Followers

Friday, March 5, 2010

කතන්දරකාරයාට ලොතරැයි දිනුමක්?


ඉස්සර අපි පොඩි කාලෙ පොඩි පන්තිවල ඉන්න කොට අප්‍රියෙල් නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලෙ පටන් ගත්ත මුල සතියෙම සිංහල විෂයයට අනිවා ඩෙෆා කරන්න වෙන වැඩක් තමයි "මා පාසල් නිවාඩුව ගත කළ අන්දම" කියලා වාක්‍ය රචනාවක් ලියන එක.

මේක කොච්චර හරියන දෙයක්ද කියනව නම්, මං පහේ පන්තියෙදි දෙවන වාරයේ ඉස්කෝලෙ යන්න කලින් නිවාඩු කාලෙදිම රචනාව ලියාගෙනයි ගියේ.

ඔව්, ඔව්, ඒ දවස්වල ඉඳලම මං කතන්දර ලියන්න එච්චර උනන්දුයි!

"මා පාසල් නිවාඩුව ගත කළ අන්දම" වගේම තවත් ටීචර් ලා අතර ජනප්‍රිය මාතෘකාවක් තමා "මට ලොතරුයි දිනුමක් ඇදුනොත්" කියන එක.

හැබැයි මේ මාතෘකාවෙන් ලියද්දි නම් අපිට ඕන හැටියට, ඕනැ තරමට නිර්මාණශීලී වෙන්න පුළුවනි.

දෙමව්පියන් ට සල්ලි දෙන හැටි, නංගිල මල්ලිල පවුලෙ අයට සලකන හැටි, නැති බැරි අයට සල්ලි දෙන හැටි, ලොකු වෙලා කාර් එකක් ගන්න හැටි.. .. ..

ඒ දවස්වල ඔය රචනය ලියනවට වඩා ජොලි වැඩේ තමා ඒ ගැන හිතමින් හීන දකිමින් ඉන්න එක - නේද?

වැඩේ කියන්නෙ මේකයි. පහේ පන්තියෙදි විතරක් නෙමේ, පහලොවෙ, විසි පහේ පන්තිවලදිත් ඔය මාතෘකාවෙන් ලැබෙන වින්දනය නම් අඩුවක් නෑ.

ඔන්න දැන් අවුරුදු හත අටකට කලින් මං අහම්බෙන් වගේ එක්කො සරසවිය පත්තරේ හරි එහෙම නැත්තං සිකුරාදා දිවයින පත්තරේ හරි බලද්දි දැක්ක ජැක්සන් ඇන්තනි එක්ක කරල තිබුණු සම්මුඛ සාකච්ඡාවක්.

පත්තරකාරය ජැකාගෙන් අහනව මෙන්න මෙහෙම.

"ඔබ ජුලියට් ගේ භූමිකාව කළායින් පස්සෙ චිත්‍රපටියක් අධ්‍යක්‍ෂණය කලේ නෑ නේද? මොනවද ඉදිරි බලාපොරොත්තු?"

ජැකා දීල තිබුණු උත්තරේ මෙන්න මේ වගේ එකක්.

"මං තිර රචනයක් ලියලයි තියෙන්නෙ. ඒකට නිෂ්පාදකයෙක් හොයා ගන්නයි මේ දවස්වල මහන්සි වෙන්නෙ."

ඔය කතාව කියවපු මං කෙලින්ම සිහින ලෝකෙන් පහේ පන්තියට ගිහිං මගෙ අර "විෂ් ලිස්ට්" පැතුම් ගොන්න අළුත් කළා.

"මට ලොතරුයි දිනුමක් ඇදුනොත් ජැක්සන් ඇන්තනි ගේ මීලඟ චිත්‍රපටිය නිෂ්පාදනය කරමි!"

එදා ඉඳල සති පහක් හයක් යනකම් හැම සතියෙම වගේ ලොතරැයි ගත්තත් හොඳ වෙලාවට වගේ ඒ එකක්වත් ඇදුනෙ නෑ.

ඇදුන නම් හෙම, බුදු අම්මෝ, අරා "අබා" එකට අපේ කට්ටිය බැන්න බැනුම් ටික මටත් බෙදා ගන්න වෙනව නොවැ.

මගේ පහේ පන්තියෙ වාක්‍ය රචනාවෙ මං ඔය සිහින පැතුම් ගොන්න ගැන ලිව්වට මගේ මල්ලිට තිබුණ මට වඩා මොලේ.

ඌ වාක්‍ය රචනයට ලිව්වෙ එකම එක වාක්‍යයයි.

"මට ලොතරුයි දිනුමක් ඇදුනොත් මම ඒ මුළු මුදලම බැංකු ගිනුමක තැන්පත් කරමි."

(අපේ බ්ලොග් පාඨකයින්ටත් ඇති නේද මේ වගෙ අත්දැකීම්?)

කතන්දරකාරයා
kathandara@gmail.com

9 අදහස්:

  1. ඕකම තමා මටත් එකපාරක් ලියන්න දුන්න මාතෘකාව. මං දෙකේ පංතියේදි ලියපුවට අම්ම තාම කිය කිය මට හිනාවෙනවා. මතක්වෙද්දී මටත් හිනා.

    ReplyDelete
  2. හැබෑට මාත් කාලෙකට කලින් නම් ලොතරැයි අරගෙන ලොකු ලොකු දේවල් හීන මැව්වා. දැන් නම් ලොතරැයි කියන්නේ අතේ තියෙන විස්සටත් කෙලින එකක් නිසා ගන්නේ නැහැ

    ReplyDelete
  3. ඉස්සර මගෙත් පුරුද්දක් තිබ්බ ලොතරැයියක් ඇදුනොත් මොනවද ක‍රන්නෙ කියල හීන මවන්න. ඒක සෑහෙන්න ජොලි වැඩක්! හීනමැව්වට මොකද, ගත්ත එක ටිකක් එකකින්වත් රුපියල් දහයකට වඩා ඇදුනෙම නැද්ද කොහෙද. අන්තිමේ ගාණ රුපියල් විස්ස කරාට පස්සෙ ලොතරැයි කූඩවක් පැත්ත පළාතක ගියේ නෑ...

    අපි ඇදෙන්නෙ ‍ඉතින් රබර් (වලින් හදපු) ටිකට් තමා...

    ReplyDelete
  4. මටත් ජීවිතේට ලොතරැයි දිණුම් නං ඈදිලා නෑ. හැබැයි මං පොඩි කාලේ අපේ තාත්තට රු 500 ක් ඈදිලා ඒකත් දාලා තාත්තා මට පොඩ් චොපර් බයිසිකලයක් අරං දුන්නා.මම දන්න තරමින් තාත්තට ලොතරැයි දිණුමක් කියලා ඈදුනේ එච්චරද කොහෙද?

    ReplyDelete
  5. ලොතරැයි දිණුම්

    ReplyDelete
  6. මං දාන කොමෙන්ට් වැටෙන්නැද්ද මේ අටමගලේ??????????????

    ReplyDelete
  7. මටත් හරියට සුවිප් ඇදිලා තියෙනවා.

    දවසක් සිගරැට් පැකට් එකක් අරං කඩල බලද්දි තුණ්ඩුවක් තිබ්බා ඒක පෙන්නුවම මට කිරි කිරි ඔරලෝසුවක් ලැබුනා.

    තව දවසක් බියර් බෝතලයක් එක්ක සූරන ලොතරැයියක් ලැබිලා ඒක සූරල මට කී ටැග් එකක් ලැබුනා.

    තවත් කාලෙකදි මට ඉංග්‍රීසි පංතියේදි සුවිප් එකක් ඇදිලා කෙල්ලක් ලැබුනා. ඊට අවුරුදු අටකට පස්සේ එයාව කසාද බැඳලා ඊටත් අවුරුදු හතකට පස්සේ සැනසිලි තෑග්ගක් ඇදිලා දෙපැත්තට වුනා.

    ජීවිතයත් ලොතරැයියක් වගේ තමයි එක වෙලාවකට. ගන්න එපැයි ඇදෙන්න වුනත්?

    ReplyDelete
  8. මටත් හතේ පංතියේ ඉන්න කාලේ ලොතරැයියක් ඇදුනා.. ඒ කාලේ අපේ ඉස්කෝලේ බිල්ඩින් එකක් හදන්න සල්ලි එකතු කලා.. පංති මට්ටමින් ලොතරැයි විකුනලා ඒවායේ සල්ලිත් ඒක හදන්න ගත්තා.. එහෙම එකකින් මට බෝනික්කෙක් හම්බ උනා.. එයින් පස්සේ ආසවකටවත් රු.10ක් වත් ඇදිලා නෑ.. ඒ නිසා ගන්නෙත් නෑ.. හැබැයි ඉතිං කොයි දේ ගැනත් හීන දකින එක මගේ උපන් ගෙයි පුරුද්දක්!

    ReplyDelete
  9. ලොතරැයි ගැනනම් කථා කරන්න එපා..

    මට ඈදුනොත් මොකද කරන්නේ කියලා ඈදුනට පස්සේ තමයි හිතන්නේ... :D :D

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).