
සිකුරාදා කතන්දර බ්ලොග් එකේ පලවූ "
ඉස්කෝලේ නම හංගන්නේ ඇයි?" කියන කතන්දරේ මං "වහෙං ඔරෝ" ක්‍රමයට සඳහන් කරපු මගේ සඟරා ලිපිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ දාන්න හිතුණා.
මෙන්න ඒක. මේ ලියවිල්ලේ පාවිච්චි කරලා තියෙන භාෂා විලාසය ගැන නං ඉතිං සොරි තමා හොඳේ!
කොට කලිසම් කාරයෝ දිගු කලකට ඉහත මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අපේ කණ්ඩායමේ කුරුවිට නම් වූ ශිෂ්‍යයෙකු විය. රජරට සිය නිජ බිම කරගත් කාල වර්ණ චර්ම කල්‍යාණයෙන් යුතු අඩි පහක් පමණ උසැති කුරුවිට කාගේත් සිත් දිනාගත් විනෝදකාමී පුද්ගලයෙකි. සෑම විශ්ව විද්‍යාල සිසුවෙකුට ම වාගේ ඔහුට ද අන්වර්ථ නාමයක් පට බැඳ තිබුණි. එය කේ සෙවන් කුරේ නම් විය.
කුරේ යනු කුරුවිට යන වාසගමේ කෙටි ඇමතුම් නාමයයි. කේ සෙවන් යන්නෙන් අදහස් කෙරුණේ ඉංගිරිසි කේ අකුරු සප්තකයකි. කළු, කොට, කෙට්ටු, කැත, කපටි, කුපාඩි යනාදී විශේෂණ පද හතක් කේ සප්තකයෙන් නිරූපනය විය. මේ අන්වර්ත නාම වලින් සාමාන්‍යයෙන් හුදු විනෝදය මිස කිසිදු අපහාසයක් අදහස් නොකෙරුණු බව කිව මනාය.
මා අද කතාකරන්නේ කේ සප්තකයක් ගැන නොව කේ ති‍්‍රත්වයක් එනම් කේ.කේ.කේ ගැනය. කේ.කේ.කේ නමින් සාමාන්‍යයෙන් නම් හැඳින්වෙන්නේ ඇමෙරිකාව මූලස්ථානය කොට ගෙන කි‍්‍රයාත්මක වේ යැයි සැලකෙන කූ කුකල්ස් ක්ලැන් (කේ.කේ.කේ* නම් වූ කූප‍්‍රකට අන්ත ජාතිවාදී සුදු සංවිධානයකි.
එනමුදු, මගේ කෝෂ්ඨාගාරයේ කේ.කේ.කේ නමින් අදහස් වෙන්නේ කොට කලිසම් කාරයෝ යන්නයි. මා ”පමා නොවී එමි අකුරට” යන මැයෙන් මා ලියන මේ කොලමේ මුල් පියවර සඳහා මේ මාතෘකා නාමය යොදා ගත්තේ ඒ ඇසුරෙන් මගේ ගැටවර දිවියේ එක්තරා අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමටයි.
”පමා නොවී එමි අකුරට” යන යෙදුම ඉගෙනීමේ යහපත් ප‍්‍රථිඵල ගැන ලියවුනු කවි පන්තියක එන්නකි. මගේ මේ කොලම සඳහා මා මේ පදය යොදා ගන්නේ ”අප්පමාදෝ අමත පදං” යන පාලි පාඨයට විකල්පයක් වශයෙනි. ධම්ම පදයේ එන ඒ පාලි පාඨය වනාහී මා කලක් උගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදර්ශ පාඨයයි.
දැන් කිසියම් පැහැදිලි කිරීමක් කල යුතු ම වේ.
කලකට ඉහත කුලී නිවසක පවත්වාගෙන ගිය චමරියක එක හැලියේ බත් කමින් වසරකටත් වඩා සාමූහිකව ජීවත් වෙමින් සිට, පසුව සිත් අමනාපකම් ඇති කරගෙන වෙන්වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු, අනෙකා ගැන සඳහනක් කරමින් ” ඕකා ඉගෙන ගත්තේ ආනන්දේ කියලා කිව්වට, මේ, පස්සෙ ඉස්කෝලෙට ආපු එකෙක්” යැයි මා සමඟ කීවේය.
එතෙක් ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත් සිසුන් අතර එවැනි බේදයක් ගැන දැන නොසිටි මගේ සිත තුල ඒ ප‍්‍රකාශය නිසා ඇතිවූ ඉච්ඡුා භංගත්වය නිසා දෝ, ඉන් පසු සෑමවිටම මගේ පෞද්ගලික විස්තර විමසන අයට මා පවසන්නේ ”මං උසස් පෙල කළේ ආනන්දේ” කියා ය.
නමුත් ඇත්ත වශයෙන්ම මා ආනන්දයේ ඉගෙනුම ඇරඹුවේ දහයේ පන්තියෙනි. එතැන් සිට වසර හතරකුත් මාස හයකට පසු පාසලෙන් අස්වෙන තුරුම දිනපතාම පාහේ පාසල් ගියෙමි. කණිෂ්ඨ විද්‍යාලයේ සිටි පස් වසරට පසු මා වැඩි කාලයක් ශිෂ්‍යයෙකුව සිටියේ ආනන්ද යේ ය. ”අප්පමාදෝ අමත පදං” යන පාලි පාඨය මා හද බැඳ ගත්තේ ඒ නිසාවෙනි. ”පමා නොවී එමි අකුරට” නමින් මේ කොලම නම් කෙරුවේද ඒ නිසාවෙනි.
දහය වසරේ සිට ආනන්දය ට පැමිණීම මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් විය. මම ජීවිතයේ පහලොස් වන වසර ගෙවමින් ගැටවර වියට එළැඹෙමින් සිටියෙමි. අපට තනිවම ගමන් බිමන් යන්නට නිදහස ලැබුනේ ද, අපේ අතේ සුළු වශයෙන් හෝ මුදල් ගැවසෙන්නට පටන් ගත්තේ ද මේ සමගය.
මේ ගැටවර වියේ එක් සිහිනයක් වූයේ එතෙක් අඳිමින් සිටි කොට කලිසමට ආයුබෝවන් කියා දිග කලිසම් ඇඳීමට පටන් ගැනීමයි. නමුත්, දහවන ශ්‍රේණියේ ආනන්දේ ඉගෙනීම ඇරඹුවද මට එම වාසනාව එක්වරම උදා නොවුණි. මා පමණක් නොව මරදාන-බොරුල්ල පාර අද්දර ගොඩනැගිල්ලේ ඉහල මාලයේ පිහිටි මගේ පන්තියේ සිටි සිසුන් තිස් හය දෙනාගෙන් අඩු වශයෙන් දහ දෙනෙක් පමණ දෙනා තවමත් දිග කලිසම් සිහිනය සැබෑ කර නොගත්තෝ, එනම්, කේ කේ කේ ලා හෙවත් කොට කලිසම් කාරයෝ වූහ.
මා ද ඇතුළු කේ කේ කේ ලා බොහෝ දෙනෙකු තවමත් එතරම් උස මහතට වැඩුනු කොල්ලන් නොවුනි. එනිසා කොට කලිසම තවදුරටත් ඇඳීමේ මහා ප‍්‍රශ්ණයක් අපට නොතිබුන බව කිව හැකිය. එසේ වුවද, අප පිරිස අතර සිටි සුනෙත් කරුණාපේ‍්‍රම මිතුරා නම් ඒ වන විටත් වයසටම සරිලන උස මහත තරුණයෙකු වූ නිසා අපේ පන්තියේ කොට කලිසම් කාරයින් අතර ඔහු හොඳින් කැපී පෙනුනි.
නිරිත දිග මුහුදු කලාපය නිජ බිම කරගත් සුනෙත්, එඩිතර චරිතයක් ඇත්තෙකු වූවේය. ඕනෑම අසාධාරණයක් ඉවසා ගෙන ඉන්නට කුඩා කල සිටම අප බොහෝ දෙනෙකු පුරුදු වී සිටිය ද සුනෙත් නිසැකවම ඒ මානසිකත්වය පරයා වැඩුණු අයෙක් බව පෙනුණි.
දැන් මගේ මේ කතාවේ කූටප‍්‍රාප්තියට පැමිණෙන්නම්.
අපට ඉංගිරිසි විෂයය ඉගැන්වූයේ සේනානායක නම් වූ ගුරුවරියකි. දිනක් එක්තරා ඉංගිරිසි වදනක අර්ථය ඇය තේරුම් කර දෙමින් සිටියදී, සුනෙත් එකවරම පවසා සිටියේ ඒ හා සමාන නමකින් ඇමෙරිකානු පොප් සංගීත කණ්ඩායමක් ද ඇති බවයි. ඒ තැනට නොගැලපෙන සහ බාධාකාරී කතාව අසා කෝපයට පත් වූ ගුරුවරිය, සුනෙත් ට බැන වදිමින් ඔහුට නැගී සිටින්නට අණ කළාය.
අසුනෙන් නැගිට සිටගත් මේ උස මහත සිසුවා දුටු සැනෙන්, ඔහු කොට කලිසමකින් සැරසී සිටි නිසාදෝ, ඇය ගේ මුවට සිනාවක් නැගුණි. පාඩමට අදාල නොවන දේ කියා බාදා කිරීම ගැන සුනෙත් ට දොස් පවරද්දී ඇගේ මුවින් ”ඇවිත් මෙතන ජංගි කොටයක් ඇඳගෙන” වැනි වදන් කිහිපයක් පිටවිය.
සුනෙත් ගේ නිර්භය කම, අසාධාරණය නොඉවසීමේ ගතිය, මා ඉතා හොඳින් දුටුවේ එදාය.
”ටීචර් අපේ දුප්පත් කම ගැන ඔහොම හිනාවෙන එක හරිද?” ඔහු අසා සිටියේය.
”අපේ දෙමව්පියන් දුප්පත් නිසා, අපි අපිට තියෙන විදියට කොට කලිසමක් හරි ඇඳගෙන අපි ඉස්කෝලෙ එනව. දුප්පත් වීම වරදක් ද ටීචර්?” ඔහු ප‍්‍රශ්ණ කළේ, ගුරුවරිය තූෂ්නිම්භූත කරමිනි.
සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඇයට කට උත්තර නැතිවිය.
පාසල් සිසුවෙකු විසින් තම අයිතීන් රැකගැනීමට හෝ සමාජ අසාධාරණයට එරෙහිව කළ මා දුටු හොඳම ඒකල සටන එයයි.
සුනෙත් කරුණාපේ‍්‍රම, කලක් රජයේ හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කොට ඉන් මිදුණු පසු පෙර පිං බලයෙන් වීසා ලොතරැුයිය දිනා එක්සත් ජනපදයට සංක‍්‍රමණය කළේය. එහිදී ඔහු එක්සත් ජනපද යුධ හමුදාවේ සාමාන්‍ය භටයෙක් ලෙස සේවයට බැඳුණි.
පැය කිහිපයක් ඇතුලත ගුවන්ගත වී ලෝකයේ ඕනෑම තැනකට පැරෂූටයකින් බැසීමට තමා සූදානමින් සිටිනා බව සාජන්ට් කරුණාපේ‍්‍රම කලකට පෙර මට විද්‍යුත් ලිපියක් මගින් දැන්වීය.
එදා කොට කලිසන් කාරයන් පසු කලෙක, ඇවැසි නම්, ලොවම පාලනය කළ හැකි අය වූයේ එලෙස ය.
ප/ලි:
මේ ලිපිය දැකපු ඉස්කෝලේ අයිතිකාරයෙක් මට නොසෑහෙන්න දොස් කියපු බව මං
සිකුරාදා කතන්දරේ ලිව්වා.
පොර ඇත්තටම කිව්වේ මං මේ ලිපිය ලියලා පාසලට නිග්‍රහ කරන වෙලාවේ ඒ වෙනුවට කරන්න තිබුනේ ඉස්කෝලේ ඉන්න කොට කලිසං අඳින ළමයින්ට දිග කලිසං අරං දෙන ප්‍රොජෙක්ට් එකක් කරන එකයි කියලායි!
දිගටම මේ ලිපි පල කෙරුවොත් ඒ ගැන තීරණයක් ගන්න වෙනවාය කිව්වා. ඒ තීරණය මොනවගේ එකක්ද කියලා නං මං දැන්මම එළිකරන්ණ අදහසක් නෑ.
මොකද මොනවා කළත් ඉස්කෝලේ කොල්ලෙක් නේ. මෝඩකම නිදහසට කරුණක් කරගන්න ඉඩ දෙනවා පොරට.
(image: http://www.sannasa.net)