ගෙදර එක්ක, ඒ කියන්නෙ අම්ම තාත්ත එක්ක, එක දවසක් හරි තරහ වෙලා නැති කෙනෙක් ඉන්නව කියල මං නං හිතන්නෙ නෑ.
වරදක් කරල තාත්ත කන මිරිකුවහම, අම්ම බැන්නම, ඉල්ලපු දෙයක් ගෙදරින් අරං දුන්නෙ නැති උනාම වගේ මෙකී නොකී හේතු කීයක් තියෙනවද අම්ම එක්ක හරි තාත්ත එක්ක හරි දෙන්නම එක්ක හරි තරහ වෙන්න.
මං නං පොඩි කාලෙ මේ වගෙ ගෙදර එක්ක තරහ වුනු දවස් වල කලේ කෙලින්ම ඇදට හිහින් නිදාගන්න එකයි. කන්න නැගිටින්නෙ වත් නෑ.
එහෙම නොකා ඉන්නෙ ගෙදරට මගේ අප්‍රසාදය පෙන්වන්නයි.
උපවාසය කවදත් විරෝධතාවය පෙන්නන ක්‍රමයක් නෙ, ගාන්ධි ල ගෙ ඉඳල ජේ.ආර්. දක්වා, තිලීපන් ල ගෙ ඉඳල දඹර අමිල ල දක්වා.
තරහ වෙලා නිදාගත්තු බොහොමයක් දවස් වලට මං කන්න නැගිටින්නෙ නැත්තෙ උපවාසෙටත් වඩා, නිදිමත වැඩි කමටයි. බඩගින්න නිසා නින්ද නොඑන ලෙඩක් නං මට තිබුනෙ නෑ. ඒත් සමහර දවස් වලට අම්ම හොඳම කරදර කලොත් නැගිටල බත් කටවල් දෙක තුනක් ගිලල, එහෙම නැත්තං තේ එකක් බීල ආපහු නිදා ගෙන තියෙනව.
ඇත්තටම කියනව නං, ළමයෙක් තරහ වෙලා රෑට කන්නෙ නැතුව නිදාගත්ත කියල දෙමව්පියන් ට ඇති වෙන පාඩුවක් නෑ. එක වේලක් අඩුවෙන් කෑව කියල ලෙඩ හැදෙන්නෙ නෑනෙ?
අනික කෑම ගැන කොහොමටත් උපදෙස් දෙන්නෙ උදේට කුමාරයෙක් වගේ, දවල් ට සාමාන්‍ය මිනිහෙක් වගේ, රෑට හිඟන්නෙක් වගේ කන්න කියලනෙ.
ඒක හෙම වුනාට දරුවන් ට තියෙන ආදරේ හින්ද දෙමව්පියන් ගෙ හිත උණුවෙනව. අපේ අම්ම ලඟට ඇවිල්ල පෙරැත්ත කරනව මොනව හරි කාල නිදාගන්න පුතේ කියල. තාත්ත නං ඒ වෙලාවට කියන්නෙ "අනේ මේ නිකං පස් අල්ලන්නෙ නැතුව ඉන්න! ඌට ඕන්නං කන්නෙ නැතුව නිදාගත්තාවෙ!" කියලයි.
මේ හැඳින්වීමත් එක්ක මං අද කියන්න යන්නෙ අපේ අම්ම මාත් එක්ක කිව්ව නියම කතන්දරයක්.
ඔන්න දශක කිහිපයකට කලින් අම්ම ගෙ ඉස්කෝලෙ ඉගෙන ගත්තු කෙල්ලෙක් ඉඳල තියෙනව කමලා කියල. මට දැන් තේරෙන විදියට මේ මනුස්සය තරහ වීම, විරෝධය පෑම කියන දේ අපිට වඩා හොඳින් දැන හැඳින ගෙන හිටි කෙනෙක්.
තමන් ගෙ දෙමව්පියන් එක්ක තරහ වුනාම කමලා කරල තියෙන්නෙ මොකද දන්නවද?
හොරෙන් ම කුස්සියට ගිහින් පුළුවන් තරම් කෑම ජාති බෙදාගෙන උස්මුරුත්තාව වෙනකං කාල කාල ඊට පස්සෙ නිදාගන්න යන එකයි.
අන්න ඒක තමා නියම විරෝධතාවය!
ඒ විරෝධතාවය හොඳට බඩට ම වැදෙන වර්ගයේ එකක්. හිතන්න සාලයො හතර දෙනෙක් උයල තිබුණයි කියල පවුලේ අයගෙ රෑ කෑමට. කමලා නිදාගන්න යන්නෙ ඒ සේරටම වැඩේ දීලා. රෑට කන වෙලාව ආපුවාම, පවුලෙ අයට වෙන්නෙ ඇතිලිය පිහදාගෙන බත් කන්නයි.
අපේ අම්ම ඔය කතාව මට කිව්වෙ, එහෙම හරි මාව කාල නිදාගන්න පොලඹවන්න වෙන්නැති.
හුහ්! මං නං අහුවෙයි ඕවට!!
****
පරණ කතන්දර කියවන්න මෙතෙනට කොටන්නඃ http://kathandara.blogspot.com/
මට කෙලින් ම ඊ-මේල් කරනවා නම්: kathandara@gmail.com
මම නම් හැමදාම වගේ වලි දාගන්නව.... බත් නොකා නිදාගන්නෙ හැබැයි බිස්කට් 5ක් විතර ගිලිනව (පොඩි බඩගින්නට munchee super)
ReplyDeleteමේක කියවල මට මතක් වුනේ අපේ ලොකු අම්මා ගෙදරත් එක්ක තරහ වුනාම කරන දේ...එයා බුදුගෙට වෙලා දොර වහගෙන මුලු දවසෙම බුදුන් වඳිනවා... කන්නෙත් නෑ බොන්නෙත් නෑ ඉතිං මර යුද්දේ ගෙදර අනිත් අයට...
ReplyDeleteකොහොම හරි මුහුණ කට සුදුමැලි වෙලා හරිම ශාන්ත දාන්ත මුහුණින් පහුවදා කුස්සියට පාන්දරින්ම වැදිලා හට්ටි මුට්ටි වල ඉතිරි කෑම සේරම කාලා දාලා තමයි එයාගේ ගෙදර එක්ක කෝපය නිවා ගන්නේ...
මම පොඩි කාලේ ලොකු අම්මලයි දිහා යනව සති අන්තේ.
අපේ අම්මා කවදාවත් මට කේන්ති ගියාම බඩගින්නේ නිදා ගන්න දෙන්නේ නෑ...ඇදෙන් බැහැලා ඇවිත් කනකං බනිනවා.. එතකොට ඉතිං මගේ කේන්තිය ඩබල්! ඒත් ඉතිං කරන්න දෙයක් නෑ.. ගුටි කනවාට වඩා බත් කන එක හොදයිනේ.
ReplyDeleteමම නං එතකොට කළේ සයිකලේ අරගෙන පුළුවන් තරං වේගෙන් පුළුවන් තරම් දුර යන එක එතකොට වටපිටාවෙ දකින්න තියෙන දේවල් නිසා වෙන්න ඇති කේන්තිය නිවෙනවා. කෝපාග්නිය නිවී ගියාම ආපහු ගෙදර එනවා.
ReplyDeleteදවසක් මම ඔහොම සයිකලේ පැදගෙන ගියා හික්කඩුවටම. දුර කිලෝමීටර් දහයයි. ගිහින් ආපහු එන්න ගත වුණේ පැයයි විනාඩි පහළොවයි.
මා කරන වැඩෙත් ලියන්න එපැයැ. අම්මා තාත්තා බැන්නහම මා කරන්නේ කාමරයට ගිහින් හොරෙන් ම ජනේලයෙන් පැනලා කිරි අම්මලා ගේ ගෙදර ගිහින් හොඳට කාලා ආයෙත් හොරෙන් ම ජනෙලයෙන්ම පැනල නිදා ගන්නවා. කොච්චර කරදර කලත් නැගිටින්නේ නම් නැහැ. ඉතින් අම්මලාට නම් ගොඩක් දුකයි, මම නොකා නිදා ගත්ත කියලා. මටත් හරි සතුටුයි ඒ අයව රිදෙව්වා කියලා. ඇයි යකෝ එක කෑම වේලක් මඟ හැරුනොත් අයෙත් ඒක කන්න පුළුවන් ද මං අහන්නේ.
ReplyDelete