
කොල්ලන්ට ලව් කරන්න අවවාද එක පාරක්, දෙපාරක් නෙමේ දැන් තුන් පාරක් ම දීල තියෙනවා නේ. අද පොඩි වෙනසක් කරන්න හිතුණා.
මේකයි ලොකු බැඳපු මෑන්ස් ලා ට දෙන අවවාදය, කතන්දරාශ්‍රයෙන්.
ඔන්න හාමිනේ යි මායි බැඳලා, ඇනෙක්ස් හොයලා, ඇන්ටි ගේ ගෙදර ඉඳලා, පස්සෙන් පහු අපේ ම කියලා තැනකට සෙට් වුණා නේ.
ඒ දවස්වල මංතුමා වැඩ කලේ එක්තරා තිප්පොලක ගෙදර ඉඳලා හැතැප්ම පාලහක් විතර දුරින්. මේ කාලේ මං හවස් වරුවේ අර්ථ-සාස්තරේ ඉගෙන ගන්න සැට් වෙලයි හිටියේ. සතියකට දවස් දෙකක් විතර හවස් වරුවේ කොළඹ යන්න ඕනෑ ඒකට.
ඔන්න මේ කියන දවසේ මං වැඩපොලෙන් ටිකක් කලින් ආවා. එනකොට හාමිනේ ගෙදර. මං ඉතිං, බාත් රූම් එකට වැදිලා නාලා, තේකක් බීලා හෙම ආපහු යන්න සෙට් වුණා.
හාමිනේ ගේ මූණේ කිසිම හිනා-මනාවක් නෑ!
අප්සැට් එකෙන්ම පාරට බැස්සා බස් එකක් අල්ලගන්න. හන්දිය පැත්තට ඇවිදගෙන යනකොට තමයි මතක් වුනේ මට වෙලා තියෙන සංගෙඩිය.
එදා තමයි හාමිනේ ගේ හැපි බර්ත් ඩේ එක!
දැන් ඉතිං මොකද කරන්නේ?
පාර අනිත් පැත්තට ගිහින් එවෙලේම ආපු බස් එකක එල්ලිලා ගියා නුගේගොඩ. සරසවියට ගොඩ වැදිලා ගත්තා පොත් තුන හතරකුයි, හැපි බර්ත් ඩේ කාඩ් එකකුයි.
කාඩ් එක එතනම තියෙන තැපැල් කන්තෝරුවට ගිහින් හාමිනේ ට තැපැල් කළා. පහුවදා වුනත් කාඩ් එක ගෙදරට එනවානේ.
අර්ථ සාස්තර බයිලා අහන් ඉඳලා එදා රෑ වෙලා ගෙදර ඇවිත් වීරය වගේ අර පොත් තුනේ තෑග්ග දීලා වැඩේ පොඩ්ඩක් විතර ෂේප් කරගත්තා.
ගෙදර එනකොට පොඩි පහේ කේක් ගෙඩියකුත් අරගෙනයි ආවේ.
පහුවදා හවස වෙනකොට හැපි බර්ත් ඩේ කාඩ් එකත් ආපු නිසා වැඩේ ගොඩ ගියා.
මේ කතන්දරේ අද මතක් වුනේ ඇයි දන්නවද? අද තමයි (ජූලි 15) කතන්දර හාමිනේ ගේ හැපි බර්ත් ඩේ දවස.
හා, එහෙනං එන්න කෂ්ටියම සෙට් වෙන්න කේක් ගෙඩිය වටේ.
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හාමිනේ
හැපි බර්ත් ඩේ ටූ යූ!
හිප්, හිප්, හුරේ
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න අතුරු කතන්දර කීපයක්.
1.
අළුත බැඳපු ජෝඩුවක හාමිනේ, බැඳලා අවුරුදු දෙක තුනක් ගිය ජෝඩුවක හාමිනේව හැඳින්නුවේ, අර ලොකු බැඳපු කෙනා කියලයි. අද කතන්දරේ මාතෘකාව ආවේ ඒකෙන්.
2.
කොච්චර කළත් කොස්සක් හිටිනවා නොවැ. මං එදා හදිස්සියේ සරසවියෙන් අරන් තියෙන පොත් මොනවද දන්නවද? සූප ශාස්ත්‍ර පොතක්, ජවිපෙ ප්‍රභවය සහ බිඳ වැටීම, ඉටි පහන්.
දන්නෙම නැතුව මං කැමති පොත් තමයි අරගෙන තියෙන්නේ.
3.
මෙයින් අවුරුදු දෙක තුනක් පස්සේ කාලෙක, මං ජොලියක් ගිහින් හාමිනේ ට වැලන්ටයිං කාඩ් එකක් දැම්මා. (ඔව් වැලන්ටයිං තමයි, මොකද, බැඳපු අයට ඕවා හොඳ නෑ කියලද හිතන්නේ?). හරි දවසට හම්බ වෙන්න මං ඒක දැම්මේ හාමිනේ ගේ වැඩ පොලේ ඇඩ්‍රස් එකටයි.
කාඩ් එක ලැබිලා තිබුණා. හැබැයි සති දෙකකට විතර පස්සේ!
ඔන්න මටත් වෙන දේවල්.
(image: http://www.soulfulplanet.com/forum/forum_posts.asp?TID=96&PID=646)






















