Friday 24 September 2010

කෑම, අතුරුපස සහ බෝන්චි ඇටේ


ටියුෂන් ක්ලාස් එකක අන්තිම පේලියේ ඉඳපු කොල්ලෝ ටිකක් ලියන තෙලස්ට්‍රෝ බ්ලොග් එකේ තිබුණ ජොලි කතාවක් බත් පිඟානක් කෑම ගැන.

ඒක කියවපු මට මතක් වුණා, පොඩි පොඩි කතන්දර දෙක තුනක්ම.

සමහරුන්ට නං බත් පෙන්නන්න බෑ. ඒත් සමහරු ඉන්නව බත් කන්න හරිම කැමතියි. දැං නං ඉතිං ඔය කොළඹ පලාතෙ ෂොපින් සෙන්ටර්වල තියෙන භෝජනාගාර වලට ගියාම, ඉන්දියන් ද, මැලේසියන් ද, චීන ද, බංගලාදේශී ද, රටේ නැති තරං බත් ජාති කන්න පුළුවන්.

එත් ඉස්සර අපි බත් කන්න කඩේකට ගියාම තිබුනේ චොයිසස් දෙකයි. එක්කෝ කෑම එකක් ගෙන්න කියන්න ඕනෑ, නැත්තං කෑම භාගයක් ඉල්ලන්න ඕනෑ.

මෙතෙනදි මස් කෑම, මාළු කෑම, එළවළු කෑම යනාදී පොඩි පොඩි සබ්-චොයිසස් තියෙනව. ඒ තමන් මාංශ භක්‍ෂකද, මාළු භක්‍ෂකද නැත්නං එලවළු ජීවිතයක් ද කියන කාරණය අනුව එන චොයිසස්.

කෑම ෆුල් එකක් නං, බතුයි, හොඳියි වෙනමම දීසිවල ගේනව. අපිට පිඟානක් ගේනව බෙදාගෙන කන්න.

කෑම භාගයක් නං, අපිට සුපුරුදු පරිදි පිඟානකට බතුයි හොඳියි බෙදල ගෙනත් දෙනව.

ඒ එක්කම වේටර්ල කරන වැඩක් තමයි, අපි මොන කෑම ඉල්ලුවත්, බැදපු හුරුල්ලො, ඩෙවල් චිකන් වගේ වෙනම කෑම ජාති දීසි දෙක තුනකුත් ගෙනල්ල මේසෙන් තියෙන එක.

හැබැයි ඉතිං මේව ඇක්ස්ට්‍රා! කෑවොත් වෙනම ගාණක් ගෙවන්න ඕනැ.

දැන් මෙන්න මං අහල තියෙන පොඩි ලූ කතාවක්!

ඉතිං ඔන්න අනිල් භාරතී, දන්නවනේ ගායකයා, එක දවසක් ගිහින් තියෙනව කඩේකට දවල්ට කන්න. මිහිහ බත් එකක් ගේන්න කියල, කාල ඉවරවුණාට පස්සෙ වේටර් ඇවිල්ල අහල තියෙනව සෑර්, ඩෙසර්ට් වලට මොනවද ගේන්නෙ කියල. අපේ පොර කිව්වලු මෙන්න මෙහෙම.

"ආ, ඩෙසර්ට් එකට තව මාළු කෑම බාගයක් ගේන්න මල්ලී!"

ඔය ලූ කතන්දරේ ලිව්වේ, අද ප්‍රධාන කතන්දරේට ඔන්ටේ‍ර් එකක්, ඒ කියන්නේ කටගැස්මක්. එහෙමත් නැත්තං පෙර කෑමක් විදියටයි. ඒකටත් හරියන්න අද ප්‍රධාන කතන්දරේ තමයි අතුරු පස!

පොඩි කාලෙ ඉඳලම අපි ප්‍රධාන කෑම වේලටත් වැඩියෙන් කැමති අතුරුපසට නේ. පලතුරු තමයි ඉතිං හොඳම අතුරුපස. නමුත් කවුරු, කවුරුත් කැමති සීනි දාපු එහෙම නැත්තං පැණි රස දේවල් කන්නයි. අයිස් ක්‍රීම්, කිරි පැණි තමයි ප්‍රධාන ඒ අතින්.

ඒත් ඉතිං මං පොඩි කාලෙ නං අපි කාපු අයිස් ක්‍රීම්, කිරි පැණියක් නෑ. බත් කාල වතුර බීල ඉවරවුනාම කරන්නේ සීනි බෝතලෙන් සීනි අහුරක් අරං කටේ දාගන්න එකයි.

නමුත් ඔය පැණි රහ අතුරු පසට අමතරව, ඇත්තටම ඒවා කන්න කලින්, මං පොඩි කාලේ නිතරම කාපු සුවිශේෂී අතුරුපසක් තියෙනවා.

ඒ අතුරුපස මොනවද කියන එක හරියටම තීරණය වෙන්නේ එදාට බත් කන්න තියෙන හොඳි මාළුපිණි අනුවයි.

ඔන්න බත් කන ගමන් අම්මා පිඟානට බෙදලා තියෙන කරෝල, මාළු, අල වගේ ජාතියකින් පොඩි පහේ කෑල්ලක්, දෙකක් පිඟානේ පැත්තකින් ඉතුරු කරගන්නවා.

ඹත් කන තරමක් කාලා, අන්තිමේදී අර ඉතුරු කර ගත්තු රසබර කෑල්ල කටට දාගෙන රහ කර කර කනවා. ඒක තමයි සුවිශේෂී අතුරුපස.

හැබැයි, ඔය කියපු, කරෝල, මාළු, අල වගේ ජාතිවලට වඩා මං ඒ දවස්වල කැමතිම, මේ ආකාරයේ අතුරු පස ජාතිය තමයි බෝන්චි ඇට.

අම්ම බෝන්චි උයපු දාට මං කරන්නේ, බත් එක්ක බෝංචිවල කොලපාට හරිය විතරක් කන එකයි. බෝංචි ඇට ටික සේරම පිඟානේ ගැට්ට වටේට තියා ගන්නවා අන්තිමට කන්න.

මට මතකයි ඒ කාලේ මගේ වාර්තාව වුනේ බෝන්චි ඇට 34 ක්.

-කතන්දරකාරයා

ප/ලි
කවුරු හරි මාතෘකාව දැකලා වැරදිලා වගේ මේ පැත්තේ ආවෙ නැහැ නේද?

29 comments:

  1. ප/ලි තමයි හොදම කෑල්ල....

    දැං ඉතිං කව් රු හරි ටියුබ් ලයිට් එකක් අහනවා එහෙම නෙවෙයි ඒකෙ තේරුම.

    ReplyDelete
  2. දානකම් බලාගෙන හිටියෙ මොකද්ද මේ බෝංචි කතාව කියලා! :) ඉස්සර කෑම කඩවලින් මස් මාළු හොදි ගන්න පුළුවන් කෑලි නැතුව. ගාණ අඩුයි. තවමත් එහෙම ද?

    ReplyDelete
  3. මමත් ඔය බෝංචි ඇට වැඩේනං කරනවා පුංචිකාලෙ.. ඒ ඉතිරිකරගත්ත බෝංචි ඇට ටික වෙනමම කනකොට හරි ෆන් නේද..

    ReplyDelete
  4. ඊයේ හවස මාතෘකාව දැක්ක ගමන් මට මතක් වුනේ අර බෝංචි වැලේ එල්ලිලා අහසට ගිය ළමයගේ කතාව. මම හිතුව කතන්දර බෝංචි කතාව නවීකරණය කරලද දන්නේ නැහැ කියල...

    මාත් දැකල තියෙනව දැනටත් වැඩිහිටි අය වුනත් රස රස පොඩ් කැමක් කැම පිගානේ අන්තිමට කන්න තියාගෙන ඉන්නව...

    මම නම් ඩෙසර්ට් කන්නේ බත් කන්න කලින්.. වෛද්‍යයවිද්‍යාත්මකවත් කියනව ඩෙසර්ට් කන්න ඕනි ප්‍රධාන ආහාර වේලට කලින් කියල...

    අපි නම් කතන්දර බලන්න වැරසදිලා මේ පැත්තේ එන අය නෙමෙයි... ඒත් මාතෘකාව දැක්ක ගමන් මතකය නම් ගියේ පුංචි කාලේ කතන්දරේට තමයි...

    ReplyDelete
  5. මම තාමත් ඔය විදියේ අතුරුපස ගන්නවා.
    අදටත් මම මාර ආසයි බෝංචිවල මෑ කරල්වල ඇට වෙන් කරගෙන කන්න..
    ප/ලි...
    බෝංචි වෙනුවට මෑ දැම්මනං හුග කස්ටියක් වැරදිලා එන්න ඉඩ තියේ..

    ReplyDelete
  6. බෝන්චි ඇටේ වගේම ඉතුරු කරගන්න තව එකක් තමයි රෝස් පාන් ගෙඩියෙ යට වාටිය.....

    ReplyDelete
  7. අභීත අයියේ අන්න ඒක නම් මගෙත් චොයිස් එක.ඒක ඉතිරි කරගන රස කර කර කන්න ඕන.බෝන්චි ඇට කේස් එකනම් තාම කරනවා.
    බලාගන ගියාම ඔක්කොමලා එකයි නේද? හික් හික් හික්

    ReplyDelete
  8. ආසාවෙන් ඩෙසර්ට් එකට කන්න ඉතිරි කොරගත්ත එකට හෙනහුරා පාත්වුනා වගේ මොකෙක් හරි කාපුවහම බඩුම තමයි.වෙලා තියෙනවා අනන්තවත් මටනම් ඕන්.

    ~ හසියා ~

    ReplyDelete
  9. පාර වැරදිලා කතන්දර බලන්න එන අයත් ඉන්නවද?

    ඔය පුරුද්ද අපේ මහත්තයාටත් තිබේ,,,,

    ReplyDelete
  10. මගෙත් ඔය ඉතුරුකරන් කන පුරුද්ද තීනව. අපි පොඩි කාලෙ තිබ්බ ආර්ථික තත්වෙ හැටියට හතරදෙනෙක්ට මාලු, මස් කරෝල කෑලි භාග නැත්තං උපරිම එකයි. අර බත් සෑය ගිලින්න ඒක කලවං කරගත්තනං මෙලෝ රහක් නැති නිසා හොද්ද එක්ක බත් කාල කෑල්ල පස්සෙ කනව, එතකොට නිකං මුලු බත් එකම මාලු අම්බානට අනල කෑව වගේ තමයි.
    හරක්ට වමාර කන පුරුද්ද වගේ කැලෙන් එලියට ආවත් තාම ඕක ඇර ගන්න බැරි උනා කියලයි අපේ හාමිනේ කියන්නෙ. හැබැයි ඉස්සොනං ඉතින් පස්සෙ කන්නෙ පොතු ගැහිල්ලෙන් බත රස විඳින්න බාධ වෙන නිසයි.

    as usuel කටගැස්ම main caurse එකට වඩා රසයි.

    ReplyDelete
  11. මගේ පොඩි එවුන් නම් ඉතුරු කරන්නෙ බත්. ඉතුරු කරහම ඉතින් ඉතුරු කරාම තමයි. ගම හාමිනේ ඉතින් ඒ ටික කවා ගන්න උන් එක්ක දුවලා බර අඩු කරගන්නවා. තව ටික දවසකින් පේන්නෙ නැති ගානටම එයාගෙ බර අඩුවෙනවා ඔහොම යන කොට.

    ඉස්කෝලේදි නම් බත් එක දිග ඇරිය ගමන් ඉස්සෙල්ලම කටේ දාගන්නෙ බිත්තරේ එහෙම නැතින්ම් මාළු කෑල්ල. මොකද වෙන එකෙක් ඒක ඩැහැගන්න කලින්. ඊට පස්සෙ ඉතින් ඉතුරු උනොත් බත් ටිකකුත් කනවා.

    ReplyDelete
  12. අතුරුපස කිව්වම මම හිතුවේ අර දත් අස්සේ ඉතිරි වෙන දේවල් කන එක කියලා. හැබැයි ඔය “කතන්දර“ කියලා තියෙන විධියට රසම දේවල් පස්සේ කන එක මටත් තියෙනවා තාමත්. පුබුදුවා කියලා තියෙන විධියට සේරම එකයි වගේ.
    “කතන්දර“ වලට වැරදිලා නම් එන්නෙ නැහැ කෙලින් ම මිසක්. වැරදිලා “කතන්දර“ වලට එන අයත් අඩුයි මයෙ හිතේ.

    ReplyDelete
  13. [පොඩි කාලෙ ඉඳලම අපි ප්‍රධාන කෑම වේලටත් වැඩියෙන් කැමති අතුරුපසට නේ. පලතුරු තමයි ඉතිං හොඳම අතුරුපස. නමුත් කවුරු, කවුරුත් කැමති සීනි දාපු එහෙම නැත්තං පැණි රස දේවල් කන්නයි.]

    මේකට හේතුව ඩෙස්මන්ඩ් මොරිස් විස්තර කරනවා 'නිරුවත් වානරයා'හි. මේ අපි ගල් පතුරක් අතින් අරගෙන ගහෙන් බහින කොට අතහැර ගන්නට බැරිවූ පරිණාමික පුරුද්දක්. වසර මිලියන ගණනක් තිස්සේ පැණි රසට දිව හුරුවෙලා තවමත් ඒවම ඕනැ. (පූසන්ට, බල්ලන්ට හෙම නං පැණිරස කෑම අරහං නෙ.)

    ReplyDelete
  14. වාර්තාව 34 ක් කියන්නේ.....පුදුම බෝන්චි කැමක් නේ කතන්දර කාල තියෙන්නේ.

    ReplyDelete
  15. බොංචි ඈට 34 ඉතුරු කරගන්න බොංචි කොචර කන්න ඈද්ද..

    ReplyDelete
  16. හෆොයි!!!!මම වගෙ අන්තිමට බෝංචි ඇට කන එවුවො තව ඉන්නව එහෙනම්,හැබැයි ගෙදරදි විතරයි.

    ReplyDelete
  17. කතන්දර ඔය පුරුද්ද මටනං තාම තියෙනවා,
    හොඳ හරිය ඉතුරු කර ගැනීම. එක දවසක් කජු උයලා තියෙන දවසක මම කැඩිච්ච බිඳිච්ච කජු කෑලී කාලා අන්තිමට කන්න හොඳම කජු ටික තියාගත්තා. ඔන්න ඒ වෙලාවේ අපේ නැද්ද කෙනෙක් කොහෙන්දෝ පාත් වෙලා'' ඈයි චූටී මහත්තයා මේ කජු ඔක්කොම ඉතුරු කරලා කියලා කාගෙන කාගෙන ගියේ නැද්ද'' අපරාදේ දැනුත් දුකයි මතක් වෙද්දි.....

    ReplyDelete
  18. බෝංචි ඇට වෙන් කරලා තියාගෙන ඉඳලා ඒකෙනුත් ලොකුම බෝංචි ඇටේ නේද අන්තිමටම කන්නෙ ???

    ReplyDelete
  19. හපොයි... මමත් හිතන් හිටියේ මම විතරයි ඔය වගේ වැඩ කරන්නේ කියලා. දැනි බැළුවම මේ වගේ නොකරන එකෙක්වත් හොයා ගන්ඩ බැහැනේ... ඒ කියන්නේ මටත් හොඳ පුරුදු තියෙනවා....
    හික්....
    කසූ කලබල වෙන්ඩ එපා. අපි මේ පැත්තේ එනේ වැරදීමකින් එහෙම නෙමෙයි. මගේ බ්ලොග් එකේ කැමති ලිස්ට් එකේ කසූත් ඉන්නවා.

    ReplyDelete
  20. මම නම් අතුරුපස අඩුවෙන් තියෙන්න කියලා පෙනුනොත් මුලින්ම ඒ පැත්තෙන් පටන් ගන්නේ. බත් කන එක නම් කවදා කන්න බැරිද ? ඒ වගේද අතුරුපස ජාති......

    ReplyDelete
  21. Nice posting. I've done the same thing that Anil Bharathi did. :)
    පාතරාසය = breakfast (not dessert)

    ReplyDelete
  22. ඔක්කොම 1කයි බලාගෙන ගිහාම..

    ඉස්කොලෙදිනම් මුලින්ම කන්නෙ වටිනා දෙවල් තමයි... මොකා එයිද දන්නෙනැ නෙ...
    දවසක් අපෙ 1ක් මාලු ඉකියල කෙලින්ම ගොරක කැල්ලක් කටෙදාගත්ත...
    හපද්දි තමයි දන්නෙ ගොරක කියල...
    අනෙ පව් නමත් ගොරකය උනා.........

    ReplyDelete
  23. මගේ අම්මෝ බෝංචි ඇට කාල තියෙන ගොඩ. ඔය කිව්වට මමත් ඔහොම තමා මං හිතන්නේ මගේ වාර්තාව 50ක් විතර වෙන්න ඕන.

    ReplyDelete
  24. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    සිරිබිරිස් සහ සමහර විට මාරයාගේ හෝරාවට හැර අනිත් අයට මගේ පලිය නොතේරුන එක ගැන මට සතුටුයි.

    බලාගෙන ගියාම අපි සේරම එක බෝට්ටුවේ අතුරුපස වලට කැමති කට්ටියනේ නේද?

    හෙට උදේ පොඩි ඇඩල්ට්ස් ඔන්ලි කෑල්ලක් දාන්නයි ඉන්නේ!

    ReplyDelete
  25. ආයුබෝවන්! කිව්ව එළකිරි ටිකට.
    කශු 2010 ඔක්කොම කථන්දර කියවල තමයි ඕන් ආවේ. හරිම රසවත්. සතුට, තනිකම, ජීවිතය, පැන්ච කාලේ.....මෙකී නොකී හැම තැනම සැරිසරුව හැගීම්බරව. thanx buddy.....

    ආසම දේ ඉතුරුකරන් කනකොට පොඩි සොමියක් තියෙනව අවන්කවම.

    මම උයාගෙන කන්නෙ.(ඉන්නෙ තනියම රෑකියාව නිසා)කවමදාකවත් උයද්දි රහ බලන්නෙ නැහැ.ඒත් මේ වෙනකල් අවුලකුත් නැහැ හැබැයි.අවුලක් උනත් ගිලල දානව... හික්

    ReplyDelete
  26. පාතරාසය කියන්නේ උදේ කෑමට මිසක් අතුරුපසට නෙමෙයි කතන්දර.

    ReplyDelete
  27. @ Dalambuwa

    ඉතාමත් ස්තුතියි, නිවරද කළෙමි!

    ReplyDelete
  28. entree (on-tray) means the main course.
    katagasma is called appetizer

    ReplyDelete
  29. මටත් ඔය පුරුද්ද තියෙනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.