Wednesday 27 July 2011

බබා ගේ තාත්තා හරි හපනා! You want to be a hero?


මෙන්න මේ කතන්දරේ කලින් අහල තියෙනව නේද?

ඔන්න එක මනුස්සයෙක් පොඩි ළමයෙක්ව වඩාගෙන ගෙදර මිදුලේ ඉන්න කොට ඉස්සරහ පාරේ යන කාන්තාවක් මේ මනුස්සයව දැකල නතරවෙලා බබාව හුරතල් කරන්න පටන් ගත්තලු.

දන්නවනේ කාන්තා පක්‍ෂය, අනුන් ගේ ළමයි හුරතල් කරන්නත් හරි දක්‍ෂයෝ නේ?

පස්සේ මේ කාන්තාව කිව්වලු අනේ බබා නං තාත්ත වගේමයි කියල.

මේක අහපු බබාව වඩාගෙන හිටපු පොර බයවෙලා වටපිට බලල තියෙන්නේ කාට හරි ඒ කතාව ඇහුණද කියලයි. මොකද පොර මේ වඩාගෙන ඉන්නේ අල්ලපු ගෙදර බබාවයි!

අපේ පොඩි එකාගේ උපන් දිනේ දවසේ ගත්තු ෆොටෝ එකක් එක්ක මං දරුවෝ නලවපු සින්දු තුනක් ගැන ලියපු පෝස්ට් එක මං ඔන්ලියන් කියවනකොට මට මතක්වුණු කතන්දර කීපයක් ලියන්නයි මේ සැරසෙන්නේ.

ඉස්සර රජ කාලේ තමන්ගෙන් පස්සේ රජකම බාරදෙන්න රජ්ජුරුවන්ට ඕනෑ වෙනවා පුතෙක්. සමහර රජවරුන් ගේ අග බිසෝ ට පුත්තු ලැබෙන්නේ නෑ. දුලාමයි ලැබෙන්නේ. ඉතිං රජා ගේනවා තව බිසවක්. ඒ බිසවගෙන් පුතෙක් නොලැබුණොත් ඊට පස්සේ තව බිසවක් යනාදී වශයෙන්.

අවුලක් නෑ, මේක නේ ඉතිං රජ සැප විඳිනවා ය කියන්නේ!

ලංකාවේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ මොනරවිල බිසව පැත්තකට දාලා ප්‍රමිලා ව ඉන්දියාවෙන් ඉම්පෝට් කළෙත් ඔය පුත්තු කාරණාව නිසයි මං හිතන්නේ.

මෙතනදී නං මයෙ හිතේ පුතෙක් තියා දුවෙක්වත් ඉඳලා නෑ.

පර්සියාවේ ෂා, තමන්ගේ මුල් බිරිඳ ෆව්සියාව ඩිවෝස් කරලා සොරායා ව බිසෝකමට අරගෙන තියෙන්නේත් ඔය නිසයි. පස්සෙ සොරායා ට බූට් එක දීලා ෆාරා ඩීබා ව බැන්දාලූ.

රජ සැප, රජ සැප, ළමයිනේ!

නමුත් ඔය පුතාලා ගේ කේස් එකේ ඇත්ත කතාව ඔයිට වඩා වෙනස් එකක්. මිනිස්සුන් ගේ ජානවල තියෙනවා X සහ Y කියලා ක්‍රොමසෝම දෙවර්ගයක්. ගෑණුන් ගේ ජානවල තියෙන්නේ X වර්ගයෙන් යුගලක් විතරයි.

ඒ කියන්නේ පිරිමි XY, ගෑනු XX.

දැන් ඔය ගෑනු පිරිමි එකතු වුණාම ළමයි හැදෙන හැටි ගැන නමවෙනි ශ්‍රේ‍ණියේ විද්‍යාව පොතේ පවා විස්තර කරළා තියෙන බිත්තර සහ ඉස්ගෙඩි කතන්දරේ දන්නව නේද?

ඉතිං ගෑණියෙකුයි, මිනිහෙකුයි එකතුවෙලා පුතෙක් ලැබෙන්න නම් අවශ්‍ය Y ක්‍රමසෝමය යන්න ඕනෑ පිරිමියාගෙනුයි.

ඒ කියන්නේ පුතෙක් හම්බ නොවුණාය කියලා රජා බිසව මාරු කළාට වැඩක් වෙන්නේ නෑ. බිසෝවරු ගාව කොයින්ද Y ක්‍රොමසෝම?

ඔන්න බිසව මේ රජාව මාරු කරලා වෙන රජෙක් ගත්ත නං, නිකං අනුලා දේවි වගේ, වැඩේ හරියන්න ඉඩ තියෙනවා.

මේකේ විද්‍යාව නං මං හරියට දන්නේ නෑ, කතාවට කියන්නේ ඔය බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාන්න පුළුවන්නම් ලු පුත්තු ලැබෙන්නේ.

ඉතිං අද කතාව මේකයි.

අපේ පුතණ්ඩියා ලැබෙන්න හාමිනේ නිළමෙට ඇඳලා ඉන්න කාලේ අපේ ගෙදර ආපු ලලනාවක් මට කියනවා මෙන්න මෙහෙම.

"ඔන්න පුතෙක් ලැබුණොත් තමයි තාත්තා හපනා!"

මේකයි වැඩේ. අපේ හිතවතියට ඉන්නේ පුත්තු ම දෙන්නෙක්. ඒ නොකියා කිව්වේ තමන් ගේ මිනිහා හරි හපනා කියලයි.

-කතන්දරකාරයා

ප/ලි:
"පස්වෙනියත් පුතෙක්" කියන පොඩි කතා පොත කා ගාව හරි තියෙනවද? මේක ලියපු පොරම තමයි "උගෙනුව, නැත පිටවෙව" කියන පොත ලිව්වෙත්. මට දැනගන්න ඕනෑ, මේකේ කතෘ ගේ නම, චන්ද්‍රසේ** වගේ එකක්.

http://fancyarchive.blogspot.com/2008/12/like-father-like-son.html

73 comments:

  1. එහෙනම් කතන්දර අයියත් හපනෙක්..!!

    ReplyDelete
  2. එහෙම බැලුවම අය්යත් හපනෙක් එහෙනම්.

    ඉස්සර පොඩි කාලෙනම් අම්මල බෙදල දෙන බත් ඔක්කොම කෑවම "මගේ පුතා හරි හපනා" කියනව.

    පත්තරේක කියෙව්ව මත්පැන් පාවිච්චිකරන අයගෙ ගොඩක් Y වර්ණදේහ තියන Cells වල චලනවේගය අඩුවෙනවලු X ඒවට සාපේක්ශව.ඒ නිසා ගෑණු ලමයි හම්බවීමේ සම්භාවිතාව වැඩිලු ඒ අයට.

    ReplyDelete
  3. //ලංකාවේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ මොනරවිල බිසව පැත්තකට දාලා ප්‍රමිලා ව ඉන්දියාවෙන් ඉම්පෝට් කළෙත් ඔය පුත්තු කාරණාව නිසයි මං හිතන්නේ.//

    ෂහ්...කෙලින්ම සිහසුනට උරුමකම් කියන්ට තිබුනු චාන්ස් එකක්...ගහලා ගිහින් තියෙන්නේ...රාජසිංහ රජ්ජුරුවන්ගේ
    ක්‍රොමසෝම නිසා...:D

    ReplyDelete
  4. කතන්දර අයියා හපන් කතන්දර ලියන්න විතරක් නෙවෙයි. කොහොම වුනත් අර සිද්ධියෙන් පස්සේ අල්ලපු ගෙදර බබානම් වඩා ගත්තෙම නැහැල්ලු.

    ReplyDelete
  5. ප්‍රසව හා නාරී වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය දොස්තර කතන්දර මහතා හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර කතන්දර කාමරය වෙත වාර්ථා කරන්න..

    ප්‍රශ්නයක් - එතකොට ගැබ් ගැනීම රෝගයක්ද..? රෝගයක් උත්සන්න වීමේ ප්‍රතිඵළයක්ද...? ඇයි ඒ අයට රෝගීන් කියන්නෙ..? මහාචාර්ය තුමා මේකටත් පිළිතුරක් දුන්නනම්.. චැනලින් ෆීස් කීයද දන්නෙ නෑ...?

    ReplyDelete
  6. ඒ කියන්නේ කතී අයියා දක්ෂයෙක් නෙමෙයිද..?

    මං දන්නේ අයියගේ රෝසබබා ගැන විතරයි....

    ReplyDelete
  7. අර බබා වඩාගෙන හිටියේ කතන්දරද?

    ReplyDelete
  8. හපෝ මෙවා අහලා දුවෙක් එහෙම හදන්නේ නැතුව ඉන්න එපා හොදේ.
    තාත්තලාට ගොඩාක් ආදරේ දූලා.

    ReplyDelete
    Replies
    1. ඇයි පුතාලා ආදරය නැද්ද? පුතාලත් ආදරෙයි, මම පුංචි කාලේ ඉඳලම වැඩියෙන්ම ආදරේ තාත්තට...

      Delete
  9. මහාචාර්ය මිණිවන් තිලකරත්න නේද ඒ පොත ලිව්වෙ? කියවලා නම් නැහැ.

    ReplyDelete
  10. එතකොට අපි කබ්බොද . . . . ???

    ReplyDelete
  11. කවුද කකා අර කියපු කතෘ?

    ReplyDelete
  12. ඔන්න මේක කිවුවාම මට මතක් වෙන්නෙ අපේ සීය ගැන... අපේ තාත්ත තමයි දෙවනියා... පවුලෙ පිරිමිම නමයයි.... සීය කොහොම වැඩ කාරයද ??? ආච්චිනම් කියන්නෙ හැමදාම රෑට බීගෙන ඇවිත් මල වදේ කියලයි....

    ReplyDelete
  13. අයියන්ඩි කොහොමත් ඉතින් හපනනේ... එක පාරම හපන්කම පෙන්නුවා එහෙනම්...

    අර ලලනාව දැන් ඔයාට හපන කියලද කතාකරන්නේ??? හිකිස්‌..

    ReplyDelete
  14. ඒ කියන්නේ කකා අයියා ඔය බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාපු ගොයියෙක් ඈ....

    ReplyDelete
  15. හිතවතිය කිව්ව එකේ අනිත් එක.....!

    ReplyDelete
  16. ඇත්ත කියන්න , අල්ලපු ගෙදර පොඩ්ඩත් ඔය හපනා වගේමද . . .:P

    ReplyDelete
  17. උගනිව් නැත පිටවෙව් නම් තියනව. පස්වෙනියත් පුතෙක් දන්න කියන කිසිම තැනක නෑ...

    ReplyDelete
  18. මෙන්න සාර්ථක ඉස්ගෙඩියකුගේ රහස.

    http://www.youtube.com/watch?v=lrvUUvYpmGo&feature=related

    ReplyDelete
  19. ඔය පස්වෙනියත් පුතෙක් කියන පොත මම් පුස්තකාලෙක දැකලා තියෙනවා වගේ මතකයි. ඒත් කොහෙද කියලා දන්නේ නෑ.
    ඉතින් කෑ ගැහුවනම් ඉවරයිනේ X එකාක් X එකාක් කියලා !!!! :)

    ReplyDelete
  20. බලපුවම අපේ තාත්තාත් හරි හපනෙක්.එයට ඉන්නේ පුත්තුම තුන්දෙනෙක්.

    ReplyDelete
  21. මේක කියෙව්වාම මට මතක් උනේ අපි පොඩි පන්තියක (මතක හැටියට 7 විතර ) ඉන්න කාලෙ වෙච්ච වැඩක්. අපි සෙට් එකටත් ඔය ගෑනු පිරිමි හැදෙන හැටි ප්‍රශ්නෙ මතුවෙලා (ඒ කාලෙ ඔය XY සීන් දන්නෙ නෑ නෙව ) ඒ ගැන විද්වත් සාකඡ්චාවක් දානකොට අපේ කොල්ලෙක් කියපි පුතෙක් ලැබෙන්න නම් අහවල් වැඩේ කරන්න කලින් එතෙන්ට කොල්ලෙක් කොල්ලෙක් කොල්ලෙක් කියල 3 පාරක් කියල කරන්නය කියල. අපිට හිනා වෙලාම පන ගියා ඒක අහලා....

    ReplyDelete
  22. මං මාර පොරක් ඒත් තාත්ත තරම්ම නෙමේ. මට පුත්තු දෙකයි, තාත්තට පුත්තු තුනයි!

    ReplyDelete
  23. මේක පරන කතාවක් (70-80 දශකයේ?)
    ඔන්න එක දවසක් ..............................
    උපාසිකාව: හාමුදුරුවනේ කොල්ලෙක්.. කොල්ලෙක්..
    හාමුදුරුවො: කටවහගෙන ඉන්නවා.. ට්‍රයි කරල බලන්නම්...

    ReplyDelete
  24. ඒ කියන්නේ මාත් ආඩම්බරකාර හපනෙක් එහනම් ඕං.....

    බලන්න එවායේ සංකීර්ණතා සහ නිවැරිදි බව.....

    ඒක නෙමේ, මකරව දැක්කේ නැහැ කාලෙකින්....ටැබූවත් මතක් වුනා කියහන්කො එක පාරටම....

    ReplyDelete
  25. "පස්වෙනියත් පුතෙක්" පොත ලිව්වෙ ලයනල් ලොකුලියන මහතායි.

    ReplyDelete
  26. හීනියට,
    මකරා මේ දවස් වල බිසි. එයා චන්ද්‍රයාට සංක්‍රමණය වෙච්ච මී මැස්සො ගැන හොයනවා

    ReplyDelete
  27. හොරෙන් රහසින්... මටත් ඉන්නවා පුතෙක්.... ඒත් ඕනයාට ඉන්නේ දුවෙක්.... :D

    ReplyDelete
  28. ඔබ්සර්වර් අයියට ඉන්නේ දුවලා ම දෙන්නෙක්..

    ReplyDelete
  29. මම නම් අහලා තියෙන්නේ, තාත්තලා ගාව ඉන්නවා පිරිමි ඉස්ගෙඩි සහ ගෑණු ඉස්ගෙඩි කියලා ජාති දෙකක්. ඔය ඉස්ගෙඩි විලට වැටුනම පිරිමි ඉස්ගෙඩි මොකද කරන්නෙ අර ගෑණු ඉස්ගෙඩි ටික තල්ලු කරලා දාලා ෆුල් ඩම් එක අරගෙන 100 මීටර් එකක් දුවනවා වගේ කඩාගෙන දුවනව බිත්තරේ හම්බවෙනකන්. කරුමෙට හරි බිත්තරේ හැතැම්ම දෙකක් වගේ ඈතක තිබුනොත් අර පිරිමි ඉස්ගෙඩි ටික හැතැම්මක් විතර දුවලා වැඩේ අත් ඇරලා දානවා. හැබැයි අර ගෑණු ඉස්ගෙඩි එහෙම නෑ. ඒගොල්ලො පොඩි කයියක් එහෙම ගහගෙන හෙමිහිට තමයි බිත්තරේ හොයාගෙන යන්නෙ. ඉතින් හෙමින් යන නිසා ඒ ගොල්ලන්ට හැතැප්ම දෙකම යන්න පුළුවං. එතකොට ඒ ගොල්ලන්ට බිත්තරේ හම්බවෙනකොට පිරිමි ඉස්ගෙඩි ටික වැඩේ අතැරලා දාල ඉවරයි. ඕකේ අනිත් පැත්ත තමයි ඔය බිත්තරේ ලඟ ලඟම තිබුනනන්, ප්‍රිමි ඉස්ගෙඩියෙක් තමයි කප් එක ගහන්නෙ.

    ReplyDelete
  30. පුත්තු ඉන්න එක ගැන ආඩම්බර වෙන්නම එපැයි..
    ඒත් දුවෙක් නැති උනොත්....ඒ ගැන තේරෙන්නේ වයසට ගියාමලු.

    ReplyDelete
  31. අභියගෙ දෙවනි කොමෙන්ට් එකට මගෙං මල් මිටක් . . . . (පලවෙනි කොමෙන්ට් එක ගැන පස්සෙ කතා කරමු . . . . )

    ReplyDelete
  32. @ All
    පස්වෙනියත් පුතෙක් පොත ලිව්වේ චන්ද්‍රසේන හරි චන්ද්‍රසේකර හරි වගේ නමක් තියෙන කෙනෙක්.

    පොර තව පිටරටක ගිය කතාවකුත් ලියලා තියෙනවා.

    ReplyDelete
  33. එහෙනම් දැන් කතන්දරත් හපනෙක් එහෙනම්.....!!!!
    ඔය හපන්කම තවත් පෙන්නන්න අයිඩියා තියනව කියලයි මට නම් මේක කියෙව්වහම තේරුනේ....!!!!

    ReplyDelete
  34. කවුරු මොනව කිව්වත් පින්තූරෙ ඉන්නෙ නං තාත්ත‍ ගෙම පුතෙක්!!!

    ReplyDelete
  35. ඔය ක්‍රමසෝමද සිරිසෝමද මොනවද එව්වගෙ මෙන්න මෙහෙම සීන් එකක් තියනවලු. (වැඩි විස්තර බයලොජි සූලොජි දන්න අයගෙන් අහගන්න).
    ඔය "සරු කාලය" කියල එකක් අහල තියෙනවද? ඒ කියන්නෙ අර ඔයිල් මාරු කරල දවස් කීපයකට පස්සෙ එන්ජිම ගානට හීට් වෙනවනෙ. ආයෙ ඊ ළඟ ඔයිල් මාරුව කිට්ටු වෙනකොට හීට් එක අප්සෙට් යනව. ඔය මැද්දෙ දවස් කීයක්ද මන්ද තමයි සරු කාලය කියන්නෙ.
    සරු කාලය මුලදී දුවක් හැදෙන්න චාන්ස් එක වැඩියිලු.
    විද්‍යාත්මක පැහැදිළිකිරීම මතක නෑ. මං වැඩේ කරල දැම්ම. මටනං සීයට සීයක් හරිගියා.

    ReplyDelete
  36. හපනෙක් කියන්න පුත්තු 7-8ක් වත් ඉන්න ඕනි..

    ReplyDelete
  37. අමතක උනා කියන්න.

    මට ඉරාක් ඩොකෙක් දුන්න චයිනීස් කැලන්ඩරයක් ( බහරෙන් වලදි ) සෙට් වෙන දවස අනුව පුත්තු දූල හදාගන්න පුලුවන්. ඒකෙ තීන දිනේ බර්ත් ඩේ දෙක සමඟ පොඩි සූත්තරයක් තීනෙ. මිනිහට වයස හැට අටයඉ, ළමයි පහයි. මිනිහගෙ මල්ලිට ළමයි හතරයි, තව යාළුවො බර ගානක්ගෙ දරුවොයි ඒකට අනුවලු හැදුවෙ. අපේ හාමිනේට මං ඒක ගිහින් දුන්න අරං තියාගන්න ට්‍රයි කොරන්න මතක් කරන්න කියල. ඒත් ඉතින් ඕන උනාම ඕව මතක නෑ. හැබැයි උන්දැ ගාව තාම තීනවනං හොයල පෝස්ට් කරන්නම්!

    ReplyDelete
  38. Thats Thilak Chandrasekara, and I think it is one of the best and funniest books I've read.

    ReplyDelete
  39. කට්ටිය අහල ඇතිනෙ කැලේ කඩාගෙන දිව්ව මහ ඉස්ගෙඩිය ආපහු ඒ වේගෙන්ම කඩාගෙන ආපහු එනකොට හෙමිහිට යන පොඩි ඉස්ගෙඩිය ඇයි කියල ඇහුවම කියපු දේ??

    ReplyDelete
  40. @ අභීත & ඕනයා,
    ඕනයාට සිදු වූ දෙය නොදැන අභීතද, ෆුල් අමාරුවක වැටීමට යන බව තේරුං ගතිමි. ඕනයාට රටින් පිටුවහල් වීමට වැඩ කටයුතු සිදු වුනේ කෙසේදැය්, උගේම බ්ලොගෙන් සහ 'අන්තිම පේලියෙන්" අවශ්‍යම නං පමණක් අභීතට දැන ගත හැක. අදාළ පෝස්ට් වල ලින්ක් ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටීමට දැනට තීරණය කලෙමි. වැඩි විස්තර කෙහෙල් කොටුවේ පොඩි එකා, මාරයා, වැනි අයගෙනුත් සමහර විට ක.ශු. ගෙනුත් දැනගත හැක.
    මෙය සඳහන් කලේ විශේෂයෙන්ම අභීතට ඉදිරියේදී ආරක්ෂාව සලසා ගැනීම පිණිස බව කරුණාවෙන් සැලකිය යුතුය්.

    ReplyDelete
  41. අපේ පියාගේ පියා මගේ සීයා ඒ අතින් බැලුවාම රජ වැඩ කාරයෙක් මෑන්ස්ට ඉන්නවා පුත්තුම අට දෙනෙක් ! , මගේ මවගේ පියා ඒ කීවේ අනික් සීයා එයැයිට පුත්තුම හය දෙනයි .. මගේ පරම්පරාව ගැන දැන් මට ආඩම්බරයි ..

    ReplyDelete
  42. වැරැදිලවත් ගෑනිට 9 වසරේ විජ්ජාව පොත හවුවෙන්ට තියන්ට හොද නෑ..

    ReplyDelete
  43. ඉන්දික උපශාන්ත කියන චීන කැලැන්ඩරේ මටත් හම්බ උනා වයිෆ් ට වයිෆ් ගේ අක්ක දීලා. එයාලටත් 100% සාර්ථක ලු. අපිට ලැබෙනකොට වැඩ අහවරයි. මාස 2 කුත් පැනල.
    මම ඉතින් ඒ කැලැන්ඩරේ ට අනුව බැලුව ඉපදෙන්න ඉන්න එකා මොකෙක් ද කියල. හරියටම හරි.

    ReplyDelete
  44. @ සුස්ති ගුනේ.... LOLzzzzz

    ReplyDelete
  45. ඔය කැලැන්ඩරේ සීන් එක විද්‍යාත්මකව මේකයි.. අර දුමියා කිවුවා වගේ male sperm වල speed එක වැඩියි female sperm වලට වඩා.. හේතුව Y ක්‍රොමසෝම් එක X ක්‍රොමසෝම් එකට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම (Y ක්‍රොමසෝම් එකේ තියෙන ජාන ප්‍රමාණය අඩුයි).. හැබැයි බුවාට වැඩි දුර යන්ට බෑ හති වැටෙනවා.. ඉතිං සරුකාලය මුලදි ඩිම්බය තියෙන්නෙ පැලෝපීය නාලයේ මුල හරියෙ නිසා male sperm එක ඒ තරං දුර යන්නෙ නැතුව මගදිම ගේම අතාරිනවා, ඒ කියන්නෙ එන්නෙ දුවක්.. සරු කාලය අවසානයේදී නං වැඩි දුර යන්න නැති නිසා බුවා කප් එක ගහනවා, ඒ කියන්නෙ එන්නෙ පුතෙක්..

    හැබැයි ඉතිං සරු කාලෙ ප්‍රශ්නයක් නැතුව පුතෙක් ගන්ට ක්‍රම සහ විධි තියෙනවා, ඒවා මෙතන ලියාන්ට ගියොත් කකාගෙ බොලොග් එක බෑන් කරනවා සින්ඩියෙන්.. :)

    ReplyDelete
  46. එහෙනං ඉතින් බූරා බඳපු කාලෙක පුත්තු පෝලිමක් ඉඳීනේ???......:D

    ReplyDelete
  47. පුතෙක් හම්බ උනාම තාත්තා හපනෙක්ද ? නැද්ද කියල නම් දන්නේ නැහැ.ඒ උනත් තාත්තලා දුවලට ගොඩාක් ආදරේද කියන එක නම් හොඳට දන්නවා , අපේ තාත්තත් මට ගොඩක් ආදරේ කල නිසා .

    ReplyDelete
  48. ඇයි සුදු දුවණියේ නුඹවත් නොසිටියෙ
    සොහොයුරානම් ඔලමොල ගති ඇත
    තොප මෙන් මුදු නැත

    ReplyDelete
  49. උගනිව් නැත පිටවෙව් ; By චන්ද්‍රසේකර, තිලක්
    Copyright:1985
    Publisher:රාජගිරිය සුසිත ඉන්ඩස්ට්‍රියල් ප්‍රින්ටර්ස් 1985
    Physical Details: 104 p.
    Subject(s):LITERATURE, SINHALESE LITERATURE, SINHALESE SHORT STORIES,
    Record No.:50223

    ReplyDelete
  50. අනේ අපේ කෙල්ල අපට හොඳා. චන්ඩිය වෙන්න නෙවෙයිනේ දරුවෝ හදන්නේ.

    ReplyDelete
  51. @ All
    ඔය චයිනීස් කැලැන්ඩරේ ත් එක හේතුවක් වෙන්න ඇති චිනේ පිරිමි ජනගහනය වැඩි වෙන්න අර එකෙක් විතරක් හදන්න දෙන කාලේ.

    රටක පිරිමි වැඩි වුනොත් ඉතිං යුද්ධයක් අවශ්‍යම වෙනවා ජනගහන අනුපාතය පාලනය වෙන්න.

    ReplyDelete
  52. @ All
    සියළු දෙනාටම ඉතා ස්තුතියි.

    මේ කතන්දර ටිකටම ගැලපෙන තවත් එකක් හෙට උදේ හයට බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
  53. @ Buratheno //ඔය කැලැන්ඩරේ සීන් එක විද්‍යාත්මකව මේකයි//..???
    හූනු සාස්තරේ/ෆෙංශුයි/විශ්ව ශක්ති වගේ ඒවත් විද්‍යාත්මකයි කියල කියන අය අපට ඕන තරම් මුනගැහිලා තියෙනවා. ඔබ විශ්වාස කරනවනන් විශ්වාස කරන්න. විද්‍යාත්මකව සත්‍යයි වගේ ගොන්පාට් නැතුව....!

    - සනාථ

    ReplyDelete
  54. @Ano(සනාථ),

    මම නං ඔය හූනු සාස්තර, ෆෙංශුයි, විශ්වශක්ති ආදිය විශ්වාස කරන්නෙක් නෙවෙයි.. මම කිවුවෙ මා කියවපු දේ.. ඔයාටත් ඕනේනං කියවන්න අන්තර්ජාලයේ තියෙනවා විස්තර ඉහටත් උඩින්.. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න Sex determination and differentiation (human) වගේ keyword එකක් දාලා.. :)

    මෙන්න තියෙනවා කියවන්න පටන් ගන්න හොඳ තැනක්..
    http://www.nlm.nih.gov/ (U.S. National Library of Medicine)

    Thanks.!!

    ReplyDelete
  55. සනාථගේ අනාථ කොමෙන්ට් එක ගැනයි.
    මමත් උඩින් දාල ඇති ඔය කැලැන්ඩර් කතාවට සමාන කතාවක්.
    http://kathandara.blogspot.com/2011/07/blog-post_27.html?showComment=1311775173285#c5798903938018344989
    සනාථ තවමත් හිතාගෙන ඉන්නෙ දරුවන් බිහිවෙන්නෙ සහ ඒ දරුවන්ගෙ ගැහැණු පිරිමි බව තීරණය වන්නේ සියයට සියයක්ම අහඹු ලෙස කියලද? Buratheno කියල තියන කතාව හරි. ඒක හූනු සාස්තරයක් නෙවෙයි.

    ReplyDelete
  56. This comment has been removed by the author.

    ReplyDelete
  57. යුරේකා, යුරේකා, මම හිතන්නේ කස්ටිය කියන්නේ මේකගැන වෙන්න ඕන.
    http://www.chinesebirthcalendar.org/chinese-birth-calendar.html

    ReplyDelete
  58. @Buratheno, චීන කැලැන්ඩරේ ගැන විතරක් නෙමෙයි ඕනම මිත්‍යා විශ්වාසයක් ගැන (උදා: මම කියපු විශ්ව ශක්තිය, ෆෙන්ග්ශුයි, ලග්න පලාපල වල සිට චායාරූපවල භූතයො පහලවීම විතරක් නොවෙයි ලෝක විනාශ අනාවැකිය වගේ පල් හෑලි දක්වා පවා) "විද්‍යාත්මක" පැහැදිලි කිරීම් ඕනතරම් තියෙනවනේ. ඒවා පුස්තකාලවලත් තියෙනවනේ. නමුත් ඒවා විද්‍යාත්මකයි කියලා පිලිගන්නේ නෑනේ. මේ පැහැදිලි බෙදුම් ඉර මතකයේ තබාගන්න. අවිද්‍යාවට, විද්‍යාත්මක චරිත සහතික දීමෙන් වලකින්න. ඔබේ විශ්වාසය පාඩුවේ දිගටම කරගෙන යන්න.
    මගේ අභියෝගය මේකයි;
    පුලුවන්නම් චීන කැලැන්ඩරේ සත්‍යයි කියලා පිලිගත් මෙඩිකල් ජර්නල් එකක ලින්ක් එකක් දාන්න හැමෝටම කියවන්න. වැඩේ අමාරු නෑනේ; කට් ඇන්ඩ් පේස්ට් අපිට අමාරු දෙයක් නෙමෙයිනේ.

    @Ano, මම කොහේ හරි කියල තියෙනවද ගැහැණු පිරිමි බව තීරණය වන්නේ සියයට සියයක්ම අහඹු ලෙස කියල? ඒ ගැන මෙඩිකල් ෆීල්ඩ් එකේ රෙසර්ච් යනවනේ. අනික එය අහඹු ලෙස නොවීමෙන් චීන කැලැන්ඩරයේ විශ්වාසනීයත්වය සනාථ වෙනවද? මේ ගැන වෛද්‍ය විද්‍යාත්මක මතය කියන්න එක ඩොකෙක් මෙතන නැද්ද? ඩොක්කු කතන්දර කියවන්නෙ නෑ මං හිතන්නෙ!

    @ඉසුරු,ඔයා දීපු ලින්ක් එකේම තියෙනව ඒක රිලයබල් නෑ, යූස් ඉට් ඈස් අ ෆන් කියලා. ලොල් වේවා

    - සදා සනාථ

    ReplyDelete
  59. @Ano(සනාථ),

    අනේ සුදෝ, ඔයා මුලින්ම මගෙ පළමුවෙනි කමෙන්ට් එක හරියට කියවන්න.. මම එතන කතා කරලා තියෙන්නෙ සරුකාලය මුලදී දුවෙක් ලැබීමේත්, සරුකාලය අගදී පුතෙක් ලැබීමේත් පදනම ගැනයි.. ඔයා ඒක වරදවා වටහා ගත්තානං සොරි වෙන්ටෝනැ, මගේ ලිවීමේ මොකක් හරි දෝසයක් ඇති.. :)

    මේක ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙන දෙයක්නේ ඔය උඩින් කමෙන්ට් දාලා තියෙන අය කීප දෙනෙක්ම.. ඉතිං ඔයා විශ්වාස කරත් නොකරත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. බුදුදහමත් විද්‍යාත්මකව ඔප්පු කරන්න කියලා අභියෝග කරන අය ඔය ඕන තරං ඉන්නෙ..

    ReplyDelete
  60. @Buratheno, අනේ රත්තරං, මම ඒක හොඳට කියවල තමයි ලිව්වේ. ඔහේගෙ පලවෙනි කොමෙන්ට් එකේ ඔහේ පටන් ගන්නෙ මෙහෙමයිනේ...

    "ඔය කැලැන්ඩරේ සීන් එක විද්‍යාත්මකව මේකයි..." කියල. මේකෙන් මට ඒත්තු ගියේ "කැලැන්ඩරේ විද්‍යාත්මක සත්‍යයක්ය, එහි ගැබ් වුනු යාන්ත්‍රනය මෙසේය" කියලයි.

    හරියට "පිරිත් විද්‍යාත්මකයි, එහි ගැබ්වී ඇත්තේ ධ්වනි ශක්තියයි, එහි යාන්ත්‍රනය මේ යැයි" වගේ එකක්. එහෙමත් නැත්නම් "පුනරුත්පත්තිය විද්‍යාත්මකයි, එහි යාන්ත්‍රනය මෙහෙමයි" වගේ ඒවා. අදහන්නාට (විශ්වාස කරන්නාට ) ආතල් ලබාදෙන මේ වගේ උදාහරන ඕනෑතරම් තියෙනවනේ.
    වෙනස් ක්‍රොමසෝම රැගත් ශුක්‍රානු වල ඇති වෙනස් වේග සහ ප්‍රමාන ගැනත් ඒවා ඔහේ කියන ආකාරයට ලිංග නීර්නයට අදාල වන ආකාරයත් අන්තිම පැහැදිලියි. ඒත් ඒක චීන කැලැන්ඩරෙන් රිෆ්ලෙක්ට් වෙනවද? ඒකයි මගේ ප්‍රශ්නය වුනේ. අනික ඔහේගේ සහයෝගයට ආව අය නොමග ගිහින් තියෙන හැටි බලන්න. "Buratheno කියල තියන කතාව හරි. ඒක හූනු සාස්තරයක් නෙවෙයි"ලු!
    මටත් සොරි වෙන්න ඕනෑ. "කොමෙන්ට් ලියන්නා කෙසේ ලීවත්, කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි" කියල පරන කියමනකුත් තියෙනවනෙ.

    විශ්වාස නම් කවුරු කලත් නොකලත් කමක් නෑ. ඒවා විද්‍යාත්මකයි වගේ ගොන්පාර්ට් ඇද බාන්නැතුව. එහෙම නැතුව ඉතිං ඒවා විද්‍යාත්මකව ඔප්පු කරන්න කියල අභියෝග කරන්න අපට පිස්සුවක් ඇතෑ.....!!!

    - සනාථ

    ReplyDelete
  61. @Ano(සනාථ),

    ඔව් ඔයා කියන එක හරි.. මම ඒ කමෙන්ට් එක පටන් අරන් තියෙන ආකාරය වැරැදියි තමා.. මීට පස්සෙ කමෙන්ට් ලියනකොට හදිසි නොවී පරෙස්සමෙන් ලියන්න ඕන.. :)

    ස්තූතියි වැරැද්ද පෙන්නා දුන්නාට.. අන්තිමේදි බලනකොට අපි දෙන්නා වාද කරලා තියෙන්නෙ අහක යන දේකට නේ.. :)

    ReplyDelete
  62. @ Buratheno
    /* අන්තිමේදි බලනකොට අපි දෙන්නා වාද කරලා තියෙන්නෙ අහක යන දේකට නේ.. :)
    */

    අපොයි බුරතීනෝ, අහක යවාගන්න හෙම එපා. අහක ගියොත් දුවරුත් නෑ, පුත්තුත් නෑ!!!

    ReplyDelete
    Replies
    1. අපොයි මේකෙ අර මූණු පොතේ වාගෙ ලයික් දාන්න විදියක් නැති හැටි...... වසරේ කියමනට ලයික් වේවා.....

      Delete
  63. "අපොයි බුරතීනෝ, අහක යවාගන්න හෙම එපා. අහක ගියොත් දුවරුත් නෑ, පුත්තුත් නෑ!!! "

    දවසේ කතාව නොහොත් ක්ලයිමැක්ස් එක!

    ReplyDelete
  64. හික් හික්.. අනිවා ඩෙෆා.. කොයි දේ අහක යැවුවත් ඕක අහක යවන්න වටින්නෑ.. අන්තිම බිංදුව තෙක්ම වටී කියන්නෙ කට කහනවටයැ.. :D

    @ඉන්දික,

    ඉතිං හරිනෙ බං.. ක්ලයිමැක්ස් එක එන්නෙ අන්තිමට‍ නේන්නං.. :)

    ReplyDelete
  65. කතන්දර,
    පස්වෙනියත් පුතෙක් සහ උගනිව් නැත පිටවෙනු පොත් ගන්න තැනක් තියනවද දැන්? තියනවා නම් කරුණාකරලා ගන්න විදිහක් කියල දෙන්න, කීයක් උනත් කමක් නැහැ.
    පස්වෙනියත් පුතෙක් පොතේ නේද තියෙන්නේ - පොඩි එකාව අතුල්ලලා නාවල ගෙනවහම ආයේ ගිහින් මඩේ නාන සීන් එක? එහෙනම් ඒ පොත ලියල තියෙන්නේ මිණිවන් පී තිලකරත්න. උනනිව් නැත පිටවෙනු කියන්නේ කලින් පොතේ දෙවෙනි කොටස වගේ තමා මට මතක. අවාසනාවකට දැන් මේ පොත් එකක් වත් හොයාගන්න විදහක් නැහැ මම දන්නා තරමින්.
    අතීත කාමය කියන්නේ මේක වෙන්න ඇති. ඉස්සර කියවපු පොත් පත්, බලපු නාට්ටි හොයා හොයා සැහෙන්න දුක් විඳිනවා. අපේ පොඩි උන් ලොකු උනහම පෙන්නන්න කියල හාමිනේ නම් වැඩ බැරි දාසගේ කතා පොත් කීපයක් පරිස්සම් කරගෙන ඉන්නවා.
    වැඩ බැරි දාස ගැන කිව්වහම මතක් උන මගේම theory එකක් තියනවා. කවුරු හරි ඉන්නවා නම් ලස්සන වසිලිස්සා කියවල නැති, ඒ අය සාමාන්‍ය අයට වැඩිය වෙනස්. මේ theory එක ලංකාවට කෙසේ වෙතත් Obama ගේ රටේ ඉන්න ලංකාවේ අයට නම් හරියටම හරි ගිහින් තියනවා.

    පරණ නාට්‍ය, පොත් පත් සංරක්ෂණය කරලා බෙදා හරින movement එකක් තියනවා නම් අපි බොහොම සතුටෙන් එකට දායක වෙන්නම්...

    ReplyDelete
  66. මගේ comment එකේ නාට්‍ය කියල කිව්වේ මධුර ජවනිකා, මුදු පුත්තු, රාජ කපුරු, අන්දරේලා, තල මල පිපිලා වගේ වේදිකා නාට්‍ය මිසක් රුපවාහිනී නාට්‍ය නෙමෙයි ඔන්න!

    ReplyDelete
  67. මගේ X ව්තරමයි තියෙන්නෙ.......

    ReplyDelete
  68. හිතවත් කතන්දර මවිසුරුතුමා, පස්වෙනියත් පුතෙක් පොත ලිව්ව කර්තෘ හොයාගත්තද?. මම අදයි ඒ පොත ගැන සඳහන් කරලා තිබුණු "බබාගේ තාත්තා හරි හපනා" කියන බ්ලොග් කතන්දරේ කියෙව්වේ.ඒ පොත ලියලා තියන්නේ තිලක් චන්ද්‍රසිරි කියලා කෙනෙක්. මම පස්වෙනියත් පුතෙක් කියන පොතනම් කියවලා නෑ. ඒත් "උගනිව් නැත පිටවෙව්" කියන පොත නම් කියවලා තියෙනවා. ඒ පොතේ හැඳින්වීමක තියෙනවා පස්වෙනියත් පුතෙක් කියන පොතේ සඳහන් වෙන ස්වර්ණපාල කියන චරිතයේ ජීවිත කතාව තමයි "උගනිව් නැත පිටවෙව්" පොතෙන් දැක්වෙන්නේ කියලා. ඒ පොතේ කර්තෘ වන තිලක් චන්ද්‍රසිරි කියන්නේ පරිපාලන නිලධාරියෙක්. මම හිතන්නේ මේ වෙනකොට එතුමා සේවයෙන් විශ්‍රාම ගිහිනුත් ඇති. ඔහු ගැන ලිපි පෙලක් ගොඩක් කාලෙකට ඉස්සර ඉරිදා "ලක්බිම" පත්තරේද කොහෙද ගියා මට මතක විදියට.එච්චර තමයි මම මේ ගැන දන්නේ.ජයවේවා!!!...

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක්......තිලක් චන්ද්‍රෙස්කර මහතා

      Delete
  69. මේ පොත ලිව්වේ තිලක් චන්ද්‍රසේකර. මේ පොතේ පරණ පිටපතක් හමු වුණා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.