ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 27 December 2010
අපේ සීයා අහපු අපූරු සාත්තරේ
සීය ගැන මේ කතාව මට කිව්වේ සීය ගේ බාල දුව, ඒ කියන්නේ මගේ පුංචි අම්මා. එයා මේ දවස් වල අපේ ගෙදර ඇවිත් පොඩි නිවාඩුවකට. මං සීය ගැන කතන්දර ලිව්වට, පුංචි අම්මා ගැන නම් කතන්දර ලියන්න ඉන්නේ ඉතිං එයා ආපහු එයා ගේ ගෙදරට ගියාට පස්සෙ තමයි. මොකටද නිකං ටොකු කන්නේ නේද?
ඔන්න අපේ සීය තරුණ කාලේ, මේ කියන්නේ ලෝක යුද්දෙ කාලෙටත් කලින් වෙන්න ඕනැ, ගමේ ඉඩමකට වැටක් ගහන්න කටු කම්බි රෝල් වගයක් ගෙනත් තියෙනවා.
මේව ඒ දවස්වල හරි ගණං බඩු.
ඉතිං වැට ගහන්න කලින් කවුද මහ රෑක කම්බි රෝල් ටික හොරකම් කරලා.
අපේ කෝට්ටෙ ගෙදරට හොරු පැනලා කතන්දර හාමිනේ ගේ රත්තරං බඩුයි අපේ මගුල් මුදුයි හොරකම් කළ වෙලේ මං පොලිසියට පැමිණිලි කරපු කතන්දරේ මතකයි නේද? මට වැඩිය මොලේ තිබුණු අපේ සීය ඔය පොලිසි ගානෙ ගිහිල්ල නෑ.
සීය කරල තියෙන්නෙ සාත්තරයක් අහන්න යන එකයි. ඒ හොරා කවුද, බඩු කොහෙද තියෙන්නෙ වගේ විස්තර සාත්තරේ බලෙන් දැන ගන්නයි.
ඒ ටික දන්නව නං ඉතිං ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්නේ.
මේ සාත්තරයක් අහන්න ගිය තැන හරිම හාස්කම් තියෙන තැනක්. දේව ආරූඪයෙන්, පරල වෙලයි සාත්තර කියන්නේ මේ ස්ථානයේ.
ඔන්න අපේ සීයයි, යාළුවෙකුයි ගිහින් තමන් ගේ වාරේ ආපුහාම සාත්තර කියන කුටිය ඇතුලට ගියා. බුලත් කොලේක තියල රුපියලකුත් ශත දහයක් තියන්න ඕනෑ පඬුරු විදියට.
ශත දහය දෙවියන්ට මගෙ හිතේ. නිකං 10% සම්තිං එකක් වගේ එකක්.
ඔන්න පඬුරු දුන්නු ගමං සාත්තරකාරය පරල වුණා.
"යුෂ්මතුන් මෙහි පැමිණ සිටින්නේ නැතිවූ යමක් පිළිබඳව අහන්නටයි."
ඔය කියවෙන්නේ කිරි ගහට ඇන්න වගේ. සීයටයි යාළුවටයි හරිම ජොලි.
"කියව, කියව, වහා කියව!" සාත්තරකාරය කෑ ගහනව.
"එහෙයි කියපං!" යාළුව කිව්ව සීයට. සීයත් කිව්ව "එහෙයි" කියල.
"මෙය වටිනා දෙයක්. ඉතා වටිනා දෙයක්. සත්‍යදැයි කියව, සත්‍යදැයි කියව."
"එහෙයි."
"මේ භාණ්ඩය ගෙන ගොස් ඇත්තේ යුෂ්මතුන් හොඳින් දන්න කෙනෙක්."
ඔන්න වැඩේ නියම ට්‍රැක් එකට වැටෙනව.
"හොඳමයි."
"ඒ චෞරයා මෙය රැගෙන ගොස් ඇත්තේ තමන් ගේ ඉනේ සඟවා ගෙනයි."
අපේ සීයට බකස් ගාල හිනා ගියා. අර එකක් රාත්තල් පනහේ කටු කම්බි රෝල් කොහොමද ඉනේ හංගගෙන යන්නේ?
ඔන්න සාත්තරකාරයාට තද වුනා.
"යුෂ්මතා සිනාසෙන්නේ ඇයි? යුෂ්මතා මට අපහාස කරනවා නොවේද? වහා මේ කුටියෙන් පිටවෙව!"
එහෙම කොහේ යන්නද, මේ සල්ලිත් ගෙවලා, නේද? අපේ සීය අහුවෙයි ඕවට.
සීය ඇහැව්වලු නිකං නක්කලේට වගේ:
"එතකොට ස්වාමීණි පඬුරු"?
"තගේ කිලිටි පඬුරුත් රුගෙන වහා මගේ විමාණයෙන් පිටවෙව!"
සාත්තරේ එතනින්ම ඉවර වුණා.
සීය කරල තියෙන්නේ අර රුපියලයි ශත දහයයි ආපහු අරගෙන යාළුවත් එක්ක දේව කුටියෙන් පිටවෙලා ගෙදර යන එකයි.
හොරා කවුද කියල සාත්තරෙන් හොයා ගන්න බැරි වුණු හින්ද සීය කරල තියෙන්නේ ඊලඟට තියෙන හොඳම වැඩේ.
ඒක තමයි වස් කවියක් කියන එක.
මේ හොරකම කරපු එකාට ලේ බඩ යන්න කියල වගේ සාප කරල හොඳ වස් කවියක් ලියව ගෙන අල්ලපු ගමේ ද කොහෙද තිබුණු දේවාලෙට ගිහිං එක දවසයි කියල තියෙන්නේ.
මෙන්න පහුවදා උදේ වත්ත අයිනට ගෙනත් දාල තිබුණලු අර හොරකම් කරපු කටු කම්බි රෝල් ටික සේරම.
කොහොමද වස් කවි වල බලේ?
-කතන්දරකාරයා
ප/ලි
සීයා ගේ අනිත් කතන්දර කියවල නැති අයට මෙන්න ලින්ක්ස්.
1. ජෝන් මහත්තයා සයිලන්ස් කරපු හැටි
2. සීය කොල්ල කාලේ
3. සීය ගේ කෝට් එක නැතිවෙලා
4. හාමුදුරුවෝ සරෙන්ඩර්
මෙන්න ආච්චි ගැන කතන්දර
1. මහා භය වීම
2. ආච්චි ගේ පෙට්ටගම
3. ආච්චි ගේ රෙද්ද (පොලිසියට බයේ දුවපු කොල්ලා)
4. ආච්චි ගේ සීනි බෝතලේ
Subscribe to:
Post Comments (Atom)
මට ෙප්න්ෙන එ් ෙදයිෙයා පගාවටම වැඩ නැහැ වෙග්.
ReplyDeleteසීයා තමයි දවසකටවත් පොර නේද? අර අන්දරේටත් වස් කවි කියන්න කලින්ම "රා" හම්බ උනාලු නේද?
ReplyDeleteඅන්න මිනිස්සු....... ලොල්
ReplyDeleteකසූගෙ සීයත් එකෙන්ම සිරා ඩයල් එකක් නේ.
ReplyDeleteමොනව කරන්නද සීයට තියෙන්නෙත් කතන්දරගේ ජාන නේ...
ReplyDeleteකතන්දරේ මහත්තයෝ වස් කවිය ලියන්න බැහැද?
ReplyDeleteඅදටත් අපේ පැත්තේ නම් මෙන්න මෙහෙම බෝඩ් ලෑලි තියනවා.
" මේ කෙහෙල් කැන කපපු එකාට හෙණ හත ගහපන්"
"මේ ගෙදරට පැනලු හොරාගේ පවුල පිටින් විනාස වෙයන්"
මම නම් මේ වගේ ඒව දැක්කම ටක් ගාලා වෙන අතක් බලා ගන්නව. අනේ මගේ ඇස් වහ කට වහ වැදුනොත් පවු නේ හොරා වුනත්.
කාටත් පේන විදිහට තමයි මේව අතින් ලියල එල්ලල තියෙන්නේ.
ඇයි මේවයේ හොද පැත්ත "සෙත් කවි"
ඒ වගේම බෝධිය වටේ එල්ලල තියෙන ..
" පුබුදු පුතුගේ ග්‍රහ අපල දුරු වේවා"
" කතන්දරගේ සෙනසුරු අපල දුරු වේවා"
මම නම් හිතන විදිහට මේ දේවල් ඔක්කම මානසික අල්ලස්....
කතන්දරගෙ සීය නම් හොඳ බුද්ධිමතෙක්..
සීයාට නම්, හොඳ මොලයක් තිබුනුබව පේනවා. සීයාගේ ජාන 'කතන්දර'ට යාන්තමටවත් ඇවිත් තියනව කියලා හිතනවද?
ReplyDeleteමගේ ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැහැ. නමුත් මගේ මතය ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක් අනාවැකියක් වැරදුණාය කියල මුදල් ආපසු ඉල්ලීම අසාධාරණයි. අයුතුයි. (අනාවැකිය කොයි තරම් වැරදුණත්.) මන්ද හැම අනාවැකියකටම ඇඳුණු සම්භාවිතාවක් තියෙනවා. කාලගුණ අනාවැකි පවා කිව හැක්කේ 27 වැනිදා වහින්න 60% ක සම්භාවිතාවක් තියෙනවා කියල. සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන නිසා මේ 'සියේට 60' කෑල්ල අයින් කරල 27 වැනිදාට වහින්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියල කියනවා. නොවැස්සයි කියල අපි කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුවේ නිලධරයන්ට පඩි දෙන්න එපා කියනවනම් වැරදියි.
ReplyDeleteතව උදාහරණ. ලෙඩ සුව වුණත් නැතත් අපි දොස්තරට මුදල් ගෙවනවා. කාර් එක ඇක්සිඩන්ට් වුණත් නැතත් ඉන්ෂුවරන්ස් ප්‍රෙමියම් ගෙවනවා. ඇයි සාස්තරකාරයින්ට විතරක් වෙනසක්?
ගමේනෙ, හොරාට ආරංචි වෙන්න ඇති නේද වස් කවි කියන්නයි යන්නෙ කියල.
ReplyDeleteKathandara ge Siiyath Maara Porak :)
ReplyDeleteදවස් හතරක නිවාඩුවේ කලින් දාගත්තු ට්‍රිප් එකක් තිබුණා. ඒ අතර කතන්දර බ්ලෝග් එක ඔටෝපයිලට් දාලයි ගියේ. මේ දැනුයි ගෙදර ආවේ.
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි for comments.
හෙට උදේටත් කතන්දරයක් සෙට් කරලයි තියෙන්නේ ඔටෝ පබ්ලිෂ් වෙන්න.
@වත්,
ReplyDeleteමගේ සෙනසුරු අපලේ දුරු වෙලා ගෙඩක් කල් මිසී!
මේ දවස්වල සිකුරා.
-කකා
@ටැබූ,
ReplyDeleteමෙතන අපේ සීයා, තිබ්බ පඬුරු ආපහු ඉල්ලුවේ සාස්තරේ නොකියා එලෝපු හින්දනේ.
මම අහලා තියෙන කතාවක හැටියට අලි සිමියොං තමන්ගේ නැතිවුණ අලියා ගැන සාස්තරයක් අහන්න ගියාමත් කිව්වලු;
ReplyDelete"හොරා නැති වෙච්ච දේ ඉනේ ගහගෙන ජනේලෙන් පැනලා ගිහින් තියෙන්නේ..." කියලා...
ලක්ෂ ගානක අලියා නැතිවුන කේන්තියෙන් ඉන්න අලි සිමියොං සාස්තරකාරයට කරපු දේ හිතා ගන්න හැකිනේ...
එළඹෙන වසරේත් කතන්දරගේ අඩවිය රසබර කතන්දර වලින් පිරී ඉතිරේවා...