Saturday 11 July 2009

කාලෝ ට සීට් එක දුන්න දා


මේ කලකට ඉහත වෙච්ච සිද්දියක්.

ඒ කාලෙ මං හිටියෙ ඇතුල් කෝට්ටෙ. ඔන්න එක සති අන්ත දිනයක මං නැග්ග බංගලා හන්දියෙන් බස් එකකට බොරුල්ල ට යන්න. ඉතිරි වෙලා තිබුණු එකම සීට් එකේ මං හොඳට හරි බරි ගැහිල වාඩි වුනා.

ඊළඟට බස් එක නැවැත්තුව කොටු බැම්ම පාර (සිංහලෙන් රැම්පට් රෝඩ්) හොල්ට් එකෙන් නැග්ග කීප දෙනෙක්. එයින් එක මහත්තයෙක් මං හිටපු සීට් එක ලඟින් හිට ගත්ත. ටිකක් දැකල පුරුදු මුහුණක් වගේ පෙණුනට මුලිං මට හිතා ගන්න බැරිවුනා කවුද කියල.

මිනිහ ගෙ ගෙ අතේ තිබුන පොඩි සඟරාවක්. සිලෝන් මෙඩිකල් ජර්නල්. ඔන්න එක පාරටම මීටරේට වැටුන. මේ කවුද දන්නවද? කාලෝ ෆොන්සේකා!

මං ඊට කලින් කාලෝ ව දැකල තිබුන දවස් දෙකක් විතරයි. එක පාරක් විශ්ව විද්‍යාලෙ වැඩකදි. අනික් පාර, 1994 මහ මැතිවරණෙදි පොදු පෙරමුණට සහය දෙන්න පිහිටුවා ගත්තු කලාකරුවන් ගේ සංවිධානෙ කෂ්ටිය නුගේගොඩ දි තියපු රුස්වීමෙදි.

එදා කාලෝ ලස්සන කතාවක් කලා මට මතකයි ගිනි ගන්න ගෙයක් ගැන බුදු හාමුදුරුවො කියපු බණක් උදාහරණයට අරගෙන. කාලෝට යාළුවො කියන්නෙ ධම්මස් සවන කාලෝ කියල ලු. කාලෝ ම තමයි කිව්වෙ එදා රුස්වීමෙදි.

කාලෝ තරම් බණ දහම් දන්නෙ නැතිවුනාට මාත් ටිකක් දැනගෙන හිටිය මංගල සූත්‍රයෙ එන පූජාච පූජනීයං වගෙ කතා. ඉතිං මං සීට් එකෙන් නැගිටල කිව්ව "වාඩි වෙන්න සර්" කියල.

පොර ඒ කාලෙ අද තරම් නාකි නෑනෙ. ලැජ්ජ හිතෙන්න ඇති මං සීට් එක දුන්නහම. කාලෝ වාඩි උනේ නෑ. ඒ පාර ලැජ්ජ හිතුනෙ මටයි. ලැජ්ජාව වහගන්න මං ගියා බස් එකේ ඉස්සරහට. වෙනිං කවුද මනුස්සයෙක් මං හිටපු සීට් එකේ වාඩි වුනා.

ඉතිං බස් එක කොට්ටෙ පාරෙන් පාර්ලිමන්ට් පාරට දාල බොරුල්ල පැත්තට වේගයෙන් යන්න පටන් ගත්ත. ඔන්න එක පාරටම වැදුන ලොකු බ්රේක් පාරක්. කාලෝ ෆොන්සේකා එක අතකින් සීට් ගැට්ටක් අල්ලගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නල් එක අරං නෙ හිටියෙ. මිනිහ විසිවෙලා ගිහින් කාගෙද ඔඩොක්කුවක ඉන්ද වුනා. අනේ පව්!

පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩි වුනා නම් ඉවරයි නේද සර් කියල මට හිතුන. පොඩි හිනාවකුත් මගෙ මූණට නාවෙමත් නෑ!

කාලෝ මුලින් වැඩ කලේ කොළඹ විශ්ව විද්‍යාලෙ, වෛද්‍ය පීඨයෙ, භෞතවේදය දෙපාර්තමේන්තුවෙ. අපි දන්න කාලෙ ඉඳලම එයා මහාචාර්ය වරයෙක්. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් කියල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට අරගෙන එතන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් හදපු වෙලේ, කාලෝ ඒකෙ පීඨාධිපති වෙලා ගියා. දැන් නම් පැන්ෂන් ද කොහෙද මගෙ හිතේ.

පැන්ෂන් ගත්තට පස්සෙ වෙන්න ඇති මිනිහ පිලියන්දල පිහිටුවන්න අදහස් කරන වෛද්‍ය විද්‍යාලෙ නියෝජිතයෙක් වුනේ.

ඒ කොයි හැටි වුනත්, කොළඹ ඉඳල කැලණිය ට ගිය තවත් මහාචාර්ය කෙනෙක් වෙන නලින් ද සිල්ව ල එක්ක සංසන්දනය කරන කොට නම් කාලෝ දෙයියෙක්.

පදාර්ථය වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තියෙන පාරිභාෂික වචනයක් දාල සින්දුවක් ලියපු එකම මදෑ. අම්මා ගැන කියවෙන "පදාර්ථයට" පණ පොවා කියන ඒ සින්දුව තිබුනෙ කාලෝ ලියපු ගී අඩංගු "කාලෝ-චිත" ගී කැසට් එකේ. හැබැයි ඒක සින්දුව වැඩිය ජනප්‍රිය වුනේ නෑ. ඒ ගීත එකතුවෙම තිබුණු "රත්තරං දුවේ" කියන සිංදුව නම් හුඟක් ජනප්‍රිය වුනා.

අද ට මේ ඇති. පස්සෙ හමුවෙමු.

12 comments:

  1. අහෝ.. කාලෝ...!!

    ReplyDelete
  2. අගනා ලිපියක්! (මම හුඟක් ප්‍රමාදයි මේක කියවනකොට) කාලෝ ෆොන්සේකාගේ කතා අහන්න නං හෙන ආසයි. හොඳ රසවත් කතා කියනවාලු නෙව. ‍‍එකපාරක් කෙලිං කතාවට ආවා (සිරසේ) මරු වැඩසහන. ආයෙත් පාරක් පෙන්නුවොත් තමයි හොඳ.

    ඒක මේ කතන්දරේට අතුරු කතන්දරයක්.

    ReplyDelete
  3. I did not much concern. But later decided to read. Very simple, but it carries much. It is a releaf for a busy, good luck. NSB Porak

    ReplyDelete
  4. machooo mama meka dak ke adai ??
    umba waradi deyak kiyala thiyenawa . prof. nalin de silva gana.


    eka waradi idea ekkka . meka umba dekkoth wena post ekkkka set wemu nalin sir gana katha karan na.

    ReplyDelete
  5. @Dam
    වාද කරන්න දෙයක් නෑ. මං කියල තියෙන්නේ සාපේක්‍ෂ දෙයක්.
    කාගේත් වැරදි තියෙනවා.

    මට හිතුනා කාලෝ හොඳයි කියලා නලින් ට වැඩිය ගොඩක්.
    ඒක මගේ අදහස.

    ඔයාට ඒකේ අනිත් පැත්ත හිතෙන්න පුළුවන්.

    ඒක මට අවුලක් නෑ. මොකද මට සාපේක්‍ෂව බැලුවහම ඔයා දෙවියෙක් වගේ කෙනෙක් වෙන්න පුළුවන් නිසා.

    බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. Thanks for the article but What's wrong with Prof.Nalinda Silva? When u say”nalinda silvath ekka balanakota Kalo deiyek”That means something terrible about Prof Nalin de Silva.With due respect, can we ask what he has done to u?

    ReplyDelete
  7. @Anonymous on 1 September

    My answer to your question is similar to what I wrote in reply to Dam on 11 July.

    "Nalin de Silva ekka balana kota..." means I am talking in relative terms here, that is Carlo comapared to Nalin. That does not mean there is something wrong with Nalin at all. That answers you first question.

    On top of that, everything I say is absolutely relative to my mind set on these matters. You obviously have a different view - and - I dont have any issues with your view at all.

    That is becasue, "..ma ekka balana kota oba devi kenek vennda pulivani".

    You have however made a grave mistake in your second question. I hope this is a typo. If it is not, it tells a lot about you compared to me.

    ReplyDelete
  8. කතන්දරගේ කතාව අනර්ඝයි. කමෙන්ටු වලට දී ඇති පිළිතුරු ඊටත් වඩා අනර්ඝයි.

    ReplyDelete
  9. ලින්ක් නැති ලිපි දැක්කම හිනහත් යනවා.එක අතකට මුලාරම්භය නිසා මේවට ලින්ක් දාන්නත් බැහැනේ... දැන් වත් නරකද ලින්ක් දැම්මොත් මේ පොස්ට් එකේන් සහ මේ පෝස්ට් වලට එන්න.....

    අගෙයි...

    පදාර්ථයේ ගීතය මම නම් අහල නැහැ කතන්දර ..රත්තරන් දුවේ නම් අහල තියේ...කාලෝ ෆොන්සේකා කියන්නේ නරකම නැකතක , නරකම දිසාවට මුහුණලා නිවසක් හදපු කෙනෙක් කියලයි මම පොඩි කාලේ නස් අහල තිබ්බේ..

    ReplyDelete
  10. කතන්දර,, මම දන්න තරමින් කාලෝ සෑහෙන හිස උදුම්ම ගත්ත මනුස්සයෙක්. ලෝකෙට පෙන්නන මුණ ඇත්ත ජිවිතේ නෑ. ජනාදිපති නැත්නම් ඇමති කෙනෙක් පුටුව දුන්නනම් ටක් ගාල වාඩිවෙනව. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි ලු.
    මමත් ගෙදරටම ගිහින් කතා කරලා තියනව. prof උනත් හැටි දන්න හින්ද සර් කියන නැතුව නෑදෑ කෙනෙක්ව අදුරනව කියල කාලෝ අන්කල් කියල වැඩේ කර ගත්ත..
    දැන් කාලෝ සර්ගෙ ටිකක් මොළේ කචල්. ගෙදර වැඩට ඉන්න ගෑනී ඊට හපන්. වයස හින්දද මන්ද.මෙන්ටල් ට්‍රීට්මන්ට් ගන්නවද නැද්ද කියලා නම් දන්නේ නෑ.

    ReplyDelete
  11. ලස්සනයි කතන්දරේ නම්. මම ගැනත් මොනවා හරි ඔය ඔයලගේ බ්ලොග් තඩිවල ලියහල්ලකෝ බං...

    ReplyDelete
  12. මම මේක කියෙව්වේ අද .prof . නලීන් ද සිල්වා බොහොම දක්ෂ වගේම සිසුන්ට ආදරෙන් සලකපු ආචාර්යවරයෙක් .කැලණියේ අපි හිටපු කාලේ අපේ ඩීන් .
    බොහොමයක් පරිපාලනමය ගැටළු වලදී සිසුන් වෙනුවෙන් නොබියව පෙනී හිටපු පුද්ගලයෙක්.porf . කාලෝ ෆොන්සේකා ගැන මගේ ඒ හැටි දැනීමක් නැත .
    නමුත් මෙම ලිපියේ සදහන් ආකාරයට porf . කාලෝ ෆොන්සේකා ,prof . නලීන් ද සිල්වාට වඩා හොඳ උනේ කෙසේදැයි තේරෙන්නේ නැත.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.