Thursday 29 April 2010

බනිස් කතන්දර


අපේ තාත්ත පාන් කන්න කැමතිම නෑ. එයා ගෙ ප්‍රියතම උදෑසන බේකරි ආහාරය වුනේ බනිස්. ඒ කියන්නෙ, ඉඳිආප්ප, රොටී, ආප්ප වලට පස්සෙ ප්‍රියතම ආහාරය.

තාත්ත උදේ 5:45 බස් එකේ ගෙදරින් යන නිසා, සාමාන්‍යයෙන් උදේට කන්නෙත් කඩෙන්. එක බස් එකකින් ගිහින් බැහැල අනිත් එක ගන්න කලින් තියෙන විනාඩි කීපය ඇතුලත හන්දියෙ ජන්ෂන් හෝටලෙන් කන්න ගිහින් තමයි තාත්ත ඔය බනිස් ලෝලියෙක් වුනේ.

අපි ඉබි පැටවු තුන්දෙනා පුංචි කාලෙ ඉඳලම පාන් කන්න රුසියො වුනාට බනිස් වලටත් අකමැතිම නෑ. අපිට ඉඳල හිටල කොණ්ඩෙ කපන්න, බේත් ගන්න වගෙ දේවල් වලට ටවුමට යන්න වෙනව. එහෙම දවස් වලදි අපිට තියෙන ජොලිම වැඩේ තමයි ටවුමෙ හෝටලයකින් බනිස් කාල තේ බීම.

බනිස් ජාති කීපයක් තිබුණ. ඩබල් බනිස් කියන්නෙ පොඩි බනිස් දෙකක් ක්‍රීම් වලින් එකට අලෝපු පොලිතීන් බෑග් එකක එන ජාතියක්, ක්‍රීම් බනිස් තමයි රහම, ඊලඟට තිබුන සීනි බනිස්. ඒකෙ බනිස රහ අඩුයි, නමුත් උඩින් සීනි කැට කපල එකයි.

පිටින් ඔපේට රැවටිලා පුංචිම පුංචි ඉබි පැටිය නම් හැමදාම ඉල්ලුවෙ ඔය කියන සීනි බනිස්. මං නං කෑවෙ ක්‍රීම් බනිස් වගෙයි මතක.

නිතරම බනිස් කන අපේ තාත්ත තමයි ඉතිං අපේ ගෙදර බනිස් පිළිබඳ විශේෂඥයා.

ඔන්න එක දවසක් තාත්ත ගෙදර ඇවිත් අම්ම එක්ක කිව්ව මෙන්න මෙහෙම.

"අද නං ජන්ෂන් කඩේ බනිස් නිකං ගෝනි පඩංගු රහයි!"

අපේ අම්ම කිව්වෙ මෙච්චරයි.

"හැබෑටම මහත්තයො ඔයා කොහොමද ගෝණි පඩංගු රහ දන්නෙ?"

කතන්දරකාරයා
ප/ලිඃ දැන් නං තාත්ත කෑම කනවට වැඩිය කරන්නෙ කෑම විකන එකයි. එනිසා ලික්විඩ් ඩයට් වලින් තමයි ගේම් එක ගෙනියන්නේ.

Wednesday 28 April 2010

ජීවිතේ මෙගා ටෙලියක්


සමහරුන්ට ජීවිතය ගීතයක් වගේ ලු. සමහරුන්ට ජීවිතය ගලන ගඟක් ලු. තවත් අයට ජීවිතය සුලං පහරක පුළුන් රොදක් ලු. සමහරුන්ට ජීවිතේ මල් ලු.

කතන්දරවලට කැමති මට නම් ජීවිතය කතන්දර ගොඩක්. පොඩි පොඩි කතන්දර එකතුවෙලා ලොකු කතාවක් හැදෙනව. ඒ කියන්නෙ ඉස්සර අපේ භාෂාවෙන් මහ දිග කතාවක් එහෙම නැත්තං අද භාෂාවෙන් "මෙගා" එකක්.

ඉස්සර නං ඔය මෙගා වල අපි රඟ පැවෙ කෙලින්ම ප්‍රධාන චරිත. දැන් දැන් ටික ටික කෙල්ලගෙ අයිය, අල්ලපු ගෙදර පොර, ඉස්කෝලෙ මහත්තය වගෙ චරිත වලට වැටිල.

අවශ්‍ය නං පන්සලේ හාමුදුරුවන් ගෙ චරිතෙත් රඟ පාන්න හැකියාව තියෙනව.

තව වැඩි කලක් යන්න කලින් කෙල්ලගෙ තාත්තගෙ චරිතෙ රඟපාන්නත් වේවි. බුදු අම්මෝ!!!

ඉතිං ඔය සේරම කිව්වෙ, අද කතන්දරේට බහින්නයි. මෙව්ව අපේ එදිනෙදා ජීවිතය විසින් සපයන කතන්දර. මං ලඟදි ඔය වගේ ඒව කීපයක් ම කිව්ව මතකනේ?

ඔන්න අද පෝය හින්ද ලෙඩින් ඉන්න අපේ තාත්තව බලන්න නෑදෑයො යාළු මිත්තරයො පෝලිමේ වගෙ ආව.

ආපු එක ඇන්ටි කෙනෙක් වාඩි වෙලා තේ එකක් සිප් කර කර ඉන්න ගමං, ලඟ තිබුණු ටීපෝ එකේ තිබිල අතට ගත්ත සඟරාවක්. නම භාවනා! ඔන්න එයා පටන් ගත්ත පිටු පෙරලන්න.

ඕක දැකපු අපේ මව් තුමියට ගියා කට කොණකින් හිනාවක්.

"අනේ අක්කෙ, ඕකෙ නම භාවනා වුණාට ඕවා මේ නවකතා කොටස් වශයෙන් පලවෙන සඟරාවක්!" අපේ අම්ම කිව්ව.

මේ සඟරාව අර මිල්ස් ඇන්ඩ් බූන් වර්ගයේ මල් නවකතා සිය ගාණක් ලියපු සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ද කොහෙද වැඩක්. නවකතා, නළු නිලියන් ගැන කතා වගේ සරල කෑලි වලින් පිරිච්ච එකක්.

"ඒක තමයි නංගි මාත් මේ බැළුවෙ. මේ පින්තූර ටික දැකපු ගමං මට හිතුනා මේක නං භාවනා ගැන පොතක් වෙන්න බෑ කියල." ඇන්ටි කිව්ව.

"අනේ ඉතිං හොඳද මේ වගේ සඟරාවකට භාවනා වගේ නමක් දාන එක." එයා හරියට විස්සෝප වෙනව.

"මේකනේ ඇන්ටි වැඩේ," මං කතාවට අවතීර්ණ වුණා, "ඒකෙ වරදක් නෑ, ඇන්ටිට තේරුනේ නැතිවුනාට ඕක පිලිකුල් භාවනාව ගැන පොතක් නේ!"

දවසකට මේ වගේ කතන්දර කීයක් නං අපේ ජීවිතවලින් බිහි වෙනවද?

කතන්දරකාරයා
ප/ලිඃ තාත්තාට වැඩි සුවයක් නැත. එය ලොකු දුකකි. ඒ සමගම ඇති පොඩි පහේ දුකක් නම්, තාමත් තාත්තා මාව නිසියාකාරව හඳුනා නොගැනීමයි. ජීවිතවල හැටි!

Monday 26 April 2010

පියා ගේ කතාව



පහුගිය ටික දවස ඇතුලත මං මගේ තාත්තා ගැනයි, තාත්තා ලඟින් ගැවිලා යන විවිධ දේවල් ගැනයි බ්ලොග් ලිපි කිහිපයක්ම ලිව්වා.

අද කතන්දරෙත් තාත්ත කෙනෙක් ගැන. හැබැයි ටිකක් වෙනස් එකක්.

ඔන්න මගෙ යාළුවෙක් ඉන්නව පියසිරි කියල. අපි පොරට කියන්නෙ පියා කියලයි කෙටියෙන්. මිනිහ ඉන්නෙ පිටරටක දැන් අවුරුදු බර ගානක ඉඳන්. මේ කතන්දරේට මූලික වෙලා තියෙන්නෙ පියසිරි. මට කතන්දරේ කිව්වෙත් පොරම තමයි.

පියසිරි ගෙ හොඳ යාළුවෙක් ඉන්නවලු සමන් කියල. සමනුත් දරු පවුල් කාරයෙක්. ඉන්නෙ පිටරට. පියසිරිලගෙ ගෙවල් කිට්ටුවම ලු පදිංචිය.

අවුරුදු කීපෙකට කලින් සමන් ල සිය පවුලම ආව ලංකාවට නිවාඩුවක් ගත කරන්න.

සමන් ගෙ දුව පිටරට ඉපදිලා එහෙම ජීවත්වෙන ළමයෙක් නෙ. ඉතිං සිංහල දැනුම අඩුයි.

මෙන්න සමන් ගෙ දුව නිෂිති යි, එයාගෙ නැන්දගෙ දුව විහංගා යි අතරෙ වුණ දෙබසක්. මේ දෙන්නම අවුරුදු අටේ, නමයෙ ළමයි.

නිෂිතිඃ අපචී කියන්නෙ කාටද?

විහංගාඃ අපචී නෙමේ අප්පච්චී. ඒ කියන්නේ තාත්තට.

නිෂිතිඃ ඇත්තද?

විහංගාඃ ඔයා දන්නවද තාත්තට කියන තවත් නමක් තමයි, "පියා".

නිෂිතිඃ "පියා" කියන්නෙ තාත්තට නෙමේ.

විහංගාඃ එහෙනම්?

නිෂිතිඃ "පියා" කියන්නේ තාත්තට නෙමේ, තාත්ත ගෙ යාළුවෙකුට නේ.

සමන් ගෙ දුව මේ කියන්නේ අපේ පියසිරි ගැනයි.

* * * *

මේ වගේම කෑල්ලක් තිබුනා ඉස්සර රේඩියෝ එකේ ගිය "විනෝද සමය - අමාරිස් අයියා" විහිළු වැඩ සටහනේ.

ඔන්න අමාරිස් අයිය ගිහින් එයාගෙ පුතාව ඉස්කෝලෙට ඇතුලත් කරන්න.

විදුහල්පතිඃ හා, හොඳයි දැන් පියා මෙතනට එන්න.

අමාරිස් අයියාඃ අන්න, පලයන් කොළුවො, ලොකු මහත්තය ගාවට.

විදුහල්පතිඃ මේ මොකද මේ ළමය මෙතන. ළමය යන්න ගිහින් වාඩිවෙන්න. පියා මෙතනට එන්න.

අමාරිස් අයියාඃ ඉතිං මහත්තයො ඔය ඉන්නෙ පියා තමයි. මගෙ නම අමාරිස් නේ. කොළුවගෙ නම පියදාස.

කතන්දරකාරයා
ප/ලිඃ අදත් මං තාත්තගෙ ඇඳ ලඟ ඩියුටි. ඉස්පිරිතාලෙ නෙමේ ගෙදර. අද මගෙ ෂිෆ්ට් එක පටන් ගත්තෙ ඊයෙ රෑ දොලහට, පැය තුනක නින්දකින් පස්සෙ. පෙරේද නං මාර කට්ටක් කෑව පෙරේද උදේ පහේ ඉඳල ඊයෙ උදේ පාන්දර තුන හතර වෙනකං.

අද රෑට මේ මුර සේවාව අවුට්සෝස් කරනවා! ඊට පස්සෙ ඩේ ෂිෆ්ට් විතරයි.

Sunday 25 April 2010

මදුරුවාට ලැබුණු තෑග්ග : KK-BM7


ඉස්පිරිතාලෙ නං මදුරුවො හිටියෙ නෑ. කොහොමටත් මං ඩියුටි කලේ දවල්නෙ.

ඒකටත් එක්ක ගෙදර!

මැට් එකක් ප්ලග් කරල තිබුණත්, කොයිල් එකක් පත්තු කරල තිබුණත් මදුරුවො ඉඳල හිටල දෙනව ඇටෑක් එකක්.

ඔය අව් අස්සෙ මට මතක් වුනා මෙන්න මේ පරණ කතාව.

ඔන්න ඉස්සර දවසක දෙයියො මැව්වලු සත්තුන්ව. එහේ ඉඳල මේ ලෝකෙට එවන දවසෙ තෑගි දුන්නලු හැමෝටම.

ඔටුවට වතුර ගෙනියන්න මොල්ලියක්, වඳුරට ගස් උඩ ඇඟ බැලන්ස් කරගන්න වලිගයක්, හාවට දුවන්න කකුල් යනාදී ප්‍රයෝජනවත් දේවල්.

අන්තිමේදී එතනට ගිය මදුරුවට දෙන්න දෙයියො ලඟ කිසිම දෙයක් තිබුනෙ නෑ, තමන්ගෙ නියනට (chissel) අමතරව.

නියන දුන්නට මදුරුව කැමතිවෙලා නෑ වැඩිය. අර සමහර ඇමතිවරු වගේ.

"නියනකින් විතරක් මං මොනව කරන්නද?" පොර ඇඬුම්බරයි.

"ඔන්න ඔහෙ, ඕක අරං යනව. ගියාම එහෙදි හමබවෙයි මිටියක්."

ඉතිං මදුරුව ආව මේ ලෝකෙට තිබ්බ මගෙ කකුලෙන් උගෙ නියන.

චටාස්!

ඒ ඇහුනෙ, මිටියෙ සද්දෙ!

කතන්දරකාරයා

පාන් ගෙඩියක්ම කෑවෙමි! : KK-BM7


ඔව්, ජීවිතේ මුල් වරට මං පාං ගෙඩියකටම වග කිව්වා පහුගිය සිතුරාදා උදේ.

මෙන්න මෙහෙමයි ඒක වුනේ.

මං තාත්ත ගෙ ඇඳ ලඟ ඩියුටිය බාරගත්ත උදේ හයයි තිහට.

හතට විතර නර්ස් නෝනල ආව තාත්තට වොෂ් එකක් දෙන්න. මටත් නහුතෙට බඩගිණියි. බැස්ස පහලට පෙරේර උන්නැහැලගෙ කඩේපැත්තෙ යන්න කියල.

බැලින්නං උන්නැහැල කඩේ අරින්නෙ හතාමාරටළු!

ඒ පාට මං එලියට බැහැල ගියා නාරාහේන්පිට පැත්තට.

කිරි මංඩල පාරෙ අයිනෙ තිබුණ සාමාන්‍ය අයික කඩයක්. ෂෝ කෙස්ස් එකේ, පාන්, බනිස්, බූඩ්ලස් සහ බත් පිඟන් වල දාපු ඒව, මාර චොයිසස් ගොඩක්.

මොනව තිබුණත් මගෙ හිත ගියේ පාං වලටයි.

කඩේ යුවතිය ගෙනාව පාන් බාගයයි, පරිප්පු පිඟානයි. පරිප්පු වලින් බාගයක් ඉතුරු වෙද්දි පාන් බාගෙ අන්තර්ධාන වුනා.

පරිප්පු ටික විසිකරන එක අපරාදෙනෙ. ඉතිං, මං තවත් පාං බාගයක්ම ඉවර වෙනකං, පරිප්පු ටික කෑව.

කීයද දන්නවද බිල?

රුපියල් හැත්තෑවයි!

කතන්දරකාරයා
ප/ලිඃ සිකුරාදාත් ගියා එතනට උදේට කන්න, හැබැයි පාන් තුන්කාලකට වඩා වග කියන්න බැරිවුනා!

SBU Fashion Parade - සිංහල බ්ලොග් ෆැෂන් පැරේඩ්: KK-BM6


අද තවත් හොඳ දෙයක් වුනු දවසක්. තවත් කියල කිව්වෙ, සතියක් ඉස්පිරිතාලෙ හිටිය තාත්තාව අද ගෙනාපු එක අද දවසේ වෙච්ච හොඳම සිදුවීම නිසයි.

ගෙදරට ඇවිත් ටික වෙලාවකින් ආව ෆෝන් කෝල් එකක්. සසික ගෙන්.

තව පැයක් යන කොට සසික ආව අපේ ගෙදර ලඟට. ඒ ආවෙ, මගේ SBU ටී ෂර්ට් තුන දීල යන්නයි.

මෙන්න මගේ ඒක පුද්ගල ෆැෂන් පැරේඩ් එකේ ෆොටෝ කීපයක්.





නිල ලාංඡනය එක්ක යුනිෆෝම් එකක් වගේ වෙන මේ ටී ෂර්ට් එක ඇඳගෙන ගෙදර ඉඳන් අද බ්ලොග් ලියන එකම කෙනා කතන්දරකාරයා වෙන්න ඕනැ.

කතන්දරකාරයා

තවත් කැන්ටිං කතන්දර : KK-BM5


අපේ තාත්තව නතර කරල තිබුණු ඉස්පිරිතාලෙ පෙරේරා උන්නැහලො රන් කරන කැන්ටිමේ පාන් කන්න පුළුවන් සම්බෝලයි, අල හොදියි එක්ක විතරළු.

ඒ කොම්පැණියෙ අය තීරණය කරල තියෙනව, චිකන් දෙන්නෙ රොටි කන අයට විතරයි කියල.

ඔය නීති වලින් ඇහැකියැ, මගේ පාන් කෑම නවත්තන්න. මගේ වචනෙට දෙකට කෂ්ටිය සරෙන්ඩර්. විනාඩියකින් මං පානුයි චිකනුයි එක්ක හැප්පෙන්න පටන් ගත්ත.

ඒගොල්ලො දුන්න පාන් පෙති හතර මට ගෑවෙන්නත් මදි වුනා.

මං ආපහු කවුන්ටරේට ගියා කැන්ටිමේ දෙවන නීතියත් කඩන්න. ඒ තමයි කරි නැතුව පාන් විතරක් මිලට ගැනීම. කැන්ටිං එකේ අයගේ හොඳ වෙලාවට පාං ඉවරවෙලා!

මං ඒ පාර සල්ලි ගෙව්ව සීනි සම්බෝල දාපු මාළු පාං ගෙඩි දෙකකටයි, නෙස්කැෆේ එකකටයි.

බිල අරගෙන ගිහින් බඩු දෙන කොළුවට දුන්නහම මෙන්න එයා මගෙන් අහනව, "සර් කෑමටද?" කියල.

මාළු පාං ගන්නෙ කන්නෙ නැතුව බොන්නයැ?

මං ඉතිං කිව්ව මෙන්න මෙහෙම.

"ඔය නෙස්කැෆේ එක නං බොන්න. අනිත් ඒව කන්න තමයි."

පස්සෙයි තේරුනේ මේ කොළුව අහල තියෙන්නෙ, මාළු පාං ගෙනියන්නද (take away) කියලයි!

කතන්දරකාරයා

අපි කන හැටි එයා දන්නෙ මෙන්න මෙහෙමයි! : KK-BM4



ඔන්න ඉතිං, මං අපේ තාත්තව නතරකරල තිබුණු ඉස්පිරිතාලෙ පෙරේරා උන්නැහලො රන් කරන කැන්ටිමට ගිහින් ඉල්ලුව පානුයි චිකන් කරියි දෙන්න කියල උදේ කෑමට.

කැෂියර් මලයා කියපි "බැහ්!" කියල.

"ඇයි ඒ?" මං ඇහැව්ව.

"චිකන් කරි තියෙන්නෙ රොටි වලටයි. පාන් කන්න දෙන්නෙ, අල හොදියි, සම්බෝලයි."

"ඉතිං, මට පානුයි, චිකනුයි කන්න ඕනැ නම්?"

"කරන්න දෙයක් නෑ, මහත්තය. අපිට කියල තියෙන්නෙ, චිකන් කරි රොටි කන්න දෙන්න කියලයි."

"කවුද එහෙම කියල තියෙන්නෙ?"

"කොම්පැනියෙන් අපිට කියල තියෙන්නෙ එහෙමයි."

"ඒ කියන්නෙ ඕ ගොල්ලන්ගෙ කොම්පැණියෙ ඉන්න ලොක්කෙක් තීරණය කරල ඉවරයි මං උදේට පාන් කන්නෙ මොනව එක්කද කියල, එහෙමද?"

කාට කියන්නද මේව?

අපි කන හැටි එයා දනී!

කතන්දරකාරයා

Saturday 24 April 2010

අප කන හැටි එයා දනී! : KK-BM3



"අප කන හැටි ලිපා දනී!" කියලා කීමක් ඇති බව දන්නවනේ? මේක සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ නැති බැරි කම දන්නේ තමන්ම බව කියා පෑමටයි.

මගේ කතන්දරේ නම් හැබැයි ඊට වඩා වෙනස් එකක්.

අපේ තාත්තා සතියක් නේවාසිකව සිටි රෝහලේ රෙස්ටුරන්ට් එකක් හෙවත් කැන්ටිමක් තියෙනව. මේක කොන්ත්‍රාත්තු පදනමක් මත පෙරේරා උන්නැහේලා විසින් පවත්වා ගෙන යන එකක්.

මහ රෑ ඉඳලා තාත්තා ලඟ නිදි මැරූ කතන්දරකාරයා අඟහරුවාදා උදේට කන්න මේ කැන්ටිං රාජයා වෙත ගියා.

පොඩි කාලෙ ඉඳලම මං කැමති කෑමක් තමයි පාං. පොඩි කාලෙ අපි පාං කෑවෙ සීනි එක්ක, නැත්තං පැණි එක්ක. ලොකු කාලෙ පරිප්පු වලට මාරු වුනා.

ඊටත් පස්සෙ කාලෙක මගේ දොළ දුක වුනේ පානුයි, චිකන් කරියි කන එකයි.

ඉස්පිරිතාකෙ කැන්ටිම කරන පේරේරා උන්නැහේ ලා බේකරි වැඩ වලට නම ගිය අයනෙ.

ඉතිං මං කවුන්ටරේට ගිහින් ඉල්ලුව පානුයි, චිකනුයි දෙන්න කියල.

මෙන්න බොලේ කැෂියර් තුමා කියපි දෙන්න බෑ කියල. නෑ කියල නෙමේ බෑ කියල!

තේකක් බීල ඇවිත් ලියන්නම් ඒ ඇයි කියල.

කතන්දරකාරයා

තාත්තා ගේ සුව දුක් : KK-BM2


තාත්තා ගේ සුව දුක් විමසූ, ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ සියළු දෙනාටම ස්තුතියි.

ඒ ගැන මේ දක්වා කිසිම දෙයක් නොලිවීම ගැන කණගාටුයි.

ඒ කණගාටුව තවත් වැඩි වෙන්නේ තාත්තා නැවතත් පෙර තත්වයට තාමත් පත් වී නැති හින්දයි.

පසුගිය සෙනසුරාදා ඉස්පිරිතාලෙට ඇතුලත් කරන වෙලාවේ සිටියාට වඩා නම් දැන් හොඳයි කියායි කවුරුත් කියන්නේ. ඒත් නැවතත් පෙර තත්වයට එන්න නම් මාසයකටත් වඩා ගතවේවි.

කොහොම වුණත් මේ දුක මැද සැනසුමකුත් තියෙනවා. ඒ අද තාත්තාව ගෙදර ගෙනාපු නිසා ඇතිවූ සතුට.

අඟහරුවාදා පැය දහ අටකුත්, එතැන් සිට දවසකට පැය පාළොහ ගානේත් මං ඉස්පිරිතාලේ තාත්තා සමග හිටියා. මුල් දවසේ හැර ඒ කාලය ගත කලේ දවල් කාලයේයි.

අද තාත්තා මුලින්ම ගෙදර ආපු දවසේ, රෑ මුර සේවය මගෙන්.

සෝ ෆා සෝ ගුඩ් - so far so good!

කතන්දරකාරයා

කතන්දරකාරයා ප්‍රමාද වී පිටියට බසියි! : KK-BM1


බෙටර් ලේට් දෑන් නෙවර් (better late than never) කියා කව්දෝ පණ්ඩිතයෙක් කියල තියෙනවනේ.

ඉතිං මටත් හිතුන මැරතන් එක පටන් අරං පැය දෙක හමාරක්, තුනක් විතර ගිහිල්ල තිබුණත් ඔන්න ඔහෙ කතන්දරයක් දෙකක්වත් ලියල දාන්න.

වෙනද සුපුරුදු කාමරේ, කොම්පියුටරේ, පරිසරය නැතිඑක ලොකු අඩුවක්. ඒත් බලමු මොනව හරි යමක් කරගන්න පුළුවන්වේවිද කියල.

කතන්දරකාරයා

කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ


අවුරුදු බර ගාණකට ඉස්සර කාලෙක.

"තාත්තේ!"

"හ්ම්."

"තාත්තේ, කතන්දරයක් කියන්නකෝ!"

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

"ඔන්න එකමත් එක රටක හිටිය මහ කිරි ඉබ්බෙකුයි, මහ කිරි ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි කිරි ඉබ්බො පැටවු තුන් දෙනෙක්."

"අනේ තාත්තේ, ඔය කතාව අපි දන්නවා, වෙන එකක් කියන්නකෝ."

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

"ඔන්න එකමත් එක රටක හිටිය මහ ගල් ඉබ්බෙකුයි, මහ ගල් ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි ගල් ඉබ්බො පැටවු තුන් දෙනෙක්."

"අනේ තාත්තෙ, අපිට එපා ඔය ඉබි කතා. තාත්ත හැමදාම කියන්නේ ඔය ඉබි පැටව් තුන්දෙනාගෙ කතාවමයි නේ."

"හ්ම්."

"අනේ තාත්තෙ, වෙන කතාවක් කියන්නකෝ, ඉබ්බො පැටවු නැති එකක්."

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

* * * *

පසුගිය අඟහරුවාදා පාන්දරඃ

"තාත්තේ!"

"හ්ම්."

"තාත්තේ, මාව අඳුනන්න පුළුවන්ද?"

"හ්ම්."

"තාත්තේ, මං තමයි අර කිරි ඉබ්බො පැටවු තුන් දෙනාගෙන් ලොක්කා."

"හ්ම්."

"තාත්තේ"

හ්ම්.

කතන්දරකාරයා
ප/ලිඃ මගේ තාත්තාට ඉක්මන් සුව පැතූ සියළු දෙනාටම "තෑන්ක් යූ" කියමි.

Sunday 18 April 2010

ඒක පුද්ගල බ්ලොග් මැරතන් එකට තාවකාලික විරාමයක් දෙමි!


මෙච්චර කල් මං ලිව්වේ බ්ලොග් එකක් නොව ඇත්තටම කතන්දර පිටුවකි. කතන්දරද, කයි-කතන්දරද ලිව්වෙමි.

අද එය ඇත්තටම වෙබ් ලොග් එකක් නැතිනම් ජාල සටහනක් බවට පත්වෙයි. එනම් අද කතන්දරයක් නැත. පුද්හලික සටහනක් පමණි.

මං ඊයේ ලියු මිතුරාට ලියූ ලිපියක් කවි පන්තිය රුගත් පෝස්ට් එකේ අගින් ලිවු ලෙසට මගේ තාත්තා අසනීපව රෝහලට ඊයේ සවස ඇතුලත් කරන ලද බව බොහෝ දෙනා දැන් දනිති.

තාත්තාට වැඩි සුවයක් නැත. මං හෙට නිවස බලා පිටත්වෙමි.

මෙනිසා, පසුගිය පෙබරවාරි මාසයේ අග අරඹා ඊයේ දක්වා නොකඩවා පවත්වා ගෙන ආ වන් මෑන් ෂෝ බ්ලොග් මැරතන් එකට තාවකාලික විරාමයක් ලැබෙනු ඇත.

සමහට විට මට අප්‍රියෙල් 24 SBU බ්ලොග් මැරතන් එකට සහභාගී වීමටද ඉඩ නොලැබෙනු ඇත. බ්ලොග් නොලිව්වා වුනත් ඉඩ ලැබෙන විදියට කියවන්නට අදහස් කරමි.

ඉඩ ලද දිනක නැවත හමුවෙමු.

මගේ පියාට ඉක්මන් සුවය පතා එවූ සියළු පණිවිඩ වලට මගේ බොක්කෙන්ම ස්තුතිය මෙන්න.

කතන්දරකාරයා

මං තාත්තලා පුතාලා ගැන ලියූ මේ කතන්දරද කලින් බලා නැත්නං බලන්න.
1. මිතුරාට ලියූ ලිපිය

2. නොට්ටිගේ පුතා -තාත්තාගෙන් පුතාට

3. ලොකුවෙලා තාත්ත කෙනෙක් වෙනවා

Saturday 17 April 2010

සංවේදී හදවත් ඇති අයට පමණි - For those who have sensitive hearts


පෙරේදා ඇඩල්ට්ස් ඔන්ලි කතන්දරයක් දාල, ඊයෙ පවුලේ සැමට කියවන්න කතන්දරයක් මං පලකලා.

අද හිතුණා "සංවේදී හදවත් ඇති" අයට පමණක් සුදුසු පෝස්ට් එකක් දාන්න.

මේක කවි පන්තියක්. උපුටා ගත්තේ රසික සූරියආරච්චි ගේ "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයෙන්. එහෙනම් සංවේදී සිත් තියෙන අය විතරක් කියවන්න.

මිතුරා ට ලියූ ලිපිය

පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත

උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ

ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ

අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී

අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට

දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස

ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ

පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු

කතන්දරකාරයා
ප/ලිඃ
මගේ ආදරණීය තාත්තාව අද සවස රෝහලට ඇතුලත් කලා.
ඒ වේදනාවත් සිතින් දරාගෙනයි මේ බ්ලොග් කරන්නේ.

Friday 16 April 2010

චමරියක කතාවක් -පවුලේ සැමට එකට කියවන්නට!


ඊයෙ මං දැම්ම ඇඩල්ට්ස් ඔන්ලි 18+ කතන්දරේ එච්චර කියලත් අහ අටට අඩු පොඩි අය කියවපු බව මට තේරුණා. අපේ ඈයො ඉතිං ඇඩල්ට්ස් ඔන්ලි කිව්වොත් කට ඇරගෙනනෙ බලන්නෙ.

ඉතිං මං අද හිතුව පවුලේ සැමට එකට කියවන්න පුළුවන් ජාතියෙ කතන්දරයක් ලියන්න.

මේ චමරියේ කතන්දරේ නැගල ගියොත් තව මේ වගේ කතන්දර දුසිමක් විතර තියෙනව කියන්න.

ඔන්න ඉතිං එකමත් එක රටක චමරියක් තිබුණ. මේකෙ හිටියේ අපේ මිත්තරයො තුන් දෙනෙක්. මෙතනට දවල්ටයි රෑටයි කන්න සෙට් වෙනව තවත් කීප දෙනෙක්. කට්ටිය ගොඩක් ඉන්න නිසායි, ඒ එක්කම මේ හැමෝටම වැඩ රාජකාරි වැඩි හින්දයි මේ චමරියෙ උයන්න පිටින් ගෑනු කෙනෙක් එනව උදේටයි හවසටයි.

කොහොමටත් මේ කෂ්ටියට උයන්න බෑ.

නෑ, නෑ, උයන්න පුළුවන්, එත් ඒ උයන ඒව කන්න බෑ.

සේරම අට දෙනෙක් විතර හිටියනෙ චමරියෙ කන අය. ඉතිං කෝකිය උදේ ඇවිල්ල උයල යනව, අපේ කට්ටිය තමන්ගෙ වැඩ රාජකාරී අස්සෙ ඇවිල්ල කාල යනව. එක එක්කෙනා එන්නෙ එක එක වෙලාවටයි.

ඉතිං මෙතන පොඩි ප්‍රශ්ණයක් ඇතිවුනා. ඒ කියන්නෙ දවල් එකට විතර බැළුවොත් කවුද කෑවෙ, තව කවුද කන්න ඉන්නෙ කියන එක හොයාගන්න. වැඩේ මේකයි, පහුවෙලාම එන අයට උනත් කන්න කෑම ඉතුරු කරල තියන්න ඕනැනෙ.

අපේ එක මිත්‍රයෙක් ඕකට ගෙනාව හොඳ විසදුමක්. චමරියෙ හැම කෙනාටම කාඩ් එකක් ගානෙ හැදුව. කුස්සියෙ ගැහැව්ව ඇණ දෙකක්. උදේට කාඩ් සේරම එක ඇණේක එල්ලනව. එන එන එක්කකෙනා කාල ඉවරවෙලා තමන්ගෙ කාඩ් එක අනිත් ඇණේ එල්ලල තියල යනව. පරක්කුවෙලා, අවේලාවෙ කන්න එන අයට හොයාගන්න පුළුවන් තව කීදෙනෙක් කන්න ඉන්නවද, නැත්තං තමන් අන්තිමයද කියල. තමන් අන්තිමය නං ඉතිං ඉතුරු වෙලා තියෙන චිකන් කෑලි සේරම ටිකට ගේම දුන්නැහැකිනෙ.

මේ කාඩ් ක්‍රමය හඳුන්වලා දුන්නු අපේ මිත්‍රය හොඳ සිංහල භාෂාව භාවිතාකරන්න කැමති කෙනෙක්. මං දන්නව පොර මේ කතන්දර බ්ලොග් එක කවද හරි බැළුවොත් පේලි දෙකකට වඩා කියවන්නෙ නෑ. පිරිසිදු හෙළ බසට තමයි කැමති. අර අපේ සීය ගෙ කෝට් එක ගැන කතන්දරේ හිටිය ප්‍රින්සිපල් නෝන වගේ.

ඉතිං පොර මොකද දන්නවද කලේ? කුස්සියෙ බිත්තියෙ අර ඇණ දෙක ගහල තිබුණු තැන ගැහැව්ව පොඩි දැන්වීමක්. මෙන්න මෙහෙම.

සහෘදයෙනි, භක්‍ෂණයෙන් පසු ඔබේ පත එල්වනු මැනවි.

ඕක දැකල අපිට මැරෙන්න හිනා.

හැබැයි ඊටත් වැඩිය හිනා ගියේ දවසකට දෙකකට පස්සෙ ඔය නෝටිස් එකේ අකුරු දෙක තුනක් වෙනස් කරල තිබුණු විදිය දැක්කහමයි.

ඒ විදියට නෝටිස් එක අළුත් වුණු විදිය මෙතන දාන්න තිබුණ මං මේ කතන්දරේ පටන් ගන්න කොටම මේක පවුලේ සැමට එකට කියවන්න පුළුවන් එකක් කියල ලිව්වෙ නැත්තං.

කතන්දරකාරයා
ප/ලිඃ
මේ චමරියේ කතන්දරේ නැගල ගියොත් තව මේ වගේ කතන්දර දුසිමක් විතර තියෙනව කියන්න කියල මං මුලින්ම ලිව්වනෙ. ඒව මේවගෙ කතන්දර නෙමේ, හොඳ ජොලි ඒව. මොකද කියන්නෙ, ලියන්නද, එපාද?

Thursday 15 April 2010

ඇඩල්ට්ස් ඔන්ලි කතන්දරයක් - For Adults Only (MA18+)


මේක ඇඩල්ට්ස් ඔන්ලි කතන්දරයක්.

කරුණාකරල පොඩි ළමයි යන්න ආපහු. ඔව්, මං මේ කියන්නෙ, සුදාරක ල, බුධාජීව ල, හා පැටික්කි ල වගෙ දහ අටෙන් අඩු කට්ටියටයි.

අනිත් අය දිගටම කියවයි කියල මං හිතනව.

ඔන්න ගිය සුමානෙ මං ඔෆීසියෙ රිපෝට් එකක් හද හද ඉන්න වෙලේ එතනට ආව අපේ ඔෆීසියෙම වෙන සෙක්ෂන් එකක වැඩ කරන ලේඩි කෙනෙක්. නම "අමා" කියල කියමුකෝ ලේසියට.

අමා ආවෙ මගෙ අල්ලපු මේසෙ ඉන්න එක්කෙනා, එයත් සුන්දර වනිතාවක් - නම "රසිකා", එක්ක කතාකරන්නයි. ඔෆීෂියල් වැඩේ කතාකරල ඉවර වෙලා දෙන්න පොඩි කයියක පැටළුනා. දන්නවනෙ, ඔය නිකං "ඕ.පී.ඩී." කතා.

ඔය අතරේ අමා දැක්ක මගෙ මේසෙ උඩ තියෙන පොඩි ෆොටෝ ඇල්බම් එක.

මේ ෆොටෝ ඇල්බම් එකේ තමයි තියෙන්නෙ මං තායිලන්තෙ ඉන්න කාලෙ ගත්තු ෆොටෝ. මං මේක ඔෆිස් එකට ගෙනාවෙ අර කතන්දරකාරයා මහණ වෙලා හිටිය විස්තරේ ලියන කාලෙ අවශ්‍ය ෆොටෝ ස්කෑන් කරන්නයි. ගෙදර ස්කෑනර් එකේ පොඩි අවුලක්.

"ආනේ, ෆොටෝ නේද? මං හරිම ආසයි ෆොටෝ බලන්න." අමා කිව්වා.

"බලන්න! බලන්න!!" මං ඇල්බම් එකේ පිටු පෙරලුවා.

"මේ කොහෙද? කෝ ඔයා මේ ෆොටෝ එකේ?" ආදී ප්‍රශ්ණ වැලක් ආව ඉන් පස්සෙ, විශේෂයෙන්ම මං අර නුවර පැත්තෙ තිප්පොලේ ඉන්න කාලෙ ගත්තු ෆොටෝ දැකල.

මෙන්න මේ ෆොටෝ එක බලන්න.



මං ඕක අමා ට පෙන්නල "මේ ෆොටෝ එක ගත්තෙ මං බැඳපු දාට පස්සෙ දවසෙ" කියල කිව්ව.

"ආනේ! කතන්දර ඉන්නෙ හරියට හීනෙන් බය වෙලා වගෙනේ මෙතන ඉන්නේ." අමා කියවන්න ගත්ත.

"වෙඩින් එකට පස්සෙ දවසෙ කිව්ව නේද? අනේ මං මේ වැටුණු අමාරුවක හැටි කියල හිත හිත නේද ඉන්නේ? අනේ පව් කතන්දර නේද රසිකා?"

රසිකා නං කතාවක් නෑ. එයා ඉතිං මගෙ අල්ලපු මේසෙ ඉන්න අසල්වැසියනේ කොහොමටත්.

"නෑ, අමා ඒක නෙමේ ඇත්ත, මෙන්න මේකයි." මං කිව්ව.

"මේ ෆොටෝ එක ගත්තෙ මං බැඳපු දාට පහුවෙනිදා උදේ නේ. ඉතිං කලින් දා රෑ නිදිමරල මං හිටියෙ හොඳටම නිදිමතේ!"

රසිකා බ්ලෂ් වෙලා යනව මං දැක්ක.

"මං යනව අනේ, පරක්කු වුණා!" කියන්න විතරයි අමා ගෙ කට ඇරුනෙ.

කතන්දරකාරයා
ප/ලිඃ මං ඉන්න ෆොටෝ එක කොතන ඉඳන් ගත්තු එකක්ද කියල හොයන්න පුළුවන්ද?

ප/ලිඃ ඕ.පී.ඩී. (OPD) කතා කියන්නේ ඕපාදූප කතාවලටයි.

Wednesday 14 April 2010

එසේම වේවා!!! -කතන්දරකාරයාගෙන් ටෙලිෆෝන් පණිවිඩයක්


අද උදේම මං දැම්ම මගේ මිත්‍රයෙකුට කෝල් එකක්. මේ අපේ ප්‍රාණප්‍රිය මිත්‍ර රත්නායක. මතකයි නේද? අර රත්නායක ජෝක් වල නිර්මාතෘ සහ කීප්-අ-සයිඩ් ඉන්ටර්නෙට් කුකිං වලට දක්‍ෂයා.

පොර ඒ පැත්තෙන් "හලෝ" කියන්නත් කලින්ම මං මෙන්න මෙහෙම අළුත් අවුරුද්දට සුභ පැතුවා.

"එසේම වේවා!"

මං එහෙම කිව්වෙ මොකද කියල පැහැදිලියි නේ?

ඔය "එසේම වේවා" කියන කෑල්ල තමයි මේ දවස්වල සිංහල මිනිස්සු අතර වඩාත්ම භාවිතාවෙන "ග්‍රීටින්" එක.

හොඳ සිංහලෙන් ඕකට කියන්නේ "සේම් ටු යූ". ඒ කියන්නෙ "ඔබට එසේම".

මේ සුමානෙ මුල ඉඳල, එස්.එම්.එස්, ටෙලිෆෝන් කොල්ස්, ඊමේල් මේ සේරගෙම සිංහල අළුත් අවුරුදු සුභභැතුම් පිරිල ඉතිරිල ගිහින්. ඒ මදිවට, මූණු පොතට ඉමේජස් දාල ඒව අපේ නම් වලින් ටැග් කරල ඒවායින් එන කමෙන්ට්ස් සහිත ඊමේල්.

කොටින්ම මගේ ඊමේල් එකවුන්ට් දෙකේම නොබලපු ඊමේල් ගාන 500 පන්නල.

ඔන්න එක මිත්‍ර සමාගමක යාළුවෙක් යවනව දන්න හැමෝටම ඊමේල් එකක් අවුරුද්දට සුභ පතල "සුභ අළුත් අවුරුද්දක් වේවා!" කියල.

ඔන්න දැන් ඕකට එනව උත්තර හැට හුට හාමරක්. ඒ සේරගෙම වගෙ තියෙන්නෙ "සේම් ටු යූ - එසේම වේවා!!!" කියලයි.

ඕව බැලුවට පස්සෙයි මට තේරුණේ වඩාත් ම ජනප්‍රිය අළුත් අවුරුද්දට සුභ පැතුම, "ග්‍රීටින් එක", මොකක්ද කියල.

ඉතිං මං කිව්ව මගේ මිත්‍රයට "එසේම වේවා!" කියල.

මෙන්න පොර දුන්න උත්තරේ.

"එසේම වේවා!"

කතන්දරකාරයා
ප/ලිඃ ඔබ සැමටත් "එසේම වේවා!"

ප/ප/ලිඃ අවුරුද්දෙ අඩුවක් හෙම දැනුනෙ නැත්ද?

Tuesday 13 April 2010

අවුරුද්දෙ පොඩි අඩුවක්?


අළුත් අවුරුද්දෙ පොඩි අඩුවක් දැනුණා.

ඒක ගැන කියන්නයි, කට්ටියටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන්නයි තමයි මේ කවිය දාන්නේ.

අවුරුද්දෙ අඩුවක්

සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
"එක පදයක් අඩු කවියක්" වාගේ තව නව වසරක් උදා වුනා

ගතානුගතිකවු එරබදු මල් සහ කොහෝ කුරුළු නාදය තිබුනා
රතිඤ්ඤ සද්දේ කැවුම් කොකිස් සහ කි‍්‍රකට් සමග අවුරුදු ලැබුනා
ඒත් මොකක්දැයි හිතාගන්න බැරි අඩුවක් ඒ මැද්දෙන් එබුනා

ලැබු නව වසරේ දාහය නිවනා සීතල වා රැුළි හමන්නයි
සිරිපොද වැසි මැද පිච්ච සමන් මල් සුවඳ විහිදමින් පිපෙන්නයි
"පද හතරක කවියක්" සේ අඩු නැති සුභ නව වසරක් ලබන්නයි

සුභ නව වසරක් වේවා!

කතන්දරකාරයා
ප/ලිඃ
කලින් මේ කතන්දර කියෝල නැති අයටයි මේ හරිය ලියන්නෙ. දැං නම් වැඩිය කවි ලිව්වෙ නැති වුනාට කතන්දරකාරය මුලින් ම කවි ලියන්න පටන් ගත්තෙ තුනේ පන්තියෙ ඉන්දැද්දියි.

ඊට පස්සෙ පටන් ගත්ත පෙම් කවි ලියන්න.

උසස් පෙල කරද්දි ලියපු අවකලනය ගැන කවිය මතකයි නේද?

ඒ එක්කම මං කැමතියි රසික සූරියආරච්චි ගේ "සිව් සිත් කව්" පොතේ කවි කියවන්නත්.

සුභ නව වසරක් වේවා! කියා නැවතත් ප්‍රාර්ථනා කරනවා!

Monday 12 April 2010

මනාප වැඩි ඡන්ද එකකින් පත්වූ නායිකාව ගේ වික්‍රමය


මං මේ කියාගෙන යන්නෙ මගේ උදාර පන්ති නායක සේවා පිළිබඳ විස්තරේ. මුලින් මං පන්තියෙ නායකය වුනේ අපේ ටීචර් මැකෝ මුණසිංහ විසින් පවත්වන ලද රහස් ඡන්දෙන්. මොන ජිල්මාට්වත් නැතුව මං මනාප ඡන්දවලින් 62.5% අරගෙන නායකය වුනා.

පන්ති නායිකාව පත්කරගන්න කෙල්ලො ඡන්දෙ දීල තිබුණෙ කෙලින්ම බල්ලො බත්කන ක්‍රමයටයි. හැමෝම වගේ පේලිවාදී වෙලා තමන්ගෙ පේලියෙ කෙනෙකුට මනාපෙ දුන්න හින්ද, ශ්‍රියානි නිකම්ම පන්ති නායිකාව වුනා 30% වත් මනාප නැතුව.

මේකට හේතුව අපේ කෙල්ලන්ගෙ මෝඩකම ම නෙමේ. නාමයෝජනා නැතුව රහස් මනාප ඡන්ද තිබ්බහම වෙන මොනව අපේක්‍ෂා කරන්නද?

ඉතිං කෞතුකාගාරයක් වගේ අපූරු වස්තුවක් වන පන්තියෙ ලී කබඩ් එකේ ඉබි යතුර බෙල්ලෙ එල්ලගෙන පහුවදා උදේ මං ඉස්කෝලෙට ආවෙ, මුණසිංහ ටීචර් ගෙ උපදෙස් මත මං හදපු මිදුල පිරිසිදු කීරමේ සහ කලගෙඩියට වතුර ගෙන ඒමේ කාලසටහන ක්‍රියාත්මක කරන්න හිතාගෙනයි.

මං එනකොට පන්තියෙ හොද දර්ශණයක්.

ඊයේ පත්වුණු අපේ පන්ති නායිකාව වන ශ්‍රියානි කොස්සෙන් කාමරේ අතුගානව. දෙකට නැමීගෙන මේස පුටු අස්සෙ තියෙන දූවිලි එලියට අදිනව.

මේ අතරේ පන්තියේ කෙල්ලො දෙතුන් දෙනෙක් වටේට ඉඳගෙන ශ්‍රියානි ට කුණු තියෙන තැන් පෙන්නව. හරියට අතුගාන විදිය ගැන තමන්ගෙ නායිකාවට උපදෙස් දෙනව!

පව් නේද?

ඔන්න එතකොටම මුණසිංහ ටීචරුත් පන්තියට ආව. මේ යන වැඩේ මොකක්දෝ වැරුද්දක් තියනව බව ටීචර්ටත් තේරුණා. ටීචර්ගෙ ප්‍රශ්ණවලට කෙල්ලො දුන්නු උත්තරවලින් තමයි මට තේරුණේ කතාව.

අපේ කෙල්ලො ටික හිතන් ඉඳල තියෙන්නේ පන්ති නායිකාවක් පත්කරගත්තේ පන්තිය අතුගාන වැඩේ කරන්න කියලයි. නායිකාවගෙ වැඩ අධීක්‍ෂණය කරන්නයි අනිත් කෙල්ලො ටික එතන ඉඳල තියෙන්නෙ.

මිනිසා ගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි, මා ඔබේ නායකයා නොව ඔබේ සේවකයාය වගෙ හොඳ හොඳ බයිල කියපු නායකයො ඉඳල තියෙනව ලංකාවෙ අනාදිමත් කාලෙකට කලින්.

අන්න ඒ වගේ කෙනෙකුගෙ පුනරුප්පත්තියක් ද මන්ද අම්මප අපේ ශ්‍රියානි කෙල්ල!

මං නං ඉතිං පන්තියෙ කොල්ලො දාසය දෙනා තුන්දෙනා තුන්දෙනා ගානෙ (එක්කෙනෙක් මිදුලෙ ඩියුටි, අනිත් දෙන්න වතුර ඩියුටි) දාල රොස්ටර් එකක් හදලනෙ තිබුනෙ, මිදුල අතුගාන, වතුර ගේන වැඩ වලට.

ඔතන ඉතිං 16-3*5=1 කියන සමීකරණයේ මේ පැත්තෙ ඉන්න එක්කෙනා දන්නව නේද කවුද කියල?

කතන්දරකාරයා
ප/ලිඃ
ඔහොම කයිය දුන්නට මටත් සතියට දෙතුන් පාරක් වතුර ගෙන්න යන්න වුනා. වතුර ගේන්න අල්පපු වත්තෙ ලිඳට දෙන්නෙක් යන්න ඕනැ. ඇයි හතයි කාල වෙනකොටත් අපේ සමහර කොල්ලො ඉස්කෝලෙට ඇවිල්ල නැහැනෙ!

Sunday 11 April 2010

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් - පන්ති නායිකාවරණය


පුංචි පහේ මං මුලින්ම පහේ පන්තියෙදි අති රහස් ඡන්දෙන් පන්ති නායකයා විදියට තේරී පත්වුනු කතන්දරේ ඊයෙ කිව්ව මතකයි නේද?

මේ ඡන්දෙ තිබුණු පුදුම ලක්‍ෂණය වුනේ එලිපිට ඡන්දෙ ඉල්ලපු කෙනෙක් හිටියෙ නැති එකයි. සාමකුමාර යි නාලන්ද යි ඇරුණහම, අනෙක් හැමෝම තමන් කැමති පරිදි නිදහසේ ඡන්දෙ දුන්න.

අන්තිමේදී මං කොල්ලො දාසය දෙනාගේ ඡන්දෙන් දහයක්ම අරං පන්තියෙ නායකය වුනේ තුනෙන් දෙකේ බලේ නූලෙන් මිස් කරගනිමිනුයි.

අපේ මුණසිංහ ටීචර් ඊලඟට සැරසුනේ පන්ති නායිකාවරණයේ උණු උණු ප්‍රතිපල අප අතරට ගේන්නයි.

මෙන්න පන්ති නායිකාවරණයේ නිල ඡන්ද ප්‍රතිපලය
පියසීලී ඡන්ද 4
තමරා ඡන්ද 4
ජානකී ඡන්ද 4
ශ්‍රියානි ඡන්ද 5

මේ අනුව ශ්‍රියානී සිසුවිය පහේ පන්තියේ නායිකාව හැටියට තේරී පත්වුනා!

ප්‍රතිපල කියල අපේ ටීචර් ඒ ගැන සමාලෝචනයකුත් කළා. එයා කිව්වෙ පිරිමි ළමයි වගේ හොඳ විචාර බුද්ධියකින් යුතුව ගැහැණු ළමයි ඡන්දෙ දීල තිබුණෙ නෑ කියන එකයි.

ශ්‍රියානි දිනුව වුනාට ඉතිං ඒ එක වැඩි ඡන්දෙකින්, හැබැයි මුළු ඡන්දවලින් එයා අරගෙන තිබුනෙ 30% ත් අඩු ගාණක්.

හැබැයි, අනිත් කෙල්ලන් ට ඡන්දෙ දුන්නු අය, ශ්‍රියානිට විරුද්ධව ඡන්දෙ දුන්න කියල නම් ක්‍රියන්න අමාරුයි. මොකද මේ අති රහස් ඡන්දෙදි කවුරුත් අපේක්‍ෂකයො කියල කට්ටියක් හිටියෙ නෑනෙ කටවුට් ගහගෙන.

පස්සෙ අපිට කෙල්ලන්ගෙන්ම ආරංචි වෙච්ච විදියට මෙන්න මේකයි වෙලා තිබුණෙ.

අර නාලන්දයි, සාමකුමාරයි, දෙන්නට දෙන්නා ඡන්දෙ දෙන්න කතාවුනා වගේ කෙල්ලොත් කතාවෙලා තියෙනව ඡන්දෙ නෙ විදිය.

අපේ පන්තියෙ කෙල්ලන්ගෙ පැත්තෙ පේලි පහක් තිබුණ. එක පේලියක කෙල්ලො හතර දෙනෙක් ගානෙ හිටිය. එක එක පේලියෙ හිටපු කෙල්ලො තමන්ගෙ පේලියේ එක්කෙනෙකුට ඡන්දෙ දෙන්න කතාවෙලා. මේ කියන දවසෙ අන්තිම පේලියෙ හිටියෙ එක කෙල්ලයි. ඉතිං, එයත් ඊට ඉස්සරහ පේලියේ නියෝජිතයා වුණු ශ්‍රියානිට ම ඡන්දෙ දීල.

දැන් තේරෙනව නේද පන්ති නායිකාවරණය ප්‍රතිපලවලින් පේන විදියේ තීව්‍ර තරගයක් වුනේ කොහෙමද කියල?

කොහෙමින් කොහොම හරි කතන්දරකුමාර පන්ති නායකයා. ශ්‍රියානි පන්ති නායිකාව. හැබැයි මටයි හම්බ වුනේ පන්තියෙ කබඩ් එකේ දාල හිටිය ඉබ්බගෙ යතුර.

බුදු අම්මෝ ඒකෙ තිබුණු ජාති. මට ආසම හිතුන එක තමයි මිනී ඔළුව. ඒ එක්කම තිබුණ "නාග කුමරිය" යි, "පුදුම දූපත" යි කියන පරණ චිත්‍රකතා පොත් දෙක. යාරේ කෝදුවක්, ලී කවකටුවක් වගේ තවත් මෙකී නොකී බඩු තිබුණ කෞතුකාගාරයක් ඒ කබඩ් එක.

මතකනේ මුණසිංහ ටීචර් පන්ති නායකයාට පවරපු වැඩ කොටස? පන්ති නායකයගෙ වගකීම් වෙන්නේ පන්තියෙ කාමරෙන් පිට මිදුල හරිය පිරිසිදුව තබා ගැනීම සහ අල්ලපු වත්තේ ළිදෙන් වතුර කළයක් ගෙන ඒම.

මං ටීචර් කිව්ව විදියට සේරම කොල්ලන් ගේ නම් දාලා වතුර ගේන්නයි, මිදුලේ කුණු අස් කරන්නයි කාල සටහනක් එදාම හදල කබඩ් එකේ දොරේ මැලියම් වලින් ඇලෙව්ව.

පහුවදා උදෙන්ම නැගිටපු මං ඉස්කොලෙට ආවෙ, අම්මගෙ නූල් රෝදෙකින් කඩාගෙන එකට අඹරපු නූලකින් මට බාරවුුණ කබඩ් එකේ ඉබ්බගෙ යතුර කර වටේ එල්ලගෙනයි!

මං එනකොට පන්තියෙ හොද දර්ශණයක්. ඒ විස්තරේ හෙට දාඤ්ඤං!

කතන්දරකාරයා
ප/ලි: මේ කතා කියන අව් අස්සෙ අන්න බොලේ සිංහල බ්ලොග්කාරයෙක් පාරලිමේන්තුවට ගිහිං!!!

Saturday 10 April 2010

මුල්වරට පන්ති නායකයා වුණු කතන්දරේ


මං මුලින්ම පන්ති නායකයා කියන වචන දෙක ඇහැව්වෙ හතරෙ පන්තියෙදි බව ඊයෙ කිව්වනෙ. මං ගිය කණිෂ්ඨ විද්‍යාලෙ නපුරු වේවැල්ධාරී ලොකු මහත්තය නිසා පන්තිය භාර රණසිංහ ටීචර්ගේ "ඒහි භික්‍ෂූ" ආකාරයේ විධානයෙන් නාලන්ද අපේ නායකය වුනා.

පන්තියෙ නායකයා කියන්නෙ පන්තියෙ ටීචර් විසින් ළමයින් පන්තියෙ ඉඳල පෝලිමේ එලියට යන එකයි, ආපහු එන එකයි බලාගන්න පත්කරන කොල්ලෙක් ය කියල මං එදා ඉඳන් හිතං හිටපු එක වෙනස් වුනේ ඊලඟ අවුරුද්දෙ පහේ පන්තියට ගියාමයි.

අද ඒ කතාව සේරම.

අපි පහේ පන්තියට ගිය මුල් සතියෙම වගේ පන්ති භාර මුණසිංහ ටීචර් අපිට කියා දුන්න පන්ති නායකයෙකුයි නායිකාවකුයි පත්කරන බව. පන්ති නායකයගෙ වගකීම් වෙන්නේ පන්තියෙ කාමරෙන් පිට මිදුල හරිය පිරිසිදුව තබා ගැනීම සහ අල්ලපු වත්තේ ළිදෙන් වතුර කළයක් ගෙන ඒම. ඒ පන්තියෙ ළමයින්ට බොන්න. අපේ පාසලේ වතුර ටැප් තිබුනේ නෑ. ළිඳක් තිබුනත් වතුර මහ ජරා රහයි. මේ සඳහා සියළුම පිරිමි ළමයින් ගේ නම් සහිතව කාල සටහනක් සෑදිය යුතුබව ටීචර් අපිට කිව්වා. මීට අමතරව, පන්තියට අයිති විවිධ බඩු දාල තිබුණ ලී කබඩ් එකේ යතුරත් අයිති පන්ති නායකයාටයි.

පන්ති නායිකාවගේ වගකීම වෙන්නේ පන්ති කාමරය පිරිසිදුව තබා ගැනීමයි.

මට අද වගේ මතකයි, මේ සේරම මුණසිංහ ටීචර් අපිට කිව්වෙ කාමරයෙන් පිටත පන්තිය පවත්වමිනුයි. අපි සේරම රවුමක විදියට හිටගෙන ඉන්නවා. ටීචර් පුටුවක වාඩිවෙලා ඒ රවුමේ උඩ කෙලවරේ. සතියකට දෙතුන් පාරක් අපේ පන්තිය කළේ මේ විදියට ගොඩනැගිල්ලෙන් එලියේ.

පන්ති නායකයා පත්වෙන්නේ පිරිමි ළමයින් ගේ රහස් ඡන්දයෙන්. නායිකාව ගැහැණු ළමයින් ගේ රහස් ඡන්දයෙන්.

අපිට තිබුනේ ඇක්සයිස් පොතක අග කොලේකින් කඩාගත්තු හතරුස් කොල කෑල්ලක එක් එක්කෙනා කැමති ළමයෙකුගේ නම ලියල ටීචර් ට දෙන එක විතරයි.

අපි අද කාලෙ දන්න ඡන්දවලට වඩා මේ ඡන්දේ පොඩි වෙනසකට තිබුනේ ඡන්දය ඉල්ලන අපේක්‍ෂකයෝ නොහිටිය එකයි.

තනිකරම රහස් ඡන්දයක්! මාරයි නේද?

ඡන්දෙ ගැන ඉගෙන ගෙන අපි ආපහු පන්තිකාමරේට එනකොට මට ඇහුණ අපේ පන්තියෙ කොල්ලො දෙන්නෙක් වෙන නාලන්දයි, සාමකුමාරයි දෙන්න කතා වෙනව මෙන්න මෙහෙම
.
සාමකුමාරඃ නාලන්ද ඔයා මට ඡන්දෙ දෙන්න, මං ඔයාට ඡන්දෙ දෙන්නං.

නාලන්දඃ හා, එහෙම කරමු.

ඔන්න මගේ හිතේ තිබුණු එක ප්‍රශ්ණයක් විසඳුණා. දැන් ඡන්දය දෙන්න අය ඉන්නවා!

මේ දෙන්නගෙන් මං වඩාත් හිතවත් වුනේ ඒ දවස්වල සාමකුමාර එක්කයි. ඉතිං මං හිතාගත්ත මගේ ඡන්දෙත් පොරට දෙනව කියල.

පහේ පන්තියේ මහා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය ඔන්න පවත්වලා අහවර වුනා. අපේ ටීචර් හෙවත් මැකෝ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළා.

සාමකුමාර ඡන්ද 2
නාලන්ද ඡන්ද 4
කතන්දරකුමාර ඡන්ද 10

මේ අනුව මනාප 62.5% ගත් කතන්දරකුමාර පහේ පන්තියේ නායකයා විදියට පත්වුණා!

ෂහ්! තුනෙන් දෙකේ බලේ එදා නූලෙන් හගල ගියා නේද? කියලයි මට මේ මොහොතෙ හිතෙන්නේ.

ඉතිං ඡන්ද ප්‍රතිඵල පිළිබද විශ්ලේෂණයක් කළොත් අපිට පේනව, සාමකුමාරට ඔය ඡන්ද දෙක හම්බ වුනේ මගෙනුයි, නාලන්දගෙනුයි බව. ඇයි, සාමකුමාර ඡන්දෙ දුන්නෙ නාලන්දට නේ දෙන්නගෙ ගිවිසුම අනුව!

නාලන්දට කැමති තව තුන්දෙනෙක් ඉඳල තියෙනව සාමකුමාරට අමතරව.

මට තියෙන එකම දුක මේකයි.

මං පන්තිනායක කමට කැමතියිද කියල කිසිසේත්ම නොදැන මට කොල්ලො දහදෙනෙක් ඡන්දය දීල තිබුණ.

ඒ කවුද කියන්න මං අදවත් හරියට දන්නෙ නෑ.

කතන්දරකාරයා
ප/ලිඃ කෙල්ලන් ගේ ඡන්ද ප්‍රතිඵල හෙට බලාපොරොත්තු වෙන්න!

නැවත පල කරමි - පුංචි පහේ පන්ති නායකයා

මා ප්‍රිය බ්ලොග් රසිකයිනි,
තාක්‍ෂණික දෝශයක් නිසා මේ කතන්දර කොටස නැවත පල කරන්නට සිදුවිය. සමාවන්න.
කතන්දරකාරයා
=======================================================

අපි කවුරුත් දන්න විදියට පන්ති නායකයින් කියන්නේ පන්තියේ පරිපාලන වැඩ කරගන්න ගුරුවරුන්ට උදව්වෙන්න, ගුරුවරුන් විසින් ඔවුන් ගේ කැමැත්ත මත පත්කරගන්න ශිෂ්‍යයින්ට නේ.

හුණුකුරු සම්පත් කලමනාකරණය, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ප්‍රවාහනය, කළුලෑල්ලේ දෛනික පුනර්ජීවනය වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම මේ නායකයන්ගේ රාජකාරියක් නෙමේ.

කතන්දරකාරය පොඩිකාලෙ, ඒ කියන්නෙ කතන්දර කුමාර කාලේ, එක වතාවක් නෙමේ තුන්වතාවක්ම ඔය පන්ති නායක කම කොරල තියෙන බව මං ඊයෙ දාපු පෝස්ට් එකේ ලිව්ව මතකයිනේ?

මුල් වතාවෙ මං පන්ති නායකයා වුනේ "පුංචි පහේ මං කාලෙ" නියම ප්‍රජාත්‍රාන්තික විදියට. මේ දවස්වල තමයි මට අර ලඬ්කාංඩුවේ අටපට්ටම් පැන්සල තෑග්ගකට හම්බ වුනේ. අද මං කියන්න පටන්ගන්න යන්නේ ඒ උදාර නායකත්වයේ කතන්දරයයි.

මං මුලින්ම පන්ති නායකයා කියන යෙදුම, වචන දෙක, ඇහැව්වෙ හතරෙ පන්තියෙදියි. ඔය කියන්නෙ අර මයි ෆ්‍රස්ට් ක්‍රෂ් එක ඇති වුණු කාලේ. මගේ වයස අවුරුදු අටයි මාස දෙක තුනයි.

මේ දවස්වල මං ගිය කණිෂ්ඨ විදුහලේ ප්‍රින්සිපල් වුනේ අර මීට මාස කීපයකට පස්සෙ වේවැලෙන් ගහල මගේ ලේ හොලවපු ලොකු මහත්තය තමයි.

ඔන්න දවසක් උදේ රැස්වීම ඉවරවෙලා අපි පන්තියට ආපු ගමන් ලොකු මහත්තය කඩාගෙන වැදුන. මේ වෙන කොට අපි දන්නව මෑන් යන යන තැන ජාතික ඇදුමෙ දකුණු අත අස්සෙ දිග වේවැලක් ගහගෙන යන බව. ඉතිං පොර පන්තියට ආව විතරයි, අපි සේරම සයිලන්ස්, මීයො වගේ. මේ අපි කියල කියන්නෙ සේරම අවුරුදු අටේ, නමයේ පුංචි ළමයි.

ඔන්න ඒ වෙන කොට අපේ පන්ති භාර ටීචරුත් ආව පන්තියට.

"මං බලං හිටියෙ මේ ළමයි දැන් රැස්වීම ඉවර වෙලා පන්තියට ආවෙ කඩාගෙන බිඳගෙන. ඔහොමද ළමයි හැසිරෙන්නෙ පාසලේ? කවුද මේ පන්තියේ නායකයා?" ලොකු මහත්තය ඇහුව.

"මේ නාලන්ද තමයි" අපේ ටීචර් කිව්ව. කිව්ව විතරක් නෙමේ ඒ වචන වලින් අර "ඒහි පස්සිකෝ" ක්‍රමයට නාලන්දව පන්ති නායක කමට පත්කළා!

"කෝ කවුද ඒ?"

නාලන්දය හෙමින් හෙමින් පන්තියේ ඉස්සරහට ගියා!

අපි සේරම චූ බර වෙලා බලං ඉන්නව. පව් නාලන්ද!

"හොඳයි, අදට කමක් නෑ, හෙට ඉඳල, උදේ රැස්වීමට යනකොටයි, එන කොටයි සේරම ළමයි එක පිළිවෙලකට යන්න එන්න ඕනැ." ලොකු මහත්තය කිව්ව. වේවැල එලියට ආවෙ නෑ!

නිකං දේවදත්ත සිල්ගත්ත වගේ නේද? සොරි, සොරි, දේවදත්ත කොහොමටත් මහණවෙලානෙ හිටියෙ, අමුතුවෙන් සිල් ගන්න ඕනැයැ?

ඉතිං ඔය සිද්ධිය වෙච්ච දවසෙ ඉඳල කාලයක් යනතුරු මං හිතං හිටියෙ මෙන්න මෙහෙමයි.
  • පන්තියෙ නායකයා කියන්නෙ කොල්ලන්ගෙන් එක් කෙනෙක්.
  • ඒ නායකයා කවුද කියල අපිට කියන්නෙ අපේ ටීචර්.
  • පන්තියෙ නායකයා කරන්න ඕනැ, අනිත් ළමයින් පෝලිමේ එලියට යන එකයි, ආපහු එන එකයි බලාගන්න එක.
මේ ගොඩක් දේවල් වෙනස් වුනේ ඊලඟ අවුරුද්දෙ මං පහේ පන්තියට ගියාමයි.

ඔන්න ඔහොමයි පුංචි පහේ පන්ති නායකයා ගේ උදාර කතන්දරය ඇරඹෙන්නේ.

හෙට මෙතැන සිට.

කතන්දරකාරයා
=======================================================
මෙන්න කලින් පෝස්ට් එකට ලැබුනු කමෙන්ට්ස්ඃ
=======================================================
Hasitha has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

කසු මම උදේ ඉදන් බලන් හිටියේ මොකද තාම කතාව නැත්තේ කියලා............

ඔහොම යන් ඔහොම යන්
=======================================================
ත‍රිඳු has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

ඒහි පස්සිකෝ නෙමේ.. ඒහි භික්ඛු නේද ?
=======================================================
gamini has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

Boring !
=======================================================
nadeesthoughts (http://nadeesthoughts.wordpress.com/) has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

ඉතිං ඊට පස්සෙ...
නාලන්දට වැටුන ලෙඩ ගැන කථෘ නැද්ද?
=======================================================

Thursday 8 April 2010

පන්ති නායකයෝ හෙවත් චෝක් සප්ලයර්ස්ලා - Class Monitors alias Chalk Suppliers


ගිය අවුරුද්දේ දවසක මං ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝද කියන හෙඩිම දාලා කතන්දරයක් ලිව්වා. ඒක කියවපු නැති අයට මෙන්න ලින්ක් එක ආපහු.

ඒ කතන්දරේ තිබුනේ නං මගේ පන්තියේ හිටපු යාළුවෙක්, ශිෂ්‍ය නායක තනතුරක් ලැබුනට පස්සේ වෙනස් වුණු හැටි. නමුත් ඒ අස්සට මං දාපු බයිලා නිසා පොඩි පහේ විවාදයකුත් ඇතිවුනා!

මං හිතන්නේ, අපි වැඩි දෙනෙකුට එකඟ වෙන්න පුළුවන් කාරණයක් තමයි, ශිෂ්‍ය නායකයෝ කියන්නේ පොදු වශයෙන් ශිෂ්‍යයින් ගේ නායකයෝ නම් නෙමේය කියන එක.

ඒ ගොල්ලො, පත්වෙන විදියෙන්, හැසිරෙන විදියෙනුත්, ඒ අයගේ ජොබ් ඩිස්ක්‍රීප්ෂන් එක අනුව බැළුවහමත්, පැහැදිලි වෙන දෙයක් තමයි ශිෂ්‍ය නායකයෝ කියන්නේ පාසැලේ පරිපාලනය කරගෙන යාම සඳහා ප්‍රින්සිපල් ට යි, ළමුන්ගේ විනය බාර ගුරුවරුන්ටයි උදව් වෙන්න ඉන්න පොඩි පහේ සෙකුරිටි කට්ටියක් බව. (වෝකි ටෝකි විතරයි අඩු!)

පන්ති නායකයින් කියන්නේත්, ශිෂ්‍ය නායකයින් වගේම කට්ටියක්.

බොහෝ විට මේ නායකයින්ව පත්කරන්නේ පන්තිබාර ගුරුවරයා ගේ කැමැත්ත අනුව. පන්ති නායකයින් ගේ රාජකාරිය වෙන්නේත්, ඔෆිස් එකෙන් හුණු කුරු ගෙන ඒම, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් එක එහා මෙහා ගෙනයාම වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම නම් නෙමේ.

මේ තර්ක නිකංම නිකං බයිල නෙමේ. අත්දැකීමෙන් කියන ඒව.

කතන්දරකාරය පොඩිකාලෙ, ඒ කියන්නෙ කතන්දර කුමාර කාලේ, එක වතාවක් නෙමේ තුන්වතාවක්ම ඔය පන්ති නායක කම කොරල තියෙනව.

මුල් වතාවෙ "පුංචි පහේ මං" කාලෙ නියම ප්‍රජාත්‍රාන්තික විදියට පන්ති නායක කමට පත්වුණා. මේ දවස්වල තමයි මට අර ලඬ්කාංඩුවේ අටපට්ටම් පැන්සල තෑග්ගකට හම්බ වුනේ.

දෙවෙනි පාර පළමුවෙන් පත්වීමක්, ඉන් පස්සෙ නිතරඟයෙන්. පත්වීම දුන්නෙ අර ටියුෂන් පන්තියකුත් කරපු ගුණරත්න සර්. අංශභාර ප්‍රධානී ටර්පන්ටයින් කාරය මගෙ බඩ මිරිකල නිරපරාදෙ දඬුවම් කලේ මේ කාලෙ තමයි.

තුන්වෙනි පාරට බෝට්ටුවෙන්, ඒ කියන්නෙ මනාප ලැයිස්තුවෙ නම නිකම්ම වගේ ඉස්සරහට ආපු නිසා. මේ කාලෙ වුණු දේවල් ගැන කතන්දර මං තව ලියන්න පටන්ගත්තෙත් නෑ.

මගේ පන්ති නායකකම් තුනම හොඳ කතන්දර උල්පත් බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. දවසට එක ගානෙ ලිව්වත්, ඉවරයක් කරන්න සති ගානක් යයි වගේ.

කමක් නෑ, ලියන්නංකෝ පුළු-පුළුවන් හැටියට.

කුටුම්බයත් රැකගෙන මේ බ්ලොග් කෙරුවාව කරන එකත් ලොකු ප්‍රශ්ණයක් තමයි. ඔය කතන්දර කුට්ටි කරනව කියල ආඩපාලි කියන තනිකඩයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

"දන්නෝ දනිති. නොදන්නෝ වැඩි දෙනෙක් ද කෙදිනක හෝ දැනගන්නවා ඇත!"

හෙට මං පහේ පන්තියෙ නායකය වුනු හැටි කියන්න ආයිමත් හමුවෙන තුරු පන්ති නායකයො ගැන දන්න දන්න දේවල් ලියල යන්න විනාඩියක් දෙකක් තියෙනව නම්.

කතන්දරකාරයා

ප/ලිඃ
නපුරු ගුරුවරු සීරීස් එක තාම ඉවර නෑ, ලේ හෙලවුන වේවැල් පහර, පස්ස පිච්චීමේ තර්ජනය, ඇඟිලි කැපීමේ තර්ජනය සහ නිකරුණේ දුන් දඬුවම කියන කොටස් විතරනෙ තාම ලිව්වෙ. ඊලඟට දැම්ම රසික නානායක්කාර එවපු දුක හිතෙන කතාව.

මේ පන්ති නායක කතන්දර එන්නේ අතුරු කතා විදියටයි. නපුරු ගුරුවරු ආයෙ පටන් ගන්නම් තව ටික දවසකින්.

Wednesday 7 April 2010

රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?


රසික නානායක්කාර කියන කතන්දර බ්ලොග් එකේ රසිකයා මං ලියපු රුපියල් දෙකේ නපුරු ගුරුවරු කියන කතන්දරය කියවලා, තමන්ගේම අත්දැකීමක් අපි හැමෝම එක්ක බෙදාගන්න ලියල එවල තියෙනව.

මේක හරිම දුක හිතෙන කතාවක්.

ඇයි ගුරුවරු, විදුහල්පතිවරු මෙහෙම කරන්නේ? කියවල බලන්න.

========රසික නානායක්කාර ගේ කතන්දරය මෙතැන් සිට======================

මටත් මේ වගෙම අත්දැකීමක් තියෙනවා. කතන්දරගෙ කතාව හරියට මගෙ කතාවට හුඟක් සමානයි.

මමත් පාසලේ දෙවෙනි පන්තියේ ඉන්න කොට තමයි මේ සිදුවීම වුනේ. මමත් ඒ කලෙ ටිකක් නාහේට අහන්නෙ නැහැ. එක වෙනසකට තියෙන්නේ මම දෙකේ පන්තියේ හෝ වෙන පන්තියක දෙපාරක් ඉඳලා නැති එකයි.

මම කියන කතාවෙ කතා නායිකවත් ටිකක් බටකොල ආච්චි කෙනෙක් වගෙ. එක දවසක් මම මොකක් හරි නෝටි වැඩක් කරලා මාව හිටෝල තිබ්බා ටීචගෙ මේසෙ ලඟ. මාව පැය ගානක් ඒ විදියට තිබ්බා කිසිම තෙතමනයක් නැතුව. කොහොමහරි ඉස්කොලේ ඇරුනට පස්සෙ මම ගෙදර ගියා නෝමල් එකේ.

පහුවෙනිදා උදේම පන්තියට ගියා විතරයි අපේ ටීචර් මගෙ ඇඟට ගොඩ වුනා.

"උඹ මගෙ රුපියල් විස්සක් හොරකම් කළා නේද? උඹ තමයි මේ වැඩේ කරන්න ඉන්නෙ. උඹ තමයි මගෙ මෙසේ ලඟ හිටගෙන හිටියෙ" කියලා.

මගේ ඔළුව රත් වුනා ඒ කතාව ඇහුවාම.

ටීචර් දිගින් දිගටම මගෙන් ඇහුවා මම ද ගත්තේ කියලා. මමත් දිගින් දිගටම කිව්වා ගත්තෙ නැහැ කියලා.

මම කොල්ලො එක්ක ගහ ගත්තට හොරකම් කරලා නැහැ. ඒත් ටීචර් මාව සැක කරන එක නැවැත්තුවෙ නැහැ.

ඒ ගමන එයා අළුත් විජ්ජාවක් කරන්න ගත්තා හොරාව අල්ලන්න.

ටීචර් පන්තියේ ඉන්න ළමයි ඔක්කොටම එක සමාන දිග ඉරට්ට ගානෙ බෙදුවා. ඊට පස්සේ කිව්වා හොරාගේ ඉරට්ට දිග වෙනවා කියලා.

ඒ විජ්ජාවේ අරමුණ තමයි හොරා තමන්ගෙ ඉරට්ට කඩන එක දිග වැඩි වෙන නිසා. කොහොම හරි කවුරුවත් තමුන්ගෙ ඉරට්ට කඩලා තිබුනෙ නැහැ. ටීචර් ගෙ ඒ ව්‍යායාමය අසාර්ථකයි.

දැන් ටීචර්ට මල පැනලා ඉන්නෙ. එයා ඒක මගෙ ඇඟට දාන්නමයි කල්පනාව. අන්තිමේදි ටීචර් මේ වැඩේ ලොකු සර්ට කම්ප්ලේන් කළා.

ලොකු සර් ආවා. ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කලා.

"උඹ මේ සල්ලි ගත්තද?"

"නැහැ"

"උඹ මේ සල්ලි දැක්කද?"

"නැහැ"

ලොකු සර් ආයි අහනවා.

"උඹ මේ සල්ලි ගත්තද?"

මං ආයිත් කිව්ව "නැහැ" කියලා.

ලොකු සර් ආයි අහනවා: "උඹ මේ සල්ලි ගත්තද?"

ඒ ගමන මටත් මල පැන්නා.

මම කිව්වා "ලොකු සර්, මම මේ සල්ලි දැක්කෙත් නැහැ, ගත්තෙත් නැහැ" කියලා.

ඒ කියලා ඉවර වෙන්න හම්බුවුනෙ නැහැ ලොකු සර් මගෙ කම්මුලට තඩි පහරක් එල්ල කලා. මට ඒ වෙලවේ නොකල වරදකට ගුටි කාපු එකට පොඩි දුකක් ඇති වුනා. ඒත් මං ඇඬුවේ නැහැ.

ඒත් ඉස්කොලෙ ඇරිලා ගෙදර යනකොට, ගුටි කාපු එක මතක් වෙලා මං ගෙදරට යනකම්ම ඇඬුවා.

මගේ යාළුවො මාව ගේ ලඟට යනකම්ම සැනසුවා මට අද වගේ මතකයි.

========රසික නානායක්කාර ගේ කතන්දරය නිමයි============================

මං ඊයෙ කතන්දරේ ලිව්ව වගේ නපුරු ගුරුවරුන්ගෙන් ගැලවෙන්නම බෑ. ගුටි කතන්න වරදක් කරන්නම ඕනෙ නෑනෙ. මගේ ඇඟෙන් ලේ එන්න වේවැල් පාරක් වැදුනෙ මගේ වරදකට නෙමේ. ටර්පන්ටයින් කාරය මගේ බඩෙන් ඇදල, නොකළ දේකට මාව වරදකරු කරල මට නින්දා කළෙත් ඒ වගේමයි.

සමහර විට, රසික නානායක්කාරයි මායි දෙන්නම ඉස්සර ආත්මෙ පව් කරලා ඇති මෙහෙම නොකළ වරදවල් වලට අහුවෙන්න.

මේ කතන්දරේ ඉවර කරන්නංකො හොඳ මාත්‍රාවකින්.

මං දෙකේ පන්තියෙ හිටපු කාලෙ ගැණ ලියපු බ්ලේඩ් තල කතන්දරේ මන්තරකාරි ටීචර් ගෙ නැතිවුනේ රුපියල් දෙකයි. ඒකෙ වටිනාකම කියන්න මං ලොතරුයියක මිලත් ලිව්ව.ඕක දැකල අපේ කෂ්ටිය ලැහැත්ති වුනා මගෙ වයස හොයන්න.

රසික නානායක්කාර ලියල එවල තියෙන කතාවෙ නැති වෙලා තියෙන්නෙ රුපියල් විස්සක්. දැං හොයන්නකො රසික නානායක්කාර ගෙ වයස!

කතන්දරකාරයා

Tuesday 6 April 2010

නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?


නපුරු ගුරුවරු ගැන මේ කතන්දර වැල මං පටන් ගත්තේ ඊයේ පෙරේදා දවසක ශාන්ත පාවුළු (St Paul) එකේ ළමයෙකුට විදුහල්පති දුන්න දඬුවමක් නිසා කොන්දේ ඔපරේෂන් එකක් කරන්න වුණු බව අහලයි.

මට ලැබෙන කමෙන්ටු වලින් පේන්නේ අපේ කෂ්ටිය ඉස්කෝලෙ යන කාලෙ හොඳට ගුටි කාපු අය බව විතරක් නෙමේ, මේ නපුරු ගුරුවරුන් ගැන අත්දැකීම් හරිම සර්වකාලීන පොදු අත්දැකීම් කියන බවයි.

මං ලියපු මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර, හෝඩියේ පන්තියේ ටීචර් කරපු පස්ස පුළුස්සන තර්ජනය, දෙකේ පන්තියෙ මන්තරකාරි ටීචර් ගේ බ්ලේඩ් තල තර්ජනය කියන කතන්දර හැම එකක්ම පදනම් වුනේ මං කණිෂ්ඨ ඉස්කෝලෙට යන කාලේ අත්දැකීම් මතයි.

අද මං කියන්න යන්නේ මං හයේ පන්තියෙ ඉඳල ගිය ටවුමෙ පාසැලේ සිද්ධියක්.

අපි හතේ පන්තියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙට අළුතින් කෙල්ලෙක් ආව. නම නිශානි. එයා ඉස්කොලෙ හිටියෙ ටික කාලයයි නිසා ඩයල් එක එච්චරම මීටර් වෙන්නෙ නැතිවුනත් සුන්දර යුවතියක් වගෙයි මගෙ මතකයෙ රැඳිල තියෙන්නෙ.

අපේ ඉස්කෝලෙට අපි නං ගියේ තරග විභාග පාස්වෙලා පොරවල් විදියටයි. නමුත් ටික දවසක් යන කොට ඔය විභාග මොනව වුනත් ළමයි එන්න පටන් ගත්ත හැම වාරෙම දෙතුන් දෙනෙක් ගානෙ. අපිට තරග විභාග තිබ්බට ටීචර් ල ගෙ පවුල් වල ළමයින්ට ඒ වැට කඩුළු නෑ නොවැ.

නිශානි ගෙ පුංචි අම්ම අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක්.

මේ කෙල්ල ආපු දවස්වලම කොල්ලො ටික දෙනෙක් නෝට් කළා එයා නිකං ඉන්න වෙලාවට මොනවද තොල් මතුරනව කියල. මං හිතන්නෙ ඒ ළමය නිතරම සින්දුවක් කිය කියයි හිටියෙ. ඔන්න මට දැනුයි මතක් වුනේ, එයා අපේ ඉස්කෝලෙ හිටිය ටික කාලෙට පන්තියෙ කෙල්ලො ටිකත් එකතු කරගෙන නාට්‍යයක් ලියල නිෂ්පාදනය කරගෙන ගියා, එයා ගෙ පුංචි අම්ම වලියක් දාල ඒක කඩාකප්පල් කරන තුරුම.

කොහොමින් කොහොම හරි පන්තියෙ කොල්ලො නිශානි ට නමක් පට බැන්ද මන්තරකාරි කියල. ඒ අර සින්දු හම් කර කර ඉන්න නිසයි.

මම තමයි මේ දවස්වල පන්ති නායකයා. (ඒකත් නියම කතන්දරේ, පස්සෙ දවසක කියන්න මකරා ගෙන් ඉල්ලීමක් දෙකක් ආවාම!) එක දවසක් ටිචර් කෙනෙක් නැති ෆ්‍රී පීරියඩ් එකක, කොල්ලො කීප දෙනෙක් ගෙ විහිළු නිමක් නැතුව ගියා. මං කිව්වට උන් සත පහකට ගනං ගත්තෙ නෑ.

ඊ ලඟ දවසෙ උදේ පාන්දරම අපේ පන්තියට ආවෙ අංශ භාර (Section Head) ප්‍රධානියායි. දැක්කහම අපිට දුවන් හිතෙන තරම් වස මූණක් තියෙන පොරක් තමයි මේ ටර්පන්ටයින් ගුරුතුමා. හැබැයි වේවැලක් නං පාවිච්චි කලේ නෑ.
නිෂානි ගෙන පුංචි අම්මට, එතනින් ටර්පන්ටයින් ට ගිහින් වගේ කලින් දවසෙ වුනු දේවල්.

ටර්පන්ටයින් ආව පන්තිය ඉස්සරහට. සේරම කොල්ලො කෙල්ලො නැගිට්ට. ඇත්තටම නං නැගිට්ටවුනා.

"කවුද නිශානි ට ඊයෙ විහිළු කරල කරදර කලේ?"

කවුරුත් කතා නෑ. මොන කතාද? අපිට මේ ටොයිලට් යන්න ඕනැ, ඕනැ, වගේ.

"නිශානි කවුද ඔය ළමයට විහිළු කළ පිරිමි ළමයි?"

නිශානි පෙන්නුව අපේ පන්තියෙ හිටපු ජයශාන්තව. කලින් දා පිස්සු කෙලපු අය ගෙන් එකෙක් තමයි ඌ.

"ජයශාන්ත මෙහෙට එනව!" ටර්පන්ටයින් කෑ ගැහැව්ව.

ආපු ගමන් ඇදල ගත්තෙ නැත්ද කලිසමේ බඩ හරියෙන්. පොරට නං අනිවා චූ බර වැඩි වෙන්න ඇති බයටම.

"වෙන කවුද විහිළු කලේ?"

නිශානි සද්ද නෑ. මේ කෙල්ල ඇවිල්ල සති දෙකයි. මං හිතන්නෙ නෑ කොල්ලන් ගෙ මූණු එහෙමට මතක තිබුණ කියල.

"මේ කතන්දරකුමාරත් විහිළු කළාද?"

නිශානි ඔළුව වැනුවද කොහෙද. මෙන්න බොලේ ටර්පන්ටයින් කාරය මාවත් ඇදල ගත්තෙ නැද්ද බඩෙන්ම.

මට රිදුනට වැඩිය මාර ලැජ්ජාවක් ආවෙ. මං පන්තියෙ පලමුවෙනියා වාර විභාගෙදි. ඒ මදිවට පන්ති නායකය. මට මේ වෙන දේ අදහන්න බැරුව ගියා. අවංකවම, මං නිශානි ට මන්තරකාරි කියල විහිළු කළා තියා, කරන්න තුන් හිතකින්වත් හිතුවෙවත් නැති හින්ද.

"අපේ පන්තියෙ කොල්ලො විසි දෙනෙක් විතර හිටිද්දි ඇයි මාවම මේ ටර්පන්ටයින්කාරය ඇදල ගත්තෙ?
ඇයි අනිත් අය ගැන ඇහුවෙ නැත්තෙ?
නිශානි ඔළුව වැනුවොත් මං වැරදිකරු වෙනවද? අර පස්සෙ කාලෙ බිල්ලො දාල ජේවීපී අයව ඇල්ලුව වගේ.
පුදුම නඩු ඇහිල්ලක් නෙ ඒක."

එත් ඉතිං ඕව මගේ හිතේ විතරක් කියවුනු තර්ක.

මට දුක මෙන්න මේකයි. ඒ අවුරුද්ද ඉවරවෙන්නත් කලින් නිශානි අපේ ඉස්කෝලෙන් අස්වෙලා ගියා. ඒ යන්න කලින් අනේ මට කියාගන්න බැරිවුනානෙ මං එයාට හිනාවුනේ නෑ කියල.

කතන්දරකාරයා

Monday 5 April 2010

රුපියල් දෙකේ නපුරු ගුරුවරු


අද මං මේ ලියන්නේ නපුරු ගුරුවරු ගැන තුන්වෙනි කතන්දරයයි.

මං මුලින්ම ලියපු විදුහල්පති ගේ වේවැල් පාර කාලා මගේ ලේ සෙලවීම ගැන කතන්දරේටත්, ඊලඟට ලියපු හෝඩියේ පන්තියේ ටීචර් ගේ තර්ජනය ගැන කතන්දරයටත් ප්‍රතිචාර ගොඩක් ලැබුණා.

අද මං කියන්න යන්නේ මගේ හිතේ රැඳිලා තියෙන තවත් බියකරු කතාවක්.

මං දෙකේ පන්තියේ මාලවතී ටීචර් ගෙ 2B පන්තියෙ ඉගෙන ගත්තු කාලේ, අපේ පන්තියට අල්ලපු (2A) පන්තිය බාරව හිටියේ ටිකක් වයසක ටීචර් කෙනෙකුයි. කොණ්ඩෙ සුදු, ඔසරි අඳින, පැන්ෂන් යන්න ලඟ කෙනෙක්. අද මට එයාව සිහිවෙන්නේ මන්තරකාරියක් වගේ චිත්‍රයක් සිතේ ඇඳෙමිනුයි.

ඔය මන්තරකාරි ටීචර් ගෙ පන්තියෙ හිටිය ලාල් කියල ටිකක් දඩබ්බර කොල්ලෙක්. අපිට වැඩිය වයසයි අවුරුද්දක් විතර. මොකද කියනව නම් ලාල් ඒ දෙකේ පන්තියෙ ඉන්න දෙවෙනි අවුරුද්දයි
.
එක දවසක් මන්තරකාරි ටීචර් ගෙ බෑග් එකේ තිබුණු රුපියල් දෙකක් නැතිවෙලා. ඒ දවස්වල රැපියල් දෙකක් කියන්නෙ ලොකු ගානක්. මහජන සම්පත ලොතරුයියක් ශත පනහයි. පාන් ගෙඩියක් ශත තිස්පහයි.

මන්තරකාරි ටීචර් මේකට කෙලින්ම සැක කලේ ලාල් ව.

ලාල් ඇත්තටම මන්තරකාරි ටීචර් ගෙ බෑග් එක ඇරල ඒකෙ තිබුණු රුපියල් දෙක හොරෙන් ගත්තද කියල මං හරියටම දන්නෙ නෑ. ඒත් මට ලාල් කිව්වෙ, පොර හොරකම් කලේ නෑ කියලයි.

ලාල් මට ඊට වඩා දරුණු දෙයක් කිව්ව. ඒ මන්තරකාරි ටීචර් ලාල් ට තර්ජනය කරපු විදිය.

"මං බ්ලේඩ් එකක් අරගෙන උඹේ ඇඟිලි කපනව!" කියල යි මන්තරකාරි ටීචර් ලාල් ට තර්ජනය කරල තියෙන්නෙ. ඒ කතාවෙන් ලාල් බයවෙලා හිටියෙ නෑ. පොර මට ඒ කතාව කිව්වෙ හිනාවෙවී.

බය වුනේ මායි. ඒ ටීචර්වයි, ඔය කතාවයි මතක් වෙනකොට මගේ හිතේ මන්තරකාරියෙකු ගෙ චිත්‍රයක් ඇදෙන්නේ ඒ නිසා විය යුතුයි.

අන්තිමට මේකත් කියන්න ඕනැ. මේ මං කියන කතන්දර ඒ කාලෙත්, පසු කාලෙත්, අදත් ලංකාවෙ ඉස්කෝලවල වෙන දේවල් එක්ක සසඳල බලන කොට නිකං අහසට පොළොව වගේ දේවල්.

නමුත්, මං ඊයෙත් ඇහුව වගේ, ඇයි මේ කතන්දර අවුරුදු බර ගාණකට පස්සෙත් මගේ හිතේ එදා වගේම අදත් රැඳිල තියෙන්නෙ?

මගේ මතකය මේ කතන්දර වලින් පිරිල හින්ද පාඩුව මට ම යි. අළුතින් දේවල් දාගන්න Hard Disk එකේ ඉඩ නෑ.

කතන්දරකාරයා

Sunday 4 April 2010

මිලාගිරියේ St Pauls වල විතරද නපුරු ගුරුවරු ඉන්නේ?


මිලාගිරියෙ සෙන්ට් පොල් එකේ ස්ටුඩන්ට් කෙනෙකුට ඒ ඉස්කොලේ ප්‍රින්සිපල් දුන්නු දඬුවමක් ගැන කියවපු මගේ හිතට අපේ කාලේ හිටපු නපුරු ගුරුවරු, විදුහල්පතිවරු ගැන කතන්දර එක දිගට ගලාගෙන ආව.

මං ඊයෙ ලිව්ව නපුරු විදුහල්පති ගැන කතන්දරයට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් ඉහලයි.

මට පේනනෙ අපේ කට්ටිය හුඟ දෙනකුට මේ නපුරන් ගේ නපුරු කම්වල නපුරු ගතිය දැනිල තියෙනව අඩු, වැඩි වශයෙන්.

නපුරු ගුරුවරු වගේම සොඳුරු ගුරුවරුත් හිටිය ඒ දවස්වල. අදත් එහෙමයි. සමහරු වෙලාවකට සොඳුරුයි, වෙලාවට නපුරුයි.

මුලින් නපුරු අය ගැන ලියල ඉවර කරන්නම්කෝ.

අද කතන්දරේ මෙන්න මේකයි.

අපි ඒ දවස්වල අවුරුදු පහේ පොඩි ළමයි. ඔන්න අපේ හෝඩියෙ පන්තිය බාර ටීචර් අපිට මොකක් හරි වැඩක් බාර දීල තමන් තමන්ගෙ වැඩක් කරන්න පටන් ගත්ත.

මට මතක විදියට මං චිත්‍රයක් අඳින්න පටන් ගත්ත. ඔන්න එක පාටරම අපේ ටීචර් නිකං පරල වෙලා වගේ කෑ ගහන්න පටන් ගත්ත, හරිම සද්දෙන්. මෙච්චරයි මට මතක ඒ වචනවලින්.

"මීට පස්සෙ හෙම අහුවුනොත් පුච්චනව පස්ස පැත්ත."

පන්තියේ ඉස්සරහ හිටිය ලමයෙක් දුවල හිහිං පුටුවක වාඩි වුනා. අපි ළමයි සේරම දෙනා පුදුමයට පත්වුනා කිව්වොත් නිවරදියි.

පස්සෙ අපිට ආරංචි වුණු හැටියට මේකයි වෙලා තිබුණෙ.

අපේ පන්තියෙ එක ගෑණු ළමයෙක් යට ඇඳුමක් අඳින්නෙ නැතුව ගවුම විතරක් ඇඳන් පාසල් ඇවිත්. මේ ළමය පන්තියෙ ඉස්සරහට ගිහින් නැමිල ඉන්නකොට අපේ ටීචර්ට ඔය බව පෙනිල. ඒ හින්දයි ඒ වගේ මහා ගාලගෝට්ටියක් කළේ.

අපේ ඉස්කෝලෙ ගමේ පාසලක්. අපි දවස්වල පාසලට ඇන්දෙ සාමාන්‍ය ඇදුම්. යුනිෆෝම් තිබුනෙ නෑ. අපේ ටීචර් ට කරන්න තිබුනෙ එදා කලේ වගේ කෑ ගහන එක නෙමේ. හොරෙන්ම ළමයින්ගේ අම්මාට ඔය සේරම කතාව කියන්නයි.

ප/ලිඃ
මේ කතාවෙ වැඩි දෙයක් නෑ වෙන්න පුළුවන්. ඒත් මේ සිද්ධිය වෙලා දශක ගණනාවකට පස්සෙත් තාමත් මේ සිද්ධිය මගේ හිතේ රැඳිල තියෙන්නෙත්, ඒක මතක් වෙන කොට බිය මුසු හැඟීමක් මගෙ හිතට එන්නෙත් ඇයි?

නැවත දවසක තවත් කතාන්දරයක් සමග හමුවෙමු.

කතන්දරකාරයා

Saturday 3 April 2010

මිලාගිරියේ St Pauls නපුරු විදුහල්පති සහ අපේ කාලයේ නපුරු ගුරුවරු


අද දිවයින පත්තරයේ තිබුණු එක්තරා ප්‍රවෘත්තියක් දැක්කට පස්සෙයි මේ කතන්දරය ලියන්න මට හිතුනෙ. මේක ඇත්තටම එක කතන්දරයක් නෙමේ, කතන්දර වැලක ආරම්භයක් කියල කියන්නත් පුළුවන්.

කතන්දරකාරය අවුරුදු දාහතරක් ම ඉස්කෝලෙ ගිහින් අවසාන වුනේ දැන් සෑහෙන්න කාලෙකට කලින්. මං හිතං හිටියෙ ඒ කාලෙ හිටිය නපුරු විදුහල්පතිවරුයි, නපුරු ගුරුවරුයි, කාලයේ වැලිතලාවෙන් දැන් වැසී ගොහින්, ලංකාවේ සමාජය ඉදිරියට ගිහිල්ලා කියලයි.

නමුත් මේ සෙන්ට් පෝල් එකේ ළමයගේ ප්‍රශ්ණය නිසා ලෝකෙ තාමත් කොච්චර කුරිරුද කියල මට හිතුන. මීට මාස හය හතකට කලින් අර කෑගල්ලෙ දෙමල තාත්ත කෙනෙක් දිවිනසා ගත්ත මතකද, තමන්ගෙ පුතාට ඉස්කෝලයක් නැහැ කියල. ටීචර්ල ගෙ කැත වැඩ නිසාහිටපු ඉස්කෝලෙන් අස්කර ගන්න උනාට පස්සෙ.

මේ සේරම දේවල් හින්ද තමයි නපුරු ගුරුවරුන්, විදුහල්පතිවරුන් ගැන මේ කතන්දර පෝලිම ලියන්න ඕනැම කියල හිතුනෙ.

කතන්දර කුට්ටි කරනව කියල දොස් කියන්න නං එපා. මේව එච්චර ලොකු කතා නෙමේ කොහොමටත්.

මිලාගිරියෙ බාලිකා ඉස්කෝලෙ විදුහල්පතිනියගෙ වැඩ ගැන කියවපු වෙලේ මට ඉස්සෙල්ලාම මතක් වුනේ මං හතරෙ පන්තියෙදි වෙච්ච සිද්දියක්.

අපි ප්‍රාථමික පන්තිවල ඉන්න කොට ඉංගිරිසි හැර අනෙක් සේරම විෂයයන් උගන්වන්නෙ පන්තිය බාර ටීචර් තමයි. වාර විභාග පවත්වන්නෙත්, ලකුණු දෙන්නෙත් එතුමියම තමයි. ඉංගිරිසි වලට වෙනම සර් කෙනෙක් හිටිය.

ඔන්න එක වාර විභාගයක් ඉවර වෙලා ටීචර් රිපෝර්ට් කාඩ් හදන කොට තමයි තේරුනේ, මගෙයි තව ළමයි දෙතුන් දෙනෙකුගෙයි ඉංගිරිසි ලකුණු එයා ට ලැබිල නැති බව.

කතන්දර, ගිහින් ඉංගිරිසි සර්ගෙන් ලකුණු සේරම ලයිස්තුව ඉල්ලගෙන එන්න අපේ ටීචර් මට කිව්ව.
මාත් ඉතිං ඒ අණ පිලිපැද්ද.

ඉංගිරිසි සර් ගෙ මේසෙ වටේ ළමයි දෙතුන් දෙනෙක් පිරිල හිටිය. සර් උත්තර පත්තර සේරම අවුල් කරගෙන. ඔන්න ඉතිං එයා සේරම කොල කෑලි අවුස්ස අවුස්ස අපේ ලකුණු හොයන්න පටන් ගත්ත.

එක පාරටම, එතන හිටපු අනිත් ළමයි ටික අන්තර්ධාන වුණා. මං විතරයි ඉතුරු වුනේ. බැලින්නං අපේ නපුරු විදුහල්පතිතුමා සම්ප්‍රාප්ත වෙලා.

එතන හිටපු අනිත් ළමයි කෙසේ වෙතත්, මං එතනට ඇවිල්ල හිටියෙ අපේ පන්ති බාර ටීචර් ගෙ පණිවිඩයකට නෙ. මං බලං හිටිය අපේ ඉංගිරිසි සර් මට ලකුණු ලයිස්තුව හොයල දෙනකං. ඔය අතරෙ, නපුරු විදුහල්පතිතුමා අපේ ඉංගිරිසි සර් එක්ක මොකක්දෝ කතාවක් පටන් ගත්ත.

තත්පර කිහිපයකින් පොර දැක්ක මං එතන නොසැලී ඉන්න බව. දැකල පොර හැරුණ මං හිටිය පැත්තට.

ගුරුවරු කතා කරන තැන්වල මොකද මේ කරන්නේ කියල මට බණින ගමං කෙලින්ම ජාතික ඇඳුමෙ අත යටින් එලියට ආව එයාගෙ දිග වේවැල.

හොඳ වෙලාවට මං ආපහු හැරුණෙ. ඒක හින්ද වේවැල් පාර වැදුණෙ මගෙ කකුලට විතරයි. කකුලෙ තිබුණු පොඩි විසර ගෙඩියක් පැලිල ලේ ගලන්න පටන් ගත්ත.

අපි හිටපු තැනට එයා තමයි පස්සෙ කඩං වැටුනෙ කියල විදුහල්පති එක්ක රණ්ඩු කරන්නයැ?

මං ගුටිය කාගෙන අපේ පන්තියට දුවල ගියා.

ඇක්සයිස් පොතක අග පිටුවෙන් බාගයක් කඩල කෙලවලින් ඒක පොඟෝල අර ලේ එන තුවාලෙ අලව ගත්ත.
එච්චරයි. අද වෙනතුරු මං අපේ අම්මටවත් කිව්වෙ නෑ මේ කතාව.

"ආනන්තර්ය පාප කර්මයක්" කියන්නෙ, පාසැල් සිසුවෙකුගෙ ලේ හෙලවීමට නෙමේ නේද? මං හිතන්නෙ ඒක "අහෝසි කර්මයක්" වෙන්න ඇති.

සමහර විට, මට එදා පටිසන් දුන්නෙ "අපරාපරියවේදනීය කරමයක්ද" දන්නෙත් නෑනේ.

කෝ මේ අපේ සුදන්ත සාදු?

කතන්දරකාරයා

Friday 2 April 2010

ලංකාවටයි ඉන්දියාවටයි පොදු ලංකේන්ඩියා භාෂාව - Lankendia II


අවශ්‍යතාවය කියන්නේ නව නිර්මාණවලට මුල කියලා කියනවානේ. මං සති කීපයකට කලින් කියපු කතන්දරේක සඳහන් වුණු ලංකේන්ඩියා භාෂාව ඒ වගේ එකක්.

රුසියාවට ඉගෙන ගන්න ගිහින් එක කාමරේකට වැටුණු ලංකාවෙ පොරකුයි, ඉන්දියාවෙ පොරකුයි කාටවත් නොතේරී අදහස් හුවමාරු කරගන්න සිංහල සහ හින්දි භාෂා දෙකටම පොදු මූලාශ්‍ර සපයන සංස්කෘත භාෂාවෙ වචන දාල හදාගත්තු ලංකේන්ඩියා භාෂාව ගැන මං කියපු ඒ කතන්දරේ එදා ලියන්න වෙලා මදිවුණු තව පොඩි කොටසක් තියෙනව අද කියල අහවරක් කොරන්න.

ඉතිං අපේ දකුණු ආසියානුවො දෙන්න "උත්තර් දිශා අපූර් ස්ත්‍රී විශාල් පයෝධර්" වගෙ ජොලි දේවල් රහසේ කතා වෙවී හිටියට එක දවසක් වැඩේ කෙලවුණයි කිව්වනෙ. ඒක වුනේ මෙහෙමයි.

රුසියන් කාරයො කියන්නෙ කොහොමටත් රුස්සො නෙ. ඒ ගොල්ලො වැඩියෙන්ම රුස්සො වොඩ්කා බොන්නයි. එහෙ යන අපේ කොල්ලොත් ඉතිං ඉබ්බො දියේ දැම්ම වගේ.

රුසියාවෙ ඉගෙන ගන්න ගිහින් ආපු පිරිමි පක්‍ෂයෙ කට්ටියෙ සමහරු රුසියාව ගැන අපිව කලකිරවන්න සී.අයි.ඒ. එකෙන් ද මුංට ශිෂ්‍යත්ව දුන්නෙ කියල අපිට හිතෙන තරමට බොන්නෙ ඒ කාලෙ පුරුද්දටයි.

ඉතිං අපේ ලංකේන්ඩියා භාෂා විශාරදයො දෙන්න දවසක් ගියා විශ්ව විද්‍යාලෙ පාටියකට. ඕකට රුස්සො ගෙනත් තිබුන නිකම්ම නිකං වොඩ්කා නෙමේ වොඩ්කා ස්ප්‍රිට් එක. ඇබ්සොලියුට් ඇල්කොහොල්, ඒ කියන්නෙ 98% විතරම මධ්‍යසාරය.

පොඩි ග්ලාස් එකකට මේ ස්ප්‍රිට් එකෙන් ටිකක් දාල කෙලින්ම උගුරට හලා ගන්න එක තමයි චාරිත්‍රය. ඕක ලේසි පාසු වැඩක් නෙමේ. කටේ දිවේ ගෑවුනොත් ඉතිං තත්වය දරුණුයි. තමන් නියම පොරක් කියල පෙන්න්න හොඳ අවස්ථාවක් තමයි මේක.

ඔන්න ඉතිං අපේ ලංකාවෙ පොර වොඩ්කා ස්ප්‍රිට් ෂොට් එක ගත්ත, පොර සේ කෙලින්ම ගිල්ල.

බුදු අම්මෝ, උගුර කට පිච්චිලා ගියා. පොරත්වය බින්දුවටම බහින වැඩක් නේ උනේ!

දැං ඉතිං අපේ මෑන් ට ඕනැ වුනේ අනිත් කාටවත් නොදැනෙන්න මොනව හරි වතුර වගේ දෙයක් බොන්නයි. හෙමින්ම ඉන්දියන්කාරයට කිව්ව ලංකේන්ඩියා භාෂාවෙන් "ජල්, ජල්" කියල.

මෙන්න බොලේ ඉන්දියන් කාරය කෙලින්ම සාක්කුවෙන් ලයිටරේ අරං පත්තු කරල දික්කලේ නැද්ද?

හින්දි වලින් ජල් කියන්නෙ දැවෙනවා, ගින්දර වගේ තේරුමකටයි. වතුර වලට කියන්නේ පානී කියලලු.

නොදන්න ලංකේන්ඩියා භාෂාව කතාකරන්න ගිහින් තව පොඩ්ඩෙන් ඇබ්සොලියුට් ඇල්කොහොල් වලටත් ගිනි ගන්නව.

ඔය රුසියාවෙ ගිය කෂ්ටියනෙ. අපේ කෂ්ටිය නං කලේ නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගත්තු එකනෙ!

කතන්දරකාරයා

(Makara - sorry for the disappointment mate, "උත්තර් දිශා අපූර් ස්ත්‍රී විශාල් පයෝධර්" වගේ තව හොඳ හොඳ ජොලි කෑලි ඇති කියල නේද හිතුවේ?)

Thursday 1 April 2010

වන් මෑන් ෂෝ - කතන්දර බ්ලොග් මැරතන් - ඇයි?


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් මිනි බ්ලොග් මැරතන් එකක් තියන්න යනවය කියන ආරංචි වුනා දැන් සති දෙකකට විතර කලින්.

කතන්දරකාරයත් ඒ වෙන කොට මැරතන් දිවීමක් පටන් අරගෙනයි හිටියෙ. ඒත් පොඩි වෙනස් කමක් දෙකක් තියෙනව.

එකක් මේක වන් මෑන් ෂෝ එකක්. දෙක, හැම විනාඩි පාලහටම නෙමේ දවසකට එක ගානෙයි, කතන්දර බ්ලොග් එක ලියවුනේ.

බලන්න මාර්තු මාසය දිහා. මං හැම දවසටම එක ගානෙ කතන්දර ලිව්ව. ඇත්තටම කියනව නං මේ මැරතන් දුවන අදහස ඇවිත් මං ඒක පටන් ගත්තෙ පෙබරවාරි මාසෙ විසි එක් වෙනිද යි. නමුත් පෙබරවාරි විසි හත් වෙනිද පොඩි කුටුම්භ රක්‍ෂණ වැඩකට යන්න වුනු නිසා මැරතන් එක ආපහු පටන් ගන්න වුණා පහුවදා ඉඳලා.

මේ කාලය ඇතුලත, දවසකට පැය තුනක් විතර මිඩංගු කළා, කතන්දර ලියන්නයි, පොස්ට් කරන්නයි, කමෙන්ට්ස් අනුමත කරන්නයි, ඒවට උත්තර දාන්නයි. සමහර ප්‍රතිචාර කවියෙන් හින්ද, කවියෙන්ම උත්තර බඳින්නත් උනා නොවැ! මං මුල් කාලෙ හිතපු විදියට අනුව මේක විශ්මයජනක දෙයක්.

අද මේ පොස්ට් එකේ ප්‍රධාන කතන්දරේ තමයි ඇයි මට මේ විදියට දවසකට එක කතන්දරය බැගින් ලියන්න හිතුනෙ කියන එක.

මේක ටිකක් දුක කතන්දරයක්.

පෙබරවාරියෙදි මට හිතුන මං එක පාරටම මැරිල ගියොත් මං නොලියපු කතන්දර ටික කවුරුවත් දැනගන්නෙ නැතුව මාත් එක්කම පිච්චිලා අළු වෙලා යාවි නේද කියල.

ඒක නිකං හිතළුවක් නෙමේ පදනම් සහිත සිතිවිල්ලක්. (වැඩි විස්තර ඕනැම නං, පස්සෙ ලියන්නං.) ඉතිං, සතියකට දෙක තුනක් කර කර හිටිය වැඩේ දිනපතා කරන්න හිතුවෙ ඒ නිසයි.

කළු වලාවක රිදී ඉරක් වගේ මේ කතන්දරේට අදාල සතුටුදායක කොටස මේකයි. මං මාර්තු මාසෙ දාන්න හිතං හිටපු කතන්දර වලින් දොලහක්ම තව ඉතුරුයි. ඒ මදිවට දවස ගානෙ අළුත් කතා එකතු වෙනව. අප්‍රියෙල් මාසෙ පුරාත් බ්ලොග් මැරතන් වන් මෑන් ෂෝ එක ගෙනියන්න පුළුවන් වෙයි වගේ.

ඒ එක්කම දවසක් නිවාඩු දාල හරි සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ මිනි බ්ලොග් මැතරන් එකට දුවන්නත් හිතාගෙනයි ඉන්නේ.

මුළු මාර්තු මාසය පුරාම, දිනකට එක බැගින් කතන්දර ලිවීමේ ප්‍රීතිය නිමිත්තෙන් අද මං එක පොරොන්දුවක් දෙනව.

ඒක තමයි අපේ මකරා ගේ බලවත් ඉල්ලීම පරිදි මං කලින් මුල් කොටස ලියා අතපසු කර දැමූ ලංකේන්ඩියා කතන්දරේ දෙවන කොටස හෙටම ලියනවයි කියන එක. පාඨක ඉල්ලීම් ඉටුකිරීම යුතුකමක්.

කොහොමටත් මකරයි මායි එක වලේ වැටිල ඒකෙන් ගොඩ ආපු ඈයොනේ.

එහෙනං, බයි බායි මාර්තු, ආයුබෝවන් අප්‍රියෙල්.

කතන්දරකාරයා