ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 13 December 2010
අම්මා ට ටී.වී. එකක් - To Mother with love
ආදරය කරන කෙල්ලට නං පුදයි ජීවිතේ
පව් නේද? මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ!
අහල තියෙනව නේද ඒ සින්දුව. මං හිතන්නෙ ඒක කියන්නෙ, මැක්ස්වෙල් මෙන්ඩිස්. අද මං මේ කියන්න යන කතන්දරයට අදාල හින්ද මට හිතුන ඒ සින්දුවෙන් පටන් ගන්න.
මේ කතන්දරය තරමක් වෙනස් එකක්. මගෙ වෙන බහුතරයක් කතන්දර වගෙ උපහාසාත්මක එකක් නොවේ. අම්මලා ගැන කවුද උපහාස, අපහාස කතා ලියන්නෙ නේද? (ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා කතන්දරේ පොඩ්ඩක් අමතක කරමු කෝ!)
මේ කතන්දරේ ලියන්න මූලිකම හේතුව වුනේ මගේ හිතවත් බ්ලොග්කාරියක් වන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකේ කාළෙකට ඉස්සර තිබුණු කතාවක්.
මගේ පුතා හරි හපනා පනම් තුනක් පඩි කනවා ඉන් පනමක් මට දෙනවා කියන කවිය ඇත්තක් කරන්න පොඩි කාලෙ හිතාගෙන හිටියට, තුන්වැන්නී හෙවත් මනෝ තාමත් අම්ම දෙන සාරි අඳිනව මිසක් අම්මට හරි හමං තෑග්ගක් අරං දීල නෑ වගෙයි එදා ඒ කතාවෙන් මට තේරුනේ.
ඒ කතාව කියවල ටික දවසකට පස්සෙ උපුල් සන්නස්ගලකාරයා තමන්ගෙ අම්ම ගැන සිළුමිණ ට ද කොහෙද කියල තිබුණ කතාව මං කියෙව්ව. පොර ට කොච්චර බර තිබුණත්, අම්ම ජීවත්ව ඉන්න කාලෙ, අම්මට ආදරෙන් සලකල නෑ වගෙයි දැනුනෙ.
අම්ම මළා ට පස්සෙ වෙන අයට අගස්ති මාල අරං දීල ඒ දුක ගෙවාගන්න පුළුවන්ද?
ඒ මාල දානයත් පොර කරල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ඉන්දියාවෙදි. ඉන්දියාවෙ අගස්ති මාල වලට සැපයුම හොඳ ඇති ඉල්ලුම ට වඩා.
අනුංගෙ කතන්දර වලින් පස්සෙ මෙන්න මගේ කතන්දරේ.
අම්මල පුතාලට කොච්චර ආදරේද කියල අමුතුවෙන් ලියන්න ඕනැ නෑනෙ. පවුලෙ ලොකු පුතාට ඒ ආදරේ තවත් වැඩියි කියලයි මං හිතන්නෙ.
නමුත් ඉතිං, ලොකු එකාට නංගිල මල්ලිල හිටියොත් ඉතිං අම්ම කෙනෙකුට ඒ ආදරේ වැඩිකල් දක්වන්න වෙන්නෙ නෑ.
මං පොඩි කාලේ ඉඳලම දැකල තියෙන්නේ අපේ පවුලේ පොඩි එකා අම්මට හුරතල් වෙනව විතරයි. පොර තමයි පොඩි කාලේ හැමදාම අම්මට තුරුළු වෙලා නිදාගන්න ගියේ හෙම.
මට ලැබුනේ ඇඳේ බිත්තිය අයිනේ කොණ තමයි හැමදාමත්!
පිරිමි අපිට, අපේ තාත්තලා පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් කරපු දේවල් වලට කළගුණ සැලකීම ලේසියි වැඩක්. අපිට කරන්න තියෙන්නේ අපිත් අපේ දරුවන් ට හොඳ තාත්තලා වෙන එකයි.
මේ අහස්ගව්ව බ්ලොග්කාරිය නොකළාට අම්මලාට හැකි පරිදි තෑගි බෝග අරන් දෙන එකත් අපේ යුතුකමක්. අඩු ගණනේ අවුරුද්දටයි, අම්මගේ බර්ත් ඩේ එකට වත්.
ඔන්න, මං කැම්පස් එකෙන් අවුට් වෙලා, ස්ථිර රැකියාවකට ගිහින් අවුරුද්දක් විතර යනකොට මට සිස්සස්සයක් ලැබුණා පස්තාච්චි අදින්න යන්න (හෙවත් පශ්චාත් උපාධියක් කරන්න යන්න). වැඩ කලේ රාජ්‍ය අංශයේ සංස්ථාවක නිසා අවුරුදු දෙකකට විතර පඩිත් එක්ක නිවාඩු ගන්නත් පුළුවන් වුණා.
පර්සනල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇහුව්වාම තමයි මතක් වුනේ නිවාඩු ඉන්න කාලේ පඩිය යවන්න බැංකු ගිනුමක් ඕනැ බව. ඒ වෙනකං කලේ, මාසෙ විසිපස් වෙනිද හම්බ වෙන පඩි පැකට් එක කමිසෙ උඩ සාක්කුවේ දාගෙන, ඊලඟ මාසේ පඩිය හම්බ වෙනකං වියදම් කරපු එකයි.
ඔන්න ඉතිං රට පැටවෙන්න දවසකට කලින් ලංකා බැංකුවේ ගිනුමක් දාලා, ඒ ගිනුමෙන් තාත්තගේ ගිනුමට සල්ලි ටික යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දැම්ම.
තාත්ත ගේ ගිනුමට සල්ලි ටික යන්න දැම්මෙ, ඒ දවස්වල තමයි තාත්ත අපේ ගෙදර හැදුවේ. ඒ වැඩපල වලට ගන්නයි.
ඉතිං, මං අර තායිලන්තෙ පස්තාච්චි ඇද ඇද ඉන්න කාලෙ, සංස්ථාවෙ පඩි වැඩි කළා අපි හැමෝගෙම. පඩි වැඩි වුණාට ඉතිං බැංකුවේ ස්ටෑන්ඩින් ඕඩර් එක වෙනස් කලේ නෑනෙ. අවුරුදු දෙකක් විතර ගිහින්, උපාධි ලෝගු දාල ෆොටෝ අරගෙන ආපහු ලංකාවට එනකොට මෙන්න බොලේ මගේ ගිනුමේ සල්ලි ටිකක් ඉතුරු වෙලා.
ගෙදර ආපු දාට පස්සෙන්දම මොකද දන්නවද කලේ.
ගියා බැංකුවට, ගත්ත සල්ලි ටික, එතනින් සිංගර් එකට ගියා, ගත්ත ඒ සල්ලි වලින් ගන්න පුළුවන් ලොකුම ටී.වී. එකයි, ඇන්ටෙනා එකකුයි. යාන්තං, ත්‍රී-වීලර් එකට රුපියක් දෙසීයක්(+) විතර ඉතුරු වුණා.
වීරය වගේ ගෙදර ඇතුලට ටී.වී. එක අරං ගිහින්, වොරන්ටි කාඩ් එක අම්මට දීල වැඳපු වෙලේ මගේ හිතට ආපු සන්තෝශය කියල නිම කරන්න බෑ.
ඒ වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ මගේ නම නෙමේ, අම්මගේ ම නම කියල දැක්ක වෙලේ, අම්මටත් ඒ වගේම සතුටක් දැනෙන්න ඇති.
දැන් මෙන්න එඩ්වර්ඩ් ජයකොඩි ගේ ගීතයකින් කොටසක්.
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන්
-කතන්දරකාරයා
ප/ලි
සින්දුවකින් පටන් අරගත්තු මේ ජීවිතේ සින්දුවකින්ම අවසාන කළා වගේ අපේ මුළු ජීවිතේම එකම ගීතයක් කරගන්න පුළුවන් නම්?
Labels:
අම්මා,
ටී.වී.,
තනිකඩ සමය,
පස්තාච්චි සමය
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්ම්...දරුවන්ට අසීමිතව ආදරේ කරන්න පුලුවන් අම්මලටම විතරයි.අපේ අම්මා අවුරුදු 30ක රාජ්‍යසේවයෙන් පස්සේ එන මාසේ විශ්‍රාම යනවා. මට තාම හිතාගන්න බැහැ රස්සාවකටත් යන ගමන් කාගෙවත් උදව්වක් නැතුව අපි දෙන්නෙක් බලාගත්තේ ලොකුමහත් කලේ කොහොමද කියලා .පශ්චාත් උපාධි පිට උපාධි ගත්තත් මට විස්වාසයි ඒතරම් දෙයක් මට කරන්න බැරි බව
ReplyDeleteතෑගි නැතුවාට ඉඳහිටක කතා කරලා සුව දුක් අහනවා නම් අම්මලාට ඒ ඇති!
ReplyDeleteඔක්කටම කලින් කියන්න ඕනි , මෙච්චර කල් උපහාසය කැටිවුන හිනා වෙන දේවල් ලීව කතන්දර ළඟකදි ඉඳල වෙනස් වෙලා. . .
ReplyDeleteකතන්දර කියන ජොලි හිත ඇතුලෙ හිර වෙලා තිබ්බ සංවේදි හිත එළියට එන්න පටන් අරන්. ..
කතන්දර පරණ පුරුදු බිමට පය ගහපු ගමන් ඒ පොළවේ තිබ්බ සාරය කකුල් දිගේ පටන් අරන් කතන්දරගෙ මොළයට වගේම හදවතටත් රිංගලා...
ඉතින් ...කතන්දර මාත් බැලුව සන්නස්ගලගේ ලිපිය .. ඒ විශේෂාංගයේ තියෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ මෑණිවරුන් ගැන...ඔයා දන්නවද සන්නස්ගලගේ ඒ ලිපිය මම අරන් තියාගෙන ඉන්නව. ...
ඒකේ තැනක තිබ්බ සන්නස්ගල රස්තියාදුවේ ගිහින් ගෙදර ඇවිත් ගෙදර කුස්සියේ තිබ්බ එකම රොටිය ගිලල දාලා ආයෙත් රස්තියාදුවෙ යන්න එළියට බහින කොට අම්මා කියනව " අන්න පුතේ රොටියක් පුච්චල ඇති.මටත් බාගයක් තියල උඹ කාහන්" කියල. ඒ වෙලාවේ තමන් හරිම කාලකණ්නියෙක් කියල එයාට හිතුනලු. කාපු රොටිය වමාරන්න හිතුනලු....
මගේ තාත්තා කොච්චර රෑ වෙලා ගෙට ගොඩ වෙලා බත් එක අතට ගත්තත් ඉස්සෙල්ලම අහන්නේ " ඔයා කාලද , දරුවො කාලා ද" කියල. ඒ වදන් වල තියෙන වටිනාකම කොච්චර ද කියල මට දැනුනෙ සන්නස්ගලගේ ලිපිය කියෙවුවම...
අනිත් කාරණේ තමයි කාර්ය බහුල ලෝකේ අපිට ආදරේ කරන බොහෝ අය අපිට මඟ ඇරෙනවා... ඒත් අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ මඟ ඇරුණොත් . ...?????
ඒ වගේම කතන්දර කියන මෙන්න මේ කාරණා සම්බන්ධව 100%ක් මම එකඟයි. (අත්දැකීමෙන් )
01)//පවුලෙ ලොකු පුතාට ඒ ආදරේ තවත් වැඩියි කියලයි මං හිතන්නෙ. // (ඇත්ත ..දූලටත් එහෙමයි.මම අපේ පවුලේ "ලොකු පුතා"
02)මං පොඩි කාලේ ඉඳලම දැකල තියෙන්නේ අපේ පවුලේ පොඩි එකා අම්මට හුරතල් වෙනව විතරයි. පොර තමයි පොඩි කාලේ හැමදාම අම්මට තුරුළු වෙලා නිදාගන්න ගියේ හෙම. (සහතික ඇත්ත)
03)වීරය වගේ ගෙදර ඇතුලට ටී.වී. එක අරං ගිහින්, වොරන්ටි කාඩ් එක අම්මට දීල වැඳපු වෙලේ මගේ හිතට ආපු සන්තෝශය කියල නිම කරන්න බෑ.( සහතික ඇත්ත)ඒත් මම අරන් දුන්නෙ නම් ටීවී එකක් නෙමෙයි.
ඉතින් කතන්දර
//ජීවිතේම එකම ගීතයක් කරගන්න පුළුවන් නම්? //
බැහැ .... ජීවිතේ කියන්නේ ගීත වල එකතුවක්.... ඒ අතර
සෝක ගීත
යුග ගිත
විරහ ගීත
පෙම් ගීත
බජවු
රිමික්ස්
මධ්‍ය ලය ගීත
විරු ගීත
පොප්
රැප්
කිසිම තේරුමක් නැති කාලයක් නැති ගීත
ළමා ගීත
.....
.....
....
ගොඩයි නේද..... කතන්දර පියාඹලා ආපහු ගියාම මේ මත් ගතිය ටිකක් දුරට අඩුවෙයි කියල මම හිතනවා....
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅතමිට කාසි පනම් ඇති විට
ReplyDeleteඑතකොට ගෑනුත් ඇති වටපිට
එයල අතමිට නැති දා හැර යයි යන්නට
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට
සමහර තරුනො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කලා
ගෑනු ඕනෙතරම් ලෝකෙ හරිම කරදරේ
"එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ": )
මමත් පළවෙනි පාර රට ඉඳන් එනකොට ලොකුම ලොකු ටී වී එකක් ගෙනත් දුන්නා.... එදා අපේ අම්මගේ මූණේ ඇඳුණු හිනාවත්.....
ReplyDeleteමමත් ඔය ටිවී වැඩේ කලා. ඒ ඇරෙන්න අම්ම තාත්ත දෙන්න දුරක හිටියත් ඒ දෙන්නගෙ ඔක්කොම වියදම් බලාගන්නෙ මම. මම නම් හරියට සතුටු වෙනව ඒ අය අපි වෙනුවෙන් කරපු දේවලට මෙහෙම හරි කලගුන සලකන්න අවස්තාවක් ලැබුන එක ගැන.
ReplyDeleteඅතේ සතේ නැතත්, අම්ම පුතේ කියනවලුනෙ.
ReplyDeleteකතන්දර හරිම සංවේදී කතාවක් ලියල තියෙන්නේ. මාසික වැටුපෙන් පොඩි දෙයක් උනත් අම්මාට ගෙනත් දෙනවනම් ඇගේ සිතේ ඇතිවන සතුට මම නිතරම අත් දකින දෙයක්. පත්තර වලට පිටු ගණන් මවු ගුණ ලියන අයට සැබෑ ජීවිතයේ කරන්න බැරිවෙන (සමහර විට සිතා මතා මගහරිනවා වෙන්න පුළුවන්) දේ අපේ බොහෝ දූ දරුවන් අතින් ඉටුවෙනවා. ඒවා කරලා විතරක් මදි මේ කතන්දරේ වගේ නොකරන අයට ආදර්ශයට ගන්න සමාජයට පෙන්වා දෙන්නත් ඕන. අපි ගුන සම්පන්න ජාතියක් කියල අපි කිව්වට මදි. ඒවා ප්‍රායොගිකව කරන්න බැරිනම්.
ReplyDeleteඅම්මාගේ ගැන කියා ඇති දේ මේ වචන කීපයෙන් මහා පොතක් තරම් වගේ මට දැනෙනවා.
කතන්දරගේ අදහස් එක්ක 100% ක් එකඟයි. අම්මා තාත්තාගේ ආදරේ කරුණාව තේරුම් ගන්න එක තමයි පුතෙක් දුවෙක් හැටියට ඒ ගොල්ලන්ට සළකන්න පුළුවන් හොඳම විධිය. මොකද ඒක තේරුම් ගත්තට පස්සෙ ඒ ආදරයට කරුණාවට ප්‍රති උත්තර දීම නිකම්ම සිද්ධ වෙනවා. අනික තමයි තමනුත් මවක් හරි පියෙක් හරි උනාම තමයි වඩාත් ගැඹුරින් තමන්ගේ දෙමව්පියන් ගැන හිතෙන්නෙ. මොනවා කළත් බහුතරයක් දෙමව්පියන් තමන්ගේ දරුවන්ගෙන් වන්දියක් නම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ අර “අත දෙන්නම් තාත්තේ...“ සින්දුවෙ වගේ.
ReplyDeletekaka kiyapu kathawa matath hugak smeepai ... mama job eakak karanna patan gaththea aw 17 di .. gedarin ugannanna try kalath mata hoda jobak set wuna nisa eaka kala ... exams private kala ... mama mulma padiya ammata genihin deepu dawasea ammagea muhunea thibunu hinawa mata thama mathakai ... :)
ReplyDeleteමේකට මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ. හරිම සංවේදී සටහනක්. දෙමාපියන්ට මොනව හරි දීලා ලබන සන්තොසෙ කියල නිම කරන්න බෑ. අම්ම වෙනුවෙන් දෙයක් අරන්දීල විඳාපු සන්තොසෙ මම ගිය සතියෙත් වින්දා. ඒත් අපි වෙනුවෙන් දුක් මහන්සි උන තාත්තා වෙනුවෙන් ඒ දේ කරන්න බැරි උන එක ගැන තියෙන්නෙ හරිම දුකක්.
ReplyDeleteමමත් ඔය අම්මා සතුටු වෙනවා බලලා හිතේ ඇතිවෙන හැඟීම හොඳට දන්නවා.. මම හිතන්නේ ඒක මහා පිනක් කියලා
ReplyDeleteනිවාඩුවට ගෙදර යනකොට මාව දැක්ක ගමන් අම්මට ඇඬෙනව....සන්තොසෙ වැඩි කමට....මම ආයෙත් මාසෙකින් එනකොට අම්මයි තාත්තයි දුක් වෙන තරම මතක් වෙන මොහොතක් පාසාම හිත කීරි ගැහෙනව.....එයාල අපිට කරපුව (රජයෙ රස්සාවල් කරල ගෙවල් හදල, දරුවො 4 දෙනාම සුපිරිම පාසල් වල උගන්වල....කසාද කරල දීල....)අපිට කරන්න හිතන්නවත් බැහැ.
ReplyDeleteඑ සතුටනම් කියල වැඩක් නැ..
ReplyDeleteමම මුලින්ම අරන්දුන්නෙ රෙදි සොදන යන්තරයක්..
ටෙලිවිසන් 1කකුත් අරන්දුන්න..
තාත්තට විඩියො කැම් 1ක්..
රට ආවට පස්සෙනම් ගෙදර ඔක්කොම බඩු මම අරන්දිපුව තමයි..
ඔව් අයියට වැදිය හුරතල් උනෙ මම තමයි...
හැමදාම ලොකු කැල්ල මට...
වැඩෙ කියන්නෙ ඓයත් ඔන දෙක කැල්ලක් මට දෙනව...
එ ජිවිතයනම් සුන්දරයි...
මම ලංකාවට යන්න සැලසුම් කරල තියෙන්නෙ එදෙන්නව බාලාගන්න...
මම කරපු ලොකුම දෙ එදෙන්නව මගෙ ලග (පිට රට) ටික කාලයක් තියාගත්ත එක..
ඒ වෙලාවට අම්මලට නෙමේ අපිට ඇති වෙන සතුටු කොයිතරම්ද? හ්ම්.. වචන නෑ ඒවා කියන්න. මාත් ඔය වගේ හොඳ වැඩ දෙක තුනක් කරල තියෙන නිසා මාත් දන්නවනේ...
ReplyDeleteඅපේ ගෙදර නම් ඔය පින මුලින්ම කර ගන්න ලබුනේ නංගීට.
ReplyDeleteඑයා බැඳල ගිහින් රස්සාවක් කරලා එවපු සල්ලිවලින් තමයිමුල්ම එක ගත්තේ.
අපේ ගෙදර ටී වී ගැන කියනවනම් ලියන්න කතාවක්ම තියෙනවා.
මේ කතාව ලින්ක් කරලා වෙලාවක ලියන්නම්කෝ . .
Balaagenagiyahama Ahasgawwa liyanne maara asanwedi nosandaala ekek da koheda :) balanna mee anik bolg liyanne monatharam honda lamayi da kiyalaa :)
ReplyDeleteකතන්දරකාරයාගෙ පියතුමාගෙ මළගමට සහභාගී වෙන්න ගිය වෙලේ මට වාසනාව ලැබුණා ඔහුගෙ මෑණියන් සමඟ කතා බහ කරන්න.
ReplyDelete" පුතා ලියන ඒවා මම කියවනවා " ඈ කිව්වා. මම දන්න විදිහට මේ සටහන ඈ කියවන්න ඇත්තෙ කතන්දරකාරයා අත ළඟින් සිටිද්දි. ඒ මොහොතෙ අගේ නෙතින් සතුටු කඳුළු වැලක් ගලා යන්න ඇති, සහතිකයි,,,,,,,
අයියේ මේ ඔබ ලියූ සංවේදීම සටහනක් !!!
දෙමවුපියො නිසා මම ගොඩක් දුක් වින්ද අද ඒ අය නෑ. මම තනි වෙලා ඒත් මේ සටහන තියන්නෙ දුකෙන් නෙවෙයි
ReplyDeleteසතුටින්
ඒක මිල කල නොහෑකියි
දෙමව්පියන්ට දෙන්න පුඑවන් උතුමි ධනය ඒ අය රැක බලා ගැනීම හා දහමට යොමු කිරීම වෙන කිසි දේකින් ණය ගෙවන්න බෑ
Deleteමෙහෙම දෙයක් කරන්න හිතේ තියනව. අනිවාර්ය්‍යයෙන්ම කරන ඕන දෙයක්.
ReplyDelete