Wednesday 8 June 2011

කාර් එකේ පැජරොයියෙක් හැප්පෙයි! - Pajero Vs Corolla


අද මං කියන්න යන්නේ කතන්දර පවුලේ කාර් එක ගැන මෙගා සීරිස් එකේ දෙවෙනි කොටස හෙවත් පැජරොයියෙක් කතන්දරකාරයා ගේ කාර් එකට කෙලවපු හැටි ගැනයි.

ඔන්න ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, කෙල්ල හම්බවෙන්න කලින් ගත්තු කාර් කට්ට ගෙදර සති දෙකක් ම වේලුණාට පස්සේ මංතුමාට ඩ්‍රයිවින් ලයිසොන් එක ලැබුණාය කියමුකෝ.

හා, හා, පුරා කියල අපි යන්න පිටත්වුනේ හුණුපිටියේ රක්‍ෂණ සංස්ථා කාර්යාලයටයි. ඒ කාර් එක ඉන්ෂුවර් කරන්න. එතන ගිහිල්ලා, ෆෝම් පුරෝලා, කාර් එක පෙන්නලා, සල්ලි ගෙවලා, ඒ වැඩේ කර ගත්තා.

බඩ දරු අම්මාත් කාර් එකේ අරගෙන ගිය නිසා, ටිකක් විතර බයක් ආවත්, ගට්ස් හොඳ හින්දා ඒ ගමන ගිහින් ආවා කරදරයක් නැතුව.

මේ කොරොල්ලා කාර් එකට අමුතුවෙන් හයි කරලා තිබුණා පවර් ෂටර්ස් ඉස්සරහ දෙපැත්තේ ජනෙල් වීදුරු වලට. කාර් එක ගන්න මට හෙල්ප් කරපු මිත්‍රයා කිව්වා මචං මේකේ වයරින් හරි නෑ වගේ අපි මේක පෙන්නමු මගේ කාර් එකේ වැඩ කරව ගන්න ඉලෙක්ට්‍රිකල් බාස් ට කියලා.

ඔන්න අපි කතාවුණා, ඒ සති අන්තයේ ඉරිදා කිරුලපනේ දී හම්බ වෙන්න.

මං ඉතිං උදේම ඇඳ පැළඳ ගෙන කාර් එකේ නැගිලා රජෙක් සේ ආවා නුගේගොඩ හන්දිය පැත්තට කෝට්ටේ ඉඳලා. හන්දියට ඔන්න මෙන්න තියෙද්දී මෙන්න බොලේ එකපාරටම දැම්මෙ නැතෑ, පෙජරෝ එකක් ඔය සුපර් මාකට් එකට කලින් තියෙන හරස් පාරේ ඉඳලා මහ පාරට.

දඩාස්!
ක්රීරීරීරීස්!

බැහැලා බැලින්නං පෙජරොයියා ගේ බුල් බාර් එක මගේ කොරොල්ලා එකේ ඉස්සරහ පැසෙන්ජර් පැත්තේ දොර ඉරලා නිකං යකෙක් ගැහැව්වා වගේ!

මට මාර දුකයි. ඇඬෙන කෙසේ වෙතත් හිනා යන සයිස් එකෙන්.

පැජරොයියා එලවං ආවේ ඩ්‍රැයිවර් කොලුවෙක්. තවත් හාදයෙකුත් හිටියා. ජීප් එක අයිතිකාර මහත්තයා සිංගප්පූරු ගිහින් ලු.

දැන් ඉතිං අපි ඩැමේජ් එක බල බල ඉන්නවා. පැජරොයියා නං යහතිං. ඩ්‍රැයිවර් කොල්ලා බයෙන්. මොකද මහත්තයාත් රට ගිය වෙලේ නේ. ඒ මදිවට, මූ කියන විදියට පැජරොයියා ට ෆුල් ඉන්ෂුවරන්ස් කවර් එකකුත් නැතිලු!

ඔය වෙලේ කොහේද මන්දා ඉඳලා එතනට ආපු පොලිස්කාරයෙක් අපිට කිව්වා වහාම ගිහින් පොලිසියට ඇන්ට්‍රියක් දාන්න කියලා.

හොඳ වෙලාවට මගේ රතු කොරොල්ලා එකේ එන්ජිම තැලිලා තිබුනේ නෑ. ඉතිං අර වයරිං බාස් හම්බවෙන්න යන ගමන පැත්තක තියලා ආපහු හරවං ගියා මිරිහාන පොලිසියට.

පැජරොයියාත් ආවා මං පස්සෙන්.

ඔන්න ඉතිං මං පැමිණිල්ල කට වචනෙන් කියවනවා, පොලිස්කාරයා ලියාගන්නවා. ඔය අතරේ ආවා කෝල් එකක් එතනට.

ඒකට උත්තර දෙන පොලිස්කාරයා ඔව් සර්, ඔව් සර්, කිය කිය ෆුල් ඇටෙන්ෂන් එකේ කියලා මෙන්න බොලේ මට දුන්නා රිසීවර් එක.

බැලින්නං මේ කතා කරන්නේ වෙන පොලිස් වසමක ඒ.එස්.පී. කාරයෙක්. ඒ දවස්වලත් මිනිහ ගේ නම කිව්වොත් හැමෝම දන්නවා. පොර දැන් ඩී.අයි.ජී. කෙනෙක් ද කොහෙද මගෙ හිතේ. මිනිහ ගේ සින්දු නං දැන් අහපු කාලයක් මතක නෑ.

මේ ඒ.එස්.පී කාරයා මගේ කොරොල්ලාවට කෙලෝපු පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා ගේ හිතවතෙක්. මහත්තයා සිංගප්පුර් ගිහින් බවත්, දවස් දෙක තුනකින් එන බවත්, ආපු ගමන් කටයුතු නිරවුල් කරන බවත් කියන්න ලු මිනිහා මේ මට කෝල් කරන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
ඒ මොනව වුනත්, මට ඇල්ලුවේ නෑ ඒ පොලිස් ලොක්කා ගේ කතාව.

මං මේ පොලීසියේ පැමිණිල්ලක් දාන වෙලාවේ මේ ඒ.එස්.පී. කාරයෙක් මට කෝල් කරන්නේ ඇයි?

කාර් කතන්දර මෙගා සීරීස් එකේ තුන්වෙනි කොටසත් සමග සිකුරාදා හමුවෙමු.

(image: http://www.caraccidentslawyers.com.au/)

29 comments:

  1. හොරා වගේ හොඳ වාහනයක් බලලා හැප්පුවා නේද? :D

    ReplyDelete
  2. අන්න අන්න මෙගා කරන්න හදනවා...සම්පූර්ණයෙන්ම විරුද්ධයි..ලිපිය දිග වැඩිනං ඒත් කමක් නැහැ...

    ReplyDelete
  3. අයියා ඔය ලෑස්තිවෙන්නේ වැඩේ ගොඩින් සෙට්ල් කරන්න වගේ...

    ReplyDelete
  4. වාහනයක් හිමි සියළු දෙනා වෙත කරණ කාරුනික ඉල්ලීමයි....!!!

    වැඩේ ගොඩින් ෂේප් කර ගන්න බැරිනම්.. (දෙපාර්ශවයම සතුටු වන පරිදී). වහාම පොලෝසියේ පැමිණිල්ලක් දමන්න. ඇන්ට්‍රි කොපියකුත් ළඟ තබාගන්න. රක්ෂන අලාබය ගැනීමට යාමේදී මෙය අත්‍යාවශ්‍ය බව කරුණාවෙන් සලකන්න..

    ඉන්සූරස් කොම්පැනියක ටිකක් ලොකු පොරක් විදියට කාලයක් වැඩ කිරිමෙන් ලත් අත්දැකිමකි......

    ReplyDelete
  5. ඔහොම තමා වෙන්නේ. මොකක් හරි එන්ට්‍රි එකක් දාන්න පොලිසි ගියාම පොලිස් ලොක්කා කතාව යට ගහනවා. මොකද ඒ අදාල ලොක්කව පොලිසියෙන් අදුනනවනේ.

    ReplyDelete
  6. අයියෝ...තනන්දර අයියට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද..හැප්පුන වෙලාවේ....
    ඔයින් ගියා ඇති නේද..
    වස් දොස් ගියා කියලාවත් හිතමු.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේ කියන්නේ හොඳ හිතින් හරිය? වැඩේ පබා වෙනවා නම් කතා ටික දවසගානෙවත් පබිලිස් කරන එකයි ඇත්තේ. ඇයි වදේ ඉතුරු ටික දැනගන්න සිකුරාද වෙනකම් ඉන්න එපැයි.

    ReplyDelete
  9. අයියේ ඕනෙ එකෙක් පොලීසිය නම් සතපහකට විස්වාස කරන්න එපා.

    ReplyDelete
  10. කෙලියා කුරැල්ලට කිව්වලු. බලමු.

    ReplyDelete
  11. සඳුදා බදාදා සිකුරාදා උදේ 6.00ට.
    හරියට මෙගා ටෙලියක් වගේ.
    පැජරෝ එකට තියන පවර් කොරොල්ලා එකට නෑ තමා. මෝටර් සයිකලේ යන අපට එහෙමවත් නෑනේ. පොලීසියේ නීතියත් කෝල් එකක් ආවේ නැතිනම් විතරයි.

    ReplyDelete
  12. හපොයි....මාගේ කිරිල්ලි කුරුල්ලා සොයා ඇවිත් නේද කසු... ( දන්නෝ දනිති )

    ප. ලි.

    මම පබා බැලුවේ සතියට එක සැරයයි. මුලු කතාවම තේරුම් ගන්න පුලුවන්.

    ReplyDelete
  13. මට නම් හිතෙන්නේ කතී කවුරු හරි දිහා, බල, බලා යන්ටැති. :D

    ReplyDelete
  14. කතන්දර අයියේ වරද ඔයාගේ නෙවෙයිනේ . ඉතින් ලොකු ගානක් කඩාගන්න තිබ්බා . එහෙම කලා කියලා මම හිතනවා . කියවලාම බලමු කතා අයියෙගේ කාර් සීරීස් එක ..

    ReplyDelete
  15. ඔන්න ඔහොමලු අපේ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන්නේ . ..

    ReplyDelete
  16. කතාවෙ ඉතුරු ටික තියෙන්ව නේද... ??

    ReplyDelete
  17. හප්පනව නම් පැජරෝ එකකම හප්පන්න ඕනා

    ReplyDelete
  18. අපෙ කාර් එකත් පෙරෙයිද හැප්පුනා. බස් රාජයෙකුට, මරුම සීන් එක කියන්නෙ හැප්පුනේ අම්මලාගෙ ගමේ ගිහින් එන ගමන්, තාත්තලාගේ ගමේදී, බස් එකේ අයිතිකාරයා තාත්තව හොඳට අඳුනන ගමේ පොරක්, උගේ ගෙදර ඉස්සරහම ලොකු වංගුවක තමයි හැප්පුනේ. ඉතින් ආයෙ මොන ඇන්ට්‍රි දැමිලිද? ගමේ එකානෙ!
    ඩ්‍රයිවර් පොඩි කොල්ලෙක්, බස් එකේ වැඩට ඇවිත් දවස් තුනයිලු.. පොලිසියෙන් ලයිසන් රාජය ඉල්ලනකොට එදා උදේ පොලීසියෙන් එකත් අරන්..

    ReplyDelete
  19. බ්ලොගා ලා බ්ලොගි ලා;

    කතන්දර සුරින් බ්ලොග්කරණයේ ට්‍රෙන්ඩ් හදන බව කවුරුත් දන්නවනේ. හැබැයි ඔන්න මේක නම රැල්ලට ගන්න එපා. මේ මෙගා මගුල.ඔය වගේ හේතු නිසා මිනිස්සු රුපවාහිනි බලන්නෙත් නැහැ දැන්.

    -----------------

    කතන්දර ඔයිං ගියා ඇති. පයින් යන කාලේ පුරුද්දට රෝටරියට යන කෙල්ලෝ බල බල තව ටිකක් දුර ගියා නම් හැප්පෙන්නේ කෝච්චියේ.

    ReplyDelete
  20. ඔයාගේ තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නේද ......
    ඒකෙන් ගන්න පුලුවන් වෙයි නේ ........
    පොලිසිය ගැන කිසිම විශ්වාසයක් තියන්න එපා ........
    උන් සල්ලි තියන පැත්තට නැවෙනවා .........

    ReplyDelete
  21. ඉතින් ඉතින් ඊට පස්සේ ...............

    ReplyDelete
  22. කොරොල්ලා එක දිහා බලන කෙල්ලො දිහා බලාගෙන ගිහිල්ල කතන්දරත් කරගෙන තියෙන්නෙ වැඩක්.
    ඊට පස්සෙ කාර් එකේ වයරිං එක හරියන්න ඇති. මොකද දොරක් දාන්න වෙන්න ඇතිනෙ.

    ReplyDelete
  23. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට නොවැ....

    හැබැයි පබා නම් එපා ඕං

    ReplyDelete
  24. ඇත්තෙන්ම වෙන කොහේ හරි බලාගෙන වෙන්න ඇති යන්න ඇත්තේ lol

    ReplyDelete
  25. @ All
    මං අමුතුවෙන් ගොතන්නේ නෑ නේ. මේ සේරම කතන්දර අමූලික ඇත්ත ඒවා. කෙටි කතා නං කෙටි කතා, මෙගා නං මෙගා.

    ඇත්තම කියනවා නං මගේ මේ ව්‍යායාමය නවකතාවක් ලියන්න පෙරහුරුවක් සඳහායි!

    සියළු දෙනාටම ස්තුතියි.

    කතන්දර සීරීස් එකේ තුන් වෙනි කොටස හෙට උදේ හයට.

    ReplyDelete
  26. පුදනකොටම කාපි යකා කියල දොරපළුවක්ම ගලවල ගිහිල්ල නේද. ඇස්වහ යන්න වෙන ඇති. ඔයිං පස්සෙ හැප්පුනේ නෑ නේද කොහේවත් ?

    ReplyDelete
  27. ඉතින් කසු මොනාද අර ඒ.එස්.පී මහත්තයාට කිව්වේ...?

    මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා.....! ඇය හා දකින්නයි දරුවන් මගේ.....!

    කියලා කිව්වාද ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.