Friday, 10 December 2010

තාත්තා ගැන මතකයෙන් බිඳක්


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ කෙලින්ම මගේ ජීවිතය ගැන ලියන්න නෙමේ. ලියපු හැම කතන්දරයක්ම මං ලිව්වේ හැකි උපරිම දුරට කතාවේ පෞද්ගලිකත්වය බැහැර කරලායි.

ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ මුලින්ම 2010 අප්‍රියෙල් මාසයේ තාත්තා අසනීප වීම ගැන ලියන්නයි, ඊ-ලඟට තාත්තා ගේ මරණය ගැන ලියන්නයි විතරයි.

දැන් ඉතිං, ඒ සේරම ඉවරයි. තාත්තා ගේ මළගම නිමවී හත් දවසේ දානයත් දී හමාර වුණා.

ආපහු මගේ කතන්දර මූඩ් එකට එන්න කලින් කළ යුතු වැඩ දෙකක් තියෙනවා.

එයින් මුල්ම වැඩේ තමයි, තාත්තා ගේ මරණය ගැන මං දාපු සටහන බලා, තමන් ගේ කණගාටුව ප්‍රකාශ කළ අයට ස්තුති කිරීම.

දුක හිතට තදින් දැනෙන කාල වකවානුවක සිය ගණනක් වූ ඒ පණිවුඩ දැකීමෙන් මගේ සිත තරමක් සංසුන් වුණා කියල කියන්න පුළුවන්. ඒ හැම දෙනාටම මගේ ස්තුතිය.

ඉරිද උදෙන්ම මළ ගෙදර ආවා බුද්ධි ප්‍රසාද් (මැරියන් එක්ක) සහ හර්ෂනී නාකන්දල (ඥාති පුත්‍රයෝ දෙන්නෙක් එක්ක) දුර බැහැර පලාත්වල ඉඳලා. ඒ දෙන්න එක්ක කතා බහ කරන්න පටන් අරන් විනාඩි දහයකට විතර පස්සේ තමයි ඇත්තටම මං නින්දෙන් අවදිවුනේ. මළ ගෙදරින් ඔවුන් නික්ම යන්න සූදානම් වී ආචාර කළ මොහොත මට හරිම සංවේදී වූ අවස්ථාවක් වුණා.

එදා හවස මළ ගෙදර ආපු තිස්ස දොඩන්ගොඩ, වැප් නිශාන්ත, අභීත, පසන් මධුරංග, ජේ.ඩී. සහ දිල්ෂලා එක්ක කතා බස් කරමින් ඉඳින්න ලැබීමෙනුත් හිතට ලැබුනේ ලොකු සහනයක්.

චානුක වත්තේගමත්, ප්‍රසාද් වීරසේකර සහ මාලතී කල්පනා යුවලත් එදා හවස් වරුවේ මගේ දුක බෙදා ගත්තා.

පසුව දා අවසාන කටයුතු කෙරෙන මොහොතේදී ලිහිණි කියපු වචන කීපයටත් ස්තුතියි.

මීලඟට මට අවශ්‍යයයි තාත්තා ගැන වචන කීපයක් ලියන්න.

අපේ තාත්තා ගේ ජීවිතයේ ආදර්ශමත් ලක්‍ෂණ ගොඩක් තිබුණා.

තමා උපන් කාලයේ ගම්බදව තිබුණු අධ්‍යාපන රටාව අනුව යමින් වයස අවුරුදු දහනමයේ දී ගුරුවරයෙක් ලෙස සේවය පටන් ගත්තු මගේ තාත්තා, මුලින් ම සිංහල පුහුණු ගුරුවරයෙක් විදියටත්, ඊලඟට ඉංගිරිසි පුහුණු ගුරුවරයෙක් විදියටත් ගුරු විද්‍යාල වල ඉගෙනුම ලැබුවා. ඉන් පස්සේ ලන්ඩන් උසස් පෙල සඳහා ඉගෙන ගත් තාත්තා, වැඩිහිටි ශිෂ්‍යයෙකු විදියට විද්‍යෝදය සරසවියෙන් ඉතිහාසය, භූගෝලය සහ සිංහල විෂයයන් සඳහා බී.ඒ. උපාධිය අරගත්තේ වයස අවුරුදු හතලිස් තුනේ දී. ඉගෙන ගන්න වයස ප්‍රශ්ණයක් නෙමේය කියන එකයි මෙතනදී අපිට ගත හැකි ලැබුණු ආදර්ශය.

මගේ මතකයේ හැටියට, තාත්තා කවදාකවත් තමන් ගේ අදහස් මට බලෙන් පටවන්න ගියේ නෑ. තාත්තගෙයි මගෙයි දේශපාලන අදහස්, නොයෙකුත් සමාජ ප්‍රශ්ණ ගැන අදහස් වෙනස්. මට ප්‍රශ්ණ දෙස තුන්වෙනි ඇහැකින් වුනත් බලන්න හැකි වුනේ තාත්තාගේ ඒ නිවරැදි ක්‍රියා පිළිවෙත නිසයි.

තාත්තා ධාර්මික ජීවිතයක් ගත කළා. සුරාව, සූදුව දුෂ්චරිත ක්‍රියාවේ නිරත වුනේ නෑ. දිනපතා පන්සිල් ගන්න, පන්සල් යන, බණ පොත් කියවන උපාසකයෙක් නොවී ධාර්මිකව ඉන්න පුළුවන් බවට තාත්තා අපට දුන්නේ ඉතා හොඳ ආදර්ශයක්.

-කතන්දරකාරයා

ප/ලි
හැකි විගස සුපුරුදු කතන්දර යලි ඇරඹෙනු ඇත!

12 comments:

  1. රූපං ජීරති මච්චානං නාම ගොත්තං න ජීරතී - රූපය දිරයි නාමය නොදිරයි.

    ReplyDelete
  2. hmmmmmmm......................

    ReplyDelete
  3. ඔබ වගේ හොඳ පුතෙක් හැදූ පිනම ඇති , පියතුමාට නිවන් දකින්න

    ReplyDelete
  4. කියන්න දෙයක් නෑ කතන්දර. ඔබේ කතා වලින්. ඔබේ ගති ගුණ වලින් ඔබේ තාත්තාගේ ගුණ සුවඳ අපට හොඳින් දැනුනා. ඔහු සත් පුරුෂයෙක් නොවීනම් ඔබ මෙවන් අයෙකු නොවන්න තිබුනා. බොහොදුරට පුතෙකු නිවැරදි මග යන්නේ පියාගේ ආභාෂයෙන්. ඒනිසා ඔබ දෙස බලා ඔබේ ලියා සතුටින් නික්ම යන්න ඇති. ඔබේ පියා ඔබට ලෙන්වූ මාර්ගය ඔබ ඔබේ දරුවන්ට පෙන්වා දීමෙන් ඔබ ඔහුට ඉහලම ගෞරවය ලබාදී තිබෙනවා. ඔබට කිසිදා පසු තැවෙන්න හේතුවක් නෑ.
    ඔබේ පියාගේ මීළඟ ආත්මයන් වාසනාවන්ත වී නිර්වාණය පතමි....!

    ReplyDelete
  5. හොඳ තාත්තා කෙනෙක්ගේ ආදර්ශයෙන් හොඳ පුතෙකුත් බිහිවෙලා තියෙනවනේ. ඒකත් ලෝකෙට ලොකු සේවයක්නේ

    ReplyDelete
  6. තාත්ත නිසයි ගොඩක් පුතාලව අදුරන්නේ... ඒත් අපි කතන්දරගෙ තාත්තව අදුරන්නේ කතන්දර නිසයි. ඒක තමයි තාත්ත කෙනෙක්ට දෙන්න පුලුවන් හොඳම තෑග්ග.

    හරී (නාකලන්ද) මටත් කතා කළා කතන්දරලගෙ තාත්තගේ මළ ගෙදර එන්න.. ගෙදරින් අවසර ගත්තත් ඟං වතුර තර්ජන පාර දෙපැත්තේ රකුසු මූණු මවන් හිටිය නිසා බොහොම හිතේ අමාරුවෙන් නොඒමට තීරණය කරා.

    කෙනෙක්ගෙ මංගල හා අවමංගල කියන්නේ ආයෙ පාරක් අපිට සහභාගී වෙන්න පුලුවන් දෙයක් නෙමෙයි...

    දුක් වෙන්න දෙයක් නැහැ. තාත්ත හොඳ මනුස්සයෙක්. පුතාලා දිහා බලල තාත්ත ගැන හොඳ කියන්න පුලුවන්.. ඉතින් ආයෙත් පුරුදු පරිදි අපිට උදේට කියවල නැවුම් හිතකින් වැඩ පටන් ගන්න පුලුවන් කතන්දර ලියනකම් අපි බලන් ඉන්නව...

    ReplyDelete
  7. ලංකාව පැත්තේ හිටියනම් එන්න තිබ්බා ඔබේ දුක බෙදාගන්න.

    එතුමාට අජරාමර් නිර්වාන සම්පත්තිය උදාවෙන්න කියලා පතනවා

    ReplyDelete
  8. කසුත් එක්ක එකතු වෙලා මමත් මේ වෙලාවෙ සුසුමක් හෙලන්නම් දුර ඈත කතරෙ ඉඳලා. හැම තිස්සෙම (ගොඩක් වෙලාවට ) පුතෙකුගෙ පරමාදර්ශය වෙන්නෙ තමන්ගෙ තාත්තා. ඒක මටත් ඒ විදිහටම උනා. ඒවගේම මගේ පස් හැවිරිදි පුන්චි පුතා කරන සෑම වැඩකදිම මාව අනුගමනය සහ අනුකරණය කරනවා දකිනකොට තාත්තා කෙනෙක් විදිහට හැම තිස්සෙම කල්පනා කරන්නෙ සහ මහන්සි ගන්නෙ නරක පූර්වාදර්ශයක් එයාට නොදී ඉන්නයි.

    ජීවිත කාලෙදි අපේ ජීවිත හැඩ ගස්සන්න අප්‍රමාණ වෙහෙස මහන්සියක් ගන්නා, තමන්ගෙ දුක් ගැන නොසිතා අපිට දුකක් නොදීමට කරන්න පුළුවං හැම දෙයක්ම කරනා අතු පතර විහිදා ගත් මහා වෘක්ශ රාජයෙක් විදිහට සෑම විටම අපට රැකවරණය සැලස්සූ ඒ මහා පුරුෂයා අහිමි වෙනවා කියන්නෙ.........ඒක කියන්න වචන නැහැ......!

    ReplyDelete
  9. දුක් වෙන්න එපා කතන්දරේ ...කවදාවත් හොද මිනිස්සුන්ට නරකක් වෙන්නෙ නෑ

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. පුතෙක් තාත්තෙක් වුනත් සීය කෙනෙක් වුනත් මොන වයසකදී වුනත් ඒ සීයා හෝ තාත්තා වුනු පුතාට තාත්තෙක්ගේ සෙනෙහස ඕන කරනවා.

    මම ඒක අත්දැකීමෙන් දන්නවා.

    ඒ සෙනෙහස නොලැබෙන කොට ඒ පුතා තාත්තෙක් නෙමෙයි සීයෙක් වෙලා හිටියත් පොඩි පුතා කාලේ වගේම තාත්තගේ සෙනෙහස ලබා ගැනීම වෙනුවෙන් අරගල කරන්නත් උත්සාහ කරනවා.

    කතන්දරගේ තාත්තාට නිවන් සුව ලැබේවා !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.