ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 29 March 2010
කතන්දරකාරයා දිව්‍යලෝකෙ ගිය හැටි විස්තරය: ද ලාස්ට් එපිසෝඩ් - Day trip to the heaven: Last episode
මතකයි නේද මෙතෙක් කතාව?
ඔන්න අර අපේ ඒකෝන්කාරය පොරගෙ ඊලඟ වීඩියෝ එක ෆිල්ම් කරන්න එනවයි කියන කලවානේ පන්සලේ බිතු සිතුවම් වල ඉන්න දිව්‍යාංගනාවන් දැකල මටත් හිතුන නන්ද කුමාරය වගෙ මේ නවදැලි හේනෙම ඉන්නෙ නැතුව පොඩ්ඩක් දිව්‍යලෝකෙ පැත්තෙ ගිහින් බලල එන්න.
කවියෙන ලියවුනු, මගේ ගමන් විස්තරේ මුල් කොටස, දිව්‍යලෝකෙ ගැන මූලික පරිසර වර්ණනාවක්, මෙතනින් බලන්න පුළුවනි.
දෙවෙනි කොටසින් මං කියන්නෙ දිව්‍යලෝකෙ දෙවිගොල්ල රන් කරන ඔරැකල් 10g ඩේටාබේස් එක ගැනයි. අපේ පින් පව් සේරම ලියවෙන්නෙ ඒකෙ.
එදා මං එහෙ යන දවසෙ දිව්‍යලෝකෙ මහ රජ්ජුරුවන් එහෙ කලාකරුවන්ට පොඩි පැදුරු සාජ්ජයක්. දෙයියො ඉන්වයිට් කලා, මාත් ඉතිං පොඩි ජින් එකක් වත්කරගෙන පැදුරට සෙට්වුනා. ඒ විස්තරය මෙතනින් බලන්න.
අද මගේ දිව්‍යලෝක ගමන් විස්තරයෙ අවසාන කොටසයි.
***
පැදුරට සෙට්වෙලා මං බලන කොට කවුද මේ මියුසික් කාරයො කියල, මෙන්න බොලේ අපි අඳුනන දෙන්නෙක්ම!
වීනාවක් නිකට යට තද කර අල්ලං
ගුත්තිලකාරයා පෙන්නුව හොඳ සෙල්ලං
මූසිලකාරයා වී නැත තව සල්ලං
සංගීතයට බත්වත් නොම කති බල්ලං
***
පැදුරෙ ඉඳන් එක දිගටම සින්දු කියන එකක් ලේසි පාසු වැඩක් නෙමේනෙ. ඉන්ධන තියෙන තරමට තමයි කොයි හපුතල් කන්දත් නගින්න පුළුවන්.
සින්දු වතුර බීමේ උවමනා වෙනා
පැදුරු සාජ්ජය මදකට නතර වුනා
ලොකු අඩුවක් සභාවේ හොඳ හැටි පෙනුනා
දෙවිපති ගෙන් විමසීමට මට හිතුනා
මෙතන නළුමන්ට්ස් ලා, නිලිමන්ට්ස් ලා, කලාකාරයො, වන්දිබට්ටයො, කාරියකරවන ආරියරත්නල සේරම පිරිල හිටියත් මට නං පැදුරු සාජ්ජෙට සෙට් වෙලා හිටිය අයගෙ ලොකුම ලොකු අඩුවක් පෙනී ගියා.
***
මං කෙලින්ම ගිහින් ඇහැව්ව මහ එකාගෙන්ම.
සල්ලි නමින් මනු ලොව කවුරුත් දනිතී
මල්ලි ඔබේ අද මෙම සබයෙහි නොමැතී
කොතැනකදෝ ඒ මහ උත්තම ගුණැතී
ඔබෙ සොහොයුරා දකිනට අප සැම කැමතී
දෙයියන්ගෙ මල්ලි පේන්න හිටියෙ නැති එක නං එතන ටක් ගලා කැපිල පෙණුන. මොන ලොක්කද ඉතිං තමන්ගෙ මල්ලිලව පිරිවරාගෙන ඉන්නෙ නැත්තෙ?
***
මේක ඇහැව්ව විතරයි, මෙන්න බොලේ අපේ දෙයිය පොරට නැග්ග නහුතෙටම.
මගෙ ඒ පැනෙන් දෙවිපතිදුට තරහ ගියා
රැව්වා මදෙස මා දා අළු කරන නියා
"උදය සවස නමදින අත් මුදුන් තියා
දැන ගනු නරය! ඒ මා හැදු මගේ පියා!"
***
මළ සේක! කිව්වළු. කව්ද දෙයියනේ ඔය කතාවක් දැනං හිටියෙ? අපි හිතාගෙන හිටියෙ සල්ලි කියන්නෙ දෙයියං ගෙ මල්ලි කියලනෙ. දැං බැලින්නං මේ තාත්තය කියන්නෙ!
මනු ලොව දනන් දෙවියන් වැඳ පුදන්නේ
දෙවියෝ සල්ලි පිහිටෙනි නිති රැකෙන්නේ
කුමටද අතර මැදියෙකු මත යැපෙන්නේ
සල්ලි වලට මින්මතු මා වඳින්නේ
සාදු, සාදු, සාදු !!!
***
මේකෙන් ඉතිං එකක් පැහැදිලියි. සල්ලි කියන්නෙ දෙයියංගෙ තාත්ත නං, ඒ කියන්නෙ, දෙයියංව ජාතක කරල, හදල, වඩල, ලොකු මහත් කළෙත් "සල්ලි" කියන එක නේද?
තවත් කතන්දරයකින් හැකි විගස හමුවෙමු!
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
හපොයි. දෙයියන්ගෙ ජාතකේ අදනෙ දැන ගත්තෙ
ReplyDeleteවෙරි නයිස්.. නියමයි!!!!!!
ReplyDeleteඑක දිනයකදි දෙව් ලොව තතු ගෙන ආව
ReplyDeleteකහටක් නැතිව කවියෙන් ඒ ගැන කීව
දැන් දෙවියන්ට නොවඳින මේ කකා ව
"සල්ලී" රැකදෙන්න හැම මොහොතක දීම
කරුණක් කියමි මා මිතුරේ අහගන්න
ReplyDeleteහදවත නුඹේ විමසා මෙය දැන ගන්න
දෙවියන් වුවත් මුදලට එය බැහැ ගන්න
දෙන්නේ අපියි පිං දෙවියනි දැන ගන්න
@ Wath
ReplyDeleteපින් දෙන විටදි දෙවියන් හට හුදී දනා
පින් ගිනුමකට ඒ සැම පින් එකතු වෙනා
මාසික වැටුප ලෙස දෙවි කැල සියළු දෙනා
"පින් පඩි" ලබන හැටි දුටු මට දැනුදු හිනා
@ චේජනා:
ReplyDeleteආශිර්වාදයට ස්තුතියි!
දෙව් ලොව සැප ගන්න යන්නට ආසාවේ
කතන්දර බලන අය කෙල ගිල්ලාවේ
කරුණක් කියමි හිරු බැස යන හෝරාවේ
සල්ලි අණට කොයි ජගතත් අවනත වේ
කතිර හිගන්නුන් මගෙ මතකෙට ආවා
ReplyDeleteදෙවියන් ඔවුන් හා සම වෙයි මට හිතුනා
ඔබ හා මගේ "පිං" , "කතිරෙන්" දිවි ගෙවනා
මඩු වලිගෙන් තැලූවත් මදි හුදී ජනා
@ වත්
ReplyDeleteවත් පිළිවෙත් ගුණදම් නිති රකිනවද?
වත් පොහොසත් කම් ගැන හෙම බලනවද?
වත්සුණු, කොකුම්, අංජන වත උලනවද?
වත් ඔබ කවුද, දැන්වත් මට කියනවද?
මනු ලොව සැපත දෙවු ලෝකේ කොහෙ වේද
ReplyDeleteදෙවු සුරබඹුන් බිහි කෙරුවේ අප නේද
මා සිටිනා සුර ලොව ඔබ දන්නේද
සත පහ නැතත් සුර පුරයයි මගෙ නිවස
වත් පිළිවෙත් ගුණදම් නිති රකින්නෙමි
ReplyDeleteවත් පොහොසත් කම් ගැන නොමබලන්නෙමි
වත්සුණුල කොකුම්ල අංජන වත උලන්නෙමි
ඔබ සොයනා දෙවගන මම නොවන්නෙමි
මනු ලොව සැපත දෙවු ලෝකෙ කොහිවේද
ReplyDeleteසෙවියන් බඹුන් මැව්වේ මේ අප නොවෙද
මා සිටිනා සුරපුර ඔබ දන්නේද
සත පහ නැතත් සුරපුරයයි මගෙ නිවස
සලා නෙතු පියන් සඟවා බැළුම් නුරා
ReplyDeleteසලා නිතඹ ලෙලවා සුරඟනක යුරා
සලා සෙමෙර කවියෙන් හද පවුර ඉරා
සලා මසිත යන්නෙද ඔබ කොයිබ කරා?
සල්ලි අණට අවනත වන හුදී දනා
ReplyDeleteමැරෙන දිනදි ඒ ගැන තැවෙමින් මියෙනා
හොඳ හිත මිතුරුදම රැස්කරගත් සුදනා
කවදා වුවද හිත සතුටින් ගමන යනා
සල්ලි අණට අවනත වන හුදී දනා
ReplyDeleteමැරෙන දිනදි ඒ ගැන තැවෙමින් මියෙනා
හොඳ හිත මිතුරුදම රැස්කරගත් සුදනා
කවදා වුවද හිත සතුටින් ගමන යනා
@ Wath
ReplyDeleteමුහුදේ ගඟේ අහසේ හෝ මත දෙරණා
කොහෙදෝ සිටන් කවි බැඳ මා වෙත එවනා
මහදේ කොණක දැන් කුකුසක් පිළිසිඳුණා
ඔබ දෝ ලඳේ මාතර ගජමන් නෝනා
@ චේජනා
ReplyDeleteයන දින ආ විටදි කවුරුත් ලඟ නැතිය
හිසවෙත සෙවන කොයි කවදත් තම අතය
ඇති නම් කාසි මිතුරන් ලොව හැම තැනය
මගෙ දිවි ගෙවෙන්නේ ඒ අණ පිළිපැදය
සලා නෙතු පියන් කදුළින් පිරී ගිය
ReplyDeleteසලා නිතඹ වයසින් මුහුකුරා ගිය
ලියා කවිය ඔබ අසලින් තබා ගිය
(වත්)සලා මමයි නාදුනනා කුමාරිය
මුහුදේ නොවේ පොළවේ මා වෙසෙන්නෙමි
ReplyDeleteමාතර සිටන් පද වැල් කවි කරන්නෙමි
ඔබේ හිතේ ටජ් මහලක් තනන්නෙමි
අවසර දෙන්න මා යළි මෙහි නොඑන්නෙමි
@ වත්සලා
ReplyDeleteදුරු රට ඉඳන් මගෙ අඩවිය වෙතට වැදී
ලිව් කව් වලට තුති පුදනට වචන මදී
යලි දිනයක දි හමුවෙන තුරු සිතෙහි රුඳී
ඉනු මැන වත්සලාවනි මාතර වොරැඳී
බැළුමට මුත් කතා සැමදා මෙන් ආවේ
ReplyDeleteකිවුමට වදන් නැති හදියකි සිදුවූවේ
කිසිදින නොදුටු කවි මඩුවකි අද වූවේ
මැද්දට නොපැන මේ අන්තිමටයි ලීවේ
කතා වගෙම කවි ටික රසයෙන් සාරයි
සටහන් තැබූ අයගෙත් අදහස් "මාරයි"
කවි පද බඳින්නට ඔබ නම් හරි සූරයි
ඔබේ රසික සිත සක් දෙවිඳුට බාරයි
පිස්සු හැදෙයි..
ReplyDeleteයළි හොද වෙයි... කිවුවළු.
මෙතන නියම කතන්දරෙ තියෙන්නේ ප්‍රතිචාර වල නෙව.
චික් විතරක් මම පරක්කු උනා. නැත්නම් අපේ වත්ට.. පොඩි සපෝට් එකක් දෙන්න තිබුනා.
ඇත්තටම දෙන්නම නියම දක්ෂයෝ...
pissu hadenawa appaa . . me kavi tika nam patta . . .
ReplyDeleteඋන්නැහෙ ලියා ගිය කවියත් දැන් දුටවා
ReplyDeleteඒත් ඉතින් දැන් නම් එහි පල නැතිවා
කකා ගෙ රසික සිත "සල්ලී" වෙත ආවා
ඒකත් ඉතින් "සල්ලි" ට බාරම වේවා
(කකා, උඩ කවිය ලියල දැම්මට පස්සෙ චුට්ටක් වෙනස් කරන්න වුනා..)
පට්ටම, පට්ටම,පට්ටම කවි ටික. කියවද්දි මයිල් කෙලින් වෙනවා නොවැ. අදයි ඔක්කොම කියෝල ඉවර කලේ. ඔයානං මාර කයි කතා කාරයෙක්. හැම කතාවකටම කවියක් දෙකක් ඈඩ් කොලොත් මොකද?
ReplyDeleteමල්ලි වගේ වැඩ කාරයි වගේ දැනේ
ReplyDeleteසල්ලි ගහේ උඩ අතු අග සිටිනු පෙනේ
පුල්ලි ගොනයි ලොරි බාගෙයි වගේ අනේ
මල්ලි හොදයි අයියයි මට එපා උනේ
කතන්දර කාරයා හංගපු ටික....
ReplyDeleteකරා ගොසින් දෙව් ලොව පිනවන්ට නෙත
නුරා බැලුම් හෙළමින් දෙව් ළියන් වෙත
හොරා ලෙසින් අල්ලා එකියකගෙ අත
පුරා මුහුණ වැදුණලු දෙක තුනක් කැත
@ පිස්සු හුටං, උන්නැහේ, මාරයා, දුකා, ගීතික, බුද්ධි සහ අන් සියළු දෙනාටම
ReplyDeleteසුරලොව ගොස් එන්න යන්ට පෙර දාක
මනු කුමරියක් මගෙ නිවසට වැඩි සේක
දුටූ සඳ සුරඟනන්ගේ අවකෙලි නරක
මගෙ කුමරිගෙ අගේ දැනුණා මට හණික
සුරඟන වුවද ඒ අඹුවකි අනුන්නේ
කුමටද මට එවැනි අය, නැත ඔබින්නේ
සුපුරුදු කුසුම් සුවඳින් සිත පිරෙන්නේ
පරසතු මලින් නැත මා රොන් පතන්නේ
කකා ලිව්ව අවසන් කවි පදය අසා
ReplyDeleteදෙව්පුර ලියන් වැනුමන් ගිය ලෙසිනි ගසා
සක් දෙවි තුමන් දැන් දැන් සුර පුරය වසා
ලන්නට නොහැකි නැත නුඹෙ කුමරියට ඇසා.... ;))
සුරලොව ගොසින් ආපසු මනු ලොව ආව
ReplyDeleteකතා සහෝ රජ වැඩකරුවෙක්නෙ බොල
බ්ලොගේ හා කමෙන්ට වල ඇති කවි දැක මෙමට
පිස්සු හැදී ආයෙත් හැදුනෙමි මුන්ගේ කවි වලට ...;)
මල සේක හැමෝම කවියෙන් උත්තර බඳින්නෙ.දැන් ඉතින් මොකද කරන්නෙ මම,කයි පද කරේ ගහ ගෙන කයිය පද බැඳ ගෙන ඔහේ බලා ඉන්නම්.
ReplyDeleteහිහි .......
ReplyDeleteORACLE 10 G huuuuk heeeek hik hik
ReplyDeleteLove to read again & again........ :-)
ReplyDeleteහි හි.... දෙපාරක් විතර කියෙව්වා ඉස්සෙල්ල අහුවුන වෙලාවෙත්...
ReplyDeleteමේපාරත් මුල ඉදලම කියෝගෙන ගියා....
මල් හතයි කයි මඩුව..ඇත්තමයි මට කයි ලියන්න බැරි එක ගැන .....දුකාාායි..... හි හි
ආයෙත් කියෙව්වා.... සොඳුරු අතීතය....!
ReplyDelete