Wednesday, 28 April 2010

ජීවිතේ මෙගා ටෙලියක්


සමහරුන්ට ජීවිතය ගීතයක් වගේ ලු. සමහරුන්ට ජීවිතය ගලන ගඟක් ලු. තවත් අයට ජීවිතය සුලං පහරක පුළුන් රොදක් ලු. සමහරුන්ට ජීවිතේ මල් ලු.

කතන්දරවලට කැමති මට නම් ජීවිතය කතන්දර ගොඩක්. පොඩි පොඩි කතන්දර එකතුවෙලා ලොකු කතාවක් හැදෙනව. ඒ කියන්නෙ ඉස්සර අපේ භාෂාවෙන් මහ දිග කතාවක් එහෙම නැත්තං අද භාෂාවෙන් "මෙගා" එකක්.

ඉස්සර නං ඔය මෙගා වල අපි රඟ පැවෙ කෙලින්ම ප්‍රධාන චරිත. දැන් දැන් ටික ටික කෙල්ලගෙ අයිය, අල්ලපු ගෙදර පොර, ඉස්කෝලෙ මහත්තය වගෙ චරිත වලට වැටිල.

අවශ්‍ය නං පන්සලේ හාමුදුරුවන් ගෙ චරිතෙත් රඟ පාන්න හැකියාව තියෙනව.

තව වැඩි කලක් යන්න කලින් කෙල්ලගෙ තාත්තගෙ චරිතෙ රඟපාන්නත් වේවි. බුදු අම්මෝ!!!

ඉතිං ඔය සේරම කිව්වෙ, අද කතන්දරේට බහින්නයි. මෙව්ව අපේ එදිනෙදා ජීවිතය විසින් සපයන කතන්දර. මං ලඟදි ඔය වගේ ඒව කීපයක් ම කිව්ව මතකනේ?

ඔන්න අද පෝය හින්ද ලෙඩින් ඉන්න අපේ තාත්තව බලන්න නෑදෑයො යාළු මිත්තරයො පෝලිමේ වගෙ ආව.

ආපු එක ඇන්ටි කෙනෙක් වාඩි වෙලා තේ එකක් සිප් කර කර ඉන්න ගමං, ලඟ තිබුණු ටීපෝ එකේ තිබිල අතට ගත්ත සඟරාවක්. නම භාවනා! ඔන්න එයා පටන් ගත්ත පිටු පෙරලන්න.

ඕක දැකපු අපේ මව් තුමියට ගියා කට කොණකින් හිනාවක්.

"අනේ අක්කෙ, ඕකෙ නම භාවනා වුණාට ඕවා මේ නවකතා කොටස් වශයෙන් පලවෙන සඟරාවක්!" අපේ අම්ම කිව්ව.

මේ සඟරාව අර මිල්ස් ඇන්ඩ් බූන් වර්ගයේ මල් නවකතා සිය ගාණක් ලියපු සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ද කොහෙද වැඩක්. නවකතා, නළු නිලියන් ගැන කතා වගේ සරල කෑලි වලින් පිරිච්ච එකක්.

"ඒක තමයි නංගි මාත් මේ බැළුවෙ. මේ පින්තූර ටික දැකපු ගමං මට හිතුනා මේක නං භාවනා ගැන පොතක් වෙන්න බෑ කියල." ඇන්ටි කිව්ව.

"අනේ ඉතිං හොඳද මේ වගේ සඟරාවකට භාවනා වගේ නමක් දාන එක." එයා හරියට විස්සෝප වෙනව.

"මේකනේ ඇන්ටි වැඩේ," මං කතාවට අවතීර්ණ වුණා, "ඒකෙ වරදක් නෑ, ඇන්ටිට තේරුනේ නැතිවුනාට ඕක පිලිකුල් භාවනාව ගැන පොතක් නේ!"

දවසකට මේ වගේ කතන්දර කීයක් නං අපේ ජීවිතවලින් බිහි වෙනවද?

කතන්දරකාරයා
ප/ලිඃ තාත්තාට වැඩි සුවයක් නැත. එය ලොකු දුකකි. ඒ සමගම ඇති පොඩි පහේ දුකක් නම්, තාමත් තාත්තා මාව නිසියාකාරව හඳුනා නොගැනීමයි. ජීවිතවල හැටි!

8 comments:

  1. ජීවිතේ හැටි ඔහොම තමයි... බ්ලොග් ලියන හැමෝගෙම ප්‍රාර්ථනාවන් නිසා, තාත්තාට ඉක්මන් සුවය ලැබේවි කියල හිතනවා...

    ReplyDelete
  2. හෙ හෙ..භාවනා,වන්දනා මරු නම් තමයි ඒ පත්තර වල තිබ්බෙ.

    හ්ම්..ජීවිතේ හැටි තමයි. ඒත් අපිට එහෙම කියල සැනසෙන්න අමාරුයි අපේම කෙනෙකුගෙ දුකකදි.ඒකත් ජීවිතේ හැටියක්.

    සුව පතනවා පියාණන්ට.

    ReplyDelete
  3. ඕකෙ කියවන්න කියල දෙයක් නෑ මං හිතන්නේ......

    තාත්තට ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියේ....!!!!!

    ReplyDelete
  4. කතන්දර ඔබේ තාත්තාට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  5. තාත්තාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  6. තාත්තාට ඉක්මන් සුවය පතනවා අයියේ..

    ReplyDelete
  7. අපි ගොඩක්ම පසු තැවෙන්නෙ අපේම අය අපිව හරියට අදුන ගත්තෙ නැතිවුනාමයි කියලයි මට හිතෙන්නෙ...අපි හැම සිහිනයක්ම මවන්නෙ 'අපි සහ අපේ' කියන අය වටායි...ඒත් ඒ සිහින වල ඉන්න 'ප්රදාන චරිත' හරිය‍ට අපිව තේරුම් නොගත්තම මට නම් ඇතිවෙන්නෙ දුකක‍ට,තරහවකට වැඩිය අපි ගැනම කලකිරීමක් !

    "හරියට අපි ලොකු කතාවක් කාට හරි කියල ඒකෙ අන්තිමේදි අහන් හිටපු කෙනා කතාව ඇහුනෙ නෑ කියනව වගේ"

    අයියගෙ තාත්තට ඉක්මනට හොද වෙන්න කියල පතනව අයියෙ.....

    ReplyDelete
  8. @ All
    ඔබ සියළු දෙනාගේ ප්‍රාර්ථනා මට මහත් ශක්තියක් විය.

    තව සති හතරකින් පමණ තාත්තා ගේ තත්වය ගැන වෛද්‍ය මතය දැනගත හැකි වේවි.

    දුකින් බර සිතින් යුතුම මම තාත්තාගෙන් සමුඝෙන මගේ නිවසට ආවෙමි. සති දෙකකට පසුව හෙට නැවත රාජකාරිය ඇරඹිය යුතුව ඇත.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.