Saturday 3 October 2009

පුංචි පහේ මං - Smarter than a fifth grader?



මතකයි නේ ද මං ටික දවසකට කලින් කියපු ලඬ්කාංඩුවේ අට පට්ටම් පාට පැන්සලේ කතන්දරේ. ඒ මං පහේ පන්තියේ ඉගෙන ගනිද්දී වෙච්ච සිද්ධියක්. අද කතාවත් ඒ වගේම පුංචි පහේ මං එකක්!

ඒ අවුරුද්දේ අවසානයේ තිබුණා පලාතේ ජනප්‍රිය විදුහල් වලට ළමයි ඇතුලත් කර ගැනීම සඳහා පොදු තරග විභාගයක්. අර ශිෂ්‍යත්ව විභාගෙට වගේ, සිංහල, ගණිතය සහ බුද්ධි පරීක්‍ෂණය කියන විෂයයන් තුන තමයි විභාගයේ කොටස්.

ඒ දවස්වල ඔය විභාග වලට අපේ ගමේ අය ටියුෂන් ගියේ නෑ. අපේ ටීචර් ගෙනාව උපකාරක ප්‍රශ්ණ පත්‍ර තියෙන පොතක් - අර බුද්ධි පරීක්‍ෂණය කියන කොටසට. අපි ඉගෙන ගත්තෙ ඒකෙන්. සිංහල සහ ගණිතය නම් ටීචර් උගන්නපු ටික තමයි. අමුතුවෙන් පොත් බැලිල්ලක් තිබුනෙ නෑ.

ප්‍රථිපල ඇවිත් බලන කොට මං තමයි අපේ ඉස්කෝලෙ මුල් තැන අරගෙන හිටියෙ. මගේ ලකුණු 261 යි. ඒ කියන්නේ සාමාන්‍ය ගණන (ඇවරේජ් එක) 87 යි.

මේ තමයි මං ජීවිතේටම ගත්තු හොඳම ලකුණු සංඛ්‍යාව. වෙනත් වචන වලින් කියනව නං, මගේ අධ්‍යාපන ජීවිතයේ උච්ඡතම අවස්ථාව මේකයි.

ශ්‍රිතයක උපරිමයෙන් පස්සෙ එන්නෙ මොකක්ද කියල දන්නවනෙ? ඩවුන් ද පල්ලම් තමා!

මේ 261 හොඳ ලකුණු නිසා මාව තේරුණා, අපේ පැත්තේ තිබුණු හොඳම ඉස්කෝලෙට. ඔන්න දෙසැම්බර් නිවාඩුව ඉවරවෙලා, මං හයේ පන්තියේ එතන ඉගෙන ගන්න පටන් ගත්තා.

හයේ පන්තියේ මුල් වාර විභාගයේ දී, මගේ ඇවරේජ් එක 84 යි. අවගමනය පටන් අරගෙන. මං ඒ ඉස්කෝලෙ ඉගෙන ගත්ත අවුරුදු හතරක්. අන්තිමේදි, නමය පන්තියේ අවසාන විභාගෙදි මගේ ඇවරේජ් එක වුනේ 63 යි. කොහොමද ප්‍රගතිය?

මේකෙ තියෙන කණගාටුදායක ම තත්වය වාර විභාග ලකුණු වලින් මැනුණු මගේ අධ්‍යාපන මට්ටම එන්න එන්නම පහලට බැසීම නෙමේ.

එදා, හයේ පන්තියේ 84 ක ඇවරේජ් එකක් අරගෙන පන්තියේ පලමුවෙනිය වුණු මං, අවුරුදු හතරකට විතර පස්සෙ, ඒ ළමයින් ම හිටිය ඒ පන්තියෙම, ලකුණු 63 ක අඩුම අඩු ඇවරේජ් එකක් අරගෙන පලමුවෙනිය වෙච්ච එකයි.

මගේ අවගමනය, අපේ මුළු පන්තියේම අවගමනය නිරූපනය කරලා, එහෙම බලන කොට.

හැබැයි මගේ අවගමනය නම් මදකට නතර වුනා. ඇවරේජ් එක 63 අරං අවුරුදු හතරකට විතර පස්සෙ මට පුළුවන් වුනා ඒක ආපහු 70 විතර දක්වා (නිවරද අගය 69.25) වැඩි කරගන්න. ඒ උසස් පෙල විභාගෙදි.

මගේ උසස් පෙල ලකුණු එළිදරව් වුණ නිසා මේකත් කියන්නම්. ඒ 69.25 කියන්නේ ශ්‍රිතයේ ලෝකල් ඔප්ටිමම් (local optimum) එකක්. එතන ඉඳන් ආයෙත් ඩවුන් ද පල්ලම් තමයි ගියේ අවුරුදු හතරක් පුරාම. ග්ලෝබල් මැක්සිමම් (Global Maximum) එක අදටත් පහේ පන්තියේ දී ගත්තු 87 ඇවරේජ් එකම තමා.

මගේ නම කතන්දර කාරයා. මං පහේ පන්තියේ පුංචි කතන්දර කාරයාට වඩා දක්‍ෂයෙක් නෙමේ.

My name is Kathandara Kaarayaa and I am not smarter than the Kathandara kaaraya in the fifth grade.

පරණ කතන්දර මෙතතනින් කියවන්නඃ http://kathandara.blogspot.com/

5 comments:

  1. මගේ කතන්දරෙත් ඔය වගේ තමා. මේක දැක්කහම මට මගේ කතාවත් ලියන්න ඕනෙ කියල හිතුන. බලමු අද හෙට දිහාවක ලියල දාන්න ඒකත්.

    ReplyDelete
  2. අපි කාගෙත් කතා ඔය වගේ තමයි.. මේ නිදහස් අධ්‍යාපනය කියන වියගහේ ගැට ගැහිලා ඉන්නකන් ඔය කරුමෙට ජාතියක අනාගතය බිලි වෙනවා..නිදහස් අධ්‍යාපනය කියන යෙදුම අස්සේ තියෙන සිද්ධි අරන් බලන්න... කතන්දර ට ලස්සනට ඒ වගේ කතා ලියන්න පුළුවන් වෙයි.. අද ටැබූ ගේ සටහන එක කතාවක් විතරයි...!
    දුකින්! මීට කිරිමාමා..

    ReplyDelete
  3. මට මේ කතන්දරය කියවල හරියට සතුටු හිතුනා මා ගැනම. මොකද ඔය කතන්දරකාරයට ජීවිතේටම ලැබිච්ච උපරිමය ඒ කියන්නේ ග්ලෝබල් මැක්සිමම් එක මට සිද්ද වුනේ සාමාන්‍ය පෙල විභාගයෙදි නිසා.

    මට ඒ කාලේ වැඩ අටක් තිබ්බ විබාගෙ මුලු ලකුණු 721ක් ලැබුනා. ඒ කියන්නේ ඇවරෙජ් එක 90යි!

    ඊට පස්සෙ පුදුම ඝාතීය ලක්ෂණ තමයි මගේ විභාග ප්‍රතිඵල වල තිබ්බේ...

    කොහොමින් කොහොම හරි බී ඇස් සී එක පාස් වුන ලකුණු ගත්තොත් ඇවරෙජ් වුනේ යම්තම් හතලිස් ගාණක්! තල්ලු කරල දැම්මා වගේ එකක්. ලැජ්ජයි කියන්නත් ඒත් ඇත්ත ඒක තමයි.

    දෙයියම්පල්ල මම දැන් ජීවත් වෙන රස්සාවට අදාල සබ්ජෙක්ට් එක විතරක් තුන්වතාවක්ම එක පිට පේල් වුනාය කියමුකෝ.

    ඒත් ගේම අත හැරියේ නෑ...

    ReplyDelete
  4. ගේම අතෑරිය නැති නිසානේ දැන් ඔහොම ඉන්නේ ගණිතය...

    මෙන්න පොරවල්...

    ReplyDelete
  5. වෙනින් දේවල් වල උපරිමය අවමය ගෑනත් ලියන්නකෝ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.