ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 13 February 2011
කතන්දරකාරයා කඩේ ගිය හැටි
මේ කාලේ ලංකාවේ භාවිතය අනුව කඩේ යනවා ය කියන වචනයට ඇත්තේ අපි පොඩි කාලයේ දැන සිටි තේරුම නොවේ.
අපේ පොඩි කාලයේ කඩේ යෑම යනු ඇත්තටම සල්ලි සහ මල්ලක් අරං කඩේ යෑම විය. මල්ලක් උවමනා වුනේ සිලි-සිලි බැග් නොතිබුණු නිසා සහ පසුව ශත පනහක් බේරා ගැණීමට අවශ්‍ය වූ නිසාය. අපේ අම්ම ලා සින්තා වැල් වලින් බෑග් වියූයේ ද මේ කඩේ යාම සඳහාය.
අද කඩේ යාම යනුවෙන් අදහස් වෙන්නේ වෙනත් අයෙකු ගේ අවශ්‍යතාවයන් මත පෙනී සිටිම යන්නයි. විශේෂයෙන් ම දේශපාලකයෙකු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් හැඳින්වීමට මේ ප්‍රකාශය යොදා ගැනේ.
මේ පද පෙරලිය වුනේ කවදාදැයි මට හරියටම කිව නොහැක. ලූෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිල යති" වේදිකා නාට්‍යයේ අඩංගු, රොඩ්නි වර්ණකුල ගයන "කඩේට පලයං චෑන් වූන්" යන ජනප්‍රිය ගීතය මේ කඩේ යෑම යන පදය ජනප්‍රිය කරන්නට උපකාරී වූවා විය හැක.
මා අවසාන වරට ලූෂන් ව දුටුවේ වසර 2000 දී පමණ වේදිකා ප්‍රසංගයක දී ඉහත නාට්‍යයේම එන "පුරුෂ භාවයයි අපේ" යන ගීතය ගායනා කරද්දී වන අතර ඊට පෙර මා ඔහු දුටුවේ 1994 ජනාධිපතිවරණ සමයේ කලාකරුවන් විසින් ඡන්ද අපේක්‍ෂිකාවකට සහය පලකිරීම සඳහා නුගේගොඩ දී පවත්වන ලද රැස්වීමක දී ය.
රොඩ්නි ව නම් මා අවසාන වරට දුටුවේ ජයලත් මනෝරත්න ගේ සුදුරෙදි හොරු නාට්‍යය බිෂොප් රඟහලේ දී නරඹද්දී බව මගේ මතකයයි.
මා වෙනත් කෙනෙකු වෙනුවෙන් කඩේ ගිය අවස්ථාවක් මගේ මතකයේ නොමැකෙන සේ සඳහන් වී ඇත. පහත දැක්වෙන්නේ ඒ අවස්ථාවේ නාට්‍යමය නිරූපනයකි.
* * * *
කඩේ යාම
=======
"ලොකු පුතේ."
"ඇයි අම්මේ?"
"ලොකු මල්ලිට හොඳටම උණ!"
"ඉතිං?"
"බේත් දුන්නා. එත් බොන්න මොකුත් දෙන්න ඕනෑ. පුතාට බැරිද ආංසිඤ්ඤො ගෙ කඩේට ගිහින් ක්‍රීම් සෝඩා එකක් ගේන්න?"
"හා!"
"මෙන්න හිස් බෝතලෙයි සල්ලියි."
"හා අම්මේ."
වේලාව හවස හයට පමණ ඇත. මද අඳුර මුළු පරිසරයම වසා පැතිරෙයි. බෝතලයක් අතින් රැගෙන වයස අවුරුදු නමයක පමණ කොලුවෙක් දෙවට පාරක් දිගේ කඩිනමින් යනු පෙනේ.
මහපාරට යන කොලුවා වමට හැරි යාර පන්සීයක් පමණ දුරින් පිහිටි ආංසිඤ්ඤො ගේ කඩේට ගොඩවෙයි.
"ක්‍රීම් සෝඩා එකක් දෙන්න."
"ක්‍රීම් සෝඩා ඉවරයි."
දැන් කුමක් කරන්නද එක් වනම හිතාගත නොහැකිව කොලුවා යලිත් පාරට පිවිසෙයි. ඉදිරියට තවත් යාර පන්සීයක් පමණ ගොස් වෙල පසුකර තවත් ඉදිරියට ගියොත් විමලසේන ලා ගේ කඩේ ඇත. නමුත් එතනත් ක්‍රීම් සෝඩා නැතිනම්?
කළ යුතු හොඳම දේ නම් පාරේ ආපසු ගමන් කර චෝක් කටා ගේ කඩය පැත්තට යාම බව කොලුවා තීරණය කරයි. එය කිලෝ මීටරයක පමණ දුරකි.
අවාසනාවට මෙන් චෝක්කටා ගේ කඩය වසා ඇත. එය බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ බුකියක ඒජන්සියක් ලෙසින් පමණි.
දැන් අඳුර හැම අතම පැතිර ඇත. පාර අවස නිවෙස් වලින් විසිරෙන්නේ කුප්පි ලාම්පු කණාමැදිරි එලි පමණකි. තවත් ඉදිරියට යාමට කොලුවා තීරණය කරයි.
ඊ ලඟට ඇත්තේ සුදා ල ගේ කඩේ ය.
"ක්‍රීම් සෝඩා එකක් දෙන්න."
"ක්‍රීම් සෝඩා ඉවරයි."
එක්කෝ මුළු ගමේම පොඩි එවුන් ට උණ ගැණී ඇත. නැත්නං, එලිෆන්ට් හවුස් ඒජන්ට් ගේ වෑන් එක මේ පැත්තේ පැමිණ නැත.
අවට අඳුර කොලුවා ගේ හිතට ගෙනෙන්නේ බියකි. කොටින්, නරියන්, ඌරන් නැතත් මේ ඇනෝපිලිස් ලා අවට සරන සමයයි.
ඒ බිය මැඩගෙන කොලුවා ගේ සිතට නැගෙන්නේ උණ රෝගයෙන් පෙලෙන තම සොහොයුරාය. ක්‍රීම් සෝඩා මල්ලී ගේ ප්‍රියතම පානයයි.
සුදා ල ගේ කඩේ සිට තවත් ඉදිරියට ගියහොත් හමුවන්නේ අළුත් කඩේ ය. ඒ දුර මහ දුරක් නොවේ. ඒ අතර මැද පන්සල ද හමුවෙයි. පන්සල් හන්දියේ විදුලි පහන් කණුවක් ද ඇත. නමුත් පන්සල පසුවුණු පසු එළැඹෙන්නේ අඳුරු බිම් කඩකි.
දැන් රාත්‍රී හතට කිට්ටු නිසා අළුත් කඩේ වසා තියෙන්න ට ද, එසේ නොවුනත් එහි ක්‍රීම් සෝඩා නොතිබෙන්නට ද හොඳටම ඉඩ ඇත.
ආපසු හැරි යන්නද? අළුත් කඩේ ටත් ගොස් බලන්නද?
තීරණය ඉතා පැහැදිලිය.
පන්සල පසුකළ පසු කොලුවා පසුපස නොබලා දුවයි. ඔහු අළුත් කඩේ ට ගොඩ වෙන්නේ හති දමමිණි.
"ක්‍රීම් සෝඩා එකක් දෙන්න..."
තවත් විනාඩි පහලොවකට පමණ පසු කොලුවා නිවස ට හැරෙන පාර අසලට එන විට දකින්නේ බියපත් මුහුණින් යුතුව එහි රැඳී සිටින තම අම්මා ය.
කොලුවා ජයග්‍රාහී ලිලාවෙන් ක්‍රීම් සෝඩා බෝතලය ඇය අතට දෙයි.
නිමි.
-කතන්දරකාරයා
ප/ලි
කතන්දරකාරයා රඟපෑ තවත් නාට්‍යමය ජවනිකාවක ඡායාරූපයක් මෙතනින් නරඹන්න.
Subscribe to:
Post Comments (Atom)
අපි පුංචිම කාලෙත් ක්‍රීම්සෝඩා ගෙන්න හිස් බෝතලේ ගෙනගිය බව මතකයි...
ReplyDeleteඌරෝ නරි ඇනෝෆිලිස් ලා හිටියා කියන්නේ මේ කොයි කාලේ වෙච්ච දෙයක්ද මන්දා....
මොනව උනත් කඩේ ගිහින් තියෙන්නේ හොඳ වැඩටකනේ. උණ හැදුන මල්ලි ගේ හිත සනසන්නනේ.....
අපිත් 'ඉලංදාරියාට' කඩේ ගියා. ක්‍රීම් සෝඩා බෝතලෙත් ගත්තා. තව දෙන්න විතරයි තියෙන්නේ.
ReplyDeleteඅපේ ඉල්ලීම අපේ බ්ලොග් එකේ ඇරුණාම පළ කළේ කතන්දරගේ අඩවියේ කමෙන්ටුවක් හැටියට පමණයි. හේතුව සැලකිය යුතු පමණ අනේවාසික පාඨක පිරිසක් කතන්දරට සිටීම. අනෙක් හුඟාක් බ්ලොග් වලට ඇත්තේ දේශීය පාඨක පිරිසක් පමණයි. ලංකාවෙ ඉන්න අපට කොහෙන්ද ඩොලර්? (අප එහෙම හිතුවාට ලංකාවෙනුත් සැලකිය යුතු තරමේ ඩොලර් ආධාර ලැබුණා!)
අපේ ඉල්ලීම මෙතැනින් දැකලා කවුරුන් හෝ 'අපට කඩේ ගියා' නම් ස්තූතියි.
- Taboo
තව ටිකක් ගියානං එලිපන්ට් හවුස් ෆැක්ටරියටම යන්න තිබුණ.
ReplyDeleteමමත් ආසම බිමක් තමයි ක්‍රිම් සොඩ...
ReplyDeleteඇයි පොටෙලො...
සංවෙදි කතාවක්...
මට එපාම කරපු දෙයක් තමයි කඩෙ යන1ක....
ඉස්සර පොතටනෙ බඩු ගන්නෙ....
ඩයස් කඩෙ තියන එව තමයි අපි ගන්නෙ...
දැන් අපෙ පැත්තෙනම් එ සංස්කෘතිය වෙනස් වෙලා..
ස්ටොස් දැන් සුපර් මාකට් වෙලා...
මට හිතෙන හැටි
ReplyDeleteකඩේ යෑම ප්‍රධාන අකාර දෙකකි
1.නොදැන කඩේ යාම
2.දැන කඩේ යාම
මින් වඩාත් භයානකම හා හානිදායකම වන්නේ දැන කඩේ යෑමය. මක් නිසිද යත් ඔවුන් තවත් බොහෝ දෙනෙක් නොදැන කඩේ යවන බැවිනි.
මේක තමයි අයියලාගේ උරුමය.... අවුරුදු ගානකට කලින් දුමී කඩේ ගිය හැටි සිහි උනා... හන්දියේ කඩේ පාං ඉවරවෙන්න කලින් උදේට පාං ගේන්න හැමෝටම කලින් නැගිටලා කබ පිටින් කඩේ දිව්ව කාලේ.... ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු ගමන් අම්මට සිරිකත, තරුණි සහ නවලිය පත්තර ගේන්න කඩේ ගිය හැටි, හවස තේ බොන්න පිටි ඉවර උනහම පෙරුම් පුරල පුරල හම්බ වෙච්ච බැටි කිරීමේ චාන්ස් එකත් දමා කඩේ දිවීම.....හ්ම්... මේ වැලට ඉවරයක් නැ.... තාමත් ඉතින් කඩේ යනවා....ඩ්‍රයිවර් වැඩෙයි, නාට්ටාමි වැඩෙයි....
ReplyDeleteපින්තූරේ ඉන්නේ කතන්දර වෙන්න ඇති. ඒ දවස්වල නම් හරිම අහිංසක පාටයි. ඒවගේම ඒ දවස්වලත් කරලා තියෙන්නේ කඩේ යන එකමනේද? ඒ උනත් මල්ලිට 'ක්‍රීම් සෝඩා' ගන්න බයේ ගිය හැටි ඇහුවාම හරියට දුක හිතෙනවා.
ReplyDeleteමම හරි කැමති අයිස් කෝපි බොන්න. දුවලා, දුවලා කඩේ ගිහින් අයිස් කෝපි එකක් ගෙනෙල්ලා දෙන්න පුලුවන්ද? සල්ලි පොලියත් එක්ක ආවාම දෙන්නම්.
ඔච්චර මහන්සි වෙලා කඩේ ගියේ කතන්දර කාරයටත් බෝතලෙන් බාගයක් කොමිස් විදිහට හම්බ වෙන හින්දලු නේද ?
ReplyDeleteකතන්දර කඩෙන් නයට බඩු අරන් පොලු තියලා නැද්ද?.
ReplyDeleteඅපේ තාත්ති මන් පොඩි කලේ කඩේ එක්කගෙන යනවා පුරුදු කරන්න ... මම ඉතින් බඩු ලිස්ට් එක ගන්න හැටි බලාගෙන ඉන්න ඕන.... හරිම ආසා නැති වැඩක් ඒක නම්.
ReplyDeleteමේ පින්තූරෙ ඉන්න කාලෙ වෙන්ටැ ඔය ළමයා කඩේ ගියෙ.. කොච්චර පුංචි කලෙ උනත් හිතට දැනෙන දෙයක් උනොත් ඒක අමතක වෙන්නෙ නැහැ නේද?
ReplyDeleteකුමාරිහාමිගෙ කොමෙන්ට්ස් දෙකකම දැක්ක අය්ස් කෝපි ගැන,මට නං අය්ස් කෝපි එපා වුනා රිසෙප්ෂන් හෝල් එකක තිබුන මගුල් ගෙදරක කතා පවත්වන අතරෙ දුන්න අය්ස් කෝපි වීදුරුව නිසා, අර රත්ගමය කියනවා වගේ "ඉකේය්ය" තමා, මතක් වෙනකොටත් බඩ දඟලනවා.
ReplyDeleteTaboo,එකතු වෙන හැම චුට්ටම ඉලන්දාරියට කොච්චර වටිනවද, සමහර අනේවාසිකයො පොරොන්දු වෙලා තියෙනවා උදව් කරන්න, ඒ උදව් බින්කු හරහා හරි කෙලින්ම හරි ඉලන්දාරියට ලැබෙන්න සලස්සනං.
කතන්දර, අපේ ගෙවල් ගාව තිබුන "බඩාගේ කඩේ" කියල එකක්, ඉතින් නම හැදුනේ කොහොමද කියල කියන්න ඕනේ නැහැනේ.මම ඉතින් කඩේ යන්නේ පැනල ඒ කාලේ, "බඩාගේ කඩේ" ඉස්සරහම තිබුන පුන්නක්කු ගෝනියක්, ඒකෙන් කෑල්ලක් දෙකක් කටේ දාගන්න එක ඇරුනම,(උරු ගති ඒ කාලෙත් තිබිල තියෙනව) බඩාගේ දුවෙක් හිටිය "කපාපු ජෙම්" වගේ. බඩා මැරුණට පස්සේ තමය් දන්නේ {මරණ දැන්වීම් වලින්} බඩාගෙය් අපෙය් වාසගම එකය් කියල. අපි ඉතින් ඒ පලාතට පිටින් ඇවිල්ල පදිංචි වෙච්ච කස්ටිය, නෑදෑ කමක් නං තිබුණ නැහැ, හැබය් පුංචි කාලේ හිතපුව හරි ගීයා නම් බඩාගේ දුව තමය් Mrs Observer අද. බය නැතුව මේව ලියන්නෙ Mrs ඔබ්සර්වර් නිදි මේ වෙලාවේ.
Observer මහත්තය ඔක්කොම කෙලි දාන්නෙ Mrs. Observer ට හොරෙන් නේද..?? තාමත් බයයි වගේ.. :P
ReplyDeleteපොඩ්ඩියෙ, අයිස් කෝපි බොන්න ඔච්චරම ආසනං ඔය එක එක්කෙනාව කඩේ යවන්නෙ නැතුව අර අලුතෙන් open කරපු Biri's cafe එකට යන්ට..
කැස්ස තියෙද්දී පෙරේත කමට කූල් ක්‍රීම් සෝදා එකක් බීලා ලෙඩේ ඩබල් වෙලා ඉන්නේ. අනේ ඉතින් කවුද අපට කඩේ යන්නේ?
ReplyDeleteකතන්දර විසින් පස්ස දොර වසා ජනේලෙන් ඔලුව එලියට දමා "ඔන්න අපි නෙවෙයි මල්ලි" කියා ඇත. එළියේ ඉන්නේ ද ඉදිරි දොරෙන් එන ජාතියේ බුවෙක් නම් නොවේ.
බිස්නස් ඈස් යූසුවල් වන යහපත් ලකුණු පෙනේ.
මම කිව්වෙ කතන්දරගෙ වගෙ අහිංසක කඩේ යාම ගැන නම් නෙවේ.
ReplyDeleteපන්සල ගාව ඉඳන් අළුත් කඩේ ලයිට් පේන හරියට දුවන්ඩ තියෙන අමාරුව දන්නේ එහෙම දුවපු එකෙක්ම විතරයි...
ReplyDeleteකඩේ ඉඳලා ආපහු එන කෙනෙක් හිටියේ නැත්නම් ඉතින් ආයෙත් ක්‍රීම් සෝඩා බෝතලේ හයියෙන් අල්ලගෙන එක හුස්මට පන්සල් හන්දියේ ලයිට් කණුව පේන දුරට... :)
පුද්ගලික ප්‍රශ්ණයක් කතන්දර, අද ඉන්නෙත් ඒ ලොකු පුතයි ලොකු මල්ලියි ද...?
අද කාලේ “කඩේ යන” හැටි ගැන සඳහනක් මුලින් ම කරන ලද්දේ දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් වන මෙරිල් පෙරේරා විසින් ලියන ලද ‘සැබෑ පත්තරකාරයෝ” පොතෙන් යැයි මම සිතමි.
ReplyDeleteකතන්දර වාලාට කියන්න මාත් කඩේ ගිහින් තියෙනවානේ.
ReplyDeleteපොඩි කාලේ නම් ඉතින් හරිම කැමැත්තෙන් කඩේ ගියා මට හම්බවෙන බෝනස් එක ගැන හිතලා. ( ඒ කාලේ ඕක පොල් හකුරු, ජුජුබ්ස්, හා ඉඟුරු විස්කෝතු වෙන්න ඇති) ඒත් වැඩි කාලයක් කඩේ යන්න උනේ නෑ මට.
අන්තිම කාලේ නම් කඩේ ගියා නම් ගියේ නොදැන තමයි. මොකටද ඉතින් බොරු කියන්නේ හරි හමන් අවබෝධයක් ගත්තට පස්සේ අනිත් අය වෙනුවෙන් කඩේ යන එක මම නතර කලා. කඩේ ගියත් අර ටැබූ කීවා වගේ හොඳ අරමුණකින් විතරමයි.
ඒත් ඔය කොයි තරම් උත්සාහ කලත් අපි වගේ අය හැමදාම කාට හරි කඩේ යයි.
@ Observer,
ReplyDeleteඔයා ගෙදර හදන රස අයිස් කෝපි බීලා නැති හන්දයි ඔහොම කියන්නේ. අර Mrs. Observer තාමත් නිදිනේ. බඩා මුදලාලිගේ දුව Mrs. Observer කරගත්තානම් මෙලහකටත් ඔයාට අයිස් කෝපි ඇතිවෙන්න පොවලා ඔයාගෙත් ලොකු බඩක් ඇවිත්.
@ බූරෝ,
එයා නැති හින්දනේ කතන්දරව කඩේ අරින්න හදන්නේ...එයා උදේ හවහා රස කෝපි හදලා දුන්නා නම්, වෙන කවුරුත් කඩේ යවන්න ඕනේ නෑනේ.
එහෙනම් කතන්දරත් කඩේ ගියා?
ReplyDeleteපොඩි කලෙ ක්‍රිම් සොඩ බිවුවට ලොකු ලමයින්ට ක්‍රිම් සොඩ හොද නැ...
ReplyDeleteමොනව හරි සැර ජාතියක් කවලම් කරල තමයි බොන්නෙ...
ඊට පස්සේ අයියා කඩේ ගියේම නෑ? ඇයි දෙයියනේ කතන්දර හාමිනේ .. අරක ගෙනෙන් ක.කා... මේක ගෙනෙන් ක.කා...කිව්වම කඩේ ගියේම නැතෑ?
ReplyDelete@All
ReplyDeleteදැන් මේ ප්‍රතිචාරවලට ප්‍රතිචාර දෙන්න කල් වැඩියි.
සියළු දෙනාටම ස්තුතියි.
අරුණි කියු මෙරිල් පෙරේරා ගේ පොත අරගෙන බලන්න ඕනෑ.