Friday 12 August 2011

වගකීම බාර ගැනීම එක හෙළා ප්‍රතික්‍ෂේප කළත් ඒක පිළි නොගන්නේ ඇයි? - Rejecting denials and denying rejections!


අද කතන්දරේ නං, මෙලෝ රහක් නැති, එක්කෝ ටියුබ් ලයිට් බලපෑම හෝ නැත්තං අලුතින්ම ස්ටාටරයක් ඕනෑ වෙන එකක් හෝ වෙන්නයි වැඩිය ඉඩ තියෙන්නේ.

මොනවා කරන්නද, නේද? අට-ලෝ-දහම අනුව හැම දෙයක්ම වෙන්න පුළුවන් බව පිළිගන්න වෙනවානේ. මං අදට නියමිත කතන්දරේ අයින් කරලා, හදිස්සියේම ඊයේ මේක කොටලා දැම්මේ ඒ බව හොඳින් දැනගෙනයි.

ඔන්න අපේ වත්තේ වැට අයිනට වෙන්න තිබුණා පොඩි වල් පැළෑටි ගොන්නක්. මේවායේ කටු පුරෝලා. නිතරම වල් පැල කපලා කොටලා මර්දනය කොරන්න හැදුවාට වැඩේ හරි ගියේම නෑ. ආපහු, ආපහු, නැගගෙන එනවා. මහ හිසරදයක්. කරදර ගොඩක්.

ඒ මදිවට මේවායේ එන නිකං කූඩලු වගේ ගෙඩි ජාතියක් පුපුරලා ගිහින් වත්තේ අනිත් පැතිවලටත් බලපෑම එන්න පටන් ගත්තා.

අන්තිමේදී අපි කළේ, වල් පැලවලට උඩින් වල් නාශකයක් ඉහින එකයි.

වැඩේ එතනින්ම කෙලවරක් වුණා. වල් පැල මැරුණට පස්සේ වත්ත අයිනට නවෝදයක් උදාවුණා වගෙයි පෙනුනේ.

ඒ ජයග්‍රහණය නිසා ජොළියෙන් ඉන්න කොට මෙන්න බොලේ අල්ලපු වත්තේ උන් අපිට චෝදනා කරන්න පටන් ගත්තා, අපි වල් පැළ විතරක් නෙමේ වැට අයිනේ තිබුණු මල් පැලත් විනාශ කරලාය කියලා, අර වල් නාශකයෙන්.

අපි එක හෙළා කිව්වා අපි වල් පැලවල මුල් හරියට විතරක් වැදෙන්න සැහැල්ලු බේත් විද්ද මිසක් උඩින් ගිහින් බර බේත් ජාති දැම්මේ නැහැමයි කියලා.

මෙන්න බොලේ එතකොට මුං අපිට පෙන්නවා වීඩියෝ එකක්. අපි බරටම හර්බිසයිඩ් ස්ප්‍රේ කරනවා මුං වීඩියෝ කරලා.

අපි කළේ ඒ චෝදනා නැවතත් එකහෙළා ප්‍රතික්‍ෂේප කිරීමයි. හොරට හදපු වීඩියෝ එකක්ද කොහෙද ඒක! අපි අහුවෙයි ඕවාට, හුහ්!

අනික, ඕන්නං මල් පැල කීපයක් විතර මැරෙන්න ඇති, නමුත් ඔය කියන විදියේ මහා විනාශයක් නං වෙලා තිබුණේ නෑ.

ගෙදර මිදුලේම නිකං රතුපාට වල් ජාතියක් ආපු වෙලේ අපි වැඩේ දුන්න හැටි බැලුවාම මේක මොකක්ද?

තවත් එකක්. අපි වැට අයිනේ තිබුණු මල් පැල ගෙනැල්ලා වෙනම තවානක් දාලා, පස්සේ ටික ටික ආපහු හිටුවනවාත් එක්ක. උන් ඒව ගැන කිසි කතාවක් නෑ.

අනික ඔය අල්ලපු වැටේ එවුන්, උංගේ කුඹුරු කෑල්ලට හර්බිසයිඩ් විතරක් යෑ ගහන්නේ පෙස්ටිසයිඩ් ස්ප්‍රේ කරන්නේ ගජරාමෙට. අපි කවදාක්වත් ගියාද ඒවා හොයන්න බලන්න, වීඩියෝ කරන්න. උන් කරනවා නං ඇයි අපිට කරන්න නරක, නේද මෙයාලා? හුහ්!

ඒත් වල්නාශකවලින් මල්නාශනය කළාය කියන චෝදනා ඒ විදියට අපි කොච්චර ප්‍රතික්‍ෂේප කළත් අල්ලපු වැටේ උන් ඒක පිළිගන්නේම නෑ. හුහ්! ඒ උන්ගේ වීඩියෝ හොර ඒවාය කියලා කොච්චර කිව්වත් උං පයිසෙකට ගනං ගන්නේ නෑ. හුහ්!

ඔය චෝදනා කිරීම් සහ චෝදනා ප්‍රතික්‍ෂේප කිරීම් ඇදෙමින් තියෙන අස්සේ ගිය සතියේ මොකද දන්නවද වුණේ?

අල්ලපු ගෙදර ඉඳලා අපේ වත්ත පැත්තට සරුංගලයක් එවලා. මේක අපේ ගෙදර ඇත්තෝ හොඳට දැකලා තියෙනවා. අපරාදේ, ඒත් ඒක වීඩියෝ කරගන්න නං බැරි වෙලා නේ!

මේක මාර කේස් එකක්. ඊළඟට මොනව එවයිද කවුද දන්නේ? අපි වහාම උන්ට මේ ගැන චෝදනා කළා වැටට උඩින්.

උං ඒ කතාව කොහෙත්ම පිළිගන්නේ නෑනේ. බලන්නකෝ, ඒ චෝදනාව උං එකහෙළා ප්‍රතික්‍ෂේප කරනවා!

අපිට කළ බොරු චෝදනාව අපි ප්‍රතික්‍ෂේප කළාම, ඒක ගාණකට ගන්නේ නැතුව, නැවත නැවත චෝදනා කරන මුං, දැන් අපි කරන ඇත්තම ඇත්ත චෝදනාව ප්‍රතික්‍ෂේප කරන්නේ රෙදි ඇඳගෙනද කියලයි මට නං හිතෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඉරිදා ට බලාපොරොත්තු වෙන්න, සෝමරත්න දිසානායක, සරෝජා සහ කඩේ යාම ගැන කතාවේ දෙවෙනි කෑල්ල.

ඇත්තටම ප/ලි:
මට තේරෙන විදියට අපි කරන චෝදනාව උං ප්‍රතික්‍ෂේප කරන කොට අපිට ඒක බොරු කියලා හිතෙන්නේ, උං කරපු චෝදනාව අපි ප්‍රතික්‍ෂේප කළාට ඇත්ත සීන් එක යටි හිතෙන් අපි දන්න නිසයි.

දෙහිවල සතුන් වත්තේ මේ ලඟදී පැටව් ගහලා තියෙන්නේ සීබ්‍රා ලා ද, පැස්බරු ද?

(iamge: http://dranil-marketingmusings.blogspot.com/)

55 comments:

  1. බලන් ඉන්නේ නැතුව ඉක්මනට නඩුවක් දාන්ට අනේ......:D

    ReplyDelete
  2. ඔය අල්ලපු වැටේ උන් හිතනව ඇති කන්න ඕනි උනහම කබරගොයා නෙවෙයි , ඩයිනෝසරයෙක් උනත් තලගොයා කරගන්න පුලුවන් කියල. ඔය අල්ලපු ගෙදරට උඩහ ඉන්න ලොකු බාප්පොච්චිගෙ ඇල්ම ගැන තියෙන ඉරිසියාව රුසියාවටත් වැඩියි කියලයි මට හිතෙන්නෙ. බලමු මොකාට ආවත් ආයිමත් ඔය වල් පැල ආවොත් නම් නියපොත්තෙන් කඩන්න පුලුවන් කාලෙම කඩල දමන්නයි තියෙන්නෙ..

    ReplyDelete
  3. දැන් කකාලගේ පැත්තෙන්ම කියන්නෙ කවද්ද ඔය සරුන්ගලේ ආවේ නැහැ කියලා.

    ReplyDelete
  4. ඔය අල්ලපු වැටේ එවුං මහ කමකට නැතිවුන්.. අනුන්ගෙ කුණු රොඩුමයි පේන්නෙ.. උන්ගෙ ගෙදර ඉන්න අර නැහැදිච්ච පොඩිවුන් දෙන්න මේ ඊයෙ පෙරේදා බෝල ගහන්ට ගිහින් මල්පාත්ති බරගානක් පොඩිපට්ටම් කොරලා දැම්ම.. තමන්ගෙ පොඩිඑවුන් හදාගන්ට බැරිවුනාට යන්නෙම අනුන්ගෙ මල්පාත්ති ගැන හොයන්ට..

    ReplyDelete
  5. අනේද කියන්නේ .ගමේ ඉන්න චන්ඩි කීපදෙනෙක් ගෙදරට යන එන එකත් ඇහේ කටු අනින්න වගේනේ උන්දැට . එයට හොඳයි ණයට පොලියට එයාලගෙන් අතමාරු කරගන්න . අපි ඔය වත්ත පාහින්න කැති උදලු ටික ඉල්ලා ගත්ත එකට ඉරිසියයි. ඒ අස්සේ අනුන්ගේ වල පැල නහන්න කියල අනුන්ගේ ඉඩම් වලට බලෙන් රිංගන වගත් ආරංචියි

    ReplyDelete
  6. වල් පැලෑටි තිව්වම මතක් වුණේ. ඉස්සර ‍අපේ තාත්ත පොඩිකාලේ ආරංචියක් ඇවිත් තියෙනවා වල් ඉඟුරු වලට මාර ඉල්ලුමක් තියෙනව සෑහෙන ගානකට ගන්නව කියල. (දන්නවනෙ අර ඇත්ත ඉඟුරු වගේම ලොකු අපයක් තියෙන ගෙඩ්යක් වගේ මලක් පිපෙන එක) මේක අහපු අපේ බාප්ප කරල තියෙන වැඩේ තමයි අහල පහල තියෙන ඔක්කෝම වල් ඉඟුරු එකතු කරල වත්තේ ගොඩ ගහපු එක. කවුරු සල්ලිවලට ගන්නද ඉතින්. අන්න දැන් අවු 40 ක් විතර ගතවෙලත් වඳ කරගන්න බැරුව වත්තේ හැම තැනම.

    ReplyDelete
  7. පුදුම අසල්වැසියෝ නේ ඉන්නේ. කුමිනාශක ඉහින එකත් වීඩියෝ කරලා. චැනල් 4ට යවන්න තියෙන්නේ වීඩියෝ එක !!!

    ReplyDelete
  8. ඔන්න ඒ අවුඅස්සේ අල්ලපු වැටේ එවුන්ගේ මල් පාත්තිය අස්සෙත් වස නරක වල් පැලෑටි වගයක් මතුවෙලාලු! දැං උංටත් තේරෙනව ඇති අමාරුව.... අපිට මාර ජොලියක් නෙව එන්නෙ ඒක දකිනකොට!!!

    ReplyDelete
  9. උන්ගෙ වතුවල තියෙන වල්පැල වල තරම දැන්වත් පෙනෙනවනම් හොඳයි.හරිනම් .අපි වල්පැල ටික ගලවල විසි කරපු හැටි ඉගෙන ගන්න ඕනි අපිට වැඳ වැඳ..ආන්න උඩ ගෙදර සුදු අයියලගෙ වත්තෙ තිබ්බ වල් පැල වැවිල වැවිල..රෙද්ද අස්සෙත් වැවෙනකොට තමයි දැන් දැනිල තියෙන්නෙ..එව්ව ඇවිත් තියෙන්නෙ ජංජාලෙ දිගේ කියල එක ගලවල දමන්න යනවලු..හික් හික් හී..හුක් හුක් හූ... අනේ මට නම් දැනෙන සතුටක්..

    ReplyDelete
  10. අන්න නියම අසල්වැසියෝ...

    ReplyDelete
  11. hariyatama dekkada oya sarungale awa kiyala ? mokada meeta kalin ona thram chances thiyenna ethine sarungal ewanna? den me wal pela merunata passe sarungal ewala ewdak thiyeyda? wal pela merila iwaraine. oya kiyana widiyata eththatama sarungal ekada awe?

    ReplyDelete
  12. :). ලොලේ ලොල්. ජනතාව [අපි] බුද්ධිමත් නේ කතන්දර. ඔය අගේට පික් කොරන්නේ.

    - මෙතන අමතක කරන්න බැරි පිරිස් කිහිපයක් ඉන්නවා. එක කට්ටියක් කිව්වේ වල් පැලැටි ලඟට ගිහින් කියන්න කියලයි "අනේ ප්ලීස් ඕගොල්ලෝ අද ඉඳං මල් පැලෑටි වෙන්නකෝ" කියලා. අපිත් ඕකට කඩේ ගිහින් අවුරුදු දහ පහළොවක් ඕක කළා.

    - තව කට්ටියක් අපේ මිදුලේ ඉඳගෙන සත්‍යක්‍රියා කොරනවා වල් පැලෑටි වල මල් පිපෙන්න කියලා. හැබැයි වත්ත පිටිපස්සට යන්නේවත් නැහැ කටු ඇනෙයි කියල බයේ.

    - තව පිරිසක් කියන්නේ වල් පැලැටි වල නිජබිම හැටියට ඒ හරිය පිළිගෙන, ඒ ගස් වලට ඒ කෑල්ල දීලා අපිට වත්තේ ඉතිරි ටික භුක්ති විඳින්න කියලා. [වල් පැලැටි අස්සේ මිය ඇදෙන මල් පැලැටි වලට අයිතිවාසිකම් නැද්දෝ කොහෙද]

    --------------------

    - වල් පැලැටි ඉවත් කරන්න වල් නාශක ගහන එක ඇරෙන්න වෙන ක්‍රමයක් නැති එකනේ මේකට හේතුව.

    - අපි කළ වැඩේ වරදක් නැහැ. මොකද ගමේ ඕනෑම එකෙක් වල් නහන්න කරන්නේ ඕකම තමයි. වැඩේ තියෙන්නේ ගම ගැන මොකුත් නොදන්නා පිරිසක් ඉන්නවා වල් නාශක ගැහීමට එරෙහිව කෑ ගහන. උන් කියන්නේ වල් වැදිලා අපි මියාදුනත් වල් නාශක නොගහනු කියලයි. ඔන්න ඔය පිරිස වාසි ගන්න හින්දයි අපි කියන්නේ නෑ නෑ අපි ගැහුවේ නැහැ කියලා.

    - ඔයාට කියන්න ඔය සරුන්ගෝල යවන ලෝකෙට ලොක්කත් කොරන්නේ එකමයි. මිනිහ ගහන්නේ බොහොම සැර වල් නාශක. හැමෝගෙම වතු වලට ගහනවා. බින්දී ලයි වත්තේ ගහපු "වල් නාශක" [ඇත්තටම] වල සැර තවමත් තියෙනවලු. පොරගේ දෙවෙනි කොටහ තමයි ප්‍රතික්ෂේපේ. ඔටෝ ගහන වල් නාශක වලටත් කුරා කුහුම්බියෙක්වත් [වල් පැලෑටි හැර] නොමැරෙන බවයි කියන්නේ.

    - අපි විතරක් පිලි ගනියි ඉතින්. අපි ඔටුවෝ කියලා හිතුවද? අනික කට්ටිය දන්නේ නැද්ද අද කාලේ කෘෂි කරුමාන්තෙට වල් නාශක පාවිච්චි නොකර බැරි බව. දැන දැනත් නේ මේ ප්‍රශ්න කරන්නේ.

    - ඒක නෙවෙයි, කොලටරල් ඩමේජ් කියලා කෘෂි කරුමාන්තේ තියෙන වචනේ තේරුම පැහැදිලි කොරලා දෙන්නකෝ.

    ReplyDelete
  13. ටියුබ් ලයිට් එක ගැස්සි ගැස්සි තිබිල හරියටම පත්තු වුනේ සුජීව කොකාවල මහත්මයාගෙ කොමෙන්ට් එක කියෙව්වට පස්සෙ

    ReplyDelete
  14. සරුංගලේට මේක අපේ ගුවන් සීමාව කියල දැනුම් දුන්නනම් ටක් ගාලා ආපහු යනවනේ.පස්සේ ඕන්නම් මාධ්‍ය ප්‍රකාශයක් කරන්න තිබුනා.

    ReplyDelete
  15. පොඩි කොස්සක් තියේ.. කලින් නම් කිව්වේ වල් පැලැටී වලටත් වැඩීමට ඉඩ දිය යුතු කතාවක්. කොහොම හරි අල්ලපු ගෙදර එවුන් ගේ වගේම මගෙත් මොළේ මඤ්ඤං මේ දවස්වල. හොඳ සාධු අල්ලපු ගෙදර විතරක් නෙමෙයි කකාට පාට් දාපු අල්ලපු ගෙදර එකාට සපොට් කරපු ගෙවල් වලත් දැන් වල් පැලැට් වැවිල, බේත් ගහල, පැල මැරිල හරි ජරමර. ඔය අල්ලපු ගෙදර උන් රෙදි උස්සන් එන කොට බල්ල උසි ගන්නන්න. හඳටත් බුරන එකානේ, අර සරුගලේට ගල් ගහන්න. බැරිනම් කැටපෝලෙකින් විදින්න. ඒත් බැරිනම් සරුංගල් යවන කෂ්ටියගේ අම්මලට හයියෙන් කතා කරන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අනික කකාලට වෙන ගෙවල් නෑනේ. මේ ගේ විතරනේ තියෙන්නේ..

    කකාට සුබ අනාගතයක්....!!!

    ReplyDelete
  16. අල්ලපු ගෙදර උන් හිතාගන හිටියේ අපි වල් පැළෑටි මර්දනය කර කර ඉදි , නමුත් විනාශ කරන එකක් නැහැ කියල. ඒ මොකද අල්ලපු ගෙදර උන් නේ ගමේ කඩේට කැති පොරෝ උදලු හදල දෙන්නේ. අපි වල් පැළෑටි විනාස කරහම උන්ගේ business අඩු වෙනවනේ . ඒ විතරක් ද, ගම පුර ආදාර එකතු කලා, අපි විනාස කරන්නේ වල් පැල නෙවි මල් පැල කියල. දැන් ඉතින් ඒ අධරත් නැහැ නොව උන්ට. උන්ගේ අර ලස්සනට තියාගන ඉන්න මල් පත්ති වල ඉන්න පොඩි වල් පැළෑටි මල් පාත්තිය ගිනි තියනකොට, මටනම් ලොලේ ලොල්.

    ReplyDelete
  17. මමනං සමහර වෙබ් සයිට් වල දැක්කා සරුංගල් එවපු එකට අල්ලපු ගෙදරට පහර දෙන්න කියලා යෝජනා කරපු කට්ටියවත්

    ReplyDelete
  18. හැබැයි ඉතිං මේ මොන කතන්දර කිව්වත්, අල්ලපු වැටේ අය ඒ ගොල්ලංගේ ගේට්ටුව මොහොතකට හරි ඇරලා තිබ්බොත් කතන්දර සහ ගෙදර අය මෙලෝ විලි ලැජ්ජාවක් නැතුව හෝල් සේල් එකේ ගිහින් එහේ පදිංචි වෙන්න යන එක නම් සිකුරුයි!

    අනිත් අතට අල්ලපු ගෙදරින් නියමිත වෙලාවට පුන්‍යාධාර ලැබෙන එකත් කතන්දරලාගෙ යාව ජීව අයිතිවාසිකමක් කියලා තමයි කතන්දරලා හිතන්නේ. ඒක දෙන එක පොඩ්ඩක් හරි පරක්කු උනොත් තමයි කතන්දරලාගේ රඟ බලාගන්න පුලුවන් වෙන්නේ.

    ඇත්තම කියනවානම් කවුරු කැමති වුනත් නැතත්, කතන්දරලාගේ මුලු ආත්මයම (මම කිව්වෙ ජීවිතයට ඕනකරන ඔක්කෝම දේවල් - ඉගෙනගත්ත දේ ඉඳලා කොන්සියුම් කරන දේ, ජීවත් වෙන විදිය, ආසා කරන දේවල්, අනාගත බලාපොරොත්තු මෙකී නොකී හැම දෙයක්ම දක්වා ) පවතින්නේ ඔය කියන අල්ලපු ගෙදර අය හින්දම තමයි. කතන්දරලාත් ඒක නොදන්නවා නෙවෙයි.....දන්නේ නෑ වගේ ඉන්නවා.....

    මට හිතෙන හැටි නම් එහෙමයි. මම කතාව තේරුං ගත්ත හැටි හරිද මන්දා....

    - සනාථ

    ReplyDelete
  19. අපරාදේ බ්ලේඩ් එකක් එක්ක ප්‍රති-සරුන්ගොලයක් යවල අල්ලපු ගෙදර සරුන්ගොලය කතන්දර අයියගේ මිදුලට බා ගන්න තිබුනා. හැබැයි බ්ලේඩ් කලින් ගෙනත් තියා ගන්න ඕනි.තමන්ම බ්ලේඩ් හදා ගත්තත් නරකම නැහැ.

    ReplyDelete
  20. වල් පැලෑටි ආපහු හැදිලාද ඒ කියන්නේ?

    ඒ කියන්නේ ඕවයින් මේවයින් හෙට අනිද්දාට ආයෙත් වල් පැලෑටි නාශක භාවිත වෙයිද?

    ReplyDelete
  21. මේකනේ ප්‍රශ්නේ.. කතන්දරගෙන් අපි මේ කතාව අහන නිසාත්, අපි කතන්දරගේ සයිඩ් එකේ නිසාත්.. අපි දන්නේ කතන්දර සැර බේත් ගැහුවේ නෑ කියලමයි.. ඒත් කතන්දර බේත් ගහන හැටි අපි දැක්කේ නෑ නෙ.. අනික බේත් ගහන්න හවුල් උන දෙතුන් දෙනෙකුත් කියනවනෙ සැරට ගැහුව කියලා... කොහොම උනත් කතන්දරගෙ වත්තෙ වැවිච්ච වල් පදුරු ටික කතන්දර වඳ කලා කියලා අල්ලපු ගෙදර එකාට මොකුත් කියන්න බෑ.. අල්ලපු ගෙදර වැවිච්ච වල් පඳුරු වලට කරපු දේ අපි දැක්කනේ...

    ReplyDelete
  22. එහෙනං දැං ක.කා ට තියෙන්නෙ ලැමොංපප් පෙට්ටියක් දීල මාරාන්තික උපවාසෙකට කවුරුහරි කැමතිකොරවාගන්න එකයි. ටික දොහක් ගිහිල්ල බැරියැ හතිකුඩු පැකැට් එකක් දියකොරාපු වතුර වීදුරුවක් දීල ඒ ගැන තව පෝස්ට් එකක් ලියන්න...

    කතන්දරයා සතපහකට සුවැර් නැති පුතය. හැබැවටම මිනිහ ඕනෙ කෙලියක් කියල ගැහැව්වද දන්නෙත් නෑ ඔය වල් බෙහෙත් !

    ReplyDelete
  23. සරුOගලේ ගිහිල්ලා තියෙන්නේ කතන්දර ලගේ ඉඩම උඩින් නෙවෙයිලු, ඒක ඒහා ගෙදරටයි කතන්දරටයි දෙගොල්ලන්ටම පොදු කොටසකලු පා වෙවි තිබ්බේ.
    ඒත් කතන්‍දර එහා ගෙදරට චැලෙන්ජ් කරන චැO චුන් ලගේ ගෙදර යන්න හිටිය නිසා, මේ සරුOගල් කථාව ලොකුවට ඇදලා ගන්නවලු.

    ReplyDelete
  24. අමාරුවෙන් හරි සරුංගලේට ගල් පාරක් දීල බිම දාගත්තනම් deny කරන්න බැරි විදිහට prove කරන්න තිබ්බ... හැබැයි අල්ලපු ගෙදර උන් වැට පැනල ඇවිත් දෙන එක දෙ..යි... ඔය වැට මායිම් කතා හරියන් නෑ එතකොට...

    ReplyDelete
  25. තවානක් දාලා මල පැලත් එක්ක ආපහු වල් පැලත් හිටවලා දෙන්ට ආසාව වෙන්ට ඇතිනේ..

    ReplyDelete
  26. මුලදි මුලදි පොහොර ටිකකුත් දම්ම නෙද වල් පෑල වලට...

    ReplyDelete
  27. @ All
    මං කතන්දරේ තවත් ටිකක් පැහැදිලි වෙන්න කෑලි බෑලි ටිකකුයි, ඇත්තටම ප/ලි එකකුයි මේ දැන් එකතු කළා!

    ReplyDelete
  28. ඒ කියන්නෙ මං ඇවිල්ලා තියෙන වෙලාව පරක්කු නෑ! දැනුයි නියම පලි කෑල්ල එක්කහු වෙලා තියෙන්නෙ.

    01.කතන්දර ගෙදර කට්ටිය එක්ක ගිහිං වල්පැලෑටි වලට වල්නාශක ගැහුවට ඕවා තැන තැන කියන්ට යන්ඩ එපා. එහෙම වෙලා අනිත් අය කරපුවා හැල්ලු උනොත් අල්ලලා බලුකූඩුවේ දායි දවස් දෙක තුනකට. එතකොට මල්පැල පොඩිකරපු බල්ලටයි කතන්දරටයි දෙන්නටම ඉන්ඩ වෙන්නෙ එකම කූඩුවේ. ආය ඉතිං මක් කරලවත් එලියට එන්ඩ බැරිවෙයි.

    02.සරුංගල් එව්ව කට්ටිය නං ගමේම ඉන්න ආදර්ශමත් පවුලක් කියලයි මට හිතෙන්නෙ. ඇතුලේ ඉතිං පොඩි උන්ට ගහනවා බනිනවා තමා. අහල පහල උන්ටත් කරදරේ තමා. ඒත් හැමෝම මුනිච්චාවට හොදයි කියනවනේ ඇවිල්ලා සත්ත්ම දායි කියලා බයටම. ඒක හින්දා මමත් කියන්නෙ සරුංගලේ නං ඒ ගොල්ල එව්වෙ නැතුව ඇති. කතන්දරලා තමන්ට අයිති නැති, ගමේකාටත් පොදු අහස තමන්ගෙ කියලා හිතන හින්දයි ඔය ප්‍රස්නේ. බොරුනං ඒ ගොල්ලන්ගෙන්ම අහලා බලන්ඩ ඒගොල්ලත් ඒහෙම්ම කියයි.

    ReplyDelete
  29. තවම දරුස්මාන් වාර්තාව ආවෙ නෑනෙ. පොඩ්ඩක් ඉවසල බලමු කොමෙන්ට් ලියන්නෙ නැතිව.
    -ට්‍රැපික් ඇනෝ

    ReplyDelete
  30. හිතාගෙන ඇති අපිත් ටියුබ් ලයිට් කියලා...

    ReplyDelete
  31. ගීතික,
    උඹ මෙදා පාර ග්‍රාම සංවර්ධන සමිතියෙ සභාපති කමට ඉල්ලන්‍ඩ අදහස් කරගෙන ඉන්නවද?

    ReplyDelete
  32. අල්ලපු ගෙදරට සෙට් වෙලා ඉන්නවනෙ උන්ටම හරියන නල්ලමලේ මල් පැල සුරැකීමේ වනිතා සමිති ටිකක්. උන්ගෙනුත් පුදුම වදයක් තමා තියෙන්නෙ...

    ReplyDelete
  33. අනිවා, කකා ආයෙත් වල් ආවොත් ගහන්නම වෙනව ටිකක් වැඩිපුර ඕං. අල්ලපු වත්තේ ඉන්න වලහැඩියන්ටත් දැන් දැන් තේරෙනව ඇති වල් වල් රඟෙ....ඔලුව ඉදිමිච්ච කට්ටිය නොවැ.....

    ReplyDelete
  34. කාකා පරිස්සමින් ඕවයේ ආසනික් තිබුනා කියලා ඒවා ශරිරයට අහිතකර වෙලා කියලා ඔයාට විරුද්ධව නඩු දාන්නත් ඉඩ තියනවා.... අනිත් එක චැනල් ෆෝ එකේ ලංකාවේ නියොජිතයෙක්ද දන්නේත් නැනේ.....

    කොකටත් කාකා පරිස්සමෙන්
    එක පාරකුත් ඔය කුඩු කතාවක් වැ‍ටුනනේ

    ReplyDelete
  35. අඩේ මොකද්ද බං අයියේ ටියුබ් ලයිට් කතාව

    ReplyDelete
  36. ඕන්න ඕක නාථ දෙයියංගෙං අහන්ට කතන්දර.....

    ReplyDelete
  37. @ බුද්ධි :- අනේ මගේ කට....

    ReplyDelete
  38. කකාගෙ පච.... කකාගෙ හාමිනේ ඊයෙ කිව්වෙ ඔහෙ ආපු සරුංගොලයක් නෑ කියලා..... හුහ්...

    ReplyDelete
  39. මම ඔයා නම් .. මම කරන්නේ ඔය ඉඩම සල්ලි වලට ගන්න එක !..

    ReplyDelete
  40. title eka dakkama mata mathak une sannasgalage kathawa,,,prathikshepa karanne naha bara ganne naha kathawa......
    http://www.youtube.com/watch?v=4RrIbSU9HI0

    ReplyDelete
  41. @ All
    කමෙන්ටුවලට ස්තුතියි.
    කාර්යබහුල දින කීහිපයක් ගෙවී යන්නේ.
    බ්ලොග් එකේ වෙන වෙනම උත්තර දාන්න වෙලාවක් එන පාටක් නෑ වගේ!

    ReplyDelete
  42. කැලණි පාලමේ "මැම්බර් මහත්තයා" ගේ කථාවක් සිහිවේ...

    "මම මගේ ජීවිතේටම බලලා තියෙන්නේ චිත්‍රපටි දෙකයි...
    එකක් සැනසුම කොතැනද අනෙක අල්ලපු ගෙදර..."

    ReplyDelete
  43. ඇත්තම කියනවනම් ඔය කියන වල් පැල ආවේද එහා වත්තෙනි. එහා වත්තේ කස්ටිය ඒවා මුලින්ම වවා මේ වත්තේ දර්මිස්ට යුගයක් හදන කාලයේ මේ වත්තටද බෝ කළහ. ඒ වත්තේ තවමත් වල පැල තිබේ. නමුත් ඒවා ඇත්තේ කොන්ට්‍රෝල් පිටය. මල් පැල ගානටය. මේ වත්තේ මෙන් වල් වීමට ඉඩ දෙන්නේ නැත.

    ReplyDelete
  44. හප්පේ , අපි මෙතන මොනවා කිව්වත්, කකාත් ගෙදර සැප මදි කියල ගේ දාලා වෙන සැප ගෙදරකට ගිහින් කියල මම දැනගත්තේ දැන්නේ. ඉතින් කකෝ ඔහොම හැමෝම ගේ දාලා යන්න හියහම ගෙදර වල් වෙන එක අහන්නත් දෙයක්ද.

    ReplyDelete
  45. ඔය සරුංගලේ දැක්කේ ඔයාල වැට පැනපු නිසා කියල තමයි එහා ගෙදර අය කියන්නේ. ලජ්ජා නැද්ද අනේ ...

    ReplyDelete
  46. බලාගෙන ගියාම වල් පැලයි, මල් පැලයි, වල් නාශකයි ඔක්කොම ඇවිත් තියෙන්නෙ අල්ලපු ගෙදරින්.

    ReplyDelete
  47. හුහ්... කතන්දරේ ඉන්නෙ පාර්ලිමේන්තුව පැත්තෙද?

    ReplyDelete
  48. අසල්වැසියාට ප්‍රේම කරන්න කතන්දර

    ReplyDelete
  49. අසල්වැසියාගේ වත්තේද ඒ වල් පැලෑටිම තියෙන නමුත් අසල්වැසියා කියන්නේ ඒවා මල් පැල කියාය. උංට ඒවා ලස්සන උනාට ඒවා අපිට වල් පැලය. ඉතිං අපි ඒ වල් පැල වඳ කරද්දී අසල්වැසියා කියාහිටින්නේ අපි හෙනම අපරාදයක් කරන බවය.

    ReplyDelete
  50. සික් අර සරුංගලේ බිම දාන්න එකෙක් ඉදලා නැති හැටි.... තව දිට දවසකින් වවුලා සරංගලයකුත් එවයි, වවුලා නම් ටිකක් අල්ලගන්ඩ අමාරුයි!!

    ReplyDelete
  51. @ All
    කියවූ, අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.

    ලියන්නා කුමක් ලීවද, කියවන්නා තම තම ණැන පමණින් වටහා ගන්නා බව පෙනේ!

    සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකද කියවා බලන්න.
    http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

    ReplyDelete
  52. වත්ත අයිනේ වල් පැලෑටි නහන්න බේත් ගහපු එකත්, වත්ත මැද්දේ රතු පාට වල් පැලෑටි නහන්න බේත් ගහපු එකත් වල් පැලෑටිත් එක්කම මල් ගසුත් නැහෙන බව දැක දැක ඉවසන්න උනේ මොන කරමෙකින් හරි වල් පැලෑටි නහන්න ඕන බව දන්න හින්දනේ කකා.

    වැඩේ කියන්නේ වල් නහන්න බේත් ගහද්දි නහය වහ ගෙන ඉවසගෙන ඉන්න කියපු එක බේත් ගහලා වල් ගස් ඔක්කෝම වගේ සහ මල් ගස් කීපයක් හැහුවට පස්සෙත් වහගෙන ඉන්න වෙච්චි එකනේ අයියෝ.

    අනික වල් පැලෑටි වලින් ලොකුම බෝවෙන වල් පැලෑටි වත්ත අයිනෙන් ගලෝගෙන ඇවිත් වත්ත මැද්දෙම හිටෝගෙන උදේ හව වතුර දාන උජාරුව?

    ඒකත් අර බේත් ගහපු මනුස්සයව පොල් කුඩු ගානට නොසලකා හරිද්දි . . .

    ඉතින් කියපන්කෝ වැඩේ හරියටම හරිද?

    ReplyDelete
  53. මේකනේ දුකා, තවම හැංගිච්ච වල් පැළෑටි තියෙන්නේ පුළුවන් නිසාත් , තවම ගහපු බෙහෙත් වල සර ගිහින් නැති නිසාත් තව ටිකක් කල් නහය වහගන හිටියම මොකෝ.

    වල් පැළෑටිත් බෙතට ඕන වෙලාවල් තියනවා . අනිත් එක ඒ වල් පැළෑටි වලින් දැන් වත්තට හානියක් නොවී හොදක් වෙනවනම්, වතුර ටිකක් දැම්මම මොකෝ.

    බේත් ගහපු මනුස්සය හරියට වැඩේ කල බව ඇත්ත, නමුත් එහෙම කල කියල මුළු ගමටම ඇහෙන්න අපි බෙහෙත් ගැහුවො ගැහුවො කියා කියා ක ගහන එක හරිද මන් අහන්නේ. ඔය අල්ලපු ගෙදර එඋන් උන්ගේ video එකට බෙහෙත් ගහපු මනුස්සය කියන කතා දන්නේ නැත්තේ දෙගොල්ලන්ගේ තියන යාලු කමට. අල්ලපු ගෙදර මිනිස්සුමනේ කිව්වේ බෙහෙත් ගහපු මනුස්සයට දෙපු කාමරේට උණු වතුර නැහැ , A / C නැහැ කියල.

    ReplyDelete
  54. කකා ගේ මිදුලේ වල් වැවීමටත්, ඒවා මර්ධනයටත් එරෙහි වීමටත් අල්ලපු ගෙදර නෙවෙයි කකාගෙම ගෙදර අයත් සම්බන්ධයි.ඒකයි ශෝචනීමය කතාව.

    ReplyDelete

  55. Hanging your eyebrows is a simple surgery. The doctor will remove the skin and fat on the brow. Then advanced, create a new look fit the face. Depending on the situation, the shape of the eyebrow that the method applied to each case will also be different.

    treo cung chan may

    treo chan may bao nhieu tien

    treo chan may webtretho

    https://www.youtube.com/watch?v=VokF0FqpLO0

    https://www.dailymotion.com/video/x6sknsq

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.