇත්තෙන්ම කලාකාරයෝ හැමෝම ඔය විදිහට හිතනවනම් රටක් අභාගයට යන්නේ නෑ මොකද කලාකාරයෝ කියන්නේ සංවේදී අය.

    ඔවුන්ට ඕනෑම සුලු සිදුවීමකින් අනාගතය ගැන පෙර නිමිති කියන්න පුලුවන්.

    අද ඉන්න කලාකාරායෝ බොහෝ දෙනෙක් උන්ගේ සංවේදී අවයව ගනිකා වෘත්තියේ යොදවලා ඒවායේ සංවේදීතාවය නැති කරගෙන.

    ඉතිං උන්ගේ බොක්ක පිරෙනවනම් රටට හෙන ගැහුවත් උනට ගානක් නෑ. . .

    ඊලඟ පරම්පරාවකට රටක් ඉතිරි උනේ නැති උනත් උන්ට ගානක් නෑ . . .

    ජරා, මූසල කාලකන්නි, X!@#$% . . .(සමාවෙන්න කකා)

    බොහොම ස්තූතියි මේ වගේ අපූරු ලිපියක් අපිට දුන්නු එක ගැන . .

    ReplyDelete
  16. \\තමන් ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි///

    හැක් හැක්.. පට්ටාඅ කතාව.. ;)

    ReplyDelete
  17. මගේ රත්තරං හෙලේනා . . .

    ReplyDelete
  18. මමත් ආස මනුස්සයෙක්....ඒත් ජන සංගීතයට මුලින්ම, ඉස්සරහටත් ජූන්ඩක් ඉස්සරහින් ඉන්නේ තාමත් රංවල උන්නැහේ තමයි ඕං.....

    ReplyDelete
  19. නියමයි කසූ....අර ඩියුටි ෆ්‍රී එකේ කතාවත් පට්ට......

    ReplyDelete
  20. කකාගෙ ගාණ ඩොලර් කීයද ?

    ReplyDelete
  21. හොඳ කතන්දරයක් .......

    ReplyDelete
  22. 'රාළහාමි' යන නමින් රෝහන බැද්දගේගේ අලුත් සංගීතමය නාට්‍යයක් එලිදක්වනවා කියලා තිබුන හන්දාද කතන්දරට මේ පෝස්ට් එක දාන්ට හිතුනේ?

    ReplyDelete
  23. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    බොහොමයක් අදීන අයත් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වැඩේ කා ගත්තා දෑත් ශක්තිමත් කරන්න ගිහින්. දැන් ඉතිං ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලා ඉන්න එකයි තියෙන්නේ.

    කෙලින්ම කඩේ යනවාය කියලා ගිහින් උපදේශක තනතුරු ගන්න අය එක විදියකට අවංකයි කියන්න පුළුවනි.

    සියළු දෙනාටම ස්තුතියි.

    සඳුදා සිට කාර් මෙගා කතන්දර සීරිස් එකේ ඉතුරු කොටස් - අංක 10 සිට 13 දක්වා.

    කාර් එක විකුණන්නත් හිතෙනවාය කිව්වනේ එදා උසාවියෙන් ආවට පස්සේ.

    අද එතැන් සිට!

    ReplyDelete
  24. කතාව සේරමත් හරි අන්තිමට ලියාපු කෑල්ලත් හරි. මටත් තියනවනෙව ගානක් !

    ReplyDelete
  25. ඇත්ත කථාව කථන්දර... ඔය කොයි ලොක්කත් තමන්ගේ මිල හරි ගියාම අධීන වෙනවා... ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන්න බැහැ.. මොකද ඔය දේවල් වලට කෑගහව කව්රැවත් ඒ මිනිස්සු උන්න ද මලාද කියලා බලනවද... මැරැණම නං පාවඩ දාලා තොරණ් ගහලා තියනවා... හොඳම උදාහරණය කපුගේ මහත්තයා... කව්රැවත්ම නොසලකා ඉන්නකොට තමයි සන්ෆලවර්ලත් එක්ක කැසට් එක කලේ.. ඔක්කොම දොස් කිව්වා... පස්සේ රහ දැනුනාම ඔක්කොමල්ලා ඒ දේ කලා..
    ඔබට ජය !!!

    ReplyDelete
  26. දැනට අහල තියන අප්පිරියම රැප් එක තමයි දයාරත්න රණතුංග කරපු කැසට් එක. මතක් වෙද්දිත් වමනෙ යන්න එනවා. ඒ අතින් බලද්දි ගුනදාස කපුගේ සන්ෆ්ල්වර් එක්ක කරපු සින්දු අදටත් අහගෙන ඉන්න පුලුවන්. ආචාර්ය මහචාර්ය උනාට මොලේ කළඳක් නෑ
    ITN එකේ විමසුම කියවන ගෑණි ලඟට කැතම කටහඬ තියෙන්නෙ අමරා රණතුඃගට.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.