Showing posts sorted by relevance for query හාමිනේ. Sort by date Show all posts
Showing posts sorted by relevance for query හාමිනේ. Sort by date Show all posts

Friday, 15 July 2011

ලොකු බැඳපු මෑන්ස් ලා ට අවවාදයක් - හාමිනේ ගේ උපන් දිනේ අමතක කරන්න එපා! Married men out there, dont forget your partner's birthday!


කොල්ලන්ට ලව් කරන්න අවවාද එක පාරක්, දෙපාරක් නෙමේ දැන් තුන් පාරක් ම දීල තියෙනවා නේ. අද පොඩි වෙනසක් කරන්න හිතුණා.

මේකයි ලොකු බැඳපු මෑන්ස් ලා ට දෙන අවවාදය, කතන්දරාශ්‍රයෙන්.

ඔන්න හාමිනේ යි මායි බැඳලා, ඇනෙක්ස් හොයලා, ඇන්ටි ගේ ගෙදර ඉඳලා, පස්සෙන් පහු අපේ ම කියලා තැනකට සෙට් වුණා නේ.

ඒ දවස්වල මංතුමා වැඩ කලේ එක්තරා තිප්පොලක ගෙදර ඉඳලා හැතැප්ම පාලහක් විතර දුරින්. මේ කාලේ මං හවස් වරුවේ අර්ථ-සාස්තරේ ඉගෙන ගන්න සැට් වෙලයි හිටියේ. සතියකට දවස් දෙකක් විතර හවස් වරුවේ කොළඹ යන්න ඕනෑ ඒකට.

ඔන්න මේ කියන දවසේ මං වැඩපොලෙන් ටිකක් කලින් ආවා. එනකොට හාමිනේ ගෙදර. මං ඉතිං, බාත් රූම් එකට වැදිලා නාලා, තේකක් බීලා හෙම ආපහු යන්න සෙට් වුණා.

හාමිනේ ගේ මූණේ කිසිම හිනා-මනාවක් නෑ!

අප්සැට් එකෙන්ම පාරට බැස්සා බස් එකක් අල්ලගන්න. හන්දිය පැත්තට ඇවිදගෙන යනකොට තමයි මතක් වුනේ මට වෙලා තියෙන සංගෙඩිය.

එදා තමයි හාමිනේ ගේ හැපි බර්ත් ඩේ එක!

දැන් ඉතිං මොකද කරන්නේ?

පාර අනිත් පැත්තට ගිහින් එවෙලේම ආපු බස් එකක එල්ලිලා ගියා නුගේගොඩ. සරසවියට ගොඩ වැදිලා ගත්තා පොත් තුන හතරකුයි, හැපි බර්ත් ඩේ කාඩ් එකකුයි.

කාඩ් එක එතනම තියෙන තැපැල් කන්තෝරුවට ගිහින් හාමිනේ ට තැපැල් කළා. පහුවදා වුනත් කාඩ් එක ගෙදරට එනවානේ.

අර්ථ සාස්තර බයිලා අහන් ඉඳලා එදා රෑ වෙලා ගෙදර ඇවිත් වීරය වගේ අර පොත් තුනේ තෑග්ග දීලා වැඩේ පොඩ්ඩක් විතර ෂේප් කරගත්තා.
ගෙදර එනකොට පොඩි පහේ කේක් ගෙඩියකුත් අරගෙනයි ආවේ.

පහුවදා හවස වෙනකොට හැපි බර්ත් ඩේ කාඩ් එකත් ආපු නිසා වැඩේ ගොඩ ගියා.

මේ කතන්දරේ අද මතක් වුනේ ඇයි දන්නවද? අද තමයි (ජූලි 15) කතන්දර හාමිනේ ගේ හැපි බර්ත් ඩේ දවස.

හා, එහෙනං එන්න කෂ්ටියම සෙට් වෙන්න කේක් ගෙඩිය වටේ.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හාමිනේ
හැපි බර්ත් ඩේ ටූ යූ!

හිප්, හිප්, හුරේ

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අතුරු කතන්දර කීපයක්.

1.
අළුත බැඳපු ජෝඩුවක හාමිනේ, බැඳලා අවුරුදු දෙක තුනක් ගිය ජෝඩුවක හාමිනේව හැඳින්නුවේ, අර ලොකු බැඳපු කෙනා කියලයි. අද කතන්දරේ මාතෘකාව ආවේ ඒකෙන්.

2.
කොච්චර කළත් කොස්සක් හිටිනවා නොවැ. මං එදා හදිස්සියේ සරසවියෙන් අරන් තියෙන පොත් මොනවද දන්නවද? සූප ශාස්ත්‍ර පොතක්, ජවිපෙ ප්‍රභවය සහ බිඳ වැටීම, ඉටි පහන්.

දන්නෙම නැතුව මං කැමති පොත් තමයි අරගෙන තියෙන්නේ.

3.
මෙයින් අවුරුදු දෙක තුනක් පස්සේ කාලෙක, මං ජොලියක් ගිහින් හාමිනේ ට වැලන්ටයිං කාඩ් එකක් දැම්මා. (ඔව් වැලන්ටයිං තමයි, මොකද, බැඳපු අයට ඕවා හොඳ නෑ කියලද හිතන්නේ?). හරි දවසට හම්බ වෙන්න මං ඒක දැම්මේ හාමිනේ ගේ වැඩ පොලේ ඇඩ්‍රස් එකටයි.

කාඩ් එක ලැබිලා තිබුණා. හැබැයි සති දෙකකට විතර පස්සේ!

ඔන්න මටත් වෙන දේවල්.

(image: http://www.soulfulplanet.com/forum/forum_posts.asp?TID=96&PID=646)

Wednesday, 29 May 2013

දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love


මේක එච්චරම ලොකු කතන්දරයක් නොවෙයි. ඒත් මට නං ටිකක් විතර සංවේදී එකක්.

මේක කියවන කොල්ලන් ට කෙල්ලන් ට කෙසේ වෙතත් පවුල් පන්සල් වෙලා දෙන්නම වැඩට යන අයටත් කතාව ටිකක් හෝ දැනෙන්න ඉඩ තියෙනවා.

කවුරුත් වගේ කැමති ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. "පොෂ්" නමක් තිබුණට අන්තිම සරල කෑමක්!

හාල් ටික රයිස් කුකර් එකේ ඉදෙන්න දාලා, එලවලු ටිකක් කපලා තෙම්පරාදු කරන ගමන්ම ඒකට ඉඳුණු බතුත් එකතු කරලා ගත්තාම පැය බාගයක් යන්න කලින් පුළුවන් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න.

ඔය අතරේ මස් කරියකුත් හදා ගත්තනම් වැඩේ සම්පුර්ණයි.

ෆ්‍රයිඩ් රයිස් කියන්නේ කතන්දර හාමිනේ ගේ ප්‍රියතම කෑමක් හදන්න වගේම කන්න. ළමයිනුත් හරිම කැමතියි.

නමුත් එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ!

මංතුමා ෆ්‍රයිඩ් රයිස් කන්න කැමති නැත. නිකං එලෝලු කැලියි, බතුයි විතරයි නේ. මං කන්න කැමති ඊට වඩා සංකීර්ණ උයන්න අමාරු කෑම ජාති.

සාමාන්‍යයෙන් සතියේ දවස්වල හාමිනේ පහමාර විතර වෙනකොට ගෙදර. එයැයි ගේ වැඩපොලේ ඉඳලා ගෙදරට කිලෝමීටර් අටක් විතරයි තියෙන්නේ.

ඒකටත් එක්ක මංතුමා ගෙදරට ලඟාවෙන කොට සාමාන්‍යයෙන් හතහමාර විතර වෙනවා. මොකද මට ඔෆීසියේ ඉඳලා ගෙදර එන්නම පැය එකහමාරක් විතර යනවා, ඒකයි.

ඒ හේතුව හින්දා අපේ රාත්‍රී ආහාරය බොහෝ වෙලාවට ඉතිං හාමිනේ ගේ සුරතින් තමයි සැකසෙන්නේ.

මේ අවුරුද්දේ මුල ඉඳලා නම් සතියට දවසක් විතර මංතුමා කලින් ගෙදර එනවා. ඒ වගේ දවස්වලට තමයි අර ස්ටර් ෆ්‍රයි, පරිප්පු, බොම්බිලි කරෝල, බීන්ස් විත් පීනට්ස්, පොල් රොටී වගේ වික්‍රමාන්විත මෙහෙවුම් ක්‍රියාත්මක වෙන්නේ.

ඔන්න එක දවසක් මට ඔෆීසියේ ලොකු වැඩ ගොඩක් යෙදිලා හවස ගෙදර යන එක ප්‍රමාද වුණා. ඒ ගැන කියන්න මං ගෙදරට කතා කරන කොටත් හාමිනේ ගෙදර ඇවිල්ලා නෑ.

"මාත් අද යනකොට හත විතර වෙයි!" හාමිනේ කිව්වා, මොබයිල් එකට මං කතා කළාම.

කොහොම හරි මං එදා ගෙදර යන කොට නමයත් පහුවෙලා. මං එන්න පරක්කු වෙන හින්දා හාමිනේට කන්න කියලයි මං කියලා තිබුනේ.

මංතුමා ගෙදර ආවේ හොඳටම බඩගින්නේ. හාමිනේ පේන්න හිටියේ නෑ, බාත් රූම් එකේ ද කොහෙද. මං ගෙට හොඩ වුණු ගමන්ම බෑග් එක කාමරෙන් තිබ්බා, කුස්සියට ගියා, අත හෝද ගත්තා.

මෙන්න කුස්සියේ මේසේ උඩ දිලිසි දිලිසී තියෙනවා පලංගානකින් බාගයක් ෆ්‍රයිඩ් රයිස්. ඒ එක්කම පරිප්පුවක් උයලා, ඊයේ උයපු කුකුල්මස් වගයක් රත් කරලා තිබුණා.

මට තේරුණා හාමිනේ ගෙදර එන්න පරක්කු වෙච්ච හින්දා ෆ්‍රයිඩ් රයිස් හදලා බව. ඉතිං මං කෙරුවේ පිඟානකට ඒ ෆ්‍රයිඩ් රයිස් ටිකයි, පරිප්පුයි මසුයි බෙදාගෙන කොටාබාන්න පටන් ගත්තු එකයි.

ඔන්න ටික වෙලාවකින් හාමිනේ කෑම කාමරේට ආවා.

"ආ ඔයා ෆ්‍රයිඩ් රයිස් ටික ද කන්නේ? මං ඔයා ෆ්‍රයිඩ් රයිස් කන්න අකමැති නිසා ඒවා හදන්න කලින් සුදු බත් ඉතුරු කරලා, අන්න සැලඩ් එකකුත් හැදුවා" හාමිනේ කිව්වා "එහෙනං මං ඒ බත් ටික කන්නම්."

"ආ, ඔයා තාම කෑවේ නැද්ද?" මං ඇහැව්වා.

"නෑ, මං ඔයා එනකම් කියලා හිටියා. ඒක නෙමේ ඇයි ඔයා අද ෆ්‍රයිඩ් රයිස් කන්නේ?"

"නෑ, මං හිතුවේ ඔයා අද පරක්කු වෙලා ආපු හින්දා ෆ්‍රයිඩ් රයිස් උයන්න ඇති කියලා, ඉතිං මං ෆ්‍රයිඩ් රයිස් කන්න බෑ කියලා ඔයාට තවත් කරදරයක් වෙන එක හරි නෑනේ!"

ඔන්න ඔහොමයි වුනේ!

මේ කතන්දරේ ඇතුලේ වැදගත් කරුණු කීපයක්ම තියෙනවා. ඒවා ගැන මං අමුතුවෙන් කියන්න යන්නේ නෑ. මොනවා වුනත් අපේ පවුල් ජීවිතේ මං ලබපු හොඳම අත්දැකීමක් තමයි ඒක.

-කතන්දරකාරයා

ප/ලි:
ඊයේ (මැයි 28) ට යෙදෙනු කතන්දර හාමිනේ ගේ සහ කතන්දරකාරයා ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලියා පලකරන ලදී!

මෙන්න පරණ ඇනිවසරි කතන්දර.

1. පදම් වීම - Ageing
2. කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය


(image: http://yumyumformytumtum.com/2010/07/11/yummy-claypot-just-another-joo-chiat-eatery/)

Monday, 12 September 2011

හාමිනේගෙන් කතන්දරකාරයා ට ගුටි හෙවත් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයේ සරදම් ස්වභාවය - The irony of domestic violence (but not funny)


මේ සිද්ධිය වුනේ ගිය ඉරිදා.

ඔන්න මං "සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි" වගේ උදේම නැගිටලා, ටොයිලට් වන්දනාවෙන් පස්සේ, හොඳ ළමයා වගේ කුස්සියට ගිහින් තේ වත්කළා.

හාමිනේ ගේ ප්‍රියතම දම් පාට මග් එකට තේ එකක් හොඳ රහට හදලා ඔන්න ඇඳ ලඟට අරං ගියා.

මේ මග් එක මායි එයාට ගෙනත් දුන්නේ සේල් එකකින්, ඒ නිසා තමයි මං හොඳටම දන්නේ මේක හාමිනේ ගේ ප්‍රියතම මග් එක බව.

අනේ......!

හාමිනේ තවමත් ලස්සන සිහිනයක් බලමින් සුව නින්දේ!

එයා මේ වෙලාවේ හීනෙන් දැක දැක හිටියේ, ශනිදා වාසනාව ලොතරැයියක් ඇදිලා අපි දෙන්නා ලෝකෙ වටා සංචාරයක් යන හැටියි.

හාමිනේ දකිමින් හිටි හීනේ මොකක්ද කියන එක ටක්කෙටම කියන්න මං දන්නේ මගේ පරචිත්ත විජාණනයෙන් නං හෙම නෙමෙයි. මාත් ඊට පැය බාගෙකට කලින් ඇහැරෙන කොට දැක දැක හිටියේ ඔය කියපු ඒ සුන්දර හීනෙමයි, අන්න ඒකයි හේතුව!

අපි දෙන්නා කොහොමටත් දකින්නේ එකම ජාතියේ හීන නේ!

ඉතිං "ගුඩ් මෝනිං!" කියලා සිංහල ක්‍රමයට සුභ පතලා, "අවදිවන්න, අවදිවන්න දීප්තිමත් දිනයකි උදා වෙලා තියෙන්නේ!" යනාදී වශයෙන් ගීතයකුත් ගායනා කරලා, "බොන්න ඩාලිං හාමිනේ තේ එක!" කියල මං එතුමිය ලඟට තේ එක ලං කළා.

අනේ හාමිනේ ඇහැරුනේ නෑ. දිහටම ඒ සුන්දර සිහිනය බලමින් සුව නින්දේ!

ඉතිං මං කෙරුවේ තේ කෝප්පය කනප්පුව උඩින් තියලා හිමින්ම හාමිනේ ට උම්මා එකක් දෙන්න පාත් වුණු එකයි.

එතකොටම හාමිනේට තිගැස්සිලා ඇහැරුණා. මාත් ගැස්සුණු පාරට ගිහින් මගේ නළල වැදුණා ඇඳ විට්ටමේ. ඌයියා!

වැඩියමත් ලේ ආවේ නෑ. තත්පර ගානකින් නතර වුණා. සෙන්ටිමීටර් බාගයක් විතරනේ තුවාලේ. ඒ නිසා මැහුම් දාන්න ඕනෑ වුනෙත් නෑ. හාමිනේ පොඩි ප්ලාස්ටර් කෑල්ලක් දාලා වැඩේ ෂේප් කරලා දැම්මා.

මං පහුවදා වැඩට යනකොටත් ප්ලාස්ටර් එක නළලේ.

වැඩ පොලේ රසිකා සහ අමා විතරක් නෙමේ පොරවල් පවා හැමෝම මගෙන් අහන්න පටන් ගත්තා "අනේ කතා මේ මොකද නළලට වුනේ?" කියලා.

මට දෙන්න තිබුනේ එක පිළිතුරයි.

"ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක්. හාමිනේ මට පිඟානකින් ගැහැව්වා!"

පුදුම වැඩේ කියන්නේ, ඒ කතාව අහපු හැමෝම හිනා වුනා මිසක් එකෙක්වත් විශ්වාස කලේ නෑ මං කියන එක!

මං පස්සේ සීරියස්ලි ඇහැව්වා ඇයි මං කියන්නේ බොරු කියලාද හිතන්නේ කියලා. එතකොට ඒ හැමෝම කිව්ව විදියට මට තේරුණේ, ඇත්තටම හාමිනේ මට ගැහැව්වා නං මං ලැජ්ජාවට ඒ බව නොකියා බොරුවක් කියාවි කියන තර්කය උඩ, ඒ අය මගේ ඇත්ත කතාව බොරුවක් කියා සලකන බවයි.

මේ සිද්ධියෙන් පිරිමි අපිට ගත හැකි පාඩම මේකයි.

ඇත්ත සිද්ධිය මොකක් වුණත්, අපි නළල තුවාල වුනේ අල්මාරියේ හැපිලා කියලා කිව්වොත් අනිත් අය හිතන්නේ මූ ගැණිගෙන් ගුටි කාලා දැන් බොරු කියනවා කියලයි.

ඉතිං, තුවාල වුනේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හින්ද වුනත්, ගෘහස්ථ අනතුරක් හින්ද වුනත්, අපිට කියන්න තියෙන්නේ හාමිනේ ගහලා තුවාල වුණාය කියලයි.

කවුරුවත් ඒක විශ්වාස කරන්නේ නෑ. ඇත්ත මොකක් වුනත් අපි ෂේප්. (තුවාලේ සනීප කරගන්න විතරයි තියෙන්නේ).

-කතන්දරකාරයා

ප/ලි:
හීන ගැන ලියන කොට මතක් වුනේ, මීට අවුරුද්දකටත් වඩා ඉස්සර කාලෙක දකින්න පටන් ගත්තු ගෙයක් හැදිමේ සිහිනය දැන් සෑබෑ වෙන්න පටන් අරගෙන තියෙනවා.

ප/ප/ලි
මෙන්න මං දාගෙන ඉන්න ප්ලාස්ටර් වර්ගයේ අළුත් එකක් සහ ඒවා තියෙන පෙට්ටිය (මොබයිල් ෆොටෝ).

Monday, 13 June 2011

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla


මගේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ හතරවන කොටසයි මේ ලියන්නේ. මං ලියපු චූ කතන්දර සීරිස් එක වගේම මේ කාර් කතන්දර ටිකත් බ්ලොග් අවකාශයේ කාලාන්තරයක් ම දනන් තුඩ තුඩ රැව් දෙයි කියා හිතෙනවා.

ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා, ගත්තු කාර් එකෙන් මුල දවස්වල මට හරිම ප්‍රයෝජන ගොඩක් තිබුණා. ඒ දිග ලැයිස්තුව මෙන්න මේ පෝස්ට් එකේ දාලා තියෙනවා.

මේ කාර් එක ගන්න මූලිකම හේතුව වුනේ අපි දෙන්නා තුන්දෙනා වෙන්න යන එකට අදාල වැඩ කටයුතු සහ ඉන් පස්සේ පුංචි පවුලේ ප්‍රවාහන පහසුකම් සඳහානේ.

කොහොම හරි මං ලයිසොම අරං මාසයකින් විතර වගේ තමා මේ ටොයෝටා කොරොල්ලා කාර් කට්ටෙන් ගත්තු මුල්ම ලොකු ප්‍රයෝජනේ ගත්තේ. ඒ තමා දරු ප්‍රසූතිය සඳහා හාමිනේ ව හොස්පිටිතාලෙට අරං යෑම.

ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)

මළ කෙලියයි කිව්වලු!

අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.

හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.

අංකලුයි ඇන්ටියි දෙන්නත් එදා හොස්පිටල් යන්නයි හිටියේ කොහොමටත්. කොහොම හරි ඔන්න අංකල් ගේ පිහිටෙන් හාමිනේව හොස්පිටිතාලෙට ගෙනිච්චා.

දරුවා පිළිසිඳ ගත්තු දිනේ ඉඳලා සාමාන්‍යයෙන් කරන්න තියෙන ඔය ක්ලින්ක් ආදී කිසිම කටයුත්තකට මං ගිහින් තිබුනේ නෑ. ඔය මහ ඉස්පිරිතාලෙ තියෙන ඇස් වාට්ටුව හරියේමයි හාමිනේ ගේ වැඩපොල තිබුනෙත්, ඒ හින්දා එයාම තමයි ඔය කියන හොස්පිටිතාල කිලිනික් වැඩ කටයුතු සේරම තනියම කර ගත්තේ.

ඒ වුනාට වැඩේ කියන්නේ, හොස්පිටිතාලෙට ගිහින් බැලින්නම් මට මේ තැන හොඳට හුරුයි පුරුදුයි වගේ.

මොකද දන්නවද? මේ "ද සොයිසා වාට්ටුවේ" දී ම තමයි මංතුමාත් මෙලොව එලිය දැකලා තියෙන්නේ!

ඉතිං හාමිනේව ඇඩ්මිට් කරලා, ප්‍රී-නේටල් වාට්ටුවකට දාලා මං වීරයා වගේ කාර් එකේම වැඩට ගියා.

ඔන්න එදා රාත්‍රියේ මං ගෙදර ඉඳලා මරදානට ඇවිත් කාර් එක කිංසි රෝඩ් එකේම පාක් කරලා, හොරෙන්ම රිංගුවා හොස්පිටිතාලේ ඇතුලට. දන්න කියන මෙඩ්ඩෝ කීප දෙනෙක් ඔතන වැඩ කරපු හින්දා අවුලක් වුනේ නෑ.

හරියටම ඒ වෙලාවේ තමයි කතන්දරහාමිනේ තියටර් එකෙන් එලියට එන්නේ. හාමිනේ මා දිහා බැලුවේ අඩ නින්දෙන්. මෙන්න ඒ එක්කම ගෙනාවා අපේ චූටි කෙලි පැටික්කී.

බබා ඇස් දෙක තදින්ම වහගෙනයි හිටියේ. රෝස පාට කම්මුල්. සුදුමැලි පාට චූටි අත්. ඇඟිලි අකුලාගෙන අත් මිට මොලවාගෙන.

මං බලා ඉඳිද්දීම ඇඟේ ඉඳලා අර චූටි අත් දිගේ චූටි ඇඟිලි තුඩු දක්වාම ඇඟ ඇතුලෙන් ලේ ගලාගෙන ඇවිත් සුදුමැලිව තිබුණු අත් සේරම රෝස පාට වුණා.

මං එදා මහ රෑ ගෙදර යනකොට ඒ චිත්‍රය නොමැකෙන ලෙස මගේ හිතේ ඇඳිලා.

පහුවදා උදේම මං ආපහු හොස්පිටිතාලෙට ආවා. උඩ තට්ටුවේ ප්‍රොෆෙසෝරියල් වාට්ටුවේ හාමිනේ ගේ ඇඳ ලඟට ගියා. හාමිනේ නෑ. ටොයිලට් එකට ගිහින්.

මෙන්න බොලේ චූටිම චූටි, රෝස පාට කෙලි පැටියෙක් පැත්තකින් නිදාගෙන ඉඳලා ඇහැරිලා "ඔහෑ! ඔහෑ!!" කියලා අඩනවා.

එදා ඉඳලා, මාසෙකට දෙකකට පස්සේ උප්පැන්නෙට නම දානකං මං කෙලි පොඩ්ඩට කිව්වේ "රෝසි" කියලයි.

දවසකට පස්සේ හාමිනේවයි, රෝසි පැටියාවයි අරගෙන මංතුමා මරදානේ සිට ගෙදර බලා වීරයා සේ ඩ්‍රයිව් කරං ආවා.

හාමිනේව හොස්පිටිතාලේ ගෙනියන දවසේ තිබුණු බය මෙදා නං මගේ සිතේ පැත්ත පලාතකවත් තිබුනේ නෑ.

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ රෝස පාට බබෙක් ගිය කතාව ඔන්න ඕකයි.

-කතන්දරකාරයා

ප/ලි:
මගෙයි දුවගෙයි දෙන්නගේම උපන් ගම මරදාන-කොළඹ 10. අපි ඉපදුන "ද සොයිසා වාට්ටුව" තියෙන්නේ කිංසි රෝඩ් එකේ මරදානේ පැත්තෙයි.

මේ වාට්ටුව පාරෙන් අනිත් පැත්තේ හොස්පිටිතාලේ ප්‍රධාන කොටස තියෙන පැත්තේ තිබුණා නම්, අනේ දුවයි මායි දෙන්නම කොළඹ 7-කුරුඳුවත්තේ උපන් දෙන්නෙක් වෙන්න තිබුණා නේද?


මීලඟට - කතන්දරකාරයා ස්පීඩ් කර පොලීසියට අහුවෙයි!

Sunday, 2 January 2011

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්


ඔන්න කතන්දර කුමාරයි, කතන්දර කුමාරියි බඳින්න කලින් කතා වෙච්ච එක දෙයක් තමයි බැන්දයින් පස්සේ ජෝඩුව කොහෙද පදිංචි වෙන්නෙ කියන එක.

මොකද ඒ දවස්වල මංතුමා හිටියේ තාත්ත යි, අම්ම යි, මල්ලිල යි එක්ක අපේ පවුලේ නිවසේ. ගෙදර ඉඳලා, වැඩට යන්න බස් තුනක ගමනට දවසකට පැය හතරක් විතර යනවා.

වෙන්ඩ කතන්දර හාමිනේ නං හිටියේ ගෙදරින් පිට. මොකද එයා ල ගේ මහගෙදර ඉඳලා එයා වැඩ කරපු තැනට එන්නම පැය පහකට වඩා යාවි. ඉතිං එයා හිටියේ කැම්පස් යාළුවෙකු ගේ අම්ම ගේ යාළුවෙකු වෙන ඇන්ටි කෙනෙකු ගේ ගෙදර බෝඩ් වෙලයි. ඒ ගෙදර තිබුනේ වෙන්ඩ කතන්දර හාමිනේ ගේ වැඩපොල කිට්ටුවෙන් ටවුන් එකේම වගේ.

මගේ මහගෙදර ඉඳලා හාමිනේ ගේ වැඩපොලට යන්න තියෙන්නේ මගේ වැඩපොලත් පාස් කරලා. ඉතිං, බැන්දයින් පස්සේ අපි දෙන්නා මගේ මහගෙදර නතර වීම කියන්නේ හාමිනේ කබලෙන් ලිපට වැටීමක්. බස් තුනක ගමනට පැය පහකටත් වඩා යාවි දවසකට.

මැත්ස් වලට ඔප්ටිමයිශේෂන් ඉගෙන ගෙන තියෙන අය දන්නව ඇති ඕනෑම කන්වෙක්ස් සෙට් එකක මැක්සිමම් වැලියුව්ස් තියෙන්නේ වර්ටිසස් වල බව.

තේරෙන භාෂාවෙන් මේ කියන්නේ අපි දෙන්නා ගේ එදිනෙදා රැකියාව සඳහා කරන මුළු ගමන් කාලය අවම කරගන්න නම් එක්කෝ දෙන්නාම මංතුමා ගේ වැඩපොළ ලඟ නැත්නම් හාමිනේ ගේ වැඩපොළ ලඟ දෙකෙන් එකක පදිංචි වෙන්න ඕනෑ.

අපි දෙන්නා මුලින්ම හිතුවා මගේ සේවාස්ථානය ලඟ තැනක් හොයා ගන්න.

මේ සඳහා ඒ දවස්වල තිබුණු සාමාන්‍ය ක්‍රමය තමයි ඉරිදා පත්තරයක් අරගෙන ඒකේ ලුහුඬු දැන්වීම් බලලා ඒ අනුව හොයා බලන එක.

හැබැයි ඊට වඩා හොඳ ක්‍රමයක් මං අනුගමනය කලේ. ඒ තමයි ගෙවල් තියෙන අය දැන්වීම් දානකං ඉන්නේ නැතුව අපි සල්ලි ගෙවලා අපේ ම දැන්වීමක් දැමීම.

රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.

දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්

හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.

"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.

"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.

ඉතිං ඔන්න ගේ පෙන්නන්නත් කලින් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්, අපි දෙන්නගේ නම්, ජොබ්ස්, වැඩ කරන තැන් සේරම විස්තර ඇහැව්ව. මං අහවල් තිප්පොලේ ඉගෙන ගෙන දැන් අහවල් තිප්පොලේ වැඩ කරන බව, හාමිනේ අහවල් වැඩපොලේ සේවය කරන බව වගේ දේවල්. පොර ඒ කරුණු වලින් සෑහීමකට පත්වුණා වාගෙයි මට පෙනුනේ.

"ඉතිං ඩොක්ටර් කතන්දර ගේ ගම කොහේද?" මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් මගෙන් ඊ ලඟට ඇහැව්ව.

හැබැයි ඇහැව්ව සැනෙකින් ම ඒක නිවරැදි කළා. "ඕහ්, අයෑම් සොරි, යූ හැවන්ට් ගොට් යුවර් ඩොක්ටරෙට් යෙට් නෝ? ඉතිං මිස්ටර් කතන්දර ගේ ගම කොහේද?"

"මං කොළඹ පැත්තේ."

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ඔන්න කතන්දර හාමිනේ පැත්තර හැරුණා.

"ඩොක්ටර් මිසිස් කතන්දර කොයි පලාතෙද?"

මේ ආකාරයෙන් ප්‍රශ්ණ අහල අහල මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් තාමත් මේ බලන්නේ අපි දෙන්නා මේ ඇනෙක්සිය කුලියට දෙන්න තරම් වටිනා ජෝඩුවක් ද කියලයි.

මට නං ඒ වෙනකෙටත් හිතිල තිබුනේ බුදු අම්මෝ මේ මනුස්සය ගේ බිත්තියෙන් එහා පැත්තේ, එකම වහල යට, එකම මිදුල ෂෙයාර් කරගෙන මං කොහොම ඉන්නද කියල.

හොඳ වෙලාවට කතන්දර හාමිනේ ඒ ඇනෙක්සිය නොගන්න තීරණය කළා.

ඒකට හේතුව මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රශ්ණ කිරීම් මාලාව නං නෙමේ. මෙන්න මේකයි.

මේ ඇනෙක්සියේ සාලෙන් නිදන කාමරේටයි, කුස්සි කෑල්ලටයි දොරවල් දෙකක් තිබුණා. අනිත් පැත්තෙන්, නිදන කාමරේ ට මූණ දාලා තව දොරක්. මං ඒ ඇරල බැලුව. මෙන්න බොලේ කක්කුස්සියක් සාලෙ මැද්දේ!

පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. මේ කක්කුස්සිය මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රධාන ගෙදර පිටතින් තිබුණු වැසිකිලිය. ගෙට අල්ලල මේ ඇනෙක්සිය හදන කොට ඒක අළුත් කෑල්ලේ සාලේ මැද්දට ඇවිත්.

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ වැඩ ගැන හිනා වෙවී ගෙදර ආපු අපිට තව සති දෙකක් විතර ඇතුලත වෙන තැනක් සෙට් වුණා.

ඒ විස්තර වෙනිං කතන්දරයකින් කියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි
හෝව්, හෝව් වැරදුණා!
කතන්දරකාරයා, බී.එස්.සී.ඉන්ජිනියරින් ඔනර්ස්, එම්. ඉන්ජිනියරින්, එම්. ඒ.

Tuesday, 17 July 2012

වයිෆ් තරහා වීම නිසා හබියාට සිදුවිය හැකි පාඩු දෙකක් - Assumptions can go wrong and cause irrecoverable damage


සමහර වෙලාවට අපි අවට සිද්ධවෙන, දකින දේවල් සලකලා ඒ හා සම්බන්ධව විවිධ උපකල්පනයන් කරලා නිගමනයන්ට එළැඹෙනවා. ඊට පස්සේ ඒ නිගමන අනුව හිතලා තීරණ ගන්නවා.

පස්සේ බැලින්නම් අර මුලින් කරපු උපකල්පන වැරදියි. ඒ කියන්නේ නිගමන වැරදියි. ගත්තු තීරණවලින් පාඩුයි.

අද මේ කියන්න යන්නේ ඒ වගේ කතන්දරයක්.

ජෙනරික් මාතෘකාවක් දැම්මට මේ කතන්දරෙත් ඉතිං මගේම ජීවිත පොතෙන් පිටුවක් තමයි. ඒ කියන්නේ එක්තරා නිරීක්‍ෂණයක් ගැන වැරදි උපකල්පනයක් මත පදනම් වෙලා වැරදි නිගමනයක් කරලා, ඒ සම්න්ධව ගත්තු තීරණයක් නිසා මට සිද්ධ වුණු පාඩුවක් ගැනයි මේ කතන්දරේ.

එක පාඩුවක් නං බැරියෑ, දෙකක් ම!

ඔන්න එක දවසක් අපි පොඩි පාටියකට ගියා රත්නායක මහත්තයලා ගේ ගෙදර. මට මතක හැටියට මේ අර තිස්ස ගේ ආගම් මාරුව ගැන කතාබහ වුණු දවසේ ද කොහෙද.

රත්නායක මහත්තයා ගේ උපන් දිනය වගේ නොවුණත් එදා අර ශක්‍ර දෙයියං ගේ සින්දු පාටිය දවස වගේ රතුවා, සුදුවා, දුඹුරුවා පුරෝලා තිබුණා. පී-නාන්න තරමට.

මාත් ඉතිං දැහැමෙන් සෙමෙන් පොඩ්ඩක් අනුමත වෙලා පොඩි පහේ ජෝක්ස් දෙක තුනක් ක්‍රැක් කර කර හිටියා ෂේප් එකේ අවුලක් නැතුව.

ටික වෙලාවකින් මං දැක්කා හාමිනේ ගේ මූණ හොඳ මදි!

නිකං පුන් සඳ වසාගෙන වලාකුලක් යනවා වගේ.
පෑදි දියට බොර දිය එක් වුණා වගේ.
නිදිකුම්බා මල් කැකුල් හැකුලුණා වගේ.

"ඇයි, මොකක්ද අප්සෙට් එක?" මංතුමා කිට්ටු වෙලා ඇහැව්වා.

හාමිනේ ඇහුණේ නෑ වගේ හිටියා.

මං තව පාරක් ඇහැව්වා.

මෙන්න බොලේ ගස්සලා අහල බලා ගත්තා.

වැඩේ හරි වගේ!
මං බිව්වාය කියලා හාමිනේ ට තද වෙලා.
මල කෙලියයි.
අනේ සුසානෝ, මං මක්කැයි දැං කොරඤ්ඤේ?

මං එකක් හිතා ගත්තා. ආයෙ ඔය ගැන අහන්නේ නෑ!

බත් කාලා, කෝපි බීලා, පාටිය ඉවරවෙලා ගෙදරත් ආවා. හාමිනේ නෝ සිනා, නෝ කතා.

මං ඉතිං හොඳ ළමයා නේ. ඊට අමතරව කවදත් තව තවත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් නේ.

මං එදා සුවිශේෂී තීරණයක් ගත්තා.

ආයේ බොන්නේ නෑ!

හැබැයි මං මේ බවක් හාමිනේට කියන්න ගියේ නෑ.

පහුවදා එලිවුණා ඉරිදාට. සුපුරුදු පරදි දවස ගෙවුණා. දවල් බත් හැලිය ඉදෙන කොටම වගේ හාමිනේ මා එක්ක ටික ටික කතා බහ කරන්න පටන් ගත්තා. හැබැයි මාත් සද්ද නැතුව හිටියා ඊයේ රෑ අවුල ගැන අහන්නවත් මගේ තීරණය ගැන කියන්නවත් ගියේ නෑ.

මං හිතා ගත්තා මගේ තීරණය ක්‍රියාවෙන්ම පෙන්නනවා ය කියලා. නියම වීරත්වය කියන්නේ ඒකනේ?

ඔන්න ඒ සුමානේම මට චාන්ස් එක ආවා මගේ තීරණය ප්‍රායෝගිකව පෙන්නන්න. එක චාන්ස් එකක් නෙමෙයි, චාන්සස් දෙකක් ම.

ඒ සතියේ සිකුරාදා අපිට ශ්‍යාමලා ගේ ගෙදර යන්න තිබුණා.

සෙනසුරාදා සංජීව ලා ගේ ගෙදර පාටියක්.

ශ්‍යාම ලා ගේ ගෙදර ගිහින් බැලින්නම් ගැමුණු රට ගිහින් එන කොට කළු ඩග්ලස් ද මොකක් ද අළුත් ම අළුත් පානයක් ගෙනැල්ලා. ඒ ජාතියේම වීදුරුත් තිබුණා.

මං නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. ස්ප්‍රයිට් ටිකක් බීබී හිටියා. කෝක් නොබී ස්ප්‍රයිට් බිව්වේ හාමිනේ ට පේන්න. මොකද කෝකුයි, අරක්කුයි එක පාටනේ.

පහුවදා තිබුණු සංජීව ලා ගේ පාටියේත් රතුවා, දුඹුරුවා වැහි වැහැලා තිබුණා. එදාත් මං කෝක් වානා කියලා ස්ප්‍රයිට්මයි බිව්වේ.

අන්තිමේ දී සංජීවකාරයා හාමිනේට කිව්වත් එක්ක හාමිනේ කතන්දරකාරයාව හොඳ ළමයෙක් කරලා ය කියලා.

එදා ආපහු ගෙදර එන ගමන් ඔන්න හාමිනේ මගෙන් අහනවා:

"කතී, අද ඔයා බීව්වේ නෑ නේද?"

"මං අද විතරක් නෙමෙයි, ඊයේ බිව්වේත් නෑ."

"ඇයි ඒ හොඳ ළමයෙක් වෙන්න හිතුනේ?"

"මට හිතුණා මොකටද මං ඔයාව තරහා කරන්නේ ඔය බීම ජාති බීලා කියලා, ඒකයි."

"ඒක නං හොඳ කල්පනාව. ඒත් ඉතිං මං කවදද ඔයා එක්ක තරහා වුනේ ඔයා බිව්වයි කියලා?"

"ඇයි අර ගිය සෙනසුරාදා රත්නායක ලා ගේ ගෙදරදී ඔයා මං බීලාය කියලා මූණ දිග්කරගෙන හිටියේ?"

ඔන්න ඒ පාර හාමිනේට කැකිරි පැලෙන ටිකිරි හිනාවක් ගියා.

"ඇයි හිනාවෙන්නේ?"

"මං එදා ඔයා එක්ක තරහා වෙලා හිටියේ බීලා කියලා නෙමේ කතී."

"එහෙනම්?"

"ඒ එදා අර ඔයා කියපු මොකක්ද මන්දා දෙපැත්ත කැපෙන විහිලුවකටයි!"

අපරාදේ....
මට හෝස් ගාලා හුස්මක් ගියා.
ඔය බවක් දන්නවා නං මං අර වගේ ස්වයං හානිකර තීරණයක් ගන්නේ නෑනේ!
අපරාදේ....

දැන් ඉතිං ඊයේ සිකුරාදා රෑ ගැමුණු ලා ගේ ගෙදරයි, අද සංජීව ලා ගේ ගෙදරයි මිස් කරගත්තු ඒවායේ පාඩුව කොහොමද පුරවා ගන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අදහන්න වටින වයිෆර් ලා! http://kathandara.blogspot.com.au/2010/06/blog-post_23.html


(image: http://www.thetimepass.com/2011/08/12/good-husband/)

Friday, 19 November 2010

බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ


මං ලෝයර්ස් ලා ගැන ලියපු කතන්දරේ කියවපු බැංකුකාරයෝ දුක් වෙන්න ඉඩ තියෙන නිසා මේ කතාවත් ලියල දාන්න ඕනැ කියල හිතුන.

ඔන්න අපේ කතන්දර හාමිනේ ගාව තිබුණ පොඩි කාලෙ ඉඳල එකතු කරගත්තු සල්ලි වගයක්. රුපියල් පනස්දාහක් වගෙයි මට මතක. ඕක නිකං ගෙදර පුස් කකා තියාගන්න ඕනැ නැති හින්ද, අපේ ඇනෙක්සිය ලඟම තිබුණු සෙයිලං බැංකුවෙ ස්ථාවර තැන්පතුවක දාලයි තිබුණෙ.

ඔහොම ඉන්න අතරේ, මං තුමාට අල්ලපු රටේ දවස් හතර පහක අධ්‍යාපන කටයුත්තකට යන්න කාරණා කටයුතු යෙදුණ. ඒ වැඩෙන් පස්සෙ පොඩි ට්‍රිප් එකක් දාන්නත් එක්ක හිතාගෙන හාමිනේත් මේ ගමනට සෙට් වුණා.

ප්ලෑන් කලාට විතරක් මදි, ට්‍රිප් යන්න නං සල්ලිත් ඕනි නේ. ටිකට් එක ගන්න, හෝටලේට වැඩිපුර ගෙවන්න, සාරි ගන්න, එනකොට ඩියුටි පී‍්‍ර එකෙන් බඩු ගන්න.

ඉතිං මේ වෙලාවේ සිහියට ආවේ අර සෙයිලං බැංකුවේ දාල තියෙන පනස්දාහේ ෆික්ස්ඩිපොසිට්ටුවයි.

ඔන්න ඉතිං පහුවදාම හාමිනේ ගියා අල්ලපු වැටේ බැංකුවට තමන් ගේ සල්ලි පොජ්ජ විත්ඩ්‍රෝ කොරං එඤ්ඤං කියල, එදා හවස කොළඹ ගිහින් ටිකට් එක ගන්නයි අපි ප්ලෑන් කලේ.

පැය භාගකට විතර පස්සෙ හාමිනේ ගෙට ගොඩ වැදුණ. මට දුන්න රුපියල් හතලිස් දාහක්.

ඇයි ඔයා ඉතුරු දහදාහෙන් ඩොලර්ස් ගත්තද? මං ඇහැව්ව.

කතා කරල බැලින්නං වෙලා තියෙන්නේ මේකයි.

සෙයිලං බැංකුවේ ෆික්ස්ඩිපොසිට්ටුව ගන්න ගිය වෙලේ එතන හිටිය බැංකුකාරය ගෙ ටෝක් එකට රැවටිලා හාමිනේ ෆික්ස්ඩිපොසිට්ටුව එහෙමම තියෙද්දී ගෙදර ඇවිත් තියෙන්නේ උං ගෙන් ලෝන් එකක් අරං.

ෆික්ස්ඩිපොසිට්ටුවට පොලිය සියේට දහතුනයි. ලෝන් එක අරං තියෙන්නේ සියේට දාසයක පොලියට.

ඒ මදිවට, දැන් මේ ලෝන් එක අරං තියෙන්නේ ෆික්ස්ඩිපොසිට්ටුව ඇපේට තියල නිසා, ලෝන් එකේ උපරිමය ෆික්ස්ඩිපොසිට්ටුවේ ගානෙං කොටසක් විතරයි.

සෙයිලං බැංකුකාරය කරල තියෙන්නේ හාමිනේ ගේ ම රුපියල් පනස්දාහෙන්, හතලිස්දාහක් හාමිනේ ට ම ණයක් විදියට දීල ඒ මදිවට ඒ ණයට සියේට තුනක පොලියක් අය කරන එක බව පහදල දෙන්න අන්තිමේදී මට පුළුවන් වුනා.

අල්ලපු රටේ රස්තියාදුව ගහල ඇවිල්ල පහුවදාම කලේ ෆික්ස්ඩිපොසිට්ටුව දියකරල ඒකෙං බැංකුවෙ ණය බේරපු එකයි.

මේ වැඩෙන් රුපියල් පන්සීයකට විතර කෙලවුණා විතරක් නෙමේ, තව පැයක විතර කාලයකුත් නාස්තිවුණා.

කොහොමද බැංකුකාරයෙන් ගේ වැඩ? බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ

-කතන්දරකාරයා

ප/ලි
අපේ කතන්දර හාමිනේ ගැන කියනවනං, එතුමිය තමන් ගේ ෆීල්ඩ් එකේ විශේෂඥයෙක්.

ඒත් ඉතිං, බැංකුකාරයින් ගේ එක එක විජ්ජාවලින් - ගැලවිජ්ජා වෙන්න ඒවයින් බෑ.

ඒකටත් එක්ක ඉතිං මං තුමා. ජැක් ඔෆ් ඕල් ටෙ‍්‍රඩ්ස්!

Monday, 30 January 2012

හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්! - What on earth are Sprats?


මේ සිද්ධිය වුනේ කතන්දර ජෝඩුව බැඳලා අවුරුදු එකහමාරකට විතර පස්සේ අපේ රෝස බබා උපන්න කාලයේ.

මුල් කාලේ කතන්දර ජෝඩුව ගෙදරට අවශ්‍ය බඩු ගත්තේ හන්දියේ රාජා ගේ කඩෙන් එහෙම නැත්තං ගෑණිගේ කඩෙන්. පස්සෙන් පහු රතු කොරොල්ලා එකක් ගත්තු නිසා නුගේගොඩට ගිහින් පොළෙන් එළවළුයි, සතොසෙන් ගෙදරට අවශ්‍ය ග්‍රොසරීස් ටිකයි ගේන්න පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කඩේ යනකොට ගේන්න ඕනෑ බඩු ලයිස්තුවක් ලියන පුරුද්දක් මට නෑ. ඔය ලයිස්තු හදන එක හාමිනේ නම් හරිම කැමති දෙයක්. මුල් කාලේ කඩේ ගියේ දෙන්නා ජෝඩු දාලා නිසා මට ඒ හදපු ලයිස්තු බල බල ෆලෝ කරන එක කවදාකවත් ප්‍රශ්ණයක් වුනේ නෑ.

දැන් ඉතිං මේ කියන දවස වෙනකොට රෝස බබා ගෙදර ඇවිත් නිසා මට තනියමයි නුගේගොඩ යන්න වුනේ.

ඔන්න මං නුගේගොඩ සුපර්මාකට් කාර් පාක් එකේ කාර් එක දාලා, පොළට ගියා. එළවළු ටික අරං ඇවිත් ඩිකියට දැම්මා.

ඊට පස්සේ නාවල පාරේ තියෙන සතොස එක ලඟට ගිහින් එතන පාක් කළා.

ඇතුලට ගිහින් සාමාන්‍යයෙන් ගන්න ලට්ට ලොට්ට ටික අරං එළියට ආවා.

එතකොටයි මතක් වුනේ හාමිනේ දුන්නු බඩු ලයිස්තුව!

කෝකටත් කියලා ලයිස්තුව චෙක් කරන්න පටන් ගත්තා.

Vegies ටික් ü
Dhal ටික් ü
Sugar ටික් ü
Lakspray ටික් ü
Sprats වට් ?
Tea ටික් ü
Coils ටික් ü

ලයිස්තුවේ තිබුණු දේවල්වලට වඩා තව එක එක ජාති දහයක් විතර අරගෙන තිබුණත්, ලයිස්තුවේ තිබුණු මේ ස්ප්‍රැට්ස් කියන ජාතිය නං අරගෙන තිබුණේ නෑ.

ඒකට හේතුව බඩු ලයිස්තුව මීට කලින් බලපු නැති එක නෙමේ. පොළේ දී හරි සතොස ඇතුලේ දී හරි ලයිස්තුව බැලුවා වුනත්, කවුද මේ ස්ප්‍රැට්ස් කියන්නේ මොන මගුලක්ද කියලා දන්නේ.

මේ කාලේ මට මොබයිල් ෆෝන් එකක් තිබුණේ නෑ. ලඟපාතක පේන්න අර කාඩ් දාන කහපාට ෆෝන් බූත් එකක් තිබුණෙත් නෑ. ඉතිං ඔන්න ඔහේ ගෙදර ගියා.

බඩු ටික සද්ද නැතුව කුස්සියෙන් දාලා මං ගියා ඇඟ හෝදා ගන්න.

ආපහු එනකොට හාමිනේ තේ එකකුත් හදලා!

"කෝ කතී ඔයා හාල්මැස්සෝ ගෙනල්ලා නෑනේ!"

"හාල්මැස්සෝ? ඔයා ගේ ලයිස්තුවට නේ මං බඩු ගෙනාවේ. මං දැක්කේ නෑ, හාල්මැස්සෝ තියෙනවා. මං සතොසෙන් එන්න කලිනුත් චෙක් කළා."

"ඇයි අනේ ඔයාට ඇස් පේන්නේ නැද්ද, නැත්තං අකුරු කියවන්න බැරිද?" හාමිනේ ලයිස්තුව මට දීලා ඇහැව්වා.

ෂිහ්, මං ලයිස්තුව බඩු මල්ලක් ඇතුලේ දාගෙන ඇවිත්. මෝඩකම තමා. අපරාදේ ඒක විසිකරන්න අමතක වෙලානේ!

"මේ තියෙන්නේ මං ලියලා හොඳ පැහැදිලි අකුරෙන් Sprats කියලා!" හාමිනේ මට ලයිස්තුව පෙන්නනවා.

මං නේද, සද්ද බද්ද නැතුව නිකං මීයා වගේ හිටියා.

කවුද හලෝ දන්නේ මේ ස්ප්‍රැට්ස් කියන්නේ හාල්මැස්සන්ට කියලා?

එතකොට "රයිස් ෆ්ලයිස්" කියන්නේ අහවල් එකටද?

-කතන්දරකාරයා

ප/ලි:
කැන්ඩි ලයිට් රයිස් ෆ්ලයිස් වෙරි ඇරිත්මැටික්!


(image: http://news.bbcimg.co.uk/media/images/51478000/jpg/_51478869_51468750.jpg)

Friday, 21 December 2012

"කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා " - ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක් : Two very short drama sketches featuring Mr and Mrs Kathandarakaraya


සිකුරාදා (21) ඉඳලා මං නිවාඩු සති දෙකක්. පාසල් නිවාඩුවත් එක්ක අල්ලලා යනවා පොඩි ට්‍රිපක්.

ඇඳුම් බෑග් එක පැක් කරන්නත් තියෙනවා. පොඩ්ඩක් විතර රෙස්ට් කරන්නත් තියෙනවා. ඒ හින්දා මට වෙලාව තියෙන්නේ පොඩි කතා කෑල්ලක් ටයිප් කරන්න විතරයි.

මෙන්න කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා චරිත මවන ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක්.



කතන්දර හාමිනේ:    මට ඕනෑ අර බාවනා ප්‍රෝගෑම් එකට යන්න
කතන්දරකාරයා:   හොඳයි, මං ගිහින් බස්සලා එන්නං හෙට උදෙන්ම
කතන්දර හාමිනේ:    ගිහිං බස්සලා විතරක් මදි. මං ආපහු එන්නේ කොහොමද?
කතන්දරකාරයා:    ඇයි ආපහු එනකොට ධ්‍යාන වඩලා නිසා ඉර්දියෙන් එන්න බැරියැ?



කතන්දර හාමිනේ:    මට වෙසක් එකට සිල් ගන්න හිතයි මේ පාර
කතන්දරකාරයා:   කිරිබත්ද, තණකොළ ද ඕනෑ?
කතන්දර හාමිනේ:    මොකක්?
කතන්දරකාරයා:    නෑ මං මේ ඇහැව්වේ මං කිරිපිඬු දානේ අරං එන්නද? නැත්තං කුස තණමිටි අටක් අරං එන්නද කියලායි.



හැපි හොලිඩේස් එව්රි වන්!

-කතන්දරකාරයා


(http://www.examiner.com/article/will-smith-perfect-10-johnny-depp-brad-pitt-angelina-jolie-close-forbes-star-currency-list)

Monday, 25 July 2011

බැච් එකේ පොර කවුද?


මං අර ගණේමුල්ලේ කුරුවිට ගේ කතන්දරේ කිව්ව වගේ දැන් අපි කලින් නොදන්න දෙන්නෙක් මුලින්ම හමුවෙච්ච ගමන් කරන්නේ:

ඔයා කොහේද?
කොහේද ඉගෙන ගත්තේ?

යනාදී වශයෙන් ප්‍රශ්ණාවලිය මුලින් ම අහලා ඊට පස්සේ:

ඔයා ඒ පැත්තේ ගෙවල් තියෙන අරයාව දන්නවාද?
ඔයා ඒ ඉස්කෝලෙට ගිය මෙයාව දන්නවාද?

ආදී වශයෙන් මියුචුවල් යාළුවෙක්ව හොයා ගන්න බලනවා.

එහෙම කරන්නේ මුලින්ම ඇඳුනම්කම වඩාත් හොඳින් ඇතිකරගන්නයි, පස්සෙන් පහු ඒ මියුචුවල් යාළුවන් ව හමු වුණාම, අන්න ඔයා දන්න කෙනෙක් මට හම්බ වුණා කියලා කතා බහට පැටලිලා, අළුත් හැඳුණුම් කම තවත් හොඳින් ස්ථිර කරගන්නයි.

කැම්පස් දෙකක ඉගෙන ගත්තු දෙන්නෙක්, එහෙම නැත්තං එකම කැම්පස් එකේ වුනත් ෆැකල්ටීස් දෙකක ඉගෙන ගත්තු දෙන්නෙක් හම්බ වුනත් කරන්නේ ඔය රූටීන් එකේම යන එක තමයි.

ඔන්න දැන් අවුරුද්දකට දෙකකට කලින් දවසක කතන්දර හාමිනේයි, මායි ගියා පොඩි පහේ උත්සවයකට. ඔතන අපි දෙන්නා වගේ සොක්කෝ විතරක් නෙමේ තරමක් ලොකු ලොක්කෝ පවා ආපු තැනක්.

ටික වෙලාවකින් හාමිනේ මට ඇවිත් කතා කළා.

එන්න කතී (එහෙම කියන්නේ ආදරේට හොඳේ, දන්නවානේ?) මං ඔයාට කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න.

මං එවෙලේ හිත හිත හිටියේ කොයි වෙලේ රෑට කන්න සෙට් වෙයිද කියලායි. ඒත් ඉතිං හාමිනේ කතා කළාම නොගිහින් පුළුවනියැ. මාත් ඉතිං හාමිනේ ගේ පස්සෙන් වැටිලා ගියා ශාලාවේ ඉස්සරහා තිබුණු මේසයකට.

"මේ ඉන්නේ මගේ හස්බන්ඩ්, කතන්දර."

හාමිනේ මාව අඳුන්වලා දුන්නේ වෙන කාටවත් නෙමේ, මේ උත්සවයට ඇවිල්ල හිටපු ලොක්කියෙක් වුණු යසෝදරා ට යි.

"කතී, මේ ඉන්නේ අපේ උත්සවයේ ප්‍රධාන අමුත්තිය. මගේ පරණ යාළුවෙක් යසෝදරා."

බැලින්නං, මේ යසෝදරා කියන්නේ කතන්දර හාමිනේ කැම්පස් හිටිය කාලේ ම වෙනත් ෆැකල්ටියක හිටපු කෙල්ලෙක්. ඒ විතරක් යෑ, දෙන්නම ඒ කාලේ වැඩ වාසය කරලා තියෙන්නේ එකම නේවාසිකාගාරයේ යි!

"හෙලෝ, කොහොමද?" මාත් ඉතිං පුටුවක් ඇදගෙන වාඩි වුණා.

දැන් ඔන්න යසෝදරාවනුයි, මායි අර සම්ප්‍රදායානුකූල කතා බහේ.

"ඔයා හිටියෙත් අපේ කැම්පස් එකේ ද කතන්දර?"

"ඔව් නේ, මං හාමිනේට වඩා අවුරුද්දක් සීනියර්."

"අනේ ඇත්තද, එහෙනං අපි දෙන්නා එක කාලේ නේ!"

"ආ ඇත්තද? එතකොට ඔයා මොනවාද කලේ කැම්පස් එකේ?"

"මං නං කෙරුවේ අහවල් ස්පැෂල් එක."

"ආ ඇත්තද? එහෙනං ඔයා ලක්සිරිව දන්නව ඇතිනේ. පොරත් කලේ අහවල් ස්පැෂල් එක තමයි. ඒ දවස්වල මගේ හොඳ යාළුවෙක්."

"ඔව්, ඔව්, මං දන්නවා ලක්සිරිව. එයා කෙරුවේ නං ඉංග්ලිෂ් මීඩියම්, හැබැයි, මං ලක්සිරිලා ගේ කට්ටිය එක්ක එකටම තමයි හිටියේ. මං හොඳට දන්නවා."

"හොඳයි, හොඳයි, මට පොරව අන්තිමට හම්බ වුනේ, පොර පී.එච්.ඩී. එක ගහලා ආවට පස්සේ කොළඹදී."

"ඉතිං කතන්දර මොනවද කෙරුවේ කැම්පස් එකේ? කම්මල් වැඩ නේද?"

"ඔව්, මං කම්මලේ තමයි හිටියේ."

"එහෙනං ඔයා කුමාරි පෙරේරා ව දන්නවා ඇති."

"ඔව්, එයා අපිට ජූනියර් බැච් එකේ."

"එතකොට කුමාර පෙරේරා ව දන්නවාද?"

"ඔව් මං දන්නවා, පොර අපිට වඩා අවුරුද්දක් සීනියර්."

"එතකොට කුමාරි ෆර්නැන්ඩෝ?"

"එයා මට වඩා අවුරුදු දෙකක් ජූනියර්."

"එතකොට කුමාර ෆර්නැන්ඩෝ?"

"පොර මට වඩා අවුරුදු දෙකක් සීනියර්."

"අයියෝ ඇත්තද?

අපේ යසෝදරා නෝනට හරි දුකයි. මොකද එයා දන්න, දන්න කම්මලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ එකෙක්වත් මං අඳුණනවා වුණාට මගේ බැච් එකේ නෙමේ නේ. මගේ බැච් එකේ එකෙක් ව වත් යශෝදරා අඳුණන්නේ නෑ.

ඉතිං, යසෝදරා මෙහෙම ඇහැව්වා.

"කතන්දර, ඉතිං කවුද ඕගොල්ලන් ගේ බැච් එකේ හිටපු හැමෝම වගේ දන්න අය?"

"ඔයා ඔය අහන්නේ, අපේ බැච් එකේ පොර කවුද කියලනේ. ඕකත් අහන්න දෙයක්ද? අපේ බැච් එකේ පොර තමයි මං!"

යසෝදරා නෝන ලැජ්ජාවෙන් මුකුලිත වෙලා ගියා.

හොඳ වෙලාවට එවෙලෙම එනවුන්ස් කළා, කෑම කන්න පුළුවන් කියල බුෆේ එකෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
තමන්ගේ ක්ලාස් එකේ, බැච් එකේ, ගෲප් එකේ පොර කවුද කියල ලියල යන්න පහලින්.

(image: http://www.bowdoin.edu/isle/current-recent-programs/2008-fall-program/fall2008-session1.shtml)

Tuesday, 29 March 2011

බැඳපු එවුන් ගේ මල් කැඩිලි - පොඩි එවුන් මේ කතන්දරය බැලුවාට ප්‍රශ්ණයක් නෑ!


මේ කතාව බැඳපු එවුන් ගේ මල් කැඩිලි පිළිබඳවයි. පොඩි එවුන් බැලුවාට ප්‍රශ්ණයක් නෑ කියල කිව්වේ, බලන්න එපා කිව්වත් බලනවා, මොකුත් නොකියා හිටියත් බලනවා, කිසි වෙනසක් නැති නිසයි.

මං අර කොල්ලන් ට පමණයි - කෙල්ලන්ට බැලීම තහනම් කියලා දාපු කතන්දරෙත් කෙල්ලෝ බැලුවා.

ඒ වගේම, ගෙදර අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා !කියල දාපු කතන්දරේ කාන්තාවෝ නොබලා හිටියේ නෑ.

අනික කොහොමටත් අද පොඩි එවුන් පවා පස්සෙ දවසක ලොකු බැඳපු එවුන් වෙන්න නියමිතයි නේ. ඒ නැති වුණත්, මේ කතාවේ කිසිම ඇඩල්ට්ස් ඔන්ලි දෙයක් නෑ.

කතන්දරකාරයා බැඳපු කෙනෙක් බව මේ කියවන හැමෝම දන්නවනේ. මං කතන්දර හාමිනේ ගැනත් කතන්දර එකක්, දෙකක් යැ කියල තියෙන්නේ, සීරිස් එකක් ම තියෙනවා නේ. කොටින් ම අපේ වෙඩිමේ ඇනිවසරිය පවා කතන්දර බ්ලොග් එක බලන අය දන්නවා.

දැන් නං ඉතිං අපි දෙන්නා ඉස්කෝලේ යන කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ඉන්න ලොකු වගකීම් සහිත පවුල් සංස්ථාවක ඩිරෙක්ටර්ස් ලා!

අපි බඳින්න කලින් කාලේ මල් කඩනවාය කියලා කිව්වේ පන්සල් යන්න කලින් කරන එක්තරා වැඩකටයි! දන්නවා නේ, අමුතුවෙන් නොකිව්වට?

දැන් නං ඉතිං, කොල්ලෙක් මල් කඩනවාය කියන්නේ කෙල්ලෙක් එක්ක (බොහෝ විට මොබයිල් ෆෝන් එකෙන්) ආදර කතාබහක යෙදෙන එකටයි නේ, එහෙම නේද?

ඒ එක්කම, එස්එම්එස් කෙටි පණිවිඩ යැවීම, ෆේස් බුකියේ, එම්එස්එන් එකේ චැට් කිරීම වගේ දේවලුත් මල් කැඩීම කියන ක්‍රියාවලියට අඩංගුයි මං හිතන විදියට.

දැන් ඉතිං මට තියෙන ප්‍රශ්ණ මෙන්න මේවායි.

කොලු කාලේ ගෙවිලා, බැඳලා, පවුල් සංස්ථා ඩිරෙක්ටර් තනතුරුත් අරගෙන, පොඩි එවුන් ව සතියේ දවස්වල ඉස්කෝල ගානෙයි, සති අන්තයේ ටියුෂන් තිප්පොලවල් ගානෙයි, ක්‍රිකට් වලටයි, නැටුම් පන්ති ගානෙයි ගෙනියන අපි වගේ අයට:

බැරිද මල් කඩන්න?
තහනම් ද මල් කඩන්න?

මට නං හිතෙන්නේ ඒ ආකාරයේ කිසිම තහනමක් නෑ...!!!

අවශ්‍ය තරමට, මල් කඩන්න අපි වගේ බැඳපු අයටත් පුළුවනි.

මෙන්න බැඳපු උන් මල් කඩනවා නම් කඩන්න හොඳ විදිය.
  • උදේ ගෙදරින් පිටත් වෙන කොට හාමිනේට අමතක නොකර උම්ම එකක් දීල පිටත් වෙන්න.

  • පොඩ්ඩක් හරි අමතක වුනොත් ගෙයින් එලියට ගත්තු පය ආපහු අරගෙන ඒ වැඩේ කරන්න ඕනෑ.

  • අවශ්‍ය නං බොරුවට අමතක කරලා ගිහින් විනාඩියකට විතර පස්සේ ආපහු හැරිලා ඇවිත් උම්මා එකක් දීලා යන්න පුළුවන්, ඉඳලා හිටලා දවසක. ඒක නං ක්ලැසික් වැඩක්.

  • උදේ ගිහින් කෝච්චියට නගින්න කලින් පොඩි කෝල් එකක් දෙන්න, හාමිනේ උදේට කෑවද බලන්න.

  • කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් -ආකාරයේ.

  • දවල් වරුවේ කෑවද අනේ කියල අහන්න කෝල් එකක් දෙන්න.

  • මීටිමකට පැටලිලා කෝල් ගන්න බැරි නං, අඩු ගානේ එස්එම්එස් එකක්වත් යවන්න. දවසට දෙක තුනක් යැව්වත් පාඩුවක් නෑ.

  • හවසට ගෙදර එන ගමන් කෝල් එකක් දෙන්න.

  • තනියම කඩේ ගියොත්, ගේන්න ඕනෑ බඩු මොනවද කියල චෙක් කරන්නත් කෝල් එකක් දෙන්න.

  • උපන් දිනේ ට, ඇනිවසරි දවසට, වැලා ගේ දවසට නං අනිවා යවන්න ඕනෑ එස්එම්එස්. දෙන්න ඕනෑ කෝල්ස්. හවස ගෙදර එනකොට ගේන්න ඕනෑ චොකලට්.

ඔයිට අමතරව මෙන්න මේවා කරන්නත් පුළුවනි.

ඉඳල, ඉඳලා දවසක, පැරදෙන බව ෂුවර් එකට දන්න ඔට්ටුවක් අල්ලන්න. පැරදුනාට පස්සේ එක්කරන් යන්න දවසක රූට චයිනීස් කන්න.

තවත් අළුත්ම වැඩක් මං පටන් ගත්තා ලඟදී ඉඳලා කරන්න. මේක කරන්න නං ගෙදර කොම්පියුටර් දෙකක් ඕනෑ.

ඒක තමයි හාමිනේ අපේ ස්ටඩි කාමරේ (=කෑම කාමරේ) ඉඳ ගෙන වැඩ කරනවා නං, මං මගේ ලැප නිදන කාමරේට අරන් ගිහින් එතන ඉඳන් ස්කයිපි වලින් වීඩියෝ කෝල් එකක් දෙනවා.

වීඩියෝ කෝල්වල තියෙන ජොලිම වැඩේ තමයි, නිකං කෝල්ස් දෙනවා වගේ නෙමේ "ෆ්ලයින් කිසස්" දෙන්නත් පුළුවන් නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය ෆෝන් වලින් මල් කැඩීමෙන් හෝ කේක්, චොකලට්, චයිනීස් කැවීමට හැදීමෙන් වැඩක් නැති බව පවසන කතන්දර හාමිනේ පහත සඳහන් ලයිස්තුව මා වෙත එවා ඇත.

සියළු නෝටි හස්බන්ඩ ලා ගේ දැන ගැනීම පිණිස පහත පළ කරමි.
  • සතියකට පාරක්වත් නිවස අතු ගෑම

  • සති අන්තයේ නාන කාමර පිරිසිදු කිරීම

  • සතියකට දෙතුන් වරක් කුස්සිය, කෑම කාමරය ඇතුළු පොලව මොප් කිරීම

  • නිවස අවට වැවෙන තණකොළ කළමනාකරණය කිරීම

  • විටින් විට නිවසට කඩා වදින කැරපොත්තන් සහ මකුළුවන් අල්ලා නිවසින් එලියට විසි කිරීම

  • රාත්‍රියේ නින්දට පෙර සියළු දොර ජනෙල් වසා අගුළු දමා ඇත්දැයි සොයා බැලීම

ප/ප/ලි:
හාමිනේ ගේ ලැයිස්තුව ලකුණු වැඩියෙන් හම්බ වෙන එකකි.
අත් දුටුවයි! සත්තකයි!!

(image: http://a2zfilmnewz.blogspot.com/2010/12/aishwarya-rai-flying-kiss-many-more.html)

Wednesday, 30 May 2012

හරීම ෂෝක් හස්බන්ඩෙක්! - What a wonderful husband!


කසාඳ බඳින්නත් අවුරුදු දෙකකට විතර කලින් දවසක මං බස් එකක යද්දී හරීම නෝටි හස්බන්ඩෙක්ය කියලා මගේ හිතවතුගේ අක්කා කෙනෙක් මංතුමා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගත්තු කතන්දරේ මේ ලඟදී දවසක ආපහු කියවපු වෙලාවේ මට මතක්වුණා, මාව හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලාත් නිවරදි ලෙසින් අගැයීමකට ලක්වෙලා තියෙන බව.

මෙන්න අද ඒ කතන්දරේ!

හැබැයි මේ කතන්දරේ අද කියන්නේ, එදා කතන්දරකාරයා හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලා පැහැදිලිවම වටහාගෙන, ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරළා, විස්සෝප වෙලා, හූල්ලලා, කතන්දර හාමිනේ ගැනත් පොඩි පහේ ඉරිසියාවක් ඇතිකර ගත්තු දේවිකා වගේ අද මේ කතාව අහලා කිසිම ගෑල්ළමයෙක් තමන්ගේ මහත්තයා හෝ වෙන්ඩ මහත්තයා ගැන අහිතක් ඇතිකර නොගනීවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනුයි.

දේවිකා කියන්නේ ඒ දවස්වල අපේ අසල්වැසියෙක්. දැන් නං ඒ ගොල්ලෝ ඉන්නේ වෙන පලාතක, මාළඹෙන් හැරිලා යන පාරක.

දේවිකා ගේ හස්බන්ඩා, සුනිල්, මගේ යාළු මිත්තරයෙක්. ඒ හින්දා කතන්දර හාමිනේත් දේවිකා ගේ හිතවතියක් වුණා.

එදා දේවිකා අපේ ගෙදර ආවේ හාමිනේ ට පොඩි ආරාධනාවක් කරන්නයි.

"මං බියුටි කෝස් එකක් කරන්න පටන් ගත්තා මෙයා දේවිකා කිව්වා. ඒකේ ඉගෙනගත්තු ෆේෂල් කරන විදිය ප්‍රැක්ටිස් කරන්න ඕනෑ. ඒවා ඉතිං මට මගේ මූණටම කරගන්න බෑනේ. ඔයාට එන්න පුළුවනිද කියලා අහන්නයි මං ආවේ."

"ඇයි ඉතිං සුනිල්ට කතාකරගන්න තිබුණානේ?" මාත් කතාබහට එකතු වුණා.

"අනේ ඉන්න මෙයා විහිළු නොකර, සුනිල් ට කරන ෆේෂල්. එයා මේවට හිනා වෙනවා විතරයි මෙයා!"

"ආ ඕක මොකක්ද, මං එන්නංකෝ!" හාමිනේ කිව්වා.

"ඔව්, ඔයා යන්න, මං බබාව බලා ගන්නං" මං වීරයා සේ ඉදිරිපත්වුණා.

"කතන්දර නං හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් අනේ." ඒ දේවිකා ගේ පලමු නිබ්බුත පදය.

දේවිකා එදා අපේ ගෙදර ඇවිත් තිබුණේ කේක් ගෙඩියකින් බාගෙකුත් අරගෙනයි. ඒක එයාම ගෙදර බේක් කරපු බටර් කේක් එකක්.

"මං ඕගොල්ලන්ට හෝම් බේක් කේක් අරං ආවා මෙයා. මං කිලෝ දෙකක කේක් එකක් හැදුවා, ඒත් අපේ සුනිල් කන්නේ නෑනේ අනේ කේක්."

ඔන්න අපි තුන්දෙනාම කේක් කෑල්ල ගානේ කපාගෙන කෑවා.

"ඔයා හදන්නේ නැද්ද මෙයා කේක් වගේ ජාති?" දේවිකා ඇහැව්වා හාමිනේගෙන්.

"කේක් නං හදන්නේ නෑ දේවිකා, කඩෙන් ගන්න එක ලේසියනේ. හැබැයි මං ඉඳලා හිටලා එක එක කුකරි පොත්වල තියෙන රෙසිපි බලාගෙන කෑම නං හදන්න ට්‍රයි කරලා බලනවා. මේ ඊයේත් හැදුවා චිකන් ස්ටර් ෆ්‍රයි."

"ඔයා ගාව කුකරි පොත් ගොඩක් තියෙනවාද මෙයා?"

"ඔව් කීපයක් තියෙනවා, අර තියෙන්නේ. ඔය සේරම මෙයා තමයි ගෙනත් දුන්නේ මගේ උපන්දිනවලට" හාමිනේ කිව්වා.

"හානේ.. ..!!!" දේවිකා කුකරි පොත් ටික අරගෙන පෙරලලා බලන ගමන් කිව්වා "කතන්දර නං හරිම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් මෙයා. ඔයා නං හරීම ලකී අනේ!"

දේවිකා ගේ ඒ කතාව විස්තර කරන්න තමයි මං අර මුලින් විස්සෝප වුණා, හීල්ලුවා වගේ වචන පාවිච්චි කළේ.

ඔතන තිබුණු එක කුකරි පොතක් ගැන කතන්දරේ මං කලින් දවසක කියලා තියෙනවා බැඳපු මිනිස්සුන්ට උපදේශයක් හැටියට.

අනිත් පොත් කීපය ගත්තේත් සේල් එකක ලාබෙට දාලා තියෙනවා දැකලයි. (ප්‍රයිස් ටැග් එකෙන් කියවෙන තෑග්ගට ගිය වියදම අනුව නෙමේ තෑග්ගේ ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. තෑග්ග දීමේ චේතනාව සහ තෑග්ගෙන් ලැබෙන ප්‍රයෝජනේ මත තමයි ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. මෙන්න මං හාමිනේට අරං දීපු වෙනත් තෑග්ගක් ගැන විස්තරයක් තියෙන කතන්දරයක්. http://kathandara.blogspot.com.au/2011/09/irony-of-domestic-violence-but-not.html)

-කතන්දරකාරයා

ප/ලි:
අපේ ගෙවල් පැත්තේ ඉන්න ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ පහේ ශිෂ්‍යත්ව පන්තියට ළමයින්ව ගන්නේ පරීක්‍ෂණයක් තියලා ඒකෙන් පාස් වුණාම විතරයි. ඒ හින්දා මේ ටියුෂන් සර්ගේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයි 100% කටම තමන් ඉල්ලන හොඳ ඉස්කෝලේ ලැබෙනවා.

තමන් ඉගෙන ගත්තු ෆේෂල් කිරීම පුරුදු වෙන්න දේවිකා නෝනා, කතන්දර හාමිනේට අඬ ගැහැව්වේ ඇයි කියලා මට තේරුණේ ඒ ටියුෂන් සර්ගේ වැඩ පිළිවෙල මතක් වුණාමයි.

(image: http://www.gumtree.com.au/s-ad/ardross/other-books-games/old-cook-books-and-magazines/1000593275)

Thursday, 8 December 2011

පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents


පහුගිය දොහේක අපේ හාමිනේ ට රටෙන් පිට යන්න වුනා රාජකාරි වැඩකට. දවසක් දෙකකට නෙමෙයි දවස් හයකට!

හාමිනේ නැතුව දවස් හයක්ම ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හිතේ දුක ඉහවහා යනවා. කලේ පැන් නැත සින්දුව දාලා වැඩකුත් නෑ. ඇයි, මේ නෑගම් ගියා නෙමේ නේ? අපේ නෑයෝ කොයින්ද පොඩි චීනේ තියා මහ චීනේවත්?

හාමිනේ පොඩි චීනේ ගියේ මහා ලොකු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නයි. නිකං නෙමේ අර රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබාවත් අරගෙනයි ගියේ.

ඉතිං, අම්මා එනකං පුතු පැටියායි, හාමිනේ එනකං ලොකු පැටියායි දෙන්නාම බලං හිටියා නිදිමරාගෙන. ඒකෙන් පාඩුවක් උනේ නම් නෑ.

මෙන්න මට ලැබුණු තෑගිවලින් කොටසක්!

මුලින්ම ගුටි දීලා මසාජ් කරන උපකරණයක්.


තායිවානයේ හදපු ඩිජිටල් අත් ඔර්ලෝසුවක්.


තවත් පොඩී පහේ චීන සුකුරුත්තමක්. මෙක වාද්‍ය භාණ්ඩයක්. සින්දු ප්‍රස්ථාරත් දීලා තියෙනවා.


ලෝ ප්‍රකට තායිවානයේ අන්නසි කේක්.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා චීන තේ!


තව ලස්සන පැකට් එකක දාපු ලව් ලොසින්ජර්ස් පොදියක් තිබුණා. ඒවා නම් ෆොටෝ ගන්න කලින්ම ඉවර වුණා!

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වා වගේ, මෙන්න නියම තෑගි. මේවා නම් තායිවාන් ඒවා නෙමේ, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු ඒවා.


මේවා නං සෑහෙන කාලයක් මෙහෙමම තියේවි. මොකද දන්නවද? කලින් පාර මේ වගේ ගෙනාපු තෑගි ටිකත් ඔය එහෙමම තියෙන්නේ.


මං ඉතිං මද පමණින් මටටා ටිටා නේ, අවුරුද්දකට දෙකකට විතර බඩු හෑව්!

අවුරුදු දෙකකට කලින් 2009 දී ගෙනාපු භාණ්ඩවලින් අන්තිම එක ඔන්න මේ ගිය සතියේයි ඉවර වුනේ.



-කතන්දරකාරයා

ප/ලි:
හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි. නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.

ගිහින් එඤ්ඤං!

ප/ප/ලි
හැම හාමිනේම මෙහෙම නැත. මේ කතන්දරේ මතකද?
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
?

Wednesday, 16 June 2010

ගෙදර පොඩි අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා


අපේ ගෙදර වැඩ පිළිවෙල මෙන්න මෙහෙමයි.

ඔන්න මං උදේ හතට විතර දනිපනි ගාල අවදිවෙලා, බාත්රූම් එකේ සින්දු දෙකක් විතර කියල, ඇඳ පැලඳ ගෙන, කතන්දර හාමිනේ හදල දෙන තේකත් බීල කෑම එකත් අරගෙන වැඩට යනව.

හාමිනේත් ඉතිං ඇඳ පැළඳ ගෙන, පුතංඩියවත් ඉස්කෝලෙ දාල තමන්ගේ සේවා ස්ථානයට යනව.

මං තුමා ගෙදර එන්නේ රෑ බෝවෙලා. ඒ වෙන කොට කතන්දරහාමිනේ ගෙදර ඇවිත්. ආපු ගමං මං හාමිනේ දෙන තේක බීල පොඩ්ඩක් ඇඟපත හෝදගෙන, සින්දුවක් දෙකක් කියල, ජාලෙ පැත්තෙ සැරිසරනව රෑට කොටා බාන්න මොනව හරි සෙට් වෙන තුරු.

ඊයෙ, කවදාකවත් නැති විදියට කලින්ම ඔෆිස් එකෙන් පැනගන්න පුළුවන් වුනා.

මං ගෙදර එනකොට වෙනද වගේ කළුවර වැටිලත් නෑ. හාමිනේ ගෙදර ඇවිල්ලත් නෑ.

ඉතිං ඇඟ පත හෝදගෙන, ඔව්, ඔව්, සින්දුවක් දෙකක් කියල, පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්ත.

ඔන්න පැය තුන්කාලකට විතර පස්සෙ මෙන්න එනවා කතන්දරහාමිනේ පොඩි එකාත් එක්ක ගෙදර.

එයාව දැක්ක ගමන් මට හරි ජොලියක් ගියා.

"ඇති යාන්තං ඔයා ආවද? මං නං ඇවිල්ල දැං පැයක් විතර වුනා. මං මේ මග බලාගෙන උන්නේ ඔයා එනකං තේකක් බොන්න!"

ඇයි අනේ හාමිනේ ගේ කට ඇදවෙලා ගියේ? සාමාන්‍යයෙන් නං එයා තේ බොන්න කැමතියි. මට තේක හදල දුන්නු ගමංම එයත් එකක් හදාගෙන බොනවා.

අනේ මන්දා? තව සින්දුවක්වත් ලියන්න වෙයිද?

කතන්දරකාරයා

ප/ලි:
මේ දවස්වල ටිකක් බිසි. බෝල බෝල මැටි එක එක ගෙනෙනව.

Monday, 6 June 2011

කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!

ඊයේ සන්ඩේ ස්පැෂල් එක්ස්ට්‍රා ලෙස නැවත කියවූ පොලිසිය එනු දැක දුවපු කොල්ලා කතාව මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html
එය නැවත කීයවීමක් නිසා බ්ලොග් රීඩර්ස් වල අප්ඩේට් වී නොමැති බව සැලයි.

මෙන්න අද සිට ඇරඹෙන කතන්දරකාරයා ගේ කාර් එක ගැන මෙගා සීරිස් එක.

මට මතකයි, අපි පොඩි කාලේ දවසක් තාත්තා අපේ ගමේ තිබුණු කාර් එක කුලියට කතා කරගෙන, කැලණිය පන්සලට ගියා. ඊට අමතරව ඉතිං, නැන්දලා ගේ, පුංචි අම්මලා ගේ මගුල් ගෙවල් වලට තමයි අපි කාර්වල ගියේ.

පාසල් ගුරුවරයෙකු වුණු මගේ තාත්තාටවත්, ඒ පවුලේ වෙන කාට හරි වත් කාර් තිබුනේ නෑ අපි පොඩි කාලේ. අම්මලා ගේ පවුලේත් එහෙමයි.

ඒකටත් එක්ක, මගෙයි කතන්දර හාමිනේ ගෙයි කොළු පැටියා නං උදේ අවදි වෙන්නෙත්, රෑට නිදාගන්නෙත් අත ලඟින් කාර් පෝලිමක් තියාගෙන. ලොකු වෙලා ලැම්බගීනි ජෙලාටෝ එකක් හරි, මසරාටි එකක් හරි, ෆෙරාරි එකක් හරි ගන්නයි කොල්ලා දැම්මම ප්ලෑන් කරන්නේ.

හැබැයි, අපේ ගෙදර කාර් එකක් නොතිබුණු හින්ද ද කොහෙද, මට නං පොඩි කාලේ තියා ලොකු වෙලාවත් කාර් පිස්සුවක් තිබුනේ නෑ කවදාකවත්.

හිරවෙලා බස්වල යද්දී වත්, බඩදරු අම්මලා ට, ළමයි වඩා ගත් අම්මලාට, සීට් පූජා කරද්දී වත්, අනේ මට කාර් එකක් තිබුණ නං කොච්චර හොඳ ඳෝ කියල මට හිතුනේ නෑ, අවංකවම.

අනික ඒ දවස්වල කාලෝ ෆොන්සේකා ලා පවා ගියේ බස් එකේ නේ.

නමුත් ඉතිං අවසානයේ කාර් එකක් ගන්න වුණා!

මේ කාලේ වෙනකොට මං, කතන්දර හාමිනේ ව බැඳලා, ඇනෙක්සි හොයලා, ඇන්ටි ගේ ගෙදර කාමරේ කුලියට ඉඳලා, අන්තිමේ දී අපේම කියලා ගෙදරක් දොරක් අරගෙන හෙම ටිකක් සැටල් ඩවුං වෙච්ච කාලේ.

ඔය අව් අස්සේ, අපි දෙන්න තුන්දෙනා වෙන්නත් කරුණු කාරණා යෙදුණා ය කියමුකෝ.

කතන්දර හාමිනේ කියපි දුව ඉපදෙන්න කලින් කාර් එකක් ගනිමු නේද කතී කියලා. (කතී කියන්නේ ආදරේට කියන කතන්දරකාරයා ගේ කෙටි නමයි!) මාත් ඉතිං ඒකට එකඟ වුණා.

ඒ වෙන මොකක්වත් ම හින්ද නෙමේ, අනාගතයේ බබාලා වඩාගෙන හාමිනේව බස් එකේ යවලා, ඒ බස්වල හොඳට ඉඳගෙන ඉන්න උන් ගේ සීට් ගන්නේ ඇයි කියලා හිතුන නිසා.

ඔය සීට් වැඩේට එයත් කැමති නැති නිසා, මේ වෙනකොට බඩ දරු අම්මා කෙනෙක් වුණු හාමිනේ උදේට කෝට්ටේ ඉඳලා ඇස්වාට්ටුව හරියේ තිබුණු එයා ගේ වැඩපොලට උදේ ට ගියේ ත්‍රී-වීලර් එකකයි. දවල් වැඩ ඇරිලා එන කොට නං ඉතිං, මිනිස්සුන් ව නැගිට්ටවන්නේ නැතුව සීට් එකක් ලැබෙනවා බස් එකට නගින තැනින්.

මං කාර් ගන්න හිතුවට කාර් එලවන්න ලයිසොන් තියෙනවයැ?

ඉතිං, ඉස්සෙල්ලාම කලේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් එකට ගිහින් ඒ සඳහා පුරුදු පුහුණු වෙන එකයි.

එතන උපදේශකයො කියන විදියට සපත්තු ගලවලා කාර් එලවන්න පුරුදු වෙලා, ආපහු සපත්තු දාගෙන එලවන්න පුරුදු වෙන්න තව අවුරුදු තුනක් විතර ගියා.

ගන්නවත් එකේ හොඳ කාර් එකක් ගන්න ඕනෑ කියලයි හාමිනේත් මාත් දෙන්නාම හිතුවේ.

එහෙම නැත්තං ඉතිං අද ලියන්න වෙන්නේ මේ කතන්දරේ නෙමෙයි, කට කහන කතා ලියන දුමී ලියපු එක වගේ කතාවක්.

ඕක හින්දම මං කලේ කාර් ගැන දන්න කියන යාළුවෙකුත් සෙට් කරගෙන ඉරිදා දවස් දෙකක් විතර ඔබ්සර්වර් පත්තරේ ඇඩ්ස් වල තියෙන කාර් බල බල වාත වෙච්ච එකයි.

අන්තිමේ දී ගත්තා ලස්සන රතු පාට කොරොල්ලා කාර් එකක්.

හැබැයි ඉතිං ඒ වෙනකොටත් මට ලයිසොන් එකක් ගන්න ට්‍රයල්ස් යන්න ඇවිත් තිබුනේ නැති හින්දා, ලයිසොම ලැබෙන කං, කාර් එක තවත් සති දෙකක් විතර වගේ ගෙදර වේලුණා.

ඒ රතු කොරොල්ලා කාර් එක හින්දා එදා දක්වා කරදර පිරිලා තිබුණු අපේ ජීවිත කොච්චර ලේසි පාසු වුණාද කියලා මං ඊලඟ දවසේ ලියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි:
කාර් එකක් ගන්නවා කියන්නේ අපි කාගෙ කාගේත් ලැයිස්තුවල ඉහලින් ම තියෙන 'සුළු ධනේෂ්වර සිහිනයක්' බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ නේ.

අපේ පරම්පරාවෙන් ම ඉස් ඉස්සෙල්ලා කාර් එකක් අරගෙන ඒ 'සුළු ධනේෂ්වර සිහිනය' සැබෑ කරගත්තේ මංතුමා ය කියලා කියන්න පුළුවන් ආඩම්බරයෙන්.

හැබැයි, අපි හැමෝම මේ සිහිනය සැබෑ කරගන්නා දවස වෙන කොට, කොලඹ දිස්ත්‍රික්කයේ පාරවල් සේරම, පාරවල් නෙමේ කාර් පාක් වෙනවා සිකුරුයි. මොකද කියන්නේ?

image: http://www.imcdb.org/vehicle_13825-Toyota-Corolla-E80-1984.html

Friday, 2 March 2012

කතන්දර හාමිනේ පශ්චාත් උපාධි කළ හැටි - What a cruel husband?


මේ කතන්දරේ කියෙව්වයින් පස්සේ සමහරු මට හොඳටෝම දොස් කියන්න, බනින්න, දෙහි කපන්න ඉඩ තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. කියන්න තියෙන කතන්දර කියන්න එපායැ?

පශ්චාත් උපාධි හෙවත් පස්තාච්චි වැඩේ කියන්නේ හැමෝගේම හිත යන දෙයක් නෙමේ. සමහරු මුල් උපාධිය අරගෙන කැම්පස් එකෙන් දොට්ට බහින්නේ ආයේ නං යුනිවසිටිවල පස් පාගන්නේ නෑ කියලයි. ඒත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට යුනිවසිටිවලින් එළියට බහින්නේ නැතුව එතනම ඉඳලා වයසට යන අයත්.

සමහර වෙලාවට තමන් කරන රස්සාවේ ඉහලට යන්නත් ඔය පස්තාච්චි වැඩ කරන්න අවශ්‍ය වෙනවා. එහෙම වුනත් ඒවා ගැන නොසොයා නිකං සාමාන්‍ය විදියට පොල් කඩ කඩ ඉන්න අයත් ඉන්නවා දුසිං ගාණක්.

මංතුමා කතන්දර හාමිනේබැන්දේ එතුමිය විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ජොබ් එකකට ගිය අළුතමයි. ඔය කියන්නේ මං පස්තාච්චි ඇදලා ආපු කාලේ!

ඇන්ටිගේ ඇනෙක්සියේ කල් යවලා, පස්සෙන් පහු අපේම තැනක් සෙට් කරගෙන අපි රාජා ගේ කඩේ පැත්තේ පදිංචියට ගිය කාලේ ඔන්න දවසක් කතන්දර හාමිනේට අයිඩියාස් එකක් ඇවිත් මට කතා කළා.

"කතී!"

"ඇයී?"

"මටත් හිතෙනවා කතී පෝස්ට් ග්‍රැජුවේට් කරන්න."

"ඉතිං, හරිම හොඳයිනේ."

"පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට ගිහින් විස්තර ගන්න ඕනෑ."

"ඒක තියෙන්නේ ඔයා ගේ වැඩ පොළ ලඟ පාරෙන් එහා නිකං අල්ලපු වත්තේ වගේ නේද?"

"ඔව්."

"හොඳයි, එහෙනං ලේසියිනේ."

"එහෙනං ඔයා හෙට වැඩට හිහින් පොඩ්ඩක් කලින් එනවද මගේ වැඩපොළ පැත්තේ?"

"ඇයි ඒ?"

"අපි දෙන්නටම එතකොට යන්න පුළුවනි නේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට."

"මං මොකටද? ඔයා නේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න යන්නේ, මමයෑ, ඔයා යන්න."

"අනේ කතී එන්නකෝ!"

"මට නං එන්න විදියක් නෑ. ඔයා ගේ වැඩ පොලේ ඉඳලා මීටර් දෙසීයක් දුරින් තියෙන පෝස්ට් ග්‍රැජුවේට් ඉනන්ස්ටිටියුට් එකට යන්න ඔයාට මං නැතුව බැරි නං ළමයෝ ඔයා කොහොමද පෝස්ට් ග්‍රැජුවේට් කරන්නේ?"

ඉතිං ඒ කතාව එතනම ඉවර වුණා.

හාමිනේ පශ්චාත් උපාධි ආයතනයට ගියේ නෑ විස්තර ගන්න. ටික කාළෙකට පස්සේ අපි දෙන්නා තුන්දෙනා වුණාට පස්සේ ඒ පශ්චාත් උපාධි අදහස් කාලයේ වැලි තලාවෙන් වැසිලා ගියා.

ඔන්න මිනිස්සුන් ගේ හැටි නේද! බඳින්න කලින් ලව් කරන කාලේ නං අපායට යන්න වුනත් ඒවි. බැඳලා අවුරුද්දක් ගියෙත් නෑ, මේ පොඩි ගමණක් යන්නත් එන්න බෑ කියනවා.

මිනිස්සු වෙනස් වෙන හැටි!

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මේ කතන්දරේ කියවලා හිතන්න එපා මං නරක හබියෙක් කියලා. මං හාමිනේට මෙව්ව එකක් පවා අරං දීලත් තියෙනවා නේ.

අනික මේ අද වෙනකොට හාමිනේ ඔය සේරම පස්තාච්චි ජාති සමතික්‍රමණය කරලායි ඉන්නේ. කාටද ආඩම්බර!


(image: http://www.buzzinefilm.com/reviews/film-post-grad-08272009)

Monday, 5 July 2010

නිව් ඉයර් රෙසොලූෂන් එක


හැමෝම මං වගේ නෙමේ නේ. සමහරු ඉන්නවා නරක පුරුදු තියෙන. ඒ කියන්නේ මේ සිගරැට් බොන එක, රේස් ඔට්ටු දාන එක, වගේ දේවල්. අර වෙන්ඩ මනමාලයෙකුටත් වැරදුනේ ඕවා ගැන කතා කරන්න ගිහිල්ලා.

ඒ පුරුදු නරක පුරුදු බව දන්න අය සමහරු තමන්ගේම උවමනාවට හරි, වයිෆරේ ගේ බර බරේ හින්ද හරි ප්ලෑන් කරනවා ඒවායෙන් අත් මිදෙන්න.

ඔය අතරේ තවත් අය ඉන්නවා, නරක පුරුදු නැතිවුනත් අළුතින් හොඳ පුරුදු ඇති කරගන්න ප්ලෑන් කරන අය.

මේ හැමෝගේම ටාගට් දවසක් තමයි ජනවාරි පලමුවෙනිදා.

සිගරැට් බොන උන් හිතනවා ඔන්න එදා ඉඳලා සිගරැට් බීම අතහරිනවා කියලා. බර අඩු කරගන්න දිනපතා ඇවිදින්න හිතන කට්ටියත් රනින් ෂූස් හෙම අරගෙන සෙට් වෙනවා ජනවාරි පලමුවෙනිදා ඉඳන් ඉස්කෝලේ පිට්ටනියේවත් ඇවිදින්න.

අද කතන්දරේ මේකයි.

ඔන්න දවසක් අපි කෂ්ටියක් එකතු වෙලා ඕගනයිස් කළා තර්ටි ෆස්ට් නයිට් පාටි එකක් යාළුවෙකුගෙ ගෙදරක.

ඔතන ගිහින් කාලා, බීලා, සින්දු කවි කරලා, දොලහ පහු වුණාම හැමෝටම විෂ් කරගෙන හෙම ජොලියේ ඉන්න වෙලේ පැත්තකින් ඇහුණා ලාමක ඉකි බිඳුමක්.

බැලින්නම් අපේ සුන්දර කාන්තාවක් මේ අළුත් අවුරුද්ද ලැබුවා විතර ටිකක් බෙරි වෙලා.

මේකයි වෙලා තියෙන්නේ.

අපේ යාළුවෙක් හිටියා අර "ධූම පමා දෂ්ඨානා වේරමණී" කියන්නේ නැති වර්ගයේ. බැඳපු දවසේ ඉඳන්ම හාමිනේ ගෙන් බර බරේ හින්දා, පොර ප්‍රොමිස් කරලා අළුත් අවුරුද්දේ ඉඳලා smoking වැඩේ නවත්තනවා කියලා.

එදා තර්ටි ෆස්ට් නයිට් පාටියේ දී දොලහ වදිනවා බලන් ඉඳලා අපි විෂින්, කිසින් පාරක් දාලා විනාඩි කීපයක් යන්නත් කලින් මේ හාමිනේ දැකලා තියෙන්නේ අපේ පොර ගෙදර මිදුලේ තවත් යාළුවෙක් එක්ක සිගරැට් එකක් ගහන සීන් එකයි.

පොඩ්ඩක් බලාගෙන ගියාම මෙතන තියෙන්නේ පොඩි කොමියුනිකේෂන් ඉෂු එකක්.

අපි මේ තාමත් තර්ටි ෆස්ට් නයිට් පාටියෙනේ ඉන්නේ. ඉතිං අපේ පොර හිතන්නේ තාමත් දෙසැම්බර් 31 කියලයි. පොරගේ දුම් බීම අතහැරීම පටන් ගන්නේ හෙට උදේ ඉඳලයි.

පොර ගේ හාමිනේ හිතන්නේ දැන් රෑ දොලහත් පන්නලා, විෂ් කරලා, කිස් කරලාත් ඉවරයි, මේ අළුත් අවුරුද්ද නේ කියලායි.

ඉතිං, පුදන කොටම කාපි යකා වගේ අපේ පොර නිව් ඉයර් රෙසොලූෂන් එක මුල් විනාඩි පහේ දීම කැඩුවා නේද කියල බර බරයක් දාලා ඊට පස්සෙයි හාමිනේ මේ ඉකිබිඳුම පටන් අරං තියෙන්නේ!

මං දෙන්නටම කිව්වා ඊලඟ අවුරුද්දේ ඉඳලාවත් මේ වගේ පොඩි පොඩි දේවල් ගැන වලි දාගන්නේ නෑ කියලා අධිෂ්ඨානයක් කරගන්න කියලා.

කතන්දරකාරයා

Friday, 25 February 2011

කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දුන්නු හැටි


උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ, මරණයක් කොටා ඇත නළලේ කියල කියනවනේ. උපන්න කවුරුත් මැරෙනවා, මගේ තාත්තත් මැරුණා, මගේ පුතා ගේ තාත්තත් මැරෙනවා.

ඇත්තටම කියනවා නං මගේ පුතා ගේ තාත්තා නං, මැරිල ඉපදුණා ය කියලත් කියන්න පුළුවන් බය නැතුව.

ඉතිං, කාලෙකට ඉස්සර දවසක, කතන්දරකාරයයි, හාමිනේ යි බැඳපු අළුතම වගේ, මට ආවා මේ මරණ බය. ඒ කියන්නේ, දැන් බැන්දට පස්සේ දෙන්නගෙන් එක් කෙනෙක් මැරුණොත් අනිත් එක්කෙනා තනි වෙනවා නේද කියන භයානක සිතුවිල්ල.

කවුද බලලා තියෙන්නේ "ගෝස්ට්" කියන මූවී එක? මේ මං කියන්නේ අර පැට්‍රික් ස්වාසී, ඩෙමී මෝ, වූෆී ගෝල්ඩ්බර්ග් රඟපාන චිත්‍රපටිය ගැනයි.

මේ මුවි එකේ කතාව මෙහෙමයි. ජොඩුවක් බැඳපු අළුත, මිනිහා රොබරියකට අහුවෙලා මැරෙනවා. හැබැයි ඇත්තටම මේක සෙට් කරපු එකක්. දෙන්නා ගේ ම යාළුවෙක් මේක සෙට් කරලා තියෙන්නේ මිනිහාව මරලා ගෑනිව අයිති කරගන්නයි.

මැරිච්ච මිනිහා ගෝස්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ඇත්ත එලි කරලා, තමන් ගේ හිටපු ගෑනිව, මේ කරදරෙන් බේරා ගන්න හදනවා.

හැබැයි මේ කතන්දරේ, මේ මං කියා ගෙන යනවට වැඩිය හරිම දුක හිතෙන කතාවක්.

මෙතනදී අවතාරෙට තමන් කවුද කියන එක හරියටම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ, පොර වයිෆ්ට අරං දුන්නු පුංචි තෑග්ගක් ගැන මතක් කරලායි.

ඉතිං, අර භායනක සිතුවිල්ල අතරේ, මේ කියන "ගෝස්ට්" චිත්‍රපටිය ගැනත් මතක් වුණු නිසා, කතන්දරකාරයාටත් හිතුනා හාමිනේ ට ඒ වගේ අමතක නොවෙන තෑග්ගක් අරං දෙන්න.

අන්න බලන්න හොඳ හස්බන්ඩ් ලා!

මට කෙලින් ම හිතුනේ කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දෙන්න ඕනෑ කියලා.

නමුත් ඉතිං ඔය එව්වා ගැන, මෙව්වා ගැන, මං හරියට නොදන්න හින්දා, මං හිතුවා මේ ගැන පොඩි උපදෙසක් ගන්න කතන්දරහාමිනේ ගේ බැචියෙක් ගෙන්.

මේ බැචී ත් බැඳලා කොළඹ ට කිට්ටුව හිටියේ ඒ දවස්වල.

මං කෝල් එකක් දාලා අලෝමා ගෙන් ඇහැව්වා, මෙව්ව වල හොඳ වර්ගය මොකක්ද? කොහෙන්ද මෙව්වා එකක් ගන්න පුළුවන් වගේ සරල ප්‍රශ්ණ කීපයක්.

අලෝම ගත් කටටම කියපි, "අනේ කතන්දර, හොඳ වෙලාවට ඔයා මේ කතා කලේ. මගේ හබියා ලබන සුමානේ සිංගප්පුර් යනවා. එයාට කියලා හොඳම මෙව්ව එකක් ගෙන්න ගන්න පුළුවනි. මං වැඩේ බාරගන්නං" ය කියලා.

මටත් මාර ජොලි. මේ අවශ්‍යතාවය ගැන හිතුවාම, ගන්න එකේ හොඳම මෙව්ව එකක් නේ ගන්න ඕනෑ. එතකොට සෙන්ටිමෙන්ටල් අගය වැඩියි නේ!

මං ඉතින් ඔන්න ප්ලෑන් කළා, අලෝමා ගේ හබියා තිරාන් සිංගප්පූරුවෙන් මෙව්ව එක ගෙනාවාම, හාමිනේ ව හොඳ රෙස්ටුරන්ට් එකක ඩිනර්වලට එක්ක ගෙන ගිහිල්ලා, අර නිකං චිත්‍රපටිවල තියෙනවා වගේ ම කඳුළු පනින විදියට මේ වැඩේ කොරඤ්ඤං, කියලා.

නමුත් මොකක්ද දන්නවද සිද්ධ වුනේ?

හරියටම තිරාන් කාරයා සිංගප්පූරුවේ ගිහින් ආපු දවසට පස්සෙ දවසේ ම කතන්දරහාමිනේ කොළඹ ගිය වෙලේ බැචී හම්බ වෙන්න අලෝමා ගේ ගෙදර ගිහින්.

මේ වෙන කොට අලෝම යි තිරානු යි බැඳලා අවුරුදු එක හමාරක් විතර ගිහින් පොඩි කොළු පැටියෙකුත් ඉන්න කාලේ. ඒක හින්ද ද කොහෙද අලෝමා ට මං මෙව්ව එකක් කතන්දරහාමිනේ ට අරං දෙන්න ගිය ප්ලෑන් එකේ තිබුණු සුන්දරාත්මක බව තේරිලා නෑ වගේ.

අලෝමා කරලා තියෙන්නේ "ආ මෙන්න එදා කතන්දර මට කෝල් කරලා කියපු විදියට මෙව්ව එකක් අරං ආවා සිංගප්පූර්වලින්" කියලා, ඒ මෙව්ව එක කෙලින්ම කතන්දරහාමිනේ ගේ අතට දීලා.

මං ප්ලෑන් කරපු විදිය ට ඒ තෑග්ග හම්බ වුණා නං දැනෙන්න තිබුණු තරම් ම ම නොවුනත්, කතන්දරහාමිනේ ට පොඩි පහේ ජොලියක් යන්න ඇති මේ සර්ප්‍රයිස් ප්‍රසන්ට් එක ගැන.

ඊ ලඟට වෙච්ච එකයි අති දරුණු වැඩේ!

අලෝමා කතන්තරහාමිනේ ට කියලා මෙන්න මෙහෙම.

"මතකනේ මං ඔයා ගෙන් දැන් මාස හයකට විතර කලින් ගත්තු ලෝන් එක? ඒකෙන් මේ මෙව්ව එකට ගිය ගාන අඩු කරලා, මෙන්න ඉතුරු සල්ලි. ඔන්න දැන් අපේ ණය ගණුදෙනුව හමාරයි!"

"...ආ, ආ, ආ, ආ, ආ, ආ, ආ,.. ..,හ්, හ්, හ්, හ්!!!"

-කතන්දරකාරයා

ප/ලි
ඔය අන්තිම ලයින් එකේ තියෙන්නේ එදා කතන්දරහාමිනේ ගෙදර ආවයින් පස්සේ, මංතුමා දුක් වේදනාවෙන් කෑ ගහපු සද්දෙයි.

Thursday, 16 December 2010

ස්ට්‍රෝබෙරි ජෑම් කාපු හැටි


ස්ට්‍රෝබෙරි කියන කොට මට මුලින්ම මතක් වෙන්නෙම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ස්ට්‍රෝබෙරි ගෙඩි නං ඉතිං වැඩිය කොළඹ පැත්තේ දකින්න නෑනේ. නුවරඑලිය වගේ පලාත්වල නං හැදෙනවා.

පිං කරන්න ඕනැ ඉතිං ඒව කන්න. පින පල දීලා මාත් කාල තියෙනවා නුවරඑලියේ දී.

ස්ට්‍රෝබෙරි වලින් හදන්න පුළුවන් රසම කෑමක් තමයි ස්ට්‍රෝබෙරි ජෑම්. කතන්දර හාමිනේ පොඩි කාලේ, ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න සෙන්ට්‍රල් එකට යන්න ගෙදරින් පිටත්වෙන්න කලින් කාලේ, ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා තියෙනවාලු ඕනැ පදං. සමහර විට කෂ්ටිය දැකලත් ඇති "ස්ට්‍රෝබෙරී ජෑම් ෆෝ සේල්" කියලා ගේ ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා හෙම.

මෙන්න නැන්දම්මා ගේ රෙසිපි එක.

අවශ්‍ය ද්‍රව්‍ය
ස්ට්‍රෝබෙරි කිලෝ බාගයයි
සීනි කිලෝ බාගයයි

ක්‍රමය
කුඩාවට කපන ලද ස්ට්‍රෝබෙරි වලට සීනි සහ අවශ්‍ය නම් වතුර ස්වල්පයක් දමා මද ගින්නේ රත්කරමින් හොඳින් කවලම් කරන්න. හරි පදමට සෑදුණු පසු ලිපෙන් බා උණුවතුරේ තැම්බූ බෝතලයකට දමා හොඳින් වසන්න.

ඔය කිව්වට මං දන්න කාලෙක නං කතන්දර හාමිනේ ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා නෑ. ඊට වඩා ලේසියි නේ අර කාර්ගිල්ස් එකෙන් ගත්තනං කියලයි එයා කියන්නේ!

මං පොඩි කාලේ කෑවේ නං එක්කෝ වට්ටක්කා ජෑම්. එහෙම නැත්තං තක්කලි ජෑම්. අපේ අම්මා හැදුවේ ඒ ජාති දෙක විතරයි. අපි ඉතිං පිං කරල තිබුනේ නැහැනේ ස්ට්‍රෝබෙරි හැදෙන පලාතක ජීවත්වෙන්න –ඔය කතන්දර හාමිනේ වගේ.

ඉතිං, පොඩි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණු එක්තරා සිහිනයක් වුනේ ස්ට්‍රෝබෙරි ජෑම් කන එකයි. මට අවුරුදු දොලහක් විතර කාලේ ඒකට චාන්ස් එකක් ලැබුණා.

මේ දවස්වල මං ඉස්කෝලේ නිවාඩුවට ගිහිං හිටියා අපේ පුංචි අම්මා කෙනෙකු ගෙදර. ඉතිං එහෙ ඉන්න අතරේ දවසක මායි පුංචි අම්මයි ගියා එයා ගේ යාළුවෙකු ගේ ගෙදරට.

කතා බහ, ඕපා දූප මැද්දේ ඔන්න තේ වෙලාව ආවා. තේ බොන්න කලින් එතනට ආවා ස්ට්‍රෝබෙරි ජෑම් ගාපු සැන්ඩ්විචස් පිඟානක් ම.

දැක්ක ගමන් කටට කෙල ඉනුවා කිව්වොත් -ඔබ හරි.

පැනපු ගමං මං සැන්ඩ්විච් එකක් අරගෙන මාර ජොලියෙන් කටේ දාලා කෑල්ලක් හපලා කෑවා.

බුදු අම්මෝ.. .!!!

මේ ස්ට්‍රෝබෙරි ජෑම් සැන්ඩ්විච් නෙමේ. තෙල් බේරෙන ලුණු මිරිසක් නේ පාන් වලට ගාල තියෙන්නේ. ලුණු මිරිසෙත් හොඳ බ්‍රෑන්ඩ් එක.

-කතන්දරකාරයා

ප/ලි
කොහොම හරි ඉතිං, මං මුලින්ම ස්ට්‍රෝබෙරි ජෑම් කෑවේ වෙන්ඩ කතන්දර හාමිනේව හමුවෙන්න ගිය දවසක එයාට ගෙදරින් එවල තිබුණු බෝතලයකින්.

බුදු අම්මෝ ඒවයේ රහ!

පොඩි කාලේ ඉඳල තිබුණු මගේ ස්ට්‍රෝබෙරි සිහිනය සැබෑ වුනේ එදායි!!!

Monday, 27 June 2011

රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale


ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා ගත්තු කාර් එකෙන් මං සේවය ගන්න කලින්, මට කාර් එකට සේවය කරන්නයි වුනේ. නමුත් සේරම අවසානයේ රතු පාට කාර් එකේ පස්ස සීට් එකේ තියන් පුංචි රෝස පාට දූ පැටියෙක් හොස්පිටිතාලෙන් ගෙදර ගෙනා හැටි නම් මට කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඉන් පස්සේ නං ස්පීඩ් කරලා අහුවෙලා උසාවි ගිහින් වෙච්ච රස්තියාදුවෙන් පස්සේ බොරු කියන්නත්, දඩ කන්නත්, ලොක්-අප් එකේ වැටෙන්නත් වුණා!

පස්සෙන් පහු, ගෙදර දොරේ සාමාන්‍ය වැඩවලට හෙමත්, ඒ කියන්නේ නුගේගොඩ ගිහින් එළවලු බඩු මුට්ටු ගේන්න, දෙමව්පියන් බලන්න යන්න, මේ රතු කොරොල්ලා කාරෙක අපි පාවිච්චි කළ බව කියන්න ඕනෑ.

වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!

ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.

කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.

වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.

අනික බස් එකේ යනකොට පොතක් පත්තරයක් බලන්නත් ඇහැකියි නේ!

නමුත් මං පස්සේ පුරුදු වුණා මෙන්න මෙහෙම කරන්න. ඔන්න මායි, හාමිනේයි දෙන්නා කාර් කට්ටේ ගෙදරින් පිටත් වෙනවා. මං හාමිනේ ගේ වැඩපොලේ කාර් එක දාලා, එතනින් බස් එකක එල්ලිලා මගේ වැඩපොලට යනවා.

හවස බස් එකේ ඇවිත් හාමිනේ ගේ වැඩපොලෙන් කාර් එක අරං ගෙදර එනවා. ඒ වෙන කොට හාමිනේ නං වැඩ ඇරිලා බස් එකේම ගෙදර ගොහින්.

කොහොම වුනත් ඔය පෙට්‍රල් සීන් එක හින්දා මට ඒ දවස්වල හිතිලා තිබුනේ මේ ටොයොටා එකට වඩා පුංචි කාර් එකක් ගත්ත නං හොඳයි නේද කියලා.

මගේ යාළුවෙකුට තිබුණා ඩයිහට්සු චැරේඩ් එකක්. ඒකේ පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් පාලහක් තරමට හොඳට වැඩ කරනවා කියලයි පොර කිව්වේ. නිසාන් මාච්, ටොයොටා ස්ටාලට්, හොන්ඩා සිටි වගේ ඒවගේත් ඇන්ජින් පොඩි නිසා, පෙට්‍රල් හොඳට වැඩ කරනවාය කියලයි කාගෙ කාගෙත් අදහස වුනේ.

කරුණු එලෙස නිසා, මං ඉරිද දවස්වලට අල්ලපු ගෙදර අංකල්ගෙන් ඔබ්සර්වර් එක බලන කොට ඔය කියන මොඩල්වල වාහන ගැන ඇහැ ගහගෙන තමයි හිටියේ.

නමුත් එක ප්‍රශ්ණයක් තිබුණා.

ඉස්සෙල්ලා මේ රතු කොරොල්ලා කාරෙක විකුණන්න ඕනෑ. ඒ සල්ලි වලින් තමයි මීට වඩා පෙට්‍රල් වැඩ කරන කාරෙකක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉතිං ඒකට සති ගාණක් යාවි. කොරොල්ලා එක හොයාගන්නත් මාසයක් විතර ගියා නේ.

ඉතිං, මේක විකුණලා වෙන කාර් එකක් ගන්නවා කියන්නේ මාසයක් විතර නෝ-කාර් කොම්පැණියේ තමයි පදින්න වෙන්නේ! අනික කාර් එකක් නැතුව, තව කාර් එකක් හොයාගන්න එහෙ මෙහෙ දුවන එකත් ලේසි වැඩක් නෙමේ.

මේකත් හරියට "විෂම චක්‍රයක්" වගේ එකක් හිතලා බලන කොට.

ඉතිං ඔය කාරණය හින්දාම මං වැඩේ පොඩ්ඩක් බැක්බර්නර් එකට දාලා, දැහැමෙන් සෙමෙන්, අරපිරිමැස්මෙන් කටයුතු කරගෙන යන්න පටන්ගත්තා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔහොම කාලයක් ගියාට පස්සේ තමයි මට නුගේගොඩ සුපර් මාකට් එක ලඟදී මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!

(image: http://www.countrycars.com.au/centralvictoria/car-dealer/EPSOM)