Followers

Wednesday, October 28, 2009

කතන්දර - සුලි දෙකේ බලි කටා












සුලිය කියන්නේ එකතැන කැරකැවෙන දෙයකටයි. දිය සුලි තියෙනවා, සුලි සුලං තියෙනවා, ඒ එක්කම ඔළුවෙ කෙස් වලත් සුලි තියෙනවා.

කෙස් වල එක සුලියක් නම් ඕනෑම කෙනෙකු ගේ තියෙනවා ඔළුව පිටුපස්සේ. මීට අමතරව, සමහරුන් ගේ ඉස්සරහ කෙස් වලත් සුලියක් තියෙනවා. ඒත් පිටුපස්සේ සුලි දෙකක් තියෙන්නේ එහෙමත් එක් කෙනෙකුටයි.

ඒ විදියට පිටිපස්සේ සුලි දෙකක් තියෙන කොල්ලන් ට ඉස්සර අපි පුංචි කාලේ හිනාවුනේ, "සුලි දෙකේ බලි කටා, පොල්කටු හැන්දෙන් ගුටි කකා" කියලයි. ඒකෙ තේරුම තමයි සුලි දෙකක් තියෙන කොල්ලෝ ලොකු වෙලා කසාද බැන්දට පස්සේ ගෑනි ගෙන් පොල්කටු හැඳි පාර කන්න වෙනවාය කියන එක.

මං හයේ පන්තියට ලොකු ඉස්කෝලෙට ගියාම, අපේ පන්තියට වැටුනු ළමයෙක් තමා ජයතිස්ස. මිනිහ ගෙ ඔළුව පිටුපස්සෙ හිස කෙස් වල සුලි දෙකක් තිබුන. ඉතිං, "සුලි දෙකේ බලි කටා, පොල් කටු හැන්දෙන් ගුටි කකා" කියන කතාව කිය කිය අපි අනිවාර්යයෙන් ජයතිස්ස ට හිනා වුනා.

ජයතිස්සල ගෙ පැත්තෙන් ම අළුතින් අපේ ඉස්කෝලෙට ආපු කොල්ලෙක් තමයි ජයශාන්ත. එකම ප්‍රාඨමික පාසලේ ඉඳල ආපු හින්ද ද කොහෙද මේ දෙන්නගෙ තිබුණ පොඩි තරහක්. ජයතිස්ස ගෙ අම්ම, ජයශාන්ත ගෙත් ටීචර් කෙනෙක් වීමත් ඒකට එක හේතුවක් වෙන්න ඇති.

කොටින් ම ජයතිස්සගෙ අම්මට ඉස්කෝලෙදි කොල්ලො කියන්නෙ "තල්මහ" කියල බවත් ජයශාන්ත මාත් එක්ක කිව්ව.
ජයතිස්ස ගැන, ජයශාන්ත කිව්වෙ එකම එක කතාවයි. "සුලි දෙකේ බලි කටා, ඕක මැරෙන්නෙ දියේ ගිලිල!" ජයශාන්ත එක දවසක් මා එක්ක කිව්ව.

මං එදා හිතුවෙ ජයශාන්තය එහෙම කිව්වෙ ජයතිස්ස එක්ක තියෙන කෝන්තරේ හින්ද කියලයි. සුලි දෙකක් තියෙන එකයි මරණයයි අතර තියෙනවායි කියපු සම්බන්ධය කොහොම විශ්වාස කරන්නද?

ඒත් ජයශාන්ත කිව්ව වගේ ම, අපි හතේ පන්තියෙ ඉන්දැද්දි හොදටම වැස්ස කාලෙ දවසක වෙලේ ගංවතුර බලන්න ගිහිං වේල්ලට ඇදගෙන වැටිල ජයතිස්ස ඉතාමත් අවාසනාවන්ත විදියට මිය ගියා.

අපි පාසලෙන් අවමගුල් ගෙදරට ගියේ අතර මග ගමනාවසාන කරපු බස් එකෙන් බැහැල අඩි දෙකක් විතර ගැඹුරු වතුරෙ බැහැල ඇවිදගෙන බව මට තාමත් මතකයි.

මේ දුක්බර කතාව නැවතත් මගෙ සිහියට ආවේ පසුගිය දා ක බ්ලොග් එකට ලියපු සුසන්ත සිස්සස්සෙස යනවද? කතන්දරේ ට ආපු කමෙන්ට් එකකට උත්තර කියන කොටයි.

කතන්දර කාරයා

5 අදහස්:

  1. මේ සුලි දෙකේ කතාව ඇහුවම මට මතක් වුනේ අපේ ලොකු අම්ම ඒ දවස් වල කියපු කතාවක්. අප්පච්චිලා දෙන්නෙක් ගේ ලමයින්ටය සුලි දෙකක් ඔලුවේ තියෙන්නේ කියලා ඒ දවස්වල කීවම මට නම් කිසි දෙයක් තේරුණේ නෑ...

    කොහොමින් කො‍හොම හරි ඔන්න හකාවති ත් අලුත් කතාවක් ගොතල එල්ලල තියෙනවා ගිහින් බලන්නකෝ...

    නිකම් ටේස් කඩල පාරක් මෙතන දැම්මට කමක් නැද්ද කතන්දර මහත්තයෝ?

    "කාන්තාවන්ගේ සටන් පාඨය වූයේ පිරිමින්ට මෙන් ප්‍රසිද්ධියේ තම නිෂ්පාදන බලවේගය එළි දැක්වීමට සුදුසු පරිදි සිය ගර්භාෂය සිරුර තුළින් පිටත මල්ලක ස්වරූපයෙන් සකස් කර දිය යුතු බවත් එය කැන්ගරු ආකෘතියකින් තමන්ට පහසු ආකාරයට පසු පසින් තිබීමෙන් එදිනෙදා කටයුතු කරගෙන යාමට ද බාධාවක් නොවන බවත් මෙය කඩිනමින් විසඳා තමන් ද පිරිමින් මෙන්ම ධනපතියන් ලෙස පිළිගත යුතු බවත්ය..."

    ගිහින්ම බලන්ටකෝ...
    http://teraki.blogspot.com/2009/10/blog-post_27.html

    ReplyDelete
  2. අපේ මල්ලිගෙ ඔලුවේ සුලි 3ක් තියෙනවා. උපන් දා සිට මේ වෙනකන් මිනිහට ඇළකටවත් බහින්න, අම්මයි තාත්තයි ඉඩ දෙන්නේ නෑ.

    ReplyDelete
  3. අනේ මගෙත් සුලි තුනයි මාර කේස් එක

    ReplyDelete
  4. මට එක සුළියක් වත් නෑනෙ.
    එහෙම අයට මොනවද කියන්නෙ.

    ReplyDelete
  5. මගෙ ඔළුවෙ සුළි තුනක් තියනවා!!!

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).