ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 22 September 2011
කොට ඒවද හොඳ, දිග ඒවද? - More short poems from my Peradeniya days
මං නං හිතන්නේ ඔය "කවිය කියන්නේ රසවත් වැකියකි!" ද මොකක්ද කියන පරණ සංස්කෘත පඬිවඳන නම් මහ පිස්සු කතාවක් තමයි.
මේක අහල කවි හදන්න හිතන සමහරු වාක්‍යයක් තුනට හතරට කඩල දාන්නත් ඉඩ තියෙනවා. එහෙම කවි ලියන්න පුළුවන් නම් මාසෙකට කවි පොත් දෙකක් විතර ලියන්න පුළුවනිනේ.
මේ පහලින් තියෙන "වෙනස" කියන කවිය ලියන්න මට මාස පහක් හයක් ගියා.
පේරාදෙනියේ දෙවෙනි වාරයේ (ඒ දවස්වල අධ්‍යයන වර්ෂයකට වාර තුනයි) මුලදී හිතට ආපු සිතුවිල්ල ඒ දවස්වල ජනප්‍රිය කෙටි කවි රටාවෙන් කවියක් විදියට ලියවුනේ ෆර්ස්ට් ඉයර් එක්සෑම් එකත් කිට්ටුවෙලා!
වෙනස
වදන් දහසකින්වත්
නොහැකිවිය වටහා දෙන්නට
ඇයට
ආදරයේ මිහිරි බව
නමුදු
එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව෴
ඊලඟට තියෙන "කණපිට" කියන කවියත් ඒ වගේම සෑහෙන්න තටමලා, තටමලා එළියට දාපු එකක්. මාස ගණනක් ගියා මේක ලියන්නත්!
කණපිට
ආදරය යනු
සිසිල සැණසුම සුවය ගෙන දෙන
හදෙහි සොම්නස සතුට පුරවන
සිතෙහි ඇතිවන හැඟීමක් යැයි
අසා තිබුනෙමි පෙර දිනේ
ආදරය යනු
දුක ද කඳුළ ද නිබද හිමිවෙන
හදෙහි දොම්නස සුසුම රඳවන
සිතෙහි නොරුඳෙන සිහිනයක් යැයි
හැඳින ගත්තෙමි අද දිනේ෴
මේ කවි ගැන තව විස්තර කියන්නත් පුළුවනි ඔන්නම්. ඒත් මොකටද, නේද?
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://usbottlesandfriends.wordpress.com/2011/02/10/let-it-burn/)
Subscribe to:
Post Comments (Atom)
කියා ගන්නට
ReplyDeleteඇගේ ආලය
නැතිව ඉන්නට
ඇති වචන
වෙනස අගෙයි !!
ඉවසන්න
ReplyDeleteබැරිවුණත්
නැතිදාට
ආදරේ....
ඉවසන්න
හුරු කළෙත්
ඔබයි, මට
ආදරේ....
බොහෝම අගෙයි කසූ අයියේ!
කොට එව්වගෙන් එල්ල වෙන ප්‍රහාරය කාලයක් යනකන් කම්පනය වෙනවා..සමහර දිග එව්ව හනේ..කන්දක් විළි ලා මී පැටවකු වැදූ සේ මැයි !
ReplyDeleteකොට කොට යනකොට
ReplyDeleteබඩු කොට වෙනකොට
බඩු යනවලු පිට
කවියත් වෙයි කොට
ලොහ්..ලොහ්...
හ්ම්ම්ම්ම්....
ReplyDeleteමුලින් මුලින් ඔහොම වුනත් කකා, පස්සෙන් පහු වැඩේ ගොඩ යන්න ඇති නේද?
වෙන මොනවද ඉතින් කොට එව්වම තමයි....
ReplyDelete//වෙනස
ReplyDeleteවදන් දහසකින්වත්
නොහැකිවිය වටහා දෙන්නට
ඇයට
ආදරයේ මිහිරි බව
නමුදු
එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව//
ඉහත කවිය ගැලපෙන්නේ මටම තමයි.
වෙනසට ඇත්තේ...
" ඇය" යනු "ඔහු" වෙනු පමණයි.
කියන්නට දෙයක් නැත...
ReplyDeleteඒ සියල්ල මේ පද තුල ගැබ්ව ඇති බැවිනි...
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.>>>>
ReplyDeleteClark mahaththayo
කවි ලිවීමේ හැකියාවක් නැතුවා සේම, කවි වර්ණනා කිරීමේ හැකියාවක්ද නැත.
ReplyDelete//එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව//
ඒත් මේක නම් පව්....:D
@Podi Kumarihami
ReplyDeleteකටුකයි පො.කු කටුකයි මේ ආදරේ කටුකයි...
එන්නේ සිනා වී යන්නේ හඬවාලයි...
මෙලෙසින් රිද්දුවෙ පෙර ආලය කල සිතටයි....
හදවත තිබේදෝ මටනම් සැක සහිතයි.....
..
ගිම්හාණි නගේ මොකෝ මේ වෙලා තීන්නෙ.. එක්කො කුමාරිහාමිටවත් ලියල යවන්න හිතේ දුක. එතකොට උන්දැ මොකක් හරි පරණ කතාවක් බල වෙලාවකම ඒක් ලැබිල මරු පෝස්ට් එකක් දායි!
ReplyDelete//වදන් දහසකින්වත්
ReplyDeleteනොහැකිවිය වටහා දෙන්නට
ඇයට
ආදරයේ මිහිරි බව
නමුදු
එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව //
මේ කයිය නං මටත් ගැලපෙනව..හී
අර අන්තිම කයිය ගැන කියන්ට තියේ කියපු විස්තරෙත් දාන්ඩකෝ....
@ගිම්හානි,
ReplyDeleteඅන්න සිංහයාගේ අදහස නම් හොඳයි. මගේ මේල් එක ඕන නම් දෙන්නම්. හැබැයි ඉතින් ඔය පිරිමි ලමයි පොඩ්ඩකට ඇස් වහගන්ට වෙයි.
අපොයි දැන්වත් තේරෙනවද පොඩ්ඩි මේ හැටි ඔය උත්තමයන්ට බනින්නේ මොකද කියලා...:)
සිංහයා,
ReplyDelete//උන්දැ මොකක් හරි පරණ කතාවක් බල වෙලාවකම ඒක් ලැබිල මරු පෝස්ට් එකක් දායි!//
ඒ කියන්නේ කොල්ලන්ට බනින පෝස්ට් මරු කියන එකද?...:D:D:D
කොයි කාලෙද අප්පේ අවුරුද්දකට සමාසික තුනක් තිබ්බේ. ඒක නෙමේ සමාසිකයකට සති කීයක් තිබ්බද ඉස්සර ?
ReplyDeleteඉතිං කතන්දරට ඔය කොට කවියල ලියවුනේ අර මාතල් කියන්නත් වගේ මාස ගානක් කොට කොට ඉදල බඩු පිට ගියාමනෙ... :D
ReplyDeleteඑතකොට ඔය කොට එක දිග එකකටත් වඩා දිගයි .. :D :D
මධුරංග,
ReplyDeleteසමාසික නෙවෙයි, ඒ කලේ තිබුනේ අධ්‍යයන වාර. සමාසිකයක් අවසන විභාගයක් හෝ ඇගයීමක් තිබුනට වාරයක් අවසන එහෙම මොකුත් නැහැ.
1993-1997 කාලේ අධ්‍යයන වාරයකට සති 10 යි. අධ්‍යයන වාර දෙකක් අතර සති 3-4 විතර නිවාඩුවක් එනවා. වාර තුනයි සති තිහයි අධ්‍යයන වර්ෂය ඉවරයි. තුන්වෙනි වාරේ අවසන සති 4 ක් අධ්‍යයන නිවාඩු. ඊට පසු එම වසරේ විභාගය.
ඔය සිස්ටම් එක වෙනස් කරේ කොල්ලෝ අධ්‍යයන කාල සිමාවේ මෙලෝ දෙයක් නොකර කුප්පි වලින් course එක ගොඩ යනවා කියල නේ. කතාවත් බොරු නෙවෙයි බලන් යනකොට.
මෝර මිරිස් වලට වඩා කොච්චි සැරයි වගේ තමා! :)
ReplyDeleteගිනි පෙලෙල්ලකට පෙම්බැඳ
ReplyDeleteනොදරුවකු විලසින
පිළිස්සුනු හද මඩල ආලෝකමත් කල
මහා අකුණු සැරයකට
යලිදු පෙම් බැන්දෙමි
*වසිලිස්සා*
දැන් කාකාගේ කවිවලට පෙම් බඳිමි
:)
ඇත්තෙන්ම කෙටි කවි දිග කවි වලට වඩා හොඳය
කවි ලියුමට නැතිව හැකියාවක්
ReplyDeleteකෙසේ කරමිද විවේචනයක් ?
වෙනස නං නියමයි... කණපිටත් හොඳයි. ඒත් ඔය දේවල් කවි වලින් ලියලා හිතින් පිටමං කරලා දාන එක තමයි හොඳම දේ.
ReplyDeleteමට නං...
ආලය කරණ කළ එක් වී හැමදාම
දෙඩුවේ වල්පල්ය වැඩියෙන් බැලුවාම
බැඳලා වගකීම් ටික ටික දැනුණාම
පදමට ආව හැටි පුදුමයි හිතුවාම
මුල්ම පද වැල මගේ හිතටත් තදින්ම වැදුනා....
ReplyDeleteආදරය...දුකක්මැයි.........
කාලය කන ආල හැඟුම්
ReplyDeleteතාල තියන සොඳුරු දසුන්
වෙන්න හිතයි මටත් ඉතින්
නුඹෙ නෙතු අග කෝල බැලුම්
සොඳුරු සිත,
ReplyDeleteකතන්දර දරු පවුල් කාරය
කොට කවි නිකම් , මාර හදිස්සියට ,හරිම තකහනියෙන් කියන කතාවක් වගේ. සමහර වෙලාවට තේරෙන්නෙත් නැහැ.
ReplyDeleteඒත් පේළි හතරේ තාල තියන පුංචි කවි නම් හරි ගෙයි.
සමහරු ලියන පත හෑළි වගේ දිග කවි නම් , මුල කියවන මැද කියවල අගට එන කොට මුල තිබ්බෙ මොන ද කියලවත් මතක නැහැ.
නමුත් දිග කවි වලට උදාහරණයක් නේද ප්‍රබුද්ධ.ඒක නම් අගේ ඇති කවි ටිකක්...ප්‍රබුද්ධ කියවන්න කලින් මම හිතාන හිටියේ ,කවි කියන්නේ තාල තියෙන හතර පද කියලයි..හරියට පැල් කවි වගේ.
මීට කලකට කලින් කතන්දර ලීව නේද තුන් පද කවි පන්තියක්. අන්න පුලුවන් නම් ඒකේ දිගුව (ලින්ක් එක ) පොට්ට්ක් කොපි පේස්ට් කරනව ද?
ආයෙම කියවන්න හිතුනා.
ආහ් අර දෙව්ලොව ගිය කවි පන්තිය. අන්න නියමයි.
ඒ වගේම තොරන් බලන්න ගියාම කියන කවි, එතකොට හිඟන මිනිස්සු බස් වලට නැඟල කියන කවි.තව එතකොට චාරයක් නැති හිටිවන කවි.... එතකොට තව ප්‍රශ්ණෙයි උත්තරයි කවි....මේ මොන කවිය උනත් තාල තියල හයියෙන් කට ඇරල කියන නිසා හරිම අව්‍යාජයි කියල මට හිතුනා....
කතන්දරට සුබ සාහිත්‍ය මාසයක් වේවායි පතන෴
මම
෴ සොඳුර සිත ෴
@ Observer said...
ReplyDeleteහෙහ් හෙහ් ... කතන්දර මහත්තයගේ නෝන මහත්තය මාව අඳුරනව.අනික මේ කවිය කතන්දරට නෙමෙයි....
ඔව්..ගොඩක් වෙලවට කෙටි කවියකින් පොතක් තරම් ලොකු අද්හසක් දෙනව.හැබැයි හරියට ලියන්න ඕන...මට බැරිම වැඩේ....
ReplyDeleteනිසල රැයේ තරු එලියට හිනැහී
ReplyDeleteපිණි බිදුවක් වී ඔබ සිටියා
මදනල හා විත් සිතට කතා කල
මල් සුවදක් වී ඔබ සිටියා
කුරිරු වත්මනක මා තනි කර දා
සොදුරු අතීතය මිය ගිය මොහොතේ.......
පවස නිවාගනු රිසින් ඇදුනු සඳ
මිරිඟු දියක් ළෙස ඔබ දකිමී
සිනහ පොකුරු මල් පරවූ නෙතු අග
කදුලු බිදක් ලෙස ඔබ දකිමී
මට හැමදාම ප්‍රස්නයක් තිබුන, ආදරේ හොඳ දෙයක් නම් ඇයි දුකක්, මං හිතන්නෙ දුක දැනෙනවනම් එය කෑදරේ විය යුතුයි!
ReplyDelete@ All
ReplyDeleteමං හිතුව වගේම කෙටි කවි වලට හොඳ කැමැත්තක් තියෙනව. ෂෝට් ඇන්ඩ් ස්වීට් කියනවනේ!
සියළු දෙනටම ස්තුතියි.
මේ සාහිත්‍ය මාසයේ කයි-කතන්දර දාන්න හිතුන එක ගැණ මට දැන් හරි සතුටුයි.
"හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයේකවි වලින් තාම බාගයක්වත් ඉවර නෑ.
මං පේරාදෙනියේ හිටපු තුවන සහ හතරවන අවුරුදු වල ලියපු කවිපොතේ නම "මායාවෝ".
නැවත සෙනසුරාදා කවි!
supirima supiri kathandara ayye
ReplyDelete