Monday, 13 June 2011

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla


මගේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ හතරවන කොටසයි මේ ලියන්නේ. මං ලියපු චූ කතන්දර සීරිස් එක වගේම මේ කාර් කතන්දර ටිකත් බ්ලොග් අවකාශයේ කාලාන්තරයක් ම දනන් තුඩ තුඩ රැව් දෙයි කියා හිතෙනවා.

ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා, ගත්තු කාර් එකෙන් මුල දවස්වල මට හරිම ප්‍රයෝජන ගොඩක් තිබුණා. ඒ දිග ලැයිස්තුව මෙන්න මේ පෝස්ට් එකේ දාලා තියෙනවා.

මේ කාර් එක ගන්න මූලිකම හේතුව වුනේ අපි දෙන්නා තුන්දෙනා වෙන්න යන එකට අදාල වැඩ කටයුතු සහ ඉන් පස්සේ පුංචි පවුලේ ප්‍රවාහන පහසුකම් සඳහානේ.

කොහොම හරි මං ලයිසොම අරං මාසයකින් විතර වගේ තමා මේ ටොයෝටා කොරොල්ලා කාර් කට්ටෙන් ගත්තු මුල්ම ලොකු ප්‍රයෝජනේ ගත්තේ. ඒ තමා දරු ප්‍රසූතිය සඳහා හාමිනේ ව හොස්පිටිතාලෙට අරං යෑම.

ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)

මළ කෙලියයි කිව්වලු!

අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.

හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.

අංකලුයි ඇන්ටියි දෙන්නත් එදා හොස්පිටල් යන්නයි හිටියේ කොහොමටත්. කොහොම හරි ඔන්න අංකල් ගේ පිහිටෙන් හාමිනේව හොස්පිටිතාලෙට ගෙනිච්චා.

දරුවා පිළිසිඳ ගත්තු දිනේ ඉඳලා සාමාන්‍යයෙන් කරන්න තියෙන ඔය ක්ලින්ක් ආදී කිසිම කටයුත්තකට මං ගිහින් තිබුනේ නෑ. ඔය මහ ඉස්පිරිතාලෙ තියෙන ඇස් වාට්ටුව හරියේමයි හාමිනේ ගේ වැඩපොල තිබුනෙත්, ඒ හින්දා එයාම තමයි ඔය කියන හොස්පිටිතාල කිලිනික් වැඩ කටයුතු සේරම තනියම කර ගත්තේ.

ඒ වුනාට වැඩේ කියන්නේ, හොස්පිටිතාලෙට ගිහින් බැලින්නම් මට මේ තැන හොඳට හුරුයි පුරුදුයි වගේ.

මොකද දන්නවද? මේ "ද සොයිසා වාට්ටුවේ" දී ම තමයි මංතුමාත් මෙලොව එලිය දැකලා තියෙන්නේ!

ඉතිං හාමිනේව ඇඩ්මිට් කරලා, ප්‍රී-නේටල් වාට්ටුවකට දාලා මං වීරයා වගේ කාර් එකේම වැඩට ගියා.

ඔන්න එදා රාත්‍රියේ මං ගෙදර ඉඳලා මරදානට ඇවිත් කාර් එක කිංසි රෝඩ් එකේම පාක් කරලා, හොරෙන්ම රිංගුවා හොස්පිටිතාලේ ඇතුලට. දන්න කියන මෙඩ්ඩෝ කීප දෙනෙක් ඔතන වැඩ කරපු හින්දා අවුලක් වුනේ නෑ.

හරියටම ඒ වෙලාවේ තමයි කතන්දරහාමිනේ තියටර් එකෙන් එලියට එන්නේ. හාමිනේ මා දිහා බැලුවේ අඩ නින්දෙන්. මෙන්න ඒ එක්කම ගෙනාවා අපේ චූටි කෙලි පැටික්කී.

බබා ඇස් දෙක තදින්ම වහගෙනයි හිටියේ. රෝස පාට කම්මුල්. සුදුමැලි පාට චූටි අත්. ඇඟිලි අකුලාගෙන අත් මිට මොලවාගෙන.

මං බලා ඉඳිද්දීම ඇඟේ ඉඳලා අර චූටි අත් දිගේ චූටි ඇඟිලි තුඩු දක්වාම ඇඟ ඇතුලෙන් ලේ ගලාගෙන ඇවිත් සුදුමැලිව තිබුණු අත් සේරම රෝස පාට වුණා.

මං එදා මහ රෑ ගෙදර යනකොට ඒ චිත්‍රය නොමැකෙන ලෙස මගේ හිතේ ඇඳිලා.

පහුවදා උදේම මං ආපහු හොස්පිටිතාලෙට ආවා. උඩ තට්ටුවේ ප්‍රොෆෙසෝරියල් වාට්ටුවේ හාමිනේ ගේ ඇඳ ලඟට ගියා. හාමිනේ නෑ. ටොයිලට් එකට ගිහින්.

මෙන්න බොලේ චූටිම චූටි, රෝස පාට කෙලි පැටියෙක් පැත්තකින් නිදාගෙන ඉඳලා ඇහැරිලා "ඔහෑ! ඔහෑ!!" කියලා අඩනවා.

එදා ඉඳලා, මාසෙකට දෙකකට පස්සේ උප්පැන්නෙට නම දානකං මං කෙලි පොඩ්ඩට කිව්වේ "රෝසි" කියලයි.

දවසකට පස්සේ හාමිනේවයි, රෝසි පැටියාවයි අරගෙන මංතුමා මරදානේ සිට ගෙදර බලා වීරයා සේ ඩ්‍රයිව් කරං ආවා.

හාමිනේව හොස්පිටිතාලේ ගෙනියන දවසේ තිබුණු බය මෙදා නං මගේ සිතේ පැත්ත පලාතකවත් තිබුනේ නෑ.

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ රෝස පාට බබෙක් ගිය කතාව ඔන්න ඕකයි.

-කතන්දරකාරයා

ප/ලි:
මගෙයි දුවගෙයි දෙන්නගේම උපන් ගම මරදාන-කොළඹ 10. අපි ඉපදුන "ද සොයිසා වාට්ටුව" තියෙන්නේ කිංසි රෝඩ් එකේ මරදානේ පැත්තෙයි.

මේ වාට්ටුව පාරෙන් අනිත් පැත්තේ හොස්පිටිතාලේ ප්‍රධාන කොටස තියෙන පැත්තේ තිබුණා නම්, අනේ දුවයි මායි දෙන්නම කොළඹ 7-කුරුඳුවත්තේ උපන් දෙන්නෙක් වෙන්න තිබුණා නේද?


මීලඟට - කතන්දරකාරයා ස්පීඩ් කර පොලීසියට අහුවෙයි!

37 comments:

  1. කතන්දර අයියගේ ශෝක් දූ පොඩ්ඩ. අයියා කරපු වඩේ හරි. බයෙන් බයෙන් ඩ්‍රයිව් කරනවට වඩා හොදයි ඒක වෙන කෙනෙක්ට භර දෙන එක.

    ReplyDelete
  2. ඔය වගෙ වෙලාවට ඩ්‍රයිව් කරන්න බෑ තමා.කරන්නත් හොද නැ,මොකද හිතේ තිගැස්මෙන්නෙ ඉන්නෙ.වෙන කෙනෙක්ට දෙන එක තමා සුදුසුම.නංගි බබා නම් සෝ කිඋට් අනේ.

    ReplyDelete
  3. මිරිකන්න හිතෙනව දැක්කම... ඔහේගේ නෝනා කෙන්ති ආවම අමතන්නේ කොහෙමෙයි.. කෙන්ති ගියාම අමතන විදිය අපි දන්නව.. නෝන ෂේප් කරගන්න හැම තිස්සෙම දාන්න ඕන නෑ....

    ReplyDelete
  4. අනේ බැලුවම කතන්දර අයියයි , මමයි එක ගමේ ඈයෝ, අපි නෑයොද මන්දා :) .
    ඒ කිව්වමයි මතක් උනේ දවසක් මගේ හැඳුනුම්පත බලපු ග්‍රාමාරක්ශක අක්කා කෙනෙක් මහා සොයා ගැනීමක් කරා වගේ මගෙන් අහපි ගම මරදානෙද කියලා. මම ඔව් කිව්වා. නෑ කිව්ව නම් මා එතන නවත්තා ගන්නවා දෙකක් නෑ.
    අර චූටි දූ මුලින්ම දැකපු වෙලාව සදහටම හිතේ තියෙයි නේද?

    ReplyDelete
  5. අනේ හරිම ස්වීට් දුවෙක් කතී... හැබෑට මාතලන් අහලා තියනවා වගේ තරහා ගියාම නෝනා අමතන්නේ කොහොමද? අපටත් දැනගන්ට එක්ක කීවා නම්. එතකොට කමෙන්ට් එක කියවන්ට පටන් ගන්න කොට අපි ඉන්න මූඩ් එක කතීට දැනගත්ත හැකි.

    ඉතින් ඔය ෂෝක් කෙලි පැටියාගේ නම කීවේ නෑනේ.

    ReplyDelete
  6. අර උඩ වැඩ කෑල්ල මරු අනේ.....

    ReplyDelete
  7. සෝයි කෙලි පැටික්කි.

    ReplyDelete
  8. මගෙත් උපන් ස්ථානය "ද සොයිසා වාට්ටුව" තමයි..

    ReplyDelete
  9. සොඳුරු මතකයන්! නේද

    ReplyDelete
  10. සෝ සෝ ස්වීට් ...ලස්සන කෝලි පොඩ්ඩ..ඔය සුන්දර මොහොත නම් මතක් කර කර සතුටු විය හැකි යි මැරෙනකම්ම . දුල ගැන තාත්තල ටිකක් වැඩිය ආඩම්බරයි නේද . අපේ රෝසිත් ගෙදර ආවේ සීයාගේ කොරොල්ල එකේ . මාත් ඔය මහ ගෙදරම උපන් කෙනෙක් . ඒ විදියට අපි නෑයෝ නේ ද . කොළඹ 7 ඉපදෙන්න ලේසි නැහැ . අනික් පැත්තත් කොළඹ 10 ම තමයි. මන් දන්නා තරමින් කොළඹ හතේ රෝහලක් නැහැ . කොළඹ7 පදිංචි අයටත් උපන් ස්ථානයට ඒක දාගන්න නම් ගෙදර ඉපදෙන්න ඕන ඇති නේද .
    [අර උන්මාද චිත්‍රසේන ෆොටෝ එකයි මේකයි අලුත්ම ෆොටෝ එකකුයි එකට දැම්ම නම් ටික ටික කොණ්ඩයට වෙච්ච දේ බලා ගතහැකි .]

    ReplyDelete
  11. කෙලි පොඩ්ඩ අම්ම වගේ වෙන්නැති නේද?


    (ඔබි සහ ඔබා දෙන්නම ඉපදිලා තියෙන්නේ කොළඹ හතේ)

    ReplyDelete
  12. සෝස පාට කෙලි පොඩ්ඩ.... දැන් දැක්කම පුදුමත් හිතෙනවා. මේ තරමට බෝණික්කියෙක් වාගේ හිටිය ද කියලා...

    තාත්තල වැඩියම ආදරය කරන්නේ දූලට මද මන්ද....

    කොහොම වුනත් පුතාලත් හොඳයි තමයි.ඇඳුම් සාප්පු වලට ගියහම නම් හිතෙනවා , පුංචි කෙලි පැංචියන්ට කොච්චර ලස්සන ඇඳුම් තියද කියලා...

    පුංචි කොණ්ඩ දෙකක් , ( කාගෙ ද ඔලුවේ මලක් පිපිලා වගේ) දාලා, පාට පාට ලස්සන ගවුමක් අන්දලා... දුවෙක්ගෙ අතින් අල්ලන් , හිමින් හිමින් පාර දිගේ ඇවිදන් යන්න තියනම් .....

    ReplyDelete
  13. මගේ ඔය අත් දැකීම තරමක් දුරට කතන්දර අයියාගේ අත් දැකීමට සමානයි. මමයි දුවයි ඉපදුනේ එකම ඉස්පිරිතාලේ.අපි දෙන්නම් ඉපදිලා අම්මත් එක්ක හිටියේ එකම කාමරයේ. ඉස්පිරිතාලෙට ගියෙත් ආවෙත් කොරොල්ලා එකක.

    ReplyDelete
  14. මේ පොස්ට් එක කවද හරි දවසක රෝසි පැටියා ලොකු වෙලා කියෙව්වොත්.....එයා..එයාගේ තාත්තගේ ආදරේ දැකලා...මොන තරම් සතුටු වෙයිද...

    ReplyDelete
  15. 01. හොස්පිටිතාලෙ - අදමයි ඇහැව්වෙ.

    02. ඔන්න ඹ්කට මුණ දෙන්න හිතාගෙන තමා මමත් කාර් බලන්න ගියේ. බැලුවා විතරයි 25% කින් ගැහැව්වනේ බද්දක්.

    03. කකාගෙ කොන්ඩෙ යන්න පටන් ගත්තෙත් ඔය කාලෙම ද?

    ReplyDelete
  16. අර උඩින් දාලා තියෙන දුවන අකුරු හින්දා බ්ලොග් එකේ අමුතුම ජීවමාන ගතියක් ඈවිල්ලා තියෙනවා.

    ReplyDelete
  17. ඩෝ ඩෝ පැටිය එලියට එන්න පැය 5-6 ක වෙලේ ඉඳන් ඩෝඩෝ කලේ කැමරාවක් අටවන් ඔක්කොම රූගත කරන එක. ඩෝඩෝ එලියට ආපු අවස්තාව ඇතුලු සියල්ලම රූගත කර තිබුනත් ඉතින් ඒව නැවත බලන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි. ඉතාම පුද්ගලිකයි රහසිගතයි නෙව රූගත කරල තියෙන ඒව.

    කොල්ලොන්ට ඇඳුම් හොයන්න ගියාම නම් පණ යනව. ඩෝඩෝ හාමිනේගෙන් හැමදාමත් කනුකුනු. කෙල්ලොන්ට තියෙන ලස්සන ඇඳුම් එක්ක බැලුවහම නම් පොඩිකාලේම gender discrimination වලට ලක්වෙන්නේ කොල්ලෝ!

    ReplyDelete
  18. සුකිරි කෙලි පොඩ්ඩ. කාරෙක දාන්න බල්ලට මෙන්න ලියනවා නම් ටොපික්. අර හැප්පිච්ච එව්වා එහෙම රියලි වර්ත් නේ මේ වගේ පැසෙන්ජර් කෙනෙක් එක්ක යනවට. පුංචි දුව ජිවිතයට ආශිර්වාදයක් නේ. පුතාලත් එහෙම්ම ඇති [අපට නෑනේ]. දයාබර පියෙකුගේ සෙනෙහෙබර සටහනක්.

    ආසිරි එකේ ලියවුනු මේ කතාවේ මගේ අනුවාදය හිතෙන් කියවමින් ඉන්නේ. මං තුමා නම් උන්නේ කොරිඩෝරයේ. ලොකු කමට අද කාලේ ඇතුලට යන්න අවසර තිබ්බත් ලේ දැක්කම කලන්තේ දායි කියල බයට අපේ එක්කෙනා කිව්වා ඔයා එළියේ ඉන්න කියලා. එයා කිව්වේ එයාට එයා ගැන බය නැහැ මං ඔතන ගිහින් කලන්තේ දාන එක තරම් කියලා. ඉතින් මං හිටියේ පුදුම විස්සොපෙකින්. ඉවසන්න බැරි තැන තියටර් එකට ගත්තද කියල අහන්න ගියාම [බැනුම් ඇහුවත් කමක් නැහැ කියලා] නර්ස් කියපි මෙන්න වැඩේ ඉවරත් වෙලා කියලා.

    නෝනාගේ දුක සැප හොයලා ආදරයෙන් හා වේදනාවෙන් පිරි මුහුණ දැක බලා ගෙන, නර්ස් පස්සෙන් මං දිව්වේ මුලින්ම බබ්බු සෙට් එක දාන කාමරේට. පුංචි කමට මේකී ඉන්නවා මල් හිනාවක් දාගෙන. එදත් එදා මයි අපි දෙන්නා පට්ට ෆිට්. ඕන මදාවි වැඩකට අපි එකට. අපි දෙන්න එක්ක ගෙදර ඉන්න අනික්‌ අසරණ පුරවැසියා තමයි දන්නේ ඒකේ රඟ.

    ReplyDelete
  19. ද සොයිසා රෝහල............

    මටත් ඔය රෝහල කිසිදාක අමතක වෙන එකක් නැහැ....... දැන් අවුරුද්දයි මාස නමයයි දවස් 4ක් වෙන්න ආවා ප්‍රධානම කාරණේ සිද්ධ වෙලා.......... එදාට කලින් ඉස්පිරිතාලේ නැවතුන දා පටන්, එදා සහ එදාට පසුව සිදුවුනු සිදුවීම් සම්භාරයක් තියෙනවා ලියා ගන්න....... තාම ඒකට වෙලාවක් සහ පසුබිමක් හදාගන්න බැරි වුනා....... ඉස්මනටම ලියන්න ඕනේ ඒ දේවල්........... නැත්තං මතක බැරි වෙන්නත් ඉඩ තියෙනවා..........

    ReplyDelete
  20. ලස්සනයි දූ ැටික්කි... තාත්ත ගැන නම් කියලා වැඩක් නැහැ...

    ReplyDelete
  21. so sweet.....
    මට තව පැටියෙක් හදන්න හිතුනා......

    ReplyDelete
  22. අනේ වාසනවන්.....
    මමත් දෝණිව මුලිම්ම දැක් ගත්තෙ ලේබර් රූම් එක ඇතුලමට ගිහින් ඕං......

    ReplyDelete
  23. කසු මේ පෝස්ට් එක කියෙව්වෙ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන. හැම තාත්තා කෙනෙකුගේම අත්දැකීම් ගොඩක් වෙලාවට එක සමානයි තමන්ගේ දරුවෝ මේ ලෝකෙ එළිය දකින වෙලාවෙදි.

    දැනට මාස තුනක ඉස්සෙල්ල මගෙ චූටි දුව හම්බවෙනකොටත් ඒ හිතේ තිබිච්ච ගැස්ම තාම දැනෙනවා. ගම හාමිනේව සීසර් කරපු නිසා ඉස්සෙල්ලාම තියටර් එකෙන් එලියට ගෙනාවෙ චූටි දුවව. ඒ මේලෝකෙට ඇවිල්ල විනාඩි දයකින්. ඒ වෙලාවෙ එයා හොඳට ඇස් දෙක ඇරගෙන, කට උල් කරගෙන "මේ මොකක්ද මට උනේ !" වගේ හිතාගන්න බැරි මූඩ් එකක තමයි හිටියේ. ඒ මොහොත ගලේ කෙටුවා වගේ මගේ හිතේ තියෙනවා මම මැරෙන තුරාවටම.

    අනික චූටි දුවත් එයාගේ අම්මා වගේ සුදුම සුදු නිසා (රෝස පාට ) මමත් එයාට කතා කරන්නෙ "රෝස කුමාරි" කියලා. මේකට තමයි ජීවිතය විඳීම කියලා කියන්නෙ....!

    කසුගේ මුළු පවුලටම තෙරුවන් සරණයි !

    ReplyDelete
  24. මහත්තයෝ.. මගේ බොග වැඩ දාලා දාන්න ගොහින් නාගෙන ඉන්නේ.. ඔහේගේ ලිස්ට් එකට මම එන්නේ නෑ.. ඔහේගෙන් තමයි මට වැඩිපුරම ප්‍රේක්ශක කට්ටිය එන්නේ.. පොඩ්ඩක් සලකල බලන්න....

    තෑන්ක්ස්... හොඳෙයි...

    ReplyDelete
  25. "ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)

    මළ කෙලියයි කිව්වලු!

    අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.

    හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා."

    තේරුනාද ඇයි ගෑණුන්ටම බබ්බු හම්බවෙන්නෙ ඇයි කියල. පිරිමින්ගෙ ඇඟේ තීන හය්ය හිතේ නැති නිසා. කොටින්ම අපිට එයාලට තරං දරාගැනීමේ හැකියාවක් නැති නිසා!
    ඒකයි ලෝකෙ හොඳම දේ අපට " උගෙ අම්මයි දුන්නෙ"

    ReplyDelete
  26. Little cuty pinky.. :)

    I say "vehicles are beautiful people. "

    They are there nt jst fr transport, but to carry memories...

    ReplyDelete
  27. ඊයේ දාපු කමෙන්ටුව දැකලා කොළඹ හතේ උපන් ''මගේ ලොකුම බබාට ''දුක හිතිලා . ඔන්න මැකාති රෝහලේ උපන් සියලු බබාලා ගෙන් සමාව ඉල්ලනවා වෙච්ච වරදට . අපේ නැන්දම්මා බෑම කිව්වලු සොයිසා රෝහලට යන්න . ඊට කලින් වෙන අසනීප තත්වයකට එහෙ ගිහින් මුණ පාපු කටුක අත්දැකීමක් නිසා. 70 දශකයේ අලුත ඉපදෙන බබාලට කිසිම සහයෝගයක් ලැබුනේ නැතිලු රජයේ රෝහල් වල . දැන් වගේ පෙර හා පසු උපදෙස් ...මව් කිරි දෙන්න පෙළඹවීම් ..කෑම කැවීමට උපදෙස් මුකුත් නැතිලු. නර්ස්ල ..මිඩ් වයිෆ්ලත් හරි වසලු. දැන් නම් ඒ අතින් කොච්චර හොඳද .

    අර උඩින් යන කහ පාට කොලම ලස්සනයි

    ReplyDelete
  28. දැන්නේ දැක්කෙ උඩ තියෙන තොරන් කෑල්ල, කීප දෙනෙක් කියල තියෙන්නෙ මොකද්ද කියල බලද්දි.

    ReplyDelete
  29. //ඒ වුනාට වැඩේ කියන්නේ, හොස්පිටිතාලෙට ගිහින් බැලින්නම් මට මේ තැන හොඳට හුරුයි පුරුදුයි වගේ.
    මොකද දන්නවද? මේ "ද සොයිසා වාට්ටුවේ" දී ම තමයි මංතුමාත් මෙලොව එලිය දැකලා තියෙන්නේ!//
    හික් හික්...:D
    චූටි දූ නම් ශෝයි.

    ReplyDelete
  30. යකෝ මේකට තියෙන එකම දුක කොළඹ හතේ වෙන්න බැරි වෙච්චි එකනේ.... අනේ අනේ අයියේ...

    ReplyDelete
  31. "මං බලා ඉඳිද්දීම ඇඟේ ඉඳලා අර චූටි අත් දිගේ චූටි ඇඟිලි තුඩු දක්වාම ඇඟ ඇතුලෙන් ලේ ගලාගෙන ඇවිත් සුදුමැලිව තිබුණු අත් සේරම රෝස පාට වුණා.

    මං එදා මහ රෑ ගෙදර යනකොට ඒ චිත්‍රය නොමැකෙන ලෙස මගේ හිතේ ඇඳිලා."

    මේක තමයි මම කැමතිම කෑල්ල... හරිම සංවේදියි...

    ReplyDelete
  32. This is an unpaid advertisement [ණයට තමයි]

    ලස්සන කවි තවත් දින දින පූදින්න
    බ්ලොග් පිටු අතර සිතුවිලි සිත්තම් වන්න
    හිත්වල තියෙන හිතවත් කම් මෝරන්න
    කවි කිවිඳියනි කවි මුතු මල් වෙත එන්න

    ReplyDelete
  33. @ All
    කියපු, ප්‍රතිචාර දැක් වූ සියලු දෙනාටම ස්තුති වේවා.

    කෙල්ලට ඇස් වහ කට වහ සෙත් සාන්තියක් කරන්න තිබුණු හින්දා වෙන වෙනම උත්තර බඳින්න වෙලාවක් නැතුව ගියා.

    ඒ අතරේ ඔන්න බදාදා උදේ කතන්දරේ දාන වෙලාවත් ඇවිල්ලා.

    මීලඟට කියවන්න - කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි.

    ReplyDelete
  34. ලස්සන කෙලි පොඩ්ඩක් .........
    දැන් ඉතිං හදපියකෝ දෑවැද්ද ........

    ReplyDelete
  35. කතන්දර වෙතටයි....
    මම බ්ලොග් වලට කොමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි... එත් මම ඔයගෙ කතන්දර කියවනවා.. ඔයගේ මේ කතන්දරෙ ටිකක් පරන වුනත් ඒක කියෙව්වම මට හිතුන කොමෙන්ට් එකක් ලියන්න..

    "මං බලා ඉඳිද්දීම ඇඟේ ඉඳලා අර චූටි අත් දිගේ චූටි ඇඟිලි තුඩු දක්වාම ඇඟ ඇතුලෙන් ලේ ගලාගෙන ඇවිත් සුදුමැලිව තිබුණු අත් සේරම රෝස පාට වුණා."
    එක තමා ලස්සනම කියමන...

    මීට මාස දහයකට විතර කලින් මගෙ පුතා ඉපදුනු ගමන්ම, මම එයාව දකින්නත් කලින් මට අහුනෙ එයා අඩපු සද්දෙ...ඒ වෙලවෙ මට දෑනුනු හෑගීම වචන වලට පෙරලන්න පුලුවන් නම්.....

    ඔයාගෙයි හාමිනෙගෙයි ලස්සන දූ පොඩ්ඩට තෙරුවන් සරනයි..!

    ReplyDelete
  36. නැවත කියවා මම ද ඇඬුවෙමි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.