Thursday 29 April 2010

බනිස් කතන්දර


අපේ තාත්ත පාන් කන්න කැමතිම නෑ. එයා ගෙ ප්‍රියතම උදෑසන බේකරි ආහාරය වුනේ බනිස්. ඒ කියන්නෙ, ඉඳිආප්ප, රොටී, ආප්ප වලට පස්සෙ ප්‍රියතම ආහාරය.

තාත්ත උදේ 5:45 බස් එකේ ගෙදරින් යන නිසා, සාමාන්‍යයෙන් උදේට කන්නෙත් කඩෙන්. එක බස් එකකින් ගිහින් බැහැල අනිත් එක ගන්න කලින් තියෙන විනාඩි කීපය ඇතුලත හන්දියෙ ජන්ෂන් හෝටලෙන් කන්න ගිහින් තමයි තාත්ත ඔය බනිස් ලෝලියෙක් වුනේ.

අපි ඉබි පැටවු තුන්දෙනා පුංචි කාලෙ ඉඳලම පාන් කන්න රුසියො වුනාට බනිස් වලටත් අකමැතිම නෑ. අපිට ඉඳල හිටල කොණ්ඩෙ කපන්න, බේත් ගන්න වගෙ දේවල් වලට ටවුමට යන්න වෙනව. එහෙම දවස් වලදි අපිට තියෙන ජොලිම වැඩේ තමයි ටවුමෙ හෝටලයකින් බනිස් කාල තේ බීම.

බනිස් ජාති කීපයක් තිබුණ. ඩබල් බනිස් කියන්නෙ පොඩි බනිස් දෙකක් ක්‍රීම් වලින් එකට අලෝපු පොලිතීන් බෑග් එකක එන ජාතියක්, ක්‍රීම් බනිස් තමයි රහම, ඊලඟට තිබුන සීනි බනිස්. ඒකෙ බනිස රහ අඩුයි, නමුත් උඩින් සීනි කැට කපල එකයි.

පිටින් ඔපේට රැවටිලා පුංචිම පුංචි ඉබි පැටිය නම් හැමදාම ඉල්ලුවෙ ඔය කියන සීනි බනිස්. මං නං කෑවෙ ක්‍රීම් බනිස් වගෙයි මතක.

නිතරම බනිස් කන අපේ තාත්ත තමයි ඉතිං අපේ ගෙදර බනිස් පිළිබඳ විශේෂඥයා.

ඔන්න එක දවසක් තාත්ත ගෙදර ඇවිත් අම්ම එක්ක කිව්ව මෙන්න මෙහෙම.

"අද නං ජන්ෂන් කඩේ බනිස් නිකං ගෝනි පඩංගු රහයි!"

අපේ අම්ම කිව්වෙ මෙච්චරයි.

"හැබෑටම මහත්තයො ඔයා කොහොමද ගෝණි පඩංගු රහ දන්නෙ?"

කතන්දරකාරයා
ප/ලිඃ දැන් නං තාත්ත කෑම කනවට වැඩිය කරන්නෙ කෑම විකන එකයි. එනිසා ලික්විඩ් ඩයට් වලින් තමයි ගේම් එක ගෙනියන්නේ.

13 comments:

  1. නියමයි. මටත් පොඩිකාලෙ මතක් උනා. මට මතකයි මම පොඩිකාලේ ස්පන්චි එකක් තාත්තා අරන් දීලා, මම මුලින්ම ඒකේ කොලේ ගලවගෙන ඒකෙ ඇලිල තිබ්බ ඒවා කෑවා. එතන හිටපු තාත්තගෙ යාළුවෙක් මට නෝන්ඩි කලා.

    ReplyDelete
  2. මම තම්බපු හාලෙ රතු බත් කන්න තමයි වැඩිය කැමති. අපේ ගෙදර වැඩිපුර ඉව්වෙත් ඒව තමා. දවසක් කන්තෝරුවෙදි මම බත් එක දිග ඇරගෙන කනකොට ගෑණු පරාණයක් කියනවා "අපෝ මම නම් ඔය බත් ජාතියට කැමතිම නෑ. පිදුරු වගේනෙ" කියලා. මම ගත් කටටම ඇහුවෙ "ඔයා පිදුරුත් කනවද?" කියලා විතරයි.

    ReplyDelete
  3. හී හී...
    ඕක ඇහුවම මතක් උනේ, අපේ යාළුවො කට්ටියක් හිටියා රස විශේෂඥයො ටිකක්. අපි නොදන්න රහවල් ගොඩක් දැනං හිටිය ඒ ගොල්ලො.
    උදා: බිත්ති රහ, තීන්ත රහ, කැරපොතු රහ, සිමෙන්ති රහ, කළු ගල් රහ.....

    තාත්තට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  4. තාත්තට ඉක්මන් සුව පතනවා අයියෙ.

    ReplyDelete
  5. බනිස් හපන්නට සුවපත් වෙයං පියා...

    ReplyDelete
  6. ඇයි කිබුල බනිස්, ජෑම් බනිස්, ගල් බනිස් ....
    මොන කෑම උනත් හොරෙන් කනකොට තමයි රහ.......
    එතකොට අර ටෙනිස් ගහන කෙල්ලොන්ගෙත් මොකක්ද බනිස් කතාවක් තියෙනව නේද? ......... හික් හික් ........

    ReplyDelete
  7. මටත් මතකයි කැම්පස් එකේ කට්ටිය සෙට් උනාම එක එක රහ ගැන කතා වෙනවා.මඤඤං රහයි කියලත් කියනවා.ඒත් මඤඤං කියන්නේ මොනවද කියලවත් දන්නවද ? අනිත් එක තමා කැරපොතු රහ..පාන්ඩු රහ..මතක් වෙද්දී හිනාත් යනවා...

    ReplyDelete
  8. ඔබගේ ආදරණීය පියාණන් හට ඉක්මන් සුවය පතන අතරම අපි දැනගන්න කැමති ඔහුට ඇති අසනීපය කුමක්ද යන වගත්.

    ReplyDelete
  9. @දිල්...

    එයත් රහ නොදැනද මටත් කවන්න හැදුවෙ...

    ReplyDelete
  10. මටනම් තාත්තා ගෙනත්දෙන්නේ වඩේ. රාවතාවත්තේ කෑම විකුණන වෑන් එකේ පැතලි මසල වඩේ නම් මරු. මතක්වෙනකොට ලංකාවට දුවන්න හිතෙනවා............

    ReplyDelete
  11. මට නං පොඩි කාලෙ මතක බනිස කිබුල බනිස්ම තමයි. උනු උනුවේ තමයි නියම.

    ආප්ප කද්දී ඔය කට්ටිය කියන්නේ පරණ හං කෑල්ලක් වගේ කියල.හං කෑලි කාල තියෙනව වගේ.

    @ මාතලන්: මොකක්ද ඔය ටෙනිස් ගහන කෙල්ලොන්ගේ story එක? මොකක් ගැනද කියල idea එක නම් ආව. ඒත් කතාව දන්නෙ නැහැනේ.


    කතන්දර අයියගෙ තාත්තට ඉක්මන් සුවය ලැබේවා!!!

    ReplyDelete
  12. @ සීසර්

    අපොයි සිසර් මහත්තයො, කතන්දර මල්ලිගෙ කොමෙන්ට් එකකවත් ඒ ගැන දාන්න බෑ.....

    ළගදීම පටන්ගන්න හිතන් ඉන්න බ්ලොග් එක්ක පින්තූරත් එක්කම් කතාව දාන්නම්.......

    ReplyDelete
  13. @ All
    සියළුම කොමෙන්ට්ස් වලට ස්තුතියි.

    මගේ අදහස අනුවඃ ගල් බනිස් යනු ඥාණකතාය. කිඹුලා බනිස් යනු සීනී දැමු වියනා රෝල්ය. ඒවා බනිස් නෙමේ.

    තාත්තා ට සුව වේදැයි කීමට තව මාසයක් වත් ගත ඬෙනු ඇත. දුක්බර සිතින් යුතුව නැවත මගේ නිවසට පැමිණියෙමි. සඳුදා සිට නැවත සේවයට යා යුතුයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.